Tuesday, April 6, 2010

එන්න, නිදහස අත්විඳින්න මා සමඟ...

ආයුබෝ...! ආයෙමත්, ටික දවසකට පස්සේ ඔන්න ආවා බ්ලොග් එක පැත්තේ. මේ ලියමන තාක්ෂණය සම්බන්ධ එකක් වුණාට මේක කියවන්න ගීක්ලා වෙන්නම ඕනෙ නෑ. :-) මේ ලිපියේ කොටස් දෙකයි... පූර්වභාගය මගේ අත්දැකීම්... අපර භාගය සමාජයට පොඩි පණිවුඩයක්.

මම සම්පූර්ණයෙන්ම ලිනක්ස් වලට මාරු වෙලා දැන් මාස දහයකටත් කිට්ටුයි. මේ කාලය ඇතුළත මම අළුතෙන් බොහොමයක් දේවල් ඉගෙනගත්තා. “වෙනස් වීම” – බැරැක් ඔබාමා දිනවූ වචනය – ක්‍රියාවට නංවන එක අමාරු කාරියක්. නමුත් ස්වයංව වෙනසට ලක්වීමේදී තමයි අභියෝග වලට මුහුණදීම ගැන හොඳ ප්‍රායෝගික පුහුණුවක් ලැබෙන්නෙත්. මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙලා දෛනික පරිගණක කටයුතු කරගැනීම අමාරුයි නේද කියන එක බොහෝ දෙනා මගෙන් අසා තිබුණු ප්‍රශ්නයක්. මගේ උත්තරය, මුල් කාලේ නම් ටිකක් ඔව්, ඒත් දැන් නම් එහෙම නෑ කියන එක. සමස්තයක් වශයෙන්, ලිනක්ස් වල වැඩ කිරීම කොහොමටත් අමාරු කාරියක් නෙවෙයි. වෙනසට ලක් වීම අමාරුයි. ඒත් වෙනසට ලක් වුණාට පසුව අනුගමනය කළ යුතු සාමාන්‍ය පිළිවෙත් සහ රටාවන් (practices) වලට හුරු වුණාම, මුලින් හිටපු තත්වයට වඩා පහසු බවක් දැනෙන්නේ.

මම දෛනිකව පාවිච්චි කරන මෘදුකාංග ගැන සඳහනක් මීට කලකට ඉහතදි පළ කළා. ඇත්තෙන්ම මේ ලැයිස්තුව දැන් යල් පැනලා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් එක්ක මගේ තිබුණු බැමි කීපයක්ම දැන් බිඳිලා ගිහින්. ලිනක්ස් වලට මාරු වුණු මුල් කාලේ යම් යම් අවශ්‍යතා සඳහා ඉඳහිට වින්ඩෝස් පාවිච්චි කරන්න අවශ්‍ය වුණා. පරිගණකය ප්‍රතිපණගන්වන්න කම්මැලි නිසා මේකට පාව්චිචි කළේ Sun VirtualBox මත Windows XP. නමුත් පහුගිය කාලය ඇතුළත, වින්ඩෝස් නැතිවම බැරි වෙලා තිබුණු මේ සමහර අවශ්‍යතාවන් වලට සාර්ථක නිදහස් හා විවෘත ආදේශක විසඳුම් කීපයක්ම අන්තර්ජාලය ඔස්සේ සොයාගන්න මට හැකි වුණා. ඒ සියළුම මෘදුකාංග/ විසඳුම් සඳහා දායක වූවන්ට මගේ හෘදයාංගම ස්තුතිය හා ප්‍රණාමය පිරිනැමෙනවා.

දැන්, මගේ VirtualBox එක ඇතුලේ තියෙන්නෙ Windows 7. ඒත්... මට දැන් ඒක ක්‍රියාත්මක කරන්නත් කම්මැලියි. හිතාගන්න පුළුවන්ද ලිනක්ස් වල භාවිතයේ පහසුව හා ඇබ්බැහි වීම...? මම මේ මෑතකදි එකම එක වැඩකට මම Windows 7 පාවිච්චි කළා. ඒ OpenOffice.org වින්ඩෝස් සඳහා වන නිකුතුවේ සිංහල අතුරුමුහුණත පරීක්ෂා කරන්න. (ඒකට ඉතිං වින්ඩෝස් නැතුව වෙන මොකක් පාවිච්චි කරන්නද? :P )

මම සෙල්ලම් කර කර හිටපු කාලේ මාර්තු දෙවැනිදායින් අවසාන වුණු බව දන්නව ඇතිනේ... දැන් මම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආධුනිකයෙක්... හඃ හඃ..! මට මේ දවස් වල පැවරිලා තියෙන වැඩ වල ටිකක් බැරෑරුම් වගකීමක් තියෙනවා. මාසයක් ඇතුළත මේ දක්වා ඒ වැඩ වලදි ඉතාම විශ්වාසනීයවත්, ආරක්ෂාකාරීවත් වැඩ කරන්න පුළුවන් බොහොම ස්ථායී පාදමක් සහ හොඳ තාක්ෂණික වටපිටාවක් ලිනක්ස් වලින් ලබා දී තිබෙන බව බය නැතුව අත්දැකීම් සහිතව කියන්න පුළුවන්. මෙපමණ කාලයක් සෙල්ලම් කළේ ලෝකල්හොස්ට් එකේ තියෙන සර්වර සහ පරීක්ෂණ දත්ත එක්ක... ඒත් දැන්.......................

---

පහුගිය කාලේ ඇතුළත මට හමුවුණු දේවල් කීපයක් මේ.

ලිනක්ස් වීඩියෝ සංස්කරණය කරන්න පාවිච්චි කරන මෘදුකාංග ගණනාවක්ම තිබෙනවා. ඒ එකකවත් පරිශීලක අතුරුමුහුණත තාම Adobe Premiere හෝ එවැනි මෘදුකාංගයක් තරම් පහසුවෙන් පාවිච්චි කළ හැකි තරමට දියුණු වෙලා නැති බව ඇත්ත. ඒත්, සමහර වැඩ වලදි අවශ්‍යතාවය අනුව චිත්‍රක අතුරුමුහුණතක් (GUI) නැති ffmpeg පවා සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ක්ලික් කළොත් ඒ ගැන යමක් බලාගන්න පුළුවන්. :-) LiVES, Cinelerra යනාදී වශයෙන් වීඩියෝ මෘදුකාංග ගොඩක් මට අන්තර්ජාලය ඔස්සේ සොයාගන්න හැකි වුණා. අවශ්‍යතාවයක් ඇති වුණොත් මම ඒවා පාවිච්චි කරන ක්‍රමය ඉගෙනගනිමින් අළුත් පරිසරයට හුරු වෙනවා. මම Adobe Premiere පාවිච්චි කරල නෑ. පාවිච්චි කරන්න දන්නෙත් නෑ. ඉතින් මට කෝකත් එකයි.

WinSCP මෘදුකාංගය ගැන දන්නව ඇතිනේ... SSH/ SFTP සඳහා වින්ඩෝස් මත භාවිත කළ හැකි client මෘදුකාංගයක්. Windows Explorer (explorer.exe) පාවිච්චි කරලා සාමාන්‍ය ගොනු හුවමාරු වැඩ කරගන්න පුළුවන් වුණාට SSH වගේ ආරක්ෂාකාරී විවෘත කේත පද්ධතිත් එක්ක වැඩ කිරීමේ හැකියාව එයට ලබා දී නැහැ. ඒ නිසයි WinSCP හෝ එවැනි තෙවන පාර්ශ්වයීය මෘදුකාංගයක් පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. නමුත් Ubuntu/ Kubuntu/ Fedora වගේ ලිනක්ස් පද්ධතියකදි තත්වය වෙනස්. File Manager එක විවෘත කරලා පෙත ලබා දෙන තැන ssh://username@serverhost:port යන රටාව අනුව පෙත සටහන් කරලා Enter කළ ගමන් වැඩේ ගොඩ! මේක කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ Ubuntu සමඟ පෙරනිමියෙන්ම GVFS සහය තියෙන නිසා. මේ තියෙන තිර රූපසටහන් දෙකත් බලන්න.

තෙවන පාර්ශ්වයීය ආදේශක අවශ්‍ය නෑ... :-) කාර්යාල වැඩ වලදි ත්‍රෛභාෂික (යුනිකෝඩ්) පෙළ අඩංගු ගොනුත් සමඟ වැඩ කරන්න සිද්ධ වෙන නිසා සාමාන්‍ය ලිනක්ස් ටර්මිනල් එකක වැඩ කරන්න අමාරුයි. අනිවාර්යයෙන්ම චිත්‍රක අතුරුමුහුණතකට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වැඩෙන් ගොඩක් කාලය ඉතිරි වුණා.


මේ 'සුඛෝපභෝගී' පහසුකම් පාවිච්චි කරන්න නම් ටිකක් වේගවත් ජාල සම්බන්ධතාවක් අවශ්‍යයි -- කාර්යාලයීය පරිගණක ජාලය (Office LAN) තුළ පාවිච්චිය ගැටළුවක් නැහැ 

ඊළඟ කාරණාව, EOT වැනි යල්පිනූ ක්‍රම පාවිච්චි කර සිංහල ලියන අන්තර්ජාල පුවත්පත් (උදා: ලක්බිම) කියවන එක. මේ පුවත්පත් කියවන්න පුළුවන් Windows Internet Explorer භාවිතයෙන්ම පමණයි. පත්තරේ බලන්න විතරක් වින්ඩෝස් බූට් කරන්න මට කම්මැලියි. ගැටළුවට නිවැරදිම විසඳුම ළඟපාත තිබිලත් මම දැනගෙන හිටියෙ නැහැ නොවැ. අපේ සහෝදර බ්ලොග්කරුවෙක් වන කෙහළිය බණ්ඩාර ගල්ලබ මීට සාර්ථක විසඳුමක් දීලා තියෙනවා. ගිහිල්ලම බලන්න...!

3GP මාදිලියේ වීඩියෝ ක්ලිප් නරඹන්න ලිනක්ස් මත වැඩ කරන මෘදුකාංගයක් හොයාගන්න බැරුව මම පහුගිය කාලෙ නහයෙන් අඬ අඬා හිටිය නෙව. මේකත් අර මුලින් කිව්ව වින්ඩෝස් එක්ක තිබුණු බැමි කීපයෙන් එකක්. පහුගිය සතියේ මම අහම්බෙන් දැක්කා SuperUbuntu මත පෙරනිමියෙන් එන RealPlayer 11 මෘදුකාංගයෙන් ඒ අවශ්‍යතාවයත් සාර්ථකව සපුරාගන්න පුළුවන් බව. ඉතින් මම මේ දවස් වල හොයනවා ඒක එහෙම වුණේ කොහොමද කියලා...

ඉතින් ඔය වගේ හැම බැම්මක්ම ක්‍රම ක්‍රමයෙන් බිඳිලා මම දැන් VirtualBox එක ඇතුලේ තියෙන Windows 7 ධාවනය කරවන්නෙත් ඉතාම කලාතුරකින්. පහුගිය මාසයටම දෙ වතාවයි.

ඉතිං.......... මට තව දුරටත් වින්ඩෝස් ඕනෙ වේවිද? ඔව්. මම මෘදුකාංග සංවර්ධනයේ (software development) නියැලෙන්නෙක්. තවමත් වැඩි දෙනා පාවිච්චි කරන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිසා ඒ ආශ්‍රිතව මෘදුකාංග සඳහා තත්ත්ව පරීක්ෂණ කරන්න වින්ඩෝස් අවශ්‍ය වෙනවා. .NET ආශ්‍රිත මෘදුකාංග සංවර්ධනයටත් ඉදිරි කාලය තුළ ඉඳහිට මට වින්ඩෝස් අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත්, වින්ඩෝස් සඳහා වෙනම වෙන් කළ partition එකක් මගේ පරිගණකයෙ නෑ. ඉඳහිට අවශ්‍ය වූ වෙලාවක පාවිච්චි කරන්න ඒක VirtualBox එකේම තියේවි.



ඉතින්... මේ ලියවිල්ලෙන් මම දෙන පණිවුඩය...

සාමාන්‍ය පරිශීලකයෙකුට මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙන්න බෑ කියන එක බොරුවක්. පැහැදිලි දැක්මක් සහිතව ලිනක්ස් වලට මාරු වීමේ අවශ්‍යතාවය අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ ඇති. පහුගිය කාලය ඇතුළත සුළු මට්ටමේ චිත්‍රක සංස්කරණ කටයුතු කීපයකුත් මගේ කාර්යාල වැඩ වලදි කරන්න සිදු වුණා. කිසිදු අපහසුවකින් තොරව මම GIMP පාවිච්චි කරලා අදාළ අවශ්‍යතාව සපුරාගත්තා. අනෙක් වැඩ වලදිත් එහෙමයි... සොයන්නාට සම්භ වේ කියල කියමනක් එහෙමත් තියෙනවනෙ..! :-)

හැමදෙනාටම ලිනක්ස් වලට මාරු වෙන්න බෑ කියන කතන්දරේ ඇත්තකුත් නැතුවම නොවෙයි. සමහර අවශ්‍යතාවන් වලදි ලිනක්ස් පාරිසරිකය තුළ වැඩ කරන්න පුළුවන් වෘත්තීයමය මට්ටමේ මෘදුකාංග නැහැ. ඒකට තව ටික කලක් ගත වෙයි. උදාහරණයක් විධියට අපි GIMP ගත්තොත්, මුද්‍රණ ක්ෂේත්‍රයේ භාවිත වෙන CMYK වර්ණ මාදිලියට එය පෙරනිමියෙන් සහය දක්වන්නෙ නැහැ. නමුත්, ඒ සඳහා plugin එකක් අන්තර්ජාලය ඔස්සේ හොයාගන්න පුළුවන්.

ඊළඟ ගැටළුව මතු වෙන්නේ අන්තර්ජාලය ගැන. අන්තර්ජාලය නැතුව මෘදුකාංග ස්ථාපනය කරන්නත් බෑ. ඒ වගේම ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවක විසඳුම් හොයාගන්නත් බෑ. මමත් කාලයක් තිස්සේ මේ ගැටළුවත් සමඟ ඔට්ටු වෙමින් ලිනක්ස් සහ නිදහස් - විවෘත මෘදුකාංග පාවිච්චි කළ කෙනෙක්.

හිතල බලන්න මෙහෙම..... ලංකාවෙ අනවසරයෙන් වින්ඩෝස් භාවිතය ඉතාම ප්‍රචලිතයි. එක එක වැඩ වලට මෘදුකාංග අවශ්‍ය වෙනවා. ඒ නිසා වින්ඩෝස් හා ඒ මත ධාවනය වෙන මෘදුකාංග වලට අපේ රටේ හොඳ වෙළඳපොළක් ඇති වුණා. ඒ ඔස්සේ රට පුරා මෘදුකාංග අලෙවිසැල් බිහි වුණා. නීති විරෝධී වුණත්, වින්ඩෝස් එක්ක ඕනෙ වැඩක් කරගන්න අවශ්‍ය මෘදුකාංග මේ තැන් වලින් හොයාගන්න පුළුවන්.

නමුත්, අපි ඉදිරි කාලය තුළ අනවසර මෘදුකාංග පාවිච්චිය අතහැරලා නිදහස් මෙහෙයුම් පද්ධති හා නිදහස් මෘදුකාංග භාවිතයට පෙළඹුණොත්. මෘදුකාංග අවශ්‍ය වෙයි. ඒ මෘදුකාංග වලට හොඳ වෙළඳපොළකුත් ඇති වෙයි. මෘදුකාංග අලෙවිසැල් වලට ලිනක්ස් හා ඒ සමඟ වැඩ කරන්න පුළුවන් නිදහස් මෘදුකාංගත් එයි. අවසානයේ ලිනක්ස් එක්කත් ඕනෙ වැඩක් කරගන්න මෘදුකාංග අලෙවිසැල් වලින් හොයාගන්න පුළුවන් වෙයි. රිචඩ් ස්ටෝල්මන් විසින් අර්ථ දැක්වූ සිව් වැදෑරුම් නිදහසට අනුව බලාත්මක කරන ලද 'නිදහස්' මෘදුකාංග නැවත විකිණීම නීතියෙන් වරදක් නොවන නිසා කිසිදු අසාධාරණයක් මෙහි සිදු නොවෙන්නා සේම, පහසු මිළකට නීත්‍යානුකූල මෘදුකාංග ලබා ගන්නත් අපේ රටේ අන්තර්ජාල පහසුකම් නැති අයට හැකි වේවි.

මම දැනටත් දැකල තියෙනවා බම්බලපිටියේ මෘදුකාංග අලෙවිසැල් වල Ubuntu, Kubuntu සහ OpenOffice.org මිළදී ගන්න පුළුවන්. ඒ වගේම ස්වභාෂාවෙන් පළ වෙන තොරතුරු තාක්ෂණ සඟරා වලත් දැන් දැන් නිදහස් හා විවෘත මෘදුකාංග ගැන වැඩි වශයෙන් කතාබහට ලක් කෙරෙනවා. මේක ඉතා හොඳ ප්‍රවණතාවක්. මේ තත්වය ඉදිරි කාලය ඇතුළත තවදුරටත් දියුණු වේ යයි අපේක්ෂා කරන්න පුළුවන්.

මේ කතන්දරේ ලේසි වැඩක් නෙවෙයි. නමුත් නිදහස් හා විවෘත මෘදුකාංග ක්ෂේත්‍රය දියුණු වෙන්නේ ඒ වටා එක්ව සිටින ප්‍රජාවත් සමඟ. ඒ නිසා ප්‍රජා දායකත්වය අත්‍යාවශ්‍යයි. මේ වෙනස.... පෙරළිය අපි කළොත් දිනෙක ලංකාවේ අපට 'මෘදුකාංග හොරු' කියන ලේබලයෙන් මිදී දේශයක් විධියට ආඩම්බරයෙන් යුතුව නැගී සිටින්නට හැකි වේවි.

26 comments:

  1. photoshop wenuwata

    http://www.gimpshop.com/

    ReplyDelete
  2. ඒක හරි මචං,
    කට්ටිය මේ ලිනක්ස් කිව්ව ගමන් බය වෙනව...
    ඒ බය නැති කරන්න ඕනේ ඉස්සරලාම.
    එතන තමා අවුල තියෙන්නේ...
    මේකට ලංකාවේ රජයත් පොඩි සහයක් දෙනවා නම් හොඳයි කියලා හිතනවා.

    /බිඟුවා...!

    ReplyDelete
  3. මම නම් මේ ලඟක් වෙනකල්ම ඩිවෙලොප්මන්ට් හිට කලේ උඩුබුන්ටු වල එත් වින් 7 ආවට පස්සේ එකත් දාගත්තා ... දැන්නම් ඉතින් වැඩි පුර ඉන්නේ එකේ තමයි ...

    කිව්වා වගේ මටනම් උඩුබුන්ටු ලෙසි උනා ....

    ReplyDelete
  4. 3GP ගොනු මාදිලිය සඳහා Ubuntu 10.04 (Lucid Lynx) සිට සහය දැක්වෙනවා. මම Ubuntu 10.04 B1 නිසා පාවිච්චි කරන්නෙ ටෙස්ට් කරල බලන්න පුළුවන් වුනා. ඒ නිසා RealPlayer වැනි එක් මෘදුකාංගයකට සීමා වෙන්නෙ නැතිව ඕනෑ මෘදුකාංගයකින් ධාවනය කරන්නත්, සංස්කරණය කරන්නත් පුළුවන්!

    ලිනක්ස්වල අවස්ථිතිය වැඩි නිසා ආරම්භ කරන්න වැඩි බලයක් යොදන්න වෙන්න පුළුවන්. නමුත් චලිත වෙන්න පටං ගත්තට පස්සෙ මන්දනේ කරන්නත් එච්චර ලේසි නෑ! අන්න ඒකයි මේකෙ හොඳ!

    ReplyDelete
  5. අපිනම් කවදත් Fedora :-D !!! මම maya use කරන නිසා ගෙදර මැසිමේ XP තියෙනවා..නමත් දැන් එක පාවිච්චි කර කාලයක් මතක නෑ.. boot කරන්න කම්මැලියි..! ඒතරමට ලිනක්ස් වලට ඇබ්බැහි වෙලා..!! එළ මචෝ ලිපිය..!!

    ReplyDelete
  6. මමත් ලිනක්ස් වලට මාරු වෙන්න ඉන්නේ. නමුත් මට තියෙන ප්‍රශ්නය තමා 3ds max වලට ලිනක්ස් වලදී විකල්පයක් සොයා ගත නොහැකි වීම. නැත්තම් මං මෙලහකටත් ලිනක්ස් වල.

    ReplyDelete
  7. දැන් සෙල්ලම් කරන්න තියෙන්නේ සත්‍ය දත්ත හා තාත්වික ස'වර් එක්ක.
    ආධුනිකයෙක් කියන එකට නම් මම එකඟ නෑ. මොකද එතකොට ආධුනිකයන්ට කියන්න වචනයක් නෑ.

    එහෙනං ලිනක්ස් එක්ක සුභ අනාගතයක් වේවා!

    ReplyDelete
  8. ඉක්මන් ප්‍රතිචාර වලට ස්තුතියි. :)

    @බුධාජීව,
    3GP කතන්දරේ දන්වපු එක නම් ලොකු දෙයක්. දැන් ඉස්සර වගේ ඕව ගැන හොයන්න වෙලාවක් නැහැ නොවැ. :(

    @Kasun,
    මේක කොහොමද බලන්න,
    http://www.osalt.com/3ds-max

    ReplyDelete
  9. අප සැබෑ ලෙසම වෙනස් විය යුතුය. නමුත් මොකක්දෝ කරුමයකට ලාංකිකයන් බදාගත් දේ අතහරින්නට සූදානම් නම් නැත. ලිනක්ස් සැබෑ පහසුකම් වලින් අලුත් වෙමින් ඇත. එයට පහසුවෙන් අනුගත විය හැකිය. එය මම ප්‍රායෝගිකව අත්විද ඇත.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. හොඳ අදහස් එකතුවක්. නිදහස් මෘදුකාංග බාවිතය සඳහා උනන්දු කිරීමට මෙවන් ලිපි හොඳ දායකත්වයක් දේවි...

    ReplyDelete
  12. හොඳ අදහස් ටිකක්. සම්පූර්ණයෙන්ම නිදහස් මෘදුකාංග වලට මාරුවෙන්න ඉන්න කෙනෙකුට සෑහෙන්න වැදගත් වේවි. ඇත්තටම අමාරු මාරුවුන මුල කාලෙ තමයි. ඒ කාලෙදි කම්මැලිකමට Windows වලට boot කරන පුරුද්ද අතහැර ගන්න පුලුවන්නම් කාටවුනත් සම්පූර්ණයෙන්ම නිදහස් මෘදුකාංග වලට මාරුවෙන්න පුලුවන්.

    නිතර නිතර server වලට SSH කරනවනම් SSHMenu උත්සාහ කරල බලන්න. Server ලොකු ගනණක් එක්ක වැඩකරනවනම්, SSHMenu හෝ GNOME Do SSH plugin හෝ වැනි පහසුකමක් නැතිව එහෙම කරන එක ටිකක් කරදරයි (උදා: IP address/host name/user name මතකයේ තබාගැනීම).

    3GP ගොනු බොහොමයක් MPlayer වල සෑහෙන කාලයක ඉඳලා භාවිතා කරන්න පුලුවන්. Ubuntu වලට නම් සමහර විට 3GP (nb, wb) libraries එක්ක අලුතෙන් compile කරන්න වේවි.

    අලුත් රැකියාවටත්, සම්පූර්ණයෙන්ම නිදහස් අනාගතයටත් සුබ පතනවා!

    ReplyDelete
  13. ඉතාම වැදගත් මාතෘකාවක්. බැරිද linux වලට මාරු වෙන්න කැමති අයට උපදෙස් දෙන පොඩි ෆෝරුමයක් පටන්ගන්න ඔය ගොල්ලො හුග දෙනක්linux වල මූලික කඩඉම පැනලා ඉන්න නිසා මේක පටන්ගන්න එක අපිවගේ අනාථයන්ට ගොඩක් වැදගත් වේවි.මට නම් windows අප්‍රියයි වෙන විකල්පයක් නැතිනිසා පාවිච්චි කරන්නේ. අපිට කොම්පියුරය දැන් පුරුදු වෙලා (කරලා! හරියට මුලින් දුම්බීම පුරුදු කරන්න නිකන් සිගරැට දුන්නා වගේ) නමුත් කෙනෙකුට අවශ්‍ය මූලික softwere සල්ලි දීලා ගන්න කීයක් යනවද (widows, office)රු60,000-70,000 පමන. රටේ සාමාන්‍ය කෙනෙකුට දරන්න පුළුවන් ගනනකට මේවා තියෙන්න ඕන. නමුත් අපේ රටේ IPR Act සම්මත කරපු කාළකන්නි ආන්ඩු මේවා සම්මත කරලා තියෙන්න‍නෙ වෙලෙන්දා දිහා පමනක් බලලා ජනතාව අමතක කරලා. communication එකක් හරි type setting job එකක් හරි නිදහසේ කරලා ආන්ඩුවට බරක් නොවී ඉන්න කොල්ලන්ව දැන් හොරැ වංචාකාරයන්විධියට හංවඩු ගහනවා මදිවාට දඩත් ගහලා හි‍රේ දානවා. http://www.dailynews.lk/2010/04/05/bus26.asp

    ReplyDelete
  14. @avara
    එකනම් නියම අදහසක් ! එහෙම දෙයක් කරනවනම් අපි උපරිමයෙන්ම සහයෝගය දෙනවා !! :-) ටෙක් කතා වගේ අපිට පුලුවන් ප්‍රශ්න වලට උත්තර සපයන්න..!!

    ReplyDelete
  15. කැම්පස් ගිය කාලේ ලිනක්ස් දාගෙන හිටියා..දැන්නම් ඉතින් නෑම තමයි..ඔෆිස් එකේ තියෙන්නෙ වින්7න්..ඉතින් සොරි ඩොට් කොම් තමයි..

    ReplyDelete
  16. ලිනක්ස් වලට කට්ටිය බයයි..
    ලිනක්ස් පාවිච්චි කරන්න නම් උවමනාව තියෙන්න ඕන.. කට්ට කන්න බැරි අයට ලිනක්ස් වල උපරිම ෆන් එක ලැබෙන්නෙ නෑ..

    ReplyDelete
  17. අනේ ඉතින් IT ගැන මෙලෝ හසරක් නොදන්න දිල්ට නම් ඕවා මඤඤං වගේ ශාකුන්තල :(

    ReplyDelete
  18. වෙන මොනවා කෙසේ වෙතත් Games ගහන්නනම් මම තවම යන්නෙ Windows උඩට. දැනුත් Windows උඩ.

    ReplyDelete
  19. මා ත් ඉතිං ෆෙඩෝරා තමයි. ගෙදර තිබුනු පරණ p III එකටත් zenwalk දැම්මා, හොඳට වැඩ. ගෙදර අනිත් යන්තරෙත් ෆෙඩොරා 12, වැඩපොලෙත් ඉතිං ෆෙඩෝරා 12 තමයි. මුල් දවස් වල ගෙදර උන්දෑ ටිකක් කණු-කුණු ගෑවා, දැන් එච්චර නැහැ. ඉදලා හිටලා "එතකොට මේ applicaiton එක වෙනුවට මොකක් ද පාවිචිචි කරන්නේ" කියලා සැරෙන් අහනවා. කොහෙන් කොහෙන් හරි open source කට්ටක් හොයලා දීලා shape වෙනවා. පරණ යන්තරේ අපේ තාත්තට දෙන්න යන්නේ. එතුමාට නම් windows වත් බැහැ. ඒ නිසා ලිනක්ස් වලින් ම පටන් ගනියි. "වෙනස් මිනිස්සුන්ට ලිනක්ස්" ජයවේවා.

    ReplyDelete
  20. මචන් බොහොම සතු‍ටුයි.දැන් උඹ නිදහස් .. නිදහසේ ගෙදරට කරදරයක් නොවී ඉන්න පුළුවන්. පහුගිය දවස්වල ටිකක් කම්මැලිකමේ හිටියේමොකද උඹ බ්ලොග් නොලිය හිටපු නිසා. දැන් උඹට රටම එළිය කරන්න පුලුවනි.ජය..(කවිරංග)

    ReplyDelete
  21. ඕක වෙනස්වෙන්න තියන බයමත් නෙමේ නේද? ඔය අපූරුවට xp ඉදලා vista හරි 7 හරි වලට පුරුදුවෙන්නෙ? :P

    පිලිගන්නවා win වලින් මාරුවෙන කාලෙ ඇත්තටම අමාරුයි තමයි පරිසරය නුහුරු නුපුරුදු නිසා සහ හදිස්සියට අහන්න කෙනෙක් නැති නිසා. නමුත් නවකයෙක්ට පරිගනකයක් අල්ලන්න පුරුදු වෙන එක වින්ඩෝස් නැතුව ලිනක්ස් වලින් කරවන්න තිබ්බනම්.

    @Gaveen,
    SSHMenu ගැන දැනං හිටියෙ නෑ. ඉස්තූතියි.

    @Kasun Nadeeshana
    Blender පාවිච්චි කරලා බැලුවෙ නැද්ද?

    ReplyDelete
  22. මාත් ලිනක්ස් වලට මාරු වෙන්න හිතාගෙන ඉන්න‍නෙ. ඇත්තටම අපි වගේ "communication එකක් හරි type setting job එකක් හරි නිදහසේ කරලා ආන්ඩුවට බරක් නොවී ඉන්න කොල්ලන්ට" මේ ගැන ඉගෙන ගන්න අවස්ථාවක් දෙනව නම් ලොකු උදව්වක්.

    ReplyDelete
  23. මටත් ඔය බය කියන එක මුලින්ම තිබ්බ. වෙලාවට මම ඒ වෙද්දි Win පාවිච්චි කරල තිබුනෙ මාස හතරයි. ඒක නිසා මට Win උනත් අළුත්. වෙන මලදානයක් වෙද්දෙන් කියල උබුන්ටු වලින්ම පටන්ගත්ත. එළ. ඒ ගැම්ම තාම එහෙමයි. මොකද මට Win එක්ක අද මම Linux වල කරන කිසිම දෙයක් කරන්න බෑ කියල ඒකාන්තයි.

    ReplyDelete
  24. අයියේ, මමත් දැන් මාස 4ක 5ක විතර ඉඳන් උබුන්ටු විතරමයි. Windows වලිනුත් log වෙනවා මාසෙකට 2පාරක් 3න් පාරක් විතර(මගේ phone එක backup කරන්න). මටත් අවුල තියෙන්නේ හොඳ video converter එකක් උබුන්ටු වල නැත් එක තමා :(

    කොහොම උනත් ලිනක්ස් සාමාන්‍ය පරිශීලකයන්ට නම් තවම සුදුසු යයි මම නම් හිතන්නේ නෑ. පොඩ්ඩක් geeky අයට තමා හරියන්නේ. හැබැයි windows එක්ක dual boot කරලා දැන්ම තියා ලිනක්ස් වලට හුරු උනොත් ඉස්සරහ වැඩ ලේසි වෙයි(නීති තද උනාට පස්සේ!!)

    ReplyDelete
  25. කට්ටිය linux කිව්වම හිතන්නේ උබුන්ටු,උබුන්ටු වල තියෙන desktop environment "gnome" ගොඩක් දෙනෙකුට අල්ලන්නේ නැ.(මාත් ඇතුළුව )ඉතින් gnome වෙනුවට xfce,kde උබුන්ටු මතම ස්ථාපනය කරන්න පුළුවන් බව දන්නේ ටික දෙනෛ. linux distros 1500 විතර තියෙනවා ඉතින් උබුන්ටු වලට අමතරව මේ හැම linux distro එකකම එකිනෙකට විශේස වූ ලක්ෂණ තියෙනවා ,කට්ටිය මේවා ක්හිපයක් ඇත හද බලන ව නම් තමන්ට හරියන linux මෙහෙයුම් පද්දතිය අනිවාර්යෙන් හොයා ගන්න පුළුවන්.

    මතක තියාගන්න linux කියන්නේ උබුන්ටු විතරක් නෙමෙයි උබුන්ටු පාවිච්චි කරලා අල්ලන්නේ නැති හින්ද linux අත හරින්න එපා.

    ReplyDelete
  26. Anonymous April 18, 2010 9:15 PM වැදගත් කාරණයක් සඳහන් කරලා තිබෙනවා.

    අදින් වසර කිහිපයකට පෙර - එක්දාස් නවසිය බර ගණන් වල නෙවෙයි, දෙදාස් මුල් ගණන් වල පවා - කස්ටිය හිතං හිටියේ කම්පීටර් නං වින්ඩෝස් කියලා.

    හැබැයි දැන් කස්ටිය දන්නා වින්ඩෝස් කියන්නෙ රැසකින් එකක් විතරයි කියලා.

    හැබැයි කම්පීටර් නං වින්ඩෝස් තමා කියල හිතපු ප්‍රතිශතේ තරං නැතත්, කස්ටිය හිතන බව පෙනෙනවා ලිනක්ස් කියන්නෙ උබුන්ටු කියලා.

    මේකත් එච්චරම හොඳ දෙයක් නෙවෙයි.

    ReplyDelete

Facebook ප්‍රතිචාර