Sunday, January 11, 2009

2009 පළමු සටහන නොහොත් මෙගා අච්චාරුව

විභාගය ඉවර වෙනකම් බ්ලොග් ලිවිල්ලට සමු දෙන්න හිතුවත් ලියන්න ‍දේවල් ගොඩක් ගොඩ ගැහුණු නිසාත්, ඊයෙ ලොකු assignment එකක් කරල අවසාන වීමෙන් ලැබුණු නිදහසත් නිසා මොනවහරි ලියන්න හිතුණා. මේ සටහන අච්චාරුවක් වෙන්න හොඳටම ඉඩ තියෙනව. දැන් මේක කියවලම යන්න. මොකද ආගිය කතා, ආතල් සීන්, අනං මනං, තාක්ෂණය, මෘදුකාංග, කාලීන ඔක්කොම මෙතන තියෙනවා :D



මුලින්ම පටන්ගමු දෙසැම්බර් 31දා පොඩි ආතල් සීන් එකකිං. පරණ දේවල් ගැන ලියනවට අහිතක් හිතන්න එපා.. දෙසැම්බර් 31 තිබුණනෙ රිදී රැයක්. ඒකට එළකිරි.com අඩවියත් අනුග්‍රහය දීල තිබුණද? මම නං දන්නෙ නෑ.. ඒත් දැන් FM නාලිකා වල ගීතයක් ප්‍රචාරය වෙන අතරෙ "$$$$ FM" කියල කෑ ගහනව වගේම ඔය රිදී රැයක් ප්‍රසංගයෙ එක නර්තනයක් අතරෙ මට ඇහුණ "එළකිරි ඩොට් කෝම්" කියල සද්දයක්. අනේ හැබෑට... ඒ කියන්නෙ මේ අය ළඟ ඒ ගීත නැද්ද? එයාල අන්තර්ජාලයෙන් බාගත් ඒවද මේ වගේ 'ලොකු' වැඩ වලටත් පාවිච්චි කරන්නෙ? පොඩි මිස්ටේක් පාරක්නෙ... එච්චර දේකුත් නෙවෙයි. :D



ඊළඟට ජනවාරි පළවෙනිදා... මිනිස්සු කොයි තරම් මුදලක් රතිඤ්ඤා වලට නාස්ති කරන්න ඇත්ද? මේව ඉතින් කියලත් වැඩක් නෑ... මම පොඩි කාලෙ නං ආසාවට රතිඤ්ඤා පත්තු කළා තමයි.. වැඩේ නිකං පුස්සක් කියල දැනගත්තම නැවැත්තුවා. දැන් මම රතිඤ්ඤා පත්තු කළොත් අනිත් අය හිතයි මට පිස්සු කියල.



ඊළඟට ජනවාරි 02, කිලිනොච්චිය... එදා කරපු නාස්තිය ඊටත් වැඩියි. ඒ වෙනුවට රණවිරු අරමුදලකට මුදල් එකතු කළා නම් සෑහෙන්න වටින දෙයක් වෙන්න තිබුණු බව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මම එදා කිරුළපන හිටියෙ... හවස්වරුවෙ පුදුම කලබලයක් තිබුණෙ.. මම කියන්නෙ රතිඤ්ඤ සද්දෙ ගැන.

එදා සිරස මාධ්‍ය කරපු වැඩේ නම් අන්තිම කැතයි. ඒක නිසා ගොඩක් අය සිරස කට්ටියගෙ මෑණියන් සිහි කර කර හිටියෙ.



සිරසට මැර ප්‍රහාරයක්! ඔන්න ඊළඟ ප්‍රවෘත්තිය. යම් යම් කරුණු කාරණා පැත්තෙන් බැලුවම............ ඒ කියන්නෙ අපේ රටේ සංස්කෘතිය කාබාසිනියා කිරීම... (දැන් ගොඩක් දෙමව්පියො ළමයින්ට සිරස ටීවී නැරඹීම තහනම් කරල තියෙන්නෙ) හොරුන්ට සහ මං පහරන්නන්ට රත්තරනින් රන් ආකරයක් වූ රන් දෙපැයක් නිර්මාණය කිරීම... කොටියාට කඩේ යාම (දේශපාලන පක්ෂයකට කඩේ ගියානං ඒක නිකං අර නිතර දකින කුකුළගෙ කරමල වගේ වෙන්න තිබුණා, ඒත් මුන් ක‍‍ඩේ යන්නෙ කාටද? කොටියට!!!) .........මුන්ට ඔහොම වෙලා මදි කියල තමයි හිතුණෙ. ඒත් පස්සෙ ටිකක් සැක හිතුණ මේක දේශපාලන අරමුණක් ඇතුව කළ දෙයක්දෝ කියල... ඒක ඇත්තටම එහෙමනං වැඩේ අන්තිම කැතයි.

බ්ලොග් වලත් ගොඩක් අය ඒ ගැන අදහස් දක්වල තිබුණ. සමස්තයක් වශයෙන් මේ සටහන් වල සාරය ගත්තම මට මතක් වුණේ ගිය අවුරුද්දෙ කැම්පස් එකේදි ඉගෙනගත් ඈෂ් පරීක්ෂණය. සමහර අය අවංකව අදහස් ලියල තිබුණ... සමහර අය අනිත් අය කියන නිසා සිද්ධිය හෙළා දැකල තිබුණ. මමත් ඔහේ හිතට ආව දේ මෙතන ලිව්ව. සමහරවිට (බොහෝ විට) මම වැරදි වෙන්නත් පුළුවන්.



ඔය අතරෙ... අපේ Multimedia Project එකේ වැඩ... සමහර දවස් වල කිරුළපන අපේ 'දකා'ගෙ බෝඩිමේ නයිට. ඒක කොමඩියක්.. වාර්තාමය රූපවාහිනී වැඩසටහනක්... අර සිරසේ 'තිත්ත ඇත්ත' වගේ පේන්න හදපු කොමඩියක්. (ඇත්තටම හිතාගන්න බෑ ඇයි සිරස මේ තත්වයට පත් වු‍ණේ ඇයිද කියල :( එයාලගෙ මුල් කාලෙ හොඳ වැඩසටහන් තිබිල වගේ)

Multimedia Technologies වලට දීපු මේ project එක අපේ සරසවි ජීවිතේ ආතල්ම project එක වේවි කියල හීනෙකිං වත් හිතුවෙ නෑ. ඒක එහෙමම වුණා. :)



ඊළඟ ලොකු ප්‍රවෘත්තිය, ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කරලා. මාධ්‍යවේදියෙක් විධියට රටට සෑහෙන සේවයක් කරපු පුද්ගලයෙක්. කාගෙ වැඩක්ද කියල නම් හිතාගන්න අමාරුයි. සිද්ධිය තරයේම හෙළා දකිනවා. එහෙම කිව්වට මැරුණු කෙනාට ආයෙත් ජීවිතය ලැබෙන්නෙ නැහැනෙ. :(

කාලෙකට පස්සෙ බය කියන එක ආයෙම හිතට දැනෙන්න ගත්තා. මේක තවත් අඳුරු යුගයක ආරම්භය වෙයිද? මගේ ළදරු කාලෙ.. ඒ කියන්නෙ මම ලෝකය නොදන්න කාලෙ සිද්ධ වුණ එක එක දේවල් ගැන වැඩිහිටියො කියපු කතා එක එක මතක් වෙන්න පටන් ගත්තා. ඇයි අපේ රටට මෙහෙම වු‍ණේ?



අපේ සිරිත් පරිදි මම assignment එකක් ඉවර කරන්නෙ deadline පෙනි පෙනී. (ඒක වෙනස් වුණේ මෙන්න මෙතනදි විතරයි) 8 වෙනිද තමා මාරක රේඛාව යෙදිල තිබුණෙත්. අන්තිම rendering එක කරන්න පැයක් දෙකක් විතර ගියා. හඬ කැවීම් එහෙමපිටින්ම අවුල්. බෙලෙක්කයගෙ තොල් හෙලවෙන විධියට dub කරන්න මාර අමාරුයි. මොනව කරන්නද ඉතිං.. කවද කාපු කටුද මේව? Pitch එක අඩු කරල ගත්තම ගුම්බෝගෙ කටහඬ නියම තගෙක් වගේ. ඒ යකාට පුදුමයි ඒක උගේ කටහඬමද කියල. :D

කොහොම හරි presentation එකත් කෙරුණ. ඒක වෙන්න ඇති අපි කරපු ආතල්ම presentation එක. එකම සිනා සාගරයක්. මාතෘකාව නිරුවත එළියට. :D බය වෙන්න එපා මේක නරක කොමඩියක් නෙවෙයි.. සරලවම කිව්වොත් bittorrent හරහා හොරෙන් අනවසර මෘදුකාංග හා චිත්‍රපට භාගත කරන්නෙකුගේ නිරුවත ලොවට හෙළි කිරීම. :D


මේ තියෙන්නෙ ඒකෙ intro එක. මෙතන මමත් ඉන්නවා, පුළුවන් නම් හොයා ගන්න :D . Video එක encode කරද්දි වෙච්ච පොඩි වැරැද්දක් නිසා මේක ටිකක් අපැහැදිලියි. ඉඩක් ලැබුණොත් පසුව හොඳ එකක් upload කරන්නම්.

ඔක්කොම ඉවර වෙලා හවස හතරට විතර බවනට ගිහින් breakfast හා lunch කියන දෙකම එක සැරේ ඇඟට දාගත්තා. ඔන්න දැනුයි මේ සටහනේ මුලින් කිව්ව නිදහස ලැබුණෙ... යන්තං ඇති ඒ assignment එකත් ඉවරයි. :)



කාලෙකට පස්සෙ ලැබුණු නිදහස නිසා අට වෙනිද හවස අපි කස්ටිය සෙට් වෙලා ගියා 'වෙදැස' බලන්න BMICH පැත්තෙ. මෙය සංවිධානය කර තිබුණෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන්. වැඩේ නම් එළ! ;) ඒත් සෙනඟ අඩුයි. ප්‍රචාරය මදි වුණාවත්ද? මම මේ සෙනඟ අඩු වෛද්‍ය ප්‍රදර්ශනයක් දැක්කමයි. අඩුපාඩුවක් කියල කියන්න තරම් දේකුත් නෑ. සෙනඟ අඩු නිසා මම නොදන්න ගොඩක් දේවල් අහල දැනගන්නත්, fried chicken වගේ වෙච්ච මෘත ශරීර ළඟටම ගිහින් බලන්නත් අවකාශ ලැබුණා. ආ... තව සර්පයින් ගැන තිබුණු අංගයෙදි තඩි පිඹුරෙක්ව අතින් අල්ලල බැලුව. අනිත් සර්පයො තරං පිඹුර ඇල්ලුවම සීතල නෑ. අපේ 'දොරේ' පිඹුරව කර වටේ දාගෙන පිංතූරයක් එහෙමත් අරගෙන තිබුණ. අනේ පව් ඌ (පිඹුර) විඳින දුක.

පේනව නේද දොරේ සර්පයත් එක්ක ලව් කරන හැටි?

මටත් මතක් වුණා මම පාසල් ප්‍රදර්ශනයකදි දෙපත් නයෙක්ව අතේ තියාගෙන ඌට රිසි සේ සැරිසරන්න දීල ප්‍රදර්ශනය කරපු (වෙච්ච :D ) හැටි. දෙපත් නයා ඉතින් හානිless පොඩි එකෙක්නෙ. ;) මෙතන එහෙම නෙවෙයි.. විෂ සහිත සර්පයොත් එයාල අතට අරං පෙන්නුවද මන්ද...

ප්‍රදර්ශනේ හැම දේම බලන්න වෙලාව මදි වුණත් සමස්තයක් හැටියට මට සතුටුයි. ප්‍රදර්ශනය නියමයි. :)



දැන් ඉතින් ආයෙම back to work තමයි. මොකද විභාගය කියල එකක් ළඟ එනවනේ. :(
යන්න කලියෙන් පොඩි ගැජමැටික් එකකුත් දීලම යන්නම්. දැන් අළුත් වයිරස් එකක් තියෙනවනේ pen drives වල මකන්න බැරි folder එකක් හදන. ඒ folder එකේ නම runauto.. . ඒක open වෙන්නෙත් නෑ.. තියෙන තැනින් හොල්ලන්නත් බෑ. ඒකට හේතුව අසම්මත නමක් තිබීම :D . ඒ කියන්නෙ Windows වල පාවිච්චි නොවෙන ආකාරයෙන් නමේ අගට තිත් දෙකක් තිබීම. මේ කියන්නෙ ඒක අයින් කරන හැටි.

ක්‍රම දෙකක් තියෙනව. එකක් pen drive එක format කරන එක. Format කරන්න කැමති නැත්තම් අනෙක කරන්න අපට පොඩි tool එකක් ඕන වෙනවා. මේකෙන් දැන් අපි කරන්න යන වැඩේ ඇරුණම තව වැදගත් ප්‍රයෝජන තියෙනව. ඒ නිසා ඒක ස්ථාපනය කරගන්න එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒකෙ නම Unlocker. මෙතනින් බාගන්න පුළුවන්. මේ තිර රූප සටහන් වල තියෙන්නෙ ඒක කරන හැටි.






ඉතින් ඔන්න‍ ඔහොමයි මගේ අච්චාරුව.. කොහොමද? රසද? නීරසද? සැරද? චාටර්ද? තිත්තද? ඔහොමම පහළට scroll කරල බලන්න සුදුපාට කොටුවක් තියෙනව. ඒක තියෙන්නෙ මගේ අච්චාරුව කාපු අයට වමාරන්න.
(කොයිල්ද? ටියුබ්ලයිට්ද? ඔය පහළ කොටුවෙ comment එකක් ලියලම යමු...?)

අපේ විභාගෙන් පසුව නැවත හමු වෙමු. ;)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

14 comments:

  1. අර video එක ටිකක් හදලා full version එක youtube දැ‍ම්මොත් හොදයි නේ ද? (මම එහෙම කිව්වට අපේ එකවත් තාම upload කලේ නෑ මචං)

    ReplyDelete
  2. අපොයි බෑ. අර ඒකෙ n****** america කතාවකුත් කියනව අපේ ගුම්බෝ. ඒකනං දාන්න බෑ. පිස්සුද?

    ReplyDelete
  3. හිහ් හී..............
    මම අඳුන ගත්තා. එදා LAB C එකේ ඔක VIDEO කරනකොට මාත් එතන හිටියනේ. මම ඒත් බැලුව මොකටද මේ කියල. අනික කැම්පස් එනේ ඕන කෙනෙකුට ඔයාව අඳුන ගතෑකි ඔය කොන්ඩෙ යන්තම් දැක්කම. මුළු VIDEO එකේම ඉන්නෙ ඔයානෙ. අපිවත් පොඩ්ඩක් VIDEO කරන්න එපැයි. අපිත් හොරාට බානවා එකසිය ගානට

    ReplyDelete
  4. විඩියෝ එක හොඳයි. කැමරා හොඳට පාලනය කරලා තියනවා

    ReplyDelete
  5. @ශාකුන්තල
    ඒක තමයි බං "video එක ටිකක් හදලා දාමු" කියල කිව්වේ ඔන්න අපේ Animation එකත් upload කරා.

    ReplyDelete
  6. hik hik කවුද අර කොණ්ඩයා... ලොල්ස් මේක නම් බ්ලොග් අච්චාරුවක් ම තමයි!

    ReplyDelete
  7. හික්... අච්චාරුවක්ම තමයි. Full video එක upload කරමු නේද? තාම අපි වත් දැක්කෙ නෑ. බලමු හොරාට බාන උන් මොන වගේද කියල. ඔන්න උඹ දන්නවනෙ මම නම් ‍ඔහොම බාන්නෙ නැහැ කියලා. ;) හික් හික්..

    Yahoo emoticon pack එකත් උස්සල වගේ. :P එළ එළ. :D :D :D


    @malee_msg
    කොණ්ඩයා තමයි මේක ලියන්නෙ :D

    ReplyDelete
  8. අයියෝ... ‍Comments වල emoticons වැඩ කරන්නෙ නැහැනෙ. :(

    ReplyDelete
  9. autorun.inf මකන්න cmd එක බාවිතා කරලන් පු‍ලුවන්

    වැඩි විස්තර මගේ සටහන් වලින් ගන්න පුලුවන්

    http://apiwenuwenapi.blogspot.com/2009/01/autoruninf.html

    ReplyDelete
  10. @සුසිත,
    අපි වීඩියෝ කරන්නෙ වැදගත් පොරවල් විතරයි :D

    @අරවින්ද,
    ස්තුතියි මචෝ. ඒකෙ credit එක යන්නෙ අපේ කැමරා ශිල්පී සයිකො රෙපාට. උගෙ නමත් අරවින්ද තමයි.

    @පහන්,
    දාන්නම්. රූගත කිරීම් වල ආතල් සීන් ටිකකුත් තියෙනවා දාන්න.

    @මලී මසාජ්,
    මොකද ජෙල වගේද? ඔයාට‍ නැහැනෙ දිග වරලසක්, නේද.?

    @චතුර,
    ඉඳපන්. මම ළඟදිම emoticons ටිකක් හදා ගන්නව. මේ තියෙන emoticons වලින් මගේ ඇත්ත හිනාව පෙන්නන්න බෑ.

    @සමීර මධුසංක,
    මෙතන තියෙන්නෙ autorun.inf නෙවෙයි. ඊට වඩා ටිකක් බරපතල ප්‍රශ්නයක්. හොඳට බලන්න, මම ලියල තියෙන්නෙ runauto.. . අනෙක, ඒක folder එකක්. ඔයාගෙ සටහන බැලුවා. autorun.inf කියන්නෙ වයිරසයක් නෙවෙයි. ක්‍රමලේඛ ස්වයංක්‍රීයව ධාවනය කරවන්න වින්ඩෝස් වල දීපු පහසුකමක්. ක්‍රමලේඛයක් ස්වයංක්‍රීයව ධාවනය කරවන්න අවශ්‍ය තොරතුරු autorun script එකක් හැටියට ලියන්න පුළුවන්. නමුත් වයිරස් වලින් ඒක අයහපතට යොදා ගන්නවා. ඔයා දීල තියෙන ක්‍රමය හරි. නමුත් ඒක මම ලිව්ව ගැටළුවට විසඳුම නෙවෙයි. ඒ වගේම දැන් අළුතෙන් එන වයිරස් අපි හිතනවට වඩා කට්ටයි. ඒ නිසා දැන් අළුතෙන් එන වයිරස් වලට ඔය ක්‍රමය හරියන්නෙ නැහැ.
    http://shaakunthala.blogspot.com/search/label/%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA

    ReplyDelete
  11. කොහොමද ෆොල්ඩරයක් වෛරස් එකක් හැටියට වැඩ කරන්නේ. අනික ෆොල්ඩරයක් දෙක්ලික් කළාම මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් හරි ඇතුළෙ තියෙන ප්‍රොග්‍රැම් එකක හරි වැඩ කරන්න හදන්න පුළුවන් ද? වැරදීමකින් කොපි නොවුනොත් ඇරෙන්න මේක ව්‍යාප්ත වෙන්න විදියක් නෑනේ.

    ඒ කියන්නේ නියම වෛරස් එක ෆෝල්ඩරය නෙවෙයි. වෛරසය පරිගණකයේ වැඩ කරමින් මේවගේ ෆොල්ඩර් තැන තැන හදනවා වෙන්න බැරි ද? ඩිලීට් කරන්න බැරි ඒක හින්දා වෙන්න ඇති. ඩිලීට් කිරීම මේකට විසඳුම නොවෙන්න පුළුවන්.

    ReplyDelete
  12. @අරවින්ද,
    මේ ෆෝල්ඩර් එක හදන්නෙ වයිරස් එකකින්. එහෙම නැතුව ෆෝල්ඩර් එක වයිරස් එකක් නෙවෙයි. වයිරස් එක ව්‍යාප්ත වෙනවා. අපිව හොල්මං කරන්න ඒකෙන් ඔය ෆෝල්ඩරය හදනවා. මොකද ඒක ඩිලීට් වෙන්නෙ නැහැනේ.

    "අනික ෆොල්ඩරයක් දෙක්ලික් කළාම මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් හරි ඇතුළෙ තියෙන ප්‍රොග්‍රැම් එකක හරි වැඩ කරන්න හදන්න පුළුවන් ද?"
    මම දන්න තරමින් බැහැ. නමුත් ෆෝල්ඩරයක් වගේ අයිකන් තියෙන වයිරස් තියෙනවා. ඒ නිසා මම නම් ෆෝල්ඩර් දෙක්ලික් කරල විවෘත කරන්නෙ නෑ.

    ‍අපි හිතමු ෆෝල්ඩරය ඇතුලෙ bitmap image එකක් තිබුණ කියල. සමහර වයිරස් වලට පුළුවන් මේ ගොනුව ඇතුළට තමන්ගෙ කේතය පිටපත් කරන්න. අපි ෆෝල්ඩරය විවෘත කරන වෙලාවෙ වින්ඩෝස් වලින් image thumbnail එක හදන්න ඒ ගොනුව කියවනවා. එතකොට වින්ඩෝස් මගින් වයිරස කේතයත් කියැවීමට ලක්වෙනවා. අවසන් ප්‍රතිපලය explorer.exe ඇණහිටීම. මේ සිද්ධිය මා වරක් අත්දැක තිබෙනවා.

    "ඒ කියන්නේ නියම වෛරස් එක ෆෝල්ඩරය නෙවෙයි. වෛරසය පරිගණකයේ වැඩ කරමින් මේවගේ ෆොල්ඩර් තැන තැන හදනවා වෙන්න බැරි ද? ඩිලීට් කරන්න බැරි ඒක හින්දා වෙන්න ඇති."
    හරියටම හරි! :)

    "ඩිලීට් කිරීම මේකට විසඳුම නොවෙන්න පුළුවන්."
    වයිරස මගින් ආසාදිත පරිගණකයක සිට මෙය කරනවා නම් විසඳුම ‍මෙය නොවෙයි. මුලින්ම වයිරස් නාශකයකින් පරිගණකය සුද්ධ කරගත යුතුයි. දෙවනුව මෙය කළ යුතුයි. නැතිනම් වයිරස් වලින් තොර පරිගණකයක සිට මෙය කළ යුතුයි. වයිරස් නාශක වලින් වයිරස ඉවත් කළත් මේ ෆෝල්ඩරය ඉවත් කරන්නට ඒවා අසමත්.

    ---

    මෙතන වරද වෙලා තියෙන්නේ මම විසඳුම ලියල තියෙන්නෙ මගේ අත්දැකීම් හා ප්‍රශ්නය මට පෙනෙන කෝණය අනුව වීම. මම මගේ pen drive එක කැම්පස් එකේ පරිගණකත් එක්ක පාවිච්චි කළාම ඒක වයිරස් වලින් ආසාදනය වෙනවා. මගේ පරිගණකයේ වයිරස් නැහැ. Pen drive එක මගේ පරිගණකයට නැවත සම්බන්ධ කළාම මට කරන්න තියෙන්නේ එය scan කිරීමත් ඔය වයිරසය මගින් හැදූ ෆෝල්ඩර හා autorun.inf ගොනුව මකා දැමීමත් පමණයි.

    ReplyDelete
  13. අර එල කිරි ‍සීන් එක මටත් ක්ලික් වුනා. මම ගෙදර අනිත් අයට කිව්වත් ඒ අයට ඒක ඇහිල තිබ්බේ නෑ. මම හිතුවා මට නිකන් ඒවගේ අහෙන්න ඇති කයලා. බැලින්නම් ඇත්ත සීන් එකක්.

    ReplyDelete
  14. එළකිරි කතාව මටත් ඇහුනා අනේ මන්දා අපි විතරක් නෙමෙයි සිංදු Download කරන්නේ බැලුවහම.

    ReplyDelete

Facebook ප්‍රතිචාර