Wednesday, February 23, 2011

CPU Overheat! -- පරීක්ෂාකාරී වන්න

ආයුබෝවන්,... ශාකුන්තලගෙ සටහන් පොතේ පිටුවක් මේ අළුතින් ලියැවෙන්නෙ මාස ගණනාවකට පස්සෙයි. පහුගිය කාලේ මට ටිකක් විතර කරදර කාලයක් වුණු නිසා ටිකක් නිශ්ශබ්දව ඉන්න තීරණය කළා. ඒත් ඉතිං ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ. ඒ නිසා ආපහු ලියනවා Blog!

නිතර නිතර මගේ අඩන්තේට්ටම් වලට ලක්වෙන ලැප්ටොප් එක ගැන වචනයක් කියන්නම් අද සටහනට පූර්විකාවක් විධියට. මම මේක ගත්තේ 2007 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ දෙවෙනි සතියෙ දවසක. Acer Aspire 4315 වර්ගයෙ ලැප්ටොප් එකක්. දැන් වයස අවුරුදු තුනයි මාස දෙකයි සතියයි දවස් ගානක් විතර ඇති. පරණයි. ඉස්සර ආපු IBM ලැප්ටොප් වගේ දැන් තියෙන ලැප්ටොප් එතරම් කල්පවතින්නෙ නෑ. මේකට මුලින්ම වෙච්ච වින්නැහිය මගේ බ්ලොග් එකත් එක්ක හිටපු පරණ කස්ටියට මතක ඇතිනේ... ඒ කොහොම වුණත් මගේ උත්සාහය මේ ලැප්ටොප් එක අවම වශයෙන් අවුරුදු පහක්වත් පාවිච්චි කරන්න. මොකද 1.73 GHz Intel Celeron ප්‍රොසෙසරය මගේ වැඩ වලට හොඳටම ප්‍රමාණවත්.



මෑතක ඉඳලා මගේ ලැප්ටොප් එක ආපහු ලෙඩ වෙන්න පටන් ගත්තා. හිටිගමන් shutdown වෙනවා. මේක හරියන වැඩක් නෙමෙයි නිසා System Monitor applet එක ගෙනත් තියාගත්තා Panel එක උඩින්... මේකට හේතුව ගැන ඉඟියක් ගන්න. දන් ඉතින් නිතර දෙවේලේ පේනව නෙව සිද්ධ වෙන දේ.


දවසක් දෙකක් ගියාම දැණුනු විධියට, CPU භාවිතාව උපරිමයේ (100%) ටික වෙලාවක් තිබුණොත් තමයි shutdown වෙන්නේ. එහෙනම්... මේකට හේතුව,... අධික උෂ්ණත්වය. ප්‍රොසෙසරය වැඩි වැඩියෙන් භාවිත වෙනකොට එය වැඩි වැඩියෙන් රත් වෙනවා. ලැප්ටොප් එක ඇතුලේ තාප යාමනය නිසි පරිදි සිදු නොවුනොත් ප්‍රොසෙසරය එහි අවධි අගය දක්වාම රත් වෙනවා. අවසානයේදී, ආරක්ෂක පියවරක් ලෙස, තවදුරටත් උෂ්ණත්වය වැඩි වීමට මත්තෙන් ස්වයංක්‍රීයව පරිගණකය වසාදැමෙනවා. Fan belt එකක් බුරුල් වෙලා වාහනයක එන්ජිම අනවශ්‍ය තරම් රත් වෙන්නේ....අන්න ඒ වගෙම තමා.

මේ සන්තෑසියට ආසන්නම හේතුව තමා ලැප්ටොප් එක ඇතුලේ දූවිලි හිර වෙලා ඒ තුළ වා සංසරණය අවහිර වීම. පංකාව, ප්‍රොසෙසරය එච්චර ලේසියෙන් ලෙඩ වෙන කොටස් නෙමෙයි. ඉතින් විදුලිය විසන්ධි කරලා බැටරියත් ගලවලා පටන් ගත්තා ශල්‍යකර්මය. තාපගිල්ලුම (heat-sink) ගැලවීමෙදි සැලකිය යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි එය නැවත සවිකිරීමෙදි අවශ්‍ය වෙන "තාප සන්නායක ආලේපය" (thermal compound) සහ එතනෝල් ස්වල්පයක් කල් ඇතුව සූදානම් කර ගන්න එක. ඒ ගැන විශේෂිතව සඳහන් කළේ අමතක වෙන්න ඉඩ තියෙන නිසා. කවුදෝ කෙනෙක් දවසක් කියනව ඇහුණ ටූත්පේස්ට් ටිකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් කියල. ඒක නම් හරියන වැඩක් නෙමෙයි. ප්‍රොසෙසරයත් තාපගිල්ලුමත් අතර තාප සන්නයනය කාර්යක්ෂමව සිද්ධ වෙන්න මේ ආලේපය අත්‍යවශ්‍යයි. ඉලෙක්ට්රොනික උපාංග අලෙවිසැල් වලින් මේ ආලේපය මිළ දී ගන්න පුළුවන් ඇති. මම නම් ගත්තේ Unity Plaza එකෙන්මයි. එතනෝල් සොයාගන්න ටිකක් අහපසු නිසා මම නම් පාවිච්චි කළේ "සර්ජිකල් ස්ප්‍රිට්" (isopropyl alcohol).


තාපගිල්ලුම සවි කරලා තියෙන ඇණ ඉතාම ප්‍රවේසමෙන් බුරුල් කරලා, තාපගිල්ලුම වෙන් කරලා අරගෙන පංකාවත් එයින් වෙන් කළා. ටිකක් කාරිය විපරං කරලා බැලුවම කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු මෙන්න තියෙනව දූවිලි කුට්ටි කුට්ටි. ඒව තිබුණෙ සිසිලන වරල් (cooling fins) අතර රැඳිලා. මේ හිරවෙච්ච දූවිලි අයින් කරන එක අමාරු වැඩක්.

පේනව නේද දූවිලි කුට්ටියෙ තරම....
සිසිලන වරල් (cooling fins) වලට හානි නොවෙන විධියට පරිස්සමින් ස්කුරුප්පු නියනෙන් මේ ටික ඇදල ගත්තේ...

පුළුවන් හරිය ඇල්කොහොල් වලින් සෝදල යැව්වා. ඒත් තව දූවිලි තිබුණු නිසා අධිපීඩන ජල ප්‍රහාර සිස්ටම් එකට තාපගිල්ලුම සුද්ධ පවිත්‍ර කරන්න තීරණය කළා. කොහොම නමුත් තාපගිල්ලුමේ ස්වභාවය අනුව ඒක කරද්දි ටිකක් කල්පනාකාරී වෙන්නත් ඕනේ. හොඳට සුද්ධ පවිත්‍ර කරලා අන්තිමේ සැර අව්වේ වේලෙන්න දැම්මා.

Just like new...!

දැන් තමා අපර භාගය. ඒ කියන්නෙ කෑලි වැඩි නොවෙන්න, ඇණ ඉතුරු නොවෙන්න ගලවපුවා ඔක්කොම හයි කරන්න ඕනේ. :P ඊට කලින් අර මුලින් කිව්ව thermal paste එක. ඒවා ගාන්න කලින්, දැනට ප්‍රොසෙසරයත් තියෙන පරණ paste ටික හොඳට ඇල්කොහොල් වලින් සෝදලා අයින් කරන්න ඕනේ. ඊට පස්සෙ අළුතෙන් paste එක ගාලා ඉතාම ප්‍රවේසම්සහගතව කෑලි බෑලි ටික හයි කළාම බබා වගේ වැඩ! සන්තෝසේ කියාගන්න බැරුවා... මොකද කලින් තිබුණු විධියට තියෙන්න දුන්නා නම් ලැප්ටොප් එක අනිත් පැත්ත හරවලා ඔම්ලට් දාන්නත් පුළුවන්. ;)

---

සාමාන්‍යයෙන් Gnome System Monitor එකේ CPU උෂ්ණත්වමාපකයක් පෙන්නන්නෙ නැහැ. ඒත් Screenlets පාවිච්චි කරලා temperature widget එකක් අටවගන්න පුළුවන්. මම පුරුදු වෙලා ඉන්න සරල රටාවට ඔය screenlets, object docks වගේ දේවල් නොගැලපෙන නිසා වෙනින් විකල්පයක් හෙව්වා. ටර්මිනල් එකේ අඳුරේ අතපත ගානකොට විසඳුමක් හම්බවුණා. ඒ sensors විධානය.

නමුත් ඒක පාවිච්චි කරන්න කලින් sensors-detect විධානය ධාවනය කරලා අදාළ කර්නල් මොඩියුල ටික තෝරාගන්න සිද්ධ වෙනවා. මෙය කළ යුත්තෙ එක්වරක් පමණයි. මෙහිදී අහන ප්‍රශ්න වලට පෙරනිමියෙන් එන උත්තරේ දුන්නම හොඳටම ඇති.

sudo sensors-detect
.
.
.
sudo /etc/init.d/module-init-tools start
sensors

මෙන්න මෙහෙමයි පෙන්නන්නේ...
root@shaakunthala-laptop:~# sensors
acpitz-virtual-0
Adapter: Virtual device
temp1: +74.0°C (crit = +99.0°C)
temp2: +70.0°C (crit = +110.0°C)

coretemp-isa-0000
Adapter: ISA adapter
Core 0: +72.0°C (high = +100.0°C, crit = +100.0°C)

ඔය crit(ical) කියල පෙන්නන එක තමා අවධි අගය. උෂ්ණත්වය ඒ දක්වා වැඩි වුණු ගමන් පරිගණකය ක්‍රියාවිරහිත වෙනවා ස්වයංක්‍රීයව.

---

සාමාන්‍ය පාවිච්චියෙදි නිතර කීබෝඩ් එකට ඇන ඇන වතුර නටන ගානට ඇවිත්ද කියල බලන එක කරදරයිනේ. ඒ නිසා මෙන්න panel එකටම එකතු කරගන්න පොඩි භාණ්ඩයක්... sensors-applet

sudo apt-get install sensors-applet

දැන්, panel එක right click කරලා Add to Panel...


එතනින් Hardware Sensors Monitor කියන එක තෝරලා එකතු කරගත්තාම හරි. :)

සරලයි!
දකුණු පැත්තෙන් පෙන්නන්නෙ දෘඩ තැටියෙ උෂ්ණත්වය

---

ඉතින් කාලෙකට පස්සෙ අද මේ සටහන ලිව්වෙ ලැප්ටොප් වල උපන්ගෙයිම තියෙන අවුලක්, ඒ කියන්නෙ සිසිලන උපක්‍රමය අවහිර වීමේ ගැටළුව ගැනත්, ඒ ගැන සැලකිලිමත් විය යුතු බවත් කියන්නයි. අධික රත්වීම පරිගණකයෙ කාර්යක්ෂමතාවටත් බලපාන්න ඉඩ තියෙනවා. ලැප්ටොප් එක ළඟපාතක පහසුවෙන් ඇවිළෙනසුළු දෙයක් තිබුණොත් සමහර විට ප්‍රතිපල භයානක වෙන්නත් පුළුවන්. O_o

එහෙනම්... කූල්ඩවුන් දවසක් වේවා....! ආයුබෝ...!!! :)

(මගේ බ්ලොග් අඩවියට අළුත් අයගේ දැනගැනීම පිණිස -- මං පාවිච්චි කරන්නෙ ලිනක්ස්.... නෝ ටු වින්ඩෝස්)

14 comments:

  1. ඉඳලා ඉඳලා ලිව්වොත් හැබැයි තක්කෙටම වදගත් දෙයක්. මයේ ලැප නම් දං ටෙලර් මැෂිමක් ගානට වැටිලා තියෙන්නේ. එහෙන් දූවිලි නාලා. දුවිලි කුණු අයින් කරන්නත් බයයි බොල. වැඩකරන්නෙවත් නැතුව ගියොත්. මොකද මට හිතෙන විදිහට දූවිලි ලැපේම කොටසක් වෙලා. එහෙව් එකේ දූවිලි නැතුව ගියොත් විනාසයක් වෙයි :)

    ReplyDelete
  2. වැඩේනම් වැදගත් දෙයක් මොකද මගේ ලැපත් පරන එකක් නිසා ඉස්සරහට ‍ඔන වෙන දෙයක් වෙයි.
    @කුශාන් අයියා
    කැෆේ එකේ තියන ලැපද? ඒකනම් හාඩ් වර්ක් නේ

    ReplyDelete
  3. සෑහෙන කාලෙකින්, දකින්නත් සතුටුයි. මගේ යන්තරේටත් ඔය ලෙඩේම හැදුනා ටික කාලෙකට කලින්. පොඩ්ඩක් පිහිදලා නාවලා කරලා ගත්තම ගොඩ ගියාමයි.

    ReplyDelete
  4. බුදු අම්මේ...මගේ ලැප නම් ගලවන්න බැ දැන්ම. :D :D
    මං නම් කරන්නෙ මාසෙකට විතර සැරයක් බ්ලොවර් එකක් අල්ලනවා.. :D

    හැබැයි මගේ නම් System Monitor applet එක හැමදාම ඔය තියෙන තැන තියෙනවා :-D
    අර screenlets එකත් දාගන්ටෝන :P

    හැබැටම කරදර උනාකිවානේ ? මොකද උනේ ?

    ReplyDelete
  5. වැදගත් දෙයක් කාලෙකට පස්සේ

    ReplyDelete
  6. @වන්නි,
    මං මේ බැලුවා වන්නි කිව්වම! O_o
    හික්... :D ඔව් දූවිලි අයින් කළාම performance බහීද දන්නෑ... :P

    @yasith,
    ඔව් අනිවාර්යයෙන්ම. හැබැයි ටිකක් පරිස්සමින්. මොකද ඩෙස්ක්ටොප් මැසිමක් ගලවනව වගේ නෙමෙයි මේක පරිස්සමින් නොකළොත් ආපහු හදන්න බැරි විදියෙ හානියක් වෙන්නත් පුළුවන්.

    @නිශාචරයා,
    අප්පේ ඔව්... මටත් එහෙමයි! :)

    @πrate Bunny,
    කීපෑඩ් එක අස්සෙ තියෙන එක එක ඒවා යවන්න බ්ලෝවර් එක හොඳයි. ඒත් හීට්සින්ක් එකට එහෙම කරල බෑ. දූවිලි කුට්ටි ආපස්සට ගිහින් ෆෑන් එකෙ හිරවෙයි.

    @deeps,
    ආයිබෝං ආයිබෝං... කෝ දැං ඩීප්ස් නගා වැදගත් දේ ලියන්නෙ නැතෙයි? ලියන්න දෙයක් නැත්තං කැන්ඩි ටු ගෝල් බස් එක ගැනවත් ලියන්ට! :P

    ReplyDelete
  7. අම්මේ . . . .
    මම ගෙදර උන්නෙ නැති දවස් දෙක තුන අල්ලලම මේ යෝදය අලුත් පෝස්ට් එකක් දමල නෙව,
    හිකිස් ඔයා මේක ලියන්න සති දෙකකට විතර කලින් මම දේව කන්නලව්වකුත් කලා ඔයාගේ බොලොග් ලියවිල්ල ආයෙම එවන්න කියල.
    http://booruputha.blogspot.com/2011/02/blog-post.හ්ට්ම්ල්
    ඕන්න ගොහිල්ලම බලන්ටකො.

    ReplyDelete
  8. @බූරු පුතා,
    lolz! :D දුටුවෙමි දුටුවෙමි :P

    බ්ලොග් නොලියා කොහොමද මචෝ අපි... එයින් ලබන ආත්ම තෘප්තිය හිතට හරිම සහනයක්.

    ReplyDelete
  9. හිකිස් ඒක නම් ඇත්ත අයියන්ඩිය.
    ඒ වගේම අපි වගේ බූරුවන්ව යමක් දන්න එවුන් කරන පිං එහෙමත් ඉතිං ඔයාගෙ අකවුන්ට් එකට වැටෙනව ඕං.
    ඔබට ජය.

    ReplyDelete
  10. එළ අයියා එළ අපිටත් දැන් තමයි පොඩ්ඩක් නිදහසක් ලැබුනේ ,,, ඉක්මනට බ්ලොග් එක ලියන්න පටන් ගන්න ඕන..

    ReplyDelete
  11. මගෙ HP touch ලැප් එකටත් හීට් වෙලාම VGA chips පිච්චුනා...යන්තම් සෑහෙන ගානක් වියදම් කරල ආයෙත් හදා ගත්තා ඒකට තියෙන ආසාව නිසාම...බ්ලොග් එකකුත් ලිව්වා ලැපේ ඇඩ්වෙන්චර් එක ගැන :D

    ReplyDelete
  12. ලින්ක් එකත් දැම්මනං තමා වටින්නේ. :)

    ReplyDelete
  13. CPU Overheat! -- පරීක්ෂාකාරී වන්න
    http://shevanthanotebook.blogspot.com/2012/01/cpu-overheat.html

    ReplyDelete
  14. මටත් හිතෙනවා ලින්ක් එක දැම්මානම් හොදයි කියලා. :)

    ReplyDelete

Facebook ප්‍රතිචාර