Monday, December 31, 2012

දකුණට හරවාන්, වමට හැරේන්...! Let's learn countersteering!!

Image courtesy: openclipart.org
කලින් බ්ලොග් සටහනේ අන්තිමට අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රමයට කිව්වා වගේම ලෝක විනාශය සිද්ධ නොවුණු නිසා මට තව චිරාත් කාලයක් බයික් එකේ යන්න එන්න පුළුවන්. ඒ නිසා ඔළුවට ආපු තවත් බයික් හෑල්ලක් 2012 අවුරුද්ද ඉවර වෙන්න කලින් ලියල දානවා. මේ බ්ලොග් සටහන වෙන් වෙන්නෙ මෝටර්සයිකල් ධාවනයෙදි ගොඩක් අය නොදන්නා ඒත් වැදගත්ම යමක් ගැන සිංහලෙන් පොඩි සටහනක් තියන්න. මෙච්චර කාලයක් තොරතුරු තාක්ෂණය ගැන බ්ලොග් ලියලා ඊට පස්සෙ නිහඬව ඉඳලා ආපහු බ්ලොග් ලියන්න ආපු එකත් එක්ක ශාකුන්තලගෙ විපර්යාසයක්!? නැත. මට බයික් උණ තිබුණේ බ්ලොග් ලියන්න ආපු හිච්චි කාලේ ඉඳලා. එදා ආසාවෙන් හිටපු ලීටර එකයි දශම තුනේ තඩි බයික් එකට මම තාමත් ආසයි. :) ඇත්තටම පහුගිය අවුරුද්දේ මට tech experiments කරන්න ලොකු කාලයක් ලැබුණේ නෑ. එකක් දෙකක් කරන්න ඉඩ ලැබුණත් ඒවත් කෙරුණේ හරිම හදිසියෙන්. කැම්පස් යන කාලේ කරපු experiments මගේ. ඒත් මේවා එහෙම නෙමෙයි. "Non disclosure of corporate information" ගැනත් හිතන්න වෙන නිසා මට ඉගෙනගන්න ලැබුණු ගොඩක් අළුත් දේ බ්ලොග් එකේ ලියැවුණේ නැහැ. අයි. ටී. පසු දිනෙක!

මම පුංචි ඩිස්ක්ලේමර් එකකුත් දානවා මෙතනම. මේවා අත්හදාබලන්න; මමත් සාර්ථක ප්‍රතිපල ලබපු කෙනෙක්. හැබැයි නිවැරදි ක්‍රම, ආරක්ෂණ උපක්‍රම (safety gear) පාවිච්චි නොකර අඬු කඩාගන්න ඒවට මම වගකියන්නෙ නැහැ.

මම රියපැදවීමේ බලපත්‍රය අරගෙන වැඩි කාලයක් නැහැ. අවුරුදු එකහමාරයි. නමුත් රථවාහන ධාවනය ගැන ටිකක් අන්තර්ජාලය ඔස්සේ විපරම් කරලා අනිත් රටවල තත්වයයි අපේ රටේ තත්වයයි පොඩ්ඩක් සංසන්දනය කරල බලද්දි මේ අවුරුදු එකහමාර ඇතුළත කිලෝමීටර සිය ගණන් දුර මෝටර්රථ/මෝටර්සයිකල් ධාවනය කරලත් ඉගෙනගන්න බැරි වුණු සමහර දේවල් පවා මට ඉගෙනගන්න ලැබුණා. ඇත්තෙන්ම කියනවනම් අපේ රටේ රථවාහන පුහුණුවේ ඉඳලා බලපත්‍රය ලබාදෙන තැනට වෙනකම් සම්පූර්ණ ක්‍රියාපටිපාටිය අමුම අමු ප්‍රෝඩාවක්! ඒ ගැන වෙන ම බ්ලොග් සටහනක ලියන්න තරම් කරුණු තියෙනවා.

අපි සාමාන්‍යයෙන් පාපැදියක් (pedal bicycle) පාවිච්චි කරන්න පුරුදු වෙන්නෙ තනියම. අවදානම අඩුයි; මරණීය අවදානමක් නැති තරම්. ඊට පස්සේ ඒ අපේ කස්ටිය හිතනවා ඒ පුහුණුවම ඇති කියලා මෝටර්සයිකලයත් පුරුදු වෙන්න. වම් අතින් මෙච්චර කල් කරපු වැඩේ දැන් කරන්නෙ දකුණු කකුලෙන්. එච්චරයි ලොකු වෙනසකට තියෙන්නේ. එහෙමද? නෑ. මෝටර්සයිකලයක් තෝරාගැනීමේ ඉඳලම ගොඩක් දේවල් තියෙනව අපට ඉගෙනගන්න. මේ වගේ සටහනක් ලිව්වට මටත් මෝටර්සයිකල් ධාවනය ගැන තව දේවල් ගොඩක් ඉගෙනගන්න තියෙන බවත් සිහියේ තියාගෙන තමයි ලියන්නෙ.

මම ලබපු ප්‍රාථමික මට්ටමේ පුහුණුවෙන් හැම දේම ඉගෙන ගන්න බැරි වුණු නිසා මෑතකදි මම අන්තර්ජාලය ඔස්සේ පොඩ්ඩක් සොයා බැලුවා දියුණු රටවල මෝටර්සයිකල් පුහුණුව කෙරෙන්නෙ කොහොමද කියලා. අන්තර්ජාලයත් එක්ක එකවර අපට ලබාගන්න පුළුවන් තොරතුරු ප්‍රමාණයේ විශාලත්වයත්, simulation තාක්ෂණයත් නිසා අන්තර්ජාලය හරහා ප්‍රායෝගික දේවල් පවා අපට තනිව ඉගෙනගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. Countersteering ගැන දැනගන්න ලැබුණෙ ඒ අනුව. දියුණු රටවල, countersteering කියන්නෙ විධිමත්ව ලබා දෙන මෝටර්සයිකල් පුහුණුවෙ අනිවාර්ය අංගයක්.
Countersteering ගැන අපේ රටේ මෝටර්සයිකල් පාවිච්චි කරන අය ඇත්තටම දන්නවද, නැත්තම් මම විතරද දැනගෙන හිටියෙ නැත්තෙ කියල බලන්න පොඩි සෙවිල්ලකුත් මම කරල බැලුවා. මගේ යාළු මිත්‍රයින්ගෙ නම් අදහස වුණේ මට පිස්සු කියල. :P තව සමහරුන්ගෙ ඇස් උඩ ගියා. කිසි කෙනෙක් විශ්වාස කළේ ම නැහැ. ඇත්තම කිව්වොත්, ටිකක් හරි ඒක ඇත්ත කියල පිළිගත්තේ භෞතික විද්‍යාව පිළිබඳ සුළු හෝ දැනුමක් තියෙන කෙනෙක් විතරයි. ඔන්න අපේ ලංකාවෙ තත්වෙ! ඒ නිසා මම ඒක ගැන මම ඉගෙනගත් විධියත්, මගේ අත්දැකීම් ටිකත් එකතු කරල ලියනව බ්ලොග් එකේ. :-)




මම සෑහෙන කලක් මෝටර්සයිකලය පාවිච්චි කරල තියෙන්නෙ අධික වේගයෙදි මෝටර්සයිකලය හසුරුවන නිවැරදි ක්‍රමය නොදැන! Countersteering කියන්නෙ අන්න ඒක. ලොකු වංගුවක තරමක වේගයෙන් මෝටර්සයිකලය ධාවනය ගැන පොඩ්ඩක් හිතන්න. අවදානම් නේද? Countersteering ක්‍රමවේදය පුහුණු කර නැත්තම් එය මරණීය අවදානමක් ඇති කරවන ගමනක්!

Image courtesy: homosapienssaveyourearth.blogspot.com

සරලම භාෂාවෙන් කිව්වොත්, Countersteering කියන්නේ වම් පැත්තට හරවන්න (යන්න) ඕනෙ නම් දකුණට හරවන්න; දකුණු පැත්තට හරවන්න (යන්න) ඕනෙ නම් වම් පැත්තට හරවන්න කියන එක. බයික් එකේ වේගය වැඩි වෙන තරමට, එය හැරවීම සඳහා මේ ක්‍රමවේදයේ අවශ්‍යතාවත් වැඩි වෙනවා. විකාරයි වගෙ නේද? නැත්තම් ඔළුවට එක පාරම එන්නෙ drift කරනවා වගේ අදහසක්ද? විකාර වගේ නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න.



ඒත් විකාරයි වගේ නම් සරල උදාහරණයක් ගනිමු. Aikido වැනි සටන් කලාවන් (martial arts) වල තියෙනවා එක මූලධර්මයක්... “ප්‍රතිවාදියා ප්‍රහාරය එල්ල කරන්න යොදන බලය ම නිවැරදි ලෙස හසුරුවා ප්‍රතිවාදියා ව මෙල්ල කිරීම”. Countersteering කියන්නෙත් ඒ වගේ එකක්. අධික වේගයෙන් ධාවනය වන මෝටර්සයිකලයේ තියෙන චාලක ශක්තියෙන් කොටසක් පාවිච්චි කරලා අපි ඒක හරවමු. ඇඟේ මුළු බර යොදලා වංගුව පැත්තට ආනත කරන්න ඕනෙ නැහැ. අපි බයික් එකටම අවශ්‍ය ප්‍රමාණයට ආනතිය ලබාගෙන වංගුව ඔස්සේ ගමන් කරන්න ඉඩ දෙමු!

බහුතරයක් අතර තියෙන මිථ්‍යා මතයක් තමයි, වේගයෙන් යන බයික් එකක් ශරීරයේ මුළු බර යොදලා ආනත කළාම ඒ පැත්තට හැරෙනවා කියන එක. පොඩ්ඩිත්තක් විතර හරි, ඒ වුණාට ඒක ඉතාම අවදානම් ක්‍රමයක්. හේතුව, (ප්‍ර)වේගය වැඩි වෙන තරමට බයික් එකේ ගම්‍යතාවයත් (‘ගැම්ම‘ - ගමන් වේගය/ දිශාව වෙනස් කරන්න දක්වන ප්‍රතිරෝධය) වැඩි වීම. ඒ නිසා ඇඟේ බර යොදලා චූටි ස්කූටරයක් නම් හරවන්න පුළුවන් වෙයි. හැබැයි ටිකක් බර, ජෙට් එක වගේ යන්න පුළුවන් බයික් එකක් එක්ක නං ඒ සෙල්ලම අමාරුයි.

මේ ගැන මට තේරෙන උසස් පෙළ භෞතික විද්‍යා දැනුමෙන් පොඩි පැහැදිළි කිරීමක් ලිව්වා... නමුත් ඒක ටිකක් සංකීර්ණ සහ දිග වැඩි වුණා. ඒ නිසා මම මේ සටහනෙන් ඒ කොටස ඉවත් කළා.

නමුත් පියවර ටික සරලව පැහැදිළි කළොත්,
  1. මම පැයට කිලෝමීටර 80ක විතර වේගයෙන් මගේ යකඩ අස්සයා පිටේ යනවා
  2. ඔන්න ඉස්සරහ වංගුවක් වම් පැත්තට
  3. මම වේගේ අඩු කරන්නෙ නෑ. හැබැයි වංගුව පටන්ගන්න තැනදිම වම් පැත්තේ handgrip එක ඉස්සරහට තල්ලු කරනවා. ඒ කියන්නෙ දකුණට හරවනවා. බොහොම පොඩ්ඩයි හරවන්නේ... බොහෝම යන්තමින්, හැබැයි පට්ට්ට වංගුවක් (පරිධිය අඩු) නං නම් පොඩ්ඩක් වැඩිපුරත් එක්ක හරවනවා.
  4. දැන් ඉස්සරහ රෝදේ පොඩ්ඩක් දකුණට හැරෙනවා. නමුත් චලිතය වෙනස් කරන්න බයික් එකේ ස්වභාවිකවම තියෙන ප්‍රතිරෝධය නිසා ඇති වෙන යාන්ත්‍රික ක්‍රියාවලියක් මගින් බයික් එක වංගුව පැත්තට ආනත වෙනවා. මේක අමුතුවෙන් හදපු යාන්ත්‍රණයක් නෙමෙයි. ඒක තමයි ඕනෙම බයිසිකලයක ස්වභාවය.
  5. ඒ ආනතියත් එක්ක ඉදිරි රෝදය නැවත අවශ්යප ප්‍රමාණයට වංගුව දෙසට හැරෙනවා. ආනතියේ ප්‍රතිපලයක් විධියට බයික් එක දැන් යන්නෙ වක්‍රාකාර මාර්ගයේ... ඒ කියන්නෙ වංගුවේ.
  6. මේ ක්‍රියාවලියෙදි බයික් එකේ චාලක ශක්තියෙන් කොටසක් වැයවෙලා ඒ අනුව එහි වේගය අඩු වෙනවා. මේ අඩු වෙන වේගය නැවත ලබා දිය යුතුයි. නැති නම් කේන්ද්‍රාභිසාරී බලයත්, කේන්ද්‍රාපසාරී බලයත් තුලනය නොවී බයික් එකේ ස්ථායීතාව අඩාල විය හැකියි. ප්‍රතිපලය අනතුරක්. ඒ නිසා, බයික් එක අවශ්‍ය දිශාවට හැරෙන්න පටන් ගත්තාම පොඩ්ඩක් ඇක්සලරේටරය කරකවලා වේගය එක මට්ටමක තබා ගත යුතුයි
  7. හැරවීමේ ක්‍රියාවලියෙ අවසාන පියවර ලෙස, ඒ කියන්නෙ බයික් එක වමට හැරෙනකොටම මමත් බයික් එකේ ආනතියට ගැලපෙන්න පොඩ්ඩක් ඇල වෙලා වාඩි වෙනවා. හැබැයි ඒක අවසාන පියවර.. පළමු පියවර නෙමෙයි. වංගුව ලොකු එකක් නම් වම් දණහිස තියෙන තැනින් පොඩ්ඩක් එළියට ගන්නවා. ගොඩක් නෙමෙයි. Crashbar එකේ මට්ටමෙන් කකුල එළියට ගන්නෙම නැහැ.

පාර හොඳ නැත්නම් සහ පාවිච්චි කරන බයික් එක sports class නෙමෙයි නම් දණහිස ඕනවට වඩා එළියට ගන්න එපා. කකුල ගලවගන්න තමයි වෙන්නෙ. :-) Hayabusa, CBR, Ninja වගේ sports class බයික් වල යන අය knee dragging කරන හැටි වීඩියෝ වල දැකල තිබුණට, ඒවා ලංකාවෙ එදිනෙදා පාවිච්චි වෙන, සාමාන්‍ය ගමනට බිමනට යොදාගන්න බයික් වල එහෙම සෙල්ලම් පෙන්නන එක ඉතාම අවදානම් බවත් සිහියේ තියාගන්න.

ලිව්ව හෑල්ල දිග වුණාට මේ මුළු ක්‍රියාවලිය සිද්ධ වෙන්න ගත වෙන්නෙ තත්පරයකටත් අඩු කාලයක්. මට countersteering ගැන දැනගන්න ලැබුණේ අහම්බෙන්. HowStuffWorks වෙබ් අඩවියේ අහුවෙන අහුවෙන ඒවා කියව කියව ඉන්දැද්දි තමයි මට අහම්බෙන් countersteering ගැන කියවන්න ලැබුණේ. කිසිම කෙනෙක් මට පෞද්ගලිකව ඉගැන්වුවේ නැහැ. කස්ටියට මතක ඇතිනේ ලෝක විනාශය ගැන බෙලි ගෙඩියේ කතාව. අර හාවා ඉන්න තැනට බෙලි ගෙඩියක් වැටිලා, ඒකා බය වෙලා, ඊළඟට තවත් සතෙකුට කියලා... ඔහොම ඔහොම යන අර ඉස්කෝලේ දෙක වසරෙදි ඉගෙනගත්ත කතාව. මේ බ්ලොග් සටහනේ විධිය ඒ හාවගෙ සිස්ටම් එක නෙමෙයි.

මම countersteering ගැන මුලින්ම දැනගත්තාම ඒ ඔස්සේ ලියැවුණු විවිධ පැහැදිලි කිරීම් රාශියක් අන්තර්ජාලය ඔස්සේ කියෙව්වා. අපි කිසිම දෙයක් අන්ධව ඇදහිය යුතු නැහැ. ඒ නිසා countersteering වල භෞතික විද්‍යාත්මක පැහැදිළි කිරීම තේරුම් ගන්න මම උත්සාහ කළා. ඊළඟට විවිධ කැමරා කෝණ අනුව ලබාගත් වීඩියෝ දර්ශනත්, simulation වීඩියෝත් රාශියක් Youtube අඩවිය හරහා නරඹා ප්‍රායෝගික පුහුණුව ගැන තරමක අවබෝධයක් ලබා ගත්තා.

අවසාන පියවර වුණේ පැයට කිලෝමීටර හතළිහක පමණ අඩු වේගයකින් පටන් ගෙන හෙමින් පුරුදු වෙන එක. වේගය අඩු නිසා අවදානම අඩුයි. බයික් එකේ වාඩි වෙන විවිධ ඉරියව් ඔස්සේ අත්හදා බැලීම් කරන්නත් පුළුවන් වුණා. එහෙම පටන් ගෙන ටික ටික වේගය වැඩි කරලා අන්තිමේ හොඳට ‘සීසන්’ වුණා. අන්තිමේ පැයට කිලෝමීටර සියය ඉක්මවන වේග වලදී පවා සාමාන්ය තරමේ වංගුවක් කජු පුහුලමක්ද කියල හිතෙන තත්වෙටම පත් වුණා. :-)

කියවන කස්ටිය, බයික් පාවිච්චි කරනවා නම්, වේගෙන් යන එක පුරුද්දක් නම් මේක අත්හදා බලන්න, හැබැයි අත්හදා බැලීම් ඉතාම හෙමින්!

Countersteering ප්‍රායෝගිකව කරන හැටි දන්නවා නම් වාසි තියෙනවා. හිතන්න වංගුව මැදදී අපේ මූණටම එනවා ඩෝප් වෙච්ච ට්‍රක් එකක් ධාවන තීරුවෙනුත් පිට පැනලා. මොකද කරන්නේ..? කලබල නොවී handlebar එක පොඩ්ඩක් එහා මෙහා කරලා ලේසියෙන්ම තමන්ගේ ධාවන ඇතුළත බයික් එකේ පිහිටුම වෙනස් කරගන්න පුළුවන් වංගුව ගන්න අතරෙම. වචන වලින් කියපු එක පැහැදිළි මදි වෙන්නත් ඇති. හැබැයි ප්‍රායෝගිකව මට එය එක්වරක් උපකාර වෙලා තියෙනවා ඩෝප් වෙච්ච ට්‍රක් එකකින් වෙන්න තිබුණු අනතුරක් වළක්වාගන්න.

ධාවන වේගය ගොඩක් අඩු නොකර වංගුවක් ගන්න පුළුවන් වීමත් වාසියක්. හැබැයි countersteering වලටම වැඩේ බාර දීලා හිතන්නෙපා ඒක හැම වෙලාවෙම හරි කියලා. පුරුදු පාරවල් වල කොයි තරම් වේගෙන් ගියත්, පුරුදු නැති පාරක මගේ උපරිම වේගය පැයට කිලෝමීටර හැටයි - හැත්තෑවයි. අඩු වේග වලදී, countersteering ක්රගමයට වඩා හොඳයි යන පැත්තටම හරවලා බයික් එක හරවන එක. බයික් එකේ බර අනුව මේ ‘අඩු වේග සීමාව’ වෙනස් වෙනවා. මම අන්තර්ජාලය ඔස්සේ කියවූ සමහර වෙබ් අඩවි වලට අනුව, පැයට සැතපුම් පහට වඩා අඩු වේගයෙදි countersteering හරියට ක්‍රියාවට නැඟෙන්නෙ නැහැ (ineffective). නමුත් මම පාවිච්චි කරන බයික් එකේ ස්වභාවයත්, (curb weight: 146 kg) මගේ අත්දැකීමත් අනුව නම් ඒ අවම වේග සීමාව පැයට කිලෝමීටර විස්සයි.

Countersteering ගැන වැඩිදුර කියවන්න මෙන්න මේ වෙබ් අඩවි හොඳයි. පොඩ්ඩක් සංකීර්ණ වුණත්, විකිපීඩියාවෙ දැක්වෙන පැහැදිළි කිරීම සම්පූර්ණයි.

මේ සටහන කියෙව්වට පස්සේ තාමත් හිතෙනවද ‘මට ඕනෙ නෑ ඔය විකාරෙ. පුරුදු විදිහ හොඳයි’ කියලා..? එහෙනම් මෙන්න මේ වීඩියෝ එකත් බලන්න.



මේ වගේ මාතෘකාවක් ගැන ලිව්වේ අපේ බහුතරය countersteeting ගැන නොදන්න නිසා සහ ලංකාවේ නිවැරදි පුහුණුවීම් ක්‍රමවේදයක් නැති නිසා. ඇත්තම කියනවා නම් මටත් තව බොහෝ දේ ඉගෙනගන්න තියෙනවා. (ක්ලච් එකක් කිලෝමීටර අටදාහෙන් ගෙවාගන්නෙ නැතුව පාවිච්චි කරන හැටිත් ඉන් එකක්. ;-) ) ඒවත් ඉගෙන ගනිමින් උගත් දෙයින් බිඳක් තමයි මේ...

එහෙනම්... තව මිනිත්තු කිහිපයකින් එළඹෙන 2013 නව වසර පෙට්රල් මිළ හොදටම අඩු වෙන, නයිට් රේස් වලින් තොර සුභ නව වසරක් වේවා!

22 comments:

  1. බොහොම අපූරු ඉතාමත් වැදගත් සටහනක් මචං. මමත් අදම තමයි මේ දේවල් ඇහුවේ...

    ReplyDelete
    Replies
    1. මාත් බොහොම මෑතකදි තමයි මේවා ඉගෙනගත්තෙ තනියම. තීර්ථ යාත්‍රිකයත් යාත්‍රා කරනවද බයික්? :)

      Delete
    2. ඔබතුමාගේ ජාතියේම ජපන් වාසගම සහිත ඉන්දියන් යකඩ අස්සයෙක් තමයි මාත් පදින්නේ :D. මොඩලේ කිව්වොත් ඔබතුමා ගාව තියෙන එකමයි......

      Delete
  2. උඹටත් සුභ නව වසරක් වේවා!! ප්‍රෙට්‍රල් කෙසේ වෙතත් අන්තර්ජාල බද්ද නම් 30% ඉදල 10% දානව කිවුවලු. දැන් අඩු කරල ඇති

    ReplyDelete
    Replies
    1. පෙට්රල් තමා මගේ දැවෙන ප්‍රස්නය... :/

      Delete
  3. සුභ නව වසරක් වේවා!!

    ආපහු එක පාරක් වගේ හොක්ක තලා ගන්නද හදන්නේ ? :P

    ReplyDelete
    Replies
    1. කවදාවත් එහෙම එකක් වුණේ නැත මට. :)

      Delete
    2. ඇයි ඇක්සිඩන්ට් එකක් උනා නේද එකපාරක් ??

      Delete
    3. ඔව්. බයික් එකට ඩැමේජ්... මට නෝ ඩැමේජ්.
      හේතුව... කලබල වෙලා සුදු ඉර උඩ බ්රේක්!

      Delete
  4. උත්සාහ කරල බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් අඩු වේගයකින් උත්සාහ කරල බලන්න. පැයට කිලෝමීටර 30 - 40 ආරක්ෂිතයි. පුරුදු වෙන්න කඩතොළු නැති හොඳ කාපට් පාරක මුලින්ම.

      මොකක්ද පාවිච්චි කරන බයික් එක?

      Delete
  5. එළකිරි , කාලෙත් එක්ක article ටිකත් වෙනස් වෙලා! . අලුත් පැති ගැන අලුත් ලිපි දාන " geek ශාකුන්තල " .ඒ දැනුමත් අපිත් එක්ක බෙදාහදා ගත්තට ස්තූතියි සහෝ !

    ReplyDelete
  6. All bikers do counter steer to some degree but they do not know it. However most bikers do not slow down when entering to corners. That is dangerous!. It is always adviced to do all the breaking and down shifting before entering the corner and when you see the exit of the corner accelerate through the corner.

    Can't do extreme leaning with the bikes we have here since they have foot bicycle tyres not motorcycle tyres :D.
    Glad to see that people are interested in mastering things rather than just doing them.

    Have you checked the tutorials on rev matched downshifting?. Great tool for navigating the turns.
    cheers!.

    ReplyDelete
    Replies
    1. Thanks for the comment!

      However most bikers do not slow down when entering to corners. That is dangerous!

      I have done countersteering at 110 km/h max. No issues and I didn't slow down either. However, I think that depends on the size of the turn as well. Once I topped to 101 km/h at Millennium Drive, where consecutive turns have to be taken opposite directions (like a snake). In much more safety perspective, I agree with your point. Yes, it's dangerous.


      Can't do extreme leaning with the bikes we have here since they have foot bicycle tyres not motorcycle tyres :D.

      That's absolutely true. In wet road conditions even we can't take a normal turn with them. Would you believe if I say I had a highside at about 40 km/h in a rainy day?

      Rev matched downshifting is an area for me yet to be explored. I've read just the name from somewhere, may be Wikipedia. :) Thanks for highlighting it.

      Have you watched Mulholland crash series on Youtube? That's one of my favourites, where I learned some possible rider mistakes.

      Delete
    2. I am a beginner. I bet that you have ridden more miles than me. And it terrifies me to look at that number,110kmph. I never do past 60kmph. :D . The brakes on these indian bikes are not that good and I am also not very good at panic braking. Have to practice emergency braking when I could find an open and straight road/space. Also Sri Lankans are very disciplined on the roads and we should not talk about that part. :)

      There are motorcycle vloggers on youtube. A popular one is the M13 . These people have posted good tutorial videos. So I started following them before jumping right on the bike.

      Also look at the MSF course materials

      These tips are mostly for high powered bikes. But it worths it to learn them.

      I watched some those crash videos. Most crashes seems to be due to braking while corners. Rear wheel locking leads to skidding. That is why it is taught that you should not change gears, brake or press the cluth lever while leaned in to a corner.

      Ride safe!.

      Delete
    3. Me too a beginner... that's why I selected Hunk as my first bike instead of a CBR250R which I was planning to buy initially. :)

      Once I posted a comment to a bikeadvice.in about braking.
      http://bikeadvice.in/motorcycle-braking-tips-venkata-deepak/?fb_comment_id=fbc_10150098612608855_27014498_10151605031993855
      Most of valueable knowledge is gained through the experience of several near misses. That's the bad side of about motorcycle riding.

      Thanks for the links. Especially the MSF!!

      Ride safe you too!! :)

      Delete
  7. මං මේක කලින් කියෙව්වට අද තමා කමෙන්ටුවක් දාන්නේ. සෑහෙන්න අධ්‍යයනය කරලා හොදට ලියලා තියෙනවා. මේ වැඩේ කරන්න නම් පාළු පාරක් හොයාගන්න වෙනවා.
    සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. (අවුරුද්දක් මඟඇරලා) සුභ නව වසරක් වේවා මචන්! :)
      මාළඹේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මාවත වැඩේට හොඳටම හොඳයි. ටිකක් පුරුදු වුණාට පස්සෙ අත්හදා බලන්න දඟරයක් වගේ Millennium Drive එක තියෙනවා. (පොඩ්ඩක් එහායින් දැන් hospital එකකුත් තියෙනවා :) )

      Delete
  8. ගොඩක් වැදගත් ලිපියක් ස්තූතියි !! මාත් වංගුවක් ගන්න ගිහින් බස් එකක නොහැපී බේරුනේ 99න් බයික් එක පාරෙ විරුද්ධ පැත්තට පැනල අල්ලපු ඉඩමක නැවතුනේ. ලයිට් කණුවක් තිබ්බනම් මන් ඉවරයි. කලින් මේව දැනගෙන හිටියනම් වංගුව ගානට ගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. http://www.youtube.com/watch?v=sXLxkM7eFPg#t=5074

      Delete
    2. මේ වීඩියෝ එක බලල වැරදි වැටහීමක් එහෙම ඇති කරගන්න එපා. :)
      වීඩියෝ එකේ පෙන්නෙන්නෙ drifting.

      Countersteering කියන්නෙ වෙනස් දෙයක්. Countersteering වලදි traction එක නැති කරගන්නෙ නැහැ.

      Delete

Facebook ප්‍රතිචාර