Thursday, October 1, 2009

අළුත් නැවට ලිනක්ස්!

2009 සැප්තැම්බර් 26 තවත් අපූරු දවසක්. එදා අපේ ජූනියර්ලා CompSoc (කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක සංගමය) උදව්වෙන් නවකයින්ට පොඩි වැඩමුළුවක් සූදානම් කරලා. ඒ තමයි නිදහස් හා විවෘත මෘදුකාංග සහ ලිනක්ස් පාරිසරිකය හඳුන්වා දීම. ඉතින් තුන වසරෙ අපි කීප දෙනෙකුත් ඒකට උදව් කළා. මේක පැවැත්වුණේ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයෙ මහාචාර්ය වී.කේ. සමරනායක ශ්‍රවණාගාරයේ.

හොඳ අදහසක්. ගොඩක් අය වින්ඩෝස් වලින් ඔබ්බට ලෝකයක් තියෙන බව දන්නෙ නැහැ. ඒ වගේම ගොඩක් දුර බැහැරින් අාපු සමහර අය පාසල් අධ්‍යාපනය හමාර කරලා එද්දි ලබලා තිබුණු පරිගණක දැනුම ගොඩක් අඩුයි (හැම පාසලකම අංග සම්පූර්ණ පරිගණක පහසුකම් නැහැනේ). ඉතින් ඒ අයට FOSS සංකල්පය, ලිනක්ස් ස්ථාපනය සහ පාවිච්චිය ගැන පොඩි හඳුන්වා දීමක් කරන්න තමයි වැඩි කාලයක් වෙන් වුණේ. ඊට අමතරව බ්ලොග්කරණයත් හඳුන්වා දෙනු ලැබුණා. මෙතන සහභාගීත්වයෙ විශේෂත්වයකුත් තියෙනවා. මේ මෙගා කුප්පිය දමාපු අපෙන් දෙතුන් දෙනෙක් හැර ඉතිරි සියල්ලෝ ම සිංහල බ්ලොග්කරුවෝ. (කාටද ආඩම්බර? :P ) ඉතින්, වැඩමුළුවෙදි මම භාරගත් වැඩේ දැනට වින්ඩෝස් ස්ථාපනය කර ඇති පරිගණකයක දෙවන මෙහෙයුම් පද්ධතිය ලෙස Ubuntu ස්ථාපනය කරන ආකාරය කියා දීම. ඒ ගැන මගේ පෞද්ගලික අත්දැකීම් තමයි මේ බ්ලොග් සටහනේ ලියැවෙන්නෙ.




Ubuntu ස්ථාපනය කර පෙන්වන්න ශ්‍රවණාගාරයෙ තියෙන ප්‍රක්ෂේපණ යන්ත්‍රය භාවිතා කළා. මෙතනදි VGA සම්බන්ධව ඇති වෙන්න පුළුවන් ගැටළු නිසාත් Ubuntu අළුතෙන්ම ස්ථාපනය කරන්න ලැප්ටොප් පරිගණකයක් ඉක්මනින් සපයා ගැනීමේ ගැටළු නිසාත් ආදර්ශණය කරන්න පාවිච්චි කළේ VirtualBox මෘදුකාංගය. මේක මම කලින් අත්හදා බලා නැහැ. නමුත් මේ වැඩමුළුවෙන් පස්සේ පැහැදිලි වුණා මෙහෙයුම් පද්ධති ස්ථාපනය වගේ 'බරපතල' වැඩක් ආදර්ශණය කරල පෙන්නන්න VirtualBox අපූරුවට යොදාගන්න පුළුවන් බව. (Ubuntu තියෙන පරිගණකයක VirtualBox දාලා ඒක උඩ ආයෙම Ubuntu දැමිල්ල එක අතකට විකාරයක් වගේ නේද? ;) )

ඉතින් කලින් දවසෙ (සැප්තැම්බර් 25) හවස ශ්‍රවණාගාරයට ගිහින් කෝකටත් කියලා ප්‍රක්ෂේපණ යන්ත්‍රය මගේ ලැප්ටොප් එකත් එක්ක වැඩද කියල පරීක්ෂා කරල බැලුවා. පූර්ව සූදානම ඉතාම වැදගත් (නෝන්ඩි වෙනවට වඩා :P ). මගේ Acer ලැප්ටොප් පරිගණකයෙ Fn + F5 යතුරු සංයෝජනය ක්‍රියාත්මක කළාම ද්විත්ව දර්ශක (dual display) ප්‍රකාරයට මාරු වෙනවා. නැවතත් ඒ යතුරු සංයෝජනයම ක්‍රියාත්මක කළාම පෙර තත්වයට පත් වෙනවා. හැබැයි අවුලක්... මගේ මොනිටරේ පෙන්නන දේ නෙමෙයි ප්‍රක්ෂේපණ යන්ත්‍රයෙන් පෙන්නන්නේ. වින්ඩෝ එකක් ඇදල ප්‍රක්ෂේපණ යන්ත්‍රයට -- ඒ කිව්වෙ දෙවෙනි මොනිටරයට දාන්න පුළුවන්. ආපහු ඒක ඇදල අරගෙන ලැප්ටොප් මොනිටරෙන්ම තියාගන්නත් පුළුවන්. ඒක අවුලක් නෑ කියමු. ප්‍රක්ෂේපණ යන්ත්‍රයෙන් පෙනෙන පිළිබිඹුව අපැහැදිලියි. ඒ මදිවට Compiz Fusion පිස්සු නටනවා. :-O මේකට විසඳුම Mirror Screens කියන විකල්පය භාවිත කරන එක. System --> Preferences --> Screen Resolution ගිහින්, නැත්තම් gnome-display-properties කියන විධානය දීලා Mirror Screens විකල්පය තෝරලා Apply කළාම හරි. ඔව්... ඒක නියමෙට වැඩ!! 1024 x 768 ප්‍රමාණයට තිරය සකසා ගත්තාම වැඩේ ගොඩ! :)

ඊළඟට පූර්ව සූදානමේ දෙවෙනි අදියර... virtual machine එකක් ධාවනය කරල බැලුවා. VirtualBox පූර්ණ තිර ප්‍රකාරයෙදිවත් තිරයෙ සම්පූර්ණ ඉඩ පාවිච්චි වෙන්නෙ නෑ. 800 x 600 ඉඩක් තමයි virtual machine එකෙන් පාවිච්චියට ගන්නෙ. Virtual machine එකට දෙන වීඩියෝ මතක ප්‍රමාණය වැඩි කරල බැලුවත් හරි ගියේ නැහැ. ඒකට නම් මම දන්න තරමින් විසඳුමක් නෑ. හැබැයි අවුලකුත් නෑ. පැහැදිලිව සිද්ධ වෙන දේ පේනවනම් එච්චරයි අපට ඕනේ. ඊළඟට කළේ virtual machine එකේ දෘඩ තැටිය partition තුනකට වෙන් කරලා පළවෙනි එකේ Windows XP ස්ථාපනය කළ එක.

ඉතින් ඔන්න  26 වෙනිදා උදේ ඔක්කොම සැලසුම් කරගත් පරිදි අටවගත්තා. තවත් දේවල් ආදර්ශණය කරල පෙන්නන්න මගේ ලැප්ටොප් පරිගණකයට අමතරව ලැප්ටොප් පරිගණක දෙකකුත් පාවිච්චි කළා. Ubuntu ස්ථාපනය කළේ මගේ පරිගණකයේ. මුලින්ම වින්ඩෝස් වලින් virtal machine එක ක්‍රියාත්මක කරලා C:, D:, E: partition තුන තියෙන ආකාරයත්, ඊළඟට Computer Management Console එකේ Disk Management එකට ගිහින් දෘඩ තැටි partition වල සත්‍ය ස්වභාවයත් පැහැදිලි කර දුන්නා. ලිනක්ස් ස්ථාපනයේදී මෙය දැන සිටීම අත්‍යාවශ්‍යයි [මේ ගැන මම කලින් ලියූ ලිපියක් මෙතනින් කියවන්න]. ඊළඟට Ubuntu Live CD එකෙන් boot කරල GUI මගින් Ubuntu ස්ථාපනය කරන හැටි මම මුල සිට සරලව විස්තර කළා. හැබැයි කී දෙනෙකුට තේරුණාද දන්නෙ නැහැ. :) මහා ලොකු දෙයක් නොවන බව ඇත්ත. ඒත් දුර බැහැර ගම්මාන වල අඩු පහසුකම් යටතෙ උසස් පෙළ කරලා ආපු කී දෙනෙක් ඒකෙන් ඉගෙනගන්න ඇත්ද? අනෙක, හැම දෙනාම හැම දේම දන්නෙ නෑ නොවැ. දැන් ඔය එක එක ටෝක්ස් දුන්නට මමත් පරිගණක ජාලකරණය ඉගෙන ගත්තෙ කැම්පස් ආවට පස්සෙ. ;)

VirtualBox පූර්ණ තිර ප්‍රකාරයට මාරු වුණාම ඇත්ත OS එකද බොරු එකද කියල පිටතින් බලන කෙනෙකුට වෙන් කරල අඳුනගන්න අමාරුයි. ඉතින් ශ්‍රවණාගාරයක විශාල ප්‍රක්ෂේපිත තිරයෙ ඒක පෙනෙනකොට අමුතුම කික් එකක් තියෙන්නෙ. :D

Ubuntu ස්ථාපනයෙදි දෘඩ තැටි ඉඩ භාවිතා කරන ආකාරය තෝරගන්න පියවරේදි වඩාත්ම සුදුසු තමන් විසින්ම (manually) partition table එක සංස්කරණය කරගන්නා විකල්පය. ඒ බව මම විශේෂිතව සඳහන් කළා. ඒ දේවල් කීප දෙනෙකුට හරියට තේරුම් ගිහින් තිබුණෙ නැහැ. ඉතින් කීප සැරයක්ම විස්තර කළා. සිය වතාවක් විස්තර කරන්න කිව්වොත් ඒකත් කරන්න ලෑස්ති වෙලයි මම ගියෙ. :)

ඉතින් Ubuntu ස්ථාපනය කරලා අවසානයෙ GRUB මෙනුව ගැන මූලික දේවල් ටිකක්, මෘදුකාංග ස්ථාපනය, විධාන අතුරුමුහුණත ගැනත් කියා දුන්නෙ මේ virtual machine එකේම තමයි. විධාන අතුරුමුහුණතට (terminal) ගොඩක් දෙනාගෙ තියෙන ලාක්ෂණික බය නැති කරන එක තමයි මට තිබුණු ලොකුම වුවමනාව. නමුත් කාල වේලාව මදි වුණු නිසා ඒක හරියට කරගන්න බැරි වුණා. :( නමුත් අතිශය ජනාදරයට පත් මගේ පරණ බ්ලොග් ලිපියක් පෙන්නල වැඩේ ෂේප් කළා. ;)

මේ ඉන්නෙ මම

රවින්ද, මෘදුකාංග ස්ථාපනය විස්තර කරමින්...

එක වසරෙ අය
(ඡායාරූප ශිල්පියා අපේ බැච් එකේ ඔමිල)

UCSC එකේ එක වසරෙ කස්ටිය මේක කියවනවා නම්... තව මොනව හරි දැනගන්න ඕනේ නම්... මට ලෙක්චර් නැති වෙලාවට මගෙන් අහන්න. එක්කෝ මං 3rd year lab එකේ වැඩක්... නැත්තං බවනේ ලැප්ටොප් එක දිග ඇරගෙන ඇති... එහෙමත් නැත්තං W002 ශාලාවෙ නිදි. :D



ඉතිං සියල්ල අවසාන වෙලා මම ගෙදර ගිහින් ලැප්ටොප් එක ක්‍රියාත්මක කළාම මෙන්න තිරයෙ ඉහළිනුයි පහළිනුයි පෙන්නන පැනල් දෙක නෑ. :-O අහා..! මේ dual display සිද්ධියනේ!! Fn + F5 ක්‍රියාත්මක කළාම වැඩේ හරි. ඒත් පරිගණකය ක්‍රියාත්මක කරන හැම වතාවකම ඒක කරන්න කරදරයි... ඉතින් ඒක හදාගන්න සරල විසඳුමක් තියෙනවා. මං ට්‍රයි කොළා... වැඩ කොළා... :)

ඒ තමයි GRUB මෙනුවේ recovery mode විකල්පය පාවිච්චි කරලා පරිගණකය ක්‍රියාරම්භ කරලා ලැබෙන මෙනුවෙන් xfix (fix graphics problems) විකල්පය ක්‍රියාත්මක කිරීම. දැන් ලෙඩේ නිට්ටාවටම සනීපයි. :)

මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය හා නඩත්තුව ප්‍රක්ෂේපණ තිරයක පෙන්වන ගමන් කාට හරි ඉදිරිපත් කර පෙන්නන්න අවශ්‍යතාවත් ඇති වුණොත් ඒකට VirtualBox හරිම අපූරු මෘදුකාංගයක්.

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴

12 comments:

  1. කොල්ල බිසි වගේ මේ දවස් වල.. ;)

    ReplyDelete
  2. ඔව්... ටිකක් විතර.... දැන් තුන වසරෙනේ... ;) මාස හයෙන් ක්‍රෙඩිට් තිහක් එකතු කරගන්නත් ඕනේ..... :-O

    මේ දවස් වල වැඩි වැඩියෙන් බ්ලොග් පෝස්ට් දාන්න හේතුව පැහැදිලි වෙයි blog archive එක පැත්තට ඇහැ දාලා බැලුවනං. :)

    ReplyDelete
  3. Another great work by Shaaku malli.... Keep it up.... (I read ur blog after a long time.. b'cos of my busy life-style.. Sory, could't read continuously...)

    ReplyDelete
  4. ආ... කොල්ල ශතකයක් ගහන්න යන්නෙ.. හොදා හොදා :P

    ReplyDelete
  5. අන්න හොඳ වැඩක් . නවකයන්ට වධ දෙනවාට වඩා මේ වගේ ප්‍රයෝජනවත් දෙයක් කරන එක කොච්චර හොඳද ? හැබැයි පොඩි රැගකුත් දීල වගේ

    මම මුල සිට සරලව විස්තර කළා. හැබැයි කී දෙනෙකුට තේරුණාද දන්නෙ නැහැ.තේරෙන්නෙ නැති ලෙක්චර් එකක ඉඳගෙන ඉන්න එක මටනම් මාර වධයක්

    ආ ශතකයක් ගහන්නත් ළඟයි වගේ. සුභපැතුම් !

    ReplyDelete
  6. අප්පා මාත් ඉන්නවනේ. හික්ස්
    එහෙම නැතිව බෑනෙ නේද? ඕක ලෑස්ති කරගන්න Comp Soc එකේ අය පස්සෙ ඇවිද්දෙ මමයි කේෂානුයිනේ.
    අයියා දීපු උදව්වට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  7. ශාකුන්තල අය්යේ VirtualBox ගැන විස්තරාත්මකව ලිපියක් ලියන්ඩකෝ.
    මට තාමත් මේ මෘදුකන්ගය ගැන හරි හැටි දැනුමක් නෑ

    ReplyDelete
  8. @නිරන්ජන්,
    ස්තුතියි අයියේ... බිසි වුණා කියල ලිවීම නවත්තන්න නම් එපා. මාසෙකට එකක්වත් ලියන්න.

    @කණියා,
    watch :P

    @Chanaka Aruna Munasinghe,
    හිතුණොත් මමත් රැග ගැන ලිපියක් ලියනවා. රැගේ ස්වභාවය තැනින් තැනට වෙනස්. මේ වැඩමුළුව පවත්වනකොට බකට් එකත් ඉවර වෙලා සතියක් දෙකක් ගිහින්.

    "සිය වතාවක් විස්තර කරන්න කිව්වොත් ඒකත් කරන්න ලෑස්ති වෙලයි මම ගියෙ."
    මම මේක පටන්ගන්නකොටම කිව්ව දෙයක්.. මෝඩ ප්‍රශ්න කියල දෙයක් නෑ.. මේ වගේ වෙලාවක අහන හැම ප්‍රශ්නයක්ම වැදගත්... අතරමගදි එන ඕනම ප්‍රශ්නයක් මගෙන් අහන්න... ඇත්තටම රැග් වෙන්න බලාගෙන ගියේ මම. ;)

    @සුසිත,
    :) මේ වැඩේ මම බාරගත්තෙ බොහොම ආසාවෙන්.

    @රොකියා,
    VirtalBox ගැන හැඳින්වීමක් මම ඇත්තටම ලියන්න අවශ්‍යමද? මේ ගැන විවිධ සිංහල බ්ලොග්කරුවන් වරින් වර කතා කරල තියෙනවා. මේ ලිපි ටිකෙන් උදව්වක් ගන්න පුළුවන් වෙයි.
    http://tinyurl.com/y8j26hb
    http://tinyurl.com/ycta7qb
    http://tinyurl.com/ydp8r3j
    http://tinyurl.com/y86jysy

    ReplyDelete
  9. ශාකුන්තල අය්යේ

    මටත් මේ post එක කියවලා virtual box install කරන්න ආසවක් අවිත් virtualbox install කරල ubuntuත් දැම්මා ! දැන් XP (host) යි ubuntu (guest) අතරෙ shared folder එකක් හදගන්න ඕනෙ. ඒක කරගන්න හැටි චුට්ටක් කියා දෙනවද ?

    ReplyDelete
  10. @neon,

    * මුලින්ම Ubuntu Guest එකේ VirtualBox Guest Additions ස්ථාපනය කරගන්න. මේ ISO එක virtual machine එකේ settings වලින් CDROM එක විධියට දුන්නාම හරි.
    http://dlc.sun.com/virtualbox/2.0.4/VBoxGuestAdditions_2.0.4.iso
    ඒකෙ තියෙන Guest Additions package එක Ubuntu වල ස්ථාපනය කරගන්න.

    * දැන් shared folder එකක් හදන්න (neon කියල හිතමු). දැන් virtual machine එක බූට් කරලා මෙන්න මේ command එක run කරලා,
    # mkdir /media/neon-share; echo "neon /media/neon-share vboxsf defaults 0 1" >> /etc/fstab
    virtual machine එක restart කරන්න.

    අපැහැදිලි තැනක් තියෙනවනම් අහන්න. :)

    ReplyDelete
  11. අවුලක් නෑ.මම ඉන්නෙ සවුදියෙ. ඉතින් මෙහෙ ගොඩක් සයිට් බ්ලොක් කරලයි තියෙන්නෙ.ඔය දුන්න සයිට් එකත් බ්ලොක්.
    http://img200.imageshack.us/img200/9623/66241433.jpg
    මට තාමත් මේක ගැන විස්තරත්මකව ලියපු ලිපියක් හම්බුනේ නෑ. ඒකයි අනිත් බිගිනස්ලටත් ප්‍රයෝගනවත් වෙයි කියල ලිපියක් දාන්ඩ කියුවෙ.

    ReplyDelete
  12. Virtualbox එකේ screen size හදා ගන්න එක මටත් ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ.

    වෙබ් එකේ search පාරක් දාලා හොයා ගත්තා වැඩේ ලේසියෙන්ම කරගන්න ;-)

    http://www.nerdgrind.com/how-to-increase-screen-size-or-resolution-in-virtualbox-for-ubuntu-or-linux/

    ReplyDelete

Facebook ප්‍රතිචාර