Sunday, May 31, 2009

මම Windows 7 දැම්මෙමි෴

මේ දවස් වල කවුරු කවුරුත් Windows 7 ගැන කතා කරන නිසා මටත් හිතුණ Windows 7 දාල බලන්න. ලිනක්ස් වලට මාරු වුණා කියල අළුත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් අත්හදා බලන්න තහනමක් නැහැනේ. ;)

ඉතිං මමත් දැම්මා බිල් මහත්තැන්ගේ කොම්පැණියේ අළුත්ම නිමැවුම :-O Windows 7!

මගේ ලැප්ටොප් එකේ දෘඩ තැටිය දැන් මුළුමනින්ම ext-3 (දත්ත අස්ථානගත වීමේ අවදානම නිසා මම ext-4 පාවිච්චි කරන්නෙ නැහැ). Bootloader එක විධියට පාවිච්චි කරන්නෙ GRUB. වින්ඩෝස් කියන රාත්තල් 600ක් බර ගෝරිල්ලට සිරිත් පරිදිම GRUB අරහං බව දන්න නිසා මම ඒ වෙනුවෙන් වෙනම partition එකක් හදන්න කරදර වුණේ නැහැ. දැම්ම Sun VirtualBox. ආසන්න වශයෙන් ගිගාබයිට් 5 කින් වැඩෙත් ෂේප්. මේ ගැන මම කලින් කඩ්ඩෙන් කොටපු ලියවිල්ලක් බලන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න.



VirtualBox පාවිච්චි කරන අය දන්නව ඇති (සමහරවිට නොදන්නවත් ඇති) ඒකෙ තියෙන Seamless Mode කියන පහසුකම ගැන. මටත් මේ ගැන කිව්වේ බ්ලොග් ලියන අපේ මිත්‍රයෙක්. සාමාන්‍යයෙන් virtual machine එකේ ධාවනය වන වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නෙ ලිනක්ස් ඩෙස්ක්ටොප් එකෙන් බැහැරව වෙනමම window එකක් ඇතුලෙ. නමුත් Seamless Mode පාවිච්චි කරනවනම් මේ මෙහෙයුම් පද්ධති දෙකේම ධාවනය වන වැඩසටහන් එකම ඩෙස්ක්ටොප් එකට ගන්න පුළුවන්. වින්ඩෝස් ඩෙස්ක්ටොප් එකේ පසුබිම් රූපය අතුරුදන් වෙලා, වින්ඩෝස් taskbar එක Gnome/KDE පැනලය උඩට ඇවිත් මෙහෙයුම් පද්ධති දෙකත් එක්කම එකවර වඩා පහසුවෙන් වැඩ කරන්න පුළුවන් පරිසරයක් එයින් නිර්මාණය කර දෙනවා. මේක පැහැදිලි වෙන්න පහත දැක්වෙන තිරපිටපත බලන්න.


එකම කතාවක් - අවසානයන් දෙකක්
(Mozilla Firefox 3.0.10 සහ Windows Internet Explorer 8 [VirtualBox Seamless Mode])

Seamless Mode පහසුකම නිර්දේශ කරල තියෙන්නෙ Windows XP මෙහෙයුම් පද්ධතියට. නමුත් පොඩි වෙට්ටුවක් දාලා ඒක පහසුවෙන්ම Windows 7 මෙහෙයුම් පද්ධතියට හරියන විධියට හදාගන්න පුළුවන්. ;)

මුලින්ම මම Seamless Mode ගැන නොදන්න අයට ඒක ගැන තවදුරටත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. Virtual machine එක ධාවනය වෙන අතරෙදි ඒකෙ තියෙන Machine මෙනු එකේ Seamless Mode කියන අයිතමය ක්ලික් කළාම Seamless Mode වෙත පිවිසෙන්න පුළුවන්. නමුත් මේ මෙනු අයිතමය සාමාන්‍යයෙන් අක්‍රියවයි පවතින්නේ. ඒකට හේතුව VirtualBox ඇතුළෙ ධාවනය වෙන virtual machine එක, host මෙහෙයුම් පද්ධතියෙ ඩෙස්ක්ඩොප් පාරිසරිකයට අනුගත විය යුතු ආකාරය දැන නොසිටීම. ඒක කරන්න අවශ්‍ය driver software එකක් virtual machine එකේ ස්ථාපනය කළ යුතුයි. මේ drivers තියෙන iso ගොනුවක් (~ 25 MB) අපට අන්තර්ජාලය හරහා බාගන්න පුළුවන්. එය හඳුන්වන්නේ VirtualBox Guest Additions යන නමින්. virtual machine එකෙන් iso ගොනු mount කරන්න පුළුවන් නිසා CD එකකට පිටපත් කරගැනීම අවශ්‍ය වෙන්නෙ නෑ. Virtual machine එකේ Windows ධාවනය වෙන අතරෙදි, machine එකේ Devices මෙනු එකේ තියෙන Install Guest Additions අයිතමය ක්ලික් කළාම අදාළ ගොනුව බාගත වෙලා ස්වයංක්‍රීයවම mount වෙයි. මෙන්න අවශ්‍ය නම් Guest Additions 2.0.4 වෙළුම බාගන්න.

Guest Additions iso එක mount කළා නම් දැන් virtual machine එකේ Windows Explorer/My Computer වලින් CD drive එක විවෘත කරලා VBoxWindowsAdditions.exe ගොනුව විවෘත කළාම Guest Additions ස්ථාපනය වෙයි. ඉන්පසුව virtual machine එක එක්වරක් ප්‍රතිපණගැන්වූවාම කරදරයක් නැතිව Seamless Mode වෙත පිවිසෙන්න පුළුවන්.

නමුත් මේ Guest Additions හදල තියෙන්නෙ Windows XP සඳහා. Windows 7 දී Guest Additions ස්ථාපනය කරන්න ගියාම දෝෂ පණිවුඩයක් පෙන්වලා ස්ථාපනය මඟහරිනවා. දැන් කියන්න යන්නෙ මම මුලින් කිව්ව වෙට්ටුව ගැන. ඒක වචන වලින් කියනවට වඩා පැහැදිලි වෙයි මීළඟ තිරපිටපත බලනව නම්.


අපැහැදිලි නම් තිරපිටපත මත ක්ලික් කරන්න

ඔහොම කරල VBoxWindowsAdditions.exe ගොනුව විවෘත කළාම කිසි ආබාධයක් නැතුව වැඩ.

ඉතින් දැන් Windows 7 ගැන ලියන්න ගත්ත සටහනේ මම වැඩි හරියක් ලියල තියෙන්නේ VirtualBox ගැනද මන්දා... කොහොම නමුත් කරල බලන්න. Seamless Mode අමුතුම අත්දැකීමක් වෙයි. ;)



දැන් වටවන්දනාව අහවර කරලා එමුකො ආපහු මාතෘකාවට... Windows 7. මේක පෙනුමින් Windows Vista පද්ධතියට වඩා වැඩි වෙනසක් නැති වුණත් අළුත් taskbar එක නම් අපූරුයි. Taskbar එකේ ඉඩකඩ ඉතිරි කරගන්න යොදාගෙන තියෙන අළුත් ක්‍රමය හොඳයි.

වේගය අතිනුත් Windows 7 හොඳයි. අවම වශයෙන් 1 GB RAM ඉල්ලලා තිබුණත් 512 MB RAM එකකත් වැඩ. හැබැයි දැනගන්ට ඕනෙ... Ubuntu වල නම් visual effects එක්ක වැඩ කරන්න ඕන කරන අවමය 384 MB බව. ;)

මම Guest Additions වල තියෙන VGA driver එක ස්ථාපනය කරල තියෙද්දිත් වින්ඩෝස් වල Aero Effects නම් වැඩ කළේ නැහැ. ඒ වගේම VirtualBox වලදි Windows 7 audio වැඩ කරන්නෙත් නැහැ. ඒ ගැන හොයද්දි තමයි දැනගත්තෙ Windows 7 Troubleshooter කියන්නෙ Windows XP Troubleshooter එකටත් වඩා මෝඩ ජෝක් එකක් කියල. :D

මීළඟ තිරපිටපත බලන්න. ඒකෙ විකල්ප දෙකක් තෝරාගන්න දීල තියෙනවා.



මොන වැඩේ වුණත් මම නම් තෝරන්නෙ දෙවැන්න. පළමුවැන්න තේරුවම එන එක දැක්කනම් ඒ මොකද කියල හිතාගන්න පුළුව්න්.



ඔහොම කියන්නෙ නැතුව වැඩේ බැරි එක කලින්ම බෑ කිව්වනං අපි forum එකකින් හරි බ්ලොග් එකකින් හරි හොයාගන්නවනේ පිළියමක්. Explore Additional Options කියන එක ක්ලික් කරන පරිශීලකයා බලාපොරොත්තු වෙන්නෙ මොකක් හරි අළුත් යමක් -- පිළියමක්. එහෙම නැතුව එකම විධියෙ කතන්දරේ හැම වෙලාවෙම දැක්කම එපා වෙනවා. Windows XP පාවිච්චි කරන කාලෙත් මට එපාම කරල තිබුණ යෙදුම තමයි Troubleshooter එක. ඒකෙන් ඇති වැඩක් වුණේ නැහැ. නිකං කාලය නාස්ති වුණා විතරයි.

කොහොම වුණත් Windows කැමති අය Windows 7 දාල බලන්න... අළුත් අත්දැකීමක් වෙයි. ;)

Windows 7 ගැන අදට එපමණයි. දිගින් දිගටම Windows 7 පාවිච්චි කරන්න බලාපොරොත්තුවක් නැහැ වුවමනාවක්ම වුණොත් VirtualBox එකෙන් Windows XP පාවිච්චි කරනව මිසක්. මට හොඳයි නිදහසේ ඕන දෙයක් කරන්න ඉඩදෙන ලිනක්ස්ම. ;)

බාගැනීම්:
මේ සටහනේ ලිව්ව VirtualBox Seamless Mode ක්‍රියාත්මක කිරීම ගැන අපැහැදිලි තැනක්/ගැටළුවක් එහෙම තියෙනවනම් comment එකක් දාන්න. ඕනම ආකාරයක ප්‍රශ්න වලට මම උත්තර දෙනවා. :)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

17 comments:

  1. VirtualBox වල හරි VMWare වල හරි VGA driver එක දාල තිබුනට Guest OS එකට 3D Hardware Acceleration ලැබෙන්නෙ නැහැ (මම දන්න තරමින්). තාම Virtual machine software වල තියෙන virtual drivers ඒ පහසුකමට support නැ‍හැ. ඒක නිසා Windows Aero හරි Compiz Fusion(Linux) හරි අත්හදා බලන්න ඕනෙ නම් OS එක ඇත්ත machine එකේම දාන්න ඕනෙ.

    Windows Troubleshooters ගැන කියනවනම් මටත් කියන්න තියෙන්නෙ ඕකම තමයි!

    ReplyDelete
  2. අෆ්ෆා බිල් අයියගෙ 7 නම් හොදයි"ලු" ඒත් මටත් මේ හාවොයි එළුවොයි හොදා....

    ReplyDelete
  3. ඔය aero පුරස්නෙට පිළියමක් මටත් හවු උන්නෑ. හැබැයි හතේ Explore Additional Options ගියොත් මයෙ මතකෙ හැටියට ඩ්‍රයිවර් බාගන්න පුළුවන් කොරමයක් තිබුනා. මම ඉතිං 7 පැත්තකින් තිබ්බානෙ. අර alerts ද මොකද්ද කියල තියෙන්නෙ එකෙනුත් ඩ්‍රයිවර් ගන්න පුළුවන්.

    ReplyDelete
  4. පොඩි අවුලක්: ‍කැඩුණ ලැපේ කොහොමැයි වැඩ කරේ?

    ****
    අනිත් අවුල්:
    වින්ඩෝස් උඩ දුවද්දී ලිනක්ස් වැඩ කිඩ ඔක්කෝම ඒ Desktop උඩ දුවයිද? (වින්ඩෝස් 7හිදී VituralBOX කොපි කරලා තියෙනවා, ඒ Windows 7 උඩ XP දුවන්න පුලුවන් Vitrual PC එකක් එනවා, ඒ 7හි වැඩ කරන්නේ නැති එව්වා දාන්නලු.)

    ඔහොම වින්ඩොස් උඩ දුවද්දී වින්ඩොස් දෘඩ තැටි වල එව්වා විවෘත කරන්න, සිංදු අහන්න පුලුවන්ද?

    *****
    මොකද්ද මේ සිංහල ලිනක්ස් උබුනුටු පද්ධතිය? ? ?

    ReplyDelete
  5. @Ravin Perera,
    VirtualBox එකේ settings වලින් 3D Hardware Acceleration enable කරන්න පුළුවන්. ඒත් ඒක හරියට වැඩ කරල නෑ වගේ.

    @කේෂාන්,
    මී ටූ ~

    @අනූ,
    ම්හු... මම නං දන්න සෙල්ලං ඔක්කොම දාල බැලුව. හරි ගියෙ නෑ.

    @-බිன்ku-,
    1. Hinge එක කැඩුණට VGA රිබන් එකට මොකුත් වෙලා තිබුණෙ නෑ.
    2. ලිනක්ස් වැඩ කිඩ ඔක්කොම වැඩ කරයිද කියල නං දන්නෙ නෑ. Compiz Fusion නං බොහෝ දුරට වැඩ කරන එකක් නෑ Guest Additions නැතිව.
    3. පුළුවන්, shared folders වලින්. http://shaakunthala.blogspot.com/2009/03/ubuntu-windows.html
    4. System -> Administration -> Language Support ගිහින් ඕන භාෂාවක් දාගන්න පුළුවන්.

    ReplyDelete
  6. අයියේ උබුන්ටු වලදි (වින්ඩෝස් මතදි මේ අවුල නෑ ) වර්චුවල් බොක්ස් පාවිච්චි කරද්දි යු.එස්.බී ඩ්‍රයිව්ස් ගන්නේ නෑ නේ (පෙන් එක තමයි ඉතින් අත්‍යාවශ්‍යම ) මොකක් හරි ක්‍රමයක් දන්නවානම් කියන්න ලොකු උදවුවක්

    ReplyDelete
  7. කඩුළු මහත්තයෙගේ, කවුළු 7 ට රැවටෙන්නේ නැතිව
    ආයිමත් ලිනක්ස් වලට එන්න ලැබෙවා කියා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  8. @වම්බොට්ටා,
    Shared folder එකක් හදාගෙන පෙන් එක ඒකට mount කරන්න. එතකොට ඒ වැඩේ හරි. හැබැයි USB අවුලට විසඳුමක් හොයාගන්න වෙයි. මම ඒ ගැන හොයල බලන්නම්.

    @NuwanC,
    නෑ නෑ... මම ආපහු වින්ඩෝස් වලට යන්නෙ නෑ. :)

    ReplyDelete
  9. මමත් මගේ යාළුවෙක්ට බිල් අයියගෙ 7 දාල දුන්න. පිටින් ඔපේ නම් හොඳයි. හැබැයි මට එපා උනේ අර patch එක දාන්න ගිහිල්ල. හැට පාරක් විතර ට්‍රයි කලා හරි ගියේ නෑ. මොන මගුලක්ද අතඇරල දැම්ම. තව OS නැතුවයැ.

    ReplyDelete
  10. හැමෝම windows 7 දාලා බලනවා වගේ නේද? මෙහෙම ඉදලා හරියන්නෙ නැ මමත් 7 දාලා බලන්න ඕනේ.......

    ReplyDelete
  11. මල්ලි.. මමත් ඔෆිස් මැෂින් එකෙ VBox දාල windows 7/Ubuntu 9 OS දෙකම දාල අව්ලක් නැතුව වැඩ. හැබැයි windows 7 වල sound නැති එක තමයි අවුල.. sound දාගන්න ක්‍රමයක් හම්බ උනොත් කියන්න...

    Troubleshooter එක ගැනනම් කියල වැඩක් නෑ...

    ReplyDelete
  12. මගේ තියෙන්නේ 17 පුලුල් තිරයක්.ලිනක්ස් දුම්මහම ‍resolution අවුල් යනවා.ලිනක්ස් දුවන්නෙත් safe mood මොකද කරන්නේ?

    ReplyDelete
  13. "ලිනක්ස් දුවන්නෙත් safe mood මොකද කරන්නේ?"

    ලිනක්ස් ද වින්ඩෝස් ද safe mode දුවන්නේ? :-?

    ගැටළුව video drivers සම්බන්ධ එකක් වගෙයි පෙනෙන්නේ... Ubuntu පාවිච්චි කරනවනම් System --> Administration --> Hardware Drivers ගිහින් පොඩ්ඩක් බලන්න.

    ReplyDelete
  14. මෙහෙමයි.උබුන්ටු වලින් මැසිම බූට් කලා උබුන්ටු ස්ථාපනය කරන්න කියලා select කලා. එතකොට අර භාෂාව අනං මනං තෝරන්න නිකන් විසාර්ඩ් එකක් වගේ එන්නේ. අන්න එව්වා මුකුත් පේන්නෑ
    තිරේ නිකන් සුදුපාට ඉරි ගුරුපාට ඉරි පාට පාට ඉරි තමයි තියෙන්නේ.
    ඉතින් මම කෙසේ උබුන්ටු දමන්නද?????

    live විදිහට බූට් කොලාම අර දේම වෙලා ටිකකින් error එකක් ඇවිත් පස්සෙ අහනවා safe mode දිව්වට කමක් නැද්ද කියලා.මම හා කිව්වම resolution 800*600 තමා තියෙන්නේ.කෝමද 17 වයිඩ් එකක 800*600 තියෙද්දි ආතල් එක

    ReplyDelete
  15. මම පාවිච්චි කරන්නෙ 7 තමා. ඒත් ලිනක්ස් වලට එන්ඩ කැමතියි.මම වෙන පාටිෂන් එකකට උබුන්ටු දාන්ඩ ට්‍රයි කරා. ඒ උනාට හරිගියේම නෑ. VBox නැතුව වෙන ක්‍රමයක් නැද්ද. පුලුවන්නන් ලොකු උදව්වක්.

    ReplyDelete
  16. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  17. මට තාම ubuntu වලට tar.gz දාන හැටි හොයාගන්න බැරිවුනා මොකද කරන්නේ කියලා හරියට පැහැදිලි නෑ terminal එකේ සෙල්ලමක් දාන්න වෙනවා වගේ තමයි පේන්නේ ඒත් තාම පිළිවෙලට ඉගෙනගන්න බැරිවුනා අනික මගෙ dongal එකට airtel සිම් දැම්මාම internet connect වෙන්නේ නැ හැබැයි අනික් හැම සිම් මගුලකින්ම connect වෙන්න පුළුවන් ‍ෆෝන් එකේ bluetooth හරහා connect වෙලා net යන්නත් පුළුවන් මේක හෙන කෙලියක්නේ මොකද කරන්නේ කියලා තේරෙන් නෑ.පුළුවන් නම් මට windows 7 වලින් wine download කරලා ඒක ubuntu වල extract කරලා install කරන හැටි ගැන චූටිම චූටි ඉගියක් හරි ඒ ගැන හොයාගන්න පුළුවන් link එකක් හරි කියන්න දැන් ubuntu අතාරින්න බෑ

    ReplyDelete

Facebook ප්‍රතිචාර