Tuesday, November 11, 2008

සෝඩියම් කුට්ටිය

මට මතක් වුණා පාසල් යන කාලෙ පොඩි සිද්ධියක්. මම එතකොට 10 වසර. අපට තිබුණා විෂයයක් විද්‍යාව හා තාක්ෂණවේදය කියල. දැන් නං කොහොමද දන්නෑ. ඒකෙ තිබුණ පොඩි පරීක්ෂණයක් - මහ ලොකු දෙයක් නෙවෙයි. සෝඩියම් ලෝහය ජලයත් එක්ක වේගවත්ව ප්‍රතික්‍රියා කරන හැටි පෙන්නන්න. පොතේ තිබුණෙ වතුර බේසමකට මුං ඇටයක තරමේ සෝඩියම් කෑල්ලක් දාන්න කියල. හේතුව මේක තරමක භයානක වැඩක් නිසා.

---

අපේ පංතියෙ (10 B) තමයි ඇට්ටරයො ටික හිටියෙ. අපේ ඇට්ටර ගැන් එකේ එකෙක් දවසක් පාසල් විද්‍යාගාරයෙන් සෝඩියම් කුට්ටියක් හොරකම් කරල. රසායන ද්‍රව්‍ය ගබඩා කරල තියෙන කොටසට මොනම හේතුවක් මත වත් ශිෂ්‍යයින්ට යන්න දෙන්නෙ නෑ. ඒත් මේකා ගුරුවරුන්ටත් නොදැනී කොහොමහරි එතැනට ගිහින්!

---

අපේ කස්ටියට යෝජනාවලිය ගෙනාවම ඒක ඉහළින්ම සම්මත වුණා. ඒ දවස්වලම පරණ පොත්පත් වලින් සෝඩියම් වල ඉතිහාසය ගැන කියවල දැනගෙන තිබුණු නිසා මම වැඩේට විරුද්ධ වුණත් විරුද්ධතාව පෙන්නුවෙ නැහැ නෝන්ඩි වෙයි කියල බයට. ඒ සියල්ල පරයමින් නැග ආ කුතුහලය නිසා මමත් කස්ටිය යන තැනට හෙමින් සේන්දු වුණා. උස්සපු සෝඩියම් කෑල්ල රබර් ඇටයකට වඩා ටිකක් ලොකුයි. තව එකෙක් කොහෙන්ද මන්ද මළකඩ කාපු පොඩි නෙස්ටොමෝල්ට් ටින් එකක බාගයක් විතර පිරෙන්න වතුර අරගෙන ආව. අපි 15ක් විතර වටේට වට වුණා. මහමොළකාරය අර සෝඩියම් කුට්ටිය පිටින් වතුර එකට දැම්ම!!!

අපි කුතුහලයෙන් යුතුව බලාගෙන හිටිය. සෝඩියම් කුට්ටිය වතුර උඩ පාවෙමින් එහාට පැන්න - මෙහාට පැන්න - කහපාට දැල්ලක් දැම්ම - මහ හඬක් නගමින් පුපුරා ගියා. සියල්ලටම ගත වුණේ එක නිමේෂයයි. ටින් එක තිබුණු තැනක්වක් හොයාගන්න නෑ. කස්ටිය සී සී කඩ විසිර ගියා. හොඳ වෙලාවට කාටවත් අනතුරක් වෙලා තිබුණෙ නෑ.

---

පස්සෙ මේ වැඩේ කොහොම හරි ලීක් වෙලා තිබුණ. විද්‍යාගාරය භාර ගුරුතුමියගෙන් හොඳ හැටි අහගත්තා. දඬුවම වුණේ පාසල් විද්‍යාගාරය මාස හයකට තහනම් වීම. කොහොම වුණත් අන්තිමේ වැඩේ කස්ටියට මාර ආතල් එකක් ගෙන දුන්නා.

---

සිද්ධියෙ මහමොළකාරය ශිෂ්‍යත්වයක් ලැබිල දැන් ජපානයේ ඉංජිනේරු විද්‍යාව හදාරනව. ඔහු සමහරවිට බුද්ධි ගලනයට තවත් එක් උදාහරණයක් වේවි.


7 comments:

  1. අපි නම් දැම්මෙ වැසිකිළියක‍ට . . . :D

    ReplyDelete
  2. ඔය කතාව කියන කොට මට මතක් වුනා මට වුන සිද්ධියක්. මම උසස් පෙල රසායන විද්‍යාව ප්‍රායෝගික විභාගෙට ගිය දවසෙ, මගේ ඉස්සරහ හිටිය විභාගෙට ආපු ගෑනු ලමයෙක්. ඒ ලමය දැක්කම මට පව් කියලත් හිතුන, මොකද එයා හරි බයෙන් බයෙන් හිටියෙ. රසායනික ද්‍රව්‍ය අල්ලන්නෙ බයෙන් බයෙන්.

    ටික වෙලාවක් යන කොට ඩෝං ගාල මොනවදො මගේ ඉස්සරහින් හිටිය ලමයගෙ අතින් පිපුරුනා. දුම පිරිල. අපිට වහාම එලියට යන්න කිව්වා. ගිහින් විනාඩි 15 කට පස්සෙ ආපහු ඇතුලට යන්න දුන්නා. අනේ අර ගෑනුලමයගෙ ඇඳුම (ඉස්සර සුදු ) දැන් වෛවාරන් පාට - උඩ නිල් මැද තැඹිලිපාට පහල කොටස රතු. ඒ ලමය පාස් වුනාද නැද්ද දන්නෙ නැහැ

    ReplyDelete
  3. අපි නම් ඉතිං හොද ලමයි අනික මට එපාම කරපු විෂය තමයි විද්‍යාව. කොටින්ම මගේ ඇගයීම් හා පැවරුම් ටික කරලා දෙන්නෙත් මගේ යාළුවා. හැබැයි විභාගෙදි මම තරුවක් හරි ලොකු Wඑකක් හරි එයි කියලා හිතුවට නොහිතපු ප්‍රතිඵලයක් ආවේ. මම තාම කල්පනා කරනවා කොහොමද ඒක ලැබුනේ කියලා LOLzzzz

    ReplyDelete
  4. තව ඔය වගේ chem ආතල් සිද්ධි තියෙනව පාසල් ජීවිතේ. ඉඩක් ලැබුණම ලියන්නම්.

    ReplyDelete
  5. අපි විද්‍යාව කියල විෂයක් ගැන දැනගත්තෙත් උගන්නන් ගියාට පස්සේ.
    කොළඹට සෝඩියම් - ගමට නෝ සියම්!

    ReplyDelete
  6. මම මේ ප්‍රථම වතාවට ද ප්‍රතිචාර දක්වන්නේ කියලා නං මතක නැ. ඒත් බැලුවහම හැමෝම එකයි :) හොරෙන් ගන්න එක හොද වැඩක් නොවුනත් අපි නං සොඩියම් කාලි 3ක් විතර ගත්තා. අර ගෙන විදුහල්පති කාර්යාලය ඉස්සරහා තිබ්බ පොකුණට ඇතුළු වතුර පිරිලා තිබ්බ තැන් තුන හතරකටම දැම්මා. විදුහල්පතිතුමිය බය වෙලා හිටියත් කව්ද කලේ කියලා අහු උනේ රසායන විද්‍යා ගුරුතුමීට විතරයි. හොදවෙලාවට නැත්තං ....... එදා අහපු බැනුම් ටික තාමත් ඇහෙනවා වගේ. තාමත් සොඩියම් දැක්කාම ඔය සිද්ධිය මතක් වෙනවා. :D
    කොහොම උනත් සටහන අපුරුයි. ඔබට ජය.

    ReplyDelete
  7. අර ලැසේන් නිස්සාරිතය හදන්න ගිහින් අපේ කොල්ලෙක් ඕකම කලා...වීදුරු කටු වලට අහිංසක ළමයි තුවලත් උනා....
    සයනයිඩ් එහෙම හැදිලා තිබුනා නම්...හෆොයී....

    ReplyDelete

Facebook ප්‍රතිචාර