Showing posts with label පරණ කතා. Show all posts
Showing posts with label පරණ කතා. Show all posts

Thursday, December 16, 2021

තට්ට හිසට පිළියමක් | Hair loss; what now?

ඉස්සර කාලේ මේ බ්ලොග් එක කියවපු අය දන්නවා ඒ කාලේ මගේ හැඩහුරුකම මොන වගේද කියල. යාන්තමට කැරළි ගතියක් තිබුණු දිග කොණ්ඩයක් තිබුණෙ. නමුත් කාලයක් යද්දි කොණ්ඩේ ටික ටික ගැලවිලා ගිහින් මම දැන් තට්ටයෙක්. ඉතාම ඉක්මනින් සිදුවුණු ඒ වෙනස්කම මටත් මුලදි දරාගන්න අමාරු දෙයක් වුණා. ගොඩක් අය තට්ටෙට විසඳුම් හොය හොයා ලත වෙන නිසා මට හිතුණා මගේ අත්දැකීමත් නිගමනයත් මෙතන ලියලා තියන්න.

 

ඔන්න කාලය මැව් වෙනසක අරුමය 😁

Sunday, November 15, 2020

ඉංග්‍රීසි බස උගත් හැටි

"ඉක්මනට ඉංග්‍රීසි ඉගෙනගන්නෙ කොහොමද?"

මට ෆේස්බුක් එකවුන්ට් එකක් තිබුණු කාලේ විවිධ ගෘප් වල මම නිතර දැක්ක ප්‍රශ්නයක් ඕක. මට මේ ගැන සවිස්තරව ලියන්න අදහසක් තිබුණත්, ඒකට කාල වේලාව සොයාගැනීම ලංකාවෙ හිටපු කාලේ හරිම අසීරු වෙලා තිබුණේ. දැන් පොඩි වෙලාවක් ලැබුණු නිසා මේක ලියලා ඉවර කරනවා. 🙂

Photo of a blackboard with a few basic English words written on.
Image courtesy: pixabay.com
 

ඉතින් මේකට එක එක අය තම තමන් දන්න ක්‍රම කියලා උත්තර දීලා තිබුණා. හැම එකක්ම කියවලා බලලා තමන්ට හරියටම හරි යන ක්‍රමය හොයා ගැනීම ප්‍රශ්නයට විසඳුම් හොයන අයගේ වැඩක්. මා දන්නා දෙය කියා දීම මගේ යුතුකමක්. දැන් මම ෆේස්බුක් එකේ නැති නිසා මගේම තැනක ලියනවා. අවශ්‍ය අය දකිත්වා! 😎

Friday, September 4, 2009

පොළොන්නරුව - ත්‍රිකුණාමලය - අනුරාධපුර - අපේ සැරිසර

ශාකුන්තල ගියානේ දවස් තුනක පොඩි විනෝද චාරිකාවක්. පොඩි කිව්වට පොඩිත් නෑ... මේක පවුලේ උදවියයි නෑදෑ පිරිවරයි එක්ක ගිය බොහොම දුර ගමනක්. දුරයි කිව්වෙ බොහොම දිග වටවන්දනාවක්! ;)

මේ බ්ලොග් සටහනේ මම ඇසු දුටු විවිධත්වයකින් යුත් බොහෝ දේවල් විස්තර කරල තියෙනවා... ඉස්සරහට ඔහොමම කියවගෙන යන්න.... මේක අපේ රටේ සුන්දර තැන් බලන්න ගිය ගමනක saga එකක් කිව්වොත් වැරැද්දක් නැහැ. :)

පිටත් වුණේ අගෝස්තු 30 පාන්දර 5.30 ට අම්බලන්ගොඩින්. ගිහින් එනකොට හරියටම සැප්තැම්බර් 2 පාන්දර 1.00 යි. මෙහෙමයි ගමන් මාර්ගය.......... අම්බලන්ගොඩ - මොරටුව - කොට්ටාව - හංවැල්ල - පූගොඩ - අත්තනගල්ල - පස්යාල - දඹුල්ල - මින්නේරිය - රොටවැව - රත්මලේ හරහා මැදිරිගිරිය - රොටවැව හරහා ගල්ඔය හන්දිය - ත්‍රිකුණාමලය - උප්පුවේලි - නිලාවේලි වෙරළ - කින්නියා - හොරොව්පතාන - මිහින්තලේ - අනුරාධපුර - තලාව - තඹුත්තේගම - ගල්ගමුව - දළදාගම - පාදෙණිය - වාරියපොළ - කුරුණෑගල - කඩවත - කැළණිය - කොළඹ - කොට්ටාව - මොරටුව - අම්බලන්ගොඩ. අනුරාධපුර - පාදෙණිය අතර ගමන් මාර්ගය (A28) හිතාගෙන හිටියට වඩා බොහොම හොඳයි. ඔය තද කළු අකුරින් තියෙන්නෙ ගමනේදී නැවතුණු තැන්. ගොඩක් දේ දැක බලා ගන්න පුළුවන් වුණා. දශක දෙකකින් නොදුටු නෑදෑ පිරිවර දැක බලා හඳුනාගන්නත්, මගේ ළදරු කාලය ගෙවුණු මැදිරිගිරිය නගරය නැවත දැක බලා ගන්න ලැබීමත් මට බොහොම වැදගත් සිද්ධි වුණා.

ඒ වගේම මේ ගමන මගේ අළුත්ම විනෝදාංශයත් ස්වයං අධ්‍යයනයත් වෙලා තියෙන ඡායාරූපකරණයේ යෙදෙන්න හොඳ අවස්ථාවක් වුණා. හොඳ කලාත්මක ඡායාරූප ටිකක් ගන්න උත්සාහ කළා. ළඟදිම මගේ Flickr සේයාරූ දහරට ඒ පිංතූර ටිකත් එකතු කරනවා. පිංතූර ගත්තේ මගේ Sony Ericsson K770i ජංගම දුරකථන කැමරාවෙන්.

මුල්ම දවසේ ගියා රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරය බලන්න. බොහොම මනරම් පරිසරයක්... වචන වලට වඩා පිංතූර බලගතුයි කියනවනේ.... ඒ නිසා පිංතූරත් එක්කම දාන්නම් ගමන් විස්තරේ.

රංගිරි දඹුලු රජමහා විහාරය

මෙයාල හිටියේ ලෙන් විහාරයට යන්න තිබුණු මංපෙතේ...

දඹුලු විහාරයෙන් පිටත් වෙලා අපේ සැලසුමට අනුව ගිහින් අපි ඊළඟට නතර වුණේ මින්නේරියෙ රොටවැව කියන දුෂ්කර ගම්මානයේ. බොහොම ලස්සන පරිසරයක්. එහේ පදිංචි වෙලා ඉන්න මගේ මව් පාර්ශ්වයේ නෑදෑයින් හමු වෙලා අවුරුදු ගණනාවක දේවල් කතා බහ කරගත්තා... ඒත් ඒ අය එක්ක ගත කරන්න ලැබුණු ඒ සුළු කාලය මදි කියලයි හිතෙන්නේ...  :(

ඒ ගෙදරට යන්න තියෙන්නෙ බොහොම දුෂ්කර වැලි පාරක. ගේ ළඟින්ම තියෙනවා අලිවැට. අලිවැට කියන්නෙ අලින්ගෙන් බේරෙන්න විදුලි රැහැන් යොදල සකස් කළ වැට. ඒ පැත්තෙ දියපාරවල් නම් බොහොමයක් ම මේ දවස් වල හිඳිලා. අපි යද්දි ඒ ගෙදර වහලේ දඬුවැල් මැස්සො වදයක් බැඳල. දඬුවැල් මැස්සා කියන්නෙත් පොඩි මී මැසි වර්ගයක්. අපි ආව නිසා පැණි ගන්න මී වදය කඩල තිබුණා. මේ මැස්සන්ගෙ පැණි වල රසයයි සුවඳයි ඒ වදය බඳින කාලෙට පිපෙන මල් වර්ගය අනුව වෙනස් වෙනවලු. මමත් ඉතිං නිකං ඉන්න බැරි කමට පැණි ටිකට වැඩේ දුන්න එක වෙනම කතාවක්. ;)

රොටවැව මී පැණි :P

ඊළඟට ගියේ මැදිරිගිරියට... මගේ ජීවිතේ වැදගත්ම තැනකට..... හරියටම අවුරුදු 20කට පසුව...! මගේ තාත්තගෙ ජීවිතේ හොඳම කාලය ගෙවිල තියෙන්නෙ මැදිරිගිරියෙ. මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙක් විධියට තාත්තා උගන්වන කාලේ අපි ජීවත් වුණේ විද්‍යාල භූමියේම දකුණු පැත්තෙ තියෙන ගුරු නිවාසයක. හරියටම තැන කිව්වොත් දකුණු පැත්තේ ගේට්ටුවෙන් ඇතුළට ගියාම දකුණු අත පැත්තෙ දකින්න ලැබෙන පළවෙනි ගෙදර. ළදරු අවධියේ පරණ දේවල් වුණත් සමහර ඒවා මට හොඳට මතක තියෙනවා... ගේ ඉස්සරහම තියෙන අඹ ගහ, ගුරු පාර පාසල් ක්‍රීඩා පිටිය මට හොඳට මතකයි. ම්ම්ම්.... මැදිරිගිරියේ කතා වලින් නම් පොතක් පුරවන්න පුළුවන්. ඒ ගැන ඊළඟ බ්ලොග් සටහනක ලියන්නම්. :)

මෙන්න ශාකුන්තල හැදුණු වැඩුණු තැන අද - මේ ගමනේ මට සුවිශේෂීම දේ - මේ ගැන හිතට එන දේ ලියන්න වචන නෑ මට! :-|

තාත්තත් එක්ක මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ එකට රාජකාරි කළ සමකාලීන ගුරුවරු කීප දෙනෙකුත් හමු වුණා.... මගේ ළදරු කාලය ගත වුණේ ඒ අයත් එක්ක..... බොහෝම උණුසුම් පිළිගැනීමක්....!

"ආනේ... බි** කොහොමද පුතේ.........? ඔයාට මතකද අපිව....?"
(බි** = ඒ දවස් වල මගේ සූර තල් නම) :P

අවුරුදු 20ක්......! මොන තරම් දේවල් සිද්ධ වෙන්න ඇත්ද.......?

මේ ලස්සන මල් තියෙන්නෙ මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාල භූමියේ -- කවුද කියන්නෙ පේරාදෙණියෙ විතරයි කියල ලස්සන මල් තියෙන්නෙ? :P

එදා රෑ නතර වුණේ කවුඩුල්ලේ අපේ නෑදෑ ගෙදරක. ඒ නෑදෑයනුත් අපි බොහෝම කලකින් දැකල නැහැ. ඉතින් අපී හැම දෙනාටම මාර හැපී. රෑ කවුඩුලු වැවේ නාන්න ගියා... මූදෙ නානව වගේ... මාර සනීපයි ඇඟට ;) මං ඉතිං වතුරට බහින්න බයයි නොවැ.... ඒ නිසා සිරිත් පරිදිම ගොඩ පිහිනීම ප්‍රගුණ කළා හොඳට. :D

හිතින් මවා ගන්න මෙන්න මෙහෙම.... සප්ත මහා සාගරේ වගේ වතුර තියෙනවා..... සීතල වතුර..... රළ ගහනවා...... වැව් ඉවුරේ බොරළු වගේ වැල්ල.... ලස්සනට හඳ පායලා තියෙනවා.... වැව් දියට යට වුණු ගස් කීපයක කඳන් විතරක් වැව් දියෙන් ඉහළට මතු වෙලා හෙවනැළි වගේ පේනවා..... බොහොම සැරට සීතල සුළං හමනවා..... හිතින් මවාගන්න උත්සාහ කර බලන්න ඒ අපූරු පරිසරය...

නාලා ආපහු ඇවිත් පොඩි සොමියක් දාලා හොඳට කාලා නිදා ගත්තා. ආවේ වැව් බැම්ම දිගේ තියෙන කැලෑ පාරෙන්. වල් අලි බලන්නත් එක්ක. ඒත් කරුමේ කියන්නෙ එක කාලකන්ණි අලියෙක්වත් ආවෙ නෑනෙ එළියට පොඩි ෂෝ පාරක්වත් දාල යන්න! :-| හැබැයි හාවෝ නං හිටියා.... එහෙට මෙහෙට පැන පැන.... උන් වාහනේ සද්දෙට බය වෙලා කැලෑව ඇතුළට දුවනවා.

මින්නේරියේ, කවුඩුල්ලේ අපේ ඥාතීන්ගෙන් ලැබුණු නියම ගැමි සත්කාරය මට ජීවිතේට අමතක වෙන්නෙ නැහැ.

පළවෙනි දවස ගත වුණේ ඔන්න ඔහොම... දෙවෙනි දවසේ අපි මැදිරිගිරිය වටදාගෙය බලලා ඊළඟට පිටත් වුණේ ත්‍රිකුණාමලයට.

මැදිරිගිරිය වටදාගෙය

ත්‍රිකුණාමලයේ බලන්න දේවල් බොහොමයි. කෝනේස්වරම්, නිලාවේලි, කින්නියා.... අපි ත්‍රිකුණාමලයට එද්දි හවස් වුණා. මුලින්ම ගියේ කෝනේස්වරම් හින්දු පුදබිම බලන්න.

මේ panorama එක ගත්තේ කෝනේස්වරම් හින්දු පුදබිමේදී. වම් පැත්තේ පොඩි තිත් වගේ පේන්නෙ ධීවර බෝට්ටු. පිංතූරෙ ක්ලික් කරල පැහැදිළිව බලන්න පුළුවන්.

මේකත් ගත්තේ කෝනේස්වරම් වලදී. ඔය ඈත හීනියට පේන ගොඩබිම මොකක්ද කියල දන්නවද? ඒ තමයි සාම්පූර්!

මෙයාගෙ ළඟටම ගිහින් පිංතූරෙ ගත්තේ -- කෝනේස්වරම් වල ජීවත් වෙන මුවෙක්

නිලාවේලි යද්දි රෑ වුණු නිසා නිලාවේලි මූදෙ නාන අදහස අත්හැරගන්න වුණා. :( :( :( දෙවෙනි දවසේ රෑ නතර වුණේ උප්පුවේලියේ තියෙන guest house එකක. එහෙ ඉඳලා තුන්වෙනි දවසේ අපේ ඉලක්කය වුණේ අනුරාධපුර. ඉතින් උදේ ඉඳලා ගමනේ..... :)

අපි ආපු ගමන් මාර්ගය මීට කලකට ඉහතදී LTTE පාලන ප්‍රදේශයක්. තවමත් දෙපා කොටින්ගේ විසිරුණු පොඩි පොඩි කණ්ඩායම් සැරිසරනවලු. සතෙකුගේ බෙල්ල කපලා වෙන් කළාම ඉතිරි අඬු පඬු ටික ටිකක් වෙලා යනකම් ඉබාගාතේ දඟලනවනේ... අන්න ඒ වගේ තමයි ඔය පොඩි කණ්ඩායම් සීන් එකත්... ටික දවසකින් ඉවරයි :D .

ඒ පැත්තේ හමුදා ආරක්ෂාව තර කරල තිබුණා... අපටත් කීප වතාවක්ම පරීක්ෂාවන්ට ලක් වෙන්න සිද්ධ වුණා. උදේට හමුදාවෙන් යනවා වෙල් යායවල් වල කොටි වළලපු බිම් බෝම්බ හොයන්න.... මම එහෙම අනුමාන කළේ හමුදා භටයින්ගෙ අතේ තිබුණු බෝම්බ සෙවීමේ උපකරණ නිසා. :-O මේක මම මෙතන බොහොම සැහැල්ලුවෙන් ලිව්වට මොකද ඒ අය තමන්ගෙ ජීවිතත් පරදුවට තියල කරන්නෙ බොහොම අමාරු බරපතල රාජකාරියක්. :-O

සමහර වෙල් යායවල් මැද්දෙ එකිනෙකට බොහොම දුරස්ව පොඩි පොඩි ගෙවල් තියෙනවා... අළුතින් ඉඩම් කට්ටි වෙන් කරල දෙනව වගේ. මේ පැත්තෙ වතුර නෑ.... නියං කාලය. ඉඳ හිට දකින්න ලැබෙන ගරාවැටුණු ගොඩනැගිල්ලක් තිබුණොත් ඒකෙ බිත්ති වල වෙඩි උණ්ඩ වලට හිල් වුණු සලකුණුත් දකින්න පුළුවන්. :-O බොහොම දරුණුවට ගේම් එක ගිහින් වගේ මෙහෙ!

ඔහොම ඔහොම අපි හොරොව්පතාන හරහා අනුරාධපුරයටත් ආවා... එන ගමනෙදිත් පිංතූර ගන්න වැඩේ නම් අමතක කළේ නෑ.

දිය සිඳුණු වැවක් -- තැන නම් මතක නෑ

මේ හොරොව්පතානේ කුඹුරක් -- මේ පිංතූරය ගන්න වෙලාවෙ අපේ වාහනය සැලකිය යුතු වේගයකින් ඉදිරියට ඇදෙමින් තිබුණු නිසා exposure time අඩු වෙන විධියට කැමරාව සකසල තමයි ගත්තෙ... ඒ ක්‍රමයට ගත්ත තවත් පිංතූර ගොඩක් තියෙනවා

අපේ ඊළඟ නැරඹුම් ස්ථානය වුණේ මිහින්තලය.... මෙන්න ඇතුළු වෙන තැනම තියෙනවා පිංතූර ගන්න එපාලු! :-O ...

පිංතූර ගන්න එපා? ඒ වුණාට මම ගත්තනෙ! :D

මේක මෙතන තිබුණට මොකද තවත් තැන් තැන් වල ඔය පිටුපසින් තියෙන බෝඩ් එක වගේ බෝඩ් කීපයකම ගහලා තිබුණා ප්‍රතිමා වලට අපහාස වෙන ආකාරයට ඡායාරූප ගැනීම තහනම් කියලා... ඒ කියන්නේ එහෙම නොවෙන්න පිංතූර ගන්න පුළුවන්නේ..... නැද්ද මං අහන්නෙ? ;) එකක් විතරක් නෙමෙයි කීපයක්ම තිබුණා... මේ වගේ බෝඩ් තිබුණේ මේකම විතරයි. මේක මේ සමහන් කාරයගෙ ඇඩ් කෑල්ලක්ද කොහෙද.... මං ගන්නව ෆොටෝ.... මොකද විකුණල මට සල්ලි හොයන්නවත් අපහාස කරන්නවත් නෙමෙයිනෙ....

මේ මිහින්තලේ ඉහළට නැගලා ගත්ත panorama එකක්

මේ පරිසරය කෙතරම් රමණීයද...

මිහින්තලයෙන් පිටත් වෙලා නොබෝ වෙලාවකින් අපි අනුරාධපුරයටත් ආවා.... මෙහෙ නොවැ බලන්න දේවල් තියෙන්නේ.... :)

ජේතවනාරාමය

මෙයා නං හරිම කුළෑටි පෙනුමයි - බෞද්ධ පුදබිමක මේ වගේ සතුන්ට හිංසා කරන්න ඉඩ දෙන එක වැරදියි කියල තමයි මට නම් හිතෙන්නේ....

දිය සිඳුණු කූට්ටම් පොකුණ

අනුරාධපුර රාජධානිය තිබුණු කාලේ මේවා කොහොම තේජසකින් තියෙන්න ඇත්ද........?

අනුරාධපුරදී ගත්ත පිංතූර තමයි වැඩියෙන්ම තියෙන්නෙ... නමුත් මෙතන දැම්මොත් මේ පිටුව load වෙනකං හැට පැයක් බලාගෙන ඉන්න වෙනවා... ඒ නිසා ළඟදිම Flickr දාන්නම්.

අනුරාධපුර ගමනෙන් අපේ චාරිකාව ඉවරයි. ඊට පස්සෙ ඉතිං බැක් ටු හෝම් තමයි. බොහොම වටින කියන තැන් ගොඩක් බලා කියා ගත්තා... ඇත්තෙන්ම කිව්වොත් මේ IT කෙරුවාව අතඇරල දාල සදහටම රොටවැව නතර වෙන්න හිතෙන තරමට අපූරු මනස්කාන්ත පරිසරයක් තිබුණා. ඒ පරිසරය දාල එන්න දුකයි.... අවුරුදු 20කට කලින් මැදිරිගිරිය අතහැර දාල තාත්ත ආපහු උපන් ගමට ආවෙ කොහොමද කියල හිතාගන්නත් අමාරුයි.... ඇත්තෙන්ම කිව්වොත් පහුගිය අවුරුදු 20 පුරාවටම තාත්ත මනසින් ජීවත් වෙලා තියෙන්නෙ මැදිරිගිරියෙ. දේවල් මෙහෙම සිද්ධ වෙන්නත් හේතු තියෙනවා...... ඒ ගැන ඊළඟ බ්ලොග් සටහනේ ලියනවා..... කාට හරි පොලිටිකල් කණේ පාරක් වදින්නත් ඉඩ තියෙනවා ඒකෙන්.

බ්ලොග් ලිවිල්ලෙන් මම නිරාවරණය වුණා.... ඒත් නිරාවරණය නොකර තියාගන්න මම උත්සාහ කරන මගේ එක ගතිගුණයක් තියෙනවා... ඒ තමයි සංවේදීත්වය. හැබැයි මේ බ්ලොග් පෝස්ට් එකෙන් මටත් නොදැනීම ඒ සංවේදීත්වය ටිකක් නිරාවරණය වෙලා වගේ දැනෙනවා..... මම ඒකට අකැමැති වුණත්.

උපන් ගමටත් වඩා ආදරය කරන මැදිරිගිරියේ ජීවිතය ගැන මගේ ඊළඟ බ්ලොග් සටහනක් ලියැවෙනකම් අදට ආයිබෝං.......!

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Sunday, May 24, 2009

මගේ OS ඉතිහාසය - එදා සිට අද දක්වා...

අද මම ලියනවා මගේ OS පාවිච්චියේ සහ ඉගෙනීමේ ඉතිහාසය ගැන ටිකක්. අද මේ ගැන මතක් කරන්න හිතුණේ විශේෂ හේතුවක් නිසයි.

මම පරිගණක පිළිබඳ ඉගෙනගන්න පටන් ගත්තෙ 1995 අවුරුද්දෙ. මම එතකොට පරිගණකයක් දැකලවත් නැහැ. ඒ දවස් වල විජය ළමා පත්තරේ තිබුණ ලිපි ටික තමයි කියෙව්වෙ. විජය පුවත්පත් සමාගමට මම අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා ඒ ලිපි පෙළ පළ කිරීම ගැන. ඒ ලිපි පෙළ තමයි මගේ පරිගණක අධ්‍යාපනයට මූලික අඩිතාලම දැම්මෙ. මට මතක විධියට ඒ ලිපි පෙළේ අන්තිම හරියෙ තිබුණ MS-DOS වලින් පරිගණකය ක්‍රියා කරවන ආකාරය ගැන. ඉතින් මම මෙහෙයුම් පද්ධතියක් විධියට මුලින් ඉගෙනගත්තෙ MS-DOS ගැන කියල කියන්න පුළුවන් (ප්‍රායෝගික ක්‍රියාකාරකම් නැතිව). පොඩි කාලෙ MS-DOS දුවන පරිගණකයකින් වැඩ කරන්න ආසාවෙ හීන බල බල හිටිය.

පසුකාලීනව පාසලේදි පරිගණක අතපත ගාන්න ලැබුණම මට පරිගණකය මැජික් වගෙ. මොකද එතකොට MS-DOS නෑ. පරිගණක බොහොමයක Windows 98ත්, කීපයක Windows 2000ත් තිබුණා. ප්‍රායෝගිකව සමහර දේවල් කරල බලල ඉගෙනගත්තා. ඒ දවස් වල ඉඳලම මගේ පුරුද්දක් තිබුණා පරිගණක තිරයේ දිස් වෙන හැම දෙයක්ම කියවන. කිසිම OK/Cancel බොත්තමක්වත් අදාළ පණිවුඩය නොකියවා ක්ලික් කළේ නැහැ (සමහරවිට අදහස නොතේරුණත්).

2003 අප්‍රේල් මාසෙ මගේ ම පරිගණකයක් පාවිච්චි කරද්දි මම පාවිච්චි කළේ Windows 98. ගොඩක් දෙනා මට Windows XP පාවිච්චි කරන්න කියල කිව්වත් මොකක් හරි හේතුවක් නිසා මට හරි ගියේ Windows 98. මම හිතන්නෙ මට පුරුදු ඒක නිසා වෙන්න ඇති. මම වැඩියෙන්ම කාලය ගත කළේ Windows වල තියෙන රහස් හොයමින්. ඒ දවස් වල අපේ පැත්තෙ වැඩිය අන්තර්ජාල භාවිතාවක් තිබුණෙ නැති නිසා මම අතපත ගාල හොයාගත්ත බොහෝ දේ බොහොමයක් දෙනා නොදන්න දේවල්.

Windows 98 සිට XPට මාරු වෙද්දි මට එක දෙයක් දැනිලා තිබුණා. භාවිත කරන්නාව තොටිල්ලෙ තියල නලවන ගතියක් Windows XP වලට ඇවිත් තිබුණා. විය යුත්තෙ එය වුණත්, මට නම් ඒක එච්චර හිතට ඇල්ලුවෙ නෑ.

කලක් යද්දි Windows XP වල පෙනුමට වහ වැටිල මම Windows 98 තියෙද්දිම XPත් ස්ථාපනය කරගත්ත. ටික ටික Windows XP වලට හුරු වුණාට පස්සෙ මුළුමනින්ම Windows XP වලට මාරු වුණා. ඔය කාලෙම තමයි මම සැරට එක එක දේවල් අත්හදා බලන්න පුරුදු වුණේ. සැරට කිව්වේ මම කළ දේවල් පරිගණකයෙ ස්ථාපනය කරල තිබුණ මෘදුකාංග වලට නරක විධියට බලපෑ නිසා. ඉතින් ඒ නිසා ඒ දවස් වල මාසෙකට කීප වතාවක් දෘඩ තැටිය format කරල නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන එක සාමාන්‍ය දෙයක් වෙලා තිබුණෙ.

2005 අවුරුද්දෙ මට මිත්‍රයෙකුගෙන් ලිනක්ස් ගැන දැනගන්න ලැබුණ. ඒ Ubuntu ගැන. ඉතින් මමත් ඒ දවස් වල තිබුණ Ubuntu Breezy Badger පිටපතක් ඉල්ලගෙන ස්ථාපනය කරල බැලුව. සිංදුවක්වත් අහන්න විධියක් නැති නිසා එපා වුණත් අළුතෙන් ඉගෙනගන්න ඒකෙ යම් දෙයක් තියෙන නිසා මගේ දෙවෙනි (secondary) OS එක විධියට දාල තියාගත්ත. ඒ කාලෙ Ubuntu පාවිච්චි කළේ කලාතුරකින්. දැන් තියෙනව වගේ පෙරළිකාර OS එකක් බවට Ubuntu පත් වේවි කියල ඒ දවස් වල නිකමටවත් හිතුණෙ නැහැ. Kubuntu හා Edubuntuත් ගෙන්වාගෙන පාවිච්චි කරල බැලුව. KDE ඒ දවස් වලම මට එපා වුණේ අනවශ්‍ය තරම් සැරසිලි වැඩි නිසා. (හැබැයි මේ සටහන ලියන්නෙත් KDE වල ඉඳගෙනම තමයි ;) )

මම තව තව මෙහෙයුම් පද්ධති අත්හදා බැලුව. මේ ඒවයින් කීපයක්.
  • Damn Small Linux
  • Puppy Linux
  • Knoppix
ඔය අතරෙ මම Windows Vistaත් දාල බැලුව. නමුත් ඒක දාපු දවසෙම එපා වුණා. Windows 7 නම් මගේ පරිගණකයට ස්ථාපනය කළේ නැහැ. කරන්නෙත් නැහැ. නමුත් Windows 7 පාවිච්චි කරන මිත්‍රයින්ගෙන් දැනගත් විධියට ඒක හොඳ මෙහෙයුම් පද්ධතියක් (Vistaට සාපේක්ෂව).

පසුව නිදහස් හා විවෘත මෘදුකාංග (FOSS) ගැන තරමක අවබෝධයක් ලබා ගත් පසුව මම තීරණය කළා කවදහරි ලිනක්ස් වලට සම්පූර්ණයෙන් මාරු වෙන්න. ඒත් මම ලිනක්ස් ගැන මොනවද දන්නෙ? මං දන්න ඉටිගෙඩියක් නෑ! ඒ නිසා සෑහෙන කාලයක් මම පාවිච්චි කළේ Windows/ Ubuntu ද්විත්ව ස්ථාපිතයක්.

ගිය අවුරුද්දෙ ඩනිෂ්කගෙන් Fedora ගැන දැනගත්තට පස්සෙ මම Fedora වලට මාරු වුණා. දැන් broadband අන්තර්ජාල සම්බන්ධතාවකුත් තියෙන නිසා කලින් වගේ දෙයක් හොයාගන්න අඳුරෙ අතපතගාන්න ඕන නැහැ. ඉතින් තීරණය කළා මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙන වැඩේ ඉක්මනින් ක්‍රියාවට නංවන්න. වින්ඩෝස් නැතිවම බැරි මොහොතක් ආවොත් VirtualBox තියෙනවනෙ. VirtualBox තියෙද්දි restart කරන්න කරදර වෙන්න ඕනත් නැහැ.

මේ සටහන අද ලිව්වෙ එක විශේෂ දෙයක් නිසා. මගේ පරිගණකයෙ අද සිට වින්ඩෝස් නැත. මුළු හාඩ් ඩිස්ක් එකම format කළා... දැම්ම Fedora. KDE 4.1 කොහොමද කියල බලන්නත් එක්ක KDE දැම්ම. මට නම් Gnome තරම් ගතියක් වෙන මොකකවත් නැහැ. KDE හොඳයි... හැබැයි ටිකක් slow motion වගෙ :D . ආයම Gnome වලට මාරු වෙන්නයි කල්පනාව.

ලංකාවෙ ලිනක්ස් ව්‍යාප්තිය දැන් තරමක් හොඳ තත්වයක තියෙනව කියල හිතෙනවා. අඩු ගානෙ spare wheel එක විධියටවත් ලිනක්ස් පාවිච්චි කරන එකෙක් අහළින් පහළින් හොයාගන්න පුළුවන් දැන්. මම ලිනක්ස් පාවිච්චි කරන්න පටන්ගත් දවස් වල ඒක එහෙම නැහැ. ලිනක්ස් වලට එන කෙනෙකුට ඉක්මනින්ම ලිනක්ස් එපා වෙන තත්වයක් ඒ දවක් වල තිබුණෙ. දැනටත් ලිනක්ස් වල user experience එක එතරම්ම සතුටුදායක තත්වයක නැහැ. ඒත් නිදහස ගැන, FOSS වල අරමුණ ලොවට යහපතක් කිරීම'ය කියන එක සිහි වෙනකොට මට කවදාවත් "Linux Sucks!" කියල කියන්න නම් හිත දෙන්නෙම නැහැ.

මෙන්න මේ වීඩියෝ එක බලන්න. බොහෝ දුරට මගේ OS මාරුවත් මේ වගේ කියල දැනෙනවා...



෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Tuesday, December 2, 2008

මගේ පරිගණක ඉතිහාසය හා පළමු Fedora අත්දැකීම

ම‍ට මේ ළඟදි ඩනිෂ්ක අයියගෙන් Fedora තැටියක් ලැබුණා. එකක් නෙවෙයි දෙකක්... පහුගිය සිකුරාදා CD එකක් හම්බ වුණා... අද දුන්නා DVD එකක්. මේ සූදානම Fedora ස්ථාපනය කරන්න.
---
මට ඔය අතරෙ හිතුණ මගේ පරිගණක පාවිච්චියෙ අතීතය ගැන මතක සටහනක් ලියන්න. මේක ටිකක් අමුතු පාවිච්චියක්. මොකද මේ ලැයිස්තුවෙ මුලින් තියෙන ඒව ආදි කාලෙ පරිගණක. මම පරිගණක ඉගෙනගත්තෙ ස්වොත්සාහයෙන් -- කවුරුවත් උගන්නලවත්, ඉගෙනගන්න බල කරලවත් නෙවෙයි. ඒ දවස්වල මගේ දැනුම අල්පයි වගේම උනන්දුව තිබුණෙ ක්‍රමලේඛණය ඉගෙනගන්න. ඒ නිසා මේව කියවල කවුරුත් මට හිනාවෙන්න එපා. ම්.. ම්.. ම්... මේ කතාව පටන් ගන්නෙ 2002 අවුරුද්දෙන්. මම සාමාන්‍ය පෙළට සූදානම් වෙන කාලෙ.

මුලින්ම මගේ ඥාතියෙක් පාවිච්චි කරපු Casio fx-5200-p වර්ගයේ එකක්. මේක ගොඩක් වෙලාවට කැල්කියුලේටරයක් වගේ. නමුත් නිෂ්පාදකයා දීපු අත්පොතේ තිබුණෙ Computer කියල. BASIC ක්‍රමලේඛණ භාෂාව භාවිතයෙන් ක්‍රමලේඛණය කරල පාවිච්චි කරන්නයි තිබුණෙ. මේකෙන් මම BASIC ක්‍රමලේඛණ භාෂාව ඉගෙනගත්තා. දැන් නම් BASIC භාවිත වෙන්නෙ නෑ. නමුත් ක්‍රමලේඛණය ඉගෙනගන්න පටන්ගන්න කෙනෙකුට BASIC ඉතාම හොඳයි. (ඒකනෙ Beginer's All purpose Symolic Instruction Code කියන්නෙ). පස්සෙ මම ඒක 'මස්' කරා.

2002 අන්තිමේ මට ලැබුණ තවත් කෞතුක වස්තුවක්. ඒක Atari 800 XL එකක්. ඒකත් පාවිච්චි කරන්න තිබුණෙ තමන් විසින්ම ක්‍රමලේඛණය කරගෙන. ක්‍රමලේඛණ භාෂාව වුණේ Atari Basic (BASIC වලම ව්‍යුත්පන්න ආකාරයක්). පෙනුමින් යතුරුලියනයක් වගේ. මොනිටරය වෙනුවට පාවිච්චි කරන්න තිබුණෙ ගෙදර රූපවාහිනිය :D. ඒකෙ තිබුණා ලොකු RAM එකක්, කිලෝබයිට් 64ක :D. අවශ්‍ය නම් කලින් සකස් කළ ක්‍රමලේඛ වැඩසටහන් අඩංගු කාට්රිජ් පාවිච්චි කර වැඩ ගන්නත් මෙහි පහසුකම් සලසා තිබුණා. මට මතකයි ඒත් එක්ක තිබුණා Microsoft Basic II කාට්රිජ් එකකුත්. මේකෙන් මට වැඩිය වැඩ ගන්න වුණේ නෑ සාමාන්‍ය පෙළ නිසා. මම ඒකත් මස් කළා. කුතුහලය තමයි මේ ඉලෙක්ට්‍රොනික මස්කඩ දැමීමට හේතුව.

මගේ පරිගණක පිස්සුව දැකල තාත්ත මට 2003 අප්‍රේල් මාසෙ පරිගණකයක් ගෙනත් දුන්න. ඒකෙ මෙන්න මේ දේවල් තිබුණ.
  • RAM - 128 MB SDRAM
  • VGA - 16 MB Shared
  • HDD - 20 GB IDE
  • CPU - 1.3 GHz AMD Duron
  • 52x CD-ROM Drive
  • Windows 98 OS
මේකෙන් ගොඩක් දේ ඉගෙනගත්ත. සැරින් සැරේ මස්කඩත් දැම්ම. මම කිසි කෙනෙක්ගෙන් උපදෙසක්වත් ගන්නෙ නැතුව තනියම පොතපත හොයාගෙන කියවල BIOS update, CPU overclocking වගේ 'ලොකු' දේවලුත් ප්‍රායෝගිකව කරල ඉගෙනගත්තා. පසුව Windows XP වලට මාරු වුණා. Windows XP hacks පවා තනියම හොයාගෙන අත්හදා බැලුවා. ඔය අතරෙ මට මිත්‍රයෙකුගෙන් ලැබුණ Ubuntu 5.10ත් පාවිච්චි කරන්න පටන් ගත්තා. Linux වලට මාරු වෙන්න පටන් ගත්තෙ ඒ කාලෙමයි. මොකද ඒ කාලෙම අවබෝධ කරගෙන තිබුණා Windows වල යම් යම් දේ restrict කරල තිබුණු බවත් 'ලොකු' දේවල් ඉගෙනගන්න නම් Linux වලට යා යුතු බවත්. නමුත් ලොකු ගැටළුව වුණේ සිංදු අහන එක :D. ඒ නිසා Ubuntu/ Windows dual boot.

කාලෙන් කාලෙට ඒක upgrade කරල දැන් තියෙන්නෙ මෙහෙම. හැබැයි දැන් පාවිච්චි කරන්නෙ මම නෙවෙයි.
  • RAM - 256 MB DDR1
  • VGA - 16 MB Shared
  • HDD - 80 GB SATA, 40 GB IDE
  • CPU - Intel Celeron 2.53 GHz
  • 52x CD-ROM Drive
  • CD-RW Drive
  • TV Card
  • SLG Ubuntu/ Windows XP Dual Boot

2007 දෙසැම්බර් වල මම ගත්ත Acer Aspire 4315 ලැප්ටොප් එකක්. ඒක තමයි දැනටත් පාවිච්චි කරන්නෙ. නිෂ්පාදකයා එවන්නෙ Linpus Linux දාල. ඒ වුණාට මෙහෙදි විකුණන්න කලින් දානව Windows XP ව්‍යාජ පිටපතක් :D. මම Windows Vista දමාගෙන බැලුව හිතට හරි නෑ.. ඒ නිසා ආයෙම Windows XP වලට මාරු වුණා. ඒ ගමන් දැම්ම Ubuntu. දැන් මෙහෙමයි.
  • RAM - 512 MB DDR2
  • CPU - Intel Celeron 1.73 GHz
  • HDD - 120 GB SATA
  • DVD-RW Drive (Dual Layer)
  • Windows XP/ Ubuntu 8.10 Dual Boot

ඒ තමයි මගේ පරිගණක ඉතිහාසය. මේ මැෂිම මං දැන් අවුරුද්දක් පුරාවට පාවිච්චි කරනව. මම ලොකු ශක්‍යතාවක් තියෙන, posh රැස් විහිදෙන පරිගණක වලට නොයන්න හේතුව මගේ මූලික අවශ්‍යතාවය වන ක්‍රමලේඛණය ඉගෙනීමට පොඩි පරිගණකයක් ප්‍රමාණවත් වීම. මම VirtualBox පාවිච්චි කරන නිසා ළඟදි RAM එක විතරක් upgrade කරන්න අදහසක් තියෙනව. ඊට පස්සෙ Windows/ Linux dual boot නෑ. :)
---
දැන් එමුකො Fedora කතාවට,
පහුගිය සිකුරාදා ඩනිෂ්ක අයිය දීපු අළුත් Fedora CD එක දාල පැය ගාණක් කට්ට කෑව Fedora දාගන්න. එතකොට තමයි දන්නෙ මගේ DVD Writer එක අවුල් කියල. මැෂිම Metropoliton ගෙනියන්න වෙයි වගේ.. warranty එකෙන් මොකක් හරි කරගන්න. කොහොම හරි අමාරුවෙන් Fedora boot කරගත්තා. මෙන්න ස්ථාපනය කරන්න යනකොට කියාපි input/output error කියල. ඔන්න ඔහොමයි පළමු Fedora අත්දැකීම.



දැන් මොකෝ කොරන්නෙ... අද ඉල්ලගත්ත DVD එකක්. දැන් ඒක දාල බලන්නයි සූදානම. ටික දවසක් Fedora වලට හුරු වෙනකම් Windows/ Ubuntu / Fedora තුනම පාවිච්චි කරනවා. මේ තියෙන්නෙ ඒ ගැන ලිව්ව (ටිකක් තාක්ෂණික) සටහන. ඊට පස්සෙ Fedora/ Windows තමා. RAM එක ගත්තට පස්සෙ Windows on Fedora වෙයි. :)

Fedora මේ දැන් install කරනු ලැබේ...!

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Tuesday, November 11, 2008

සෝඩියම් කුට්ටිය

මට මතක් වුණා පාසල් යන කාලෙ පොඩි සිද්ධියක්. මම එතකොට 10 වසර. අපට තිබුණා විෂයයක් විද්‍යාව හා තාක්ෂණවේදය කියල. දැන් නං කොහොමද දන්නෑ. ඒකෙ තිබුණ පොඩි පරීක්ෂණයක් - මහ ලොකු දෙයක් නෙවෙයි. සෝඩියම් ලෝහය ජලයත් එක්ක වේගවත්ව ප්‍රතික්‍රියා කරන හැටි පෙන්නන්න. පොතේ තිබුණෙ වතුර බේසමකට මුං ඇටයක තරමේ සෝඩියම් කෑල්ලක් දාන්න කියල. හේතුව මේක තරමක භයානක වැඩක් නිසා.

---

අපේ පංතියෙ (10 B) තමයි ඇට්ටරයො ටික හිටියෙ. අපේ ඇට්ටර ගැන් එකේ එකෙක් දවසක් පාසල් විද්‍යාගාරයෙන් සෝඩියම් කුට්ටියක් හොරකම් කරල. රසායන ද්‍රව්‍ය ගබඩා කරල තියෙන කොටසට මොනම හේතුවක් මත වත් ශිෂ්‍යයින්ට යන්න දෙන්නෙ නෑ. ඒත් මේකා ගුරුවරුන්ටත් නොදැනී කොහොමහරි එතැනට ගිහින්!

---

අපේ කස්ටියට යෝජනාවලිය ගෙනාවම ඒක ඉහළින්ම සම්මත වුණා. ඒ දවස්වලම පරණ පොත්පත් වලින් සෝඩියම් වල ඉතිහාසය ගැන කියවල දැනගෙන තිබුණු නිසා මම වැඩේට විරුද්ධ වුණත් විරුද්ධතාව පෙන්නුවෙ නැහැ නෝන්ඩි වෙයි කියල බයට. ඒ සියල්ල පරයමින් නැග ආ කුතුහලය නිසා මමත් කස්ටිය යන තැනට හෙමින් සේන්දු වුණා. උස්සපු සෝඩියම් කෑල්ල රබර් ඇටයකට වඩා ටිකක් ලොකුයි. තව එකෙක් කොහෙන්ද මන්ද මළකඩ කාපු පොඩි නෙස්ටොමෝල්ට් ටින් එකක බාගයක් විතර පිරෙන්න වතුර අරගෙන ආව. අපි 15ක් විතර වටේට වට වුණා. මහමොළකාරය අර සෝඩියම් කුට්ටිය පිටින් වතුර එකට දැම්ම!!!

අපි කුතුහලයෙන් යුතුව බලාගෙන හිටිය. සෝඩියම් කුට්ටිය වතුර උඩ පාවෙමින් එහාට පැන්න - මෙහාට පැන්න - කහපාට දැල්ලක් දැම්ම - මහ හඬක් නගමින් පුපුරා ගියා. සියල්ලටම ගත වුණේ එක නිමේෂයයි. ටින් එක තිබුණු තැනක්වක් හොයාගන්න නෑ. කස්ටිය සී සී කඩ විසිර ගියා. හොඳ වෙලාවට කාටවත් අනතුරක් වෙලා තිබුණෙ නෑ.

---

පස්සෙ මේ වැඩේ කොහොම හරි ලීක් වෙලා තිබුණ. විද්‍යාගාරය භාර ගුරුතුමියගෙන් හොඳ හැටි අහගත්තා. දඬුවම වුණේ පාසල් විද්‍යාගාරය මාස හයකට තහනම් වීම. කොහොම වුණත් අන්තිමේ වැඩේ කස්ටියට මාර ආතල් එකක් ගෙන දුන්නා.

---

සිද්ධියෙ මහමොළකාරය ශිෂ්‍යත්වයක් ලැබිල දැන් ජපානයේ ඉංජිනේරු විද්‍යාව හදාරනව. ඔහු සමහරවිට බුද්ධි ගලනයට තවත් එක් උදාහරණයක් වේවි.


Sunday, October 19, 2008

Sri Lanka Flag Screen Saver

මේක මම 2007 අවුරුද්දෙ Visual Basic 6.0 භාවිත කරමින් කළ නිර්මාණයක්. මම මෙහෙම දෙයක් කරන්න හේතු වුණේ මීට කලින් මේ වගේ ‍නිර්මාණයක් දැක නොතිබීම. සජීවීකරණය Macromedia Flash වලින් හදපු එකක්. මම ග්‍රැෆික් නිර්මාණකරණයේ එතරම් දක්ෂයෙක් නොවන නිසා ඒක හිතපු තරම් ලස්සනට හදන්න බැරි වුණා.
Screen Saver නිර්මාණය කරන්න පුළුවන් මෘදුකාංග වෙනම තිබුණත් ඒවායින් හදන screen savers වල කොතැනක හරි ඒ මෘදුකාංගයේ නම සඳහන් වෙනවා (Created with @#$%^^). ඒ වගේම ප්‍රකාශන හිමිකම් සඳහන (Copyright Notice) බලන්න. නමුත් මේ screen saver එකේ එහෙම වෙනත් මෘදුකාංගයකින් නිර්මාණය කරපු බවක් දක්වල නෑ.


---

Linux සඳහා screen savers නිර්මාණය කරන්නෙ කොහොමද කියල මම මේ දවස් වල හොයනව. දැනගත්ත දවසක මේක මම නැවත Linux සඳහා නිර්මාණය කරල බෙදාහරිනව GNU/GPL යටතේ.

---








~ ශාකුන්තල ~