Sunday, May 31, 2009

මම Windows 7 දැම්මෙමි෴

මේ දවස් වල කවුරු කවුරුත් Windows 7 ගැන කතා කරන නිසා මටත් හිතුණ Windows 7 දාල බලන්න. ලිනක්ස් වලට මාරු වුණා කියල අළුත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් අත්හදා බලන්න තහනමක් නැහැනේ. ;)

ඉතිං මමත් දැම්මා බිල් මහත්තැන්ගේ කොම්පැණියේ අළුත්ම නිමැවුම :-O Windows 7!

මගේ ලැප්ටොප් එකේ දෘඩ තැටිය දැන් මුළුමනින්ම ext-3 (දත්ත අස්ථානගත වීමේ අවදානම නිසා මම ext-4 පාවිච්චි කරන්නෙ නැහැ). Bootloader එක විධියට පාවිච්චි කරන්නෙ GRUB. වින්ඩෝස් කියන රාත්තල් 600ක් බර ගෝරිල්ලට සිරිත් පරිදිම GRUB අරහං බව දන්න නිසා මම ඒ වෙනුවෙන් වෙනම partition එකක් හදන්න කරදර වුණේ නැහැ. දැම්ම Sun VirtualBox. ආසන්න වශයෙන් ගිගාබයිට් 5 කින් වැඩෙත් ෂේප්. මේ ගැන මම කලින් කඩ්ඩෙන් කොටපු ලියවිල්ලක් බලන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න.



VirtualBox පාවිච්චි කරන අය දන්නව ඇති (සමහරවිට නොදන්නවත් ඇති) ඒකෙ තියෙන Seamless Mode කියන පහසුකම ගැන. මටත් මේ ගැන කිව්වේ බ්ලොග් ලියන අපේ මිත්‍රයෙක්. සාමාන්‍යයෙන් virtual machine එකේ ධාවනය වන වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නෙ ලිනක්ස් ඩෙස්ක්ටොප් එකෙන් බැහැරව වෙනමම window එකක් ඇතුලෙ. නමුත් Seamless Mode පාවිච්චි කරනවනම් මේ මෙහෙයුම් පද්ධති දෙකේම ධාවනය වන වැඩසටහන් එකම ඩෙස්ක්ටොප් එකට ගන්න පුළුවන්. වින්ඩෝස් ඩෙස්ක්ටොප් එකේ පසුබිම් රූපය අතුරුදන් වෙලා, වින්ඩෝස් taskbar එක Gnome/KDE පැනලය උඩට ඇවිත් මෙහෙයුම් පද්ධති දෙකත් එක්කම එකවර වඩා පහසුවෙන් වැඩ කරන්න පුළුවන් පරිසරයක් එයින් නිර්මාණය කර දෙනවා. මේක පැහැදිලි වෙන්න පහත දැක්වෙන තිරපිටපත බලන්න.


එකම කතාවක් - අවසානයන් දෙකක්
(Mozilla Firefox 3.0.10 සහ Windows Internet Explorer 8 [VirtualBox Seamless Mode])

Seamless Mode පහසුකම නිර්දේශ කරල තියෙන්නෙ Windows XP මෙහෙයුම් පද්ධතියට. නමුත් පොඩි වෙට්ටුවක් දාලා ඒක පහසුවෙන්ම Windows 7 මෙහෙයුම් පද්ධතියට හරියන විධියට හදාගන්න පුළුවන්. ;)

මුලින්ම මම Seamless Mode ගැන නොදන්න අයට ඒක ගැන තවදුරටත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. Virtual machine එක ධාවනය වෙන අතරෙදි ඒකෙ තියෙන Machine මෙනු එකේ Seamless Mode කියන අයිතමය ක්ලික් කළාම Seamless Mode වෙත පිවිසෙන්න පුළුවන්. නමුත් මේ මෙනු අයිතමය සාමාන්‍යයෙන් අක්‍රියවයි පවතින්නේ. ඒකට හේතුව VirtualBox ඇතුළෙ ධාවනය වෙන virtual machine එක, host මෙහෙයුම් පද්ධතියෙ ඩෙස්ක්ඩොප් පාරිසරිකයට අනුගත විය යුතු ආකාරය දැන නොසිටීම. ඒක කරන්න අවශ්‍ය driver software එකක් virtual machine එකේ ස්ථාපනය කළ යුතුයි. මේ drivers තියෙන iso ගොනුවක් (~ 25 MB) අපට අන්තර්ජාලය හරහා බාගන්න පුළුවන්. එය හඳුන්වන්නේ VirtualBox Guest Additions යන නමින්. virtual machine එකෙන් iso ගොනු mount කරන්න පුළුවන් නිසා CD එකකට පිටපත් කරගැනීම අවශ්‍ය වෙන්නෙ නෑ. Virtual machine එකේ Windows ධාවනය වෙන අතරෙදි, machine එකේ Devices මෙනු එකේ තියෙන Install Guest Additions අයිතමය ක්ලික් කළාම අදාළ ගොනුව බාගත වෙලා ස්වයංක්‍රීයවම mount වෙයි. මෙන්න අවශ්‍ය නම් Guest Additions 2.0.4 වෙළුම බාගන්න.

Guest Additions iso එක mount කළා නම් දැන් virtual machine එකේ Windows Explorer/My Computer වලින් CD drive එක විවෘත කරලා VBoxWindowsAdditions.exe ගොනුව විවෘත කළාම Guest Additions ස්ථාපනය වෙයි. ඉන්පසුව virtual machine එක එක්වරක් ප්‍රතිපණගැන්වූවාම කරදරයක් නැතිව Seamless Mode වෙත පිවිසෙන්න පුළුවන්.

නමුත් මේ Guest Additions හදල තියෙන්නෙ Windows XP සඳහා. Windows 7 දී Guest Additions ස්ථාපනය කරන්න ගියාම දෝෂ පණිවුඩයක් පෙන්වලා ස්ථාපනය මඟහරිනවා. දැන් කියන්න යන්නෙ මම මුලින් කිව්ව වෙට්ටුව ගැන. ඒක වචන වලින් කියනවට වඩා පැහැදිලි වෙයි මීළඟ තිරපිටපත බලනව නම්.


අපැහැදිලි නම් තිරපිටපත මත ක්ලික් කරන්න

ඔහොම කරල VBoxWindowsAdditions.exe ගොනුව විවෘත කළාම කිසි ආබාධයක් නැතුව වැඩ.

ඉතින් දැන් Windows 7 ගැන ලියන්න ගත්ත සටහනේ මම වැඩි හරියක් ලියල තියෙන්නේ VirtualBox ගැනද මන්දා... කොහොම නමුත් කරල බලන්න. Seamless Mode අමුතුම අත්දැකීමක් වෙයි. ;)



දැන් වටවන්දනාව අහවර කරලා එමුකො ආපහු මාතෘකාවට... Windows 7. මේක පෙනුමින් Windows Vista පද්ධතියට වඩා වැඩි වෙනසක් නැති වුණත් අළුත් taskbar එක නම් අපූරුයි. Taskbar එකේ ඉඩකඩ ඉතිරි කරගන්න යොදාගෙන තියෙන අළුත් ක්‍රමය හොඳයි.

වේගය අතිනුත් Windows 7 හොඳයි. අවම වශයෙන් 1 GB RAM ඉල්ලලා තිබුණත් 512 MB RAM එකකත් වැඩ. හැබැයි දැනගන්ට ඕනෙ... Ubuntu වල නම් visual effects එක්ක වැඩ කරන්න ඕන කරන අවමය 384 MB බව. ;)

මම Guest Additions වල තියෙන VGA driver එක ස්ථාපනය කරල තියෙද්දිත් වින්ඩෝස් වල Aero Effects නම් වැඩ කළේ නැහැ. ඒ වගේම VirtualBox වලදි Windows 7 audio වැඩ කරන්නෙත් නැහැ. ඒ ගැන හොයද්දි තමයි දැනගත්තෙ Windows 7 Troubleshooter කියන්නෙ Windows XP Troubleshooter එකටත් වඩා මෝඩ ජෝක් එකක් කියල. :D

මීළඟ තිරපිටපත බලන්න. ඒකෙ විකල්ප දෙකක් තෝරාගන්න දීල තියෙනවා.



මොන වැඩේ වුණත් මම නම් තෝරන්නෙ දෙවැන්න. පළමුවැන්න තේරුවම එන එක දැක්කනම් ඒ මොකද කියල හිතාගන්න පුළුව්න්.



ඔහොම කියන්නෙ නැතුව වැඩේ බැරි එක කලින්ම බෑ කිව්වනං අපි forum එකකින් හරි බ්ලොග් එකකින් හරි හොයාගන්නවනේ පිළියමක්. Explore Additional Options කියන එක ක්ලික් කරන පරිශීලකයා බලාපොරොත්තු වෙන්නෙ මොකක් හරි අළුත් යමක් -- පිළියමක්. එහෙම නැතුව එකම විධියෙ කතන්දරේ හැම වෙලාවෙම දැක්කම එපා වෙනවා. Windows XP පාවිච්චි කරන කාලෙත් මට එපාම කරල තිබුණ යෙදුම තමයි Troubleshooter එක. ඒකෙන් ඇති වැඩක් වුණේ නැහැ. නිකං කාලය නාස්ති වුණා විතරයි.

කොහොම වුණත් Windows කැමති අය Windows 7 දාල බලන්න... අළුත් අත්දැකීමක් වෙයි. ;)

Windows 7 ගැන අදට එපමණයි. දිගින් දිගටම Windows 7 පාවිච්චි කරන්න බලාපොරොත්තුවක් නැහැ වුවමනාවක්ම වුණොත් VirtualBox එකෙන් Windows XP පාවිච්චි කරනව මිසක්. මට හොඳයි නිදහසේ ඕන දෙයක් කරන්න ඉඩදෙන ලිනක්ස්ම. ;)

බාගැනීම්:
මේ සටහනේ ලිව්ව VirtualBox Seamless Mode ක්‍රියාත්මක කිරීම ගැන අපැහැදිලි තැනක්/ගැටළුවක් එහෙම තියෙනවනම් comment එකක් දාන්න. ඕනම ආකාරයක ප්‍රශ්න වලට මම උත්තර දෙනවා. :)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Saturday, May 30, 2009

මගේ laptop එකට වූ හදිය!

එක කාලයක මට සරසවි දේශන වලට සහභාගී වෙන්න දිනපතා අම්බලන්ගොඩ-බම්බලපිටිය අතර දුම්රියෙන් යාම් ඊම් කරන්න සිද්ධ වුණා. එක ගමන්වාරයකට පැය දෙකකටත් වඩා කාලයක් අපතේ යන නිසා මම කල්පනා කළා ඒ කාලයෙනුත් ප්‍රයෝජනයක් ගන්න. දුම්රියේ ගමන් කරන අතරෙදි ලැප්ටොප් එකත් දිගඇරගෙන මොකක් හරි වැඩක් කරන්න පුරුදු වුණේ එහෙමයි.

දුම්රියේ එහාට මෙහාට වැනි වැනී eBook කියවන කාලෙ එකපාරටම මගේ ලැප්ටොප් lid එකේ තද ගතිය ටිකක් අඩු වුණා වගේ දැනුණා. දැන් යන්තම් අත වැදුණත් lid එක පහළට එනවා. මම හිතුවෙ දුම්රිය නිතර ඉහළ පහළ ගැස්සෙනකොට lid එකත් ඉහළ පහළ ගැස්සෙන නිසා ලැප්ටොප් lid එකේ hinge ගෙවිල කියල. ඒත් ඊයෙ දැනගත් විධියට ඒක එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ... දුම්රියේ නැළවිල්ල වැඩිකමටම එක hinge එකක් පුපුරලා! :-O

ඊයෙ රෑ මම ලැප්ටොප් එක මස් කළේ දූවිලි පිසදමන්න. මට ඔය අතරෙ නිකමට හිතුණ මේ lid අවුල ගැනත් බලන්න. එතකොට තමයි මේ ශෝචනීය දසුන දකින්න ලැබුණෙ :( . Hinge එක හදල තියෙන්නෙ 'චීනච්චට්ටි පෙනුමක්' තියෙන සවි ගැන්වූ විශේෂ රෙසින් ප්ලාස්ටික් වර්ගයකින්. ඒක universal joint එකක් වෙලා තිබුණා. :(


මේ hinge එක ඉවත් කළ පසු

ඉතිං මම මේකට පොඩි පිළියමක් කරන්න කල්පනා කලා. ඒ තමයි පිපිරුමේ එළියට නෙරල තියෙන කොටසට 'ඇතුලට පල!' කියල රබර් මිටියකින් පහර කීපයක් ගහල ඉපොක්සි මැලියම් වර්ගයකින් අලවන්න. (ඉපොක්සි මැලියම් කිව්වෙ අර මැලියම් ටියුබ් දෙකකින් අරගෙන කලවම් කරලා ඉක්මනින් පාවිච්චි කරන ගම් එක තමයි)


මේ වර්ගයේ මැලියම් වලින් වානේ පවා ඉතා ශක්තිමත්ව අලවන්න පුළුවන්ලු

ඔන්න ඉතිං අදහස ක්‍රියාවට නංවලා ලැප්ටොප් එකේ නිවෙස්නයත් (housing) සවිකරලා පොඩ්ඩක් lid එක එහෙට මෙහෙට හොලවලා බැලුවා. අර මොකක්දෝ එක කළා කිව්වලු තාප්පෙටම :-O ! මෙහෙයුම එහෙම්පිටින්ම අසාර්ථකයි.

අද උදේ තමයි මම දන්නෙ ප්ලාස්ටික් අලවන්න වෙනම ඉපොක්සි මැලියම් වර්ගයක් තියෙන බව. මම පාවිච්චි කරල තියෙන්නෙ වානේ අලවන්න පාවිච්චි කරන එකලු. කවුද ඉතිං ඕව දන්නෙ... ඇලෙව්වා අතට අහු වෙච්ච එකෙං... ඉතිං හරි යාවියැ?

දැන් hinge එක වටේට මැලියම්. ඒක සුද්ධ කරන්න අමාරු වෙයි. කොහෙන් හරි අළුතෙන් එකක් හොයාගන්න වෙනව. දුක තමා... :(



අවසානයෙ මගේ බ්ලොග් එක කියවන කාට කාටත් මට මෙයින් දෙන්න ඕන පණිවුඩය තමයි දුම්රිය ගමන් වල යෙදෙන අතරේ ලැප්ටොප් පාවිච්චියෙන් හැකිතාක් වළකින්න කියන එක. එහෙම පාවිච්චි කරනවනම් දුම්රියේ කෙහෙම්මල් රිද්මයානුකූල චලිතය ගැනත් ටිකක් ප්‍රවේශමෙන්, සැලකිල්ලෙන්, අවධානයෙන් ඉන්න. ;)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Sunday, May 24, 2009

මගේ OS ඉතිහාසය - එදා සිට අද දක්වා...

අද මම ලියනවා මගේ OS පාවිච්චියේ සහ ඉගෙනීමේ ඉතිහාසය ගැන ටිකක්. අද මේ ගැන මතක් කරන්න හිතුණේ විශේෂ හේතුවක් නිසයි.

මම පරිගණක පිළිබඳ ඉගෙනගන්න පටන් ගත්තෙ 1995 අවුරුද්දෙ. මම එතකොට පරිගණකයක් දැකලවත් නැහැ. ඒ දවස් වල විජය ළමා පත්තරේ තිබුණ ලිපි ටික තමයි කියෙව්වෙ. විජය පුවත්පත් සමාගමට මම අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා ඒ ලිපි පෙළ පළ කිරීම ගැන. ඒ ලිපි පෙළ තමයි මගේ පරිගණක අධ්‍යාපනයට මූලික අඩිතාලම දැම්මෙ. මට මතක විධියට ඒ ලිපි පෙළේ අන්තිම හරියෙ තිබුණ MS-DOS වලින් පරිගණකය ක්‍රියා කරවන ආකාරය ගැන. ඉතින් මම මෙහෙයුම් පද්ධතියක් විධියට මුලින් ඉගෙනගත්තෙ MS-DOS ගැන කියල කියන්න පුළුවන් (ප්‍රායෝගික ක්‍රියාකාරකම් නැතිව). පොඩි කාලෙ MS-DOS දුවන පරිගණකයකින් වැඩ කරන්න ආසාවෙ හීන බල බල හිටිය.

පසුකාලීනව පාසලේදි පරිගණක අතපත ගාන්න ලැබුණම මට පරිගණකය මැජික් වගෙ. මොකද එතකොට MS-DOS නෑ. පරිගණක බොහොමයක Windows 98ත්, කීපයක Windows 2000ත් තිබුණා. ප්‍රායෝගිකව සමහර දේවල් කරල බලල ඉගෙනගත්තා. ඒ දවස් වල ඉඳලම මගේ පුරුද්දක් තිබුණා පරිගණක තිරයේ දිස් වෙන හැම දෙයක්ම කියවන. කිසිම OK/Cancel බොත්තමක්වත් අදාළ පණිවුඩය නොකියවා ක්ලික් කළේ නැහැ (සමහරවිට අදහස නොතේරුණත්).

2003 අප්‍රේල් මාසෙ මගේ ම පරිගණකයක් පාවිච්චි කරද්දි මම පාවිච්චි කළේ Windows 98. ගොඩක් දෙනා මට Windows XP පාවිච්චි කරන්න කියල කිව්වත් මොකක් හරි හේතුවක් නිසා මට හරි ගියේ Windows 98. මම හිතන්නෙ මට පුරුදු ඒක නිසා වෙන්න ඇති. මම වැඩියෙන්ම කාලය ගත කළේ Windows වල තියෙන රහස් හොයමින්. ඒ දවස් වල අපේ පැත්තෙ වැඩිය අන්තර්ජාල භාවිතාවක් තිබුණෙ නැති නිසා මම අතපත ගාල හොයාගත්ත බොහෝ දේ බොහොමයක් දෙනා නොදන්න දේවල්.

Windows 98 සිට XPට මාරු වෙද්දි මට එක දෙයක් දැනිලා තිබුණා. භාවිත කරන්නාව තොටිල්ලෙ තියල නලවන ගතියක් Windows XP වලට ඇවිත් තිබුණා. විය යුත්තෙ එය වුණත්, මට නම් ඒක එච්චර හිතට ඇල්ලුවෙ නෑ.

කලක් යද්දි Windows XP වල පෙනුමට වහ වැටිල මම Windows 98 තියෙද්දිම XPත් ස්ථාපනය කරගත්ත. ටික ටික Windows XP වලට හුරු වුණාට පස්සෙ මුළුමනින්ම Windows XP වලට මාරු වුණා. ඔය කාලෙම තමයි මම සැරට එක එක දේවල් අත්හදා බලන්න පුරුදු වුණේ. සැරට කිව්වේ මම කළ දේවල් පරිගණකයෙ ස්ථාපනය කරල තිබුණ මෘදුකාංග වලට නරක විධියට බලපෑ නිසා. ඉතින් ඒ නිසා ඒ දවස් වල මාසෙකට කීප වතාවක් දෘඩ තැටිය format කරල නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන එක සාමාන්‍ය දෙයක් වෙලා තිබුණෙ.

2005 අවුරුද්දෙ මට මිත්‍රයෙකුගෙන් ලිනක්ස් ගැන දැනගන්න ලැබුණ. ඒ Ubuntu ගැන. ඉතින් මමත් ඒ දවස් වල තිබුණ Ubuntu Breezy Badger පිටපතක් ඉල්ලගෙන ස්ථාපනය කරල බැලුව. සිංදුවක්වත් අහන්න විධියක් නැති නිසා එපා වුණත් අළුතෙන් ඉගෙනගන්න ඒකෙ යම් දෙයක් තියෙන නිසා මගේ දෙවෙනි (secondary) OS එක විධියට දාල තියාගත්ත. ඒ කාලෙ Ubuntu පාවිච්චි කළේ කලාතුරකින්. දැන් තියෙනව වගේ පෙරළිකාර OS එකක් බවට Ubuntu පත් වේවි කියල ඒ දවස් වල නිකමටවත් හිතුණෙ නැහැ. Kubuntu හා Edubuntuත් ගෙන්වාගෙන පාවිච්චි කරල බැලුව. KDE ඒ දවස් වලම මට එපා වුණේ අනවශ්‍ය තරම් සැරසිලි වැඩි නිසා. (හැබැයි මේ සටහන ලියන්නෙත් KDE වල ඉඳගෙනම තමයි ;) )

මම තව තව මෙහෙයුම් පද්ධති අත්හදා බැලුව. මේ ඒවයින් කීපයක්.
  • Damn Small Linux
  • Puppy Linux
  • Knoppix
ඔය අතරෙ මම Windows Vistaත් දාල බැලුව. නමුත් ඒක දාපු දවසෙම එපා වුණා. Windows 7 නම් මගේ පරිගණකයට ස්ථාපනය කළේ නැහැ. කරන්නෙත් නැහැ. නමුත් Windows 7 පාවිච්චි කරන මිත්‍රයින්ගෙන් දැනගත් විධියට ඒක හොඳ මෙහෙයුම් පද්ධතියක් (Vistaට සාපේක්ෂව).

පසුව නිදහස් හා විවෘත මෘදුකාංග (FOSS) ගැන තරමක අවබෝධයක් ලබා ගත් පසුව මම තීරණය කළා කවදහරි ලිනක්ස් වලට සම්පූර්ණයෙන් මාරු වෙන්න. ඒත් මම ලිනක්ස් ගැන මොනවද දන්නෙ? මං දන්න ඉටිගෙඩියක් නෑ! ඒ නිසා සෑහෙන කාලයක් මම පාවිච්චි කළේ Windows/ Ubuntu ද්විත්ව ස්ථාපිතයක්.

ගිය අවුරුද්දෙ ඩනිෂ්කගෙන් Fedora ගැන දැනගත්තට පස්සෙ මම Fedora වලට මාරු වුණා. දැන් broadband අන්තර්ජාල සම්බන්ධතාවකුත් තියෙන නිසා කලින් වගේ දෙයක් හොයාගන්න අඳුරෙ අතපතගාන්න ඕන නැහැ. ඉතින් තීරණය කළා මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙන වැඩේ ඉක්මනින් ක්‍රියාවට නංවන්න. වින්ඩෝස් නැතිවම බැරි මොහොතක් ආවොත් VirtualBox තියෙනවනෙ. VirtualBox තියෙද්දි restart කරන්න කරදර වෙන්න ඕනත් නැහැ.

මේ සටහන අද ලිව්වෙ එක විශේෂ දෙයක් නිසා. මගේ පරිගණකයෙ අද සිට වින්ඩෝස් නැත. මුළු හාඩ් ඩිස්ක් එකම format කළා... දැම්ම Fedora. KDE 4.1 කොහොමද කියල බලන්නත් එක්ක KDE දැම්ම. මට නම් Gnome තරම් ගතියක් වෙන මොකකවත් නැහැ. KDE හොඳයි... හැබැයි ටිකක් slow motion වගෙ :D . ආයම Gnome වලට මාරු වෙන්නයි කල්පනාව.

ලංකාවෙ ලිනක්ස් ව්‍යාප්තිය දැන් තරමක් හොඳ තත්වයක තියෙනව කියල හිතෙනවා. අඩු ගානෙ spare wheel එක විධියටවත් ලිනක්ස් පාවිච්චි කරන එකෙක් අහළින් පහළින් හොයාගන්න පුළුවන් දැන්. මම ලිනක්ස් පාවිච්චි කරන්න පටන්ගත් දවස් වල ඒක එහෙම නැහැ. ලිනක්ස් වලට එන කෙනෙකුට ඉක්මනින්ම ලිනක්ස් එපා වෙන තත්වයක් ඒ දවක් වල තිබුණෙ. දැනටත් ලිනක්ස් වල user experience එක එතරම්ම සතුටුදායක තත්වයක නැහැ. ඒත් නිදහස ගැන, FOSS වල අරමුණ ලොවට යහපතක් කිරීම'ය කියන එක සිහි වෙනකොට මට කවදාවත් "Linux Sucks!" කියල කියන්න නම් හිත දෙන්නෙම නැහැ.

මෙන්න මේ වීඩියෝ එක බලන්න. බොහෝ දුරට මගේ OS මාරුවත් මේ වගේ කියල දැනෙනවා...



෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Wednesday, May 13, 2009

හාවෙක් එක්ක වරුවක්

හාවෙක් එක්ක වරුවක්? මොන මළ විකාරයක්ද??

හාවා කිව්වෙ නිකංම නිකං හාවා නෙමෙයි හැඩකාර හාවා... Jaunty Jackalope. දැන් තේරුණාද මොකක්ද කියන්න යන්නෙ කියලා?

ඊළඟ ප්‍රශ්නය... ෆෙඩෝරා වලට මාරු වෙච්ච එකා උබුන්ටුත් එක්ක මොකක් කරනවද? ඒකටත් උත්තරේ මම ම දෙන්නම්. ෆෙඩෝරා ආරක්ෂාව අතින් උපරිමයි. නමුත් දන්නවනේ.. ආරක්ෂාව වැඩි වෙන්න වෙන්න පහසුව අඩු වෙන බව. ඒක ප්‍රසිද්ධ සත්‍යයක්නේ. අනෙක ෆෙඩෝරා වල Wi-Fi අවුලකුත් තියෙනවා. SELinux වලින් සමහර වැඩසටහන් අවහිර කරන එක තව අවුලක්. තාම මම SELinux පාවිච්චි කරන්න හරියට දන්නෙ නෑ.. ඒත් ඉගෙනගන්නවා. ඒ නිසා SELinux අක්‍රිය කරලත් බෑ. ඔය හේතූන් නිසා තීරණය කළා Ubuntu - Fedora ද්විත්ව ස්ථාපිතයක් පාවිච්චි කරන්න.

Ubuntu - Fedora ද්විත්ව ස්ථාපිතයක්?? එතකොට වින්ඩෝස්? වින්ඩෝස් පාවිච්චි කළ කාලය අවසානයි. අපට කැම්පස් එකේ දෙන සමහර පැවරුම් (assignments) කරන්න වින්ඩෝස් අත්‍යාවශ්‍ය නිසා රූට රූට හීනෙන් මට ජනෙල් පෙනීයන් කියල VirtualBox එකෙන් සැරින් සැරේ වින්ඩෝස් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නව. දැන් සැලසුම මේකයි. Fedora වලට 15 GB, Ubuntu වලට 15 GB, ඉතිරිය /home (පොදු) විධියට partition තුනකින් වැඩේ ෂේප් කරගන්න බැලුවෙ. ඒත් ඒක හරියන්නෙ නෑ වගේ. පොඩි අත්හදා බැලීමක් කළා ඒත් ලෙඩ ගෙඩක්. ෆෙඩෝරයි උබුන්ටුයි එක ගෙදර ඉන්න කැමති නෑ වගේ දෙන්නටම Gnome ඇඳුම් අන්දලත්.



හරි.. දැන් ප්‍රශ්න අහන්නයි උත්තර දෙන්නයි ගිහින් මාතෘකාවෙනුත් පිට පැනල මම. අද කියන්නෙ Jaunty Jackalope වල වගවිස්තරේ.

Ext-4 වල අඩු පාඩු ගැන (data loss) අපේ චතුර (ලබන්) මාව දැනුවත් කළ නිසා මම ext-4 දැම්මෙ නෑ.

Jaunty ක්‍රියාරම්භ (boot) වීම ඉතාම ඉක්මන්. පැරණි Intrepid සංස්කරණය ක්‍රියාරම්භ වෙන්න ගත වෙන කාලයෙන් හතරෙන් එකක් තරම් අඩු කාලයක් ඊට ගත වුණේ. Jauntu වල පෙරනිමි පිවිසුම් කවුළුවත් වෙනස් වෙලා. අමුතු ලස්සනක් නම් නෑ. ඒත් අඳුරු වැඩියි ඒක.

මගේ ලැප්ටොප් එකේ video adapter එක Mobile Intel GM965 වර්ගයේ එකක්. ලැප්ටොප් එක ගත්ත දවසෙ ඉඳල තිබුණ හැම Ubuntu සංස්කරණයක්ම ඒකත් එක්ක හොඳට වැඩ කළා. ඒත් Jaunty වල මේක හරියට වැඩ කරන්නෙ නෑ! ඉතින් මම අපේ full time උබුන්ටු පරිශීලකයෙක් වෙන රවින්දගෙන් අහල බැලුව මේකෙ තත්වෙ. ලැබුණ උත්තරේ නම් සතුටුදායක එකක් නෙමෙයි. දන්න විධියට Xorg එහෙමපිටින්ම අවුල්. ඊට පස්සෙ අන්තර්ජාලයෙ ටිකක් එහා මෙහා සැරිසරලා බලනකොට කියාපි මොකක්ද බ්ලැක්ලිස්ට් කතන්දරයක්! ඒ ගැන හොයල බලන්න ඕන මේ බ්ලොග් පෝස්ට් එක ලිව්වට පස්සෙ.

Jaunty වල පරණ themes කීපයක් ඉවත් කරල අළුත් themes කීපයක් ඇතුළත් කරල තියෙනව. ඒත් මට නම් පෙරනිමියෙන් එන Human හොඳා. Notifications, tooltips වලත් පෙනුම වෙනස් වෙලා. ඒවයෙ නම් අළුත් පෙනුම හොඳයි.

ම්ම්.. තවත් පොඩි දෙයක්... mobile broadband වර්ගයේ අන්තර්ජාල සම්බන්ධතාවක් සකසනකොට උබුන්ටු වල අහනවනෙ සේවා සපයන්නා (ISP) කවුද කියල.. ඇත්තටම ලැයිස්තුවකින් තෝරන්නයි තියෙන්නෙ. Interpid වල තිබුණු මේ ලැයිස්තුවෙ හිටපු හතරදෙනාට අමතරව දැන් තවත් එක්කෙනෙක් ඉන්නවා.. ඒ Airtel. ඒකත් උබුන්ටු වලට රිංගපු ඉක්මන!

මේ ගැන වැඩිය හොයන්න වෙලාවක් නෑ ඇත්තටම... ව්‍යාපෘති - පැවරුම් කරගන්නත් තියෙන්නෙ මේ ලැප්ටොප් යන්තරේම විතරයි. ඒ නිසා වැඩිය සෙල්ලම් දාන්න යන්නෙ නෑ... කතාව මෙතනින් ඉවරයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අළුත් හාවා පරණ එළුවා තරම් හොඳ නෑ කියල තමයි. බලමු ඉතින් ඉස්සරහට කොහොම වේවිද කියල. සමහරවිට පැච් එකක් එයි කියන බලාපොරොත්තුව විතරක් තියාගන්න පුළුවන්.



විශේෂ ස්තුතිය: මට මේ සියල්ල අත්හදා බලන්න data backup කරගන්න පෝටබල් හාඩ් එකක් ණයට දුන්, මගේ බ්ලොග් එකේ නිත්‍ය පාඨකයෙක් වූත් මගේ බැචෙක් වූත් ඩිලාන් වෙත.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴