Friday, November 7, 2008

ඇස්පනාපිට ලැබුණු අවවාදය

මම කැම්පස් එකට යන්නෙ-එන්නෙ ගෙදර (අම්බලන්ගොඩ) ඉඳලමයි. හවසට එන්නෙ සමුද්‍රදේවී දුම්රියෙ (වාර ප්‍රවේශපත්‍රය නිසා ගානක් නැහැ). අද කැම්පස් එකේ පොඩි වැඩ වගයක් තිබිල මට පිටත් වෙන්න පරක්කු වුණා. 154ක නැගල බම්බලපිටියට ගිහිල්ල බැහැපු ගමන් මම දිව්වෙ දුම්රිය ස්ථානය දිහාවට. කොහොම නමුත් මම දුම්රියට ළඟා වෙනකොට එය පිටත් වෙන්න ගමන් අරඹලා. කොහොම හරි නැගගන්න හිතුණත් දුම්රියේ වේගය වැඩි හින්ද මම නැග්ගෙ නෑ. ජීවිත කාලය කෙටි කරගන්නවත්, අනෙක් මගීන්ගේ විරුද්ධත්වය නොතකා එහෙම කරල 'පොර' වෙන්නවත් මට ඕන වුණේ නැති හින්දා මම විනාඩි 10ක් ඉඳල ඊළඟ දුම්රියේ ආව.

---

ඔන්න මම ආපු මන්දගාමී දුම්රිය හෙමින් හෙමින් ඇවිත් බෙන්තොටත් නතර කළා. මහන්සිය නිසා මම ඒ වෙලාවෙ හිටියෙ අඩ නින්දේ.

බෙන්තොටින් පිටත් වෙනකොටම මගීන්ගෙ කෑගැසීම නිසා මම උඩ ගිහින් බිම වැටුණ. ඒ කෑගැසීම කළේ කොහොම හරි රියදුරු ලවා දුම්රිය නවතන්න. මම ළඟ තිබුණු රතු පාට EMERGENCY SWITCH බොත්තම තද කළා -- කෝ එතන බොත්තමක් නෙවෙයි නිකන් සිදුරක් විතරයි (ඒ ගැන ඉතිං වෙනම කතා කරන්න ඕන). කොහොම හරි දුම්රිය තුළ හා දුම්රිය ස්ථානයෙ හිටපු මගීන්ගේ කෑගැසීම නිසා රියදුරු දුම්රිය නැවැත්තුවා. මේ සියල්ල සිදුවෙන්න ගත වුණේ එක නිමේෂයයි.

දුම්රිය ටික දුරක් ගිහින් නැවතුනා. දුම්රිය ගාඩ්වරයාත් මගීනුත් එකතු වෙලා දුම්රිය වේදිකාව අස්සට වැටුණු මනුස්සයව එළියට ගත්ත. ප්‍රාතිහාර්යයක් වගේ, ඔහු තවම පණපිටින්! සීරීමක් දෙකක් හැරෙන්න වෙන තුවාලයක් නැහැ.

සිද්ධිය මේකයි. ඔහුත් මං වගේම ප්‍රමාද වෙලා දුම්රියට ආපු කෙනෙක්. බෑග් එකකුත් එල්ලගෙන දුම්රිය‍ට නගින්න උත්සාහ කරද්දි බෑග් එක බිම (වේදිකාව මතට) වැටිලා. ඔහු නැවත බෑග් එකත් අතට අරගෙන දුම්රියට නගින්න උත්සාහ කරද්දි පය ලිස්සා දුම්රිය වේදිකාව අස්සට වැටිලා. (ඒ ප්‍රමාදයෙදි දුම්රියේ වේගය වැඩි වෙන බව ඔහුට එවෙලේ නිකමටවත් හිතිල නැහැ) කොහොම වුණත් වාසනාවට ඔහු බේරුණා.

---

මේ වගේ සිද්ධි ඇති තරම් වෙලා තිබුණත් අද මේ සිද්ධිය මගේ හිතේ පොඩි කැළඹීමක් ඇති කළා. අද මම හදිස්සි වුණා නම් මොකද වෙන්නෙ? හරියට මට ඇස්පනාපිටම ලැබුණු අවවාදයක් වගේ. කොහොම වුණත් අර මගියා බේරුණු එක නම් ලොකුම ලොකු දෙයක්.

බස්රිය, දුම්රිය මිස් වුණොත් ඊළඟ එකේ යන්න පුළුවන්. ඒත් ඔය වගේ මෝඩ වැඩ කරන්න ගියොත් වෙන්නේ ජීවිතයෙන් ඩිස්මිස් වෙන්න.



9 comments:

  1. ඔයා තාම ජීවිතේ පටන් ගත්තා විතරයි. අනවශ්‍ය හදිස්සි දේවල් කරන්න යන්න එපා. බුදු සරණයි

    ReplyDelete
  2. මේ මගියා නම් ඇත්තටම වාසනාවන්තයි... දිනපතා දුම්රියේ ගමන් කරන අපි වැඩිපුරම දකින්නේ අවාසනාවන්ත සිද්ධි... ශාකුන්තල කිව්ව වගේ හදිස්සි වෙලා ජීවිතයෙන් ඩිස්මිස් වෙන්න පු‍ළුවන් වැඩ කරන්න එපා...

    ReplyDelete
  3. ඔව් ඔව් .... ඊළඟ කෝච්චිය තිබුනට ගේම් එකක වගේ ජීවිත දෙක තුනක් නෑනේ.... ඒක නිසා ඒකේ අගය හොඳට තේරුම අරගෙන ජීවිතේ උපරිමව ජීවත් වෙන්න

    ReplyDelete
  4. මගියා බේරුන එක නම් ඔහුගේ වාසනාව. ඒත් EMERGENCY SWITCH බොත්තම වැඩ නොකිරීම රටේ අවාසනාව

    ReplyDelete
  5. මමත් ඉස්සර වැඩට ආවෙ ගියෙ සමුද්‍රදේවියෙ තමයි. ඔය වගේ වැඩක් මමත් කරා, හානියක් උනේ නෑ වාසනාව වෙන්න ඇති. ඒත් ඊට පස්සෙ කරන්න ගියේ නෑ. පස්සෙ මහරගම නැවතුනා බෝඩිමක. එතකොට වෙලාවත් ඉතුරුනෙ.

    ReplyDelete
  6. ඇත්ත, විනාඩිය දෙකේ ප්‍රමාදය වගේ නෙමෙයි ජීවිතය කියන්නේ ඊට වඩා බෙහෙවින් වටින දෙයක්. මගේ මිතුරියකගේ එකම අයියණ්ඩී මිය ගියා, මෙලෙස අදික ලෙස මගීන් පැටවූ දුම්‍ රියක පාපුරුවේ එල්ලී යාම නිසා. මමත් ඉස්සර බස් වලට එහෙම දුවලා ගිහින් එල්ලෙනවා. ඒත් එයින් සිදුවන අනතුරු දකින්න අහන්න ලැබෙන නිසා, දැන්නම් එහෙම කරන්නේ නෑ. තරුණ ජීවිත නිකරුනේ විනාශ කරගන්න හොඳ නෑ.

    ReplyDelete
  7. මම නම් හදීසියකදීම ඇරෙන්න බස් වල යන්නේ ඉඳගෙනම තමා. අපොයි මැරෙන්න බෑ.

    ReplyDelete
  8. මමත් මේ වගේ සිද්ධියක් දැකල තියෙනව. සහ වතාවක් බස් එකක හරිම නූලෙන් එල්ලුණ මොහොතක මෙහෙම හිතිල තියෙනව. කුමක් හෝ ඒ මොහොතෙ තියෙන කාරණයක් නිසා අපි ‍නොදැනුවත්වම අපි වෙත එන අනතුර දකින්නෙ නෑ. වැඩේ වුණාමයි තේරෙන්නේ.. එතකොට කෝච්චිය ගිහින් ඉවරයි...

    ReplyDelete

Facebook ප්‍රතිචාර