Wednesday, April 29, 2009

යල්පිනූ FAT32 අපට ආතල් දෙන හැටි

හැන්ඩි හාවා ඉපදිලා දවස් කීපයයි වුණේ... ඌ තැපෑලෙ එන්න බෑ කියනවනෙ. https://shipit.ubuntu.com/ ගිහින් බලන්න බොරුද කියල... ඉතින් කස්ටිය මේ දවස් වල හෝ ගාලා Ubuntu බානවා. ඉතින් අපේ කැම්පස් එකේ නොමිලේ දෙන අන්තර්ජාල පහසුකමත් මේ දවස් වල සෑහෙන මන්දගාමී වෙලා. ඉතින් ‍මේක වුණේ අපේ එකෙකුට ඔය බාගත්ත Ubuntu DVD image එකක් කොපි කරල දෙන්න ගිහින්.

ඌට මේ image එක පිටපත් කරගන්න ඕන වුණේ USB pen drive එකකට. Image එක දළ වශයෙන් 4.45 GB නිසා පිටපත් කළේ 8 GB පෙන් එකකට. මෙන්න මේක එකපාරටම නැවතුණා! මම එවෙලෙ වැඩ කරමින් උන්නෙ Windows වල. පිටපත් කරන්න පාවිච්චි කළේ Teracopy. Teracopy වල පොඩි අවුලක් තියෙනවා. ඒ තමයි ගොනු පිටපත් වෙන මාධ්‍යයෙ (target media) ඉඩ මදි නම් වැරදි ආකාරයක දෝෂ පණිවුඩයක් (The system cannot find the file specified.) පෙන්වීම. කෝකටත් මම බැලුවා මුල් පිටපත තියෙනවද කියලා. ඒක තියෙනවා. බාගෙට පිටපත් වුණ ගොනු අයිකනය දිහා බැලුවා (මේ සටහනේ මුලින්ම තියෙන රූපය). ඒක දැක්ක ගමන් මට මීටර් වුණා යමක්. ඒ ගොනුවෙ ප්‍රමාණය ආසන්න වශයෙන් 4196 MB හෙවත් 4 GB. පෙන් එක format කරල තිබුණෙ FAT32 ආකෘතියෙන්. මට නිකං ලාවට වගේ හිතුණ මේක FAT32 ආකෘතියෙ ලක්ෂණයක් නිසා වෙන එකක්ද කියල. මොකද ඔය ආකෘති වල ගුණාංග කටපාඩම් කරන්නෙ නෑනේ. කෝකටත් කියල ගිහින් බැලුව විකිපීඩියාව පැත්තෙ. බැලින්නම් වැඩේ ඇත්ත.
Max file size: 4 GB minus 1 byte (or volume size if smaller)
ඔය volume size if smaller කියන්නෙ FAT12 නම් 32 MB, FAT16 නම් 2 GB. අළුත් වින්ඩෝස් සංස්කරණ වල FAT12 ක්‍රමය භාවිත වෙන්නෙ නැහැ.

නමුත් pen drive ආකෘති කරන්න පෙරනිමිය විධියට FAT32 භාවිත වෙනවා තවම. Pen drive එකේ ධාරිතාව 2 GB වලට වඩා අඩු නම් FAT16 තෝරාගැනීමේ විකල්පයකුත් තියෙනවා. ඉතින් කොහොම කොහොම හරි මේ කිව්ව 8 GB පෙන් එකත් format කරල තිබුණෙ පෙරනිමියෙන් ආපු FAT32 ආකෘතියෙන්. ඉතින් මේකට විසඳුමත් කියන්නම්. පෙන් එක NTFS ක්‍රමයට ආකෘති කිරීම. හැබැයි NTFS බවට පරිවර්තනය කළාම පෙන් එක safe remove කිරීම අනිවාර්යයි. හැබැයි වින්ඩෝස් මගින් NTFS ක්‍රමයට පෙන් එක format කරගන්න පොඩි කට්ටක් කන්න වෙනවා. අපේ ගැටළුව නම් විසඳුණා. හැබැයි මුලින් 4 GB කොපි කරන්න ගතවෙච්ච කාලය අපරාදේ. විනාඩි 20ක් විතර වෙලාව නාස්ති කරලා හොඳ ආතල් එකක් දුන්නෙ අපට.

මෙන්න NTFS ක්‍රමයට පෙන් එකක් ආකෘති කරන හැටි. හැබැයි මේ වෙනින් පෙන් එකක්. (අපේ දේවල් හොරකම් කරන එකෙක් ඉන්න නිසා පිංතූර watermark කරන්න හිතුවා)







දැන් තව ‍අවුලක් තියෙනවා. NTFS ක්‍රමයෙ තියෙන file permissions නිසා වෙනත් පරිගණකයකින් පෙන් එකට ගොනු පිටපත් කිරීමේ ගැටළු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැටළුවත් මෙන්න මෙහෙම මඟහරවා ගනිමු:









ඔය ටික කළාට පස්සෙ අපේ වැඩේ හරි ගියා. මේ තිරපිටපත් ටික ගත්තෙ Windows XP වලින් (හෙට අනිද්ද‍ full time ලිනක්ස් වලට මාරු වෙන්න ඉන්න මට මොන Windows Seven ද?).

ඉතින් මම අපේ වින්ඩෝස් 7 පරිශීලකයෙක් වෙන තිළිණගෙන් අහල බැලුවා වින්ඩෝස් 7ත් මෙහෙමද කියලා. ඒ කියන්නෙ pen drive සඳහා පෙරනිමියෙන් එන ආකෘති ක්‍රමය FAT32ද කියලා. ඔව් ලු. මට හිතාගන්න බැරි දේ තමයි තාක්ෂණය මේ තරම් දියුණු වෙද්දි ඇයි වින්ඩෝස් තාම පරණ දේ පෙරනිමියෙන් තියාගෙන ඉන්නෙ කියන එක (මේ ලිපියත් බලන්න). කවුරු හරි දන්නවනම් උත්තරේ කියන්න. හැබැයි "Old is Gold" වගේ කුණුහරුප නම් කියාගෙන එන්න එපා! :P

අවසානයෙ සාරාංශ වශයෙන් මෙහෙම කියන්නම්. 4 GBට වඩා ලොකු pen drive එකක් පාවිචිචි කරනවනම් NTFS ක්‍රමයට ආකෘති කරල තියාගන්න. දැන් ලිනක්ස් වලත් NTFS සහය දක්වන නිසා ලිනක්ස් මත ගැටළුවක් වෙන එකක් නෑ. හැබැයි safe remove අනිවාර්යයි NTFS වලදී.

මේ බ්ලොග් පෝස්ට් එක ලියන්නත් වරුවක් ගත කළා මම. මෙයින් කවුරු හරි කෙනෙක් අළුතින් දෙයක් ඉගෙනගනීවි කියා හිතනවා.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Sunday, April 26, 2009

එතෙර ගිය අපේ හොල්මන්

මම අන්තර්ජාලයෙ එහා මෙහා සැරිසරමින් ඉන්න වෙලාවක සිංහල වෙබ් අඩවියක දැක්කා (සිංහල කිව්වට ‍මේක ඇත්තටම ‍JPG සිංහල අඩවියක්. හික් :D ) හොල්මන් අවතාර ගැන කතන්දර කීපයක්. මම මේව කතන්දර ‍විධියට හඳුන්වන්නෙ තවදුරටත් මේ අඩවියෙ තිබුණු කතන්දර විශ්වාස කරන්න බැරි නිසා. මේ කියන වෙබ් අඩවියේ තියෙනවා හැඳින්වීම කියලා තවත් මරු කතන්දරයක්.. පර්යේෂණ ගණනාවක් කළාලු (මෙයා හැමදාම රෑට හීනෙන් බය වෙනව ඇති :D ).. දුර්ලභ ගණයෙ ඡායාරූපත් ගොඩක් තියෙනවලු (ඔක්කොම උස්සපුව වෙන්ට ඇති මයෙ හිතේ - නැත්තං Adobe Photoshop තමා).

ඉතින් මේකෙ තිබුණ "දියතලාවෙ නිරෝෂා" කියල කතන්දරයක්. මමත් ඕක ටිකක් විශ්වාස කළා. මොකද තවම විසඳගන්න බැරි අද්භූත සිද්ධි කීපයක්ම මටත් අත්දකින්න ලැබී ඇති නිසා. මෙන්න බැලින්නම් මේ හොල්මන ටෙක්සාස් වල රේල් පාරක් අද්දර ඉන්නවා!

දැන් මේ රූපසටහන් දෙක බලන්න (පැහැදිලිව පේන්නෙ නැත්තම් පිංතූරෙ මත ක්ලික් කරන්න):


දියතලා‍ව


ටෙක්සාස්

මේ ගැන තවත් දෙයක් කිව යුතුයි. අන්තර්ජාලයෙ හොල්මන් අවතාර ගැන දාල තියෙන සිද්ධි සහ ඡායාරූප බොහොමයක් ව්‍යාජ ඒවා බවයි මට හිතෙන්නේ. මොකද හොල්මන් පෙන්නලා තමුන්ගෙ අඩවියට එන පිරිස වැඩි කරගන්න හරි බෙහොම පහසු නිසා. විශ්වවිද්‍යාලයක් හෝ එවැනි පර්යේෂණ පවත්වන ආයතනයකින් පළ කළ එකක් නම් බොහෝ දුරට විශ්වාස කරන්න පුළුවන්.

කොහොම වුණත් මාර හොල්මන් කොපිය නේද? යාළු.com බලලා දියතලාව පැත්තෙ යන්න බය වෙච්ච අයට ඔන්න දැං බය නැති කරගන්න වෙලාව ඇවිත්. :P

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Tuesday, April 21, 2009

බයිට් කිරීම

ඔන්න දවසක් මළ ගෙදරක නයිටක් ගහන්න (රැය පහන් කරන්න) කොල්ලො සැට් එකක් සැට් වුණා෴ මුං හැම එකා ගාවම තියෙනව මොබයිල් ෆෝන්... ඉතිං කම්මැලි කමටත් එක්ක පොඩි ආතල් එකක් ගන්න මුන් ටික කළේ තමන් අතේ තියෙන ෆෝන් වලින් කෙල්ලන්ට කෝල් දිදී බයිට් කරන එක෴ නිකං නෙමේ බයිට් කරන්නෙ... ස්පීකර් ෆෝන් හෙවත් ඉලව්ස්පීකර් දාගෙන෴ ඉතිං තම තමන් දන්න අඳුනන කෙල්ලො ඔක්කොම බයිට් කරලත් මුන්ට මදි෴

එකෙකුට හිටි ගමන් උගෙ ගැන් එකේ සිරා ඩයල් එකක් මතක් වුණා෴ (ඌ මළගෙදර සෙට් වෙලා හිටියෙ උගේ නිළ ගැන් එකත් එක්ක නෙවෙයි)

"අඩෝ %^&*^^, අපි මේ මළගෙදරක ඉන්නේ... උඹ දන්න කෙල්ලෙකුගෙ නම්බර් එකක් තියෙනවනං එවපන් බයිට් කරන්න."

"කොහෙද බං මළගෙදර? අපේ ගැන් එකේ............."

"නෑ බං මේ අපේ ගෙවල් පැත්තෙ එකක්. මෙතන අපේ එවුන් නෑ එකෙක්වත්... උඹ දන්න නම්බර් එකකුයි නමයි වයසයි ගහල ටෙක්ස්ට් කරපන් ඉක්මනට.."

"එළ එළ! එළ සිරා බයිටක් තියෙනව... මං එවන්නං...."

"එළකිරි!"


මෙ කී සිරා ඩයල් එක වනාහි සට කපට උපායෙහි අති දක්ෂ වූද... ආතල් දීම අතින් ගැන් එකේ හෙවත් ස්වකීය කල්ලියේ හොඳ නමක් දිනා සිටින්නා වූද... අමුතුම ආරක ඩයල් එකකි෴ මොහු සතුව කෙල්ලන්ගේ දුරකථන අංක කීපයක් ම තිබුණත් ඔහු නොවේ ඒවා වෙනකකුට ලබා දීමට කැමති වූයේ෴ ඒ එක දු කෙල්ලක වත් මල් කඩන, පැණි හලන, නිතර SMS කොටන හෝ වෙනත් නාස්තිකාර ජාතියක කෙල්ලෝ නොවූහ෴ ඔහුට ද එවන් බොළඳ වැඩ සඳහා නාස්ති කරන්නට කාල වේලාවක් ද නො වීය෴ ඇත්තෙන් ම මොහු කී 'සිරා බයිට' කුමක් දැයි දැන ගැනීමට අපි කතාවේ ඉතිරි හරිය කියවමු෴

ඔන්න ඉතිං කොල්ල දස්සයා... ඉක්මනට ගත්ත කෝල් එකක් ස්වකීය මලනුවන්ට... යාළුව කතා කරල කළ ඉල්ලීම ගැන මලයා දැනුවත් කළ අයියා මලයාට නියම උපදෙස් ටිකක් දුන්නා...

ඊට පස්සෙ අයියා යාළුවට SMS එකක් කෙටුව මෙහෙම:
Name Ishani
Age 19
No 078*******

දැං හරි!

මෙතැන් සිට සහෝදර සමාගමේ සිදු වූ කතා බහ ට වඩා යාළු මිත්‍ර සමාගමේ සිදු වූ කතා ටික සඳහන් කිරීම වටී෴

***

"ආ... මචං සුභ අළුත් අවුරුද්දක් වේවා!"

"එසේම වේවා මචෝ!,... මොනවද අළුත් තොරතුරු ඉතිං?"

"අඩෝ.. උඹ දන්නෑනෙ අපි අර කෙල්ලට සිරා බයිටක් දුන්න.. ඒකිට ඒක මීටර් වෙන්නත් ගියා... කෝම හරි නියමෙට දුන්න බයිට"

"ආ... ඇත්තද? කියපංකො බලන්න... මොකද වුණේ?"

"පට්ට යකෝ... අපි කිව්ව අපි මේ............."

"හෝව් හෝව්... පොඩ්ඩක් ඉඳපන්.... මෙන්න බලපන්.."


එසේ කියූ ආතල් 'ඩයල්' එක සිය මිතුරාට අසන්නට සැලැස්වූයේ ස්වකීය පරිගණකයේ කොහේ දෝ කොනක තිබූ ශ්‍රව්‍ය මාධ්‍ය ගොනුවකි෴ තත්පර දහයකුදු ගත වීමට මත්තෙන් 'ආතල් දෙන්නා'ගේ ඇඟට පිනූ බයිට් කරු "අඩෝ.... උඹ මේ මොන ^%$&^%ද කරල තියෙන්නේ.... කොහොමද කියපං තෝ අපි කතා කරපු ඒව රෙකෝඩ් කළේ...." කියමින් මල්ලව පොරයේ ශිල්ප දක්වන්නට විය෴ ඒ කෙසේ වීද යත් සිය පරිගණකය බේරා ගැනීමට ආතල් දෙන්නා හට තරමක පරිශ්‍රමයක් දැරීමට සිදු විය෴

"යකෝ තෝ දන්නවද කවුද කියල මේ?... උඹ කෙල්ලෙක් කියල හිතාගෙන කතා කළේ අපේ මල්ලිත් එක්ක... උඹ තමයි අන්තිමේ බයිට..."

"මොකක්... වෙන්න බෑ... මේ උඹේ කෑල්ල නේද?"

"නෑ යකෝ... අපේ මල්ලිට ‍පුළුවන් යකෝ හොඳට අනුකරණය කරන්න... තෝ පැණිය රැවටුණා..."

"අඩෝ &**%%& මට නං විශ්වාස නෑ"

"දැන් කෝල් එකක් අරං බලපිය ෂුවර් නැත්තං"

"මං නං ඒත් විශ්වාස කරන්නෑ..."

"ඒත් විශ්වාස නැත්තං *&*& ^&^*^* ^&$%&^ මූදට පැනපං... මොකද කියන්නෙ මං දානව මේක බ්ලොග් එකේ"

"උඹට ඕන ^%^&^( කරගනිං.... මං යනෝ බං...."


ඌ කැපුනා.... උගේ අවසරය ඇතුව ඔන්න බ්ලොග් එකේ දැම්මා.... කෝමද වැඩේ?

* පාඨක ඉල්ලීම සලකා බලා... දුරකථන සංවාදයට අදාළ දෙපාර්ශ්වයේම අවසරය ඇතිව මෙන්න බාගෙන අහන්න [392 KB]. රහස්පදය gigabyte.
මේවා සංස්කරණය නොකළ හඬ ගොනු බව සිහි තබා ගන්න (headphone එකක් පාවිච්චිය නිර්දේශිතයි)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Saturday, April 18, 2009

ශාකුන්තලගේ අවුරුදු ආගිය කතා෴

ලැබුවා වූ නව වසරේ පළවෙනි බ්ලොග් සටහන මේ. මේක නිකම්ම නිකං ආගිය කතා ටිකක් විතරයි. පොලිටිකල්, ටෙක්නිකල්, සාහිත්‍යය, අපහාස, මෙකී නොකී අන් සියළුම ආකාර වල බ්ලොග් අඩවි හොයන අයට අද මෙතන කියවන්න දෙයක් නෑ -- වෙනින් දවසක එන්න දෙන්නං හොඳවයින් ටෙක්නිකල් :D . අළුත් අවුරුද්දට අන්තර්ජාලය හරහා මොනවත් කරගන්න බැරි වුණේ අවුරුදු දවසට සතියක් කල් තියෙද්දි මගේ ඩයලොග් අන්තර්ජාල සබඳතාවට කණ කොකා හැඬීම හෙවත් FUP (Fair Usage Policy) ක්‍රියාත්මක වීම නිසා. මම නං ඔය FUP කියන එකේ මුලට තවත් F අකුරක් දාලයි කියන්නෙ... ම්ම්... ඒ ගැන පස්සෙ කතා කරමු.



මේ දවස් වල මගේ වින්ඩෝස් පාවිච්චිය 10% විතර වෙනකම් අඩු වුණා. මොකද ලබන මාසේ Fedora 11 Leonidas ආවම මගේ වින්ඩෝස් පාවිච්චිය 1% දක්වා අඩු වෙන නිසා. ඒ 1%ත් ඉතිං VirtualBox හරහා තමයි. ඉතින් ඔය අස්සේ මට ආයෙම වින්ඩෝස් තියාගන්න එක සලකා බලන්න කාරණා කීපයක් මතු වුණා. පළවෙනි එක.. Dialog FUP ක්‍රියාත්මක වුණාම E220 මොඩම් එකේ band එක මාරු කරගන්න Mobile Partner වුවමනා වීම. දෙවෙනි එක.. E220 මොඩම් එකට SMS කොටන එක ලිනක්ස් වලින් කරන්න බැරි වීම. ඉතින් මම ටෙක්කතා කස්ටියගෙන් ඇහුවම විසඳුමක් දුන්නා.. විසඳුම හරි වුණත් ඒක හරියටම වැඩ කරන්නෙ නෑ තාම :( .

අවුරුදු කාලෙ සුලබ දෙයක්නෙ මේ SMS කොටන එක... අවුරුදු SMS සුභ පැතුම්. මොකද කරන්නෙ... මට එනව කාගෙන් හරි සුබ පැතුමක්... මම කරන්න ඕන තව හතළිකහට විතර ඒක ෆෝවර්ඩ් කරන එක විතරයි.. හරියට මල්ටිබැරල් රොකට් ලෝන්චරයක් වගේ වෙනවා මේ කාලෙට ජංගම දුරකථනය. ඉතින් ඔය SMS සුබපැතුම් ක්‍රමයට මම කැමති නෑ.. මොකද ඒක හරිම යාන්ත්‍රිකයි.. දුරකථන ඇමතුමකින් හිතට දැනෙන දේ SMS එකකට කරන්න බෑ. ඉතින් කෙනෙක් එව්වම උත්තර යවන්නෙ නැතුවත් බෑ නොවෑ. නැත්තං යාළුවො අමනාප වෙනවනෙ. මමත් ඔය කොහෙන් කොහෙන් හරි ආපු එව්ව දෙක තුනක් හතර අතට ෆෝවර්ඩ් කරල දැම්ම. මම සාහිත්‍යකරණයේ දක්ෂයෙක් නෙවෙයි නිසා කවි ලිවිල්ල මට අරහං. ඒත් අන්තිමේ කොහොම හරි අමාරුවෙන් ලියාගත්ත SMS නිසදැස් දෙකතුනක්... සීයකට විතර යවන්න. දැන් ඕක ජංගම දුරකථනයට කොටන්න ඕන.. හපොයි! ඒක මාපටැඟිල්ලෙ පළු යන වැඩක්. මට SMS අප්පිරියා වෙලා තියෙන්නෙත් ඕක නිසාමයි. ඉතින් උදව් වුණේ E220 මොඩම් එකත් එක්ක එන ජංගම සහකරු තමයි. මොකද එතකොට වැඩ ලෝඩ් එක ඇඟිලි දහයට විමධ්‍යගත (වචනෙ හරිද දන්නෑ :P ) කරන්න පුළුවන්නේ... ඉතින් ඕකෙන් මේකෙන් මගේ M$ Windows පාවිච්චිය මේ දවස් වල ටිකක් වැඩි වුණා ආපහු.



තව මාසෙකින් වින්ඩෝස් අයින් කරන එකේ මම පටන් ගත්තා මගේ ප්‍රියතම පරිගණක ක්‍රීඩාව අවසාන වතාවට සෙල්ලම් කරන්න. මොකද ආයෙම මේක මට සෙල්ලම් කරන්න ලැබෙන්නෙ නෑ. මගේ ප්‍රියතම පරිගණක ක්‍රීඩාව වෙන මොකක්වත් නෙවෙයි... Grand Theft Auto - Vice City. මේ පරිගණක ක්‍රීඩාවට පසුබිම් වෙලා තියෙන කතාව හරිම සිත්ගන්නාසුළුයි. GTA San Andreas, Liberty City කියල තවත් ඒව තිබුණට ඒ එකක්වත් මට හරි ගියෙ නෑ (not my style). Cheat code එකක්වත් පාවිච්චි නොකර මම මේක ආයෙත් වතාවක් අවසාන කළා. එළ!



ඔය අස්සෙ වැදගත් වැඩත් සෙට් වුණා... මේ දවස් වල bruteforcer මෘදුකාංගයක් සකස් කරනවා (මේක FOSS වෙන්නේ නැත - මගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා පමණි) ... මගේම ක්‍රමයකට අනුව ගේමක් ගහන්න. මේ වගේ එව්වා අන්තර්ජාලයෙන් බාගන්න පුළුවන් වුණත් ඒ එක්ක එන්න පුළුවන් ට්‍රෝජන් අශ්වයෙකු ගැන තියෙන බය නිසා මට විශ්වාසයි මම ම හදා ගන්න ඒවා. ඒ ගැන වැඩි විස්තර forbidden!

පිං අතේ නිදහස්ලාන්සරයකුත් සෙට් වුණා. අවුරුද්දට කිරිකැට් ගහන කොල්ලො සැට් එකකට පරිගණකගත ලකුණු දාන සිස්ටම් එකක් ඕනැලු. ඉතිං ඒකත් කරමින් පවතිනවා. මම ඒ වැඩේ කරන්නෙ Microsoft Visual Basic 2005 පාවිච්චි කරල, හැබැයි දුවන්නෙ VirtualBox එකෙන් (ලිනක්ස් මත). අතරමග කිසි අවුලක් ආවෙ නෑ. ඉතින් මේක හොඳ නිමිත්තක් වින්ඩෝස් වලට මගේ දෘඩ තැටියෙ වෙනම විශේෂිත ඉඩක් (partition එකක්) අනවශ්‍ය බවට. :)



සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙ බ්ලොග් මැරතන් එකත් ඔන්න උදා වුණා. වැඩේ නං ආතල්. ඒත් නින්ද අඩුකම මගේ ශරීර සෞඛ්‍යට අහිතකර විධියට බලපාල තියෙන නිසා මේ සැරේ මම මැරතන් ආවෙ නෑ. හැබැයි සැරින් සැරේ IRC චැනල් එක පැත්තෙ නම් ආවා. ඉතින් ඔය වෙලාවෙ මගේ Pidgin සහ Firefox යන වැඩසටහන් දෙකම වැඩ. ඒත් මදි වෙලා මම Opeara එකත් දාගත්තා. Chrome තිබුණනං ඒකත් දාගන්නවාමයි :P .

ඔය මැරතන් පැත්තෙ එන්න කලින් මම ගියා පොඩි රවුමක්... අවුරුදු සංගීත සංදර්ශණයක් එහෙම බලල.. ග‌ම් පළාතේ යාළුවො සැට් එකත් එක්ක ආතල් එකක් දාන්නත් අමතක කළේ නැහැ. ඒක අන්තිමේ ඉවර වුණේ වෙන කොහෙද කණ්ඩායම් දෙකක් හිස් මද්‍යසාර බෝතල් වලින් අවුරුදු ක්‍රීඩා වල හොඳම එක කරන්න පටන් ගත්තයින් පසුව. මාත් හිමීට සේප් වුණා... මොකද අනවශ්‍ය ප්‍රශ්න වලට මැදි වෙන්න ඕන නැහැනේ... කැම්පස් යන අපි දැකල නැති වලි! හික් :D .

ඔන්න ඊට පස්සෙ තමයි හිමීට බ්ලොග් මැරතන් අයි ආර් සී කාරයො ටිකට සැට් වුණේ. උන් ටිකත් එක්ක ටිකක් වෙලා සෙල්ලං කළා. කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස වැඩි වෙලා තිබුණා... ටිකක් වෙලා ගියාම තමයි තේරුණේ සමහරුන්ගෙ මාරු වෙලා තිබුණෙ වයර් විතරක් නෙවෙයි කියල! අනේ සංසදේට ගිය කලක්!! බිපෙසි. :D



අවුරුදු නිවාඩුවත් ඉතින් ගෙවිල ගියා.. දැන් 20 වෙනිද ආපසු කොළඹ බලා ගමනේ යා!

ඉතින් දයාබර කියවන්නෙනි, ලැබුවා වූ නව වසර ඔබට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි අර්ථවත් සුභ නව වසරක් වේවා!

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Thursday, April 9, 2009

ඊ මේල් ශ්‍රී ලංකා - සපෑම්කරණයේ නවතම ක්‍රමෝපාය

ඊයෙ මට මරු ඊ මේල් එකක් ලැබිල තිබුණා. Google Groups වලින් ඒක ඇවිත් තිබුණේ. මාව ඊ මේල් ශ්‍රී ලංකා කියල Google Group එකකට එකතු කරල ලු. ඒ Google Group එකට මාව එකතු කරල තිබුණෙ මම දන්න කෙනෙකුත් නෙවෙයි. මේ තියෙන්නෙ මට ආපු ඊ මේල් එක:



දැන් පේනව නේද මේක මොකක්ද කියල. මේ Group ඔක හදපු අය කරන්නෙ විද්‍යුත් තැපැල් ලිපින එකතු කරන එක. ඔය රූපයෙ නිල් පාටින් සලකුණු කරල තියෙන විද්‍යුත් තැපැල් ලිපිනය මම දන්න එකක් නෙවෙයි. ඒක දැක්කම ඕන කෙනෙකුට හිතාගන්න පුළුවන් මේක group එක වෙනුවෙන්ම හදපු විද්‍යුත් තැපැල් ලිපිනයක් කියල. මම දන්න හඳුනන කෙනෙක් නම් කීයටවත් මෙහෙම කරන්නෙ නෑ. මම නිකමට About this group පැත්තේ ගිහින් බැලුවා. මේ ලියන මොහොතේ සාමාජික සංඛ්‍යාව 11658ක්! අපේ ‍රටේ ඊ මේල් forward කරන අයගෙ තරම හිතාගන්න පුළුවන් නේද දැන්. Foraward කරන ඊ මේල් වලින් තමයි ප්‍රධාන වශයෙන් මේ අය ලිපින එකතු කරන්නේ. SBU එකටත් ඉන්නෙ සාමාජිකයො 548යි. ලිපින 11658ක් මගේ විද්‍යුත් තැපැල් ලිපිනය වගේම අනවසරයෙන් එකතු කළ ඒව බව දැන් පැහැදිලියි. මේකත් හොඳින් බලන්න:

Anybody can view group content
Only managers can view group members list
Anyone can join
Only managers can create and edit pages
Only managers can upload files
Announcement only
ඔය දැනුම් දීම් පමණයි කියන්නෙ වෙළඳ දැන්වීම් වෙන්ට ඕන නේද? :D

අපේ රටේ අන්තර්ජාලය පාවිච්චි කරන අයගෙන් බොහොමයක් දෙනා තමන්ගෙත් අනුන්ගෙත් පෞද්ගලිකත්වය ගැන උනන්දු නැහැ. ඒ වගේම අළුත් තාක්ෂණයත් එක්ක ඔට්ටු වෙද්දි තමන්ගෙ අයිතිවාසිකම් ගැන උනන්දුවකුත් නැහැ. ටිකක් හිතන්න, ඔබේ ගෙදර ලිපිනයට කවුරුහරි දිගට හරහට වෙළඳ දැන්වීම් එවන්න පටන් ගත්තොත් ඔබට ඒක හිරිහැරයක් නොව් ද? ඒ වගේමයි, අත්‍යවශ්‍ය පණිවුඩයක් යවන්න/ ලබාගන්න තියෙන විද්‍යුත් තැපෑලටත් වෙළඳ දැන්වීම් එන්න ගත්තොත් මළ කරදරයක් වෙන්නේ. ඒක දැනෙන්නෙ මුලින් සතියට දැන්වීම් එකක් දෙකක් එනකො‍ට නෙවෙයි. ටික කලක් යනකොට දවසට දැන්වීම් එක-දෙක ගානෙ එන්න ගත්තමයි. ඒ නිසා තමයි මම ඔය ඉහත රූප සටහනේ රතු පාටින් පෙන්නල තියෙන, Google විසින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කළේ. :D

ඊට අමතරව මම තවත් දෙයක් කළා. ඊ මේල් ශ්‍රී ලංකා Google Group එකේ මුල් පිටුවට ගිහින් ඒකෙ පහළම තිබුණ Report Group ලින්ක් එක ක්ලික් කරපු එක. Report Group ලින්ක් එක ක්ලික් කළාම එන පිටුව හරහා, මේ Group එක ස්පෑම් සඳහා නිර්මාණය වූවක් කියල Googleට දැනුම් දුන්නා. (සිංහලෙන් තියෙන Group Description එකේ ඉංග්‍රීසි පරිවර්තනයකුත් එක්කයි යැව්වෙ :D ) එහෙම කළාම Google විසින් ඒ group එක ඉවත් කරනවා. ඉතින්, මේ සටහන කියවන ඔබටත් මම ආරාධනා කරනවා... ස්පෑම්කරණයට විරෝධය දක්වන්නට. වාර්තා කරන්න මේ ගැන Googleට. ඔබ එහෙම කළා කියල මේ group එක නිර්මාණය කළ අයට ඔබව හොයාගන්නවත්, ඒ ගැන මොනවත් කරන්නවත් ඉඩක් ලැබෙන්නෙ නැහැ.

මේකෙ මුල් පිටුවෙත් හරි ලස්සන දේවල් තිබුණා. ජාතික කොඩිය රැගත් හමුදා භටයෙක් එක්ක ඉන්න පොඩි ළමයි, 60 වන නිදහස් සමරුව තේමා කරගත් රූපය -- මේව දැන් මාකට් බඩු බවට පත් වෙලා තියෙන එකත් ඉතාමත්ම කණගාටුදායකයි.


E-mail Advertising? Is it ethical to do it without any permission?


කොහොම වුණත් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, මට එන විද්‍යුත් තැපැල් ලිපි ගැන මම සෑහෙන සැලකිලිමත් වෙනවා. Blogger Profile එකේ මගේ විද්‍යුත් තැපැල් ලිපිනය දාල තියෙන්නෙ කෙනෙකුට අවශ්‍ය වුණොත් මාව සම්බන්ධ කරගන්න මිසක් ස්පෑම් කරන්න නෙවෙයි. මේ ළඟදි මට දැකල පුරුදු මූණක්, මොකක්දෝ සලකුණක්, කතිරයක් හා අංකයක් තියෙන ඊ මේල් එකකුත් ආවා. ඒකටත් මම කළේ Report Spam ම තමා. අපේක්ෂක තුමා ළඟ පාතක හිටියෙ නැති නිසා ම හොඳා. :D

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Saturday, April 4, 2009

GRUB මෙනු එකට කැමති පිංතූරයක් දාමු

Fedora පාවිච්චි කරන අය දැකල ඇතිනෙ boot menu එකේ පසුබිම ලස්සන රූපයක් තියෙනවා... සමහර ලිනක්ස් බෙදාහැරීම් (උදා: Ubuntu) වල මේ වගේ ලස්සන රූපයක් GRUB එකත් එක්ක ඉබේ ස්ථාපනය වෙන්න සකසල නෑ. ඒක අපට තමයි දාගන්න වෙන්නෙ. අද සටහන ලියවෙන්නෙ මේ රූපය වෙනස් කරගන්න හෝ අළුතෙන් එකක් දාගන්න ක්‍රමය ගැන.


මේ තියෙන්නෙ Fedora වල තියෙන එක

මේ වැඩේට අපට ඔන වෙනවා GIMP හෝ එවැනි ඡායාරූප සංස්කරණ මෘදුකාංගයක්. අපට අවශ්‍ය අනෙක් මෘදුකාංග Fedora, Ubuntu, Mandriva, openSUSE ඇතුළු බොහොමයක් ලිනක්ස් බෙදාහැරීම් සමඟ ලැබෙනවා. GIMP එකත් Ubuntu හා Fedora සමඟ ලැබෙනවා. ඒත් අනෙක් ඒවට කොහොමද දන්නෙ නෑ. මුලින්ම Alt+F2 යතුරුලියනය කරන්න. දැන් එන Run Application වින්ඩෝ එකේ gimp කියල යතුරුලියනය කරල Enter කරන්න. GIMP නැත්තම් දාගන්න GIMP.

GIMP මගින් 640 x 480 ප්‍රමාණයට අවශ්‍ය පින්තූරය සකසාගන්න (Image --> Scale Image...). GIMP හි Image --> Mode --> Indexed... වෙත ගොස් වර්ණ සංඛ්‍යාව 16කට සීමා කරගන්න. එය X PixMap ක්‍රමයට home directory එක තුළ සුරකින්න. මේ උදාහරණයේදී එය splash.xpm ලෙස ගනිමු.



දැන් terminal එකට ගිහින් පහත දැක්වෙන විධානය දෙන්න.

gzip splash.xpm

දැන්, අපි හදපු xpm ගොනුව, splash.xpm.gz ලෙස gzip archive එකක් බවට පරිවර්තනය වී තියේවි.

ලිනක්ස් මෙහෙයුම් පද්ධති කීපයක් ස්ථාපනය කරගෙන ඉන්නවනම් අවසන් වරට ස්ථාපනය කළ ලිනක්ස් පද්ධතියෙ ඉඳගෙන ඉතිරි ටික කරන්න. අපට ඉතිරි හරිය කරන්න GUI එකක් ඕන නෑ. මීළඟ පියවර... terminal එක විවෘත කරගෙන පහත දැක්වෙන විධානය දෙන්න.

mount

මේ වගේ උත්තරයක් ලැබේවි:

/dev/sda6 on / type ext3 (rw,relatime,errors=remount-ro)
tmpfs on /lib/init/rw type tmpfs (rw,nosuid,mode=0755)
/proc on /proc type proc (rw,noexec,nosuid,nodev)
.
.
.
/dev/sda5 on /media/Media type fuseblk (rw,nosuid,nodev,allow_other,blksize=4096)

මෙතනින් අපි හොයාගන්න ඕන root directory එක, නැත්තම් / ලෙස mount කරල තියෙන partition එක. මගේ මේ උදාහරණයේදී එය sda6. දැන් තවත් කාරණයක් තියෙනවා... අපි මේ හදාගත්ත පින්තූරය තියෙන තැන GRUBට කියන්න පාවිච්චි කරන්නෙ /boot/grub/menu.lst කියන ගොනුව. එතනට මේ පින්තූරය තියෙන partition එක දෙනකොට දෙන්න ඕන (hdx, y) ආකාරයට. මෙතන x කියන්නෙ දෘඩ තැටි අංකය. y කියන්නෙ partition අංකය. මේ දෙකම ඇරඹෙන්නෙ 0න්. උදාහරණයක් විධියට.. පළමු දෘඩ තැටියෙ පළවෙනි partition එක නම් (hd0, 0) වෙන්න ඕන. මේ උදාහරණයෙදි මට ලැබුණෙ sda6 නිසා මම පාවිච්චි කරන්න ඕන (hd0, 5) ලෙස. sda6 කියන එකේ a=1, ඒ නිසා hd0,.. 6 තියෙන නිසා (hd0, 5). වැඩි විස්තර මෙතනින් බලාගන්න.

දැන් terminal එකේ පහත දැක්වෙන විධාන එකින් එක දෙන්න.

su
mv /home/shaakunthala/splash.xpm.gz /boot/grub/ (මෙතන shaakunthala වෙනුවට ඔබේ පරිශීලක නම)
vim /boot/grub/menu.lst

දැන් අපි menu.lst ගොනුව විවෘත කරගත්තා... එහි තියෙන පහත දැක්වෙන යොමු සොයාගෙන ඒවා ඉදිරියෙන් hash (#) සළකුණක් බැගින් දාන්න. # සලකුණ මගින් ඒ ඒ යොමු අක්‍රිය වෙනවා. කැමති නම් මකා දමන්නත් පුළුවන්. ඒත් ලිනක්ස් වලට අළුත් කෙනෙක් නම් මකා දමන එක මම අනුමත කරන්නෙ නැහැ.
(ගොනුව සංස්කරණය කරන්න කලින් යතුරු පුවරුවේ INSERT යතුර එබිය යුතුයි)
  • color
  • hiddenmenu
දැන් පහත දැක්වෙන යොමුව සොයාගන්න. එය ඉදිරියෙන් # සලකුණු තියෙනවනම් ඒ # සලකුණු ඉවත් කරන්න.
  • splashimage
එය පහත දැක්වෙන ආකාරයට සකසන්න.

splashimage=(hd0,5)/boot/grub/splash.xpm.gz (hd0, 5 කියන්නෙ අපි මේ සටහනේ කලින් පියවරකදි දීල තියෙන ක්‍රමයට අනුව partitoin එකේ නම විධියට මට ලැබුණු එක. ඒ වෙනුවට ඔබ ඒ සඳහා සොයාගත් නම ආදේශ කරන්න)

දැන් ESC යතුරුලියනය කර, wq යතුරුලියනය කිරීම මගින් vim වෙතින් ඉවත් වෙන්න.

දැන්, අවසාන වශයෙන්,

chown root /boot/grub/splash.xpm.gz
shutdown -r now



මම හැකි පරිදි කාටත් තේරුම්ගන්න හැකි වේවි කියල මට හිතෙන ක්‍රමයට මේක ලිව්වා. තේරුම් ගන්න අපහසු තැනක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. මම උත්තර දෙනවා :) .


෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Thursday, April 2, 2009

කම්බිපණු ලෙඩේට ගොඩවෙදකම


මේ සිද්ධිය වුණේ ඊයෙ... අප්‍රේල් පළවෙනිදා... අප්‍රේල් 01 කියන්නෙ අපේ ගොඩක් බ්ලොග්කරුවන් උත්සවශ්‍රීයෙන් සමරන දවසක්නෙ. සිංහලෙන් CSS කියයි... ලිනක්ස් ගුරාලට වින්ඩෝස් හොඳයි කියයි... එක විකාරයයි. ඒ නිසා මේක ඊයෙ නොලියා අද ලිව්වා -- නැත්තං මොකක් හරි බොරුවක් කියල හිතයි කස්ටිය. ඉතින් යාළුවො ඔක්කොම පාටි දානකොට සමරන්නෙ නෑ කියල පැත්තකට වෙලා ඉන්න පුළුවන්ද? ඉතිං මාත් ට්වීටරේ දැම්ම මෙහෙම:
Now I'm on Ubuntu, which provides a fast and very secure computing environment. No more f****** Windows.
තරු ටික බලධාරියා විසින් කපා හරින ලදී. ;)

හික්. :D වින්ඩෝස් අයින් කරල මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙලා වින්ඩෝස් අවශ්‍යම වුණොත් හීනෙන් (ඒ කිව්වෙ VirtualBox හරහා) වින්ඩෝස් පාවිච්චි කරන්න අදහසක් තියෙනව. තාම මාරු වුණේ නෑ. ඒත් ඒකට තව ටික කාලයක් තියෙනව. අනෙක... මම මාරුවුණාම දාන්නෙ Ubuntu නෙවෙයි Fedora. ඉස්සෙල්ලම ජංගම දෘඩ තැටියක් හොයාගන්න ඕන මගේ ගිගාබයිට් සීයක විතර අනංමනං backup කරන්න. ඉතින්... මේක ලියන්නෙත් වින්ඩෝස් මත ඉඳගෙන. සමහර විට වින්ඩෝස් මත ඉඳගෙන ලියන අන්තිම බ්ලොග් සටහන මෙය වෙන්නත් පුළුවන්.

මම පහුගිය දවස් ටිකේ Ubuntu දාගත්තනේ ආපහු... පොඩි අත්හදා බැලීම් කීපයකට. ඔය අතරෙම පොඩි පොඩි සෙල්ලං ටිකක් දාන්න ගිහින් Fedora වැඩ කරන්නෙ නැතුව ගියා. හාඩ් ඩිස්ක් එකෙත් ඉඩ මදි වගේ නිසා, මගේ හාඩ් එක ළඟදිම මුළුමනින්ම format කරන නිසා, බොහොම හිතුවක්කාර තීරණයක් ගත්තා. ඒක තමයි Fedora තිබුණ partition එක ඩිලීට් කරන්න. මොකද Fedora වලට ගිගාබයිට් 6ක ඉඩකුත්, Ubuntu වලට ගිගාබයිට් 3.5ක ඉඩකුත් වැය වෙලා තිබුණා. මම වැඩි ඉඩක් ගන්න පුළුවන් එක මැකුවා... හදිසියට. වැඩේ කළේ Windows Management Console එකෙන්. වැඩිදුර නොහිතා කළ මෝඩ වැඩක්. :(

මළ කෙළියයි! මැෂිම බූට් වෙන්නෙ නෑ!! :( Error 22 ලු.
ලිනක්ස් පාවිච්චි කළ මුළු කාලය ඇතුළත මගේ ස්වේද ග්‍රන්ථි ක්‍රියාකාරීත්වය උපරිම කළේ මේ error එක තමයි. ඉතින් හොඳ වෙලාවට ළඟ යාළුවෙකුගෙන් Ubuntu Live CD එකක් ඉල්ලගන්න පුළුවන් වුණා. ඒකෙන් බූට් කරගෙන ගියා කම්බිපණු අත්පොතට. (හොඳ වෙලාවට Ubuntu, Huawei E220 සාදරයෙන් පිළිගන්නවා -- නැත්තං සොරි.com තමා) මේ තියෙන්නෙ ඒකෙ තිබුණු විස්තරේ...
22 : No such partition
This error is returned if a partition is requested in the device part of a device- or full file name which isn't on the selected disk.
මම ඒපාර parted එකෙන් අපහු හැදුවා ext3 partition එකක්. Reboot කළා. ඔන්න දැන් කියාපි Error 15 කියල!
ආපහු ගියා Live,.. බැලුවා කම්බිපණු අත්පොත.
15 : File not found
This error is returned if the specified file name cannot be found, but everything else (like the disk/partition info) is OK.
දැන් මොකද කරන්නේ... මට වැටහෙන තරමින් මේක boot sector එකත් එක්ක කරන්න ඕන සෙල්ලමක්... Boot sector සංස්කරණය කරන්න දෙන්නෙ නැහැනෙ.. සාමාන්‍යයෙන්. ක්‍රමයක් හොයාගත්තත් මගේ දැනුම් සීමාවෙන් පිටත තියෙන දෙයක්... කලින් අත්හදා බලා නැහැ. මේ හිස් partition එකට ආපහු ලිනක්ස් දැම්මොත් සියල්ල හරි බව මම දැනගෙන හිටියා. ඒත් ඒක‍ට වෙලාව මදි. ඊළඟ විසඳුම වෙන්න පුළුවන් එකත් මම දැනගෙන හිටියා. ඒ grub-install. ඒක කළොත් මගේ වින්ඩෝස් පාටිෂන් වලට කෙළවෙයිද? බයයි. අත්හදා බැලීම් වලට වෙලාව නෙවෙයි මේක.

ඉතින්... සිහියට ආවා පොඩි ගොඩවෙදකමක්. මේක forum එකක තිබුණ එකක් නෙවෙයි... ඒව‍යෙ ගොඩවෙදකම් දෙන්නෙ නැහැනේ... මෙන්න Ubuntu Live එකේ ඉඳලා කරපු එක:

sudo bash
mkdir /1
mount -t ext3 /dev/sda8 /1 (Ubuntu installation එක තිබුණේ sda8 මත)
mkdir /2
mount -t ext3 /dev/sda9 /2 (Fedora තිබිලා... මකලා... ආපහු හදලා... වධ විඳපු partition එක sda9)
cp -rv /1/boot /2/
shutdown -r now

මොකක් හරි අවුලක් වුණොත් menu.lst සංස්කරණය කරලා යන්න පුළුවන් නේද කියල කල්පනා කරමින් මම LCD තිරය දිහා බකන්නිලාගෙන හිටියා... මෙන්න වැ‍ඩේ හරි! :) :) :) සිරාවට වැඩ!! මේක හරි නොගියනම්... මම assignment වෙලාවට බාර‍දීල හමාරයි. එල්ලෙන්න තමයි වෙන්නෙ. :-/

කෝමද ටිකිරි මොළේ?

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴