Wednesday, September 30, 2009

පාලමෙන් ගිහින් ආවේශ වීම


මගේ බ්ලොග් එකේ ලියවෙන ගොඩක් සටහන් වලට දාන්නෙම හරිම අමුතු මාතෘකා. කලකට කලින් රෙද්ද උස්සල බලපු හැටි මතකනේ.. :P මේකත් එහෙම එකක්... සුපුරුදු පරිදි ටෙක් නෝට් එකක්. තවත් අළුත් අත්දැකීමක් ලබපු හැටි තමයි විස්තර කරන්නේ... මුලින්ම ගළපගමුකෝ මේ අමුතු කතන්දරේ... පාලම තේරෙන බාසාවෙන් කිව්වොත් bridge එක... නිකම් bridge නෙමෙයි network bridge. එතකොට ආවේශ වෙනව කිව්වෙ? ආවේශ වෙනව කිව්වෙ remote desktop සීන් එක... මේ වචනෙ මට අහම්බෙන් ඔළුවට ආපු එකක්. බලන්න කොයි තරම් ගැලපෙනවද කියල. :D කිසිම සිප්යුරු වදන් පොතක නැතුව ඇති මෙහෙම එකක්. :D :D

හරි... වැඩි කතා ඕනැ නෑ. මේක සිද්ධ වෙලා දැන් ටික දවසක් වෙනවා. අපේ මලයා ගෙදර තිබුණු පරණ මැසිම ආපහු හදලා... වින්ඩෝස් දාලා. ඉතිං මගේ පරණ උණකුත් ඒ එක්කම ඉස්මතු වෙලා ආවා... මොකක්ද? GTA Vice City!! මාව ළඟින් ආශ්‍රය කළ අය දන්නව මම මේකට කොයි තරම් ඇබ්බැහි වෙලා හිටියද කියල. ඉතිං දෙපාරක් හිතුවෙ නෑ දාගත්තා GTA Vice City. දවස් දෙකයි සෙල්ලං කළේ විදුලි බිල බර ගාණකින් වැඩි වෙලා!! :-O ඒකට හේතුව වෙන මොකක්වත් නෙමෙයි පරණ මැසිමෙ තියෙන තඩි CRT මොනිටරය. ඉතිං ගෙදර කස්ටියගෙන් දැඩි විරෝධතා ආවා Vice City සෙල්ලං කරනවට (මිනී මරාගන්න ගේම් එකක් බව දන්නවනං මට කොහොමටත් සෙල්ලං කරන්න දෙන්නෙ නෑ).

ඉතිං මම ට්‍රයි එකක් දුන්නා රිමෝට් ඩෙස්ක්ටොප් පාරක්වත් දාගන්න. එතකොට මගේ ලැප්ටොප් එකේ ඉඳගෙන ethernet හරහා අනිත් මැසිමෙ තියෙන Vice City සෙල්ලම් කරන්න පුළුවන්නේ. නමුත් මුල ඉඳලම මට සැකයක් තිබුණා වැඩේ අසාර්ථක වෙන බවට. වීඩියෝ මතකය සම්බන්ධ ගැටළුවක් එන්න පුළුවන් කියල හිතුණා.

මගේ ලැප්ටොප් එකේ දුවන්නෙ Ubuntuනේ... ඩෙස්ක්ටොප් මැසිමෙ වින්ඩෝස්. වින්ඩෝස් වල Remote Desktop ප්‍රොටොකෝල් එක Ubuntu වල VNC එක්ක වැඩ කරන්නෙ නැහැනේ... එතකොට තමයි අයිඩියාව ආවේ VirtualBox එකේ දාලා තියෙන Windows XP ස්ථාපිතය ප්‍රයෝජනයට ගන්න පුළුවන් බව. දැන් නම් Vice City සෙල්ලම් කරන වැඩේ අසාර්ථක වුණත් ආපු අයිඩියාව අතාරින්නෙ නෑ! අත්හදා බලන්නම වටින වැඩක්. මේව නොවැ ගේම්!!

කොහොමද මේක හදා ගන්නේ.....? ඒවට තමයි Network Bridge තියෙන්නේ.
Bridge එක හදන්නෙ කොතනද? Ubuntu හරහා virtual මැසිමයි ඇත්ත මැසිමයි සම්බන්ධ වෙනවා...  ඒ කියන්නෙ Ubuntu වලට තමා bridge එක එන්නේ.

ඊළඟ ප්‍රශ්නය... මොන ජංජාලකරණ උපාංග දෙකද පාලමේ දෙකොනෙ තියෙන්න ඕනේ? එකක් eth0, එතතකොට අනික? Virtual machine එකේ settings වලට ගිහින් Network යටතේ Adapter 2 සක්‍රිය කරලා ඒක Host-only Adapter විධියට සකස් කළා. පහත දැක්වෙන තිර රූප සටහන බලන්න.




මෙහෙම කළාම ධාරක පරිගණකයේ (ඒ කිව්වෙ Ubuntu වල) vboxnet0 නමින් තවත් අතථ්‍ය ජාලකරණ උපාංගයක් එකතු වෙනවා. Virtual machine එක ධාවනය වෙන අතරේ ධාරක පරිගණකයට ifconfig විධානය දීලා ඒ බව තහවුරු කරගන්න පුළුවන්.

දැන් අපි පාලම හදන්නෙ eth0 සහ vboxnet0 අතර.  ඒක කරන්න sudo vim /etc/network/interfaces විධානය දීලා /etc/network/interfaces ගොනුව විවෘත කරගන්න. මේ පෙන්නල තියෙන කේත පේළි තුන ඒ ගොනුවෙ අගට එකතු කරලා ගොනුව සුරකින්න (Esc - :wq - Enter).

# Bridge between eth0 and vboxnet0
iface br0 inet dhcp
bridge_ports eth0 vboxnet0



මෙහෙම කරලා මැසිම restart කළා. ඊට පස්සෙ virtual machine එකත් ක්‍රියාත්මක කළා.

ඊළඟ පියවර ජාලකරණ උපාංග වින්‍යාසගත (configure) කිරීම. මෙන්න මේවා තමයි උපාංග ටික:
  1. ඩෙස්ක්ටොප් පරිගණකයෙ ethernet ඇඩැප්ටරය
  2. ලැප්ටොප් එකේ ethernet ඇඩැප්ටරය
  3. ලැප්ටොප් එකේ VirtualBox ධාවනය වෙන වෙලාවෙ නිර්මාණය වෙන virtual ඇඩැප්ටරය (vboxnet0)
  4. Virtual machine එක තුළ vboxnet0 සඳහා නිර්මාණය වෙන virtual ඇඩැප්ටරය

මේ පාලම්ගත ජාලය වැඩ කරන්න පුළුවන් වෙන්නේ bridge එකේ දෙපස තියෙන ජාල දෙකේම subnet mask සමාන වුණොත් විතරයි. ඒකට හේතුව ටිකක් දීර්ඝව විස්තර කරන්න සිද්ධ වෙන නිසා මෙතන ලියන්නෙ නැහැ -- විකිපීඩියාවෙ ඒ ගැන තියෙන ලිපිය කියවන්න. එහෙම නැත්නම් එක ජාලයකට අනෙක හඳුනාගන්න බැරි වෙනවා. vboxnet0 ට අදාළ ජාලයෙ සැකසුම් ස්වයංක්‍රීයව DHCP මගින් සකස් වෙන නිසා විශේෂිතව සකසන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. කළ යුත්තෙ subnet mask එක බලා ගන්න එක. ඒක කරන්න ifconfig vboxnet0 විධානයෙන් පුළුවන්. එහෙමත් නැත්නම් virtual machine එකේ control panel එකට ගිහින් බලා ගන්නත් පුළුවන්.

ඉතින් මෙන්න මේ අගයයන් තමයි DHCP මගින් සකස් කර දීල තිබුණෙ:
  1. VIrtual machine එක තුළ වින්ඩෝස් - IP: 192.168.56.3, Subnet Mask: 255.255.255.0
  2. ලැප්ටොප් එකේ vboxnet0 - IP: 192.168.56.1, Subnet Mask: 255.255.255.0

ඊළඟට ඩෙස්ක්ටොප් පරිගණකයෙත් මගේ ලැප්ටොප් එකෙත් ethernet සකස් කරන්න ඕනේ.
  1. ඩෙස්ක්ටොප් පරිගණකයෙ Control Panel එකේ Network Connections වලට ගිහින් අදාළ connection එකේ සැකසුම් සකස් කළා -- IP: 10.16.32.202, Subnet Mask: 255.255.255.0
  2. ලැප්ටොප් එකේ - # ifconfig eth0 10.16.32.201 netmask 255.255.255.0 up

කොළඹ සරසවියෙ අපි හොඳට දන්න කියන වැදගත් සර්වර් එකක් internal network එකේ 10.16.32.201 ලිපිනයෙ තියෙනවා. ලැප්ටොප් එකට මතක තියාගන්න පහසු IP එකක් දාන්න හිතුණු නිසා ඒකම දැම්මා. ;) මොකද මේ ජංජාලෙ ගෙදරදි විතරයිනෙ.

වින්ඩෝස් වල My Computer right click කරලා Properties ගිහින් Remote Desktop සැකසුම් හදා ගන්න පුළුවන්. ඒ ගැන මෙතන විස්තර කරන්නෙ නෑ. බොහොම සරල කාරියක් නිසා. ඉතින් virtual machine එකේ ඉඳන් Remote Desktop Viewer ක්‍රියාත්මක කරලා IP ලිපිනය විධියට 10.16.32.202 ලබා දුන්නා. ඒ කිව්වෙ ඩෙස්ක්ටොප් පරිගණකයෙ IP එක.


හරීම සෝක්! මෙන්න virtual machine එකේ ඉඳගෙන එළියෙ තියෙන අනිත් මැසිමේ වැඩ කරන්න පුළුවන්!! :-O අත්හදා බලන්නම වටින වැඩක්. ඉතින් මේකෙන් ටිකක් වෙලා යනකම් එක එක වැඩ දම දමා හිටියා. විදුලි පරිභෝජනය වැඩි CRT තඩිය off කරලා මගේ ලැප්ටොප් එකෙන්ම ඒ මැසිමත් පාලනය කරන්න පුළුවන්.

මගේ වුවමනාව තිබුණේ GTA සෙල්ලම් කරන්න. ඉතිං GTA දාලා බැලුවා... ම්හූ.. වැඩ නෑ. :( වීඩියෝ මතක ප්‍රමාණය මදිලු. හැබැයි කමක් නෑ ඒකට.. අළුත් දෙයක් අත්හදා බලන්න ලැුබුණනේ. :) GTA සෙල්ලම් කළා කියල ලැබෙන දෙයක් නැහැ නොවැ.

පසු වෙලාවක නිකමට අන්තර්ජාලයෙ විපරම් කරල බලද්දි මෙන්න මේ දේවල් දැනගන්න ලැබුණා:
  • Ubuntu වල ජාලකරණ සැකසුම් සකස් කරන්න හොඳ GUI ටූල් එකක් තියෙනවා... ඒකෙ නම Firestarter (# apt-get install firestart) හැබැයි මම ඇත්තටම කැමති නෑ මේකෙන් වැඩ කරන්න. එතකොට ඇතුළෙ මොන මොනව වෙනවද කියල මං දන්නෙ නෑනෙ.
  • Ubuntu වල ඉඳලා වින්ඩෝස් මැසිමකට ආවේශ වෙන්න TightVNC මෘදුකාංගයෙන් පුළුවන්.

ඉතිං... ආපහු මොනවහරි දෙයක් අරගෙන ඉඩකඩ ඇති වෙලාවක මේ පැත්තෙ එන්නං... ciao!

අළුතෙන් මේ ටිකත් එකතු කළා (2009-10-02)
මේ බ්ලොග් ලිපිය ලිව්වේ කලබලෙන්... ඉතිං මේ මොඩල් එක පැහැදිලි කෙරෙන පිංතූරයක් දාන්න බැරි වුණා. මෙන්න උණු උණුවෙම GIMP වලින් හදලා දැම්මා... පිංතූරෙ පැහැදිලි මදි නම් ඒක ක්ලික් කරලා බලන්න පුළුවන්. :)

  
Ciao!

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴

Monday, September 28, 2009

IDE හාඩ් ඩිස්ක් ලෙඩ වීම


අද ලියවෙන්නෙ පොඩි හාඩ්වෙයාර් කතන්දරයක්. IDE හාඩ් ඩිස්ක් ලෙඩ ගැන. මෑතකදි ලබපු එකම විධියෙ අත්දැකීම් දෙකක් නිසා මේක ලියන්න හිතුණෙ මේ ගැටළුව තවත් අයට ඇති වෙලා තියෙන්න ඇති කියල හිතුණු නිසා. හැබැයි ඉදිරියෙදි ඇති වීමේ සම්භාවිතාව අඩුයි... මොකද දැන් IDE කියන දේ භාවිතයෙන් ඉවත් වෙලා SATA ඇවිත්නේ.. :P

මම මුලින්ම පාවිච්චි කළ මැසිමේ කොටස් වලින් නොවෙනස්ව තාමත් තියෙන්නෙ නිවෙස්නයයි තඩි CRT මොනිටරයයි කී බෝඩ් එකයි විතරයි. ඉතිරි කොටස් ඔක්කොම සැරින් සැරේ මාරු කළා. ඇත්තෙන්ම කියනවනම් මේ මැසිමෙ හාඩ් ඩිස්ක් එකත් මෑතක් වෙනකම් ම තිබුණෙ ගෙදර අනිත් මැසිමේ. ඒත් මේ ළඟදි අපේ මලයා මේක ආපහු ඇසෙම්බල් කරලා. හැබැයි OS දැම්මෙ මම. මොකද මේක වින්ඩෝස් ඔන්ලි මැසිමක් කරන්නයි අපේ මලයා හිතාගෙන හිටියේ. නමුත් මගේ ඉල්ලීමට මේක ලිනක්ස් වින්ඩෝස් ඩුවල් බූට් වෙන විධියට සකස් කළ නිසා OS ස්ථාපනයත් මම ම ඉල්ලගෙන කළා.

මේකට වින්ඩෝස් දාන්න ගියාමයි කරපු ඉල්ලංකෑම තේරුණේ. Windows Setup එක බූට් වෙන්නෙ නෑ.... සමහර විට අතරමග හිර වෙනවා. ලෙඩ ගොඩයි. මං ඉතිං පෙන්ගුයින් ලවර් කෙනෙක්නේ... දැම්මා Ubuntu. අපරාදේ කියන්න බෑ අන්තිම වෙනකම් ම Install වුණා. හැබැයි reboot කරනකොට කියාපි INVALID SYSTEM DISK කියලා! :-O ඒ කියන්නෙ MBR (Master Boot Record) එක හාඩ් ඩිස්ක් එකේ නිවැරදිව ලියවිලා (write) නෑ. මෙහෙම වෙන්නෙ ඇයි? හාඩ් ඩිස්ක් එකේ 'කාලෙ' හරිද? කේබල් එක අවුල්ද? තැටියක් සීරිලාද? හෙඩ් එකකට කෙළවිලාද? මං දන්නෙ නෑ... Google search... forum වල රස්තියාදු වීම අවසාන විකල්ප විධියට තියාගෙන මම ගැටළුව මොකක් වෙන්න පුළුවන්ද කියල ටිකක් විපරම් කළා.

ඉතින් මේ විධියට මැසිම පිස්සු නටන නිසා මම නිකමට IDE කේබල් එක ගලවලා ආපහු හයි කරල බැලුවා. Motherboard එකේ අනිත් IDE slot එකට සම්බන්ධ කරල බැලුවා. Master-Slave මාරු කරල බැලුවා... ජම්පර් එහෙ මෙහෙ කරල බැලුවා... ම්හූ... ලෙඩේ හොයාගන්න බෑ. :(

මම හිතුවෙ කේබල් එකේ අවුලක් වෙන්න ඇති කියලයි. ඒත් නිකමට මගේ ඇහැ යැවුණේ හාඩ් ඩිස්ක් එකේ IDE slot එකට. මෙන්න එක pin එකක් අඩුයි! :-O


දැන් උඩ පැන පැන හිනා වෙන්න එපා ශාකුන්තල IDE ගැන දන්නෙ නෑ කියලා... ඔව් ඉතිං, හැම දේම දන්නෙ නෑ තමයි... මොකද අපි මේ දැනුම උපතින්ම අරගෙන එන අය නෙමෙයිනේ... හැබැයි මූලික දේවල් ටික කොහෙන් කොහෙන් හරි ඉගෙනගෙන දන්නවා. IDE slot එකේ 20 වෙනි pin එක ගොඩක් හාඩ් ඩිස්ක් වල නැති බව/ පාවිච්චි නොවෙන බවත් මම කලින් ඉඳලම දන්න දෙයක්... ඒ pin එක නෙමෙයි මෙතන අඩුයි කිව්වෙ. ;) ඒ ආසන්න වෙනත් pin එකක් යටට ගිළිලා. IDE කේබලය ගලවන එකයි නැවත සම්බන්ධ කරන එකයි නිතර කරනකොට pin එකක් දෙකක් ඇද වෙන්න ඉඩ තියෙනවා. මෙතන සිද්ධ වෙලා තියෙන්නෙ කේබලයෙ තියෙන socket එකේ වැදිලා pin එක යටට එබිලා.

ඉතින් මම ස්කුරුප්පු නියනක් අරගෙන හාඩ් ඩිස්ක් එකේ පරිපථ පුවරුව ගලවලා යටට තල්ලු වෙලා තිබුණු pin එක පරිස්සමෙන් තිබුණු තැනටම තල්ලු කළා. ඊට පස්සෙ ඒ pin එක ආපහු යට නොයන විධියට අඬුවකින් අල්ලගෙන IDE කේබලයත් සවි කරලා ආපහු පරිපථ පුවරුවත් තිබුණු විධියටම සවි කළා. (හොඳ වෙලාවට මේකෙ තිබුණෙ පිලිප්ස් හිස ස්කුරුප්පු ඇණ විතරයි :), සාමාන්‍යයෙන් දකින්න ලැබෙන torx-8 වර්ගයෙ [තරු හැඩැති] ස්කුරුප්පු හිස තිබුණ නං සදා අනාතයි)

ඊට පස්සෙ මැසිම බූට් කරලා වින්ඩෝස් ස්ථාපනය කළා කිසි කරදරයක් නැතුව. Ubuntuත් දාගත්තා... දැන් නම් කිසිම ලෙඩක් නැතුව මැසිම දුවනවා. :) මුලින් ලෙඩ, ඒ කිව්වෙ MBR එක write නොවීමට හේතුව හාඩ් ඩිස්ක් එකේ එක pin එකක් නිසි පරිදි IDE කේබලයත් එක්ක සම්බන්ධ නොවීම වෙන්න පුළුවනි.

---

දැන් කියන්න යන්නෙ දෙවෙනි සිද්ධිය ගැන. මගේ යාළුවෙකුගෙ මැසිමෙ වින්ඩෝස් දාන්න ගිහින්, යාළුව තැටිය බෙදාගන්න බැරිලු. ඔක්කොම partition මකා දමලලු තියෙන්නේ. ඒත් partition කරගන්න තැනින් එහාට යන්න බැරිලු. මං කල්පනා කළා... Windows XP Setup එකේ තියෙන diskpart යුටිලිටිය වෙලාවකට පිස්සු නටනවා තමයි. ඒත් parition table එකක් නැති හාඩ් ඩිස්ක් එකක් බෙදනකොට ඒකෙන් ලස්සනට පිළිවෙලකට partition කරගන්න පුළුවන්නෙ... කෝකටත් ගියා බලන්න.



ඇත්ත නේන්නං! ඔය පිංතූරෙ පෙන්නල තියෙන තැනට එනවා... 'C' press කළා... අළුත් partition එකේ ප්‍රමාණය දුන්නා... ආයෙමත් එන්නෙ මෙතනටමනෙ!! ඒක හරියන්නෙ නැති නිසා නිකංම enter කළා. සාමාන්‍යයෙන් වෙන්නෙ එතකොට තනි partition එකක් හදාගෙන ඒකට වින්ඩෝස් ස්ථාපනය වෙන එකනෙ. ම්ම්හ්... නෑ... ඒත් ඔතනින් එහාට හෙල්ලෙන්නෙ නෑ.. :(

මම වැඩේට ලෑස්ති වෙලා යද්දිම ලිනක්ස් live CD එකකුත් අරගෙනමයි ගියේ. ඉතිං මං කල්පනා කළා fdisk / parted දෙකෙන් එකක් පාවිච්චි කරලා හාඩ් ඩිස්ක් එක partiton කරන්න. මොකද වින්ඩෝස් diskpart වලට වඩා වැඩි අවබෝධයකින් යුතුව fdisk / parted මෘදුකාංග වලින් වැඩ කරන්න පුළුවන් නිසා.

හාඩ් ඩිස්ක් එක partition කරගන්න ලිනක්ස් GUI එකට ගියොත් ගොඩක් මන්දගාමී වෙනවා, වෙලාව අපතෙ යනවා. ඉතින් මම කළේ live CD එකේ boot menu එකට ආවම F6 press කරලා kernel එකට යවන පරාමිතීන් වෙනස් කළ එක. ඒ දිග හෑල්ලෙ අන්තිමට තියෙනවා initrd=/casper/initrd.gz quiet splash -- කියල කොටසක්. ඒකෙ quite splash වෙනුවට ro single යෙදුවම හොඳ එකා වගේ මැසිම යන්නෙ text mode එකට. හරිම සරලයි.

# fdisk /dev/sda
o
w


මෙහෙම කළාම msdos ආකෘතියෙ partiton table එකක් නිර්මාණය වෙන්න ඕනේ.

# fdisk -l


මෙහෙම කළාම partition table එක පෙන්නන්න ඕනේ.. ඒත් අටේ පාදයෙන් ලොකු අංකෙකුත් පෙන්නගෙනම මෙන්න කියනවා disklabel එක වැරදියිලු. :-O ඒ කියන්නෙ මුලින් Windows Setup එකත් එක්ක වැඩ කරද්දි ඇති වෙච්ච ලෙඩේ ම තමා!

ඉතින් දෙවෙනි උත්සාහය විධියට parted පාවිච්චි කරල බැලුවා.

# parted
mklabel
msdos


ම්හූ... ලේබල් එකක් හදන්න බැරිලු. දැන් මොකද කරන්නේ....?

මට එක පාරටම මතක් වුණේ කලින් සිද්ධිය...

හාඩ් ඩිස්ක් එක ගලවලා බලනකොට මෙන්න අංක 1, 2 pins දෙකම ඇද වෙලා.... නැමිලා flat වෙලා... බය හිතෙනවා ඒක තිබුණු විධිය දැක්කම :-O ! පැතැලි ස්කුරුප්පු නියනකුයි උල් අඬුවකුයි (needle nose pliers) පාවිච්චි කරලා බොහොම පරිස්සමෙන් pins දෙකම ප්‍රතිස්ථානගත කළා.

ආපහු පරිස්සමෙන් මැසිම හයි කරලා ලිනක්ස් වලින් බූට් කරලා හාඩ් ඩිස්ක් එක බෙදලා වින්ඩෝස් ස්ථාපනය කරලා කේක් කෑල්ලක් කාලා තේ බීලා ගෙදර ඇවිත් මේ ලියමනත් ලියල ඉවර කළා.......... :)



IDE හාඩ් ඩිස්ක් වල pins එකින් එකට ක්‍රියාකාරීත්වය මොන වගේද කියල කියන්න මම දන්නෙ නෑ. මෙතන මම ඉදිරිපත් කරල තියෙන නිගමන නිවැරදිම නොවෙන්නත් පුළුවන් - ඒ ගැන අදහස් දැක්වීම මේ ලියමන කියවන ඔබට බාරයි ;)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Sunday, September 27, 2009

මම දෛනිකව පාවිච්චි කරන මෘදුකාංග ගැන...


මම මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙලා දැන් මාස හතරක් වෙනවා. මුළුමනින්ම කිව්වේ දැන් මගේ ලැප්ටොප් හාඩ් ඩිස්ක් එක පිරිලා තියෙන්නෙ swap partition එකකින් සහ ext-3 partition කීපයකින් නිසා. හැබැයි මුළුමනින් කිව්වට තාමත් හීනෙන් ජනෙල් පේනවා. ඒ කිව්වෙ වින්ඩෝස් අවශ්‍යම වුණොත් පාවිච්චි කරන්න VirtualBox ඇතුළෙ දමාගෙන තියාගෙන ඉන්නවා. ඒක දුවන්නෙ Ubuntu උඩ. බැලු බැල්මට උගුරට හොරා බේත් කෑමක් වගේ පේන මේ VirtualBox කතන්දරේටත් හේතුව මොකක්ද කියල මේ ලියමන කියෙව්වම පැහැදිළි වෙයි.

ඉතින් මේ මාස හතරක කාලය ඇතුළත මම වැඩියෙන්ම පාවිච්චි කරපු මෘදුකාංග ගැන පොඩි සමාලෝචනයක් කරලා බලන්න මට හිතුණු නිසයි මේ ලියමන ලියවෙන්නෙ. වැඩි කතා නැතුව ලිස්ට් එකට යමුකෝ... මේ තියෙන්නෙ මං වැඩියෙන්ම පාවිච්චි කරන එකේ ඉඳල අඩුවෙන්ම පාවිච්චි කරන එකට.

  1. Mozilla Firefox (Ubuntu) - මගේ අන්තර්ජාල සැරි සරන අවශ්‍යතා වලින් 100%ට පොඩ්ඩිත්තක් අඩුවෙන් සපුරගන්නෙ මේකෙන් තමයි. ඉතිරි පොඩ්ඩිත්ත ගැන මේ ලියමනේ අගට යද්දි පැහැදිලි වෙයි.
  2. Gnome Terminal (Ubuntu) - මගේ මැසිම බූට් කළාම මම මුලින්ම ඔබන්නෙ මෙන්න මේකට තියෙන සෝට්කට් එක. වැඩි පහසුවට මම ඒක තියාගෙන ඉන්නෙ object dock එකේ හරි මැදින්. කරන්නෙ මොකක්ද කියල පැහැදිලි කරන්න ඕනෙ නෑනේ...? ;)
  3. Gedit (Ubuntu මත) - මේකෙන් තමා මම code ලියන්නේ... Syntax ටික එක එක පාටින් highlight කරල පෙන්නන නිසා හරි ලේසියි.
  4. OpenOffice.org Writer (Ubuntu) - කියන්න දෙයක් නෑනේ... මගේ කැම්පස් ඇසයින්මන්ට් ටිකයි අනෙක් ලිපි ලේඛණ වැඩ ටිකයි කෙරෙන්නෙ මේකෙ පිහිටෙන් තමා...
  5. Mozilla Thunderbird (Ubuntu)  - ඊ මේල කියවන්න පාවිච්චි කරන්නෙ මේක.
  6. SMPlayer (Ubuntu) - මගේ ලැප්ටොප් එකේ හඬ බොහොම අඩුයි. මේ ගැන forum බොහොමයක රස්තියාදු ගහලත් හරි විසඳුමක් ලැබුණෙ නෑ. Forum වල කස්ටියගෙ උපදෙස් පරිදි මමත් හරියට නොදන්න නා නා ප්‍රකාර .conf ගොනු වලට එක එක සැත්කම් කරලත් විසඳුමක් ලැබුණෙ නැති නිසා අන්තිමේ SMPlayer එකට සෙට් වුණේ මේකෙ හඬ 400% දක්වා වැඩි කරන්න පුළුවන් නිසා! :-O මේකෙන් තමයි රොක් සහ හෙවි මෙටල් රඟේ විඳින්නේ... ;)
  7. VirtualBox (Ubuntu) - ලිනක්ස් සහ ජාලකරණය සම්බන්ධ එක එක අත්හදා බැලීම් කරන්නෙ මේකෙන් තමයි. කරන හැම කෙරුවාවක්ම කරන්නෙ ඇත්ත හාඩ් ඩිස්ක් එකට බලපෑමකින් තොර virtual hard disk image file එකක නිසා බොහොමයක් දේ අත්හදා බලන්න පුළුවන්.
  8. GIMP (Ubuntu) - මම මේක පාවිච්චි කරන්න තවම ඉගෙනගන්නවා. විශේෂයෙන්ම වෙබ් අඩවි නිර්මාණ කටයුතු කරන ආකාරය ගැන තමයි වැඩි නැඹුරුතාවක් දක්වන්නේ...
  9. Filezilla Client (Ubuntu) - මේකෙන් තමයි ඩිසයින් සහ ඩිවලොප් කරපු දේවල් ටික වෙබ් අඩවියට පැක් කරන්නේ...
  10. Wammu (Ubuntu) - ජංගම දුරකථනයේ එක එක වැඩ කෑලි වලට. (මම මේ ගැන කලින් ලිව්වා)
  11. DownThemAll! (Firefox/ Ubuntu) - මගේ ඩවුන්ලෝඩ් මැනේජරය
  12. Scribefire (Firefox/ Ubuntu) - සමහර වෙලාවට බ්ලොග් ලියන්න මම මේකත් පාවිච්චි කරනවා. හරිම පහසුයි. ඒ වගේම වේගවත්.
  13. Any Video Converter (Windows XP/ VirtualBox) - මගේ ජංගම දුරකථනයට වීඩියෝ ක්ලිප් එකක් දෙකක් දාගන්න ඕන වුණාම ඒවා MP4 කරගන්නෙ මේකෙන්. ලිනක්ස් වල ffmpeg කියල මේකට ආදේශකයක් තිබුණත් විවිධ video formats ගැන මගේ තියෙන දැනීම මදි කම නිසා අත්හදා බලන්න බැරි වුණා. :(
  14. Any Audio Converter (Windows XP/ VirtualBox) - ජංගම දුරකථනයෙන් 'පටිගත' කළ හඬ ක්ලිප් MP3 කරගන්නෙ මේකෙන්. (AMR codec වලට ලිනක්ස් පැත්තෙන් තවමත් හරියාකාර විසඳුමක් නෑ.)
  15. Sony Ericsson PC Suite (Windows XP/ VirtualBox) - Sony Ericsson K770i දුරකථනයෙ ගොනු හුවමාරු ප්‍රකාරයට නොගිහින් දුරකථනය සාමාන්‍ය විධියට තියෙද්දිම ඒකෙ ගොනු පද්ධතිය බලාගන්න පුළුවන් මේකෙන්. ඒ වැඩේට ලිනක්ස් ආදේශකයක් හෙව්වත් හම්බ වුණේ නෑ. :(
  16. Windows Internet Explorer (Windows XP/ VirtualBox) - ඔන්ලයින් සිංහල පත්තර වලින් එපාම කරපු එක... ලක්බිම පත්තරේ කියවන්න IE හැර වෙන විසඳුමක් නැහැ. :( මේක දැක්කම ASCII ෆොන්ට් පාවිච්චි කරන පත්තර තව හොඳයි කියල හිතෙනවා. (මම මුලින් කිව්ව පොඩ්ඩිත්ත තමයි මේ)

විනාඩි විසි පහක කාලය වැය කරලා ලිව්ව මේ සටහනේ කාටවත් ගත යුත්තක් තියෙන බවක් මට පේන්නෙ නෑ. මොකද මම මේක ලිව්වෙ එහෙම අරමුණකින් නෙමෙයි. වෙන ලියන්න දේකුත් නැති නිසා මගේ මෘදුකාංග පාවිච්චිය ගැන මටම ටිකක් විමසලා බලන්න හිතුණා.

එහෙනං.... අපි ගියා.... අදට adiós වේවා.....! :)

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴

Tuesday, September 22, 2009

docx ප්‍රශ්නය විසඳූ හැටි


ආයුබෝ,... කාලෙකට පස්සේ..... දැන් ශාකුන්තල තුන වසරෙ නොවැ. කන්දක් වගේ වැඩ ගොඩ ගැහීගෙන එනව පේනවා....... හී හී බය හිතෙනවා.... දැන් මම diGIT සඟරාවටත් ලියනවා. පොඩ්ඩක් ඒ පැත්තෙන් ගිහින් Shell Scripting දන්නෙ නැත්තං මං සිංහලෙන් ලියන එව්ව කියවල ඉගෙනගන්න පුළුවන්. :)

මම අන්තිමට ලිව්ව බ්ලොග් සටහනේ තිබුණනේ මගේ පොඩිකාලේ ගත කරපු මැදිරිගිරිය, එහේ පරිසරය ගැන ලියනවා කියලා.... ඒක වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටෙව්වා. කමක් නෑනේ.....? ඒක අතපසු වුණා.... දැන් ට්‍රිප ගිය දවස් වල තිබුණු සෞන්දර්ය මානසිකත්වයෙන් ගැලවිලා විසිවෙලා අයෙම කාර්යබහුලත්වයට අවතීර්ණ වෙලා. ඉතින් අදත් ලියන්නේ තාක්ෂණික ලියමනක්ම තමා.... පේනවනේ මාතෘකාවෙන්ම.

හරි... මෙන්න සිද්ධිය. අපේ මලයා (එකෙක් නෙමෙයි දෙන්නෙක්ම ඉන්නවා ;) , මේ කියන්නෙ එකෙක් ගැන) උසස් පෙළ කාරිය හෙම හමාර කරලා ගෙදර ඉන්න ටික කාලෙට පොඩි පොඩි වැඩ ටිකකට බැහැලා. පරිගණක අළුත්වැඩියාව, පරිගණක ඉගැන්වීම, සිංහල යතුරුලියන වැඩ තමයි කරන්නේ.

ඉතිං ඔය වගේ එක 'බිස්නස්' වැඩකට මලයා MS Office Word වලින් පිටු ගාණක් දිග සිංහල ලියවිල්ලක් ලියලා. ඒක save කරල තියෙන්නෙ docx, ඒ කිව්වෙ Word 2007 ආකෘතියෙන්. අදත් එ්ක සිරිත් පරිදි MS Word 2007 පාවිච්චි කරලා විවෘත කරද්දි මෙන්න Unspecified Error කියාපි! අර මොකක්දෝ එක කොළා කිව්වලු තාප්පෙට!!



 අනාතයි... ලියවිල්ල open නෙමෙයි orphan වෙලා තියෙන්නේ... :-O මේකට විසඳුම් තුනක් තියෙනවා. පළවෙනි එක අන්තර්ජාලයට එබිලා මොකක් හරි recovery tool එකක් හොයන එක (එපා වෙන වැඩක්). දෙවෙනි එක තමයි ලියවිල්ල ආපහු මුල ඉඳලා හදන එක (හාපෝයි බෑ..!). තුන් වෙනි එක තමයි docx ආකෘතිය ඇතුළට රිංගලා ටිකක් විපරං කරලා instant විසඳුමක් හොයාගන්න එක. ඒක නං අල්ලල යනවා... මල් හතයි. :D

docx ආකෘතිය ගැන මම දන්න දෙයක් නෑ ඇත්තටම. කලකට ඉහතදි මම Ubuntu වලදි docx ගොනුවක් විවෘත කරද්දි අහම්බෙන් දැනගත්තා ඒක zip ගොනුවක් බව (Gnome වලදි extension එක ගැන නොතකා ගොනු වර්ගය හඳුනගන්නවා). මේ දෝෂ පණිවුඩයෙ xml කතන්දරයක් කියන නිසා මට නිකමට හිතුණ තව ටිකක් මේ ගැන හොයල බලන්න.

XML ගැන මං මොනවද දන්නෙ? XML ටිකක් HTML වගේ... ටැග් අරිනවා... වහනවා... ආ.... ඒ ඇති.

මේ අවුල ඇති වුණේ කොහෙන්ද කියල මට අදහසක් නැතත් මම අදාළ docx ගොනුවෙ පිටපතක් අරගෙන ඒක WinRAR මෘදුකාංගයෙන් විවෘත කරලා /word/document.xml ගොනුව එළියට ගත්තා (extract). අරගෙන ඒක Firefox වලින් විවෘත කරල බැලුවා. ඒත් අවුලක් නෑනෙ. :-/ XML කේත රුක පිළිවෙලට ලස්සනට තියෙනවා. මොන errors ද?

මොකක් නමුත් අවුලක් තියෙන නිසානෙ විවෘත නොවෙන්නේ. ඉතින් මම XML එක notepad එකෙන් විවෘත කරලා ඔය කියල තියෙන තැන... ඒ කිව්වෙ 2 පේළියෙ 378184 වෙනි තැනට ගිහින් බැලුවා. මොකුත් අවුලක් පේන්න නෑ. XML syntax වරද්දලා නෑ.

උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය ඇති වුණාම මොකද කරන්නේ? සැත්කමක් කරලා උණ්ඩුක පුච්ඡය ඉවත් කරනව නේද? මාත් මේ ගැටළුවට විසඳුම විධියට දැක්කෙ ඒ වගේ දෙයක්. ඒ කිව්වෙ ඔය දෝෂ පණිවුඩයට අදාළ XML ටැග් එක මුළුමනින්ම අයින් කරල දාන එක. මේකත් මාර XML එකක්. සන්තකේටම තියෙන්නෙ පෙළි දෙකයි. හැබැයි දෙවෙනි පේළියෙ දිග... අකුරු 470706! :-O



බොහෝම අමාරුවෙන් තැනත් හොයාගෙන ඔය XML කේත කොටස අයින් කරලා document.xml ගොනුව ආපහු තිබුණු තැනටම පැක් කළා. ඒ කිව්වෙ archive එකට ආපහු එකතු කළා. කරලා MS Word වලින් විවෘත කළාම... violah! :) අපේ මලයට මාර හැපී...! නැත්තං හොඳ පණ යන වැඩක් නෙව... ඔන්න ඔහොමයි ගැටළුව විසඳුවේ. හැබැයි වැඩේ හරි යන බවට පූර්ණ විශ්වාසයක් මට තිබුණෙත් නෑ.... මොකද මම docx ගැන නොදන්න නිසා.

දැන් කෑල්ලක් අයින් කළානේ... ලියවිල්ල පරිස්සමෙන් කියවගෙන ගියා මොනවද හැලිල තියෙන්නෙ කියල බලන්න. මේ ලියවිල්ලෙ තැනින් තැන ගණිතමය සමීකරණ තියෙනවා. පොඩි බට්ටා සමීකරණ විතරක් නෙමෙයි අනුකලන කොක්ක තියෙන පතරංග සමීකරණත් තියෙනවා. අන්න එහෙම සමීකරණයක් පොඩ්ඩක් ඇද ගහල තිබුණා අර code පොඩිත්ත අයින් කළ එකෙන්. ඒ වගේ සමීකරණ තියෙන තැන් වලදි XML කේතයත් සංකීර්ණ ඇති. මේ ගැටළුව ඒ සංකීර්ණ බව නිසා ඇති වුණු එකක් කියලයි මගෙ අදහස.

මේ XML අවුල MS Word 2007 ගොනු ආකෘතියෙ නිතර ඇති වෙන අවුලක්ද කියන එක ගැන කියන්න තරම් මට MS Word 2007 ගැන අත්දැකීමක් නෑ. හැබැයි පරණ නිකුතු (XP, 2003) නම් හම යන්න පාවිච්චි කරල තියෙනවා. මම මේ ගැන බ්ලොග් සටහනක් ලිව්වෙ අපට එදිනෙදා ඇති වෙන සමහර අනපේක්ෂිත ගැටළු වලදි සුළු දැනුමකුයි සුපරීක්ෂාකාරී බවයි එකතු වුණාම කොයි තරම් සතුටුදායක විසඳුම් ලැබෙනවද කියන එක පෙන්නන්න. ඕනෙ නම් මේක කරන මෘදුකාංගයක් Google එකෙන් හොයලා (තව patch/ serials හොයලා; පුළුවන් නම් වයිරස් දෙක තුනකුත් පැළ කරගෙන) කාලය අපතෙ යවන්නත් තිබුණා. ඊට වඩා හොඳ නැද්ද මේ විධිය... පැය කාලෙන් චැප්ටර් ක්ලෝස්.. ;) අළුතෙන් මොනවහරි දෙයක් ඉගෙනගන්නත් ලැබෙනවනෙ.

ගිහිං එන්ඩා......ං.... ආයුබෝ......!

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴

Friday, September 4, 2009

පොළොන්නරුව - ත්‍රිකුණාමලය - අනුරාධපුර - අපේ සැරිසර

ශාකුන්තල ගියානේ දවස් තුනක පොඩි විනෝද චාරිකාවක්. පොඩි කිව්වට පොඩිත් නෑ... මේක පවුලේ උදවියයි නෑදෑ පිරිවරයි එක්ක ගිය බොහොම දුර ගමනක්. දුරයි කිව්වෙ බොහොම දිග වටවන්දනාවක්! ;)

මේ බ්ලොග් සටහනේ මම ඇසු දුටු විවිධත්වයකින් යුත් බොහෝ දේවල් විස්තර කරල තියෙනවා... ඉස්සරහට ඔහොමම කියවගෙන යන්න.... මේක අපේ රටේ සුන්දර තැන් බලන්න ගිය ගමනක saga එකක් කිව්වොත් වැරැද්දක් නැහැ. :)

පිටත් වුණේ අගෝස්තු 30 පාන්දර 5.30 ට අම්බලන්ගොඩින්. ගිහින් එනකොට හරියටම සැප්තැම්බර් 2 පාන්දර 1.00 යි. මෙහෙමයි ගමන් මාර්ගය.......... අම්බලන්ගොඩ - මොරටුව - කොට්ටාව - හංවැල්ල - පූගොඩ - අත්තනගල්ල - පස්යාල - දඹුල්ල - මින්නේරිය - රොටවැව - රත්මලේ හරහා මැදිරිගිරිය - රොටවැව හරහා ගල්ඔය හන්දිය - ත්‍රිකුණාමලය - උප්පුවේලි - නිලාවේලි වෙරළ - කින්නියා - හොරොව්පතාන - මිහින්තලේ - අනුරාධපුර - තලාව - තඹුත්තේගම - ගල්ගමුව - දළදාගම - පාදෙණිය - වාරියපොළ - කුරුණෑගල - කඩවත - කැළණිය - කොළඹ - කොට්ටාව - මොරටුව - අම්බලන්ගොඩ. අනුරාධපුර - පාදෙණිය අතර ගමන් මාර්ගය (A28) හිතාගෙන හිටියට වඩා බොහොම හොඳයි. ඔය තද කළු අකුරින් තියෙන්නෙ ගමනේදී නැවතුණු තැන්. ගොඩක් දේ දැක බලා ගන්න පුළුවන් වුණා. දශක දෙකකින් නොදුටු නෑදෑ පිරිවර දැක බලා හඳුනාගන්නත්, මගේ ළදරු කාලය ගෙවුණු මැදිරිගිරිය නගරය නැවත දැක බලා ගන්න ලැබීමත් මට බොහොම වැදගත් සිද්ධි වුණා.

ඒ වගේම මේ ගමන මගේ අළුත්ම විනෝදාංශයත් ස්වයං අධ්‍යයනයත් වෙලා තියෙන ඡායාරූපකරණයේ යෙදෙන්න හොඳ අවස්ථාවක් වුණා. හොඳ කලාත්මක ඡායාරූප ටිකක් ගන්න උත්සාහ කළා. ළඟදිම මගේ Flickr සේයාරූ දහරට ඒ පිංතූර ටිකත් එකතු කරනවා. පිංතූර ගත්තේ මගේ Sony Ericsson K770i ජංගම දුරකථන කැමරාවෙන්.

මුල්ම දවසේ ගියා රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරය බලන්න. බොහොම මනරම් පරිසරයක්... වචන වලට වඩා පිංතූර බලගතුයි කියනවනේ.... ඒ නිසා පිංතූරත් එක්කම දාන්නම් ගමන් විස්තරේ.

රංගිරි දඹුලු රජමහා විහාරය

මෙයාල හිටියේ ලෙන් විහාරයට යන්න තිබුණු මංපෙතේ...

දඹුලු විහාරයෙන් පිටත් වෙලා අපේ සැලසුමට අනුව ගිහින් අපි ඊළඟට නතර වුණේ මින්නේරියෙ රොටවැව කියන දුෂ්කර ගම්මානයේ. බොහොම ලස්සන පරිසරයක්. එහේ පදිංචි වෙලා ඉන්න මගේ මව් පාර්ශ්වයේ නෑදෑයින් හමු වෙලා අවුරුදු ගණනාවක දේවල් කතා බහ කරගත්තා... ඒත් ඒ අය එක්ක ගත කරන්න ලැබුණු ඒ සුළු කාලය මදි කියලයි හිතෙන්නේ...  :(

ඒ ගෙදරට යන්න තියෙන්නෙ බොහොම දුෂ්කර වැලි පාරක. ගේ ළඟින්ම තියෙනවා අලිවැට. අලිවැට කියන්නෙ අලින්ගෙන් බේරෙන්න විදුලි රැහැන් යොදල සකස් කළ වැට. ඒ පැත්තෙ දියපාරවල් නම් බොහොමයක් ම මේ දවස් වල හිඳිලා. අපි යද්දි ඒ ගෙදර වහලේ දඬුවැල් මැස්සො වදයක් බැඳල. දඬුවැල් මැස්සා කියන්නෙත් පොඩි මී මැසි වර්ගයක්. අපි ආව නිසා පැණි ගන්න මී වදය කඩල තිබුණා. මේ මැස්සන්ගෙ පැණි වල රසයයි සුවඳයි ඒ වදය බඳින කාලෙට පිපෙන මල් වර්ගය අනුව වෙනස් වෙනවලු. මමත් ඉතිං නිකං ඉන්න බැරි කමට පැණි ටිකට වැඩේ දුන්න එක වෙනම කතාවක්. ;)

රොටවැව මී පැණි :P

ඊළඟට ගියේ මැදිරිගිරියට... මගේ ජීවිතේ වැදගත්ම තැනකට..... හරියටම අවුරුදු 20කට පසුව...! මගේ තාත්තගෙ ජීවිතේ හොඳම කාලය ගෙවිල තියෙන්නෙ මැදිරිගිරියෙ. මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙක් විධියට තාත්තා උගන්වන කාලේ අපි ජීවත් වුණේ විද්‍යාල භූමියේම දකුණු පැත්තෙ තියෙන ගුරු නිවාසයක. හරියටම තැන කිව්වොත් දකුණු පැත්තේ ගේට්ටුවෙන් ඇතුළට ගියාම දකුණු අත පැත්තෙ දකින්න ලැබෙන පළවෙනි ගෙදර. ළදරු අවධියේ පරණ දේවල් වුණත් සමහර ඒවා මට හොඳට මතක තියෙනවා... ගේ ඉස්සරහම තියෙන අඹ ගහ, ගුරු පාර පාසල් ක්‍රීඩා පිටිය මට හොඳට මතකයි. ම්ම්ම්.... මැදිරිගිරියේ කතා වලින් නම් පොතක් පුරවන්න පුළුවන්. ඒ ගැන ඊළඟ බ්ලොග් සටහනක ලියන්නම්. :)

මෙන්න ශාකුන්තල හැදුණු වැඩුණු තැන අද - මේ ගමනේ මට සුවිශේෂීම දේ - මේ ගැන හිතට එන දේ ලියන්න වචන නෑ මට! :-|

තාත්තත් එක්ක මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ එකට රාජකාරි කළ සමකාලීන ගුරුවරු කීප දෙනෙකුත් හමු වුණා.... මගේ ළදරු කාලය ගත වුණේ ඒ අයත් එක්ක..... බොහෝම උණුසුම් පිළිගැනීමක්....!

"ආනේ... බි** කොහොමද පුතේ.........? ඔයාට මතකද අපිව....?"
(බි** = ඒ දවස් වල මගේ සූර තල් නම) :P

අවුරුදු 20ක්......! මොන තරම් දේවල් සිද්ධ වෙන්න ඇත්ද.......?

මේ ලස්සන මල් තියෙන්නෙ මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාල භූමියේ -- කවුද කියන්නෙ පේරාදෙණියෙ විතරයි කියල ලස්සන මල් තියෙන්නෙ? :P

එදා රෑ නතර වුණේ කවුඩුල්ලේ අපේ නෑදෑ ගෙදරක. ඒ නෑදෑයනුත් අපි බොහෝම කලකින් දැකල නැහැ. ඉතින් අපී හැම දෙනාටම මාර හැපී. රෑ කවුඩුලු වැවේ නාන්න ගියා... මූදෙ නානව වගේ... මාර සනීපයි ඇඟට ;) මං ඉතිං වතුරට බහින්න බයයි නොවැ.... ඒ නිසා සිරිත් පරිදිම ගොඩ පිහිනීම ප්‍රගුණ කළා හොඳට. :D

හිතින් මවා ගන්න මෙන්න මෙහෙම.... සප්ත මහා සාගරේ වගේ වතුර තියෙනවා..... සීතල වතුර..... රළ ගහනවා...... වැව් ඉවුරේ බොරළු වගේ වැල්ල.... ලස්සනට හඳ පායලා තියෙනවා.... වැව් දියට යට වුණු ගස් කීපයක කඳන් විතරක් වැව් දියෙන් ඉහළට මතු වෙලා හෙවනැළි වගේ පේනවා..... බොහොම සැරට සීතල සුළං හමනවා..... හිතින් මවාගන්න උත්සාහ කර බලන්න ඒ අපූරු පරිසරය...

නාලා ආපහු ඇවිත් පොඩි සොමියක් දාලා හොඳට කාලා නිදා ගත්තා. ආවේ වැව් බැම්ම දිගේ තියෙන කැලෑ පාරෙන්. වල් අලි බලන්නත් එක්ක. ඒත් කරුමේ කියන්නෙ එක කාලකන්ණි අලියෙක්වත් ආවෙ නෑනෙ එළියට පොඩි ෂෝ පාරක්වත් දාල යන්න! :-| හැබැයි හාවෝ නං හිටියා.... එහෙට මෙහෙට පැන පැන.... උන් වාහනේ සද්දෙට බය වෙලා කැලෑව ඇතුළට දුවනවා.

මින්නේරියේ, කවුඩුල්ලේ අපේ ඥාතීන්ගෙන් ලැබුණු නියම ගැමි සත්කාරය මට ජීවිතේට අමතක වෙන්නෙ නැහැ.

පළවෙනි දවස ගත වුණේ ඔන්න ඔහොම... දෙවෙනි දවසේ අපි මැදිරිගිරිය වටදාගෙය බලලා ඊළඟට පිටත් වුණේ ත්‍රිකුණාමලයට.

මැදිරිගිරිය වටදාගෙය

ත්‍රිකුණාමලයේ බලන්න දේවල් බොහොමයි. කෝනේස්වරම්, නිලාවේලි, කින්නියා.... අපි ත්‍රිකුණාමලයට එද්දි හවස් වුණා. මුලින්ම ගියේ කෝනේස්වරම් හින්දු පුදබිම බලන්න.

මේ panorama එක ගත්තේ කෝනේස්වරම් හින්දු පුදබිමේදී. වම් පැත්තේ පොඩි තිත් වගේ පේන්නෙ ධීවර බෝට්ටු. පිංතූරෙ ක්ලික් කරල පැහැදිළිව බලන්න පුළුවන්.

මේකත් ගත්තේ කෝනේස්වරම් වලදී. ඔය ඈත හීනියට පේන ගොඩබිම මොකක්ද කියල දන්නවද? ඒ තමයි සාම්පූර්!

මෙයාගෙ ළඟටම ගිහින් පිංතූරෙ ගත්තේ -- කෝනේස්වරම් වල ජීවත් වෙන මුවෙක්

නිලාවේලි යද්දි රෑ වුණු නිසා නිලාවේලි මූදෙ නාන අදහස අත්හැරගන්න වුණා. :( :( :( දෙවෙනි දවසේ රෑ නතර වුණේ උප්පුවේලියේ තියෙන guest house එකක. එහෙ ඉඳලා තුන්වෙනි දවසේ අපේ ඉලක්කය වුණේ අනුරාධපුර. ඉතින් උදේ ඉඳලා ගමනේ..... :)

අපි ආපු ගමන් මාර්ගය මීට කලකට ඉහතදී LTTE පාලන ප්‍රදේශයක්. තවමත් දෙපා කොටින්ගේ විසිරුණු පොඩි පොඩි කණ්ඩායම් සැරිසරනවලු. සතෙකුගේ බෙල්ල කපලා වෙන් කළාම ඉතිරි අඬු පඬු ටික ටිකක් වෙලා යනකම් ඉබාගාතේ දඟලනවනේ... අන්න ඒ වගේ තමයි ඔය පොඩි කණ්ඩායම් සීන් එකත්... ටික දවසකින් ඉවරයි :D .

ඒ පැත්තේ හමුදා ආරක්ෂාව තර කරල තිබුණා... අපටත් කීප වතාවක්ම පරීක්ෂාවන්ට ලක් වෙන්න සිද්ධ වුණා. උදේට හමුදාවෙන් යනවා වෙල් යායවල් වල කොටි වළලපු බිම් බෝම්බ හොයන්න.... මම එහෙම අනුමාන කළේ හමුදා භටයින්ගෙ අතේ තිබුණු බෝම්බ සෙවීමේ උපකරණ නිසා. :-O මේක මම මෙතන බොහොම සැහැල්ලුවෙන් ලිව්වට මොකද ඒ අය තමන්ගෙ ජීවිතත් පරදුවට තියල කරන්නෙ බොහොම අමාරු බරපතල රාජකාරියක්. :-O

සමහර වෙල් යායවල් මැද්දෙ එකිනෙකට බොහොම දුරස්ව පොඩි පොඩි ගෙවල් තියෙනවා... අළුතින් ඉඩම් කට්ටි වෙන් කරල දෙනව වගේ. මේ පැත්තෙ වතුර නෑ.... නියං කාලය. ඉඳ හිට දකින්න ලැබෙන ගරාවැටුණු ගොඩනැගිල්ලක් තිබුණොත් ඒකෙ බිත්ති වල වෙඩි උණ්ඩ වලට හිල් වුණු සලකුණුත් දකින්න පුළුවන්. :-O බොහොම දරුණුවට ගේම් එක ගිහින් වගේ මෙහෙ!

ඔහොම ඔහොම අපි හොරොව්පතාන හරහා අනුරාධපුරයටත් ආවා... එන ගමනෙදිත් පිංතූර ගන්න වැඩේ නම් අමතක කළේ නෑ.

දිය සිඳුණු වැවක් -- තැන නම් මතක නෑ

මේ හොරොව්පතානේ කුඹුරක් -- මේ පිංතූරය ගන්න වෙලාවෙ අපේ වාහනය සැලකිය යුතු වේගයකින් ඉදිරියට ඇදෙමින් තිබුණු නිසා exposure time අඩු වෙන විධියට කැමරාව සකසල තමයි ගත්තෙ... ඒ ක්‍රමයට ගත්ත තවත් පිංතූර ගොඩක් තියෙනවා

අපේ ඊළඟ නැරඹුම් ස්ථානය වුණේ මිහින්තලය.... මෙන්න ඇතුළු වෙන තැනම තියෙනවා පිංතූර ගන්න එපාලු! :-O ...

පිංතූර ගන්න එපා? ඒ වුණාට මම ගත්තනෙ! :D

මේක මෙතන තිබුණට මොකද තවත් තැන් තැන් වල ඔය පිටුපසින් තියෙන බෝඩ් එක වගේ බෝඩ් කීපයකම ගහලා තිබුණා ප්‍රතිමා වලට අපහාස වෙන ආකාරයට ඡායාරූප ගැනීම තහනම් කියලා... ඒ කියන්නේ එහෙම නොවෙන්න පිංතූර ගන්න පුළුවන්නේ..... නැද්ද මං අහන්නෙ? ;) එකක් විතරක් නෙමෙයි කීපයක්ම තිබුණා... මේ වගේ බෝඩ් තිබුණේ මේකම විතරයි. මේක මේ සමහන් කාරයගෙ ඇඩ් කෑල්ලක්ද කොහෙද.... මං ගන්නව ෆොටෝ.... මොකද විකුණල මට සල්ලි හොයන්නවත් අපහාස කරන්නවත් නෙමෙයිනෙ....

මේ මිහින්තලේ ඉහළට නැගලා ගත්ත panorama එකක්

මේ පරිසරය කෙතරම් රමණීයද...

මිහින්තලයෙන් පිටත් වෙලා නොබෝ වෙලාවකින් අපි අනුරාධපුරයටත් ආවා.... මෙහෙ නොවැ බලන්න දේවල් තියෙන්නේ.... :)

ජේතවනාරාමය

මෙයා නං හරිම කුළෑටි පෙනුමයි - බෞද්ධ පුදබිමක මේ වගේ සතුන්ට හිංසා කරන්න ඉඩ දෙන එක වැරදියි කියල තමයි මට නම් හිතෙන්නේ....

දිය සිඳුණු කූට්ටම් පොකුණ

අනුරාධපුර රාජධානිය තිබුණු කාලේ මේවා කොහොම තේජසකින් තියෙන්න ඇත්ද........?

අනුරාධපුරදී ගත්ත පිංතූර තමයි වැඩියෙන්ම තියෙන්නෙ... නමුත් මෙතන දැම්මොත් මේ පිටුව load වෙනකං හැට පැයක් බලාගෙන ඉන්න වෙනවා... ඒ නිසා ළඟදිම Flickr දාන්නම්.

අනුරාධපුර ගමනෙන් අපේ චාරිකාව ඉවරයි. ඊට පස්සෙ ඉතිං බැක් ටු හෝම් තමයි. බොහොම වටින කියන තැන් ගොඩක් බලා කියා ගත්තා... ඇත්තෙන්ම කිව්වොත් මේ IT කෙරුවාව අතඇරල දාල සදහටම රොටවැව නතර වෙන්න හිතෙන තරමට අපූරු මනස්කාන්ත පරිසරයක් තිබුණා. ඒ පරිසරය දාල එන්න දුකයි.... අවුරුදු 20කට කලින් මැදිරිගිරිය අතහැර දාල තාත්ත ආපහු උපන් ගමට ආවෙ කොහොමද කියල හිතාගන්නත් අමාරුයි.... ඇත්තෙන්ම කිව්වොත් පහුගිය අවුරුදු 20 පුරාවටම තාත්ත මනසින් ජීවත් වෙලා තියෙන්නෙ මැදිරිගිරියෙ. දේවල් මෙහෙම සිද්ධ වෙන්නත් හේතු තියෙනවා...... ඒ ගැන ඊළඟ බ්ලොග් සටහනේ ලියනවා..... කාට හරි පොලිටිකල් කණේ පාරක් වදින්නත් ඉඩ තියෙනවා ඒකෙන්.

බ්ලොග් ලිවිල්ලෙන් මම නිරාවරණය වුණා.... ඒත් නිරාවරණය නොකර තියාගන්න මම උත්සාහ කරන මගේ එක ගතිගුණයක් තියෙනවා... ඒ තමයි සංවේදීත්වය. හැබැයි මේ බ්ලොග් පෝස්ට් එකෙන් මටත් නොදැනීම ඒ සංවේදීත්වය ටිකක් නිරාවරණය වෙලා වගේ දැනෙනවා..... මම ඒකට අකැමැති වුණත්.

උපන් ගමටත් වඩා ආදරය කරන මැදිරිගිරියේ ජීවිතය ගැන මගේ ඊළඟ බ්ලොග් සටහනක් ලියැවෙනකම් අදට ආයිබෝං.......!

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴