Thursday, October 30, 2008

Spread IE8 ........ හුහ්!

Spread IE8 නම් අළුත් වෙබ් අඩවියක් ගැන මට දැනගන්න ලැබුණා. Mozilla Firefox ජනප්‍රිය වීමත් සමග දිනෙන් දින අසරණ වෙමින් පවතින Internet Explorer ගොඩ ගැනීමයි ඔවුන්ගේ අරමුණ. Microsoft India මගින් පවත්වාගෙන යන MeraWindows සංසදය විසිනුයි මෙය දියත් කර තිබෙන්නේ.



මොවුන් කර ඇත්තේ Firefox කොපි කිරීමක්. SpreadFirefox ඔබට මතක ඇති. SpreadIE8 වෙබ් අඩවියෙ ඉල්ලීමක් කර තිබෙනවා ඉහත දැක්වෙන ලාංඡන‍‍ය ඔබේ බ්ලොග් එකට/ වෙබ් අඩවියට එක් කරන්න කියා.

Microsoft වෙළඳ ඒකාධිකාරය ලොවට කර ඇති හදිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒ නිසා මම හැම දෙනාගෙන්ම ඉල්ලීමක් කරනව මේ ලාංඡනය පෙන්නල Microsoft එකට කඩේ යන්න එපා කියල.

---

මම මේ ලාංඡනය මෙතන පෙන්නන්නෙ Microsoft promote කරන්න නෙවෙයි. :)

Tuesday, October 28, 2008

GTalk සිංහල අක්ෂර සැකසීමේ (rendering) දෝෂ

අද ලියන සටහනේ ඇති දේ සමහර විට ඔබ දැනටමත් දන්නා දෙයක් වෙන්න පුළුවන්. නමුත් මට එය අද අහම්බෙන් හමුවූ නිසා අද සටහන වෙන් වෙන්නේ ඒ ගැන නොදන්න අයට එය කියා දෙන්න.

Google Talk මෘදුකාංගය භාවිතයෙන් සිංහල බසින් (සිංහල යුනිකේත භාවිත කර) පිළිසඳරේ යෙදී ඇත්නම් ඔබත් පහත දැක්වෙන ගැටළුවට මුහුණ පා ඇති.



එනම්, අකුරු අතර අනවශ්‍ය ලෙස හිස් තැන් දැක්වීමයි. පණිවුඩය යැවූ පසු මෙය නිවැරදිව දිස් වන නමුත් යතුරුලියනය කරන අවස්ථාවේ යුනිකේත නිවැරදිව දර්ශනය නොවීම මඳ අපහසුතාවයක් ඇතිකරයි. මෙය වළක්වා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

1. Google Talk හි ඉහළ දකුණුපස ඇති Settings ක්ලික් කරන්න.



2. General යටතේ ඇති Change Font බොත්තම ක්ලික් කරන්න.



3. Iskoola Pota අකුරු රටාව (font) තෝරන්න. එම අකුරු රටාවේ අක්ෂර මඳක් ප්‍රමාණයෙන් කුඩා නිසා අකුරු ප්‍රමාණය මඳක් වැඩි අගයකට (11 ප්‍රමාණවත්) සකසන්න.



දැන් හරි. හැබැයි ඉංග්‍රීසි අකුරු වල serif එක ටිකක් කරදරයක් වගේ. ඒත් සිංහල හරියට දිස් වෙනවනෙ. :)



---

Iskoola Pota අකුරු රටාව සිංහල යුනිකේත කට්ටලයත් සමඟ ලබා ගත හැකියි.

.

Sunday, October 26, 2008

සිංහල ධම්මපදය

ධර්ම දානය සියළු දානයන්ට වඩා උතුම් ය

මේ කියන්නෙ මෘදුකාංගයක් ලෙස එළිදැක්වෙන සිංහල ධම්මපදය ගැන. මෙය නිර්මාණය කරල තියෙන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයෙ දෙවන වසර ශිෂ්‍යයෙක්. ඔහු නමින් සම්පත් බණ්ඩාර. මගේ මිත්‍රයෙක්.

මෙම මෘදුකාංගයෙ අතුරුමුහුණතත් අන්තර්ගතයත් සකස් කරල තියෙන්නෙ සිංහල භාෂාවෙන්. හැබැයි මෙය නිර්මාණය කරල තියෙන්නෙ Microsoft Visual Basic 6.0 භාවිතයෙන් නිසා සිංහල යුනිකේත භාවිත කරල නැහැ. ඉදිරියෙදි මෙය Visual Basic .NET මගින් නැවත සකසන්න අදහසක් තිබෙනවා. එවිට සිංහල යුනිකේත භාවිත කරන්න පුළුවන් වේවි.

මෙහි ගාථා සහ තේරුම සිංහල බසින් කියවන්නත් ශ්‍රවණය කරන්නත් පහසුකම් සලසා දී තිබෙනවා. මෙය නිර්මාණය කිරීමේදී UCSC දෙවන වස‍රෙ සුලක්ෂිකා වීරතුංග, නිරන්දිකා වනිගසේකර සහ පහන් සරත්චන්ද්‍ර යන අයත් දායක වුණා.

මෙම මෘදුකාංගයේ බීටා නිකුතුව දැනට සීමිත පිරිසක් අතර බෙදා හැර තිබෙනවා. ඉදිරි කාලයේදි මෙය අන්තර්ජාලය හරහා භාගත කරගත හැකි වේවි.

පහත දැක්වෙන්නෙ බීටා සංස්කරණයෙ තිරපිටපත්.





.

Saturday, October 25, 2008

රෙද්ද උස්සා බැලීම

රෙද්ද උස්සා බැලීම




---



මොකක් කියලද හිතුවෙ? :D

Friday, October 24, 2008

අළුත් වයිරස් නාශකයක්

මම කලින් පාවිච්චි කළේ AVG Antivirus නොමිලේ දෙන සංස්කරණය. AVG 8 සංස්කරණය නිකුත් කළාට පසුව මට ඒක එතරම් හරි ගියේ නැහැ. ඒකට හේතු වුණේ AVG 7 ට වඩා AVG 8 මන්දගාමී වීම.
මම ඒ නිසා වෙන විසඳුමක් හෙව්වා. හම්බ වුණා. :)

Avast Antivirus. Avast ලැබෙන්නෙත් නොමිලේ. හැබැයි Home Release License කේතයක් ඔවුන්ගෙ වෙබ් අඩවියෙ ලියාපදිංචි වෙලා ලබා ගන්න වෙනවා.

මෙයින් පරිගණකය AVG තරම් මන්දගාමී වෙන්නෙ නෑ. පද්ධති සම්පත් භාවිතා වෙන්නෙ අවම මට්ටමින්.





මෙහි රිසිකරණ විකල්ප (options) බොහොමයක් සලසා දී තිබෙනවා. Network, Standard, IM, Internet Mail, P2P (Peer to Peer), Web ලෙස වෙන වෙනම ක්‍රියාත්මක වන මොඩියුල හයකින් මෙහි resident shield එක සමන්විතයි. මේ මොඩියුල හය තමන් කැමති විධියට වෙන වෙනම රිසිකරණය කළ හැකියි. අත්‍යවශ්‍ය දෙයක් නොවුණත් මෙයට themes යෙදීමේ පහසුකමද සලසා තිබෙනවා.

USB devices වල තියෙන වයිරස් සෙවීමේදි avast, AVG වලට වඩා කාර්යක්ෂමයි කියල මට නම් හිතෙන්නෙ.

Wednesday, October 22, 2008

කුප්පිය

ආම්මෝ දැං තමයි යාංතං ඇඟට ලේ ටිකක් ඉනුවේ. උදේ අටට deadline දාල තියෙන පැවරුම දැන් තමයි upload කළේ.

ඒ අතරෙ මරු වෙබ් අඩවියක් සෙට් වුණා.
මේකෙන් බාගන්න පුළුවනි වීඩියෝ ලෙස සකස් කරන ලද පරිගණක පාඩම් (AJAX, PHP වගේ දේවල්). සකස් කරල තියෙන්නෙ සිංහල මාධ්‍යයෙන්. මම නම් අහු වෙච්ච ඔක්කොම බෑවා. මරේ මරු. මට නම් හොඳයි. ඒක කුප්පියක්ම තමයි. :D

දැං නිදිමතයි. මං යනවා.

Tuesday, October 21, 2008

වයිරස් වලින් පරිස්සම් වෙන්න

පරිගණක වයිරස ගැන බොහෝ දෙනා දන්නවනෙ. මේව පැතිරෙන එක් සුලභ ක්‍රමයක් තමයි USB දත්තගබඩා උපාංග (USB data devices හෙවත් ‍pen drives). බොහෝ විට පිටතින් රැගෙන එන මෙම උපාංගයක් ගෙදර පරිගණකයට සම්බන්ධ කළාම අපටත් නොදැනිම වයිරසය පරිගණකය ඇතුළට රිංගනවා. කොහොමද අපි මේක වලක්වා ගන්නෙ? මේ ඒ ගැන පොඩි සටහනක්.

USB දත්ත උපාංග දෙක්ලික් (double click) කර විවෘත කරන්න එපා. (දැනටමත් බොහෝ දෙනා මෙය දන්නවා)


USB දත්ත උපාංගය දකුණු-ක්ලික් (right click) කර දිස්වන මෙනුව ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරන්න.

මෙහි 'Open', 'Explore' වැනි මෙනු අයිතම අහිංසක ආකාරයෙන් දිස්වුවත් සමහරවිට එම මෙනු අයිතමත් autorun.inf මගින් ආක්‍රමණය කර තිබෙන්නට පුළුවනි. ඒ නිසා එම මෙනු අයිතම ක්ලික් කිරීමෙන් වලකින්න.


USB උපාංගය විවෘත කිරීමට පහත පියවර අනුගමනය කරන්න. මේ විධියට විවෘත කරන්න පුරුදු වුණාට පසුව තවම මගේ පරිගණකය වයිරස් මගින් ආසාදිත තත්වයට පත් වෙලා නෑ.

පියවර 1


පියවර 2


---

මා දැන් කියූ ක්‍රමය ආරක්ෂිතයි. ඒත් කවදා වෙනකන්ද? ඒක මට සැකයි.
වයිරස් ප්‍රශ්න වලින් තොර Linux මෙහෙයුම් පද්ධති වෙත මාරු වීම එක් හොඳ විසඳුමක්.

~ ශාකුන්තල ~

Sunday, October 19, 2008

Sri Lanka Flag Screen Saver

මේක මම 2007 අවුරුද්දෙ Visual Basic 6.0 භාවිත කරමින් කළ නිර්මාණයක්. මම මෙහෙම දෙයක් කරන්න හේතු වුණේ මීට කලින් මේ වගේ ‍නිර්මාණයක් දැක නොතිබීම. සජීවීකරණය Macromedia Flash වලින් හදපු එකක්. මම ග්‍රැෆික් නිර්මාණකරණයේ එතරම් දක්ෂයෙක් නොවන නිසා ඒක හිතපු තරම් ලස්සනට හදන්න බැරි වුණා.
Screen Saver නිර්මාණය කරන්න පුළුවන් මෘදුකාංග වෙනම තිබුණත් ඒවායින් හදන screen savers වල කොතැනක හරි ඒ මෘදුකාංගයේ නම සඳහන් වෙනවා (Created with @#$%^^). ඒ වගේම ප්‍රකාශන හිමිකම් සඳහන (Copyright Notice) බලන්න. නමුත් මේ screen saver එකේ එහෙම වෙනත් මෘදුකාංගයකින් නිර්මාණය කරපු බවක් දක්වල නෑ.


---

Linux සඳහා screen savers නිර්මාණය කරන්නෙ කොහොමද කියල මම මේ දවස් වල හොයනව. දැනගත්ත දවසක මේක මම නැවත Linux සඳහා නිර්මාණය කරල බෙදාහරිනව GNU/GPL යටතේ.

---








~ ශාකුන්තල ~

මේ දවස්

මේ දවස් වල එක පාරටම වැඩ වැඩි වුණා. දැන් දවස් දෙකක්ම මොනවත් ලිව්වෙත් නෑ.
Assignments, reports, presentations ඒ ඇරුණම බාරගත්ත බාහිර වැඩ මතක් වෙනකොට නවදොරම එකසැරේට විවුර්ත වෙනවා.

බලමු, මේක තාවකාලික සමුගැන්මක් වේවිද මන්දා...

Wednesday, October 15, 2008

I DNT HATE MOZILLA BUT USE IE OR ELSE...

මේ සටහන ලියන්නෙ කවුරු හරි මේ ගැන නොදන්න කෙනෙක් මේක කියවලා යම් දෙයක් අළුතෙන් ඉගෙන ගනීවි යන අදහසින්.
හැම virus එකම virus scanner එකට අහු වෙන්නෙ නෑ. ඒකට විවිධ හේතු බලපානව. Virus scanner වලින් මේවා සුද්ධ කළත් සමහර කොටස් ඉතිරි කරල තමයි සුද්ධ කරන්නෙ. ඒ නිසා අපිත් ඒ ගැන සෙවිල්ලෙන් ඉන්න ඕනා. මේ සටහනෙන් විස්තර කරන්නෙ තමන් විසින්ම පියවරෙන් පියවර virus එකක් ඉවත් කරන ආකාරයයි.

---

අද කැම්පස් එකේ computer එකකින් ඉන්ටර්නෙට් යන්න සුපුරුදු විධියට Firefox start කළා. මෙන්න එකපාරටම Firefox වින්ඩෝ එක අතුරුදන් වෙලා ආවා මෙහෙම එකක්.


---

මේක virus එකක්. මොකද දන්නෑ මෙයා අපට Firefox පාවිච්චි කරන්න එපා කියන්නේ. IE පාවිච්චි කරන එක මට නිකං මදිකමක් වගේ. මම ටිකක් කල්පනා කරල බැලුව මේක හදා ගන්න විධියක්. මේකෙ admin මම නෙවෙයි වුණත් මම පටන් ගත්තා සටන.

මේ සටහනේ මීළඟට තියෙන තිරපිටපත් වලින් පෙන්වන්නෙ මැච් එකේ highlights ටික.

මුලින්ම Windows Task Manager වලින් virus එකට අදාළ ස්වයංක්‍රියාකාරී (exe) ගොනුව සොයාගන්න.

මේක Generic Host Process for Win32 Services (svchost.exe) කියන ක්‍රමලේඛයේ නමින්මයි ක්‍රියාත්මක වෙන්නේ. මේකේ පිටපත් කීපයක් එකවර ක්‍රියාත්මක වෙනවා වෙන්නත් ඇති. ඒක හොයාගන්න ක්‍රමයක් නැති නිසා මම මෙහෙම කළා.
Start --> Run ගිහින් cmd.exe කියන විධානය ලබා දුන්නා.

ඊට පසුව පහත දැක්වෙන විධානය ලබා දුන්නා. (පරිස්සමෙන්!!! Admin account එකක ඉඳගෙන මේ විධානය දෙන්න එපා. එහෙම කළොත් තත්පර 30කින් පරිගණකය restart වේවි)
TASKKILL.EXE /F /IM SVCHOST.EXE



දැන් අමාරුකාරයව නවත්තලා ඉවරයි කියල හිතමු. ඒත් virus වල ගතිය‍නේ පරිගණකය start වෙනවත් එක්කම start වෙන එක. මම ඒකත්‍ හොයල බැලුව. මුලින්ම බැලුවෙ registry එකේ.
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run
HKEY_CURRENT_USER\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run
මේ තැන් මම පරීක්ෂා කරල බැලුව.

එහෙ කිසිම හෝඩුවාවක් නෑ. ඊළඟට බැලුවෙ Start --> All Programs --> Startup. මෙන්න බඩු!!!

ඇහැ රවටන ආකාරයට ඒක හදල තියෙනවා. ඊළඟ පියවර ටිකත් බලන්න.

පේනව නේද පොර හැංගිලා ඉන්න තැන.

දැන් සියල්ල හරි. සෝට්කට් එකත් අයිං කරමු.


ඔන්න දැං හරි!!!


ගැටළු තියෙනවනම් comment එකක් දාන්න.

~ ශාකුන්තල ~

සරල MP3 Player මෘදුකාංගයක්

මට මේක මෑතකදි දකින්න ලැබුණෙ. මම දැකපු සරලම MP3 Player මෘදුකාංගය කිව්වොත් නිවැරදියි. මේකෙ නම mpg321.
කොහොම වුනත් මේක මට සෑහෙන ප්‍රයෝජනවත්. 512 MB තරම් RAM එකක් තියෙද්දිත් VirtualBox වලින් සෙල්ලම් කරන මට ඒ ගමන් සිංදුවක් අහන්න පුළුවන් mpg321 වලින් විතරයි.

Monday, October 13, 2008

Ubuntu 8.10

Ubuntu 8.10 නිකුත් කරන්න තව තියෙන්නෙ දවස් 17යි. ඒත් ඉතිං මට කැහිල්ලනේ. ඉවසාගෙන ඉන්න බැරිම තැන මම පාවිච්චි කරන්නෙ Dialog HSDPA කියන එක ටිකකට අමතක කරල බීටා එක බෑව. මෙගාබයිට් 695ක් අපතේ බව දැන දැනත් මොනවා කරන්නද පොඩි එකාගෙ ආසාවනේ.

කොහෙම වුණත් අළුත් එකෙයි පරණ එකෙයි මතුපිටින් වැඩි වෙනසක් පේන්න නෑ. පොඩි පොඩි හැඩවැඩ ටිකකුත් කරල තියෙනව.



















Sunday, October 12, 2008

Tigo කරන කැත වැඩ

ගොඩක් දෙනා තමන්ගෙ බ්ලොග් එක වෙනත් පාර්ශව වලට දොස් පවරන්න යොදා ගන්නව. එහි වරදක් මම දකින්නෙ නෑ. ඒත් මම මගේ බ්ලොග් එකෙන් කවදාවත් එහෙම කරන්න හිතුවෙ නෑ. ඒත් දැන් ඒකත් කරන්න වෙනවා.

An unbelievable daily SMS offer from Tigo!. Send a blank SMS to 2222 and get this amazing offer.

මේ Tigo වෙතින් මට ලැබී තිබුණු කෙටි පණිවිඩයක්. මේ පණිවිඩය මේ වන විට මට තුන් වතාවක් ලැබිල තියෙනවා. ඒ වගේම මේ පළමු අවස්ථාවත් නොවෙයි. මගේ වැඩ වලට බාධා වෙන අයුරින් මේ වගේ පණිවුඩ මට ඇති තරම් ලැබිල තියෙනව.

මේක Tigo පාරිභෝගික සේවා අංකයට කතා කරල කියන්නත් මට හිතුණ. ඒත් තවත් මුදලක් ගෙවල ලබා ගන්න සිද්ධ වෙන පාරිභෝගික සේවාවට වඩා මට නොමිලයේම ලැබෙන වෙබ් අවකාශය හොඳයි කියලයි මට හිතෙන්නෙ.

මේ මෝඩ යක්කු හිතාගෙන ඉන්නෙ අපට දවස පුරාම කරන්න තියෙන්නෙ SMS යවන එකයි කියවන එකයි කියල. ප්‍රචාරණ කටයුතු වලට මුදල් නැතිවද මන්ද අර offer එකයි මේ offer එකයි කියල දවස ගානෙම SMS එවනව.

සේවා ගාස්තු වෙනස් වීම්, නව VAS ගැන SMS එව්වට කමක් නෑ. ඒකත් spam කරන්න ගත්තම තමයි යකා නගින්නෙ. ලැබෙන SMS වලට මුදලක් අය කරන්නෙ නැති බව ඇත්ත (පාරිභෝගික සේවා අංකයට වගේ ඒකටත් මුදලක් අය නොකළොත් තමා පුදුමෙ). ඒත් ඒවා කියවන්නත් කාලය ගත වෙනව. කරමින් ඉන්න වැඩෙන් හිත ඉවතට ගන්න වෙනව. මෙන්න මේ වෙලාවට අනවශ්‍ය SMS එකක් ආවම එවන එකාගෙ මෑණියන් සිහි වෙනව.

හැබැයි SIM කාඩ්පත නැවත ලියාපදිංචිය කරන්නෙ කොහොමද කියල නම් තාමත් මට කෙටි පණිවුඩ මගින් දැනුම්දීමක් ලැබිල නෑ.

Saturday, October 11, 2008

මධුරද? චතුරද?

මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය ගැන කවුරුත් දන්නවනෙ. තවත් ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයක් කරළියට ඇවිත්. ඒ තමයි චතුර ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂය. මමත් ඩවුන්ලෝඩ් කරගත්තා.

මධුර ශබ්දකෝෂයෙ ලොකුම අඩුපාඩු තුන විධියට මම දකින්නෙ සිංහල යතුරු පුවරුව අනලා තිබීමත්, සිංහල යුනිකේත භාවිත නොකිරීමත් (යුනිකේත තිබුණා නම් කෙළින්ම බ්ලොග් එකෙන් Copy-Paste නේ) හා මොකක් හරි Copy කළාම ඒ වින්ඩෝ එක restore වීමයි (මධුර minimize කරලා URL එකක් Copy කරලා බලන්න).

කොහොම නමුත් චතුර ශබ්දකෝෂයෙත් අඩුපාඩු තියෙනවා. :) ඒත් සිංහල යුනිකේත භාවිතය නම් සැබෑ පහසුවක්.

ඒ වගේම මේ දෙකටම වචන අරගෙන තියෙන්නෙ එකම ප්‍රභවයෙන් කියලයි මට හිතෙන්නෙ.

#1 පුදුමය

මගේ එක විනෝදාංශයක් තමයි මෝටර්සයිකල් පැදීම. නිකන් නෙවෙයි අධිවේගෙන් ;)
ඒ වගේමයි වීඩියෝ එකතු කිරීමත්. මේ වීඩියෝ එක දැක්කම ආසා හිතුණා. ඒත් ඉතිං ලංකාවේ 1300 cc තහනම්නෙ.



මෙතැනින් බාන්න

Thursday, October 9, 2008

Compiz Fusion

Ubuntu එක්ක දැන් Compiz Fusion එකත් ලැබෙනවනෙ. මමත් ඒකෙ තියෙන එක එක දේවල් වැඩ කරන්නෙ කොහොමද කියල බැලුවා.
සාමාන්‍යයෙන් වීඩියෝ හා එවැනි දේ තිබෙන window එකක් එක්ක මේ desktop effects වැඩ කරන්නෙ නැහැ. ඒ වෙලාවට වීඩියෝ එක වෙනුවට එතැන කළුපාට කොටුවක් තමයි පෙන්වන්නෙ. නමුත් කලාතුරකින් ඒක හරියට වැඩ කරනවා. මේ තිරපිටපත බලන්න.

කලාතුරකින් ඒක හරියට වැඩ කළ මොහොතක්.

Ubuntu 8.10 එන්න තව මාසයක්වත් නෑ. ඒකෙත් මෙහෙමද දන්නෑ.
(කොහොම වුණත් Compiz Fusion කියන්නෙ එතරම් වැදගත් දේකුත් නෙවෙයි. :D )

Wednesday, October 8, 2008

මහන්සියි

මම කැම්පස් එකට යන්නෙ ගෙදර ඉඳලා (අම්බලන්ගොඩ). දවසකට කිලෝමීටර 160ක දුරක් යන එන එකත් හිතපු තරම් ලේසි වැඩක් නෙවෙයි.

අද කැම්පස් එකේ විශේෂ වැඩක් තිබුණු නිසා ගෙදර එන්න පිටත් වෙනකොට වෙලාව හතයි. ඒ මදිවට ගල්කිස්සෙද රත්මලානෙද මන්ද ඇක්සිඩන්ට් එකක් නිසා වාහන තදබදය. ගෙදර එනකොට වෙලාව රෑ දහයත් පහු වෙලා. දැන් නම් මාර මහන්සියි.

මහන්සියි කියල ඉතින් මොනව කරන්නද මට වෙබ් සයිට් දෙකක්ම තියෙනව බලා ගන්න (එකක් UCSC LODGE, අනෙක තවම දියත් කරලා නෑ). ඒ වැඩත් ඉවර වෙලා ලියන්න දේකුත් නැති නිසා මේ සටහන ලිව්ව. දැන් මම නිදා ගන්නව. සුභ රාත්‍රියක්.....!

Monday, October 6, 2008

ඉතින් ආයුබෝවන් මිතුරනි..!

ආයුබෝවන්
මෙය මගේ පළමු බ්ලොග් සටහන නොවෙයි. මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ මීට අවුරුදු දෙකහමාරකට ඉහතදී. බ්ලොග් ලිවුවේ කඩ්ඩෙන්. බ්ලොග් ලිවීම මට ඒ දවස් වලම එපා වුණේ කඩ්ඩෙන් ලි‍යන බ්ලොග් අපේ කවුරුවත් කියවන බවට විශ්වාසයක් නොතිබුණු නිසා.
දැන් මම UCSC එකේ දෙවන වසර ශිෂ්‍යයෙක් (BICT). අප දියත් කළ UCSC LODGE වෙබ් අඩවිය (http://www.ucsclodge.lk) නිසා බ්ලොග් ලියන්නන් අතරට මම නැවත පිවිසුණා. නමුත් බ්ලොග් ලිවුවේ කඩ්ඩෙන්. එයට හේතුව ‍දමිළ අය අතරටත් මගේ බ්ලොග් එක ගෙනියන්න. නමුත් Ubuntu වල සිංහල භාවිත කරන ආකාරය ගැන මම සිංහලෙන් ලියපු බ්ලොග් සටහනෙන් පස්සෙ මට හිතුණා සිංහලෙන් බ්ලොග් ලිවීම දිගටම කරගෙන යන්න.
ඒ නිසා shaakunthala.blogspot.com හි තිබුණු සියළු ඉංග්‍රීසි බ්ලොග් සටහන් මකා දමලා මේ අඩවිය සර්ව සම්පූර්ණ ශුද්ධ සිංහල බ්ලොග් අඩවියක් බවට පත් කළා. මගේ UCSC LODGE බ්ලොග් එක http://www.ucsclodge.lk/blogs/shaakunthala වෙත පිවිස කියවන්න පුළුවන්.

ඉතින් සිංහල බ්ලොග් මිතුරනි, සිංහල බ්ලොග්කරුවන් වෙත පිවිසීමට මට අවසර...

~ ශාකුන්තල ~