Monday, October 22, 2018

ටෝස්ට්මාස්ටර්ස් ගැන ඔබ මේ දේවල් දන්නවාද?

දීර්ඝ නිහැඬියාවකට පස්සේ මට ආපහු යමක් ලියන්න හිතුණෙ මේ දවස් වල මමත් සම්බන්ධ වෙලා ඉන්න නැගලම යන වැඩක් නිසා... ඒ ටෝස්ට්මාස්ටර්ස්! ටෝස්ට්මාස්ටර්ස් කියන්නෙ සියවසකට ආසන්න ඉතිහාසයක් තියෙන ලාභ නොලබන ජාත්‍යන්තර සංවිධානයක්. සාමාජිකයින්ගේ කථන සහ නායකත්ව හැකියාවන් ඉස්මතු කර ඒවා වැඩිදියුණු කරගන්න අවස්ථාව සලසා දෙන එක තමයි මේකෙන් කරන්නෙ. මේ වැඩේ මට හොඳටම අල්ලල යන්න පටන් ගත්තේ මෑතකදි නිසාත්, සිංහල කතා කරන අපි අතර මේ ගැන සුළු සුළු වැරදි වැටහීම් තියෙන නිසාත් පොඩි බ්ලොග් සටහනක් සිංහලෙන්ම තියන්න හිතුණා.

දැනට රටවල් 143ක ටෝස්ට්මාස්ටර්ස් සමාජයයන් (clubs) 16,600ක් යටතේ සාමාජිකයින් 357,000කින් යුත් ටෝස්ට්මාස්ටර්ස් සංවිධානය අදට (ඔක්තෝබර් 22) හරියටම අවුරුදු 94ක් වයසයි!


ටෝස්ට්මාස්ටර්ස් වැඩේට මම සම්මාදම් වෙන්න පටන් ගත්තෙ 2015 මාර්තු මාසේ. 2014 අග මම මාළඹේ රැකියාවෙන් ඉවත් වෙලා දෙමටගොඩ පැත්තට සංක්‍රමණය වුණා. ඒ එක්කම මම කල්පනා කළා රස්සාවට අදාළ තාක්ෂණික කුසලතාවයන් මට කොහොමත් තියෙන එකේ නායකත්ව හා කථන හැකියාවනුත් දියුණු කරගන්න. මාළඹේ හිටපු කාලෙ රැකියාව කළ තැන කිසිම බාහිර වැඩකට සම්බන්ධ නොවුණු නිසා මම කල්පනා කළා ආපහු ඒ අඩුපාඩුව වෙන්න ඉඩ නොතියා අළුත් තැන බාහිර වැඩ වලටත් හැකි පමණින් සහභාගි වෙන්න. ඒ ඔස්සෙ හිතලා තමයි මම අළුත් රැකියා ස්ථානයෙ සගයින් විසින්ම පවත්වාගෙන යන ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් එකේ සාමාජිකයෙක් වුණේ.

ඉතින් මේ බ්ලොග් සටහන ලියන්න පොඩ්ඩකට කලින් මම අන්තර්ජාලයෙ පොඩ්ඩක් විපරම් කළා තව අය මේ ගැන මොකද කියල තියෙන්නෙ බලන්න. එතකොට තමයි මම දැක්කේ "බිත්තිය" බ්ලොග් එකෙත් ටෝස්ට්මාස්ටර්ස් ගැන පොඩි කතාවක් ගිහින් තියෙන බව. ඉතින්, ටෝස්ට්මාස්ටර්ස් කියන්නෙ මොකක්ද කියල දන්නෙම නැත්තං ඉස්සෙල්ලම ඒ පැත්තෙ ගිහින් පොඩ්ඩක් දැනුවත් වෙලා ආවොත් හොඳයි. :) එකම දේ මමත් ආපහු ලියන එක තේරුමක් නැහැනේ.

ඉංග්‍රීසි පන්තියක්ද?

ඉතින් මම දැන් රැකියාව කරන ආයතනයට බැඳිලා අවුරුද්දක් විතර යනකම් දිනපතා වැඩට ගියේ දුම්රියේ... අර කැම්පස් කාලෙ වගේ. ඉතින් මට බාහිර වැඩ වල අදාළ දේවල් කරගන්න තියෙන්නෙ කෝචචියෙ යන පැය දෙක තුන. එක දවසක් මම ටෝස්ට්මාස්ටර්ස් මැනුවල් එකක් කියව කියවා කෝච්චියෙ යන අතරෙ නිකන්ම අහළ පහළ මගීන් එක්ක පොඩි කතාවකට පැටළුණා.

කට්ටිය මගෙන් ටෝස්ට්මාස්ටර් ගැන ඇහුවාම මම ඉතින් ඒ වෙද්දි මගේ තිබුණු දැනුමේ හැටියට කිව්වා කතන්දරේ. ඊට පස්සෙ එක්කෙනෙක් මගෙන් අහනවා,

"ආ... ඔය අර ඉංග්‍රීසි පන්තිය නේද?"

"අපේ අහවලත් යනවා එතන ඔක්කොම ඉංග්‍රීසියෙන්මයි කතා කරන්න ඕන නේද?"

ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් ලංකාවෙ ජන සමාජයේ ටෝස්ට්මාස්ටර්ස් ගැන තියෙන මතය. ඉතින් එදා මම කට්ටියට දන්න විදියට කිව්වා මේක ඉංග්‍රීසි පන්තියක් නොවන බව. නමුත් අද ඊට වඩා හොඳ අවබෝධයක් තියෙනවා.

ඉංග්‍රීසි ජාත්‍යන්තර භාෂාවක් නිසා අපි ඉංග්‍රීසි භාෂාවෙන් ටෝස්ට්මාස්ටර්ස් වැඩසටහන් පවත්වනවා තමයි. ඒත් කිසිසේත්ම ඉංග්‍රීසි ඉගැන්වීමක් වෙන්නෙ නැහැ. ඇත්තටම කියනවා නම් කවුරුත් මේකේ කිසිම දෙයක් උගන්නන්නෙ නැහැ. :)

මම දන්න තරමින්, ඇමරිකන් සුද්දෝ පවා දෙවන භාෂාවක් කතා කරන්න ඉගෙනගන්න ඉංග්‍රීසි නොවන ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් වලට යනවා. එවැනි අවස්ථා වල භාෂාව ඉගෙනීම පුද්ගලික අරමුණ වුණත්, දැනගත යුතු වැදගත්ම කරුණක් තියෙනවා... ටියුෂන් ක්ලාස් එකක වගේ උගන්නන්න කෙනෙක් නෑ.

ටෝස්ට්මාස්ටර්ස් තියෙන්නෙ අපට ඉගෙනගන්න මිසක් උගන්නවාගන්න නෙමෙයි. හැබැයි, කවුරුත් කාට කාටත් ස්වෙච්ඡාවෙන් උපකාර කරගන්නවා. මේකේ මූලධර්මය සරලයි. අත්දැකීම් ලත් ටෝස්ට්මාස්ටර්ලා අළුත් අයට මග පෙන්වනවා. අළුත් අය ඒ ඔස්සෙ තනිවම ඉගෙනගන්නවා. වැදගත්ම දේ, කාගෙවත් වැරදි වලට කවුරුත් හිනාවෙන්නෙවත් දොස් කියන්නෙවත් නෑ. කෙනෙකුගේ වැරැද්දක් පෙන්වා දීමේත් නිසි ක්‍රමවේදයක් තියෙනවා (evaluation & feedback).

ඉතින්, කෙනෙකු විසින් පවත්වන කථාවක් හෝ ක්‍රියාකාරකමක් අවසානයේ අනිත් සාමාජිකයින් ඒ ගැන ඇගයීමක් කරලා වැදගත් විධියේ විචාරයක් (constructive feedback) දුන්නාම ඒ මනුස්සයාට ඊළඟ වතාවේ අඩුපාඩු හදාගෙන තව කථාවක් වඩාත් හොඳට පවත්වන්න පුළුවන්. මේ ක්‍රමේට කවුරු කවුරුත් කාට කාටත් උදව් කරගත්තාම හැමෝම ගොඩ යනවා.

කවුරු කවුරුත් අන්‍යොන්‍යව උදව් කර ගැනීම අයාලේ නොගිහින් හරි විදියට කරගන්න අවශ්‍ය framework එක සපයා දීම තමයි ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර්ස් ආයතනය (TMI) ඔවුන්ගේ අධ්‍යාපනික වැඩසටහන් වලින් කරන්නේ. ක්ලබ් එක ඇතුලේ අධ්‍යාපනික පැත්තට අදාළව සියල්ල හරියට කෙරෙන එක අධීක්ෂණය සහ මග පෙන්වීම කෙරෙන්නෙ ක්ලබ් එකේම සාමාජිකයන් අතරින් පත් කරගන්න Vice President Education තනතුර විසින්.

තම තමන්ගේ උනන්දුව හා කැපවීම අනුව ටෝස්ට්මාස්ටර්ස් වැඩේට බහින කෙනෙක් ඒකෙන් ලබාගන්න ප්‍රතිපලය වෙනස් වෙනවා. කැපවීමෙන් අනුන්ටත් උපකාර කරගෙන හරියට මේ වැඩේ කරන කෙනෙක් ඒකාන්තයෙන්ම වෙනස්ම විධියක මනුස්සයෙක් වෙනවාමයි.

ඉංග්‍රීසියෙන්ම කතා කරන්න ඕනද? 

මේකත් ඇත්තටම ලංකාවේ තියෙන මිථ්‍යා මතයක්. ජාත්‍යන්තර ඉසව් වලදී හැර වෙනත් ඔනෑම මොහොතක සැසිවාර කැමති භාෂාවකින් කරන්න පුළුවන්. ලංකාවේ ක්ලබ් වල ඉංග්‍රීසි පාවිච්චි කරන්නෙ ජාත්‍යන්තර ඉසව් වලට සහභාගී වීමේ අවශ්‍යතාව නිසා කියලයි මම නම් හිතන්නෙ.

ටෝස්ට්මාස්ටර්ස් වලින් දිරි දෙන්නේ කථනය හුරු කරවන්න මිසක් භාෂාව උගන්වන්න නෙමේ. හැබැයි නිතැතින්ම භාෂාව ඉගෙනීම මේකේ බයි ප්‍රොඩක්ට් එකක්.

දැනට මම දන්න තරමින් සිංහල ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් එකක් තියෙනවා. ඒක තියෙන්නෙ ලංකාවේ නෙමේ සවුදි අරාබියේ. :D ආසියාතික රටක ටෝස්ට්මාස්ටර් කෙනෙක් දවසක් ෆේස්බුක් සංවාදයකදි සඳහන් කළා එයාලගෙ ක්ලබ් එකේ මාරුවෙන් මාරුවට මව්භාෂාවෙනුත් ඉංග්‍රීසි භාෂාවෙනුත් සැසිවාර පවත්වන බව. ඉතින්, සිංහලෙනුත් සැසිවාර පවත්වන්න කිසිම බාධාවක් නෑ.

ඒ වගේම, දැනට අධ්‍යාපන ප්‍රකාශන (educational materials) පළ කරලා නැති 'අළුත්' භාෂාවකින් වැඩ කරන ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් ප්‍රමාණවත් තරමක් ඇති වුණොත්, භාෂා පරිවර්තක කණ්ඩායමක් ටෝස්ට්මාස්ටර්ස් සංවිධානය ඒ භාෂාව වෙනුවෙන් ලබා දෙනව. දැනට ඒ විධියට ප්‍රකාශන ටික දෙමළ භාෂාවට පරිවර්තනය කරන ව්‍යාපෘතියක් ආරම්භ කරලයි තියෙන්නෙ.

ලංකාවේ ටෝස්ට්මාස්ටර්ලා නිකං සතුටු සාමීචි සෙට් වීමකදි ඉංග්‍රීසියෙන්ම කතා කරන්නෙ ඒ භාෂාව වැඩිපුර කතා කරල කරල පුරුද්දට ගිහින් මිසක් ලොකු කමකට නෙමේ කියලත් හිතේ තියාගන්න ඕනැ. :) (ටෝස්ට්මාස්ටර් කෙනෙක් කතාවක් පවත්වන්න කලින් දහ පහළොස් පාරකට වඩා ඒක පුරුදු වෙනව තනියම, ඒ නිසා භාෂාවේ භාවිතය බාහිරව පෙනෙනවාට වඩා වැඩියි) අපේ ටෝස්ට්මාස්ටර්ලා අති බහුතරයක් තමන්ගෙ මව් භාෂාව සිංහල හෝ දෙමළ අපූරුවට කතා කරනව. ඉතින් ටෝස්ට්මාස්ටර් කෙනෙක් කතාවට සෙට් වුණොත් තමන්ට පහසු නං පැකිළෙන්නෙ නැතුව සිංහලෙන් කතා කරන්න. :)

ඉංග්‍රීසි පුළුවන් අයට විතරයිද?

මේකට ලස්සන උත්තරයක් තිබ්බා Pathways Icebreaker එකේ තිබ්බ වීඩියෝ එකක. අපි ටෝස්ට්මාස්ටර්ස් වලට සහභාගි වෙන්නෙ අපට කතා කරන්න පුළුවන් නිසා නෙමේ. අපට කතා කරන්න බැරි නිසා. බැරි දේ හදාගන්නයි අපි මේකට එන්නෙ. ඒ නිසා ඉංග්‍රීසි බැහැ කියලා ඒක සත පහකට ගණංගන්න එපා.

සමහරු තමන්ගෙ පළවෙනි ටෝස්ට්මාස්ටර්ස් මීටින් එකේ තමන්ගෙ වාරය ආවාම වචනයක්වත් කතා කරගන්න බෑ. ඒ හැටි. පළවෙනිම වතාවෙ මටත් එහෙම වුණා. ඒත් ගානක් නෑ ඒක කාටවත්.

මගේ පළවෙනි මීටින් එකේදිම (එතකොට මම සාමාජිකයෙක් වෙලත් නැහැ) මට විනාඩි දෙකක තුනක පොඩි කතාවක් කරන්න අවස්ථාව ලැබුණ. ග්‍රැමර් අම්බානෙක වැරදියි. කටින් වචන පිිටවෙන්න වෙලා යනව. හිර වෙනව. ඒකෙදි හදාගන්න ඕන තැන් ගැන ලස්සනට කියලා දෙනව මිසක කවුරුවත් ඒවා කිසිම තැනක විහිළුවට ගන්නෙ නැහැ.

කථනය විතරමද?

කථනය තමයි මේකේ බාහිරයට පේන ප්‍රධානම දේ. හැබැයි පරම අරමුණ ඒක නෙමෙයි. සන්නිවේදන හැකියාව භාවිත කරමින් නායකත්ව ගතිගුණ වලින් පිරිපුන් පුද්ගලයෙක් බිහි කරන එකයි ටෝස්ට්මාස්ටර්ස් වල පරම අරමුණ.

ඉතින් කොහොමද මේකෙන් මනුස්සයෙක්ව නායකයෙක් කරන්නෙ? කථනයට සමගාමීව තවත් විවිධාකාර ක්‍රියාකාරකම් තුළින් විවිධ හැකියාවන් ඔප්නැංවීම. මේ තියෙන්නෙ මූලික අවස්ථාවේ තියෙන ක්‍රියාකාරකම් කීපයක්... එක්කෙනෙක් කතා කරද්දි ඒකට උදව් කරන්න අයත් ඉන්න ඕනනෙ. :)
  • කථනය (Speaker) - ඉදිරිපත් වීම තුළින් අන්‍යන්ට ආදර්ශයක් වීම
  • Ah-counter - සවන්දීමේ හැකියාව
  • Timer - කාල කළමනාකරණය, සවන්දීම
  • Toastmaster - කාල කළමනාකරණය, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම
  •  Grammarian, General Evaluator, Speech Evaluator - ඇගැයීම
  • Mentor - අන්‍යයන්ට උපකාර කිරීම, මගපෙන්වීම
  • Contest chair - සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රවර්ධනය
  • Public Relations Campaign Chair - ප්‍රවර්ධනය
කවුරු කවුරුත් පංගු බේරු නැතුව ස්වෙච්ඡාවෙන් ක්‍රියාකාරකම් වලට දායක වීම මත තමයි ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් එකක පැවැත්ම රඳා පවතින්නේ. පසු අවස්ථාවක මෙන්න මේ වගේ ලොකු ක්‍රියාකාරකම් වලට අතගහන්න හුරුව ලැබෙන්නේ ඉහළින් තියෙන ඒවා කරලා මිනිස්සුත් එක්ක වැඩ කරන්න (people skills) පුරුදු වුණාම.
  • Youth Leadership Program
  • Speechcraft

මේ හැම දේම පටන්ගන්නේ Icebreaker කියල තමන් ගැන කියන පුංචි කතාවක් පැවැත්වීමෙනුයි. බරසාර මාතෘකා පසුව තෝරගන්න පුළුවන්. කථා පැවැත්වීමත්, ක්‍රියාකාරකම් ටිකත් එකතු වෙලා අන්තිමේ DTM (Distinguished Toastmaster) කියල පට්ටමක් ලැබෙනවා. අන්න ඒක ගොඩක් වටිනවා විතරක් නෙමේ, තමන් වැඩ්ඩෙක් කියන එක එතකොට ඔප්පු කරලා පෙන්නලා ඉවරයි.

රැග් එක වෙනුවට ටෝස්ට්මාස්ටර්ස්

"කැම්පස් කොල්ලන් කෙල්ලන් රැග් එකෙන් කට් කර ටෝස්ට්මාස්ටර්ස් යැවිය යුතුයි"

මේ මං කලකට පෙර ෆේස්බුක් දාපු පොඩි ස්ටේටස් එකක්. ඒත් ඉතිං කැම්පස් කොල්ලො කෙල්ලො කොහොමයි සාමාජික ගාස්තු ගෙවන්නේ?

අන්න ඒ ප්‍රශ්නය විසඳන්න තමයි Gavel Clubs තියෙන්නේ. අධ්‍යාපනික ආයතන වල ඉගෙන ගන්න අයට, දැනට රැකියාවක් නොකරන අයට සහ ටෝස්ට්මාස්ටර්ස් සාමාජිකයෙක් වෙන්න වෙන්න නිසි වයස සපුරා නැති අයට ටෝස්ට්මාස්ටර්ස් අත්දැකීම් ගන්න තමයි ගැවල් ක්ලබ් තියෙන්නේ. රැග් එක ගැන කතා කරන එක නම් වෙනම කතා කළ යුතු ලොකු මාතෘකාවක්, හැබැයි කැම්පස් එකේ ෆැකල්ටියට එක ගානේ ගැවල් ක්ලබ් හදාගත්තොත් ලොකු ප්‍රයෝජනයක් වෙයි. දැනටත්, එහෙම ගැවල් ක්ලබ් වල සාමාජිකයො වෙලා ඉඳලා IT ෆීල්ඩ් එකේ ජොබ් වලට, ඉන්ටර්න්ෂිප් වලට එන අයගෙ සැලකිය යුතු වෙනසක් තියෙනවා සාමාන්‍ය කෙනෙකුට වඩා.

ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් එකකට ගිහින්ම බලමු

මේක කියවලා උනන්දුවක් ඇති වුණා නම් ඊළඟට කරන්න සුදුසුම දේ ක්ලබ් එකකට ගිහිල්ලාම ඒකේ සිද්ධ වෙන දේවල් නිරීක්ෂණය කරන එක. කරන්න තියෙන්නෙ හරි සරල දෙයක්. පහතින් දැක්වෙන ලින්ක් එකට ගිහිල්ලා ඒකේ තියෙන මැප් එකේ බලන්න තමන්ට යන්න පහසුම, ළඟම ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් එක මොකක්ද කියල. R අකුරින් දක්වලා තියෙන restricted clubs වල නම් පිටස්තර අය ගෙන්වා ගැනීම සම්බන්ධව යම් යම් සීමාවන් තියෙන්න පුළුවන්. මැප් එකේ ඒ ඒ ක්ලබ් එකට අදාළ පින් එක ක්ලික් කළාම පොඩි විස්තරයක් එනවා සැසිවාර (meetings) තියෙන වෙලාවන් ගැන. ඒවා බලලා පහසු එකක් තෝරගන්න. ඊට පස්සේ, ක්ලබ් එකේ නම ක්ලික් කළාම එන ක්ලබ් එකේ පිටුවෙන් හොයාගන්න ඒ අයගේ දුරකථන අංකය. කතා කරලා අහන්න guest කෙනෙක් විදියට සහභාගි වෙන්න පුළුවන්ද කියල... සරලයි. ආයතනික හේතු මත සීමාවල් පනවා නැත්නම් අති බහුතරයක් ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් වල පිටස්තර අය සාදරයෙන් පිළිගන්නවා. :)


(පැහැදිලිව බලන්න පින්තූරය ක්ලික් කරන්න)




ඉතින්, ටෝස්ට්මාස්ටර්ස් ගැන තව කතා කරනවා නම් කතා කරන්න තව දේවල් එමට තියෙනවා. මේ ආටිකල් එක ගොඩක් දික්ගස්සන්න මම කැමති නෑ... හැබැයි මේක කියවන ඔබට ටෝස්ට්මාස්ටර්ස් ගැන දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකකින් හෝ ට්විටර් පණිවුඩයකින් අහන්න.... ඒ උත්තරත් එකතු කරලා එතකොට මට ටෝස්ට්මාස්ටර්ස් ගැන තවත් ආටිකල් එකක් ලියන්න පුළුවනි. :)

එහෙනම්, අදට මෙපමණයි෴

6 comments:

  1. Simple and sweet.. keep up the good work...

    ReplyDelete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete

Facebook ප්‍රතිචාර