Monday, December 14, 2009

මෝරුන් ලවා සිංදු බෑම


අද කියන්න යන්නේ තාක්ෂණය හා සංගීතය සම්බන්ධ කාරණයක්. මගේ දෛනික අත්දැකීම් අතරට එකතු වෙන තවත් එක අත්දැකීමක්. බළලුන් ලවා කොස් ඇට බෑවීම ට ආදේශකයක් හොයන අය මේ ලිපිය කියවන්නෙ නැතුව මගේ Flickr සේයා දහර පැත්තේ ගිහින් බලන්න. :D

තාක්ෂණික දේවල් කියවන්න අකමැති නම් සටහනේ අන්තිමේ ඇති දෙසවනට හා දෙනුවනට රසවිඳින්න යමක්. තාක්ෂණික මාතෘකා අප්පිරියා වගේ නම් මඟැහරල ඔහොමම යන්න පහළට.

පොප්, රෙගේ සහ හිපොප් අහන්න ටියුන් වෙලා තිබුණු මගේ කන් දෙක රොක් සංගීතයට ටියුන් වෙන්න පටන් ගත්තේ එක්තරා තහනම් වෙළඳ දැන්වීමක තිබුණු සිංහල රොක් සිංදුවක් අහලා. ඉනික්බිති ගල්, තද ගල්, තලන ලෝහ, බර ලෝහ, මර ලෝහ සහ කළු ලෝහ මේ හැම ජාතියටම බරපතල ලෙස ඇබ්බැහි වුණා. තේරුණේ නැත්තම් ඔය ලැයිස්තුව rock, hard rock, thrash metal, heavy metal, death metal සහ black metal කියල හිතාගන්ටකෝ.

චිත්‍රාල් සෝමපාලගෙ නදී ගංගා තරණයේ තවමත් මම බොහොම ආස කරන සිංදුවක්. දවසක් අහම්බෙන් Facebook හරහා මාව යොමු වුණේ මෙන්න මේ පිටුවට. ඒකෙ තිබුණා මම ප්‍රිය කරන ගීතයෙ සාමාන්‍යයෙන් අහල පුරුදු එකට වඩා වෙනස් අනුවාදයක්. රොක් ම තමා.... හැබැයි පොඩ්ඩක් විතර වෙනස්. ගායකයා එම ම තමා, කටහඬ පාලනය මුල් අනුවාදයෙ තරම්ම හොඳ තත්වයක නැහැ. හැබැයි පසුබිම් සංගීතයට පොඩි වර්ණවත් බවක් එකතු වෙලා.... මුල් ගීතයෙ තිබුණු තේජාන්විත බවත් ටිකක් අඩු වෙලා.



එකම ගීතයෙ වුණත් විවිධ අනුවාද රසවිඳින්න මම ගොඩක් ප්‍රියයි. විවිධත්වය කොතැනද - රසය එතැන! ඉතින් වෙබ් පිටුවෙ embed කරලා තිබුණු මගේ ප්‍රියතම ගීයත්, අනෙක් රොක් සිංදු ටිකත් බාගන්න මම උත්සාහ කළා. නමුත් සාමාන්‍යයෙන් මේ වගේ වැඩ වලට මම පාවිච්චි කරන Video Download Helper ඇඩෝනය මේ ගීත වල බාගැනීමේ සබැඳි (download links) හොයාගන්න අපොහොසත් වුණා. ඒ නිසා මම ඒ හා සමාන තවත් ඇඩෝනයක් පාවිච්චි කරලා නැවත උත්සාහ කළා. අසාර්ථකයි! :(

ගිනිහිවල් ආම්පන්න කෙරුවාව එකින් එක හොය හොයා ගියොත් මට වෙනින් වැඩක් කරගන්න කාලයක් ඉතිරි නොවෙන නිසා මම වෙනත් විසඳුමක් හොයන්න උත්සුක වුණා. මුලින් ම බැලුවෙ Firefox සහ Adobe Flash Player මෘදුකාංග වල cache ඩිරෙක්ටරි ඇතුළෙ. නමුත් මගේ බලාපොරොත්තු සුන් කරමින් ඒවයෙනුත් කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා. :(

ඉතින් අවසාන තීරණය වුණේ පරිගණකයට පිටතින් (ජාලය හරහා) එන සියළුම අමු දත්ත (raw data) මෘදුකාංගයක් මගින් ග්‍රහණය කරගෙන ඒ ග්‍රහණය කරගත් බිටු සහ බයිට අතරේ මට අවශ්‍ය දේ තියෙනව ද කියල සොයා බලන එක! :-O එහෙම බර වචන වලින් කිව්වාම බය වෙන්න එපා :) -- මේ කාරිය ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන් Wireshark කියන මෘදුකාංගයෙන්. මේ ලියමනේ මාතෘකාවෙ සඳහන් මෝරා මොකාද කියල දැන් වැටහෙන්න ඕනේ. :) Wireshark මෘදුකාංගය network protocol analyzer එකක්. පරිගණකයත් ජාලයත් අතර දත්ත හුවමාරුව සිද්ධ වෙන්නේ දත්ත 'පැකට්' කියන කුඩා ඒකක (chunks) ආකාරයෙන්. Wireshark මෘදුකාංගයට පුළුවන් මේ දත්ත පැකට් දෙස විමසිල්ලෙන් බලා සිට ඒ පැකට් පිළිවෙලකට පිටපත් කරගන්න. මේ පැකට් පසුව විශ්ලේෂණය කිරීමේ පහසුකමත් Wireshark විසින්ම ලබා දෙනවා.

කොළඹ සරසවියෙ මෙතෙක් මම පෙනී හිටපු විභාග වලින් එකම A+ සමාර්ථය ලබපු පරිගණක ජාලකරණය පිළිබඳ ප්‍රශ්නපත්‍රයෙත් Wireshark මෘදුකාංගයෙන් ග්‍රහණය කරගත් දත්ත පැකැට්ටුවක් විශ්ලේෂණය කරන්න ගැටළුවක් තිබුණා ලාවට වගේ මතකයි. ඉතින් මේවත් අපට වැඩද කියලා හිතින් හිතාගෙන වැල්මෝරා සූදානම් කරගෙන වැඩේට බැස්සා.

මුලින්ම වෙබ් ගවේශකයෙ මට අවශ්‍ය ටැබ් එක (ගීතය අඩංගු වෙබ් පිටුව) හැර ඉතිරි සියළුම ටැබ් වහලා දැම්මා. Twitter සඳහා පාවිච්චි කරන Echofon ඇඩෝනය අක්‍රිය කළා. මේ දේවල් කළේ අනවශ්‍ය දත්ත පැකට් Wireshark මගින් ග්‍රහණය (capture) වීම වළක්වන්න. ඉන්පස්සේ ගීතය අඩංගු වෙබ් පිටුව ප්‍රතිපූරණය (reload) කරලා ඒ ප්‍රතිපූරණය සිද්ධ වෙන අතරෙම පැකට් ග්‍රහණය කරන වැඩේ පටන් ගත්තා. ගීතය මුළුමනින්ම වාදනය අවසාන වුණාම වෙබ් ගවේශකය වසා දමලා දත්ත පැකට් ග්‍රහණය කරන වැඩෙත් නතර කරලා දැම්මා. ග්‍රහණය කරගත් අමු දත්ත විශ්ලේෂණය කිරීමේ පහසුව තකා වෙනම ගොනුවකට save කරගත්තා.

දැන් විශ්ලේෂණය කරන වැඩේ. අමු දත්ත පැකට් හරීම ලස්සනයි :P . කොළ පාටට - කළු පාටට - ලා නිල් පාටට - වෛවාරන්න පැකට්! ඒ මදිවට TCP, UDP, HTTP, SSL, DNS මෙකී නොකී හැම ජාතියෙම පැකට්!! ඉතින් දත්ත පැකට් දහස් ගණනක් අතරේ අතරමං නොවී මට අවශ්‍ය දේ පහසුවෙන් හොයාගන්න පොඩි 'පෙරහනක්' පාවිච්චි කළා. වෙබ් ගවේශකය ක්‍රියාත්මක වෙන්නේ HTTP කියන ජාලකරණ සම්මුතියට අනුව. HTTP වල එක ලක්ෂණයක් තමයි HTTP සර්වරයක් වෙතින් යම් අන්තර්ගතයක් (content) සඳහා ඉල්ලීමක් කළාම අදාළ අන්තර්ගතය, එහි තත්වය පිළිබඳව HTTP තත්ත්ව කේතයක් සමඟ පෙරළා දැනුම් දීම. සාමාන්‍යයෙන් දෝෂ කේතයක් නොවේ නම් මෙය අන්තර්ජාල ගවේශණයේදී පරිශීලකයා වෙත දිස් වන්නේ නැහැ. වෙබ් ගවේශකයෙන් ඉල්ලුම් කරන අන්තර්ගතය කිසිම බාධාවකින් තොරව ඒ වෙත ලබා දෙන්න වෙබ් සර්වරය සමත් වුණා නම් මේ තත්ත්ව කේතය වෙන්නේ 200. ඒක සම්මුතියේ තියෙන සම්මතයක්. ඒ නිසා මේ නිර්ණායකය පාවිච්චි කළා මම ඉහත කියපු පෙරහන හදාගන්න. මිළඟ තිරපිටපත බැලුවාම පෙරහන ගැන පැහැදිලි වෙයි. මේ දේවල් පැහැදිලි කරන්න ටිකක් වැඩිපුර වචන පාවිච්චි කළාට අකුණක් ගහනවා වගේ ඔය සියළුම අදහස් මගේ මනසේ ගොඩනැගෙන්න ගත වුණේ එක නිමේෂයයි.


 පැහැදිලි මදි නම් තිරපිටපත මත ක්ලික් කරන්න

ඔය තිරපිටපතෙත් සලකුණු කරල තියෙන එක දත්ත පැකැට්ටුවක් ගැන මගේ අවධානය විශේෂිතව යොමු වුණා. බැලු බැල්මට ඒක නම් MP3 ගොනුවක ආරම්භක දත්ත පැකැට්ටුව වගේ පෙනෙන්නේ. නමුත් වැඩිදුර සොයාබැලීම සඳහා ඒක මත ක්ලික් කළාම Wireshark වැසී යනවා. ඒක Wireshark මෘදුකාංගයෙ සුළු දෝෂයක් නිසා ඇති වුණු දෙයක් විය හැකියි. නමුත් අදාළ පැකැට්ටුව විවෘත කරගන්න බැරි නිසා මගේ අවසාන උත්සාහය වුණේ HTTP මගින් ලැබුණු සියළුම දත්ත, ගොනු බවට export කරගන්න එක. File -> Export -> Objects -> HTTP මෙනු විධානය දුන්නාම තවත් පොඩි අතුරුමුහුණතක් හරහා මේ සියල්ල ගොනු ආකාරයෙන් ලබාගන්න පුළුවන් වුණා. ඒ අතර තිබුණා -- මොනවද? මට ඕන කරපු දේ! :) මෙහෙයුම සාර්ථකයි!!

බලන්න මීළඟ තිරපිටපත.


පැහැදිලි මදි නම් තිරපිටපත මත ක්ලික් කරන්න

ඔය අස්සේ Facebook වෙළඳ දැන්වීමක ෆෝන් විකුණන කෙල්ලෙකුත් ඔතනට ඇවිත්... ඒව ගනංගන්න එපා.. :P .

 ---

Wireshark හරිම අපූරු මෘදුකාංගයක්. දවසක් මම බැචෙකුට SSL කුප්පියක් දාන්න ආරම්භයක් විධියට Wireshark වලින් පොඩි වැඩකෑල්ලක් දාල පෙන්නුවා. මුලින් පෙන්නුවේ මගේ අතහැර දමාපු SLT Dial-up ගිණුමට ලොග් වෙලා ඒ අතරේ Wireshark එකෙන් ග්‍රහණය කළ දත්ත අතරේ ගෙඩි පිටින් username/ password තියෙන හැටි. ඊළඟට මගේ Gmail එකට ලොග් වෙලා username/ password හොයන වැඩේ ඌටම කරගන්න දුන්නා. :D

(SLT අය SSL පාවිච්චි කරන්නෙ නැත -- සහතිකේ ගිණි ගණං නිසා වෙන්නට ඇත)

---



ඔය තිරපිටපතේ තියෙන විධියේ පිවිසුම් ක්‍රමය සමහර වෙබ් අඩවි වල පාවිච්චි වෙනව දැකල ඇතිනේ.... මේක තරමක් දුරට අනාරක්ෂිතයි. හිතන්න තමන් දැනට ඉන්න local area network එක ඇතුළෙ තවත් කෙනෙක් ඔය විධියෙ අඩවියකට තමන්ගෙ පරිශීලක නමයි මුරපදයයි දීලා ලොග් වෙනව කියලා. ඒ කෙනා ලොග් වෙන වෙලාවේ දත්ත පැකට් ටික Wireshark මගින් ග්‍රහණය කරගන්න පුළුවන් නම් සොරි ඩොට් කොම්! අපට නෙමෙයි එයාට.

මෙතනදි username/ password යන්නෙ encrypt කරල නෙමෙයි. හැබැයි බැලු බැල්මට ඒ වගෙයි. පොඩි සෙල්ලමක් දාලා ආයෙම username/ password අදාළ දත්ත වලින් පහසුවෙන්ම ගණනය කරගන්න පුළුවන්. (base64 encoding ගැන පොඩි ගුග්ල් සෙවුමක් දාලා බලන්ටකෝ.... ;) )

මේව වැරදි වැඩ තමයි.... හැබැයි hacking කියල වරදවා වටහාගන්න එහෙම එපා..... :P



සිංදුවත් අහමුකෝ.... හැබැයි මේ මම බාගත් එක නෙමෙයි. ඔරිජිනල් නදී ගංගා තරණයේ. වෙනස් සන්දර්භයක් ඇතුව රස විඳිමුද? ඒකට ඕන කරන උත්ප්‍රේරකය තමයි ඔය Youtube ලින්ක් එකට පහළින් සඳහන් කරල තියෙන්නේ.....


Youtube එකේ තියෙන දර්ශන පෙළ නරඹන අදහස අතහැර දමන්න. බය වුණාම බොන ජාතිය අමතක කරන්න. Youtube එකේ ගීතය වාදනය වෙන අතරේ තවත් ටැබ් දෙකක මෙන්න මේ වෙබ් පිටු විවෘත කරගන්න. පිංතූර එකින් එක බලන අතරේ ගීතයට හොඳින් සවන්දෙන්න.


(අනුන්ගෙ සිංදු අනවසරයෙන් කොපි කරලා ඩවුන්ලෝඩ් කරන්න දෙන එක නෝටි වැඩක් නේ..... අනෙක..... තව ටික දවසකින් ඕකෙ ඩවුන්ලෝඩ් දෙයි. ඒ නිසා මම ශිල්ප දක්වලා බාගනිපු එක මගෙ ළඟම තිබුණාවේ -- ඕනෙ නම් මම කරපු විධියටම කරලා සිංදුව බාගන්න. ;-) )



එහෙනං ඉතිං.... නැවතීමේ තිත තියන්න හෙවත් කැපෙන්න වෙලාව ඇවිත්. මේ සිංදු බෑවිල්ල මහා ලොකු දෙයක් නෙවෙයි. නමුත් සිංහලෙන් වැඩ කරන පාඨක පිරිස අතරේ බෙදා හදාගන්න හිතුණා. තවත් මොනවහරි දෙයක් අරගෙන ආපහු එනකම්.... Rock on! :D

25 comments:

  1. ස්තූතියි Wireshark ගැන දැනුවත් කලාට.... :)

    ReplyDelete
  2. wireshark kiyanne kohomath depaththa kapena kaduwak ne. :D

    ReplyDelete
  3. පට්ට පට්‍ට.. වැලමෝරාත් මරු නෙ... සෑහෙන වැදගත් දෙයක් තැන්කූ වේවා !!

    ReplyDelete
  4. ආපහු මෝරා දාල බලන්න හිතෙනවා. ඒත් කොහෙද එකක් විතරක් කරන පුරුද්ද මට නෑනේ. :( ‍කොයි වෙලෙත් මල්ටි ටාස්කිං තමයි. වෙලාවක ආයිම දාල බලන්නම්.

    ReplyDelete
  5. තව හතර පස් වතවක් කියවන්න වෙය් වගෙ

    ReplyDelete
  6. වැඩේ නම් සිරා.

    ReplyDelete
  7. අකුණු ගහනවා වගේ මරු අදහස් තමයි ඔයාගෙ හිතටත් එන්නෙ. අපිත් මේ දවස් වල Data Com ඉගෙනගන්නවනෙ. ලිපිය කියවද්දි ලෙක්චර් එකේදි කියපු (නිදිමතේ අහගෙන හිටපු) යම් යම් දේවල් මතක් උනා. :D
    වැඩේ නම් මරු. Videos බාන්න දෙන්නැති සමහර අඩවි වලින් (උදා: Daily Motion) පවා මේ විදියට videos පවා බාගන්න පුළුවන් වෙයි නේ? කරලම බලන්න ඕනා වැල්මෝරාගෙ වැඩ කොහොමද කියලා. :D

    ReplyDelete
  8. මාරයිනෙ! දැන්ම wireshark බාන්න ඕන!

    ReplyDelete
  9. මම නම් මේවා ගැන ලොකුවට දන්නේ නෑ. හැබැයි ඔයා දුන්න u tube ලින්ක් එකෙන් සිංදුව බලන ගමන් speed bit video downloder eken බෑවා. flv file එක total video conveter එකෙන් mp3 කරා ඔය තියෙන්නෙ නියමෙට....
    බොහොම ස්තූතියි !

    ReplyDelete
  10. අපට නම් networking අනන්තයේ තියෙන විෂයයක්.අපිට ඉතින් ස්වයං අධ්‍යන ක්‍රමේ නොවැ තියෙන්නේ.අද ලිපිය ගොඩක් හොඳයි.ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.

    ReplyDelete
  11. ප්‍රතිචාර වලට ස්තුතියි!

    @Janith,
    ඇත්ත. ඒක හොඳට වගේම නරකටත් පාවිච්චි කරන්න පුළුවන්.

    @චතුරංග,
    හෙමින් කියවන්න. :)

    @ධනික,
    ඔව් පුළුවන් වෙන්න ඕනෙ. TCP / UDP ඕන ජාතියක පැකට් අල්ලන්න මෝරට පුළුවන් නිසා streaming media වුණත් බැරි වෙන එකක් නෑ.

    @Anonymous,
    ඔයා අරගෙන තියෙන්නේ ඔරිජිනල් එක. ඒකත් මෙන්න මෙතනින් MP3 බාගන්න පුළුවන් බව මේ සටහනේ මුලින්ම ලියා තියෙනවා.

    http://www.rock.lk/index.php?ind=downloads&op=entry_view&iden=65

    මම සිල්ප දක්වලා බාගත්තේ මෙතෙක් අහන්න නොලැබුණු, තවමත් කොහෙන්වත් බාගන්න බැරි අනුවාදයක් (version). සෝමපාල මහත්තයා ළඟදි රිලීස් කළ smash hit එක මේකද දන්නෙත් නෑ.

    කොහොම වුණත් කමෙන්ට් එකට ස්තුතියි. :)

    ReplyDelete
  12. එල එල, පංකාදු 5යි

    ReplyDelete
  13. Nadee Ganga චිට්‍රාල් සෝමපාල Rockz again
    නලියගේ joint එකට ගිහින් Featured Video එක බලන්න
    Naliya's Joint

    ReplyDelete
  14. ela ela mamath oka Etheral kale indanma pawichhi karnwa,et ithn gedra thama,hehe :) mamath oka gana liyak lyanan htye welwak tibbe ne,oken gatta scrsht ekak tyenwa ela,langadi dannm blog eke :0

    ReplyDelete
  15. @Gihan,
    උඹත් රොක් වලට ටියුන් වෙයංකෝ... පංකාදු 5x5=25 යි කියල.... \m/

    @Naliyaa,
    ජොයින්ට් එකේ කොයි තරම් කාලයක් ඕක featured video කියලා වැජඹෙයිද? යූටියුබ් ලින්ක් එකම දැම්ම නං වටිනවා. තැන්කූ කමෙන්ට් එකට.

    @බුද්ධික,
    බොහෝම සන්තෝසයි කාලෙකින් පස්සෙ මේ පැත්තෙ ආ එක ගැන. දැන් වැඩිය ලියන්නෙ නැත්තෙ ඇයි? නාග අඩවිය තිබුණ නං එළ.

    @änthräX,
    Thanks dude! ඔබතුමාගෙ මැණික් බිස්නස් එකට මොකෑ වුණේ?

    ReplyDelete
  16. ෂාහ්, අයියා හෙන වැඩ්ඩනේ !!.
    UCSC එකේ ළමයින්ට හොදට උගන්නවා වගේ. අයියා වගේ අය තමා ලංකාව ගොඩ දාන්න ඉන්නෙ.All d best !!

    ReplyDelete
  17. එලස් !
    ඔන්න මම උඹේ ලිපිය කියවලා, අමාරුවෙච්ච ටිකට උඹෙන්ම උදව් අරගෙන, උඹ දීපු සිංදුවම බෑවා :D
    තැන්කූ මචං. Wireshark වලින් තව ගේම් දෙකතුනක්ම තියෙනවා දෙන්න, එකින් එක ට්‍රයි කරන්න ඕනේ.... :)

    ReplyDelete
  18. niyamai machan etha mata nam mokawathma therune naha

    ReplyDelete
  19. නොදන්න ගොඩක් දේවල් මම දෑන ගත්තා ඔබගෙ මෙම වෙබ් අවකාශයෙන් ඔබට පින්...

    ReplyDelete
  20. මගේ Gmail එකේ username/pw ට්‍රැක් කරන්න බැලුවා වැඩේ හරිගියේ නෑනේ. පැකට් එක ගත්තට කරන්න දන්නේ නෑ. base64 encoding නෙමෙයිද ගූගල් භාවිත කරන්නේ..?

    ReplyDelete
  21. @සුපුන්,
    තෙවැනි පාර්ශ්ව වල අයට නොපෙනෙන්න තොරතුරු සඟවන උප්‍රක්‍රමය තමයි encryption කියන්නේ. ඒක encoding වලට වඩා වෙනස්.

    Encoding වලදි, encode කරන්න පාවිච්චි කළ ගණිතමය ක්‍රියාපටිපාටිය (algorithm) සලකා බලා encode කළ තොරතුරු decode කරගන්න පුළුවන්. නමුත් encryption වලදි, අදාළ ගණිතමය ක්‍රියාපටිපාටි දැන සිටියත් තෙවැනි පාර්ශ්වයකට ඒවා decrypt කරගන්න හැකියාවක් නැහැ.

    Google account එකට පිවිසීමෙදි username සහ password යවන්නෙ encrypt කරලා. Encryption කිව්වමත් විවිධාකාර encryption උපක්‍රම තියෙනවා. Google පාවිච්චි කරන්නෙ SSL encryption කියන ක්‍රමය.

    Google account එකට පිවිසෙන වෙලාවෙ browser එකේ address bar එක දිහා බලන්න. HTTPS වලින් නේද පටන් ගන්නේ? සමහරවිට ඉබ්බෙකුත් ඇති එතන. :)

    එයින් කියන්නෙ අදාළ වෙබ් පිටුවත්, සර්වරයත් අතර හුවමාරු වෙන දත්ත මෝරුන්ට බිලීබාන්න බෑ කියන එක. :)

    ReplyDelete
  22. මටත් තියේ බාගන්න විඩියේ එකක් ස්ටීම් ෙවන.
    දන්න ශීල්ප දැම්මාට එන්ෙනම නැ ෙන්.
    firefox Inspect කරලා video ulr එක ොයන් IDM දැම්මත් න්ෙන් නෑ
    විදියක් කීෙවාත් පිං

    ReplyDelete
  23. 'දෙකක්' හෝ 'තුනක්' නොවෙන දෙයක් නම් මෙතන ලින්ක් එක දාන්න පුළුවන්ද? මටත් ඕනේ එක එක විදියේ වෙබ් අඩවි එක්ක මේක පොඩ්ඩක් අත්හදා බලන්න.

    මට විශ්වාස නැහැ streaming video (UDP) නම් මේ ක්‍රමයට බාන්න පුළුවන් වෙයිද කියලා.

    ReplyDelete

Facebook ප්‍රතිචාර