Showing posts with label දෝෂදර්ශන. Show all posts
Showing posts with label දෝෂදර්ශන. Show all posts

Monday, March 1, 2010

අනං මනං... 2010 ජනවාරි, පෙබරවාරි...

මගේ අහවල් කාව්‍යකරණය ගැන ලිව්වට පස්සෙ ගොඩක් දවසකින් මේ පැත්තෙ එන්න බැරි වුණා. මාර්තු අවසාන වෙන්න කලියෙන්වත් මොනව හරි නොලිව්වොත් සිංහල බ්ලොග් කියවනයෙන් මාත් විසික් වෙයි එළියට. කොත්තුවෙන් නම් තාම දොට්ට දාලා නෑ.. :)
(මාස තුනක් ඇතුළත නොලිව්වොත් සිංහල බ්ලොග් කියවනයෙන් එළියට... :| මාස දෙකක් ඇතුළත නොලිව්වොත් කොත්තුවෙන් එළියට.... :| )

මට මතකයි 2009 අවුරුද්දෙත් බ්ලොග් ලිවිල්ල පටන් ගත්තෙ ටික දවසක නිහැඬියාවකට පසුව. සුපුරුදු පරිදි තාක්ෂණික සටහනක් ලියන්න අවශ්‍ය කරන වස්තු බීජයක් ලැබුණෙත් නෑ. පහුගිය දවස් වල මට එක එක ජාතියේ වැඩ තිබුණ නෙව... විභාගයක් තිබුණා... ඉතිං මගේ පුරුදු වැඩ ටිකක් අතමක කරලා 'ගිරවාරූඪය' ට මාරු වුණා. විභාගේ ගැන නම් මතක් කොරනකොටත් බයයි වගේ... හාපෝයි...! විභාගේ 'to be continued' කියල ඒ අතර කාලේ ඡන්දෙකුත් තිබුණනේ.... ඔන්න ඉතිං ජනාධිපතිකමට සුදුසුයි කියල මට හිතුණු පුද්ගලයට මමත් අත පුරෝල පොඩි කතිරයක් ගහල ආවා. :)

දැන් ඉතිං කැම්පස් ජීවිතේ අන්තිම මාස හය... මේ කාලේ අපට තියෙනව ආධුනිකත්ව වැඩසහටනක්...හුරු පුරුදු විධියට කිව්වොත් අපේ internship programme එක. ඉතිං ජනවාරි 25 මමත් ජැන්ඩියට ඇඳලා ගියා ඉන්ටර්වීව්... මගේ ජීවිතේ පළවෙනිම ජොබ් ඉන්ටර්වීව් එක... මම ඒක සමත් වුණා! මාර්තු 02, ඒ කියන්නෙ හෙට උදේ ඉඳලා මට යන්න තියෙන්නෙ අළුත් ගමනක්... අළුත් පරිසරයක්... අළුත් මුහුණු... ලංකාවේ ලොකු ම තැනක පොඩි ම මනුස්සයෙක් විධියට මම හෙට ඉඳලා වැඩ! :)

ඊට පස්සේ ආයෙමත් විභාගේ... ඉතිරි ටිකත් ඩෙෆා රිපීට් කියලා දැනගෙනම නියම නෑමක් නෑවා... විභාගේ තමා අපේ අභාගේ. :( System and Network Administration නම් නාගන්නෙ නැතුව කරගත්තා... ලේසි පාසු එකකට තිබුණෙ ඒක විතරයි මම හිතන්නේ... :D (ලිනක්ස්ට ජය වේවා!)

විභාගේ අස්සේ තවත් වැඩකට ගියානේ... පෙබරවාරි 10 හවස දෙකට Human Resource Management ප්‍රශ්නපත්‍රයකුත් තියෙද්දි උදේ 9ත් 10ත් අතර සජීව ගුවන්විදුලි වැඩසටහනකටත් සහභාගි වුණා... O_o
ඉන්ටර්නෙට් සම්පත් භාවිතය -- මේ වැඩසටහන කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ තවත් සද්කාර්යයක්... :) නිදහස් අධ්‍යාපනයෙන් අප ලබන ජවය මුදා හරින එක විධියක් තමයි ඒ... අප ලබන දැනුම සමාජය වෙතත් ලබා දීම... ශිෂ්‍ය සහභාගීත්වයෙන් හැම බදාදාවකම පෙරවරු 9.00 ට සජීව ව විකාශය කෙරෙන මේ වැඩසටහන් මාලාවේ පෙබරවාරි 10 බදාදා වැඩසටහන ගැන විශේෂයෙන් සඳහන් කළේ ඒකෙ තේමාව සිංහල බ්ලොග්කරණය නිසා... වැඩි විස්තර සිංහල බ්ලොග්කරුවන්ගේ ගුග්ල් සමූහයෙ ඇති වුණු මෙන්න මේ කතාබහෙන් දැනගන්න පුළුවන්. එදා වැඩසටහන මෙතනින් බාගන්නත් පුළුවන්. :)
එදා තවත් පාඩමක් ඉගෙනගත්තා... පූර්ණකාලීනව ලිනක්ස් වලට මාරු වීමේ ප්‍රතිපලයක් ලෙස මට වින්ඩෝස් සම්බන්ධ සමහර දේ අමතක වෙලා කියල දැනුණෙ අසන්නෙකුගෙන් ගැටළුවක් ඉදිරිපත් වුණාමයි... O_o අන්තර්ජාලය තිබුණු නිසා හිර නොවී යංතං ෂේප් කරගත්තා... :D



ඉතිං විභාගෙත් ඉවර වෙලා නිදහසේ ඉන්න කාලේ තව පොඩි පොඩි වැඩ ටිකකට අත ගැහුවා... අපේ ඇන්ත්‍රැක්ස් අයියගේ අළුත් ව්‍යාපෘතියක් තියෙනවා... පරිගණක ආරක්ෂාව ගැන දන්න සිංහලෙන් කතා කරන්න... සිංහල හැකර්ලාගේ තිප්පොල... ඉතිං ඒකටත් පොඩි සහයෝගයක් දෙනවා මේ දවස් වල... තාම සෑහීමකට පත් විය හැකි මට්ටමේ සහභාගීත්වයක් දෙන්න පුළුවන් වුණේ නෑ. :( ඉතිං... මෙන්න තියෙනවා අපි කතාබහ කරන තැන. දැන්ගන්න ඕනේ දෙයක් තමයි මේක සුදු තොප්පිකාරයින්ගෙ තැනක්... "යාළුවගෙ ඊමේල් ගිණුමට හොරෙන් පිවිසෙන්නෙ කොහොමද?" ඒ වගේ දේවල් ගැන කතා කරන්න වෙනින් තැනක් හොයාගන්න. "කොහොමද අපේ ඊමේල් ගිණුම ආරක්ෂා කරගන්නේ?" මෙන්න කතා කරන්න තැන...! තව,... පරිගණක වයිරස් ගැන... වින්ඩෝස් පාවිච්චි කරන අයට ලොකුම කරදරේ ඕකනේ... එන්න ඇවිත් සෙට් වෙන්න... අපි මේ දේවල් ගැන දන්න සිංහලෙන් කතා බහ කරමු... ඉගෙනගනිමු.... http://hacker.lk

පහුගිය දවස් වල මම වැඩියෙන්ම මහන්සි වුණේ මොකකටද කියන පුරස්නෙට නම් එක එක උත්තර තියෙනවා... වඩාත්ම හරි උත්තරය දන්න කස්ටිය සද්ද නැතුව ඉන්නවා හොඳයි... :P :D



පෙබරවාරි 13 නම් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ දවසක්. අපේ කැම්පස් එකේ සම්ප්‍රදායක් විධියට පළමු වසර විනෝද චාරිකාව යොදාගන්නෙ හන්තාන ආශ්‍රිතව. මේ දක්වා ඔය ගමන ගිහිපු අපේ කිසිම බැච් එකකට කිසිම උපද්‍රවයක් සිද්ධ වුණේ නෑ.... නමුත් මේ වතාවේ අපේ පළමු වසර පොඩ්ඩන්ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 'මහා' ශිෂ්‍ය සංගමයෙන් බොහොම නින්දිත සහ දරුණු විධියට සලකලා තියෙනවා... වැඩි විස්තර මෙතනින් කියවන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් විරෝධතාව දක්වලා වෙනම බ්ලොග් සටහනක් ලියන්න මම අදහස් කළත් ඒකට වෙලාවක් ලැබුණෙ නැහැ.


මේ ගැන මගේ සගයින් එක්ක කතා බහ කරද්දි දැනගන්න ලැබුණා වෙනත් විශ්වවිද්‍යාල වල සිසුන්ටත් මේ කරදරයටම මුහුණදෙන්න සිද්ධ වුණු බව... අපි දේශපාලන පක්ෂ වලට කඩේ යන්නෙ නැති නිසා අපිව ඇලජික් වගේ ඇති...

මෙන්න මේකත් බලන්න... ත්‍රස්තවාදය පිළිබඳ විශේෂ උපාධියකුත් පේරාදෙණියෙ ඇති මං හිතන්නේ...
 

පේනව ඇතිනේ... පේරාදෙණියේ 'මහා' ශිෂ්‍ය සංගමයේ 'මහා ලොකු' අයියලා නිදහස් අධ්‍යාපනයෙන් ලද ජවය මුදා හැර තියෙන හැටි... ඉතින් මේ ගැන වැඩි commentary දෙන්න මම කාලය වැය කරන්නෙ නෑ.. කියවන ඇත්තෝම සිය නැණ පමණින් වටහා ගනිත්වා..!

එකක් ඉවර වෙනකොට තවත් එකක්... උතුරේ ත්‍රස්තවාදය නැත්තටම නැති කළා වගේම හන්තාන පැත්තේ ඉවර කරන්න තවත් ඒ වගේම මෙහෙයුමක් අතිගරු ජනාධිපතිතුමාට ඉතිරි වෙලා තියෙනවා.... මේකත් කියවලම බලන්න.

තවත් වැදගත් කාරණාවක්... පේරාදෙණියෙ ඔය 'මහා' ශිෂ්‍ය සංගමයත් එක්ක ඇයි හොඳයියක් නැති පිරිසකුත් ඉන්නවා... මම දන්න තරමින් ඒ අයට කියන්නෙ අලයො කියලා... අලයො අහිංසකයි... ඒ නිසා පේරාදෙණියෙ ඉන්න අල පිරිසට මේ සිද්ධිය සම්බන්ධයෙන් ගරහන්න එපා... උන් නිර්දෝෂයි. (මං වැරදි නම් පේරා අලයෙක්ම ඇවිල්ලා නිවැරදි කරන්ඩෝ.... :) )



පෙබරවාරි 13 Lirneasia AT Tester Soft Launch සඳහාත් සහභාගි වුණා. මට දැන් ඒ ගැන වෙනමම සටහනක් ලියන්න කාල වේලාව මදි... සවිස්තර සටහනක් ලෙස මාලින්ද ලියූ සටහනින් සෑහීමකට පත් වෙන්න පුළුවන්. :-)
වැදගත්ම කාරණාව තමයි ලංකාවේ broadband අන්තර්ජාල සබඳතා ලබා දීමේ ගුණාත්මක ප්‍රමිතියක් තවම නැහැ. එහෙමත් නැත්තම්, ගුණාත්මක සේවාවක් ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයන්ට ලැබෙන්නෙ නැහැ. මේ සම්බන්ධව පාරිභෝගිකයන් ලෙස හඬක් නගන්න අපට අවශ්‍ය කරුණු කාරණා, සාක්ෂි, සාධක පිළිබඳව අදාළ පර්යේෂණ පවත්වනවා Lirneasia ආයතනයෙන්. ඒක ඒ අය ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයා වෙත කරන ලොකු උදව්වක්. ඉතින්.. මේ පර්යේෂණ වලට සහය දීලා ලංකාවේ අන්තර්ජාල සේවා වල දියුණුව වෙනුවෙන් යමක් කිරීම තමයි අන්තර්ජාලය භාවිත කරන්නන් ලෙස අපෙන් සිදුවිය යුතු දේ. :)

පෙබරවාරි 14 වැනිදා ඔය AT Tester එකේ source code එකත් එක්ක ටිකක් ලව් කළා... මට හීනියට වගෙ අදහසක් ඇවිත් තියෙනවා ඒ code එක අධ්‍යයනය කරලා, ලිනක්ස් වල වැඩ කරන්න පුළුවන් AT Tester එක්ක හදන්න. බලමු... වෙලාව තිබුණොත් තමා....



ලිවිය යුතු වැදගත් දෙයක් තව ලැබුණෙ නෑ... ආ.... තංගල්ල පැත්තෙ පොඩි ටුවර් එකක් ගියා... දේශීය - විදේශීය හැමෝටම කියවන්න පුළුවන් වෙන්න ඒක ලිව්වෙ කඩ්ඩෙන්.... ගිහින් කියවලම බලන්න.... වැඩි හරියක්ම තියෙන්නෙ පිංතූර... :)

මගේ අද ලියමන මෙතනින් ඉවරයි... හෙට උදේ නවයෙන් මතු වැඩ කරන්න ලැබෙන කාර්යාල වටපිටාවත් එක්ක බ්ලොග් ලියන්න ඉස්පාසුවක් ලැබෙන එකක් නැති වෙයි... දන්නවනේ... රාජකාරිය = දේවකාරිය :D

ඉතිං... කස්ටිය  ඔය පහළින් තියෙන කොටුවේ ගල්-මුල්-මල්-එකඟතා-නොඑකඟතා මේ මොනව හරි ලියල යන්න..... ඔන්න මං කැපුනා... චෙරියෝ....! :D

Wednesday, October 14, 2009

ආකල්ප, වීඩියෝ ක්‍රීඩා සහ ලිනක්ස්

ම්ම්... බ්ලොග් උපන්දින සාදයෙන් පස්සේ ලියන පළවෙනි ලියමන... මගේ බ්ලොග් උපන්දිනේ සමරන්න ආපු හැමදෙනාටම ස්තූති... ඉස්සරහටත් මං ලියන අනංමනං කියවන්න.. :)

මාතෘකාව...........! මීට කලකට කලින් දුටු දෙයක් මතක් වෙලා මේක ලියන්න හිතුණේ... දැන් තියෙනවනේ ඔය හන්දි හන්දි ගානේ පොඩි පොඩි video game centre. ඉන්ටර්නෙට් කැෆේ වගේ මේවයෙත් පාවිච්චි කරන කාලය අනුව ගෙවීමක් කරලා මොකක් හරි වීඩියෝ ක්‍රීඩාවක යෙදෙන්න පුළුවන්. පරිගණක ක්‍රීඩා වලට වැඩිපුරම ඇබ්බැහි වෙලා ඉන්නෙ පොඩි ළමයි... ඉස්කෝලෙ හයේ හතේ විතර පොඩි බට්ටෝ... හැබැයි ඉතිං මේවයෙ තියෛන කරන මිනී මරාගන්න ගේම් නම් ළමයින්ට සුදුසුයි කියන්න බැහැ... මේ video game centre වල තියෙන ක්‍රීඩා වලින් සමහර ඒව වර්ග කරල තියෙන්නෙ 18+ විධියට, නමුත් අපේ සිරි ලංකාවෙ බොහොම නිදැල්ලෙ සංසරණය වෙනවා -- මහරජාණන්ගෙ අවධානයට ලක් විය යුතු තවත් මාතෘකාවක්... අර (අහ)වල් සයිට් තහනම් කළා වගේ මොකක් හරි කරන්න වෙයි. නැත්තං අර ජෝන් සීනා විතරක් නෙමෙයි තව තව ආතක් පාතක් නැති fictional චරිතත් ඔළුවටම ගහයි.

මම අද කියන්න යන්නෙ ඒ පොලිටිකල් කතා නෙමෙයි... Video game center එකකට වෙලා පොඩ්ඩක් බලාගෙන ඉඳිද්දි හිතුණ දෙයක්... සමහර අය ලිනක්ස් බෑ බෑ කියන්න එක හේතුවක්නේ මේ මූලික ලිනක්ස් විධාන මතක නැති කම... මතක තියාගන්න බැරිලු... ටයිප් කරනකොට ටැපලෙනවලු... ක්ලික් කරන්න තියෙනකොට ලේසියිලු.

මොන බොරුද? :P

දැන් ආපහු යමු වීඩියෝ ගේම් එක සෙල්ලම් කරන පොඩි එකා ළඟට... පොඩි එකා මොකක්දෝ එකක් ටයිප් කරනවා... මෙන්න අපේ වීඩියෝ ක්‍රීඩාවෙ ඉන්න 'පොර' ගෙ අතට අවි ආයුධ (ammunition) මාර තොගයක් එකපාරටම මැවෙනවා... පොඩි එකාට ටයිප් වෙන දේ පේන්නෙත් නෑ.. හැබැයි ඌ ඒක කොහොම හරි කරගන්නවා. තව ටිකකිං... අපේ පොර දැන් මැරෙන්න ඔන්න මෙන්න... හැබැයි පොඩි එකා තවත් මොකක්දෝ එකක් ටයිප් කරන පරක්කුවෙන් පොර full health. තවත් මොකක්දෝ එකක් ටයිප් කළ ගමන් මේන්න අහසින් පාත් වුණා වගේ සද්දන්ත වාහනයක්!

ඔය කිව්වෙ වෙන මොනවත් නෙමෙයි පරිගණක ක්‍රීඩා වල තියෙන easter eggs, නැත්තම් game cheats ගැන. තවත් සමහර අය passwords කියලත් කියනව මේවට... මොක වුණත් කමක් නෑ... පොඩි එකාට එක එක ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට අකුරක් නෑර මේව ඔක්කොම මතකයි. ටයිප් කරන අකුරු ටික පේන්නෙත් නෑ... එක හුස්මට ටයිප් කරගෙන යන්නත් ඕනේ. එක අකුරක් හරි මිසිං වුණොත් ඊළඟ තත්පරෙන් අපේ 'පොර' ඩවුන් නේ. සමහර වෙලාවට cheat code එක ටයිප් කරන එකත් නිකං ප්‍රතීක ක්‍රියාවක් වගේ -- එක සැණින්! :-O


ඉතින්... ඒකත් එහෙම නං... අපි වගේ අයට,
ලිනක්ස්/ යුනික්ස් ෂෙල් එකක මූලික වැඩ ටික වත් කරගන්න එකත් මහ ලොකු දෙයක් ද?
ඒකත් බැරි නම් වරද තියෙන්නෙ කොතනද??

Sunday, April 26, 2009

එතෙර ගිය අපේ හොල්මන්

මම අන්තර්ජාලයෙ එහා මෙහා සැරිසරමින් ඉන්න වෙලාවක සිංහල වෙබ් අඩවියක දැක්කා (සිංහල කිව්වට ‍මේක ඇත්තටම ‍JPG සිංහල අඩවියක්. හික් :D ) හොල්මන් අවතාර ගැන කතන්දර කීපයක්. මම මේව කතන්දර ‍විධියට හඳුන්වන්නෙ තවදුරටත් මේ අඩවියෙ තිබුණු කතන්දර විශ්වාස කරන්න බැරි නිසා. මේ කියන වෙබ් අඩවියේ තියෙනවා හැඳින්වීම කියලා තවත් මරු කතන්දරයක්.. පර්යේෂණ ගණනාවක් කළාලු (මෙයා හැමදාම රෑට හීනෙන් බය වෙනව ඇති :D ).. දුර්ලභ ගණයෙ ඡායාරූපත් ගොඩක් තියෙනවලු (ඔක්කොම උස්සපුව වෙන්ට ඇති මයෙ හිතේ - නැත්තං Adobe Photoshop තමා).

ඉතින් මේකෙ තිබුණ "දියතලාවෙ නිරෝෂා" කියල කතන්දරයක්. මමත් ඕක ටිකක් විශ්වාස කළා. මොකද තවම විසඳගන්න බැරි අද්භූත සිද්ධි කීපයක්ම මටත් අත්දකින්න ලැබී ඇති නිසා. මෙන්න බැලින්නම් මේ හොල්මන ටෙක්සාස් වල රේල් පාරක් අද්දර ඉන්නවා!

දැන් මේ රූපසටහන් දෙක බලන්න (පැහැදිලිව පේන්නෙ නැත්තම් පිංතූරෙ මත ක්ලික් කරන්න):


දියතලා‍ව


ටෙක්සාස්

මේ ගැන තවත් දෙයක් කිව යුතුයි. අන්තර්ජාලයෙ හොල්මන් අවතාර ගැන දාල තියෙන සිද්ධි සහ ඡායාරූප බොහොමයක් ව්‍යාජ ඒවා බවයි මට හිතෙන්නේ. මොකද හොල්මන් පෙන්නලා තමුන්ගෙ අඩවියට එන පිරිස වැඩි කරගන්න හරි බෙහොම පහසු නිසා. විශ්වවිද්‍යාලයක් හෝ එවැනි පර්යේෂණ පවත්වන ආයතනයකින් පළ කළ එකක් නම් බොහෝ දුරට විශ්වාස කරන්න පුළුවන්.

කොහොම වුණත් මාර හොල්මන් කොපිය නේද? යාළු.com බලලා දියතලාව පැත්තෙ යන්න බය වෙච්ච අයට ඔන්න දැං බය නැති කරගන්න වෙලාව ඇවිත්. :P

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Sunday, January 11, 2009

2009 පළමු සටහන නොහොත් මෙගා අච්චාරුව

විභාගය ඉවර වෙනකම් බ්ලොග් ලිවිල්ලට සමු දෙන්න හිතුවත් ලියන්න ‍දේවල් ගොඩක් ගොඩ ගැහුණු නිසාත්, ඊයෙ ලොකු assignment එකක් කරල අවසාන වීමෙන් ලැබුණු නිදහසත් නිසා මොනවහරි ලියන්න හිතුණා. මේ සටහන අච්චාරුවක් වෙන්න හොඳටම ඉඩ තියෙනව. දැන් මේක කියවලම යන්න. මොකද ආගිය කතා, ආතල් සීන්, අනං මනං, තාක්ෂණය, මෘදුකාංග, කාලීන ඔක්කොම මෙතන තියෙනවා :D



මුලින්ම පටන්ගමු දෙසැම්බර් 31දා පොඩි ආතල් සීන් එකකිං. පරණ දේවල් ගැන ලියනවට අහිතක් හිතන්න එපා.. දෙසැම්බර් 31 තිබුණනෙ රිදී රැයක්. ඒකට එළකිරි.com අඩවියත් අනුග්‍රහය දීල තිබුණද? මම නං දන්නෙ නෑ.. ඒත් දැන් FM නාලිකා වල ගීතයක් ප්‍රචාරය වෙන අතරෙ "$$$$ FM" කියල කෑ ගහනව වගේම ඔය රිදී රැයක් ප්‍රසංගයෙ එක නර්තනයක් අතරෙ මට ඇහුණ "එළකිරි ඩොට් කෝම්" කියල සද්දයක්. අනේ හැබෑට... ඒ කියන්නෙ මේ අය ළඟ ඒ ගීත නැද්ද? එයාල අන්තර්ජාලයෙන් බාගත් ඒවද මේ වගේ 'ලොකු' වැඩ වලටත් පාවිච්චි කරන්නෙ? පොඩි මිස්ටේක් පාරක්නෙ... එච්චර දේකුත් නෙවෙයි. :D



ඊළඟට ජනවාරි පළවෙනිදා... මිනිස්සු කොයි තරම් මුදලක් රතිඤ්ඤා වලට නාස්ති කරන්න ඇත්ද? මේව ඉතින් කියලත් වැඩක් නෑ... මම පොඩි කාලෙ නං ආසාවට රතිඤ්ඤා පත්තු කළා තමයි.. වැඩේ නිකං පුස්සක් කියල දැනගත්තම නැවැත්තුවා. දැන් මම රතිඤ්ඤා පත්තු කළොත් අනිත් අය හිතයි මට පිස්සු කියල.



ඊළඟට ජනවාරි 02, කිලිනොච්චිය... එදා කරපු නාස්තිය ඊටත් වැඩියි. ඒ වෙනුවට රණවිරු අරමුදලකට මුදල් එකතු කළා නම් සෑහෙන්න වටින දෙයක් වෙන්න තිබුණු බව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මම එදා කිරුළපන හිටියෙ... හවස්වරුවෙ පුදුම කලබලයක් තිබුණෙ.. මම කියන්නෙ රතිඤ්ඤ සද්දෙ ගැන.

එදා සිරස මාධ්‍ය කරපු වැඩේ නම් අන්තිම කැතයි. ඒක නිසා ගොඩක් අය සිරස කට්ටියගෙ මෑණියන් සිහි කර කර හිටියෙ.



සිරසට මැර ප්‍රහාරයක්! ඔන්න ඊළඟ ප්‍රවෘත්තිය. යම් යම් කරුණු කාරණා පැත්තෙන් බැලුවම............ ඒ කියන්නෙ අපේ රටේ සංස්කෘතිය කාබාසිනියා කිරීම... (දැන් ගොඩක් දෙමව්පියො ළමයින්ට සිරස ටීවී නැරඹීම තහනම් කරල තියෙන්නෙ) හොරුන්ට සහ මං පහරන්නන්ට රත්තරනින් රන් ආකරයක් වූ රන් දෙපැයක් නිර්මාණය කිරීම... කොටියාට කඩේ යාම (දේශපාලන පක්ෂයකට කඩේ ගියානං ඒක නිකං අර නිතර දකින කුකුළගෙ කරමල වගේ වෙන්න තිබුණා, ඒත් මුන් ක‍‍ඩේ යන්නෙ කාටද? කොටියට!!!) .........මුන්ට ඔහොම වෙලා මදි කියල තමයි හිතුණෙ. ඒත් පස්සෙ ටිකක් සැක හිතුණ මේක දේශපාලන අරමුණක් ඇතුව කළ දෙයක්දෝ කියල... ඒක ඇත්තටම එහෙමනං වැඩේ අන්තිම කැතයි.

බ්ලොග් වලත් ගොඩක් අය ඒ ගැන අදහස් දක්වල තිබුණ. සමස්තයක් වශයෙන් මේ සටහන් වල සාරය ගත්තම මට මතක් වුණේ ගිය අවුරුද්දෙ කැම්පස් එකේදි ඉගෙනගත් ඈෂ් පරීක්ෂණය. සමහර අය අවංකව අදහස් ලියල තිබුණ... සමහර අය අනිත් අය කියන නිසා සිද්ධිය හෙළා දැකල තිබුණ. මමත් ඔහේ හිතට ආව දේ මෙතන ලිව්ව. සමහරවිට (බොහෝ විට) මම වැරදි වෙන්නත් පුළුවන්.



ඔය අතරෙ... අපේ Multimedia Project එකේ වැඩ... සමහර දවස් වල කිරුළපන අපේ 'දකා'ගෙ බෝඩිමේ නයිට. ඒක කොමඩියක්.. වාර්තාමය රූපවාහිනී වැඩසටහනක්... අර සිරසේ 'තිත්ත ඇත්ත' වගේ පේන්න හදපු කොමඩියක්. (ඇත්තටම හිතාගන්න බෑ ඇයි සිරස මේ තත්වයට පත් වු‍ණේ ඇයිද කියල :( එයාලගෙ මුල් කාලෙ හොඳ වැඩසටහන් තිබිල වගේ)

Multimedia Technologies වලට දීපු මේ project එක අපේ සරසවි ජීවිතේ ආතල්ම project එක වේවි කියල හීනෙකිං වත් හිතුවෙ නෑ. ඒක එහෙමම වුණා. :)



ඊළඟ ලොකු ප්‍රවෘත්තිය, ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කරලා. මාධ්‍යවේදියෙක් විධියට රටට සෑහෙන සේවයක් කරපු පුද්ගලයෙක්. කාගෙ වැඩක්ද කියල නම් හිතාගන්න අමාරුයි. සිද්ධිය තරයේම හෙළා දකිනවා. එහෙම කිව්වට මැරුණු කෙනාට ආයෙත් ජීවිතය ලැබෙන්නෙ නැහැනෙ. :(

කාලෙකට පස්සෙ බය කියන එක ආයෙම හිතට දැනෙන්න ගත්තා. මේක තවත් අඳුරු යුගයක ආරම්භය වෙයිද? මගේ ළදරු කාලෙ.. ඒ කියන්නෙ මම ලෝකය නොදන්න කාලෙ සිද්ධ වුණ එක එක දේවල් ගැන වැඩිහිටියො කියපු කතා එක එක මතක් වෙන්න පටන් ගත්තා. ඇයි අපේ රටට මෙහෙම වු‍ණේ?



අපේ සිරිත් පරිදි මම assignment එකක් ඉවර කරන්නෙ deadline පෙනි පෙනී. (ඒක වෙනස් වුණේ මෙන්න මෙතනදි විතරයි) 8 වෙනිද තමා මාරක රේඛාව යෙදිල තිබුණෙත්. අන්තිම rendering එක කරන්න පැයක් දෙකක් විතර ගියා. හඬ කැවීම් එහෙමපිටින්ම අවුල්. බෙලෙක්කයගෙ තොල් හෙලවෙන විධියට dub කරන්න මාර අමාරුයි. මොනව කරන්නද ඉතිං.. කවද කාපු කටුද මේව? Pitch එක අඩු කරල ගත්තම ගුම්බෝගෙ කටහඬ නියම තගෙක් වගේ. ඒ යකාට පුදුමයි ඒක උගේ කටහඬමද කියල. :D

කොහොම හරි presentation එකත් කෙරුණ. ඒක වෙන්න ඇති අපි කරපු ආතල්ම presentation එක. එකම සිනා සාගරයක්. මාතෘකාව නිරුවත එළියට. :D බය වෙන්න එපා මේක නරක කොමඩියක් නෙවෙයි.. සරලවම කිව්වොත් bittorrent හරහා හොරෙන් අනවසර මෘදුකාංග හා චිත්‍රපට භාගත කරන්නෙකුගේ නිරුවත ලොවට හෙළි කිරීම. :D


මේ තියෙන්නෙ ඒකෙ intro එක. මෙතන මමත් ඉන්නවා, පුළුවන් නම් හොයා ගන්න :D . Video එක encode කරද්දි වෙච්ච පොඩි වැරැද්දක් නිසා මේක ටිකක් අපැහැදිලියි. ඉඩක් ලැබුණොත් පසුව හොඳ එකක් upload කරන්නම්.

ඔක්කොම ඉවර වෙලා හවස හතරට විතර බවනට ගිහින් breakfast හා lunch කියන දෙකම එක සැරේ ඇඟට දාගත්තා. ඔන්න දැනුයි මේ සටහනේ මුලින් කිව්ව නිදහස ලැබුණෙ... යන්තං ඇති ඒ assignment එකත් ඉවරයි. :)



කාලෙකට පස්සෙ ලැබුණු නිදහස නිසා අට වෙනිද හවස අපි කස්ටිය සෙට් වෙලා ගියා 'වෙදැස' බලන්න BMICH පැත්තෙ. මෙය සංවිධානය කර තිබුණෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන්. වැඩේ නම් එළ! ;) ඒත් සෙනඟ අඩුයි. ප්‍රචාරය මදි වුණාවත්ද? මම මේ සෙනඟ අඩු වෛද්‍ය ප්‍රදර්ශනයක් දැක්කමයි. අඩුපාඩුවක් කියල කියන්න තරම් දේකුත් නෑ. සෙනඟ අඩු නිසා මම නොදන්න ගොඩක් දේවල් අහල දැනගන්නත්, fried chicken වගේ වෙච්ච මෘත ශරීර ළඟටම ගිහින් බලන්නත් අවකාශ ලැබුණා. ආ... තව සර්පයින් ගැන තිබුණු අංගයෙදි තඩි පිඹුරෙක්ව අතින් අල්ලල බැලුව. අනිත් සර්පයො තරං පිඹුර ඇල්ලුවම සීතල නෑ. අපේ 'දොරේ' පිඹුරව කර වටේ දාගෙන පිංතූරයක් එහෙමත් අරගෙන තිබුණ. අනේ පව් ඌ (පිඹුර) විඳින දුක.

පේනව නේද දොරේ සර්පයත් එක්ක ලව් කරන හැටි?

මටත් මතක් වුණා මම පාසල් ප්‍රදර්ශනයකදි දෙපත් නයෙක්ව අතේ තියාගෙන ඌට රිසි සේ සැරිසරන්න දීල ප්‍රදර්ශනය කරපු (වෙච්ච :D ) හැටි. දෙපත් නයා ඉතින් හානිless පොඩි එකෙක්නෙ. ;) මෙතන එහෙම නෙවෙයි.. විෂ සහිත සර්පයොත් එයාල අතට අරං පෙන්නුවද මන්ද...

ප්‍රදර්ශනේ හැම දේම බලන්න වෙලාව මදි වුණත් සමස්තයක් හැටියට මට සතුටුයි. ප්‍රදර්ශනය නියමයි. :)



දැන් ඉතින් ආයෙම back to work තමයි. මොකද විභාගය කියල එකක් ළඟ එනවනේ. :(
යන්න කලියෙන් පොඩි ගැජමැටික් එකකුත් දීලම යන්නම්. දැන් අළුත් වයිරස් එකක් තියෙනවනේ pen drives වල මකන්න බැරි folder එකක් හදන. ඒ folder එකේ නම runauto.. . ඒක open වෙන්නෙත් නෑ.. තියෙන තැනින් හොල්ලන්නත් බෑ. ඒකට හේතුව අසම්මත නමක් තිබීම :D . ඒ කියන්නෙ Windows වල පාවිච්චි නොවෙන ආකාරයෙන් නමේ අගට තිත් දෙකක් තිබීම. මේ කියන්නෙ ඒක අයින් කරන හැටි.

ක්‍රම දෙකක් තියෙනව. එකක් pen drive එක format කරන එක. Format කරන්න කැමති නැත්තම් අනෙක කරන්න අපට පොඩි tool එකක් ඕන වෙනවා. මේකෙන් දැන් අපි කරන්න යන වැඩේ ඇරුණම තව වැදගත් ප්‍රයෝජන තියෙනව. ඒ නිසා ඒක ස්ථාපනය කරගන්න එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒකෙ නම Unlocker. මෙතනින් බාගන්න පුළුවන්. මේ තිර රූප සටහන් වල තියෙන්නෙ ඒක කරන හැටි.






ඉතින් ඔන්න‍ ඔහොමයි මගේ අච්චාරුව.. කොහොමද? රසද? නීරසද? සැරද? චාටර්ද? තිත්තද? ඔහොමම පහළට scroll කරල බලන්න සුදුපාට කොටුවක් තියෙනව. ඒක තියෙන්නෙ මගේ අච්චාරුව කාපු අයට වමාරන්න.
(කොයිල්ද? ටියුබ්ලයිට්ද? ඔය පහළ කොටුවෙ comment එකක් ලියලම යමු...?)

අපේ විභාගෙන් පසුව නැවත හමු වෙමු. ;)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Monday, December 15, 2008

තවත් එක් අමානුෂික සිද්ධියක්

අද උදේම හා හාපුරා කියල මට ලැබුණු ඊ මේල් පණිවුඩයත් එක්ක අමුණල තිබුණු වීඩියෝ දර්ශනය නැරඹීමෙන් මගේ හිතේ ඇති වුණ හැඟීම් තවමත් එකිනෙක ගළපා කියන්න බැරි තරම් ව්‍යාකූලයි. ඒ නිසා ඒ ගැන නොලියා ඊ මේල් පණිවුඩය එහෙමම දාන්නම්.
This is terrible. All this has happened while the Indian Police watching. How can they become a super power. India, though brag about ancient civilization, still live in dark, primitive ages. Send this to all you know.

A BIT OF A TAMIL HUMANITY
Dear friends

This is a scene from a recent incident took place in Chennai Law College.

I asked a Tamil friend of mine, who work here as a process engineer, who is also from Chennai, to tell me what the hell is this all about.

Then he told me this is always happening in South Indian Law colleges mainly due to CAST issues and this too..

So these are the people who protest against Sri Lankan Govt.., about so called inhuman acts – stupid idiots.

This incident had taken place in front of Chennai High Court and next to Bar Association head office.

Sri lanka is much, much more civilized than this. Please make your colleagues aware of what's happening in other parts of world, since every body is pointing finger towards our mother land Sri Lanka.
---
ඇති වුණේ පුදුම පිළිකුළක්.. ඉන්දියාවෙ උසස් යැයි කියා ගන්නා කුල වල එවුන් ගැන මහා පිළිකුළක් ඇති වුණා.

මෙහෙමත් හිතුණා:
ඉන්දියාවෙ නපුංසකයොත් පොලිස් නිළධාරීන් ලෙස බඳවගන්නවද?

කරුණාකර, පහසුවෙන් කම්පනයට පත් විය හැකි පුද්ගලයන් පහත දැක්වෙන වීඩියෝ දර්ශනය නැරඹීමෙන් වලකින්න.



---
අවසානයේ මෙහෙමත් හිතුණා:
කාගේ කාගේ හෝ වරදින් අවාසනාවට අපේ රටේ සමහර විශ්වවිද්‍යාල වලත් තත්වය මෙයම නේද? (අපේ ඇහේ තියෙන පොල් පරාලය)

අහෝ මනුලොව මනුෂ්‍යත්වය!!!

මෙන්න මේ වීඩියෝ එකත් බලන්න. මෙය කවුරුත් නැරඹිය යුතුම එකක් කියලයි මට හිතෙන්නෙ.


෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Sunday, October 12, 2008

Tigo කරන කැත වැඩ

ගොඩක් දෙනා තමන්ගෙ බ්ලොග් එක වෙනත් පාර්ශව වලට දොස් පවරන්න යොදා ගන්නව. එහි වරදක් මම දකින්නෙ නෑ. ඒත් මම මගේ බ්ලොග් එකෙන් කවදාවත් එහෙම කරන්න හිතුවෙ නෑ. ඒත් දැන් ඒකත් කරන්න වෙනවා.

An unbelievable daily SMS offer from Tigo!. Send a blank SMS to 2222 and get this amazing offer.

මේ Tigo වෙතින් මට ලැබී තිබුණු කෙටි පණිවිඩයක්. මේ පණිවිඩය මේ වන විට මට තුන් වතාවක් ලැබිල තියෙනවා. ඒ වගේම මේ පළමු අවස්ථාවත් නොවෙයි. මගේ වැඩ වලට බාධා වෙන අයුරින් මේ වගේ පණිවුඩ මට ඇති තරම් ලැබිල තියෙනව.

මේක Tigo පාරිභෝගික සේවා අංකයට කතා කරල කියන්නත් මට හිතුණ. ඒත් තවත් මුදලක් ගෙවල ලබා ගන්න සිද්ධ වෙන පාරිභෝගික සේවාවට වඩා මට නොමිලයේම ලැබෙන වෙබ් අවකාශය හොඳයි කියලයි මට හිතෙන්නෙ.

මේ මෝඩ යක්කු හිතාගෙන ඉන්නෙ අපට දවස පුරාම කරන්න තියෙන්නෙ SMS යවන එකයි කියවන එකයි කියල. ප්‍රචාරණ කටයුතු වලට මුදල් නැතිවද මන්ද අර offer එකයි මේ offer එකයි කියල දවස ගානෙම SMS එවනව.

සේවා ගාස්තු වෙනස් වීම්, නව VAS ගැන SMS එව්වට කමක් නෑ. ඒකත් spam කරන්න ගත්තම තමයි යකා නගින්නෙ. ලැබෙන SMS වලට මුදලක් අය කරන්නෙ නැති බව ඇත්ත (පාරිභෝගික සේවා අංකයට වගේ ඒකටත් මුදලක් අය නොකළොත් තමා පුදුමෙ). ඒත් ඒවා කියවන්නත් කාලය ගත වෙනව. කරමින් ඉන්න වැඩෙන් හිත ඉවතට ගන්න වෙනව. මෙන්න මේ වෙලාවට අනවශ්‍ය SMS එකක් ආවම එවන එකාගෙ මෑණියන් සිහි වෙනව.

හැබැයි SIM කාඩ්පත නැවත ලියාපදිංචිය කරන්නෙ කොහොමද කියල නම් තාමත් මට කෙටි පණිවුඩ මගින් දැනුම්දීමක් ලැබිල නෑ.