Showing posts with label VirtualBox. Show all posts
Showing posts with label VirtualBox. Show all posts

Thursday, October 1, 2009

අළුත් නැවට ලිනක්ස්!

2009 සැප්තැම්බර් 26 තවත් අපූරු දවසක්. එදා අපේ ජූනියර්ලා CompSoc (කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක සංගමය) උදව්වෙන් නවකයින්ට පොඩි වැඩමුළුවක් සූදානම් කරලා. ඒ තමයි නිදහස් හා විවෘත මෘදුකාංග සහ ලිනක්ස් පාරිසරිකය හඳුන්වා දීම. ඉතින් තුන වසරෙ අපි කීප දෙනෙකුත් ඒකට උදව් කළා. මේක පැවැත්වුණේ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයෙ මහාචාර්ය වී.කේ. සමරනායක ශ්‍රවණාගාරයේ.

හොඳ අදහසක්. ගොඩක් අය වින්ඩෝස් වලින් ඔබ්බට ලෝකයක් තියෙන බව දන්නෙ නැහැ. ඒ වගේම ගොඩක් දුර බැහැරින් අාපු සමහර අය පාසල් අධ්‍යාපනය හමාර කරලා එද්දි ලබලා තිබුණු පරිගණක දැනුම ගොඩක් අඩුයි (හැම පාසලකම අංග සම්පූර්ණ පරිගණක පහසුකම් නැහැනේ). ඉතින් ඒ අයට FOSS සංකල්පය, ලිනක්ස් ස්ථාපනය සහ පාවිච්චිය ගැන පොඩි හඳුන්වා දීමක් කරන්න තමයි වැඩි කාලයක් වෙන් වුණේ. ඊට අමතරව බ්ලොග්කරණයත් හඳුන්වා දෙනු ලැබුණා. මෙතන සහභාගීත්වයෙ විශේෂත්වයකුත් තියෙනවා. මේ මෙගා කුප්පිය දමාපු අපෙන් දෙතුන් දෙනෙක් හැර ඉතිරි සියල්ලෝ ම සිංහල බ්ලොග්කරුවෝ. (කාටද ආඩම්බර? :P ) ඉතින්, වැඩමුළුවෙදි මම භාරගත් වැඩේ දැනට වින්ඩෝස් ස්ථාපනය කර ඇති පරිගණකයක දෙවන මෙහෙයුම් පද්ධතිය ලෙස Ubuntu ස්ථාපනය කරන ආකාරය කියා දීම. ඒ ගැන මගේ පෞද්ගලික අත්දැකීම් තමයි මේ බ්ලොග් සටහනේ ලියැවෙන්නෙ.




Ubuntu ස්ථාපනය කර පෙන්වන්න ශ්‍රවණාගාරයෙ තියෙන ප්‍රක්ෂේපණ යන්ත්‍රය භාවිතා කළා. මෙතනදි VGA සම්බන්ධව ඇති වෙන්න පුළුවන් ගැටළු නිසාත් Ubuntu අළුතෙන්ම ස්ථාපනය කරන්න ලැප්ටොප් පරිගණකයක් ඉක්මනින් සපයා ගැනීමේ ගැටළු නිසාත් ආදර්ශණය කරන්න පාවිච්චි කළේ VirtualBox මෘදුකාංගය. මේක මම කලින් අත්හදා බලා නැහැ. නමුත් මේ වැඩමුළුවෙන් පස්සේ පැහැදිලි වුණා මෙහෙයුම් පද්ධති ස්ථාපනය වගේ 'බරපතල' වැඩක් ආදර්ශණය කරල පෙන්නන්න VirtualBox අපූරුවට යොදාගන්න පුළුවන් බව. (Ubuntu තියෙන පරිගණකයක VirtualBox දාලා ඒක උඩ ආයෙම Ubuntu දැමිල්ල එක අතකට විකාරයක් වගේ නේද? ;) )

ඉතින් කලින් දවසෙ (සැප්තැම්බර් 25) හවස ශ්‍රවණාගාරයට ගිහින් කෝකටත් කියලා ප්‍රක්ෂේපණ යන්ත්‍රය මගේ ලැප්ටොප් එකත් එක්ක වැඩද කියල පරීක්ෂා කරල බැලුවා. පූර්ව සූදානම ඉතාම වැදගත් (නෝන්ඩි වෙනවට වඩා :P ). මගේ Acer ලැප්ටොප් පරිගණකයෙ Fn + F5 යතුරු සංයෝජනය ක්‍රියාත්මක කළාම ද්විත්ව දර්ශක (dual display) ප්‍රකාරයට මාරු වෙනවා. නැවතත් ඒ යතුරු සංයෝජනයම ක්‍රියාත්මක කළාම පෙර තත්වයට පත් වෙනවා. හැබැයි අවුලක්... මගේ මොනිටරේ පෙන්නන දේ නෙමෙයි ප්‍රක්ෂේපණ යන්ත්‍රයෙන් පෙන්නන්නේ. වින්ඩෝ එකක් ඇදල ප්‍රක්ෂේපණ යන්ත්‍රයට -- ඒ කිව්වෙ දෙවෙනි මොනිටරයට දාන්න පුළුවන්. ආපහු ඒක ඇදල අරගෙන ලැප්ටොප් මොනිටරෙන්ම තියාගන්නත් පුළුවන්. ඒක අවුලක් නෑ කියමු. ප්‍රක්ෂේපණ යන්ත්‍රයෙන් පෙනෙන පිළිබිඹුව අපැහැදිලියි. ඒ මදිවට Compiz Fusion පිස්සු නටනවා. :-O මේකට විසඳුම Mirror Screens කියන විකල්පය භාවිත කරන එක. System --> Preferences --> Screen Resolution ගිහින්, නැත්තම් gnome-display-properties කියන විධානය දීලා Mirror Screens විකල්පය තෝරලා Apply කළාම හරි. ඔව්... ඒක නියමෙට වැඩ!! 1024 x 768 ප්‍රමාණයට තිරය සකසා ගත්තාම වැඩේ ගොඩ! :)

ඊළඟට පූර්ව සූදානමේ දෙවෙනි අදියර... virtual machine එකක් ධාවනය කරල බැලුවා. VirtualBox පූර්ණ තිර ප්‍රකාරයෙදිවත් තිරයෙ සම්පූර්ණ ඉඩ පාවිච්චි වෙන්නෙ නෑ. 800 x 600 ඉඩක් තමයි virtual machine එකෙන් පාවිච්චියට ගන්නෙ. Virtual machine එකට දෙන වීඩියෝ මතක ප්‍රමාණය වැඩි කරල බැලුවත් හරි ගියේ නැහැ. ඒකට නම් මම දන්න තරමින් විසඳුමක් නෑ. හැබැයි අවුලකුත් නෑ. පැහැදිලිව සිද්ධ වෙන දේ පේනවනම් එච්චරයි අපට ඕනේ. ඊළඟට කළේ virtual machine එකේ දෘඩ තැටිය partition තුනකට වෙන් කරලා පළවෙනි එකේ Windows XP ස්ථාපනය කළ එක.

ඉතින් ඔන්න  26 වෙනිදා උදේ ඔක්කොම සැලසුම් කරගත් පරිදි අටවගත්තා. තවත් දේවල් ආදර්ශණය කරල පෙන්නන්න මගේ ලැප්ටොප් පරිගණකයට අමතරව ලැප්ටොප් පරිගණක දෙකකුත් පාවිච්චි කළා. Ubuntu ස්ථාපනය කළේ මගේ පරිගණකයේ. මුලින්ම වින්ඩෝස් වලින් virtal machine එක ක්‍රියාත්මක කරලා C:, D:, E: partition තුන තියෙන ආකාරයත්, ඊළඟට Computer Management Console එකේ Disk Management එකට ගිහින් දෘඩ තැටි partition වල සත්‍ය ස්වභාවයත් පැහැදිලි කර දුන්නා. ලිනක්ස් ස්ථාපනයේදී මෙය දැන සිටීම අත්‍යාවශ්‍යයි [මේ ගැන මම කලින් ලියූ ලිපියක් මෙතනින් කියවන්න]. ඊළඟට Ubuntu Live CD එකෙන් boot කරල GUI මගින් Ubuntu ස්ථාපනය කරන හැටි මම මුල සිට සරලව විස්තර කළා. හැබැයි කී දෙනෙකුට තේරුණාද දන්නෙ නැහැ. :) මහා ලොකු දෙයක් නොවන බව ඇත්ත. ඒත් දුර බැහැර ගම්මාන වල අඩු පහසුකම් යටතෙ උසස් පෙළ කරලා ආපු කී දෙනෙක් ඒකෙන් ඉගෙනගන්න ඇත්ද? අනෙක, හැම දෙනාම හැම දේම දන්නෙ නෑ නොවැ. දැන් ඔය එක එක ටෝක්ස් දුන්නට මමත් පරිගණක ජාලකරණය ඉගෙන ගත්තෙ කැම්පස් ආවට පස්සෙ. ;)

VirtualBox පූර්ණ තිර ප්‍රකාරයට මාරු වුණාම ඇත්ත OS එකද බොරු එකද කියල පිටතින් බලන කෙනෙකුට වෙන් කරල අඳුනගන්න අමාරුයි. ඉතින් ශ්‍රවණාගාරයක විශාල ප්‍රක්ෂේපිත තිරයෙ ඒක පෙනෙනකොට අමුතුම කික් එකක් තියෙන්නෙ. :D

Ubuntu ස්ථාපනයෙදි දෘඩ තැටි ඉඩ භාවිතා කරන ආකාරය තෝරගන්න පියවරේදි වඩාත්ම සුදුසු තමන් විසින්ම (manually) partition table එක සංස්කරණය කරගන්නා විකල්පය. ඒ බව මම විශේෂිතව සඳහන් කළා. ඒ දේවල් කීප දෙනෙකුට හරියට තේරුම් ගිහින් තිබුණෙ නැහැ. ඉතින් කීප සැරයක්ම විස්තර කළා. සිය වතාවක් විස්තර කරන්න කිව්වොත් ඒකත් කරන්න ලෑස්ති වෙලයි මම ගියෙ. :)

ඉතින් Ubuntu ස්ථාපනය කරලා අවසානයෙ GRUB මෙනුව ගැන මූලික දේවල් ටිකක්, මෘදුකාංග ස්ථාපනය, විධාන අතුරුමුහුණත ගැනත් කියා දුන්නෙ මේ virtual machine එකේම තමයි. විධාන අතුරුමුහුණතට (terminal) ගොඩක් දෙනාගෙ තියෙන ලාක්ෂණික බය නැති කරන එක තමයි මට තිබුණු ලොකුම වුවමනාව. නමුත් කාල වේලාව මදි වුණු නිසා ඒක හරියට කරගන්න බැරි වුණා. :( නමුත් අතිශය ජනාදරයට පත් මගේ පරණ බ්ලොග් ලිපියක් පෙන්නල වැඩේ ෂේප් කළා. ;)

මේ ඉන්නෙ මම

රවින්ද, මෘදුකාංග ස්ථාපනය විස්තර කරමින්...

එක වසරෙ අය
(ඡායාරූප ශිල්පියා අපේ බැච් එකේ ඔමිල)

UCSC එකේ එක වසරෙ කස්ටිය මේක කියවනවා නම්... තව මොනව හරි දැනගන්න ඕනේ නම්... මට ලෙක්චර් නැති වෙලාවට මගෙන් අහන්න. එක්කෝ මං 3rd year lab එකේ වැඩක්... නැත්තං බවනේ ලැප්ටොප් එක දිග ඇරගෙන ඇති... එහෙමත් නැත්තං W002 ශාලාවෙ නිදි. :D



ඉතිං සියල්ල අවසාන වෙලා මම ගෙදර ගිහින් ලැප්ටොප් එක ක්‍රියාත්මක කළාම මෙන්න තිරයෙ ඉහළිනුයි පහළිනුයි පෙන්නන පැනල් දෙක නෑ. :-O අහා..! මේ dual display සිද්ධියනේ!! Fn + F5 ක්‍රියාත්මක කළාම වැඩේ හරි. ඒත් පරිගණකය ක්‍රියාත්මක කරන හැම වතාවකම ඒක කරන්න කරදරයි... ඉතින් ඒක හදාගන්න සරල විසඳුමක් තියෙනවා. මං ට්‍රයි කොළා... වැඩ කොළා... :)

ඒ තමයි GRUB මෙනුවේ recovery mode විකල්පය පාවිච්චි කරලා පරිගණකය ක්‍රියාරම්භ කරලා ලැබෙන මෙනුවෙන් xfix (fix graphics problems) විකල්පය ක්‍රියාත්මක කිරීම. දැන් ලෙඩේ නිට්ටාවටම සනීපයි. :)

මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය හා නඩත්තුව ප්‍රක්ෂේපණ තිරයක පෙන්වන ගමන් කාට හරි ඉදිරිපත් කර පෙන්නන්න අවශ්‍යතාවත් ඇති වුණොත් ඒකට VirtualBox හරිම අපූරු මෘදුකාංගයක්.

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴

Wednesday, September 30, 2009

පාලමෙන් ගිහින් ආවේශ වීම


මගේ බ්ලොග් එකේ ලියවෙන ගොඩක් සටහන් වලට දාන්නෙම හරිම අමුතු මාතෘකා. කලකට කලින් රෙද්ද උස්සල බලපු හැටි මතකනේ.. :P මේකත් එහෙම එකක්... සුපුරුදු පරිදි ටෙක් නෝට් එකක්. තවත් අළුත් අත්දැකීමක් ලබපු හැටි තමයි විස්තර කරන්නේ... මුලින්ම ගළපගමුකෝ මේ අමුතු කතන්දරේ... පාලම තේරෙන බාසාවෙන් කිව්වොත් bridge එක... නිකම් bridge නෙමෙයි network bridge. එතකොට ආවේශ වෙනව කිව්වෙ? ආවේශ වෙනව කිව්වෙ remote desktop සීන් එක... මේ වචනෙ මට අහම්බෙන් ඔළුවට ආපු එකක්. බලන්න කොයි තරම් ගැලපෙනවද කියල. :D කිසිම සිප්යුරු වදන් පොතක නැතුව ඇති මෙහෙම එකක්. :D :D

හරි... වැඩි කතා ඕනැ නෑ. මේක සිද්ධ වෙලා දැන් ටික දවසක් වෙනවා. අපේ මලයා ගෙදර තිබුණු පරණ මැසිම ආපහු හදලා... වින්ඩෝස් දාලා. ඉතිං මගේ පරණ උණකුත් ඒ එක්කම ඉස්මතු වෙලා ආවා... මොකක්ද? GTA Vice City!! මාව ළඟින් ආශ්‍රය කළ අය දන්නව මම මේකට කොයි තරම් ඇබ්බැහි වෙලා හිටියද කියල. ඉතිං දෙපාරක් හිතුවෙ නෑ දාගත්තා GTA Vice City. දවස් දෙකයි සෙල්ලං කළේ විදුලි බිල බර ගාණකින් වැඩි වෙලා!! :-O ඒකට හේතුව වෙන මොකක්වත් නෙමෙයි පරණ මැසිමෙ තියෙන තඩි CRT මොනිටරය. ඉතිං ගෙදර කස්ටියගෙන් දැඩි විරෝධතා ආවා Vice City සෙල්ලං කරනවට (මිනී මරාගන්න ගේම් එකක් බව දන්නවනං මට කොහොමටත් සෙල්ලං කරන්න දෙන්නෙ නෑ).

ඉතිං මම ට්‍රයි එකක් දුන්නා රිමෝට් ඩෙස්ක්ටොප් පාරක්වත් දාගන්න. එතකොට මගේ ලැප්ටොප් එකේ ඉඳගෙන ethernet හරහා අනිත් මැසිමෙ තියෙන Vice City සෙල්ලම් කරන්න පුළුවන්නේ. නමුත් මුල ඉඳලම මට සැකයක් තිබුණා වැඩේ අසාර්ථක වෙන බවට. වීඩියෝ මතකය සම්බන්ධ ගැටළුවක් එන්න පුළුවන් කියල හිතුණා.

මගේ ලැප්ටොප් එකේ දුවන්නෙ Ubuntuනේ... ඩෙස්ක්ටොප් මැසිමෙ වින්ඩෝස්. වින්ඩෝස් වල Remote Desktop ප්‍රොටොකෝල් එක Ubuntu වල VNC එක්ක වැඩ කරන්නෙ නැහැනේ... එතකොට තමයි අයිඩියාව ආවේ VirtualBox එකේ දාලා තියෙන Windows XP ස්ථාපිතය ප්‍රයෝජනයට ගන්න පුළුවන් බව. දැන් නම් Vice City සෙල්ලම් කරන වැඩේ අසාර්ථක වුණත් ආපු අයිඩියාව අතාරින්නෙ නෑ! අත්හදා බලන්නම වටින වැඩක්. මේව නොවැ ගේම්!!

කොහොමද මේක හදා ගන්නේ.....? ඒවට තමයි Network Bridge තියෙන්නේ.
Bridge එක හදන්නෙ කොතනද? Ubuntu හරහා virtual මැසිමයි ඇත්ත මැසිමයි සම්බන්ධ වෙනවා...  ඒ කියන්නෙ Ubuntu වලට තමා bridge එක එන්නේ.

ඊළඟ ප්‍රශ්නය... මොන ජංජාලකරණ උපාංග දෙකද පාලමේ දෙකොනෙ තියෙන්න ඕනේ? එකක් eth0, එතතකොට අනික? Virtual machine එකේ settings වලට ගිහින් Network යටතේ Adapter 2 සක්‍රිය කරලා ඒක Host-only Adapter විධියට සකස් කළා. පහත දැක්වෙන තිර රූප සටහන බලන්න.




මෙහෙම කළාම ධාරක පරිගණකයේ (ඒ කිව්වෙ Ubuntu වල) vboxnet0 නමින් තවත් අතථ්‍ය ජාලකරණ උපාංගයක් එකතු වෙනවා. Virtual machine එක ධාවනය වෙන අතරේ ධාරක පරිගණකයට ifconfig විධානය දීලා ඒ බව තහවුරු කරගන්න පුළුවන්.

දැන් අපි පාලම හදන්නෙ eth0 සහ vboxnet0 අතර.  ඒක කරන්න sudo vim /etc/network/interfaces විධානය දීලා /etc/network/interfaces ගොනුව විවෘත කරගන්න. මේ පෙන්නල තියෙන කේත පේළි තුන ඒ ගොනුවෙ අගට එකතු කරලා ගොනුව සුරකින්න (Esc - :wq - Enter).

# Bridge between eth0 and vboxnet0
iface br0 inet dhcp
bridge_ports eth0 vboxnet0



මෙහෙම කරලා මැසිම restart කළා. ඊට පස්සෙ virtual machine එකත් ක්‍රියාත්මක කළා.

ඊළඟ පියවර ජාලකරණ උපාංග වින්‍යාසගත (configure) කිරීම. මෙන්න මේවා තමයි උපාංග ටික:
  1. ඩෙස්ක්ටොප් පරිගණකයෙ ethernet ඇඩැප්ටරය
  2. ලැප්ටොප් එකේ ethernet ඇඩැප්ටරය
  3. ලැප්ටොප් එකේ VirtualBox ධාවනය වෙන වෙලාවෙ නිර්මාණය වෙන virtual ඇඩැප්ටරය (vboxnet0)
  4. Virtual machine එක තුළ vboxnet0 සඳහා නිර්මාණය වෙන virtual ඇඩැප්ටරය

මේ පාලම්ගත ජාලය වැඩ කරන්න පුළුවන් වෙන්නේ bridge එකේ දෙපස තියෙන ජාල දෙකේම subnet mask සමාන වුණොත් විතරයි. ඒකට හේතුව ටිකක් දීර්ඝව විස්තර කරන්න සිද්ධ වෙන නිසා මෙතන ලියන්නෙ නැහැ -- විකිපීඩියාවෙ ඒ ගැන තියෙන ලිපිය කියවන්න. එහෙම නැත්නම් එක ජාලයකට අනෙක හඳුනාගන්න බැරි වෙනවා. vboxnet0 ට අදාළ ජාලයෙ සැකසුම් ස්වයංක්‍රීයව DHCP මගින් සකස් වෙන නිසා විශේෂිතව සකසන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. කළ යුත්තෙ subnet mask එක බලා ගන්න එක. ඒක කරන්න ifconfig vboxnet0 විධානයෙන් පුළුවන්. එහෙමත් නැත්නම් virtual machine එකේ control panel එකට ගිහින් බලා ගන්නත් පුළුවන්.

ඉතින් මෙන්න මේ අගයයන් තමයි DHCP මගින් සකස් කර දීල තිබුණෙ:
  1. VIrtual machine එක තුළ වින්ඩෝස් - IP: 192.168.56.3, Subnet Mask: 255.255.255.0
  2. ලැප්ටොප් එකේ vboxnet0 - IP: 192.168.56.1, Subnet Mask: 255.255.255.0

ඊළඟට ඩෙස්ක්ටොප් පරිගණකයෙත් මගේ ලැප්ටොප් එකෙත් ethernet සකස් කරන්න ඕනේ.
  1. ඩෙස්ක්ටොප් පරිගණකයෙ Control Panel එකේ Network Connections වලට ගිහින් අදාළ connection එකේ සැකසුම් සකස් කළා -- IP: 10.16.32.202, Subnet Mask: 255.255.255.0
  2. ලැප්ටොප් එකේ - # ifconfig eth0 10.16.32.201 netmask 255.255.255.0 up

කොළඹ සරසවියෙ අපි හොඳට දන්න කියන වැදගත් සර්වර් එකක් internal network එකේ 10.16.32.201 ලිපිනයෙ තියෙනවා. ලැප්ටොප් එකට මතක තියාගන්න පහසු IP එකක් දාන්න හිතුණු නිසා ඒකම දැම්මා. ;) මොකද මේ ජංජාලෙ ගෙදරදි විතරයිනෙ.

වින්ඩෝස් වල My Computer right click කරලා Properties ගිහින් Remote Desktop සැකසුම් හදා ගන්න පුළුවන්. ඒ ගැන මෙතන විස්තර කරන්නෙ නෑ. බොහොම සරල කාරියක් නිසා. ඉතින් virtual machine එකේ ඉඳන් Remote Desktop Viewer ක්‍රියාත්මක කරලා IP ලිපිනය විධියට 10.16.32.202 ලබා දුන්නා. ඒ කිව්වෙ ඩෙස්ක්ටොප් පරිගණකයෙ IP එක.


හරීම සෝක්! මෙන්න virtual machine එකේ ඉඳගෙන එළියෙ තියෙන අනිත් මැසිමේ වැඩ කරන්න පුළුවන්!! :-O අත්හදා බලන්නම වටින වැඩක්. ඉතින් මේකෙන් ටිකක් වෙලා යනකම් එක එක වැඩ දම දමා හිටියා. විදුලි පරිභෝජනය වැඩි CRT තඩිය off කරලා මගේ ලැප්ටොප් එකෙන්ම ඒ මැසිමත් පාලනය කරන්න පුළුවන්.

මගේ වුවමනාව තිබුණේ GTA සෙල්ලම් කරන්න. ඉතිං GTA දාලා බැලුවා... ම්හූ.. වැඩ නෑ. :( වීඩියෝ මතක ප්‍රමාණය මදිලු. හැබැයි කමක් නෑ ඒකට.. අළුත් දෙයක් අත්හදා බලන්න ලැුබුණනේ. :) GTA සෙල්ලම් කළා කියල ලැබෙන දෙයක් නැහැ නොවැ.

පසු වෙලාවක නිකමට අන්තර්ජාලයෙ විපරම් කරල බලද්දි මෙන්න මේ දේවල් දැනගන්න ලැබුණා:
  • Ubuntu වල ජාලකරණ සැකසුම් සකස් කරන්න හොඳ GUI ටූල් එකක් තියෙනවා... ඒකෙ නම Firestarter (# apt-get install firestart) හැබැයි මම ඇත්තටම කැමති නෑ මේකෙන් වැඩ කරන්න. එතකොට ඇතුළෙ මොන මොනව වෙනවද කියල මං දන්නෙ නෑනෙ.
  • Ubuntu වල ඉඳලා වින්ඩෝස් මැසිමකට ආවේශ වෙන්න TightVNC මෘදුකාංගයෙන් පුළුවන්.

ඉතිං... ආපහු මොනවහරි දෙයක් අරගෙන ඉඩකඩ ඇති වෙලාවක මේ පැත්තෙ එන්නං... ciao!

අළුතෙන් මේ ටිකත් එකතු කළා (2009-10-02)
මේ බ්ලොග් ලිපිය ලිව්වේ කලබලෙන්... ඉතිං මේ මොඩල් එක පැහැදිලි කෙරෙන පිංතූරයක් දාන්න බැරි වුණා. මෙන්න උණු උණුවෙම GIMP වලින් හදලා දැම්මා... පිංතූරෙ පැහැදිලි මදි නම් ඒක ක්ලික් කරලා බලන්න පුළුවන්. :)

  
Ciao!

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴

Friday, August 14, 2009

ශාකුන්තල.com සමඟ ශාකුන්තල නැවතත්!

ඔන්න ඉතිං විභාග කාරිය එහෙම ඉවර වෙලා මම ආයෙමත් ආවා බ්ලොග් එක පැත්තේ... අදත් සිරිත් පරිදිම මොකක් හරි ප්‍රයෝජනවත් දෙයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මගේ ආගිය කතා ගොන්න ඉවර කරන්න ඕනේ.

පහු ගිය දවස් වල අපට තිබුණා විභාගයක් කියලා එකක්. Geeks are not parrots කිය කියා හිටියට මොකද මාත් හීන් සීරුවේ ගිරා මෝඩ් එකට සෙට් වෙලා පහු ගිය කාලෙ කස්ටියත් එක්ක සෙට් වලා පාඩම් කළා. විභාගෙ ඉවර වෙච්ච දවසේ හවස කැම්පස් එකේ අපේ අයියලා කස්ටියක් එක්ක ක්‍රිකට් ගහලා මං වාර්තාවකුත් තිබ්බා. මොකක්ද වාර්තාව? Cricket sucks කිය කියා හිටපු ශාකුන්තල ක්‍රිකට් ගහපු එකද? ඒකත් එකක් තමා :D , ඇත්තම වාර්තාව තමයි එක් දින තරඟයකදී වාර්තාගත වැඩිම 'බෝක්කු' ගණනකට හිමිකම් කියන්න ලැබීම. :D :D :D
ක්‍රිකට් ගහලා කාරිය ඉවර වෙලා බවනෙන් හොඳට කාලා අපි සෙට් වුණේ බම්බා යන්න. බම්බා යනව කිව්වෙ බම්බලපිටියෙ ටිකක් ඇවිදින්න. බම්බා ගිහින් ‍ආයෙමත් හොඳ‍ට කාලා බීලා (බිව්වේ සිසිල් බීම සහ පානීය ජලය පමණි :P ) හතරවටේ ඇවිද්දා. පැය හතරක් විතර බේගල් ඇද බාන ගමන් ඇවිදලා ඇවිදලා අන්තිමේ බෝඩිමට යද්දි වෙලාව රෑ දහයයි!
හැමදාම මොනිටරේ ඇතුලේ ඔළුගෙඩිය ඔබාගෙන ඉන්න මට නම් කොහෙ හරි ඇවිදින්න සෙල්ලම් කරන්න චාන්ස් එකක් එනවා කියන්නෙ ලොකු ‍දෙයක්.

---

ආගිය කතා වලින් වැදගත් ම එක එන්නේ දැන්. මගේ පරිගණක අධ්‍යාපනයේදී මට නිතර අත හිත දීපු මිත්‍රයෙක් ඉන්නවා. ඔහු නමින් සමීර ‍කොළඹගේ. අපේ ඉස්කෝලේ පරිගණක වැඩ නිසාම ප්‍රසිද්ධ වුණු අයියා කෙනෙක්. IT පොරක්. මගේ පියාණන්ගෙ ශිෂ්‍යයෙක් :D මගේ මුල්ම පරිගණකය ගනිද්දි තාක්ෂණික උපකාර ලැබුණෙ ඔහුගෙන්. ඒ වගේම මගේ පළමු පරිගණකය මා ලවාම assemble කරවූයේ ඔහු. එහෙම නොවුණා නම් මම තාමත් පරිගණකයක කේබල් ටික හරි තැන් වලට අමුණාගන්න හැටි වත් නොදන්න කෙනෙක් වෙන්න තිබුණා.
කලකට ඉහතදී ඔහු හදිසියේම විදේශගත වුණ බව ආරංචි වුණා. ඉන් පස්සෙ connection lost! මෙන්න ළඟදි දවසක මට Facebook එක හරහා අහම්බෙන් ආපහු දකින්න ලැබෙනවා... :-O මගේ පැරණි මිත්‍රයා!! මාක් සකර්බර්ග් කොලුවට හිතින් පොඩි පුණ්‍යානුමෝදනාවක් කළා ඒ වෙලාවෙම. :D
ඉතින් ආගිය තොරතුරු කතා බහ කරගන්න අතරෙදි මගේ බ්ලොග් එකත් පෙන්නුවා. එච්චරයි නොවැ සන්තකේටම තියෙන්නේ පෙන්නන්න .

"මල්ලී, ඩොමේන් එකක් මං free දෙන්නම්."

දන්න කාලෙ ඉඳලම මට ගොඩක් උදව් කළ සමීර අයියාගෙන් තව උදව්වක්. ඔන්න ඔහොමයි shaakunthala.blogspot.com කියන තැන තිබුණු මගේ සටහන් පොත blog.shaakunthala.com තියන තැනට ආවේ. ඔන්න ඊයෙ වෙබ් ඉඩත් නොමිලේම හම්බවුණා. ඉතින් අලුත් ඩොමේන් එක පාවිච්චි කරන ගමන් ලියන පළවෙනි සටහනන් සමීර අයියට‍ ස්තුති නොකළොත් ඒක ‍ලොකු අඩුවක්. :)

දැන් මේක දැක්කාම තමන්ගෙම ඩොමේන් එකක් නැතිව බ්ලොග් ලියන අයට පොඩි දුකකුත් හිතේ ඇති වෙන්න ඉඩ තියෙනව. දුක් වෙන්න එපා. සමාජයට වැඩදායක, හොඳ ලිපි ලියැවෙන තාක් කල් බ්ලොග් එක බැබළෙයි. බ්ලොග් වලදි ඩොමේන් එක කියන‍ දේට මහා ලොකු වැදගත් කමක් නෑ. බ්ලොග් එකේ අන්තර්ගතයෙ තිබිය යුතු ගුණාත්මක බව තමයි වැදගත් වෙන්නෙ.

---

විභාගෙ ඉවර වෙලත් ටික කලක් නිහඩව හිටියෙ මගේ ප්‍රියාවිය ඔත්පල වීම නිසයි. ඒ මදිවට හාවා මාක් OS එකත් පිස්සු නටන්න ගත්තා. එන්න එන්නම මන්දගාමී වුණා. මම පොඩි පණ්ඩිත වැඩක් කරන්නත් ගිහින් මැසිම නන්නත්තාර කරගත්තා. දැන් ආපහු පරණ එළුවා මාක් OS එක දාලා New Wave තීම් එකත් දාලා යංතං හාවා ලුක් එකම එන්න හදා ගත්තා. ඒ වගේ වැඩ වලට ටිකක් කල් ගත වුණු නිසා තමයි බ්ලොග් එක පැත්තෙ එන්න බැරි වුණේ.

ඔන්න ඔහොමයි ආගිය කතා වග විස්තර. දැන් කියන්න යන්නෙ වැදගත් කාරණාවක් ගැන.



මගේ ආගිය කතා ගොන්නෙන් අන්තිම එක... මම Ubuntu අප්සැට් කරගත්තනේ වැඩ දාන්න ගිහින්. ඉතිං මම හාඩ් ඩිස්ක් එකේ Ubuntu තිබුණු partition එක ආපහු format කරලා Ubuntu ස්ථාපනය කළා. මගේ සිංදු, චිත්‍රපට, ශ්‍රව්‍ය-දෘශ්‍ය පරිගණක පාඩම් (video tutorials), අනංමනං එකතුවක් තිබුණා ගිගාබයිට් 80ක විතර. දැන් හාඩ් ඩිස්ක් එක format කරන්න කලින් මේ ටික backup කරගන්න ඕනේ. නැත්තං වැඩේ දෙල් වෙනවා. :P

ඔන්න ඔය වෙලාවට තමයි /home සඳහා වෙන් වූ වෙනම partition එකක අගේ දැනෙන්නෙ. ඇත්තටම මම හාඩ් ඩිස්ක් එක බෙදල තිබුණෙ එහෙම තමයි. /home වෙනුවෙන් 90 GB වෙන් කරල තිබුණෙ. ඒ නිසා / partition එක format කරල ආපහු Ubuntu ස්ථාපනය කළා කියල කිසි ම අවුලක් නෑ. ඉතින් backup ගැන කරදර නොවී මම එහෙම කළා. මගේ අත්‍යාවශ්‍ය ගොනු, ඩෙස්ක්ටොප් එක, විජට්ටු, භාවිත යෙදුම් වල සැකසුම් හැම දෙයක්ම තිබුණු විධියටම තිබුණු තැන් වල වැඩ.

කොහොමද /home වෙනම partition එකකට ගන්නෙ? ලිනක්ස් ස්ථාපනය කරද්දිම කරනවනම් වැඩේ හරි ලේසියි. දෘඩ තැටිය partition කරන අවස්ථාවෙදි Guided Partition විකල්පය තෝරන්නෙ නැතුව Manual විකල්පය තෝරාගන්න. මෙන්න මේ තිරරූප සටහනේ පෙන්නල තියෙනව වගේ.


දැන් / සඳහා හදපු partition එක එහෙමම තියෙද්දි තවත් ext-3 partition එකක් (10 GB හෝ ඊට වඩා වැඩි ඉඩක් සහිතව) හදල ඒකෙ Mount Point එක /home ලෙස ලබා දෙන්න. දැන් සාමාන්‍ය පරිදි ලිනක්ස් ස්ථාපනයෙ ඉතිරි පියවර ටික කරන්න. හරිම සරලයි නේද?

දැනට Ubuntu ස්ථාපනය කරල තියෙන්නෙත් /home ඩිරෙක්ටරිය තියෙන්නෙත් එකම partition එකේ නම්, /home අළුත් තැනකට ගෙනියන්න ආසයි ආසයි වගෙ නම්... දැන් මොකද කරන්නේ? තියෙන /home එක backup කරල හාඩ් ඩිස්ක් එක අළුතින් format කරනවද? කළබළ වෙන්න එපා එච්චර මහන්සි වෙන්න ඕන නෑ... ඕවටත් බෙහෙත් තියෙනව. :D සරල ඉංගිරිස් වලින් තියෙන මෙන්න මේ ලිපිය බලන්න. එච්චර අමාරු කාරියක් නෙමෙයි.

---

තව පොඩි දෙයක් තියෙනව කියන්න VirtualBox සහ USB ගැන. මම අන්තිමට ලිව්ව ලිපියෙ තිබුණනේ ලිනක්ස් ධාරකයෙක් මත තියෙන VirtualBox ස්ථාපිතයක USB වැඩ නොකිරීමේ අවුල ලිහා ගන්න විධිය. හැබැයි පොඩි පොඩි අවුල් තියෙනවා වගෙ. එකක් තමයි ඒ විධියට VirtualBox හරහා වින්ඩෝස් වලට pen drive එකක් සම්බන්ධ කරලා ඒකට ගොනු පිටපත් කරන්න උත්සාහ කළාම වින්ඩෝස් ඇණහිටීම (blue screen of death). මම දන්නෙ නෑ මේ අවුල මට විතරක් ආපු එකක් ද කියලා.

කොහොම වුණත් pen drive වලට විකල්ප විසඳුමක් තියෙනවා. ඒ තමයි pen drive එක ලිනක්ස් වලින් mount කරලා ඒක virtual machine එකත් එක්ක බෙදා හදා ගැනීම (share). Share කරන ක්‍රමයත් මම කලින් දවසක ලිව්වා. ඒක මෙතනින් බලන්න.

ඉතිරි ටික කෙරෙන්න ඕන මෙහෙමයි. මුලින්ම අපි USB mount කරන්න වෙනම directory එකක් හදා ගනිමු.

mkdir ~/usbmount

දැන් මම share කිරීම ගැන ලිව්ව ලිපියෙ තියෙන විධියට ඒක වින්ඩෝස් එක්ක බෙදා හදා ගන්න.
අවසාන පියවර, pen drive එක මැසිමට සම්බන්ධ කරලා මෙන්න මේ විධාන දෙන්න.

su
umount /dev/sdb1
mount -t fat32 /dev/sdb1 ~/usbmount


දැන් virtual machine එක ඇතුලේ තියෙන වින්ඩෝස් ක්‍රියා කරවලා shared folder (usbmount) එක බලන්න. Pen drive එකේ තිබුණු දේවල් ඔක්කොම පේන්න තියෙනවා නේද එකක් නෑර? :D

---

ඔච්චරයි දැනට ලියන්න දේවල් හම්බවුණේ... ප්‍රියාවිය නොහොත් මගේ ලැප්ටොප් එක යථා තත්වයට පත් වුණ ගමන් ආයෙම ලියන්නම්. ;)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Saturday, July 4, 2009

~ VirtualBox ~ e1108 ~ USB ~ K770i ~ Wammu ~ එහෙන් ~ මෙහෙන් ~

ඇත්තටම මේ සටහනට දාන්න හොඳ මාතෘකාවක් හිතාගන්න බැහැ තාමත් මට. මොකද exam භීතිකාව නිසා පිස්සු පීකුදු වෙලා ඉන්න මොහොතක මේක ලියවෙන්නෙ. සමහරවිට මේ ජූලි මාසෙ අවසාන වෙනකම් මේ සටහන හැර වෙන කිසිම දෙයක් නොලියන්නම ඉඩ තියෙනව. ඒ නිසා හිතට එන ඔක්කොම දේවල් අච්චාරුවක් කරල ලියනව මේකෙ. පහුගිය දවස් ටිකේ ආගිය කතා ටිකකුත් ඒ ඇසුරින් අන් අයගේ දැන ගැනීම පිණිස ලියැවෙන විවිධ තාක්ෂණික කරුණු ටිකකුත් තමයි මේකෙ තියෙන්නෙ.

---

මුලින්ම අතීත කතාව කියලා ඉවර කරන්නම්... මම අවුරුදු තුනක් පුරාවට පාවිච්චි කළේ NEC e1108 වර්ගයේ ජංගම දුරකථනයක්. ඒක ගත්තට පස්සෙ තමයි තේරුණේ කරපු මෝඩකම. ඔය දීල තියෙන ලින්ක් එකෙන් ගිහින් user reviews බලන්න මම කියන දේ විශ්වාස නැති නම්. මේ තියෙන්නේ මම ඒකෙ දැකපු ලොකුම අඩුපාඩු.
  • වැඩිය ප්‍රචලිත නැති මාදිලියක් නිසා හදිසියකට charger එකක් හොයා ගන්න අමාරුයි
  • Charger එක හතරැස් තුන්කූරු පේනු (square type three pin plug) වර්ගයේ එකක් වීම (හැම තැනම three pin නැහැනේ...)
  • පුදුම හිතෙන තරමට මන්දගාමී (දුරකථනය ක්‍රියාත්මක කළාම initialize වෙන්න විනාඩි 2-3 විතර කාලයක් ගත වෙනවා)
  • ගොනු හුවමාරු (file transfer) ප්‍රකාරයේදී ඉක්මනින් බැටරිය විසර්ජනය වෙනවා
  • දුරකථනය තියෙන තැනින් හොල්ලන්නෙ නැතුව තිබුණත් බැටරිය දවස් තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම විසර්ජනය වෙනවා
  • Synchronization කියා එකක් තිබුණාට එය වැඩ කරන්නෙ නැති වීම
  • වීඩියෝ ගොනු මාදිලිය MJPEG වීම -- ශබ්දය නැත!
  • T9 යකා නැටීම -- මේක කරලම බලන්න රඟ... :P
තව තව අවුල් ගොඩක් තියෙනවා. කොහොම වුණත් අවුරුදු දෙකක් පුරාවට පාවිච්චි කළ ජංගම දුරකථනයනේ...

ඔන්න ඉතිං ඕක එපා වෙවී ඉඳලා මමත් ගත්තා Sony Ericsson K770i එකක්. ඒක නම් මගේ වැඩ වලට ප්‍රමාණවත්. වේගය අතිනුත් ඉතාම හොඳයි.

---

ඊළඟ ගැටළුව Sony Ericsson එකත් එක්ක දෙන සංයුක්ත තැටියෙ තියෙන මෘදුකාංග කට්ටලය ලිනක්ස් එක්ක වැඩ කරන්නෙ නැති වීම. ඉතින් ඔය වෙලාවට මට මතක් වුණේ MyPhoneExplorer කියන මෘදුකාංගය. ඒකත් වැඩ කරන්නෙ නෑනේ.... :( ඔන්න එතකොට තමයි අපේ නාගබුද්ධික ලිව්ව පරණ සටහනක් මතක් වුණේ. ඉතිං Wammu දාලා බැලුවා. නාගයාට ලබන ආත්මේවත් කිං කෝබරාවෙක් වෙන්න වාසනා බල මහිමය ලැබේවා! :D

ටිකක් වෙලා Wammu එක්ක ඔට්ටු වෙලා යංතං මගේ ජංගම දුරකථනය පරිගණකයත් එක්ක සම්බන්ධ කරගත්තා. MyPhoneExplorer වලින් කරන්න පුළුවන් ගොඩක් දේ මේකෙන් කරන්න පුළුව්න්. ජංගම දුරකථන මාදිලි බොහොමයකට මේ මෘදුකාංගය සහය දක්වනවා. (හැබැයි මම පරීක්ෂා කළේ Sony Ericsson K770i එක්ක විතරයි :D ) ජංගම දුරකථනයෙ ගොනු පද්ධතිය බලාගන්න බැරි එක තමා එකම අවුල.

දැන් පෙන්නන්න යන්නේ... Wammu පාවිච්චි කරන හැටි. මේ පිංතූර ගත්තේ Leonidas වලින්.

මුලින්ම ජංගම දුරකථනය පරිගණකයට සම්බන්ධ කර එහි නිෂ්පාදකයා දී ඇති උපදෙස් පරිදි සූදානම් කරගන්න. (Sony Ericsson දුරකථනයක් නම් Phone Mode සක්‍රිය කරන්න -- වෙනත් වර්ගවල දුරකථන ගැන මම දන්නෙ නැත)

Wammu සැකසුම් කරන්න කලින් මතක ඇතුව Wammu භාවිත කරන්න බලාපොරොත්තු වෙන පරිශීලක ගිණුම/ගිණුම් dialout කණ්ඩායමට (group) එකතු කරන්න. නැත්නම් අදාළ උපාංග (devices) පාවිච්චි කරන්න ලැබෙන්නෙ නෑ.

විධාන අතුරුමුහුණතින්:
su
usermod -a -G dialout {ඔබේ පරිශීලක නාමය}


එහෙම අකමැති නම් GUI භාවිතයෙන්:


දැන් Wammu විවෘත කරගන්න. Phone Wizard කවුළුව විවෘත වුණේ නැත්තම් Wammu --> Phone Wizard වෙත ගිහින් එය විවෘත කරගන්න. එතන ඉඳලා කරන වැඩ ටිකේ ඇත්තටම තිරපිටපත් වලින් කියන්න තරම් ලොකු දෙයක් නෑ. වින්ඩෝස් පාවිච්චි කරල පරිගණක හුරුව ලබාපු අපට මේවත් වැඩද නේද? හැබැයි හැම පියවරකම දීල තියෙන විස්තරේ හොඳට කියවන්න අතමක කරන්න එපා!! ;)


මේ ලැයිස්තුවේ තියෙන උපාංග (devices) පාවිච්චි කරන්න අවසර තියෙන්නේ dialout කණ්ඩායමේ අයට විතරයි. තමන් dialout සාමාජිකයෙක් වෙලා ඉඳිද්දිත් මෙතනින් එහාට යනකොට දෝෂ පණිවුඩයක් එනවනම් මෙතනින් වෙනත් ttyACM උපාංගයක් තෝරන්න.


ඔය ඉන්නෙ යස අගේට මගේ අළුත් 'කෑල්ල'! :P

දැන් Wammu වල Phone මෙනු එකට ගිහින් Connect කියන මෙනු අයිතමය ක්ලික් කරන්න. හපොයි මේව කියන්නත් දේවල්ද? :-O ඊළඟ තිරපිටපත බලන්න මේකෙ වැඩ කෝමද කියලා.... බැටරි ආරෝපණ තත්වය, සංඥා ප්‍රතිග්‍රහණ තත්වය වගේ විස්තරත් බලාගන්න පුළුවන්.


ඔන්න මගේ කෙටි පණිවුඩ කියවන්න පොඩි චාන්ස් එකක් :D

මේක මාර ආතල් භාණ්ඩේ... MyPhoneExplorer පාවිච්චි කරල කෙරෙන වැඩ වලින් බහුතරය කරගන්න මේකෙන් පුළුවන්. ඒ වුණාට ජංගම දුරකථනයෙ ගොනු පද්ධතිය කියවන්නෙ නෑ. Sony Ericsson ජංගම දුරකථන වල File Transfer Mode පාවිච්චි කළත් Memory Stick එකේ තියෙන ගොනු පමණයි බලාගන්න පුළුවන්. ඉතින් Wammu සර්ව සාර්ථක විසඳුමක් නෙවෙයි ජංගම දුරකථනයත් එක්ක නොමිලේ ලබා දෙන මෘදුකාංග කට්ටලය තරම්. ඒත් ඒක වින්ඩෝස් වලට විතරයි නෙ.... :(

---

දැන් මේක පාවිච්චි කරන්න වින්ඩෝස් ඕනා... මගේ බ්ලොග් එකට නිතර යන එන කස්ටිය දන්නවා ඇතිනේ මම පාවිච්චි කරන්නේ ලිනක්ස් විතරයි කියලා. ඒක එහෙම වුණත් මට වෙනත් විකල්පයක් හොයාගන්න බැරි විධියෙ අවශ්‍යතාවක් ඇති වුණොත් පාවිච්චියට ගන්න වින්ඩෝස් ස්ථාපනය කරලා තියෙන්නෙ VirtualBox ඇතුලේ... සාමාන්‍යයෙන් ලිනක්ස් host එකකදී VirtualBox වල USB වැඩ නොකරන බව ප්‍රසිද්ධ කාරණයක් නේ. මම පහුගිය කාලෙ ඔය ගැන උනන්දු නොවුණට දැන් මේ ජංගම දුරකථනයත් එක්ක ඔට්ටු වීම නිසා මගේ උනන්දුව වැඩි වුණා. මට නිකමට හිතුණා VirtualBox දුවවලා බලන්න root user විධියට.

gksu VirtualBox

අනේ යාන්තාං ඇති! එළටම වැඩ!! ඒත් නිතර මුරපද ටයිප් කර කර ඉන්න ගියාම කරදර නිසා මේකට හරි විසඳුමක් හොයාගන්න මම උත්සුක වුණා. ඕකත් දෙයක් ද අපේ ගුග්ල් දෙයියා ඉන්නකං... ;) මෙන්න මෙතනිං විසඳුමක් ලැබුණා. හැබැයි ඒ ලිපිය Ubuntu 7.10 ආශ්‍රිතව ලියපු එකක්. මම ඒක මගේ අත්දැකීම එකතු කර නැවත ලියනවා.

පොඩි සැත්කමක් -- /etc/init.d/mountdevsubfs.sh ගොනුව සංස්කරණය කරන්න කියලා තමයි සඳහන් වෙන්නෙ. ඊට කලින් අපි අදාළ ගොනුවේ උපස්ථ පිටපතක් හදමු... වැඩේ වැරදුණොත් ආපහු ගොඩ එන්න පුළුවන් වෙන්න... (ඇස් ඇරගෙන වැඩ කළොත් වරදින්නෙ නෑ)

su
cp /etc/init.d/mountdevsubfs.sh /root/mountdevsubfs.sh


දැන් බය නැතුව සංස්කරණය කරමු:
gedit /etc/init.d/mountdevsubfs.sh

මෙන්න මේ කේත පේළිය සොයා ගන්න. (Ctrl + F)
do_start () {

ඒ පේළියේ තියෙන සඟල වරහනට ගැළපෙන වැසීමේ සඟල වරහන '}' සොයා ගන්න. ඒ වැසීමේ සඟල වරහනට ඉහළින්, එහෙත් සඟල වරහන් දෙක අතර දැනට පවතින කේත පේළි වලට යටින්, පහත දැක්වෙන කේත පේළි ඇතුළත් කරන්න (Copy & Paste):

#VirtualBox USB hack (මේ පේළිය ලියන්නෙ කහනවට නෙවෙයි -- අපේම පහසුව පිණිසයි)

mkdir -p /dev/bus/usb/.usbfs
domount usbfs /dev/bus/usb/.usbfs -obusmode=0700,devmode=0600,listmode=0644
ln -s .usbfs/devices /dev/bus/usb/devices
mount –rbind /dev/bus/usb /proc/bus/usb


දැන් ගොනුව සුරකින්න. පරිගණකය ප්‍රතිපණගන්වා VirtualBox ක්‍රියාත්මක කර බලන්න. USB වැඩ නේද? :)

ඕකෙ පිහිටෙන් මම දුරකථනයෙ මෙමෙරියෙ තියෙන දේවල් ටික බලාගත්ත. ඒත් මකා දමන්න බැරි වෙන්න Sony Ericsson එකෙන්ම දාල එවන කරුම ෆයිල් දෙකතුනක් තියෙනව ඒව මෙහෙමවත් මකන්න බෑ නෙව! :(

දැං ඉතිං ජංගම දුරකථනය විතරක් නෙමෙයි USB වලින් වැඩ කරන නානාප්‍රකාර පරිගණක උපාංග virtual මැෂිමට අමුණන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පිස්සු විකාර වැඩ කරන්නත් පුළුවන්. ඔය බොරු මැසිමයි ඇත්ත මැසිමයි අතර පරිගණක ජාලයක් වගේ එකක් තියෙනවනේ... කොහොමද gateway එක බොරු මැසිම වුණොත්? නිකං ඉන්න බැරිකමට මගේ Huawei e220 මොඩම් එකෙන් කරල බැලුවා... අවුලක් නැතුව වැඩ! :)

---

අද සටහන දිග වැඩියි.... ආවරණ කලාපයත් ලොකුද මන්දා... මටත් මහන්සියි ලියලා.... වැඩක් වේවිද දන්නෙත් නෑ.......................... :-O

21 වැනිදා අපේ ජයග්‍රාහී හතරවෙනි සෙමෙස්ටරයෙ මහා ඉල්ලංකෑමේ කැම්පේන් එක පටන් ගන්නවා..... මං යනවා දැන්ම දාගන්න ගිරවෙක් දාගන්න..... ආයුබෝ!!!!!!!

බාගැනීම්:

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Sunday, May 31, 2009

මම Windows 7 දැම්මෙමි෴

මේ දවස් වල කවුරු කවුරුත් Windows 7 ගැන කතා කරන නිසා මටත් හිතුණ Windows 7 දාල බලන්න. ලිනක්ස් වලට මාරු වුණා කියල අළුත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් අත්හදා බලන්න තහනමක් නැහැනේ. ;)

ඉතිං මමත් දැම්මා බිල් මහත්තැන්ගේ කොම්පැණියේ අළුත්ම නිමැවුම :-O Windows 7!

මගේ ලැප්ටොප් එකේ දෘඩ තැටිය දැන් මුළුමනින්ම ext-3 (දත්ත අස්ථානගත වීමේ අවදානම නිසා මම ext-4 පාවිච්චි කරන්නෙ නැහැ). Bootloader එක විධියට පාවිච්චි කරන්නෙ GRUB. වින්ඩෝස් කියන රාත්තල් 600ක් බර ගෝරිල්ලට සිරිත් පරිදිම GRUB අරහං බව දන්න නිසා මම ඒ වෙනුවෙන් වෙනම partition එකක් හදන්න කරදර වුණේ නැහැ. දැම්ම Sun VirtualBox. ආසන්න වශයෙන් ගිගාබයිට් 5 කින් වැඩෙත් ෂේප්. මේ ගැන මම කලින් කඩ්ඩෙන් කොටපු ලියවිල්ලක් බලන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න.



VirtualBox පාවිච්චි කරන අය දන්නව ඇති (සමහරවිට නොදන්නවත් ඇති) ඒකෙ තියෙන Seamless Mode කියන පහසුකම ගැන. මටත් මේ ගැන කිව්වේ බ්ලොග් ලියන අපේ මිත්‍රයෙක්. සාමාන්‍යයෙන් virtual machine එකේ ධාවනය වන වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නෙ ලිනක්ස් ඩෙස්ක්ටොප් එකෙන් බැහැරව වෙනමම window එකක් ඇතුලෙ. නමුත් Seamless Mode පාවිච්චි කරනවනම් මේ මෙහෙයුම් පද්ධති දෙකේම ධාවනය වන වැඩසටහන් එකම ඩෙස්ක්ටොප් එකට ගන්න පුළුවන්. වින්ඩෝස් ඩෙස්ක්ටොප් එකේ පසුබිම් රූපය අතුරුදන් වෙලා, වින්ඩෝස් taskbar එක Gnome/KDE පැනලය උඩට ඇවිත් මෙහෙයුම් පද්ධති දෙකත් එක්කම එකවර වඩා පහසුවෙන් වැඩ කරන්න පුළුවන් පරිසරයක් එයින් නිර්මාණය කර දෙනවා. මේක පැහැදිලි වෙන්න පහත දැක්වෙන තිරපිටපත බලන්න.


එකම කතාවක් - අවසානයන් දෙකක්
(Mozilla Firefox 3.0.10 සහ Windows Internet Explorer 8 [VirtualBox Seamless Mode])

Seamless Mode පහසුකම නිර්දේශ කරල තියෙන්නෙ Windows XP මෙහෙයුම් පද්ධතියට. නමුත් පොඩි වෙට්ටුවක් දාලා ඒක පහසුවෙන්ම Windows 7 මෙහෙයුම් පද්ධතියට හරියන විධියට හදාගන්න පුළුවන්. ;)

මුලින්ම මම Seamless Mode ගැන නොදන්න අයට ඒක ගැන තවදුරටත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. Virtual machine එක ධාවනය වෙන අතරෙදි ඒකෙ තියෙන Machine මෙනු එකේ Seamless Mode කියන අයිතමය ක්ලික් කළාම Seamless Mode වෙත පිවිසෙන්න පුළුවන්. නමුත් මේ මෙනු අයිතමය සාමාන්‍යයෙන් අක්‍රියවයි පවතින්නේ. ඒකට හේතුව VirtualBox ඇතුළෙ ධාවනය වෙන virtual machine එක, host මෙහෙයුම් පද්ධතියෙ ඩෙස්ක්ඩොප් පාරිසරිකයට අනුගත විය යුතු ආකාරය දැන නොසිටීම. ඒක කරන්න අවශ්‍ය driver software එකක් virtual machine එකේ ස්ථාපනය කළ යුතුයි. මේ drivers තියෙන iso ගොනුවක් (~ 25 MB) අපට අන්තර්ජාලය හරහා බාගන්න පුළුවන්. එය හඳුන්වන්නේ VirtualBox Guest Additions යන නමින්. virtual machine එකෙන් iso ගොනු mount කරන්න පුළුවන් නිසා CD එකකට පිටපත් කරගැනීම අවශ්‍ය වෙන්නෙ නෑ. Virtual machine එකේ Windows ධාවනය වෙන අතරෙදි, machine එකේ Devices මෙනු එකේ තියෙන Install Guest Additions අයිතමය ක්ලික් කළාම අදාළ ගොනුව බාගත වෙලා ස්වයංක්‍රීයවම mount වෙයි. මෙන්න අවශ්‍ය නම් Guest Additions 2.0.4 වෙළුම බාගන්න.

Guest Additions iso එක mount කළා නම් දැන් virtual machine එකේ Windows Explorer/My Computer වලින් CD drive එක විවෘත කරලා VBoxWindowsAdditions.exe ගොනුව විවෘත කළාම Guest Additions ස්ථාපනය වෙයි. ඉන්පසුව virtual machine එක එක්වරක් ප්‍රතිපණගැන්වූවාම කරදරයක් නැතිව Seamless Mode වෙත පිවිසෙන්න පුළුවන්.

නමුත් මේ Guest Additions හදල තියෙන්නෙ Windows XP සඳහා. Windows 7 දී Guest Additions ස්ථාපනය කරන්න ගියාම දෝෂ පණිවුඩයක් පෙන්වලා ස්ථාපනය මඟහරිනවා. දැන් කියන්න යන්නෙ මම මුලින් කිව්ව වෙට්ටුව ගැන. ඒක වචන වලින් කියනවට වඩා පැහැදිලි වෙයි මීළඟ තිරපිටපත බලනව නම්.


අපැහැදිලි නම් තිරපිටපත මත ක්ලික් කරන්න

ඔහොම කරල VBoxWindowsAdditions.exe ගොනුව විවෘත කළාම කිසි ආබාධයක් නැතුව වැඩ.

ඉතින් දැන් Windows 7 ගැන ලියන්න ගත්ත සටහනේ මම වැඩි හරියක් ලියල තියෙන්නේ VirtualBox ගැනද මන්දා... කොහොම නමුත් කරල බලන්න. Seamless Mode අමුතුම අත්දැකීමක් වෙයි. ;)



දැන් වටවන්දනාව අහවර කරලා එමුකො ආපහු මාතෘකාවට... Windows 7. මේක පෙනුමින් Windows Vista පද්ධතියට වඩා වැඩි වෙනසක් නැති වුණත් අළුත් taskbar එක නම් අපූරුයි. Taskbar එකේ ඉඩකඩ ඉතිරි කරගන්න යොදාගෙන තියෙන අළුත් ක්‍රමය හොඳයි.

වේගය අතිනුත් Windows 7 හොඳයි. අවම වශයෙන් 1 GB RAM ඉල්ලලා තිබුණත් 512 MB RAM එකකත් වැඩ. හැබැයි දැනගන්ට ඕනෙ... Ubuntu වල නම් visual effects එක්ක වැඩ කරන්න ඕන කරන අවමය 384 MB බව. ;)

මම Guest Additions වල තියෙන VGA driver එක ස්ථාපනය කරල තියෙද්දිත් වින්ඩෝස් වල Aero Effects නම් වැඩ කළේ නැහැ. ඒ වගේම VirtualBox වලදි Windows 7 audio වැඩ කරන්නෙත් නැහැ. ඒ ගැන හොයද්දි තමයි දැනගත්තෙ Windows 7 Troubleshooter කියන්නෙ Windows XP Troubleshooter එකටත් වඩා මෝඩ ජෝක් එකක් කියල. :D

මීළඟ තිරපිටපත බලන්න. ඒකෙ විකල්ප දෙකක් තෝරාගන්න දීල තියෙනවා.



මොන වැඩේ වුණත් මම නම් තෝරන්නෙ දෙවැන්න. පළමුවැන්න තේරුවම එන එක දැක්කනම් ඒ මොකද කියල හිතාගන්න පුළුව්න්.



ඔහොම කියන්නෙ නැතුව වැඩේ බැරි එක කලින්ම බෑ කිව්වනං අපි forum එකකින් හරි බ්ලොග් එකකින් හරි හොයාගන්නවනේ පිළියමක්. Explore Additional Options කියන එක ක්ලික් කරන පරිශීලකයා බලාපොරොත්තු වෙන්නෙ මොකක් හරි අළුත් යමක් -- පිළියමක්. එහෙම නැතුව එකම විධියෙ කතන්දරේ හැම වෙලාවෙම දැක්කම එපා වෙනවා. Windows XP පාවිච්චි කරන කාලෙත් මට එපාම කරල තිබුණ යෙදුම තමයි Troubleshooter එක. ඒකෙන් ඇති වැඩක් වුණේ නැහැ. නිකං කාලය නාස්ති වුණා විතරයි.

කොහොම වුණත් Windows කැමති අය Windows 7 දාල බලන්න... අළුත් අත්දැකීමක් වෙයි. ;)

Windows 7 ගැන අදට එපමණයි. දිගින් දිගටම Windows 7 පාවිච්චි කරන්න බලාපොරොත්තුවක් නැහැ වුවමනාවක්ම වුණොත් VirtualBox එකෙන් Windows XP පාවිච්චි කරනව මිසක්. මට හොඳයි නිදහසේ ඕන දෙයක් කරන්න ඉඩදෙන ලිනක්ස්ම. ;)

බාගැනීම්:
මේ සටහනේ ලිව්ව VirtualBox Seamless Mode ක්‍රියාත්මක කිරීම ගැන අපැහැදිලි තැනක්/ගැටළුවක් එහෙම තියෙනවනම් comment එකක් දාන්න. ඕනම ආකාරයක ප්‍රශ්න වලට මම උත්තර දෙනවා. :)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Wednesday, March 18, 2009

Ubuntu / Windows අතර තොරතුරු හුවමාරුව

මගේ පසුගිය සටහන කියෙව්ව නම් දකින්න ඇතිනේ මම ආයෙම Ubuntu ස්ථාපනය කරගෙන තියෙනවා... ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් අපට කැම්පස් එකේ නොමිලයේ ලබා දෙන Wireless Internet පහසුකම ලබාගන්න Fedora මානකරණය කරන එක ටිකක් අපහසු වීම. දැන් අපට තියෙන assignments කන්දරාවෙ හැටියට ඕව හොය හොයා ඉන්න ටිකක් අමාරුයි. ඉතින් Ubuntu වලින් වත් සහනයක් ලැබෙයිද බලනවා. ඉතින් දැන් Fedora, Ubuntu, Windows triple boot. අනෙක, කලකට පෙර, මගේ බ්ලොග් එක කියවන චතුර සංදීප දාපු comment එකක්. රසික ඉල්ලීමක්. :P

VirtualBox හි host ලෙස Ubuntuත්, guest ලෙස Windows XPත් තබාගෙන ඒ මෙහෙයුම් පද්ධති දෙක අතර ගොනු හුවමාරු කරගන්න ක්‍රමය තමයි අහල තිබුණෙ. ඉතින්... මගේ ප්‍රධාන වැඩ කටයුතු ටිකත්, ලියන්න අළුත් මාතෘකා ලැබීමත් නිසා මේ ගැන ලියන එක ටික ටික ප්‍රමාද වුණා. ඔන්න අද ලියනවා... ;)



මේක කරන හැටි මම කොටස් හයකට බෙදල ලියන්නම්. එහෙම ලිව්වම තේරුම් ගන්න ලේසියි කියා හිතනවා.

පළමු පියවර:
දැනටමත් ඔබේ පරිගණකයේ Ubuntu තියෙනවා කියල මම හිතනවා. මම මේක කළේ 'මනුස්සකම කඳුකර එළු' සංස්කරණයේ (8.10) ඉඳගෙන. ඉතින් මුලින්ම terminal window එකක් විවෘත කරගෙන පහත විධානය ලබා දෙන්න.

sudo apt-get install virtualbox

(මෙගාබයිට 50කට නොවැඩි බාගැනීමක්)

දෙවන පියවර:
දැන් වින්ඩෝස් ස්ථාපනය සඳහා අළුත් Virtual Machine එකක් නිර්මාණය කරන්න. මම මේ සටහන ලියන්නෙ දැනටමත් VirtualBox පාවිච්චි කරන අය සඳහා නිසා ඒක කරන ක්‍රමය දැන් ලියන්නෙ නෑ. ඒ වුණාට මේ දේවල් වලට අළුත් අයටත් හැකිතාක් තේරුම් ගන්න පුළුවන් වෙන්න ලියන්නම්. ඒක කරන එක එච්චර දේකුත් නෙවෙයි -- facebook account එකක් හදනවට වඩා ලේසියි. :P

අළුත සාදාගත් Virtual Machine එකේ Settings වෙත ගොස් පහත දැක්වෙන තිරපිටපතේ පෙන්වා ඇති සැකසුම් සකසන්න. (පැහැදිලිව බලන්න රූපය මත ක්ලික් කරන්න)


Enable Network Adapter
Attached to NAT
Cable Connected
  • Shared Folders සඳහා සැකසුම් කිරීම අවශ්‍ය වෙන්නෙ නෑ.
තුන් වන පියවර:
සාදාගත් Virtual Machine එක මත Windows XP ස්ථාපනය කරන්න. ඒක ඉතින් කරන්න දන්න එක නේ... වින්ඩෝස් ස්ථාපනය කරල කරන්න සැකසුම් කීපයක් තියෙනවා. ඒවා එකින් එක පහත දක්වා තිබෙනවා.


මේක කරන්නෙ අපේ පහසුවට, ඕන වෙලාවක ජාල‌ සැකසුම් වල තත්වය බලාගන්න පුළුවන්



දැන් Windows Network Setup Wizard දක්නට ලැබේවි. එහි පහත දැක්වෙන සැකසුම් සකසමින් ඉදිරියට යන්න.
  • Select a connection method පියවරේ දී - This computer connects to the Internet through a residential gateway or through another computer on my network.
  • File and printer sharing පියවරේ දී - Turn on file and printer sharing

මෙහි Default Gateway ලෙස දක්වා ඇත්තේ Ubuntu ස්ථාපනය කර ඇති පරිගණකයේ, එනම් host OS ඇති පරිගණකයේ ඇති virtual network interface එකෙහි IP ලිපිනයයි. මේ උදාහරණයේදී එය 10.0.2.2 වෙයි. එය සටහන් කරගන්න.

දැන් Command Prompt එකේ පහත දැක්වෙන විධානය ලබා දෙන්න.

ping 10.0.2.2

(තද කළු අකුරින් තියෙන IP ලිපිනය වෙනුවට ඔබේ පරිගණකයේ IP ලිපිනය (Virtual Windows ස්ථාපිතය මගින් ලබා ගත්) සටහන් කරන්න)


මේ වගේ පිළිතුරු ලැබෙනවනම් වැඩේ හරි

දැන් ටික වෙලාවකට අපි Virtual Machine එක වසා දමමු. මීළඟ පියවර කරන්න තියෙන්නෙ Ubuntu මත.

හතර වන පියවර:
Ubuntu වල terminal window එකක් විවෘත කරගෙන පහත විධාන එකින් එක ලබා දෙන්න.

mkdir ~/vbox-share
chmod 777 ~/vbox-share
cd ~/vbox-share
touch i am proud to be a sinhala blogger (මේක කරන්නෙ ආතල් එකට... shared folder එකේ බෙදා හදා ගන්න මොකුත් තියෙන්නත් එපැයි :P )
sudo apt-get install samba libpam-smbpass
exit

දැන් සැසිය යළි අරඹන්න (session restart). මේක කරන්න ලේසිම විධිය Ctrl+Alt+Backspace. කරන්න කලින් අත්‍යාවශ්‍ය සියළුම වැඩසටහන් වලින් ඉවත් වෙන්න.

පස් වන පියවර
ඉතිරි ටිකත් terminal එකෙන් කරන හැටි තිබුණ නම් හොඳයි. ඒත් කලබල අස්සෙ මට ඒක හොයාගන්න බැරි වුණා. ඒ නිසා nautilus (GUI) වලින් කරන හැටි කියන්නම්.

Places menu (ඉහළ වම් කෙළවර) එකේ Home ක්ලික් කර ඔබේ home folder එක වෙත යන්න. අළුත හදා ගත් folder එක (මේ උදාහරණයේදී vbox-share) right click කරල Properties වෙත යන්න. එහි Share tab එකේ පහත දැක්වෙන සැකසුම් සකසන්න.
  • Share this folder : Yes
  • Share name : ubuntu-host (කැමති නමක්)
  • Allow other people to write in this folder : Yes
  • Guest Access : Yes
දැන් Create Share ක්ලික් කරන්න.


වැඩේ හරි නම් icon එක පේන්නෙ මෙහෙම

හය වන පියවර:
දැන් ආයෙම අපේ Windows virtual machine එක පණගන්වන්න. Start --> Run ගිහින් කලින් අපි සොයාගත් IP එක මෙන්න මේ විධියට ඇතුලත් කරන්න.

\\10.0.2.2\

දැන් මෙහෙම එකක් ලැබෙයි:



ඇරල බලන්න මොනවද තියෙන්නෙ කියලා... :P


වැඩේ හරි නේද? Ubuntu වල තියෙන ආරක්ෂක විධි විධාන මඟහැරල මේ බෙදා හදා ගැනීම කරන ක්‍රමයටයි ලිව්වෙ. මොකද virtual machine එකත් පාවිච්චි කරන්නෙ තමන්මනෙ.

මේ ක්‍රමය virtual නොවන සාමාන්‍ය Windows ස්ථාපිතයකටත් අදාළයි. මේක ලියල දැන් මාර මහන්සියි. මම ලිව්වෙ නවකයින් ගැනත් හිතල. තේරුම් ගන්න පුළුවන් වුණාද දන්නෙ නැහැ. ගැටළු තියෙනව නම් comment එකක් දාන්න... මං දෙඤ්ඤං උත්තර... :)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Saturday, October 25, 2008

රෙද්ද උස්සා බැලීම

රෙද්ද උස්සා බැලීම




---



මොකක් කියලද හිතුවෙ? :D

Monday, October 13, 2008

Ubuntu 8.10

Ubuntu 8.10 නිකුත් කරන්න තව තියෙන්නෙ දවස් 17යි. ඒත් ඉතිං මට කැහිල්ලනේ. ඉවසාගෙන ඉන්න බැරිම තැන මම පාවිච්චි කරන්නෙ Dialog HSDPA කියන එක ටිකකට අමතක කරල බීටා එක බෑව. මෙගාබයිට් 695ක් අපතේ බව දැන දැනත් මොනවා කරන්නද පොඩි එකාගෙ ආසාවනේ.

කොහෙම වුණත් අළුත් එකෙයි පරණ එකෙයි මතුපිටින් වැඩි වෙනසක් පේන්න නෑ. පොඩි පොඩි හැඩවැඩ ටිකකුත් කරල තියෙනව.