Showing posts with label කාලීන. Show all posts
Showing posts with label කාලීන. Show all posts

Thursday, December 23, 2021

උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව]

"උඹට කොහොමද බං ඕක සෙට් වුණේ?"

මේක ගොඩක් අය මගෙන් අහපු දෙයක් නිසාත්, මෑතක ඉඳලා යාළුවෝ කීප දෙනෙක්ම මට මැසේජ් කරලා නෙදර්ලන්තයට සංක්‍රමණය වෙන්නෙ කොහොමද කියලා අහපු නිසාත් මාස කීපයකට කලින් මම ට්විටර් එකේ ඒ ගැන පොඩි හෑල්ලක් ලිව්වා. ඒ හෑල්ල අද මම බ්ලොග් එකේ ලියනවා විස්තර කරලා.

‍මෙම සටහන 2021 වසරේ තැබූ එකක්. 30% බදු සහනය පිළිබඳ මෙහි දැක්වෙන සමහර තොරතුරු 2024 වසරේ සිට වලංගු නොවන බව කරුණාවෙන් සලකන්න. දී ඇති නිළ වෙබ් අඩවි වලින් වත්මන් තත්වය දැනගැනීමට පුළුවනි.

Philips Stadion - Eindhoven

වෙන රටකට සංක්‍රමණය වෙන්න අපි කැමති වුණා කියලා අපිව බාරගන්න ඒ රටවල් එහෙම එකපාර කැමති වෙන්නෙ නැහැ. ඒ රටටත් වාසියක් වෙන විදියේ, රටට අවශ්‍ය කෙනෙක්ව ගෙන්න ගන්න තමයි ගොඩක් රටවල් වැඩියෙන් කැමති. ඉතින් නෙදර්ලන්තයත් එහෙමයි [1]. ඒ නිසා අධ්‍යාපනය හෝ වෘත්තීය දක්ෂතා අතින් ඉතාම ඉහළින් ඉන්න, නෙදර්ලන්තයේ රැකියා වෙළඳපොළ ඇතුළේ සොයාගන්න දුර්ලභ නිපුණතාවන් තියෙන අයව නෙදර්ලන්තයට ආකර්ෂණය කරගන්න නෙදර්ලන්ත රජය ක්‍රමයක් හඳුන්වලා දීල තියෙනව. ඒ අනුව, ඉහළ සුදුසුකම් තියෙන අයට සහ විද්‍යාත්මක පර්යේෂණ වල නියැලෙන අයට රැකියා බලපත්‍රයක් (work permit) නැතුව නීත්‍යානුකූලව නෙදර්ලන්තය ඇතුලේ රැකියාවක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. මේ අයට කියන්නෙ highly skilled migrant (kennismigrant) කියලා. මීට සමගාමීව, නෙදර්ලන්ත රජයේ තීරණය මත 30% ruling කියන වාසියත් ලබාගන්න පුළුවනි.

Thursday, December 16, 2021

තට්ට හිසට පිළියමක් | Hair loss; what now?

ඉස්සර කාලේ මේ බ්ලොග් එක කියවපු අය දන්නවා ඒ කාලේ මගේ හැඩහුරුකම මොන වගේද කියල. යාන්තමට කැරළි ගතියක් තිබුණු දිග කොණ්ඩයක් තිබුණෙ. නමුත් කාලයක් යද්දි කොණ්ඩේ ටික ටික ගැලවිලා ගිහින් මම දැන් තට්ටයෙක්. ඉතාම ඉක්මනින් සිදුවුණු ඒ වෙනස්කම මටත් මුලදි දරාගන්න අමාරු දෙයක් වුණා. ගොඩක් අය තට්ටෙට විසඳුම් හොය හොයා ලත වෙන නිසා මට හිතුණා මගේ අත්දැකීමත් නිගමනයත් මෙතන ලියලා තියන්න.

 

ඔන්න කාලය මැව් වෙනසක අරුමය 😁

Wednesday, April 16, 2014

සැබෑ වූ බියකරු සිහිනය | Heartbleed

මම ලිව්ව අන්තිම බ්ලොග් සටහන නතර කළේ හොල්මන් කතාවෙ තාක්ෂණික පසුබිම ගැන හොඳට පැහැදිලි කරනව කියල. නමුත් සතියකට විතර කලින් දවසක මතු වෙච්ච, අන්තර්ජාලයෙන් තුනෙන් දෙකකට විතර බලපාන බරපතල ප්‍රශ්නයක් නිසා මට හොල්මන් කතා ලිවිල්ල පැත්තක තියල ඒ ගැන පොඩ්ඩක් හොයල බලල ලියන්න හිතුණා. මේක තාක්ෂණික ලිපියක් වගේ පෙනුනට මේක ලියන්නෙ ටෙක්නිකල් අයට නෙමේ. එදිනෙදා බැංකු කටයුතු කරගන්න, සෙට් වෙන්න (social networking), ෂොපින් යන්න අන්තර්ජාලය පාවිච්චි කරන ඔන්ලයින් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්. :) (ඒ නිසා ටෙක්නිකල් පොරවල් වලට මේක බෝරිං වගේ පේන්නත් පුළුවන්)

Image courtesy: heartbleed.com
වැඩි විස්තර වලට යන්න කලින් කෙටිම හැඳින්වීමක් කළොත්, "හාට්බ්ලීඩ් කියන්නේ අන්තර්ජාලයේ වෙබ් අඩවි වලින් තුනෙන් දෙකක පමණ තොරතුරු ආරක්ෂාව පිළිබඳ මෘදුකාංගයක පවතින, දීර්ඝ කාලීනව හඳුනා නොගත් දෝෂයක් හේතුවෙන් රහසිගත දත්ත සූක්ෂම අයුරින් බාහිර පාර්ශව අතට පත් වීමේ අවදානමක්" ලෙස හඳුන්වන්න පුළුවන්. අන්න ඒක සිංහලෙන් විස්තර කරන්නයි මේ වෑයම.

කවුරුත් දන්නවනේ HTTPS කියන එක ගැන. Facebook යද්දි වෙබ් බ්‍රවුසරේ අර ඉබ්බා (padlock) මාක් එකක් එන්නේ... අන්න ඒ ඉබ්බා (ගෙ නිරූපිතය) කියල හිතාගන්නකො දැනට. සාමාන්‍යයෙන් අපි දන්න හැටියට මේ ඉබ්බා තියෙනව කියන්නෙ ඒ වෙබ් අඩවිය ආරක්ෂිතයි. වෙන අය කාටවත් අපි ජාලගත වෙලා කරන දේ හොයන්න බෑ. උදාහරණයක් විධියට, මම username/password දීලා Facebook එකට ලොග් වෙනව නං, මගේ පරිගණකය (client) සහ Facebook වෙබ් අඩවිය වැඩ කරන මැසිම (server) විතරයි ඒ username/password දැනගන්නේ මේ ඉබ්බා තියෙද්දි. ඉලෙක්ට්රොනික විධියට එහා මෙහා යන දත්ත, ෆෝන් ටැප් කරනව වගේ වැඩක් කරල තෙවැනි පාර්ශවයකට (හොරෙකුට) ග්‍රහණය කරගන්න පුළුවන් වුණත්, ඒ දත්ත රහස් අංකනයට (encrypt) ලක් කර ඇති නිසා ඒවා username/password ලෙස කියවන්න කිසිම බාහිර පාර්ශ්වයකට බැහැ.

ඕක තමයි අපි මෙච්චර කාලයක් විශ්වාසයෙන් යුතුව පාවිච්චි කරපු සම්මුතිය (SSL/TLS protocol). හැබැයි, මෑතකදි පර්යේෂකයින් කණ්ඩායමක් හොයාගෙන තියෙනවා ඔය ඉබ්බා කඩන්න පුළුවන් කියල! නරකම ආරංචිය තමයි, ඉබ්බා කඩන්න පුළුවන් කියල ප්‍රසිද්ධියේ කවුරුත් නොදැන අවුරුදු දෙකක්ම ගෙවිලා ගිහින් කියන එක. ඒ කියන්නේ ඉබ්බා කඩන්න පුළුවන් කියල කවුරුහරි හොරෙක් (හැකර් කෙනෙක්) දැනගෙන, ඒ බව ප්‍රසිද්ධ නොකර හිටියා නම් ඒ හොරා සෑහෙන ප්‍රයෝජනයක් ඒ හැකියාවෙන් අරන් තියෙන්න ඉඩ තියෙනවා.

Sunday, January 19, 2014

CV එක පිළිවෙලකට හදමු

Image courtesy: mathieuloiseau.deviantart.com
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් අවුරුදු දෙකහමාරක විතර අත්දැකීම් අනුසාරයෙන් කාටත් වැදගත් වෙන දෙයක් ලියන්න හිතුණා. උපාධියක් හදාරණ කෙනෙකුගෙ ඊළඟ අරමුණ රැකියාවක් සොයා ගන්න එක. තොරතුරු තාක්ෂණ උපාධි කරන අයගෙන් නම් වැඩිම පිරිසක් (මාත් ඇතුළුව) තෝරාගන්නෙ තොරතුරු තාක්ෂණ කර්මාන්තය - පුරුදු විදිහට කිව්වොත් IT industry එක.

මේ අයට ඊළඟට මුහුණදෙන්න වෙන අභියෝගය තමයි ‘හොඳ‘ රැකියාවක් සොයාගන්න එක. ඔය කිව්ව ‘හොඳ‘ එක එක පුද්ගලයා රැකියාවෙන් බලාපොරොත්තු වෙන දේවල් අනුව වෙනස් වෙනවා. කොහොම වුණත්, කෙනෙකුට තමන් බලාපොරොත්තු වෙන රැකියාවම ලබාගන්න නම් අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව තව තව දේවල් කීපයක් බලපානවා. මනෝවිද්‍යාවේ කියන first impression කතන්දරයෙ හැටියට, රැකියාවකට අයදුම් කරන කෙනෙක් ගැන, යම් ආයතනයක් යහපත් හැඟීමක් ඇති කරගන්න තියෙන ප්‍රථම සාධකය මොකක්ද? CV එක. කෙනෙක් රැකියාවක් බලාපොරොත්තුවෙන් යම් ආයතනයකට මුලින්ම යවන්නෙ CV එකක්. ඒක කියවලා බලන කෙනා අයදුම්කරු ගැන හැකිතාක් හොඳ චිත්තරූපයක් මවාගන්න ආකාරයට CV එක හදල තිබුණොත් සම්මුඛ පරීක්ෂණයකට කතා කරයි. නැත්තං අවුට්.

CV එක පිළිවෙලකට වගේම නිරවුල්ව තියෙනවා නං ඒක කියවන කවුරු වුණත් ආසයි. නමුත් අවාසනාවකට මෙතෙක් මගේ අතට ලැබිලා තියෙන CV වලින් වැඩි හරියක තත්වය ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. මම මේ කියන්නෙ internship සහ උපාධියෙන් පස්සෙ පළවෙනි රැකියාවට අයදුම් කරන අය ගැන. ඒ නිසා මම හිතුවා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට එන්න හිතාගෙන ඉන්න අයට උදව්වක් විදිහට CV එක, නැත්නම් වෘත්තීයමය සුදුසුකම් පිළිබඳ සාරාංශ සටහන හදනකොට සැළකිලිමත් විය යුතු දේවල් කීපයක් ගැන ලියන්න.

Tuesday, May 11, 2010

විකිපීඩියා | Wikipedia

විකිපීඩියා කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් හඳුන්වල දෙන්න අවශ්‍ය නැහැනේ... අද මම කල්පනා කළා මේ ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළ හැකි, ලොව වැඩි දෙනෙක් විශ්වාසය තබන, ලොව විශාලතම නිදහස් විශ්වකෝෂය ගැන පොඩි විස්තරයක් සරලව ලියන්න. ඇත්තෙන්ම කියනව නම්... මේ දවස් වල විකිපීඩියාවට ශාකුන්තලගෙ බැල්ම වැටිලයි තියෙන්නේ... :P

මට විකිපීඩියාව සෙට් වුණෙත් හරි අපූරු විධියකට. විකිපීඩියාවෙන් අපමණ දේවල් මෙතෙක් ගත්තට අබමල් රේණුවක දෙයක් ඒ වෙනුවෙන් ලියලා තිබුණෙ නෑ. මේ කාලේ මගේ 'ඉන්ටර්න්ෂිප්' කාලේ නොවැ... ආධුනිකයෙක් විධියට මට වැඩ කරන්න අවස්ථාව ලැබිල තියෙනවා ආසියා-පැසිෆික් ටෙලිසෙන්ටර් ජාලය (APTN) සම්බන්ධයෙන්. කලාපීය වැදගත්කමක් තියෙන මෙහි මහලේකම් කාර්යාලය (secretariat) පිහිටුවා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ. මම APTN වැඩ වලට සම්බන්ධ වෙන්න කලින් ඒ පිළිබඳව යම් හැදෑරීමක් කළ යුතු වුණා. ඉතින් APTN වෙබ් අඩවියෙන් පසු නිතැතින්ම මම යොමු වුණේ විකිපීඩියාවට. කෝ..? අපේ මාතෘකාව ගැන සඳහනක් නෑ...! මේ වගේ ලෝකවාසීන් දැන ගත යුතු, ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් කාරණාවක් සම්බන්ධයෙන් විකිපීඩියා ලිපියක් නැති එක මට පෙනුණේ සැලකිය යුතු අඩුපාඩුවක් විධියට. ඔන්න ඔහොමයි විකිපීඩියාවට ලිවීමෙන් දායක වෙන වැඩේ සෙට් වුණේ.

ආපහු එමු මාතෘකාවට... විකිපීඩියාවේ තියෙන වඩාත්ම සිත්ගන්නාසුළු ලක්ෂණය තමයි එහි නිදහස් බව. ඒ කියන්නේ ඕනම කෙනෙකුට වැඩිදියුණු කරන්න පුළුවන්. හැබැයි මේ සියල්ල සිදු වෙන්නේ මනා පරිපාලනයක් සහිතවයි. සරල සිංහලෙන් කිව්වොත් පිස්සු කෙළින්න බෑ. ඉතින් මට අවශ්‍ය වුණේ ආසියා-පැසිෆික් ටෙලිසෙන්ටර් ජාලය ගැන ලිපියකින් විකිපීඩියාවට දායක වෙන්න. ඒ අත්දැකීම් මගේ බ්ලොග් එකේ ලිපියක් විධියට මේ ලියන්නේ විකිපීඩියාවට ලිපි ලියන්න තවත් අයව උනන්දු කරවන්න සහ, විකිපීඩියාව අළුත් අයට උදව්වක් වශයෙනුයි.

විකිපීඩියාවට මුල්වරට ලිපියක් ලියද්දී සැළකිලිමත් විය යුතු කාරණා කීපයක්ම තියෙනවා. තමන් විසින් ලිපි ලියන්න බලාපොරොත්තු වෙන විෂය ක්ෂේත්‍රය පිළිබඳ සැළකිය යුතු දැනීමක් තිබිය යුතුයි. කිසිම තේරුමක් නැති, nonsense වගේ පේන්න පේළි දෙකෙන් තුනෙන් ලියන අළුත් ලිපි විකිපීඩියාවෙන් ඉවත් කෙරෙන්න තියෙන සම්භාවිතාව ඉතා වැඩියි. අදාළ විෂය ක්ෂේත්‍රය ගැන ප්‍රවීණයෙක් වීම අවශ්‍ය නැහැ. දැනුම සහ ගවේෂණය කිරීමේ උනන්දුව තිබුණාම හොඳට ඇති.

මාතෘකාව තෝරගත්තට පසුව ඊළඟට කරන්න තියෙන දේට සරල භාෂාවෙන් කියන්නේ RTFM කියලා. :D දී ඇති උපදෙස් වරක්, දෙවරක් හොඳින් කියවන්න. ඇත්තෙන්ම කියනවා නම්, විකිපීඩියාවට ලිපි ලියන්න දැනගන්න ඕනේ අදාළ විෂය ක්ෂේත්‍රය හැරුණාම භාෂාව විතරයි. HTML, CSS, feed වගේ මළ ඉලව් ඕනෙ නැහැ. වැඩේ බ්ලොග් ලියනවට වඩා පහසුයි!

අදාළ මාතෘකාව යටතේ ලියැවුණු ලිපියක් දැනටමත් තියෙනවද කියල සොයා බලන්න. උදාහරණයක් විධියට ගනිමු අපි ලංකාවේ තියෙන හුම්මානය. ඒ ගැන ලියැවුණු ලිපියක් විකිපීඩියාවෙ දැනට නැහැ (සෙවුම් ප්‍රතිපල බලන්න). අපට ඊට අදාළව ලිපියක් ලියන්න පුළුවන් නම් "You may create the page Hummanaya," කියලා තියෙන රතු සැබැඳිය ක්ලික් කරලා, එවෙලෙම ලිපිය ලියලා, ලියූ වහාම අන්තර්ජාලයට නිදහස් කරන්නත් පුළුවන්.

නමුත්, පළමු වරට විකිපීඩියාවට ලිපියක් ලියන කෙනෙක් මේ විධියට 'එකවරම' ලිවීම සුදුසු නැහැ. විකිපීඩියාවේ 'ලිපි ඉඩ' (Article Spaces) වර්ග කිහිපයක් තියෙනවා. ඔය මුලින් කිව්ව විධියේ ලිවව් ගමන් අන්තර්ජාලයට නිදහස් වෙන තැන හැඳින්වෙන්නෙ Public Article Space කියලා. එතැන සකස් කළ ලිපියක් අන්තර්ජාලයට නිදහස් කළාම ඩෝං ගාලා අතෑරියා වගේ... හැම දෙනාටම පේනවා. ලියන ලිපිය විකිපීඩියාවේ තියෙන ප්‍රමිතීන් වලට අනුකූල නොවුණොත් ලිපිය මකා දැමෙන්නට තිබෙන සම්භාවිතාව වැඩි නිසා, විකිපීඩියාවට නවක අය මේ පොදු ඉඩ එකවරම පාවිච්චි නොකිරීම වඩාත් සුදුසුයි.

බිත්තර කටුවක් ඇතුලේ විකසනය වෙන කුකුළු කළලයක් වගේ, විකිපීඩියාව ඉගෙනගන්නා ගමන් ලිපියක් ක්‍රම ක්‍රමයෙන් ගොඩනගන්න 'පරිශීලක ඉඩ' (User Space) භාවිත කිරීමෙන් පුළුවන්. මෙහි ලියන ලිපි සෙවුම් යන්ත්‍ර වලින් සූචිගත කෙරෙන්නේ නැහැ. ඒ වගේම වැඩිය කාටවත් දකින්න ලැබෙන්නෙත් නැහැ. මම ආසියා-පැසිෆික් ටෙලිසෙන්ටර් ජාලය ගැන ලිපිය ටිකෙන් ටික ගොඩනැඟුවේ ඒ ආකාරයෙන්. පරිශීලක ඉඩ කොටසේ ලිපියක් ආරම්භ කරන්න, http://en.wikipedia.org/wiki/User:ඔබේ පරිශීලක නම/ලිපියේ මාතෘකාව ආකාරයේ වෙබ් ලිපිනයක් වෙත යාමෙන් පුළුවන්. උදාහරණයක් ලෙස, http://en.wikipedia.org/wiki/User:Shaakunthala/Asia-Pacific_Telecentre_Network යන තැන තමා මගේ මුල්ම ලිපිය මම සකස් කළේ.

මේ විධියට ලිපිය ටිකෙන් ටික සකස් කරද්දි අත්දැකීම් ඔස්සේ විකිපීඩියාවේ තියෙන 'එක එක දේවල්' ටිකෙන් ටික ඉගෙනගන්න පුළුවන් වෙයි. අපට පිටින් පෙනෙනවට වඩා මහා දැවැන්ත යාන්ත්‍රණයක් විකිපීඩියාව ඇතුලේ ක්‍රියාත්මකයි. මේකෙදි අපට වැඩ කරන්න වෙන්නෙ ගෝලීය ප්‍රජාවත් එක්ක. අනිත් අයගේ අදහස් එක්ක ඔට්ටු වෙවී තමයි වැඩ කරන්න වෙන්නේ. හැබැයි අපේ අය ලංකාවේ එක එක ෆෝරම් වල දාන දෙකයි පනහේ චණ්ඩි පාට් මේකේ දැම්මොත් සති දෙකෙන් නොකවුට්!

ලිපිය සකස් කරලා අවසානයේ ඒක පොදු ලිපි තියෙන කොටසට පහසුවෙන් මාරු කරන්න පුළුවන්. ලිපි ලියද්දී මහා බර වචන ඕනෙ නැති වුණත්, සාමාන්‍ය ලිඛිත භාෂාව යොදා ගැනීමයි සම්මතය. ඒ වගේම ඉදිරිපත් කරන සියළුම කරුණු සාක්ෂි සහ යොමු සටහන් (citation) සහිතව ඉදිරිපත් කිරීමත් විකිපීඩියාව අපේක්ෂා කරනවා. ඒ වගේම අපක්ෂපාතී ලෙස කරුණු ඉදිරිපත් කිරීම කළ යුතුයි. මේ ගුණාත්මක බව නිසාවෙන් තමයි ලොව අන්තර්ජාලය භාවිත කරන අති බහුතරය විකිපීඩියාව ඉතා ඉහළින් සලකන්නේ.

ඉතින්, විකිපීඩියාවට දායක වෙද්දි මම ඉගෙනගත් දේවල් වලින් බිඳක් බලාගන්න පුළුවන් User_talk:Shaakunthala කියෙව්වොත්. මේ talk pages, නැතිනම් සාකච්ඡා පිටු වල තමා ලිපි වල තිබෙන කරුණු, අන්තර්ගතයේ බලපත්‍ර සම්බන්ධ ගැටළු ආදිය ගැන සංවාද ඇති වෙන්නේ. මේක ඉතින් වචනයෙන් කියනවට වඩා හොඳයි තමා ම කරල බලන එක. ප්‍රජා දායකත්වය සහ සන්නිවේදනය හරිම අපූරුයි! :-)

මම මේ ලිපිය ලිව්වේ සිංහල විකිපීඩියාවට දායක වීම ගැන යමක් ලියන්න ප්‍රවේශයක් විධියට. මම පෞද්ගලිකව විශ්වාස කරන හැටියට, කෙනෙකුට මුලින්ම විකිපීඩියාව ඉගෙනගන්න සදුසු ඉංග්‍රීසි විකිපීඩියාව. ඒ සිංහල සිප්යුරු වදන් වල නුහුරු බව නිසා ඇති විය හැකි ගැටළු මඟහරවා ගන්නත්, විකිපීඩියා උදව් පිටු තවම සම්පූර්ණයෙන් සිංහලයට හරවා නැති නිසාත්.

සිංහල විකිපීඩියාව පැත්තෙත් මම මේ දවස් වල සක්මනේ යෙදෙනවා... මේ මගේ සිංහල පිටුව.
ඉදිරි ලිපියකින් සිංහල විකිපීඩියාවේ දැන් තත්වය, සිංහල බ්ලොග්කරුවන් සහ බ්ලොග් කියවන්නන් ලෙස අපට ඒ වෙනුවෙන් දැක්විය හැකි දායකත්වය පිළිබඳ ලිපියක් ඉදිරි දිනයකදී ලියන්න මම බලාපොරොත්තු වෙනවා.

ප්‍රයෝජනවත් විය හැකි සබැඳි (මේවා ඉතා හෙමින්, ඉතා හොඳින් කියවන්න):
විකිපීඩියාවට අන්තර්ජාලය තුළ හිමි වී ඇති තත්වය කියා පාන එක සාධකයක් එහි Alexa Rank එක.

මගේ අත්දැකීමෙන් දුටු අනෙක් කාරණය... මම ලියූ Asia-Pacific Telecentre Network ලිපිය නිදහස් කරලා මිනිත්තු 15ක් ඇතුළත Google හි සූචිගත වෙලා සෙවුම් ප්‍රතිපල වල දෙවන පිටුවටත් පැමිණීම...! O_o

Tuesday, April 6, 2010

එන්න, නිදහස අත්විඳින්න මා සමඟ...

ආයුබෝ...! ආයෙමත්, ටික දවසකට පස්සේ ඔන්න ආවා බ්ලොග් එක පැත්තේ. මේ ලියමන තාක්ෂණය සම්බන්ධ එකක් වුණාට මේක කියවන්න ගීක්ලා වෙන්නම ඕනෙ නෑ. :-) මේ ලිපියේ කොටස් දෙකයි... පූර්වභාගය මගේ අත්දැකීම්... අපර භාගය සමාජයට පොඩි පණිවුඩයක්.

මම සම්පූර්ණයෙන්ම ලිනක්ස් වලට මාරු වෙලා දැන් මාස දහයකටත් කිට්ටුයි. මේ කාලය ඇතුළත මම අළුතෙන් බොහොමයක් දේවල් ඉගෙනගත්තා. “වෙනස් වීම” – බැරැක් ඔබාමා දිනවූ වචනය – ක්‍රියාවට නංවන එක අමාරු කාරියක්. නමුත් ස්වයංව වෙනසට ලක්වීමේදී තමයි අභියෝග වලට මුහුණදීම ගැන හොඳ ප්‍රායෝගික පුහුණුවක් ලැබෙන්නෙත්. මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙලා දෛනික පරිගණක කටයුතු කරගැනීම අමාරුයි නේද කියන එක බොහෝ දෙනා මගෙන් අසා තිබුණු ප්‍රශ්නයක්. මගේ උත්තරය, මුල් කාලේ නම් ටිකක් ඔව්, ඒත් දැන් නම් එහෙම නෑ කියන එක. සමස්තයක් වශයෙන්, ලිනක්ස් වල වැඩ කිරීම කොහොමටත් අමාරු කාරියක් නෙවෙයි. වෙනසට ලක් වීම අමාරුයි. ඒත් වෙනසට ලක් වුණාට පසුව අනුගමනය කළ යුතු සාමාන්‍ය පිළිවෙත් සහ රටාවන් (practices) වලට හුරු වුණාම, මුලින් හිටපු තත්වයට වඩා පහසු බවක් දැනෙන්නේ.

මම දෛනිකව පාවිච්චි කරන මෘදුකාංග ගැන සඳහනක් මීට කලකට ඉහතදි පළ කළා. ඇත්තෙන්ම මේ ලැයිස්තුව දැන් යල් පැනලා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් එක්ක මගේ තිබුණු බැමි කීපයක්ම දැන් බිඳිලා ගිහින්. ලිනක්ස් වලට මාරු වුණු මුල් කාලේ යම් යම් අවශ්‍යතා සඳහා ඉඳහිට වින්ඩෝස් පාවිච්චි කරන්න අවශ්‍ය වුණා. පරිගණකය ප්‍රතිපණගන්වන්න කම්මැලි නිසා මේකට පාව්චිචි කළේ Sun VirtualBox මත Windows XP. නමුත් පහුගිය කාලය ඇතුළත, වින්ඩෝස් නැතිවම බැරි වෙලා තිබුණු මේ සමහර අවශ්‍යතාවන් වලට සාර්ථක නිදහස් හා විවෘත ආදේශක විසඳුම් කීපයක්ම අන්තර්ජාලය ඔස්සේ සොයාගන්න මට හැකි වුණා. ඒ සියළුම මෘදුකාංග/ විසඳුම් සඳහා දායක වූවන්ට මගේ හෘදයාංගම ස්තුතිය හා ප්‍රණාමය පිරිනැමෙනවා.

දැන්, මගේ VirtualBox එක ඇතුලේ තියෙන්නෙ Windows 7. ඒත්... මට දැන් ඒක ක්‍රියාත්මක කරන්නත් කම්මැලියි. හිතාගන්න පුළුවන්ද ලිනක්ස් වල භාවිතයේ පහසුව හා ඇබ්බැහි වීම...? මම මේ මෑතකදි එකම එක වැඩකට මම Windows 7 පාවිච්චි කළා. ඒ OpenOffice.org වින්ඩෝස් සඳහා වන නිකුතුවේ සිංහල අතුරුමුහුණත පරීක්ෂා කරන්න. (ඒකට ඉතිං වින්ඩෝස් නැතුව වෙන මොකක් පාවිච්චි කරන්නද? :P )

මම සෙල්ලම් කර කර හිටපු කාලේ මාර්තු දෙවැනිදායින් අවසාන වුණු බව දන්නව ඇතිනේ... දැන් මම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආධුනිකයෙක්... හඃ හඃ..! මට මේ දවස් වල පැවරිලා තියෙන වැඩ වල ටිකක් බැරෑරුම් වගකීමක් තියෙනවා. මාසයක් ඇතුළත මේ දක්වා ඒ වැඩ වලදි ඉතාම විශ්වාසනීයවත්, ආරක්ෂාකාරීවත් වැඩ කරන්න පුළුවන් බොහොම ස්ථායී පාදමක් සහ හොඳ තාක්ෂණික වටපිටාවක් ලිනක්ස් වලින් ලබා දී තිබෙන බව බය නැතුව අත්දැකීම් සහිතව කියන්න පුළුවන්. මෙපමණ කාලයක් සෙල්ලම් කළේ ලෝකල්හොස්ට් එකේ තියෙන සර්වර සහ පරීක්ෂණ දත්ත එක්ක... ඒත් දැන්.......................

---

පහුගිය කාලේ ඇතුළත මට හමුවුණු දේවල් කීපයක් මේ.

ලිනක්ස් වීඩියෝ සංස්කරණය කරන්න පාවිච්චි කරන මෘදුකාංග ගණනාවක්ම තිබෙනවා. ඒ එකකවත් පරිශීලක අතුරුමුහුණත තාම Adobe Premiere හෝ එවැනි මෘදුකාංගයක් තරම් පහසුවෙන් පාවිච්චි කළ හැකි තරමට දියුණු වෙලා නැති බව ඇත්ත. ඒත්, සමහර වැඩ වලදි අවශ්‍යතාවය අනුව චිත්‍රක අතුරුමුහුණතක් (GUI) නැති ffmpeg පවා සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ක්ලික් කළොත් ඒ ගැන යමක් බලාගන්න පුළුවන්. :-) LiVES, Cinelerra යනාදී වශයෙන් වීඩියෝ මෘදුකාංග ගොඩක් මට අන්තර්ජාලය ඔස්සේ සොයාගන්න හැකි වුණා. අවශ්‍යතාවයක් ඇති වුණොත් මම ඒවා පාවිච්චි කරන ක්‍රමය ඉගෙනගනිමින් අළුත් පරිසරයට හුරු වෙනවා. මම Adobe Premiere පාවිච්චි කරල නෑ. පාවිච්චි කරන්න දන්නෙත් නෑ. ඉතින් මට කෝකත් එකයි.

WinSCP මෘදුකාංගය ගැන දන්නව ඇතිනේ... SSH/ SFTP සඳහා වින්ඩෝස් මත භාවිත කළ හැකි client මෘදුකාංගයක්. Windows Explorer (explorer.exe) පාවිච්චි කරලා සාමාන්‍ය ගොනු හුවමාරු වැඩ කරගන්න පුළුවන් වුණාට SSH වගේ ආරක්ෂාකාරී විවෘත කේත පද්ධතිත් එක්ක වැඩ කිරීමේ හැකියාව එයට ලබා දී නැහැ. ඒ නිසයි WinSCP හෝ එවැනි තෙවන පාර්ශ්වයීය මෘදුකාංගයක් පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. නමුත් Ubuntu/ Kubuntu/ Fedora වගේ ලිනක්ස් පද්ධතියකදි තත්වය වෙනස්. File Manager එක විවෘත කරලා පෙත ලබා දෙන තැන ssh://username@serverhost:port යන රටාව අනුව පෙත සටහන් කරලා Enter කළ ගමන් වැඩේ ගොඩ! මේක කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ Ubuntu සමඟ පෙරනිමියෙන්ම GVFS සහය තියෙන නිසා. මේ තියෙන තිර රූපසටහන් දෙකත් බලන්න.

තෙවන පාර්ශ්වයීය ආදේශක අවශ්‍ය නෑ... :-) කාර්යාල වැඩ වලදි ත්‍රෛභාෂික (යුනිකෝඩ්) පෙළ අඩංගු ගොනුත් සමඟ වැඩ කරන්න සිද්ධ වෙන නිසා සාමාන්‍ය ලිනක්ස් ටර්මිනල් එකක වැඩ කරන්න අමාරුයි. අනිවාර්යයෙන්ම චිත්‍රක අතුරුමුහුණතකට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වැඩෙන් ගොඩක් කාලය ඉතිරි වුණා.


මේ 'සුඛෝපභෝගී' පහසුකම් පාවිච්චි කරන්න නම් ටිකක් වේගවත් ජාල සම්බන්ධතාවක් අවශ්‍යයි -- කාර්යාලයීය පරිගණක ජාලය (Office LAN) තුළ පාවිච්චිය ගැටළුවක් නැහැ 

ඊළඟ කාරණාව, EOT වැනි යල්පිනූ ක්‍රම පාවිච්චි කර සිංහල ලියන අන්තර්ජාල පුවත්පත් (උදා: ලක්බිම) කියවන එක. මේ පුවත්පත් කියවන්න පුළුවන් Windows Internet Explorer භාවිතයෙන්ම පමණයි. පත්තරේ බලන්න විතරක් වින්ඩෝස් බූට් කරන්න මට කම්මැලියි. ගැටළුවට නිවැරදිම විසඳුම ළඟපාත තිබිලත් මම දැනගෙන හිටියෙ නැහැ නොවැ. අපේ සහෝදර බ්ලොග්කරුවෙක් වන කෙහළිය බණ්ඩාර ගල්ලබ මීට සාර්ථක විසඳුමක් දීලා තියෙනවා. ගිහිල්ලම බලන්න...!

3GP මාදිලියේ වීඩියෝ ක්ලිප් නරඹන්න ලිනක්ස් මත වැඩ කරන මෘදුකාංගයක් හොයාගන්න බැරුව මම පහුගිය කාලෙ නහයෙන් අඬ අඬා හිටිය නෙව. මේකත් අර මුලින් කිව්ව වින්ඩෝස් එක්ක තිබුණු බැමි කීපයෙන් එකක්. පහුගිය සතියේ මම අහම්බෙන් දැක්කා SuperUbuntu මත පෙරනිමියෙන් එන RealPlayer 11 මෘදුකාංගයෙන් ඒ අවශ්‍යතාවයත් සාර්ථකව සපුරාගන්න පුළුවන් බව. ඉතින් මම මේ දවස් වල හොයනවා ඒක එහෙම වුණේ කොහොමද කියලා...

ඉතින් ඔය වගේ හැම බැම්මක්ම ක්‍රම ක්‍රමයෙන් බිඳිලා මම දැන් VirtualBox එක ඇතුලේ තියෙන Windows 7 ධාවනය කරවන්නෙත් ඉතාම කලාතුරකින්. පහුගිය මාසයටම දෙ වතාවයි.

ඉතිං.......... මට තව දුරටත් වින්ඩෝස් ඕනෙ වේවිද? ඔව්. මම මෘදුකාංග සංවර්ධනයේ (software development) නියැලෙන්නෙක්. තවමත් වැඩි දෙනා පාවිච්චි කරන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිසා ඒ ආශ්‍රිතව මෘදුකාංග සඳහා තත්ත්ව පරීක්ෂණ කරන්න වින්ඩෝස් අවශ්‍ය වෙනවා. .NET ආශ්‍රිත මෘදුකාංග සංවර්ධනයටත් ඉදිරි කාලය තුළ ඉඳහිට මට වින්ඩෝස් අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත්, වින්ඩෝස් සඳහා වෙනම වෙන් කළ partition එකක් මගේ පරිගණකයෙ නෑ. ඉඳහිට අවශ්‍ය වූ වෙලාවක පාවිච්චි කරන්න ඒක VirtualBox එකේම තියේවි.



ඉතින්... මේ ලියවිල්ලෙන් මම දෙන පණිවුඩය...

සාමාන්‍ය පරිශීලකයෙකුට මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙන්න බෑ කියන එක බොරුවක්. පැහැදිලි දැක්මක් සහිතව ලිනක්ස් වලට මාරු වීමේ අවශ්‍යතාවය අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ ඇති. පහුගිය කාලය ඇතුළත සුළු මට්ටමේ චිත්‍රක සංස්කරණ කටයුතු කීපයකුත් මගේ කාර්යාල වැඩ වලදි කරන්න සිදු වුණා. කිසිදු අපහසුවකින් තොරව මම GIMP පාවිච්චි කරලා අදාළ අවශ්‍යතාව සපුරාගත්තා. අනෙක් වැඩ වලදිත් එහෙමයි... සොයන්නාට සම්භ වේ කියල කියමනක් එහෙමත් තියෙනවනෙ..! :-)

හැමදෙනාටම ලිනක්ස් වලට මාරු වෙන්න බෑ කියන කතන්දරේ ඇත්තකුත් නැතුවම නොවෙයි. සමහර අවශ්‍යතාවන් වලදි ලිනක්ස් පාරිසරිකය තුළ වැඩ කරන්න පුළුවන් වෘත්තීයමය මට්ටමේ මෘදුකාංග නැහැ. ඒකට තව ටික කලක් ගත වෙයි. උදාහරණයක් විධියට අපි GIMP ගත්තොත්, මුද්‍රණ ක්ෂේත්‍රයේ භාවිත වෙන CMYK වර්ණ මාදිලියට එය පෙරනිමියෙන් සහය දක්වන්නෙ නැහැ. නමුත්, ඒ සඳහා plugin එකක් අන්තර්ජාලය ඔස්සේ හොයාගන්න පුළුවන්.

ඊළඟ ගැටළුව මතු වෙන්නේ අන්තර්ජාලය ගැන. අන්තර්ජාලය නැතුව මෘදුකාංග ස්ථාපනය කරන්නත් බෑ. ඒ වගේම ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවක විසඳුම් හොයාගන්නත් බෑ. මමත් කාලයක් තිස්සේ මේ ගැටළුවත් සමඟ ඔට්ටු වෙමින් ලිනක්ස් සහ නිදහස් - විවෘත මෘදුකාංග පාවිච්චි කළ කෙනෙක්.

හිතල බලන්න මෙහෙම..... ලංකාවෙ අනවසරයෙන් වින්ඩෝස් භාවිතය ඉතාම ප්‍රචලිතයි. එක එක වැඩ වලට මෘදුකාංග අවශ්‍ය වෙනවා. ඒ නිසා වින්ඩෝස් හා ඒ මත ධාවනය වෙන මෘදුකාංග වලට අපේ රටේ හොඳ වෙළඳපොළක් ඇති වුණා. ඒ ඔස්සේ රට පුරා මෘදුකාංග අලෙවිසැල් බිහි වුණා. නීති විරෝධී වුණත්, වින්ඩෝස් එක්ක ඕනෙ වැඩක් කරගන්න අවශ්‍ය මෘදුකාංග මේ තැන් වලින් හොයාගන්න පුළුවන්.

නමුත්, අපි ඉදිරි කාලය තුළ අනවසර මෘදුකාංග පාවිච්චිය අතහැරලා නිදහස් මෙහෙයුම් පද්ධති හා නිදහස් මෘදුකාංග භාවිතයට පෙළඹුණොත්. මෘදුකාංග අවශ්‍ය වෙයි. ඒ මෘදුකාංග වලට හොඳ වෙළඳපොළකුත් ඇති වෙයි. මෘදුකාංග අලෙවිසැල් වලට ලිනක්ස් හා ඒ සමඟ වැඩ කරන්න පුළුවන් නිදහස් මෘදුකාංගත් එයි. අවසානයේ ලිනක්ස් එක්කත් ඕනෙ වැඩක් කරගන්න මෘදුකාංග අලෙවිසැල් වලින් හොයාගන්න පුළුවන් වෙයි. රිචඩ් ස්ටෝල්මන් විසින් අර්ථ දැක්වූ සිව් වැදෑරුම් නිදහසට අනුව බලාත්මක කරන ලද 'නිදහස්' මෘදුකාංග නැවත විකිණීම නීතියෙන් වරදක් නොවන නිසා කිසිදු අසාධාරණයක් මෙහි සිදු නොවෙන්නා සේම, පහසු මිළකට නීත්‍යානුකූල මෘදුකාංග ලබා ගන්නත් අපේ රටේ අන්තර්ජාල පහසුකම් නැති අයට හැකි වේවි.

මම දැනටත් දැකල තියෙනවා බම්බලපිටියේ මෘදුකාංග අලෙවිසැල් වල Ubuntu, Kubuntu සහ OpenOffice.org මිළදී ගන්න පුළුවන්. ඒ වගේම ස්වභාෂාවෙන් පළ වෙන තොරතුරු තාක්ෂණ සඟරා වලත් දැන් දැන් නිදහස් හා විවෘත මෘදුකාංග ගැන වැඩි වශයෙන් කතාබහට ලක් කෙරෙනවා. මේක ඉතා හොඳ ප්‍රවණතාවක්. මේ තත්වය ඉදිරි කාලය ඇතුළත තවදුරටත් දියුණු වේ යයි අපේක්ෂා කරන්න පුළුවන්.

මේ කතන්දරේ ලේසි වැඩක් නෙවෙයි. නමුත් නිදහස් හා විවෘත මෘදුකාංග ක්ෂේත්‍රය දියුණු වෙන්නේ ඒ වටා එක්ව සිටින ප්‍රජාවත් සමඟ. ඒ නිසා ප්‍රජා දායකත්වය අත්‍යාවශ්‍යයි. මේ වෙනස.... පෙරළිය අපි කළොත් දිනෙක ලංකාවේ අපට 'මෘදුකාංග හොරු' කියන ලේබලයෙන් මිදී දේශයක් විධියට ආඩම්බරයෙන් යුතුව නැගී සිටින්නට හැකි වේවි.

Monday, March 1, 2010

අනං මනං... 2010 ජනවාරි, පෙබරවාරි...

මගේ අහවල් කාව්‍යකරණය ගැන ලිව්වට පස්සෙ ගොඩක් දවසකින් මේ පැත්තෙ එන්න බැරි වුණා. මාර්තු අවසාන වෙන්න කලියෙන්වත් මොනව හරි නොලිව්වොත් සිංහල බ්ලොග් කියවනයෙන් මාත් විසික් වෙයි එළියට. කොත්තුවෙන් නම් තාම දොට්ට දාලා නෑ.. :)
(මාස තුනක් ඇතුළත නොලිව්වොත් සිංහල බ්ලොග් කියවනයෙන් එළියට... :| මාස දෙකක් ඇතුළත නොලිව්වොත් කොත්තුවෙන් එළියට.... :| )

මට මතකයි 2009 අවුරුද්දෙත් බ්ලොග් ලිවිල්ල පටන් ගත්තෙ ටික දවසක නිහැඬියාවකට පසුව. සුපුරුදු පරිදි තාක්ෂණික සටහනක් ලියන්න අවශ්‍ය කරන වස්තු බීජයක් ලැබුණෙත් නෑ. පහුගිය දවස් වල මට එක එක ජාතියේ වැඩ තිබුණ නෙව... විභාගයක් තිබුණා... ඉතිං මගේ පුරුදු වැඩ ටිකක් අතමක කරලා 'ගිරවාරූඪය' ට මාරු වුණා. විභාගේ ගැන නම් මතක් කොරනකොටත් බයයි වගේ... හාපෝයි...! විභාගේ 'to be continued' කියල ඒ අතර කාලේ ඡන්දෙකුත් තිබුණනේ.... ඔන්න ඉතිං ජනාධිපතිකමට සුදුසුයි කියල මට හිතුණු පුද්ගලයට මමත් අත පුරෝල පොඩි කතිරයක් ගහල ආවා. :)

දැන් ඉතිං කැම්පස් ජීවිතේ අන්තිම මාස හය... මේ කාලේ අපට තියෙනව ආධුනිකත්ව වැඩසහටනක්...හුරු පුරුදු විධියට කිව්වොත් අපේ internship programme එක. ඉතිං ජනවාරි 25 මමත් ජැන්ඩියට ඇඳලා ගියා ඉන්ටර්වීව්... මගේ ජීවිතේ පළවෙනිම ජොබ් ඉන්ටර්වීව් එක... මම ඒක සමත් වුණා! මාර්තු 02, ඒ කියන්නෙ හෙට උදේ ඉඳලා මට යන්න තියෙන්නෙ අළුත් ගමනක්... අළුත් පරිසරයක්... අළුත් මුහුණු... ලංකාවේ ලොකු ම තැනක පොඩි ම මනුස්සයෙක් විධියට මම හෙට ඉඳලා වැඩ! :)

ඊට පස්සේ ආයෙමත් විභාගේ... ඉතිරි ටිකත් ඩෙෆා රිපීට් කියලා දැනගෙනම නියම නෑමක් නෑවා... විභාගේ තමා අපේ අභාගේ. :( System and Network Administration නම් නාගන්නෙ නැතුව කරගත්තා... ලේසි පාසු එකකට තිබුණෙ ඒක විතරයි මම හිතන්නේ... :D (ලිනක්ස්ට ජය වේවා!)

විභාගේ අස්සේ තවත් වැඩකට ගියානේ... පෙබරවාරි 10 හවස දෙකට Human Resource Management ප්‍රශ්නපත්‍රයකුත් තියෙද්දි උදේ 9ත් 10ත් අතර සජීව ගුවන්විදුලි වැඩසටහනකටත් සහභාගි වුණා... O_o
ඉන්ටර්නෙට් සම්පත් භාවිතය -- මේ වැඩසටහන කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ තවත් සද්කාර්යයක්... :) නිදහස් අධ්‍යාපනයෙන් අප ලබන ජවය මුදා හරින එක විධියක් තමයි ඒ... අප ලබන දැනුම සමාජය වෙතත් ලබා දීම... ශිෂ්‍ය සහභාගීත්වයෙන් හැම බදාදාවකම පෙරවරු 9.00 ට සජීව ව විකාශය කෙරෙන මේ වැඩසටහන් මාලාවේ පෙබරවාරි 10 බදාදා වැඩසටහන ගැන විශේෂයෙන් සඳහන් කළේ ඒකෙ තේමාව සිංහල බ්ලොග්කරණය නිසා... වැඩි විස්තර සිංහල බ්ලොග්කරුවන්ගේ ගුග්ල් සමූහයෙ ඇති වුණු මෙන්න මේ කතාබහෙන් දැනගන්න පුළුවන්. එදා වැඩසටහන මෙතනින් බාගන්නත් පුළුවන්. :)
එදා තවත් පාඩමක් ඉගෙනගත්තා... පූර්ණකාලීනව ලිනක්ස් වලට මාරු වීමේ ප්‍රතිපලයක් ලෙස මට වින්ඩෝස් සම්බන්ධ සමහර දේ අමතක වෙලා කියල දැනුණෙ අසන්නෙකුගෙන් ගැටළුවක් ඉදිරිපත් වුණාමයි... O_o අන්තර්ජාලය තිබුණු නිසා හිර නොවී යංතං ෂේප් කරගත්තා... :D



ඉතිං විභාගෙත් ඉවර වෙලා නිදහසේ ඉන්න කාලේ තව පොඩි පොඩි වැඩ ටිකකට අත ගැහුවා... අපේ ඇන්ත්‍රැක්ස් අයියගේ අළුත් ව්‍යාපෘතියක් තියෙනවා... පරිගණක ආරක්ෂාව ගැන දන්න සිංහලෙන් කතා කරන්න... සිංහල හැකර්ලාගේ තිප්පොල... ඉතිං ඒකටත් පොඩි සහයෝගයක් දෙනවා මේ දවස් වල... තාම සෑහීමකට පත් විය හැකි මට්ටමේ සහභාගීත්වයක් දෙන්න පුළුවන් වුණේ නෑ. :( ඉතිං... මෙන්න තියෙනවා අපි කතාබහ කරන තැන. දැන්ගන්න ඕනේ දෙයක් තමයි මේක සුදු තොප්පිකාරයින්ගෙ තැනක්... "යාළුවගෙ ඊමේල් ගිණුමට හොරෙන් පිවිසෙන්නෙ කොහොමද?" ඒ වගේ දේවල් ගැන කතා කරන්න වෙනින් තැනක් හොයාගන්න. "කොහොමද අපේ ඊමේල් ගිණුම ආරක්ෂා කරගන්නේ?" මෙන්න කතා කරන්න තැන...! තව,... පරිගණක වයිරස් ගැන... වින්ඩෝස් පාවිච්චි කරන අයට ලොකුම කරදරේ ඕකනේ... එන්න ඇවිත් සෙට් වෙන්න... අපි මේ දේවල් ගැන දන්න සිංහලෙන් කතා බහ කරමු... ඉගෙනගනිමු.... http://hacker.lk

පහුගිය දවස් වල මම වැඩියෙන්ම මහන්සි වුණේ මොකකටද කියන පුරස්නෙට නම් එක එක උත්තර තියෙනවා... වඩාත්ම හරි උත්තරය දන්න කස්ටිය සද්ද නැතුව ඉන්නවා හොඳයි... :P :D



පෙබරවාරි 13 නම් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ දවසක්. අපේ කැම්පස් එකේ සම්ප්‍රදායක් විධියට පළමු වසර විනෝද චාරිකාව යොදාගන්නෙ හන්තාන ආශ්‍රිතව. මේ දක්වා ඔය ගමන ගිහිපු අපේ කිසිම බැච් එකකට කිසිම උපද්‍රවයක් සිද්ධ වුණේ නෑ.... නමුත් මේ වතාවේ අපේ පළමු වසර පොඩ්ඩන්ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 'මහා' ශිෂ්‍ය සංගමයෙන් බොහොම නින්දිත සහ දරුණු විධියට සලකලා තියෙනවා... වැඩි විස්තර මෙතනින් කියවන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් විරෝධතාව දක්වලා වෙනම බ්ලොග් සටහනක් ලියන්න මම අදහස් කළත් ඒකට වෙලාවක් ලැබුණෙ නැහැ.


මේ ගැන මගේ සගයින් එක්ක කතා බහ කරද්දි දැනගන්න ලැබුණා වෙනත් විශ්වවිද්‍යාල වල සිසුන්ටත් මේ කරදරයටම මුහුණදෙන්න සිද්ධ වුණු බව... අපි දේශපාලන පක්ෂ වලට කඩේ යන්නෙ නැති නිසා අපිව ඇලජික් වගේ ඇති...

මෙන්න මේකත් බලන්න... ත්‍රස්තවාදය පිළිබඳ විශේෂ උපාධියකුත් පේරාදෙණියෙ ඇති මං හිතන්නේ...
 

පේනව ඇතිනේ... පේරාදෙණියේ 'මහා' ශිෂ්‍ය සංගමයේ 'මහා ලොකු' අයියලා නිදහස් අධ්‍යාපනයෙන් ලද ජවය මුදා හැර තියෙන හැටි... ඉතින් මේ ගැන වැඩි commentary දෙන්න මම කාලය වැය කරන්නෙ නෑ.. කියවන ඇත්තෝම සිය නැණ පමණින් වටහා ගනිත්වා..!

එකක් ඉවර වෙනකොට තවත් එකක්... උතුරේ ත්‍රස්තවාදය නැත්තටම නැති කළා වගේම හන්තාන පැත්තේ ඉවර කරන්න තවත් ඒ වගේම මෙහෙයුමක් අතිගරු ජනාධිපතිතුමාට ඉතිරි වෙලා තියෙනවා.... මේකත් කියවලම බලන්න.

තවත් වැදගත් කාරණාවක්... පේරාදෙණියෙ ඔය 'මහා' ශිෂ්‍ය සංගමයත් එක්ක ඇයි හොඳයියක් නැති පිරිසකුත් ඉන්නවා... මම දන්න තරමින් ඒ අයට කියන්නෙ අලයො කියලා... අලයො අහිංසකයි... ඒ නිසා පේරාදෙණියෙ ඉන්න අල පිරිසට මේ සිද්ධිය සම්බන්ධයෙන් ගරහන්න එපා... උන් නිර්දෝෂයි. (මං වැරදි නම් පේරා අලයෙක්ම ඇවිල්ලා නිවැරදි කරන්ඩෝ.... :) )



පෙබරවාරි 13 Lirneasia AT Tester Soft Launch සඳහාත් සහභාගි වුණා. මට දැන් ඒ ගැන වෙනමම සටහනක් ලියන්න කාල වේලාව මදි... සවිස්තර සටහනක් ලෙස මාලින්ද ලියූ සටහනින් සෑහීමකට පත් වෙන්න පුළුවන්. :-)
වැදගත්ම කාරණාව තමයි ලංකාවේ broadband අන්තර්ජාල සබඳතා ලබා දීමේ ගුණාත්මක ප්‍රමිතියක් තවම නැහැ. එහෙමත් නැත්තම්, ගුණාත්මක සේවාවක් ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයන්ට ලැබෙන්නෙ නැහැ. මේ සම්බන්ධව පාරිභෝගිකයන් ලෙස හඬක් නගන්න අපට අවශ්‍ය කරුණු කාරණා, සාක්ෂි, සාධක පිළිබඳව අදාළ පර්යේෂණ පවත්වනවා Lirneasia ආයතනයෙන්. ඒක ඒ අය ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයා වෙත කරන ලොකු උදව්වක්. ඉතින්.. මේ පර්යේෂණ වලට සහය දීලා ලංකාවේ අන්තර්ජාල සේවා වල දියුණුව වෙනුවෙන් යමක් කිරීම තමයි අන්තර්ජාලය භාවිත කරන්නන් ලෙස අපෙන් සිදුවිය යුතු දේ. :)

පෙබරවාරි 14 වැනිදා ඔය AT Tester එකේ source code එකත් එක්ක ටිකක් ලව් කළා... මට හීනියට වගෙ අදහසක් ඇවිත් තියෙනවා ඒ code එක අධ්‍යයනය කරලා, ලිනක්ස් වල වැඩ කරන්න පුළුවන් AT Tester එක්ක හදන්න. බලමු... වෙලාව තිබුණොත් තමා....



ලිවිය යුතු වැදගත් දෙයක් තව ලැබුණෙ නෑ... ආ.... තංගල්ල පැත්තෙ පොඩි ටුවර් එකක් ගියා... දේශීය - විදේශීය හැමෝටම කියවන්න පුළුවන් වෙන්න ඒක ලිව්වෙ කඩ්ඩෙන්.... ගිහින් කියවලම බලන්න.... වැඩි හරියක්ම තියෙන්නෙ පිංතූර... :)

මගේ අද ලියමන මෙතනින් ඉවරයි... හෙට උදේ නවයෙන් මතු වැඩ කරන්න ලැබෙන කාර්යාල වටපිටාවත් එක්ක බ්ලොග් ලියන්න ඉස්පාසුවක් ලැබෙන එකක් නැති වෙයි... දන්නවනේ... රාජකාරිය = දේවකාරිය :D

ඉතිං... කස්ටිය  ඔය පහළින් තියෙන කොටුවේ ගල්-මුල්-මල්-එකඟතා-නොඑකඟතා මේ මොනව හරි ලියල යන්න..... ඔන්න මං කැපුනා... චෙරියෝ....! :D

Wednesday, October 14, 2009

ආකල්ප, වීඩියෝ ක්‍රීඩා සහ ලිනක්ස්

ම්ම්... බ්ලොග් උපන්දින සාදයෙන් පස්සේ ලියන පළවෙනි ලියමන... මගේ බ්ලොග් උපන්දිනේ සමරන්න ආපු හැමදෙනාටම ස්තූති... ඉස්සරහටත් මං ලියන අනංමනං කියවන්න.. :)

මාතෘකාව...........! මීට කලකට කලින් දුටු දෙයක් මතක් වෙලා මේක ලියන්න හිතුණේ... දැන් තියෙනවනේ ඔය හන්දි හන්දි ගානේ පොඩි පොඩි video game centre. ඉන්ටර්නෙට් කැෆේ වගේ මේවයෙත් පාවිච්චි කරන කාලය අනුව ගෙවීමක් කරලා මොකක් හරි වීඩියෝ ක්‍රීඩාවක යෙදෙන්න පුළුවන්. පරිගණක ක්‍රීඩා වලට වැඩිපුරම ඇබ්බැහි වෙලා ඉන්නෙ පොඩි ළමයි... ඉස්කෝලෙ හයේ හතේ විතර පොඩි බට්ටෝ... හැබැයි ඉතිං මේවයෙ තියෛන කරන මිනී මරාගන්න ගේම් නම් ළමයින්ට සුදුසුයි කියන්න බැහැ... මේ video game centre වල තියෙන ක්‍රීඩා වලින් සමහර ඒව වර්ග කරල තියෙන්නෙ 18+ විධියට, නමුත් අපේ සිරි ලංකාවෙ බොහොම නිදැල්ලෙ සංසරණය වෙනවා -- මහරජාණන්ගෙ අවධානයට ලක් විය යුතු තවත් මාතෘකාවක්... අර (අහ)වල් සයිට් තහනම් කළා වගේ මොකක් හරි කරන්න වෙයි. නැත්තං අර ජෝන් සීනා විතරක් නෙමෙයි තව තව ආතක් පාතක් නැති fictional චරිතත් ඔළුවටම ගහයි.

මම අද කියන්න යන්නෙ ඒ පොලිටිකල් කතා නෙමෙයි... Video game center එකකට වෙලා පොඩ්ඩක් බලාගෙන ඉඳිද්දි හිතුණ දෙයක්... සමහර අය ලිනක්ස් බෑ බෑ කියන්න එක හේතුවක්නේ මේ මූලික ලිනක්ස් විධාන මතක නැති කම... මතක තියාගන්න බැරිලු... ටයිප් කරනකොට ටැපලෙනවලු... ක්ලික් කරන්න තියෙනකොට ලේසියිලු.

මොන බොරුද? :P

දැන් ආපහු යමු වීඩියෝ ගේම් එක සෙල්ලම් කරන පොඩි එකා ළඟට... පොඩි එකා මොකක්දෝ එකක් ටයිප් කරනවා... මෙන්න අපේ වීඩියෝ ක්‍රීඩාවෙ ඉන්න 'පොර' ගෙ අතට අවි ආයුධ (ammunition) මාර තොගයක් එකපාරටම මැවෙනවා... පොඩි එකාට ටයිප් වෙන දේ පේන්නෙත් නෑ.. හැබැයි ඌ ඒක කොහොම හරි කරගන්නවා. තව ටිකකිං... අපේ පොර දැන් මැරෙන්න ඔන්න මෙන්න... හැබැයි පොඩි එකා තවත් මොකක්දෝ එකක් ටයිප් කරන පරක්කුවෙන් පොර full health. තවත් මොකක්දෝ එකක් ටයිප් කළ ගමන් මේන්න අහසින් පාත් වුණා වගේ සද්දන්ත වාහනයක්!

ඔය කිව්වෙ වෙන මොනවත් නෙමෙයි පරිගණක ක්‍රීඩා වල තියෙන easter eggs, නැත්තම් game cheats ගැන. තවත් සමහර අය passwords කියලත් කියනව මේවට... මොක වුණත් කමක් නෑ... පොඩි එකාට එක එක ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට අකුරක් නෑර මේව ඔක්කොම මතකයි. ටයිප් කරන අකුරු ටික පේන්නෙත් නෑ... එක හුස්මට ටයිප් කරගෙන යන්නත් ඕනේ. එක අකුරක් හරි මිසිං වුණොත් ඊළඟ තත්පරෙන් අපේ 'පොර' ඩවුන් නේ. සමහර වෙලාවට cheat code එක ටයිප් කරන එකත් නිකං ප්‍රතීක ක්‍රියාවක් වගේ -- එක සැණින්! :-O


ඉතින්... ඒකත් එහෙම නං... අපි වගේ අයට,
ලිනක්ස්/ යුනික්ස් ෂෙල් එකක මූලික වැඩ ටික වත් කරගන්න එකත් මහ ලොකු දෙයක් ද?
ඒකත් බැරි නම් වරද තියෙන්නෙ කොතනද??

Thursday, April 9, 2009

ඊ මේල් ශ්‍රී ලංකා - සපෑම්කරණයේ නවතම ක්‍රමෝපාය

ඊයෙ මට මරු ඊ මේල් එකක් ලැබිල තිබුණා. Google Groups වලින් ඒක ඇවිත් තිබුණේ. මාව ඊ මේල් ශ්‍රී ලංකා කියල Google Group එකකට එකතු කරල ලු. ඒ Google Group එකට මාව එකතු කරල තිබුණෙ මම දන්න කෙනෙකුත් නෙවෙයි. මේ තියෙන්නෙ මට ආපු ඊ මේල් එක:



දැන් පේනව නේද මේක මොකක්ද කියල. මේ Group ඔක හදපු අය කරන්නෙ විද්‍යුත් තැපැල් ලිපින එකතු කරන එක. ඔය රූපයෙ නිල් පාටින් සලකුණු කරල තියෙන විද්‍යුත් තැපැල් ලිපිනය මම දන්න එකක් නෙවෙයි. ඒක දැක්කම ඕන කෙනෙකුට හිතාගන්න පුළුවන් මේක group එක වෙනුවෙන්ම හදපු විද්‍යුත් තැපැල් ලිපිනයක් කියල. මම දන්න හඳුනන කෙනෙක් නම් කීයටවත් මෙහෙම කරන්නෙ නෑ. මම නිකමට About this group පැත්තේ ගිහින් බැලුවා. මේ ලියන මොහොතේ සාමාජික සංඛ්‍යාව 11658ක්! අපේ ‍රටේ ඊ මේල් forward කරන අයගෙ තරම හිතාගන්න පුළුවන් නේද දැන්. Foraward කරන ඊ මේල් වලින් තමයි ප්‍රධාන වශයෙන් මේ අය ලිපින එකතු කරන්නේ. SBU එකටත් ඉන්නෙ සාමාජිකයො 548යි. ලිපින 11658ක් මගේ විද්‍යුත් තැපැල් ලිපිනය වගේම අනවසරයෙන් එකතු කළ ඒව බව දැන් පැහැදිලියි. මේකත් හොඳින් බලන්න:

Anybody can view group content
Only managers can view group members list
Anyone can join
Only managers can create and edit pages
Only managers can upload files
Announcement only
ඔය දැනුම් දීම් පමණයි කියන්නෙ වෙළඳ දැන්වීම් වෙන්ට ඕන නේද? :D

අපේ රටේ අන්තර්ජාලය පාවිච්චි කරන අයගෙන් බොහොමයක් දෙනා තමන්ගෙත් අනුන්ගෙත් පෞද්ගලිකත්වය ගැන උනන්දු නැහැ. ඒ වගේම අළුත් තාක්ෂණයත් එක්ක ඔට්ටු වෙද්දි තමන්ගෙ අයිතිවාසිකම් ගැන උනන්දුවකුත් නැහැ. ටිකක් හිතන්න, ඔබේ ගෙදර ලිපිනයට කවුරුහරි දිගට හරහට වෙළඳ දැන්වීම් එවන්න පටන් ගත්තොත් ඔබට ඒක හිරිහැරයක් නොව් ද? ඒ වගේමයි, අත්‍යවශ්‍ය පණිවුඩයක් යවන්න/ ලබාගන්න තියෙන විද්‍යුත් තැපෑලටත් වෙළඳ දැන්වීම් එන්න ගත්තොත් මළ කරදරයක් වෙන්නේ. ඒක දැනෙන්නෙ මුලින් සතියට දැන්වීම් එකක් දෙකක් එනකො‍ට නෙවෙයි. ටික කලක් යනකොට දවසට දැන්වීම් එක-දෙක ගානෙ එන්න ගත්තමයි. ඒ නිසා තමයි මම ඔය ඉහත රූප සටහනේ රතු පාටින් පෙන්නල තියෙන, Google විසින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කළේ. :D

ඊට අමතරව මම තවත් දෙයක් කළා. ඊ මේල් ශ්‍රී ලංකා Google Group එකේ මුල් පිටුවට ගිහින් ඒකෙ පහළම තිබුණ Report Group ලින්ක් එක ක්ලික් කරපු එක. Report Group ලින්ක් එක ක්ලික් කළාම එන පිටුව හරහා, මේ Group එක ස්පෑම් සඳහා නිර්මාණය වූවක් කියල Googleට දැනුම් දුන්නා. (සිංහලෙන් තියෙන Group Description එකේ ඉංග්‍රීසි පරිවර්තනයකුත් එක්කයි යැව්වෙ :D ) එහෙම කළාම Google විසින් ඒ group එක ඉවත් කරනවා. ඉතින්, මේ සටහන කියවන ඔබටත් මම ආරාධනා කරනවා... ස්පෑම්කරණයට විරෝධය දක්වන්නට. වාර්තා කරන්න මේ ගැන Googleට. ඔබ එහෙම කළා කියල මේ group එක නිර්මාණය කළ අයට ඔබව හොයාගන්නවත්, ඒ ගැන මොනවත් කරන්නවත් ඉඩක් ලැබෙන්නෙ නැහැ.

මේකෙ මුල් පිටුවෙත් හරි ලස්සන දේවල් තිබුණා. ජාතික කොඩිය රැගත් හමුදා භටයෙක් එක්ක ඉන්න පොඩි ළමයි, 60 වන නිදහස් සමරුව තේමා කරගත් රූපය -- මේව දැන් මාකට් බඩු බවට පත් වෙලා තියෙන එකත් ඉතාමත්ම කණගාටුදායකයි.


E-mail Advertising? Is it ethical to do it without any permission?


කොහොම වුණත් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, මට එන විද්‍යුත් තැපැල් ලිපි ගැන මම සෑහෙන සැලකිලිමත් වෙනවා. Blogger Profile එකේ මගේ විද්‍යුත් තැපැල් ලිපිනය දාල තියෙන්නෙ කෙනෙකුට අවශ්‍ය වුණොත් මාව සම්බන්ධ කරගන්න මිසක් ස්පෑම් කරන්න නෙවෙයි. මේ ළඟදි මට දැකල පුරුදු මූණක්, මොකක්දෝ සලකුණක්, කතිරයක් හා අංකයක් තියෙන ඊ මේල් එකකුත් ආවා. ඒකටත් මම කළේ Report Spam ම තමා. අපේක්ෂක තුමා ළඟ පාතක හිටියෙ නැති නිසා ම හොඳා. :D

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Saturday, February 14, 2009

ප්‍රවේශම් වන්න! ස්පෑම්!!

මට ලැබුණු විද්‍යුත් තැපැල් පණිවුඩයක් හේතුවෙන් ඇති වෙච්ච කලකිරීම නිසා ලියන සටහනක් මේක. මේ දවස් වල නිවාඩු වුණාට බ්ලොග් ලියන්න වෙලාව නෑ. ඒත් මේක නම් ලිවිය යුතුමයි මේවට අහු වෙන පිරිස බේරාගන්න.

මුලින්ම මේ තිරපිටපත දිහා බලන්න. [පැහැදිලිව බලන්න තිරපිටපත මත ක්ලික් කරන්න]



ඒකෙ කියනවා Please Pass this email copying betogetherforall@gmail.com කියල. ඒ මොකටද කියල නිකමටවත් හිතුවද? ඊමේල් වලින් එන හැම දහජරාවම forward කරන්න පුරුදු වෙලා ඉන්න අය මේක දැක්කම මොකද කරන්නෙ? To field එකේ තමන්ගෙ යාළුවන්ගෙ විද්‍යුත් තැපැල් ලිපින ටික ඔක්කොම ඇතුළු කරල අන්තිමේ betogetherforall@gmail.com එකත් ඒකටම එක් කරනවා.

දැන් මොකද වෙන්නෙ? මෙතැන් සිට කතන්දරේ සත්‍යතාව ඔප්පු කරල පෙන්නන්න ක්‍රමයක් මට නැති වුණත් ඊළඟට වෙන්න පුළුවන් දේ ඒක බව අන්තර්ජාලයේ කළු කඩ මුදලාලිලාගේ වැඩ ගැන දන්න ඕන කෙනෙක් සනාථ කරාවි. betogether@gmail.com ට යනවා ඒ විද්‍යුත් තැපැල් ලිපින ඔක්කොම. එයා ඒ ටික පිටපත් කරගෙන සුරක්ෂිතව තියා ගන්නවා. ඔය අතරෙ කළුකඩ මුදලාලියෙකුට ඕන වෙනවා තමන්ගෙ වෙබ් අඩවිය ප්‍රචාරය කරන්න. එයා තෝරගන්නෙ ස්පෑම් යැවීමේ ක්‍රමය. ඒ සඳහා එයා betogetherforall@gmail.com ට මුදලක් ගෙවල betogetherforall@gmail.com විසින් එකතු කරගත් විද්‍යුත් තැපැල් ලිපින ටික මිලයට ගන්නවා. ඊට පස්සෙ සිද්ධ වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. සමහර විට betogetherforall@gmail.com ම මුදලාලියා වෙන්න පුළුවන්.

ටිකක් හිතල බලන්න විද්‍යුත් තැපැල් පණිවුඩ 5,000,000 ක් හමුදාවට කන්නද? මොකක්ද මේ වැඩේ තේරුම? අඩු ගානෙ අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතිය ගැන වචනයක්වත් මෙතන තියෙනවද? අනික, මේක නිළ වශයෙන් කරන වැඩක් නෙවෙයි කියල ඔප්පු කරන්න හොඳම සාධකය, ඇයි මේක someone@defence.lk වගේ ලිපිනයකින් යවන්නෙ නැතුව Gmail ලිපිනයකින් යවන්නෙ? (Gmail එකෙන් නොමිලේ 7 GB+ දෙන නිසා කියල නං කියන්න එපා :D )

මට කලකිරීමක් ඇති වෙන්න හේතුව වුණේ අපේ වීරෝදාර හමුදාවන් විසින් බොහෝ කැපවීම් කරල ලබාගන්න ජයග්‍රහණ වෙනත් පාර්ශව විසින් අයුතු ලෙස යොදා ගන්නා ආකාරය දකින්නට සිදු වීම. මානුෂිකව හිතන කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්ද?

මේ වගේ පණිවුඩයක් ලැබුණාම එය තව කෙනෙකුට යවන්න කලින් දෙපාරක් හිතන්න. ඔබේ මෙන්ම ඔබේ මිතුරාගේත් පෞද්ගලිකත්වය ඔබේ අතේ! යවන්න අවශ්‍යම නම් යාළුවන්ගෙ විද්‍යුත් තැපැල් ලිපින ටික To වලට නොදමා Bcc වලට දමන්න.

අනිත් කාරණාව ඔබට ස්පෑම්, එනම් අනවශ්‍ය කරදරකාරී විද්‍යුත් ලිපියක් ලැබුණොත් Report Spam button එක ක්ලික් කරන්න පැකිළෙන්න එපා. එවිට ඊමේල් සේවා සපයන්නන් විසින් ඒ පණිවුඩයේ ස්වභාවය පිළිබඳව වාර්තා තබාගෙන ඒ පණිවුඩයේ පැතිරීම නැත්තටම නැති කරන්න ඔවුන්ගේ ප්‍රයත්නය දරාවි. මට පහුගිය දවස් වල වැඩියෙන්ම කරදර කළ ස්පෑම් එක වුණේ Java Sri Lanka ප්‍රදර්ශනය ගැන ආපු ස්පෑම් එක. මම ඒක report කළාම ඒ අය වෙනත් විද්‍යුත් තැපැල් ලිපිනයකින් එවන්න පටන් ගත්තා... කොහොමහරි දැන් නම් ඒ කරදරේ ඉවරයි... :)

මම ස්පෑම් ගැන කතා කරන්න ගිහින් ටිකක් විතර මාතෘකාවෙන් පිට පැන්නා. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේකයි. තමන්ට එන හැම විද්‍යුත් තැපැල් පණිවුඩයක්ම forward කරන්න එපා. පිළිතුරු යවන්නත් එපා. අවශ්‍ය වැදගත් පණිවුඩ ටිකට පමණක් ප්‍රතිචාර දැක්වුවාම හොඳටම ඇති. මොකද විද්‍යුත් තැපෑලත් සමග තමන්ගෙ විතරක් නෙවෙයි වටේ ඉන්න යාළුවන්ගෙත් පෞද්ගලිකත්වය බැඳිලා තියෙනවා. ඉතින්, මේ වගේ පණිවුඩයක් ආයෙත් එනකං මම ආසාවෙන් බලාගෙන ඉන්නෙ Report Spam ක්ලික් කරන්න. මොකද ඒක වැඩිය පාවිච්චි වෙන button එකක් නෙවෙයිනේ... ආසයි ඔබන්න. :D

Sunday, January 11, 2009

2009 පළමු සටහන නොහොත් මෙගා අච්චාරුව

විභාගය ඉවර වෙනකම් බ්ලොග් ලිවිල්ලට සමු දෙන්න හිතුවත් ලියන්න ‍දේවල් ගොඩක් ගොඩ ගැහුණු නිසාත්, ඊයෙ ලොකු assignment එකක් කරල අවසාන වීමෙන් ලැබුණු නිදහසත් නිසා මොනවහරි ලියන්න හිතුණා. මේ සටහන අච්චාරුවක් වෙන්න හොඳටම ඉඩ තියෙනව. දැන් මේක කියවලම යන්න. මොකද ආගිය කතා, ආතල් සීන්, අනං මනං, තාක්ෂණය, මෘදුකාංග, කාලීන ඔක්කොම මෙතන තියෙනවා :D



මුලින්ම පටන්ගමු දෙසැම්බර් 31දා පොඩි ආතල් සීන් එකකිං. පරණ දේවල් ගැන ලියනවට අහිතක් හිතන්න එපා.. දෙසැම්බර් 31 තිබුණනෙ රිදී රැයක්. ඒකට එළකිරි.com අඩවියත් අනුග්‍රහය දීල තිබුණද? මම නං දන්නෙ නෑ.. ඒත් දැන් FM නාලිකා වල ගීතයක් ප්‍රචාරය වෙන අතරෙ "$$$$ FM" කියල කෑ ගහනව වගේම ඔය රිදී රැයක් ප්‍රසංගයෙ එක නර්තනයක් අතරෙ මට ඇහුණ "එළකිරි ඩොට් කෝම්" කියල සද්දයක්. අනේ හැබෑට... ඒ කියන්නෙ මේ අය ළඟ ඒ ගීත නැද්ද? එයාල අන්තර්ජාලයෙන් බාගත් ඒවද මේ වගේ 'ලොකු' වැඩ වලටත් පාවිච්චි කරන්නෙ? පොඩි මිස්ටේක් පාරක්නෙ... එච්චර දේකුත් නෙවෙයි. :D



ඊළඟට ජනවාරි පළවෙනිදා... මිනිස්සු කොයි තරම් මුදලක් රතිඤ්ඤා වලට නාස්ති කරන්න ඇත්ද? මේව ඉතින් කියලත් වැඩක් නෑ... මම පොඩි කාලෙ නං ආසාවට රතිඤ්ඤා පත්තු කළා තමයි.. වැඩේ නිකං පුස්සක් කියල දැනගත්තම නැවැත්තුවා. දැන් මම රතිඤ්ඤා පත්තු කළොත් අනිත් අය හිතයි මට පිස්සු කියල.



ඊළඟට ජනවාරි 02, කිලිනොච්චිය... එදා කරපු නාස්තිය ඊටත් වැඩියි. ඒ වෙනුවට රණවිරු අරමුදලකට මුදල් එකතු කළා නම් සෑහෙන්න වටින දෙයක් වෙන්න තිබුණු බව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මම එදා කිරුළපන හිටියෙ... හවස්වරුවෙ පුදුම කලබලයක් තිබුණෙ.. මම කියන්නෙ රතිඤ්ඤ සද්දෙ ගැන.

එදා සිරස මාධ්‍ය කරපු වැඩේ නම් අන්තිම කැතයි. ඒක නිසා ගොඩක් අය සිරස කට්ටියගෙ මෑණියන් සිහි කර කර හිටියෙ.



සිරසට මැර ප්‍රහාරයක්! ඔන්න ඊළඟ ප්‍රවෘත්තිය. යම් යම් කරුණු කාරණා පැත්තෙන් බැලුවම............ ඒ කියන්නෙ අපේ රටේ සංස්කෘතිය කාබාසිනියා කිරීම... (දැන් ගොඩක් දෙමව්පියො ළමයින්ට සිරස ටීවී නැරඹීම තහනම් කරල තියෙන්නෙ) හොරුන්ට සහ මං පහරන්නන්ට රත්තරනින් රන් ආකරයක් වූ රන් දෙපැයක් නිර්මාණය කිරීම... කොටියාට කඩේ යාම (දේශපාලන පක්ෂයකට කඩේ ගියානං ඒක නිකං අර නිතර දකින කුකුළගෙ කරමල වගේ වෙන්න තිබුණා, ඒත් මුන් ක‍‍ඩේ යන්නෙ කාටද? කොටියට!!!) .........මුන්ට ඔහොම වෙලා මදි කියල තමයි හිතුණෙ. ඒත් පස්සෙ ටිකක් සැක හිතුණ මේක දේශපාලන අරමුණක් ඇතුව කළ දෙයක්දෝ කියල... ඒක ඇත්තටම එහෙමනං වැඩේ අන්තිම කැතයි.

බ්ලොග් වලත් ගොඩක් අය ඒ ගැන අදහස් දක්වල තිබුණ. සමස්තයක් වශයෙන් මේ සටහන් වල සාරය ගත්තම මට මතක් වුණේ ගිය අවුරුද්දෙ කැම්පස් එකේදි ඉගෙනගත් ඈෂ් පරීක්ෂණය. සමහර අය අවංකව අදහස් ලියල තිබුණ... සමහර අය අනිත් අය කියන නිසා සිද්ධිය හෙළා දැකල තිබුණ. මමත් ඔහේ හිතට ආව දේ මෙතන ලිව්ව. සමහරවිට (බොහෝ විට) මම වැරදි වෙන්නත් පුළුවන්.



ඔය අතරෙ... අපේ Multimedia Project එකේ වැඩ... සමහර දවස් වල කිරුළපන අපේ 'දකා'ගෙ බෝඩිමේ නයිට. ඒක කොමඩියක්.. වාර්තාමය රූපවාහිනී වැඩසටහනක්... අර සිරසේ 'තිත්ත ඇත්ත' වගේ පේන්න හදපු කොමඩියක්. (ඇත්තටම හිතාගන්න බෑ ඇයි සිරස මේ තත්වයට පත් වු‍ණේ ඇයිද කියල :( එයාලගෙ මුල් කාලෙ හොඳ වැඩසටහන් තිබිල වගේ)

Multimedia Technologies වලට දීපු මේ project එක අපේ සරසවි ජීවිතේ ආතල්ම project එක වේවි කියල හීනෙකිං වත් හිතුවෙ නෑ. ඒක එහෙමම වුණා. :)



ඊළඟ ලොකු ප්‍රවෘත්තිය, ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කරලා. මාධ්‍යවේදියෙක් විධියට රටට සෑහෙන සේවයක් කරපු පුද්ගලයෙක්. කාගෙ වැඩක්ද කියල නම් හිතාගන්න අමාරුයි. සිද්ධිය තරයේම හෙළා දකිනවා. එහෙම කිව්වට මැරුණු කෙනාට ආයෙත් ජීවිතය ලැබෙන්නෙ නැහැනෙ. :(

කාලෙකට පස්සෙ බය කියන එක ආයෙම හිතට දැනෙන්න ගත්තා. මේක තවත් අඳුරු යුගයක ආරම්භය වෙයිද? මගේ ළදරු කාලෙ.. ඒ කියන්නෙ මම ලෝකය නොදන්න කාලෙ සිද්ධ වුණ එක එක දේවල් ගැන වැඩිහිටියො කියපු කතා එක එක මතක් වෙන්න පටන් ගත්තා. ඇයි අපේ රටට මෙහෙම වු‍ණේ?



අපේ සිරිත් පරිදි මම assignment එකක් ඉවර කරන්නෙ deadline පෙනි පෙනී. (ඒක වෙනස් වුණේ මෙන්න මෙතනදි විතරයි) 8 වෙනිද තමා මාරක රේඛාව යෙදිල තිබුණෙත්. අන්තිම rendering එක කරන්න පැයක් දෙකක් විතර ගියා. හඬ කැවීම් එහෙමපිටින්ම අවුල්. බෙලෙක්කයගෙ තොල් හෙලවෙන විධියට dub කරන්න මාර අමාරුයි. මොනව කරන්නද ඉතිං.. කවද කාපු කටුද මේව? Pitch එක අඩු කරල ගත්තම ගුම්බෝගෙ කටහඬ නියම තගෙක් වගේ. ඒ යකාට පුදුමයි ඒක උගේ කටහඬමද කියල. :D

කොහොම හරි presentation එකත් කෙරුණ. ඒක වෙන්න ඇති අපි කරපු ආතල්ම presentation එක. එකම සිනා සාගරයක්. මාතෘකාව නිරුවත එළියට. :D බය වෙන්න එපා මේක නරක කොමඩියක් නෙවෙයි.. සරලවම කිව්වොත් bittorrent හරහා හොරෙන් අනවසර මෘදුකාංග හා චිත්‍රපට භාගත කරන්නෙකුගේ නිරුවත ලොවට හෙළි කිරීම. :D


මේ තියෙන්නෙ ඒකෙ intro එක. මෙතන මමත් ඉන්නවා, පුළුවන් නම් හොයා ගන්න :D . Video එක encode කරද්දි වෙච්ච පොඩි වැරැද්දක් නිසා මේක ටිකක් අපැහැදිලියි. ඉඩක් ලැබුණොත් පසුව හොඳ එකක් upload කරන්නම්.

ඔක්කොම ඉවර වෙලා හවස හතරට විතර බවනට ගිහින් breakfast හා lunch කියන දෙකම එක සැරේ ඇඟට දාගත්තා. ඔන්න දැනුයි මේ සටහනේ මුලින් කිව්ව නිදහස ලැබුණෙ... යන්තං ඇති ඒ assignment එකත් ඉවරයි. :)



කාලෙකට පස්සෙ ලැබුණු නිදහස නිසා අට වෙනිද හවස අපි කස්ටිය සෙට් වෙලා ගියා 'වෙදැස' බලන්න BMICH පැත්තෙ. මෙය සංවිධානය කර තිබුණෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන්. වැඩේ නම් එළ! ;) ඒත් සෙනඟ අඩුයි. ප්‍රචාරය මදි වුණාවත්ද? මම මේ සෙනඟ අඩු වෛද්‍ය ප්‍රදර්ශනයක් දැක්කමයි. අඩුපාඩුවක් කියල කියන්න තරම් දේකුත් නෑ. සෙනඟ අඩු නිසා මම නොදන්න ගොඩක් දේවල් අහල දැනගන්නත්, fried chicken වගේ වෙච්ච මෘත ශරීර ළඟටම ගිහින් බලන්නත් අවකාශ ලැබුණා. ආ... තව සර්පයින් ගැන තිබුණු අංගයෙදි තඩි පිඹුරෙක්ව අතින් අල්ලල බැලුව. අනිත් සර්පයො තරං පිඹුර ඇල්ලුවම සීතල නෑ. අපේ 'දොරේ' පිඹුරව කර වටේ දාගෙන පිංතූරයක් එහෙමත් අරගෙන තිබුණ. අනේ පව් ඌ (පිඹුර) විඳින දුක.

පේනව නේද දොරේ සර්පයත් එක්ක ලව් කරන හැටි?

මටත් මතක් වුණා මම පාසල් ප්‍රදර්ශනයකදි දෙපත් නයෙක්ව අතේ තියාගෙන ඌට රිසි සේ සැරිසරන්න දීල ප්‍රදර්ශනය කරපු (වෙච්ච :D ) හැටි. දෙපත් නයා ඉතින් හානිless පොඩි එකෙක්නෙ. ;) මෙතන එහෙම නෙවෙයි.. විෂ සහිත සර්පයොත් එයාල අතට අරං පෙන්නුවද මන්ද...

ප්‍රදර්ශනේ හැම දේම බලන්න වෙලාව මදි වුණත් සමස්තයක් හැටියට මට සතුටුයි. ප්‍රදර්ශනය නියමයි. :)



දැන් ඉතින් ආයෙම back to work තමයි. මොකද විභාගය කියල එකක් ළඟ එනවනේ. :(
යන්න කලියෙන් පොඩි ගැජමැටික් එකකුත් දීලම යන්නම්. දැන් අළුත් වයිරස් එකක් තියෙනවනේ pen drives වල මකන්න බැරි folder එකක් හදන. ඒ folder එකේ නම runauto.. . ඒක open වෙන්නෙත් නෑ.. තියෙන තැනින් හොල්ලන්නත් බෑ. ඒකට හේතුව අසම්මත නමක් තිබීම :D . ඒ කියන්නෙ Windows වල පාවිච්චි නොවෙන ආකාරයෙන් නමේ අගට තිත් දෙකක් තිබීම. මේ කියන්නෙ ඒක අයින් කරන හැටි.

ක්‍රම දෙකක් තියෙනව. එකක් pen drive එක format කරන එක. Format කරන්න කැමති නැත්තම් අනෙක කරන්න අපට පොඩි tool එකක් ඕන වෙනවා. මේකෙන් දැන් අපි කරන්න යන වැඩේ ඇරුණම තව වැදගත් ප්‍රයෝජන තියෙනව. ඒ නිසා ඒක ස්ථාපනය කරගන්න එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒකෙ නම Unlocker. මෙතනින් බාගන්න පුළුවන්. මේ තිර රූප සටහන් වල තියෙන්නෙ ඒක කරන හැටි.






ඉතින් ඔන්න‍ ඔහොමයි මගේ අච්චාරුව.. කොහොමද? රසද? නීරසද? සැරද? චාටර්ද? තිත්තද? ඔහොමම පහළට scroll කරල බලන්න සුදුපාට කොටුවක් තියෙනව. ඒක තියෙන්නෙ මගේ අච්චාරුව කාපු අයට වමාරන්න.
(කොයිල්ද? ටියුබ්ලයිට්ද? ඔය පහළ කොටුවෙ comment එකක් ලියලම යමු...?)

අපේ විභාගෙන් පසුව නැවත හමු වෙමු. ;)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Sunday, December 21, 2008

සියළුම බෞද්ධයන් හට දැනුම් දීමයි!

මා පාසැලේ 8 වන ‍ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කාලයේදී දිනක් මිතුරන් මාර්ගයෙන් මට එක්තරා පත්‍රිකාවක් ලැබුණි. මම එය කියවා "මේ බොරුවක්" යන වදන පමණක් පවසා එය ඉවතලීමට සැරසුණත් මිතුරන්ගේ විරෝධය හේතුවෙන් එය ඉවත නොදමා ඔවුන්ටම දුනිමි.
---
ඒ පත්‍රිකාවම පසුගිය දිනක මට විද්‍යුත් තැපෑලෙන් ලැබී තිබුණි. අහෝ සම්බුද්ධ ධර්මයට කර ඇති අපහාසය! තත්වය නරක අතට හැරී ඇත්තේ දැන් මෙයට විද්‍යුත් තැපෑලත් උදව් වීම නිසාවෙනි. විද්‍යුත් තැපැල් මගින් ඉතා පහසුවෙන් යම් පණිවුඩයක පිටපත් සිය ගණනක් එක්වර බෙදාහැරීමට ඇති හැකියාව නිසාවෙනි.


බුද්ධාගමට විහිළු කරන අයට නිසි දඬුවම් දීමක් ගැන මෙහි සඳහන් වෙයි. මා අසා ඇති අන්දමින් වෙනත් ආගම්හි දක්නට ලැබෙන අන්දමින් විරුද්ධවාදීන්ට දඬුවම් දීම බුදු දහම අනුමත කරන්නේ නැත. මේ කියන නාග රාජයා දඬුවම් දෙන්නෙක් නම් Buddha Bar වැනි දේවල් තවමත් පවත්වාගෙන යන්නේ කෙසේද? එනයින් මේ පත්‍රිකාවම ලොකු විහිළුවක් නොවේද?

මේ පත්‍රිකාව නොසලකා හරින අයට කරදර වේ ලු. ප්‍රචාරය කරන අයට සිතන දේ ඉෂ්ට වේ ලු. මේ පත්‍රිකාවේ ඇති අතාර්කික කරුණු එකින් එක විග්‍රහ කරන්නට කාලයක් මට නැත. කිව යුතු එකම දේ නම් මෙවන් බොරු පත්‍රිකා වලට රැවටී නොමග යන්නන් දැනුවත් කර ඔවුන්ට සත්‍යය වටහා දිය යුතුය යන්නයි.
---
ඔබටත් මෙම පත්‍රිකාව විද්‍යුත් තැපෑල මගින් ලැබී ඇත්නම් එය මකා දමන්න පසුබට වෙන්න එපා. නොමග ගියවුන් දැනුවත් කරන්න. මෙය ප්‍රචාරය නොකළා කියා ඔබට දෂ්ඨ කරන කළු නාගයෙක් කොතැනකවත් නොවේ.

If you have received this leaflet, do not hesitate to discard it. And also help people to understand what the truth is.

තෙරුවන් සරණයි!

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Monday, December 15, 2008

තවත් එක් අමානුෂික සිද්ධියක්

අද උදේම හා හාපුරා කියල මට ලැබුණු ඊ මේල් පණිවුඩයත් එක්ක අමුණල තිබුණු වීඩියෝ දර්ශනය නැරඹීමෙන් මගේ හිතේ ඇති වුණ හැඟීම් තවමත් එකිනෙක ගළපා කියන්න බැරි තරම් ව්‍යාකූලයි. ඒ නිසා ඒ ගැන නොලියා ඊ මේල් පණිවුඩය එහෙමම දාන්නම්.
This is terrible. All this has happened while the Indian Police watching. How can they become a super power. India, though brag about ancient civilization, still live in dark, primitive ages. Send this to all you know.

A BIT OF A TAMIL HUMANITY
Dear friends

This is a scene from a recent incident took place in Chennai Law College.

I asked a Tamil friend of mine, who work here as a process engineer, who is also from Chennai, to tell me what the hell is this all about.

Then he told me this is always happening in South Indian Law colleges mainly due to CAST issues and this too..

So these are the people who protest against Sri Lankan Govt.., about so called inhuman acts – stupid idiots.

This incident had taken place in front of Chennai High Court and next to Bar Association head office.

Sri lanka is much, much more civilized than this. Please make your colleagues aware of what's happening in other parts of world, since every body is pointing finger towards our mother land Sri Lanka.
---
ඇති වුණේ පුදුම පිළිකුළක්.. ඉන්දියාවෙ උසස් යැයි කියා ගන්නා කුල වල එවුන් ගැන මහා පිළිකුළක් ඇති වුණා.

මෙහෙමත් හිතුණා:
ඉන්දියාවෙ නපුංසකයොත් පොලිස් නිළධාරීන් ලෙස බඳවගන්නවද?

කරුණාකර, පහසුවෙන් කම්පනයට පත් විය හැකි පුද්ගලයන් පහත දැක්වෙන වීඩියෝ දර්ශනය නැරඹීමෙන් වලකින්න.



---
අවසානයේ මෙහෙමත් හිතුණා:
කාගේ කාගේ හෝ වරදින් අවාසනාවට අපේ රටේ සමහර විශ්වවිද්‍යාල වලත් තත්වය මෙයම නේද? (අපේ ඇහේ තියෙන පොල් පරාලය)

අහෝ මනුලොව මනුෂ්‍යත්වය!!!

මෙන්න මේ වීඩියෝ එකත් බලන්න. මෙය කවුරුත් නැරඹිය යුතුම එකක් කියලයි මට හිතෙන්නෙ.


෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Saturday, December 6, 2008

asapuva.com හි වංචාකාරී අඩවියක්?

කලකට පෙර මම නිතර යන එන වෙබ් අඩවියක් වෙලා තිබුණා අසපුව.com. මගේ bookmarks එකතුව නිකමට බලද්දි මට හිතුණ ආපහු අසපුව පැත්තෙ යන්න. මම කලින් ඔය අසපුවෙ ගිහිපු පැත්තක් තමයි Dreams of Tarzan අර මෝඩජෝක් සිංදු තියෙන පැත්ත. නිකමට ගියා බලන්න තාම තියෙනවද නැද්ද කියල බලන්න. ඉස්සර ඔතනට ගිහින් මම සිංදුවක් දෙකක් බාගෙනත් තියෙනව. මෙන්න අද යන්න හදනකොට ගිනි නරිය මෙන්න මෙහෙම කියාපි,
වාර්තාවූ ආක්‍රමණික අඩවියකි!

www.asapuva.com හි ඇති මෙම හි වෙබ් අඩවිය ආක්‍රමණික අඩවියක් ලෙස වාර්තා වී ඇති අතර ඔබගේ ආරක්‍ෂක අභිප්‍රේත අනුව අවහිර කර ඇත.

පෞද්ගලික තොරතුරු ‍සොරකම් කිරීම, වෙනත් අයට භාදා කිරීමට ඔබගේ පරිගණකය භාවිතා කිරීමට හෝ ඔබගේ පද්ධතියට හානි කිරීමට හෝ ක්‍රමලේඛන ස්ථාපනය කිරීමට ආක්‍රමණික අඩවි උත්සාහ කරයි.

සමහරක් අක්‍රමණික අඩවිය ඔනැකමින්ම හානිකර මෘදුකංග බෙදාහරින අතර, හිමිකරුගේ අණු දැණුමකින් හෝ අවසරයකින් තොරව සිදුකරයි.

නමුත් පසුගිය මාස තුනක කාලය ඇතුළත සැකසහිත හැසිරීම් එකයිලු වාර්තා වෙලා තියෙන්නෙ. පරීක්ෂා කරපු පිටු 22කින් 13ක්ම පරිශීලකට හොරෙන් malware ඩවුන්ලෝඩ් කරනව කියලත් ගූග්ල් කියනව. වැඩි විස්තර මෙතනින්ම බලාගන්න.







මේව සයිබර් අවකාශයේ සාමාන්‍ය දේවල් බව ඇත්ත. ඒත් ඉතින් දැන් සිංහල අඩවි වලත් තත්වය මේකද?

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Thursday, November 13, 2008

නිදහස සොයා - 2 | නිදහස්-විවෘත මෘදුකාංග හා සංවෘත මෘදුකාංග

පෙර ලිපිය හා සබැඳේ.

අද GNU/GPL ගැන ලියන්න බලාපොරොත්තු වෙලා හිටියත් ඒ ගැන තව වැඩිදුර අධ්‍යනයක් කරලා පසුව ලියන්න හිතුණා. මෘදුකාංග බලපත්‍ර ක්‍රම රාශියක් පවතිනවා. සමහර මෘදුකාංග වල මේ බලපත්‍ර දෙකක් සංයෝජනය කර සාදාගන්නා බලපත්‍ර ලබා දෙන ක්‍රමයකුත් තිබෙනවා. තොරතුරු තාක්ෂණයත් නීතියත් එකට සන්ධි වෙන එක් සන්ධිස්ථානයක් තමයි මෙය. ඉතින් මෘදුකාංග බලපත්‍ර ක්‍රම ගැන ලියන්න කලින් තව අධ්‍යනය කරන එක මගේ ඉගෙනීමටත් වැදගත්.

---

අද මම ලියන්නෙ නිදහස් හා විවෘත මෘදුකාංග (කෙටියෙන් FOSS - Free and Open Source Software කියමු) සහ සංවෘත (closed source) මෘදුකාංග අතර පොඩි සංසන්දනයක්.

FOSS වල ඇති විවෘත විනිවිද භාවය නිසා පරිශීලකයාට රිසි පරිදි එහි අභ්‍යන්තරය‍ට එබී බලන්නත් මෘදුකාංගය සංස්කරණය කරන්නත් පුළුවන්. එහි තේරුම තමාගේ මෘදුකාංග පිටපත තමා විසින් අවශ්‍ය පරිදි වෙනස් කරගැනීම පමණක් නොවෙයි, ඉන් ඔබ්බට ගොස් අළුත් යමක් සොයා ගත් විට අනෙක් අය සමග එය බෙදා හදා ගැනීම මගින් ලොවට යමක් දායාද කරන්නත් පුළුවන්. මේ බෙදා හදා ගැනීම් සඳහාම කැප වූ සංසද හා forums සෑහෙන ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා සොයාගන්න පුළුවන්. මේවා බොහොමයකට නොමිලයේම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පූර්ව තාක්ෂණික දැනුමක් තිබීමත් අත්‍යාවශ්‍යම නැහැ.

GNU ව්‍යාපෘතිය ආරම්භ කළ රිචඩ් මැතිව් ස්ටෝල්මන් නැමැත්තා වරෙක මෙසේ කියා තිබෙනවා,

"To serve humanity with software, software should be free, because software belongs to human knowledge. Proprietary software does not belong to human knowledge."

අද වන විට ලබා ගත හැකි FOSS ඇත්ත වශයෙන්ම තනි පුද්ගලයෙකුගේ, සමාගමක හෝ ආයතනයක දැනුමෙන් ගොඩනැගුණු ඒවා නොවෙයි. එය මුළු මහත් මිනිස් වර්ගයාගේම දැනුම නියෝජනය කරනවා.

උදාහරණයක් ලෙස අපි GNU/Linux කර්නලය (මෙහෙයුම් පද්ධතිය) ගනිමු. 1991දී මෙය නිර්මාණය කළේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු විසින් (Linus Torvalds, undergraduate at University of Helsinky). කාලයත් සමඟ විවිධ රටවල විවිධ පුද්ගලයන්ගේ දැනුමින් පෝෂණය වෙමින් දියුණු වූ මෙය අද පරිගණක භාවිතය ඉගෙනගන්නා අයගේ සිට මහාචාර්යවරුන් දක්වා විවිධ දැනුම්/ බුද්ධි මට්ටම් ඇති බොහෝ පිරිසකගේ එදිනෙදා අවශ්‍යතාවන් සපුරන්නක්. වෙනත් මෙහෙයුම් පද්ධතිද ප්‍රචලිතව තිබූ මේ කාලයේ Linux දියුණුවට ලොකු හේතුවක් වුණේ මූල කේත දෙස ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් වීම හා නිදහස් බවයි.

සමහරවිට කෙනෙකුට හිතෙන්න පුළුවන් මූලය විවෘත නිසා වයිරස නිර්මාණය කරන අයට මේ මෘදුකාංග වල කේතය අධ්‍යයනය කරල ඒ මෘදුකාගංයට හානි කරන වයිරස නිර්මාණය කරන්න පුළුවන් නේද කියල. ඇත්ත තත්වය එය නොවෙයි. යමක් සංවෘතව ඇති තාක් මිනිස්සු උත්සාහ කරන්නෙ ඒ දේ අභ්‍යන්තරය කොහොම හරි බලාගන්න. ඒ විතරක් නෙවෙයි කොහොම හරි අභ්‍යන්තරයට එබිල අනිත් අයට කරන්න බැරි දෙයක් කරල පෙන්නල 'පොර' වෙන්න. එතැනින් තමයි hackers/ crackers හා වයිරස ලියන්නන්ට මග විවර වෙන්නෙ. නමුත් දෙයක් විවෘත වුණාම, එහි ඇති අරුමයක් නැති බව පෙණුනම මිනිස්සු ඒක තව දියුණු කරල 'පොර' වෙන්න හදනව මිසක් එය විනාශ කරන්න දඟලන්නෙ නෑ. කාගෙත් හොඳ වෙලාවට තවමත් ලෝකයේ තාක්ෂණය දන්න අයගෙන් වැඩි හරියක් යහපත් අය. ඒ නිසා තමයි ලිනක්ස් කර්නලය මෙතරම් දියුණු තත්වයෙන් අද පවතින්නෙ. එයට වයිරස වලින් හානියක් කළත් මූලය විවෘත නිසා ඕනෑම කෙනෙකුට එය ඉක්මනින් යථා තත්වයට ගෙන එන්නත් පිළියම ලොවට ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ විතරක් නොවෙයි. තාක්ෂණික දැනුම නැතිනම් හානිය ගැන අනෙක් අයව දැනුවත් කළාම කාට හරි ඉක්මන් පිළියමක් සොයා ගන්න පුළුවන්.

ලිනක්ස් වල ඇති නිදහස් හා විවෘත බව නිසා දැනට ලෝකයේ පාවිච්චි වෙන ලිනක්ස් කර්නල අතර විවිධත්වයක් තිබෙනවා. ඒ බොහෝ අය තමන් ලද දෙය රිසි පරිදි සකස් කරගෙන පාවිච්චි කරන නිසා. මේ විවිධත්වය නිසා එක් ලිනක්ස් කර්නලයකට හානි කිරීමට සමත් වයිරසයක් තවත් ලිනක්ස් කර්නලයක් හමුවේ අසරණ වෙනවා. නමුත් Windows හෝ වෙනත් සංවෘත මෙහෙයුම් පද්ධතියකට හානි කරන්න සමත් වයිරසයක්, ලොව පුරා ඇති එම මෙහෙයුම් පද්ධති කර්නල පිටපත් වල ඇති එකිනෙකට සමාන බව නිසා පහසුවෙන් ජය ගන්නවා. අවශ්‍ය නම් ඕනෑතරම් උදාහරණ දෙන්න පුළුවන්.

---

අපි හිතමු යම් කෙනෙක් FOSS එකක දෝෂයක් (bug) සොයා ගත්ත කියල. අවශ්‍ය තාක්ෂණික දැනුම තියෙනවනම් ඔහුට පුළුවන් ඒ සඳහා 'patch' එකක් තමන් විසින්ම හදල නිකුත් කරන්න. විවෘත නිසා අනෙක් අයට පුළුවන් එහි නිවැරදි බව පරීක්ෂා කරන්න. තාක්ෂණික දැනුම නැතිනම් පුළුවන් bug එක ගැන forum එකක කතා කරන්න. එවිට කාට හරි පුළුවන් patch එක හදන්න. FOSS අභ්‍යන්තරය දෙස මුළු ලොකයේම නෙත් යොමු වී ඇති නිසා ඇති වන දෝෂ ඉක්මනින්ම සොයා ගැනෙනවා.

නමුත් සංවෘත මෘදුකාංග වල දෝෂයක් හොයා ගත්තම එය තමන්ටම නිවැරදි කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් දියුණු තාක්ෂණික ක්‍රම තිබුණත් ඒවා පාවිච්චිය නීති විරෝධීයි. ඒවා පාවිච්චියේදී bugs ගැන අදාළ සමාගමට පැමිණිලි කළ යුතු වෙනවා. ඔවුන් එයට අවශ්‍ය විසඳුම දෙන්නෙ ඔවුන්ට අවශ්‍ය පරිදි අවශ්‍ය නම් පමණයි. විසඳුම් ලැබෙනකොට අශ්වයා පැන ගිහින් ඉවරයි. හොඳම උදාහරණය Windows XP Service Packs නිකුත් වෙන්න කොයි තරම් කාලයක් ගියාද?

---

මේ අතරෙ Microsoft ගැනත් යමක් කියන්න ඕන. බිල් ගේට්ස් පෝල් ඇලන් හා එක්ව හැදූ MS-DOS පද්ධතිය දියුණු වෙලා Windows දක්වා දියුණු වුණේ Microsoft ආයතනයට සේවය කරන අය අතින් පමණයි. ලෝකයේ සෙසු අය කළේ ගුණ දොස් විචාරන එකයි. එහෙනම් කොහොමද Microsoft තවමත් ලෝකයේ අංක එක වෙලා තියෙන්නෙ?

ඒකට හේතුව Microsft සමාගමේ දක්ෂ අලෙවි ප්‍රවර්ධන උපාය ක්‍රම (marketing strategies) හා උසස් මට්ටමක ඇති කළමනාකරණය කියලයි මට හිතෙන්නෙ. ව්‍යාපාරික මට්ටමින් බැලූ විට එය පැසසිය යුතු දෙයක්. (හැබැයි ඔවුන් ව්‍යාපාර කරන්නෙත් නීති විරෝධීව - Antitrust Law)

මෘදුකාංග නිදහස් විය යුතුයි. Software should be free.

---

සටහන අපැහැදිලියි වගේ නම් සමාවෙන්න. ප්‍රශ්න තියෙනවනම් comemnt එකක් දාන්න.


Friday, November 7, 2008

ඇස්පනාපිට ලැබුණු අවවාදය

මම කැම්පස් එකට යන්නෙ-එන්නෙ ගෙදර (අම්බලන්ගොඩ) ඉඳලමයි. හවසට එන්නෙ සමුද්‍රදේවී දුම්රියෙ (වාර ප්‍රවේශපත්‍රය නිසා ගානක් නැහැ). අද කැම්පස් එකේ පොඩි වැඩ වගයක් තිබිල මට පිටත් වෙන්න පරක්කු වුණා. 154ක නැගල බම්බලපිටියට ගිහිල්ල බැහැපු ගමන් මම දිව්වෙ දුම්රිය ස්ථානය දිහාවට. කොහොම නමුත් මම දුම්රියට ළඟා වෙනකොට එය පිටත් වෙන්න ගමන් අරඹලා. කොහොම හරි නැගගන්න හිතුණත් දුම්රියේ වේගය වැඩි හින්ද මම නැග්ගෙ නෑ. ජීවිත කාලය කෙටි කරගන්නවත්, අනෙක් මගීන්ගේ විරුද්ධත්වය නොතකා එහෙම කරල 'පොර' වෙන්නවත් මට ඕන වුණේ නැති හින්දා මම විනාඩි 10ක් ඉඳල ඊළඟ දුම්රියේ ආව.

---

ඔන්න මම ආපු මන්දගාමී දුම්රිය හෙමින් හෙමින් ඇවිත් බෙන්තොටත් නතර කළා. මහන්සිය නිසා මම ඒ වෙලාවෙ හිටියෙ අඩ නින්දේ.

බෙන්තොටින් පිටත් වෙනකොටම මගීන්ගෙ කෑගැසීම නිසා මම උඩ ගිහින් බිම වැටුණ. ඒ කෑගැසීම කළේ කොහොම හරි රියදුරු ලවා දුම්රිය නවතන්න. මම ළඟ තිබුණු රතු පාට EMERGENCY SWITCH බොත්තම තද කළා -- කෝ එතන බොත්තමක් නෙවෙයි නිකන් සිදුරක් විතරයි (ඒ ගැන ඉතිං වෙනම කතා කරන්න ඕන). කොහොම හරි දුම්රිය තුළ හා දුම්රිය ස්ථානයෙ හිටපු මගීන්ගේ කෑගැසීම නිසා රියදුරු දුම්රිය නැවැත්තුවා. මේ සියල්ල සිදුවෙන්න ගත වුණේ එක නිමේෂයයි.

දුම්රිය ටික දුරක් ගිහින් නැවතුනා. දුම්රිය ගාඩ්වරයාත් මගීනුත් එකතු වෙලා දුම්රිය වේදිකාව අස්සට වැටුණු මනුස්සයව එළියට ගත්ත. ප්‍රාතිහාර්යයක් වගේ, ඔහු තවම පණපිටින්! සීරීමක් දෙකක් හැරෙන්න වෙන තුවාලයක් නැහැ.

සිද්ධිය මේකයි. ඔහුත් මං වගේම ප්‍රමාද වෙලා දුම්රියට ආපු කෙනෙක්. බෑග් එකකුත් එල්ලගෙන දුම්රිය‍ට නගින්න උත්සාහ කරද්දි බෑග් එක බිම (වේදිකාව මතට) වැටිලා. ඔහු නැවත බෑග් එකත් අතට අරගෙන දුම්රියට නගින්න උත්සාහ කරද්දි පය ලිස්සා දුම්රිය වේදිකාව අස්සට වැටිලා. (ඒ ප්‍රමාදයෙදි දුම්රියේ වේගය වැඩි වෙන බව ඔහුට එවෙලේ නිකමටවත් හිතිල නැහැ) කොහොම වුණත් වාසනාවට ඔහු බේරුණා.

---

මේ වගේ සිද්ධි ඇති තරම් වෙලා තිබුණත් අද මේ සිද්ධිය මගේ හිතේ පොඩි කැළඹීමක් ඇති කළා. අද මම හදිස්සි වුණා නම් මොකද වෙන්නෙ? හරියට මට ඇස්පනාපිටම ලැබුණු අවවාදයක් වගේ. කොහොම වුණත් අර මගියා බේරුණු එක නම් ලොකුම ලොකු දෙයක්.

බස්රිය, දුම්රිය මිස් වුණොත් ඊළඟ එකේ යන්න පුළුවන්. ඒත් ඔය වගේ මෝඩ වැඩ කරන්න ගියොත් වෙන්නේ ජීවිතයෙන් ඩිස්මිස් වෙන්න.



Wednesday, November 5, 2008

නිදහස සොයා - 1 | GNU/GPL වෙත ප්‍රවේශයක්

අද සටහනත් වෙන් වෙන්නෙ පරිගණක පිළිබඳ සාපේක්ෂව අඩු හෝ සාමාන්‍ය දැනුමක් තියෙන අය වෙනුවෙන්.

අපි පාවිච්චි කරන පරිගණක මෘදුකාංග අපට ලැබු€ණෙ කොහොමද? Software CD ටික ඉල්ලගන්නව යාළුවෙක්ගෙන් - නැත්තම් ඕනම CD එකක් රුපියල් 80ත් 200ත් අතර මුදලකට ගන්නවා - නැත්තම් Pirate Bay පිහිටෙන් - එහෙමත් නැත්තම් කාට හරි කියනව තමන්ගෙ පරිගණකයෙ මෘදුකාංග ටික ස්ථාපනය කරල දෙන්න කියල. මේ එක වෙලාවකවත් මේ වැඩේ නීත්‍යානුකූල බව ගැන හෙව්වද? දැන ගත්තත් ඒ ගැන අපි තැකීමක් කරනවද?

ඔන්න කොහෙන් හරි ගේනව Windows XP තැටියක්. ගෙනත් install කරනව. ටිකකින් මොකක්ද ඉංග්‍රීසියෙන් ලියපු වැල්වටාරමක් එනව. මොකද කරන්නෙ - ඔබනව F8. තමන්ගෙ සියළු චංචල - නිශ්චල දේපල Microsoft එකට පවරනව කියල තිබුණත් දන්නෑ. කියවන්නෙ නැහැනෙ අපේ අය.

හරි. දැන් එමු මාතෘකාවට. මම කිව්ව ඉංග්‍රීසි වැල්වටාරම කී දෙනෙක් සම්පූර්ණයෙන් කියවල තියෙනවද? මම නම් කියෙව්වා. කියවල නැත්තම් මෙතනින් කියවන්න [Windows XP, PDF]. eula.txt කියෙව්වම තේරුම් ගන්න පුළුවන් Microsoft ආයතනය Windows භාවිත කරන්නාට කොතරම් සීමා පනවල තියෙනවද කියල.

තමන්ට අවශ්‍ය විධියට වෙනස් කරගන්න බෑ. එක පරිගණකයක විතරයි පාවිච්චි කරන්න පුළුවන්. Decompile - ඒ කියන්නෙ වින්ඩෝස් ගොනු නැවත මූල කේත වලට හැරවීම (අඩුගානේ ආසාවට බලන්නවත්) සපුරා තහනම්. "The Product may not be used by more than two (2) processors at any one time on any single Workstation Computer" - මේ ගැන මොකද හිතන්නෙ? මේ වගේ කොන්දේසි රාශියකට අපව යටත් කරල තමයි ඔවුන් අපට මෘදුකාංග පාවිච්චි කරන්න දෙන්නෙ.

අනවසර පිටපත් පාවිච්චිය හා ළග තබා ගැනීම වැරදි වුණත් අනවසර පිටපතක් පාවිච්චි කරන කෙනාට ඕව වැදගත් නැහැනේ. දැන් බලමු නියමිත මුදල ගෙවල තමන්ගෙ පිටපත ලබාගන්න අය දිහා. ගෙවන මුදලත් එක්ක සංසන්දනය කරල හිතන්න මේ EULA (End User's License Agreement) එක කොයි තරම් දුරට සාධාරණද කියා. Microsoft පමණක් නොව අප එදිනෙදා පාවිච්චි කරන මෘදුකාංග බොහොමයක සත්‍ය තත්වය ඕකයි.

මගේ මතය තමයි මෘදුකාංග තමන්ට රිසි පරිද්දෙන් පාවිච්චි කිරීමේ නිදහස තිබිය යුතුයි කියන එක. මේක කවුරුවත් තෙල ගහල මගේ ඔළුවට ඇතුළු කරපු එකක් නෙවෙයි. හැබැයි විවිධ පුද්ගලයන් විසින් කළ දැනුවත් කිරීම් විවෘතව විමසා බලා හිතට ගත් දෙයක්. මම නිදහස උපරිමයෙන් අගයන්නෙක්.


මෙන්න නිදහස බලෙන් විඳීම (සංස්කරණය කළ logonui.exe):
මෙහි තිබූ තිර රූපසටහන ඉවත් කරන ලදී.
---

කොන්දේසි වලට හිර වෙන්න අකමැති නම්??? මෙන්න විසඳුම... නිදහස් හා විවෘත මෘදුකාංග හෙවත් Free and Open Source Software

නිදහස් (Free): පිටපත් කිරීම, සංස්කරණය කිරීම හා නැවත බෙදා හැරීම සඳහා නිදහස්
විවෘත (Open) : මූලය විවෘතයි. මෘදුකාංග සමග එහි මූල කේත (source code) ලබා ගත හැකියි

Ubuntu, Mozilla Firefox, Audacity මේ අතරින් කීපයක්. මදක් සිතා බලන්න, මේ නිදහස කෙතරම් අගනේද කියා...

මේ මෘදුකාංග වලත් license හෙවත් බලපත්‍ර ක්‍රමයක් තිබෙනවා. ඒ සඳහා විවිධ හේතු තිබෙනවා. BSD License, GNU General Public License, Apache License මේ අතරින් කීපයක්.

මම වැඩිපුර දැකල තියෙන්නෙ GNU/GPL යටතෙ දෙන නිදහස් හා විවෘත මෘදුකාංග. ඒ නිසා මම GNU/GPL වැඩිපුර උනන්දුයි. මම ඉදිරියෙදි GNU/GPL ගැන සටහනක් තියන්නම්.

GNU: GNU's Not Unix
GPL: General Public License

දැන් නවත්තන්නෙ නිදිමත නිසා... ප්‍රශ්න තියෙනව නම්/ මම වැරදි දෙයක් කියල නම් comment එකක් දාන්න.

Thursday, October 30, 2008

Spread IE8 ........ හුහ්!

Spread IE8 නම් අළුත් වෙබ් අඩවියක් ගැන මට දැනගන්න ලැබුණා. Mozilla Firefox ජනප්‍රිය වීමත් සමග දිනෙන් දින අසරණ වෙමින් පවතින Internet Explorer ගොඩ ගැනීමයි ඔවුන්ගේ අරමුණ. Microsoft India මගින් පවත්වාගෙන යන MeraWindows සංසදය විසිනුයි මෙය දියත් කර තිබෙන්නේ.



මොවුන් කර ඇත්තේ Firefox කොපි කිරීමක්. SpreadFirefox ඔබට මතක ඇති. SpreadIE8 වෙබ් අඩවියෙ ඉල්ලීමක් කර තිබෙනවා ඉහත දැක්වෙන ලාංඡන‍‍ය ඔබේ බ්ලොග් එකට/ වෙබ් අඩවියට එක් කරන්න කියා.

Microsoft වෙළඳ ඒකාධිකාරය ලොවට කර ඇති හදිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒ නිසා මම හැම දෙනාගෙන්ම ඉල්ලීමක් කරනව මේ ලාංඡනය පෙන්නල Microsoft එකට කඩේ යන්න එපා කියල.

---

මම මේ ලාංඡනය මෙතන පෙන්නන්නෙ Microsoft promote කරන්න නෙවෙයි. :)