Showing posts with label Ubuntu. Show all posts
Showing posts with label Ubuntu. Show all posts

Tuesday, July 5, 2016

පහසුවෙන් ලිනක්ස් පාවිච්චි කරන්න ඉඟි අටක්

මෙන්න 2016! 2008 - 2009 අවුරුදු දෙකේ පැල් බැඳගෙන බ්ලොග් ලිව්ව මම 2015 අවුරුද්දෙත් 2013 අවුරුද්දෙත් මොකුත්ම ලියල නැහැ. 2016ත් නිකංම නාස්ති වෙන්න නොදී ලිනක්ස් පාවිච්චිය ගැන පුංචි සටහනක් තියලා යන්න හිතුවෙ ඒ නිසා.

2016 මට විශේෂයි. මම ලිනක්ස් පාවිච්චි කරන්න පටන් ගෙන අවුරුදු දහයක්! අපොයි මේ මොන මළජරාවක්ද කිය කිය කට්ටිය නිකන් දීපු උබුන්ටු සීඩී වාහන ඇතුළෙ එල්ලන කාලේ උබුන්ටු පාවිච්චි කරන්න පටන් ගනිපු මම, අවුරුදු දෙකකට පස්සේ, ඒ කියන්නෙ 2008 දි සම්පූර්ණයෙන්ම උබුන්ටු වලට මාරු වුණා. එදා සිට අද දක්වාම පුද්ගලික පාවිච්චිය උබුන්ටු හෝ මොකක් හරි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක්ම තමයි. දැන්.... ප්‍රවණතාව වෙනස්. දැන් මිනිස්සු උබුන්ටු හොය හොය පාවිච්චි කරනවා.

Thursday, March 3, 2011

මුදවාගැනීමේ මහා මෙහෙයුම සහ තවත් මෙහෙයුමක්

මම නිහඬව හිටපු කාලේ කරදර වුණා කියල මම කිව්වනෙ මගෙ ඕවර්හීට් වෙච්ච බ්ලොග් පෝස්ට් එකෙන්... මේ ඒ කරදර වලින් එකක් තමා. අවදානම් ඇක්ස්පැරිමන්ට් කරන්න ගිහිං මගේ ලැප්ටොප් එකේ හාඩ් ඩිස්ක් එකට තවත් වරක් කෙළැ වී ගියා. කොහොම කොහොම හරි මේකට විසඳුම මතක් වුණා ටිකක් වෙලා ගිහින්. ඒ තමා Testdisk කියන අපූරු මෘදුකාංගය.


Tuesday, April 6, 2010

එන්න, නිදහස අත්විඳින්න මා සමඟ...

ආයුබෝ...! ආයෙමත්, ටික දවසකට පස්සේ ඔන්න ආවා බ්ලොග් එක පැත්තේ. මේ ලියමන තාක්ෂණය සම්බන්ධ එකක් වුණාට මේක කියවන්න ගීක්ලා වෙන්නම ඕනෙ නෑ. :-) මේ ලිපියේ කොටස් දෙකයි... පූර්වභාගය මගේ අත්දැකීම්... අපර භාගය සමාජයට පොඩි පණිවුඩයක්.

මම සම්පූර්ණයෙන්ම ලිනක්ස් වලට මාරු වෙලා දැන් මාස දහයකටත් කිට්ටුයි. මේ කාලය ඇතුළත මම අළුතෙන් බොහොමයක් දේවල් ඉගෙනගත්තා. “වෙනස් වීම” – බැරැක් ඔබාමා දිනවූ වචනය – ක්‍රියාවට නංවන එක අමාරු කාරියක්. නමුත් ස්වයංව වෙනසට ලක්වීමේදී තමයි අභියෝග වලට මුහුණදීම ගැන හොඳ ප්‍රායෝගික පුහුණුවක් ලැබෙන්නෙත්. මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙලා දෛනික පරිගණක කටයුතු කරගැනීම අමාරුයි නේද කියන එක බොහෝ දෙනා මගෙන් අසා තිබුණු ප්‍රශ්නයක්. මගේ උත්තරය, මුල් කාලේ නම් ටිකක් ඔව්, ඒත් දැන් නම් එහෙම නෑ කියන එක. සමස්තයක් වශයෙන්, ලිනක්ස් වල වැඩ කිරීම කොහොමටත් අමාරු කාරියක් නෙවෙයි. වෙනසට ලක් වීම අමාරුයි. ඒත් වෙනසට ලක් වුණාට පසුව අනුගමනය කළ යුතු සාමාන්‍ය පිළිවෙත් සහ රටාවන් (practices) වලට හුරු වුණාම, මුලින් හිටපු තත්වයට වඩා පහසු බවක් දැනෙන්නේ.

මම දෛනිකව පාවිච්චි කරන මෘදුකාංග ගැන සඳහනක් මීට කලකට ඉහතදි පළ කළා. ඇත්තෙන්ම මේ ලැයිස්තුව දැන් යල් පැනලා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් එක්ක මගේ තිබුණු බැමි කීපයක්ම දැන් බිඳිලා ගිහින්. ලිනක්ස් වලට මාරු වුණු මුල් කාලේ යම් යම් අවශ්‍යතා සඳහා ඉඳහිට වින්ඩෝස් පාවිච්චි කරන්න අවශ්‍ය වුණා. පරිගණකය ප්‍රතිපණගන්වන්න කම්මැලි නිසා මේකට පාව්චිචි කළේ Sun VirtualBox මත Windows XP. නමුත් පහුගිය කාලය ඇතුළත, වින්ඩෝස් නැතිවම බැරි වෙලා තිබුණු මේ සමහර අවශ්‍යතාවන් වලට සාර්ථක නිදහස් හා විවෘත ආදේශක විසඳුම් කීපයක්ම අන්තර්ජාලය ඔස්සේ සොයාගන්න මට හැකි වුණා. ඒ සියළුම මෘදුකාංග/ විසඳුම් සඳහා දායක වූවන්ට මගේ හෘදයාංගම ස්තුතිය හා ප්‍රණාමය පිරිනැමෙනවා.

දැන්, මගේ VirtualBox එක ඇතුලේ තියෙන්නෙ Windows 7. ඒත්... මට දැන් ඒක ක්‍රියාත්මක කරන්නත් කම්මැලියි. හිතාගන්න පුළුවන්ද ලිනක්ස් වල භාවිතයේ පහසුව හා ඇබ්බැහි වීම...? මම මේ මෑතකදි එකම එක වැඩකට මම Windows 7 පාවිච්චි කළා. ඒ OpenOffice.org වින්ඩෝස් සඳහා වන නිකුතුවේ සිංහල අතුරුමුහුණත පරීක්ෂා කරන්න. (ඒකට ඉතිං වින්ඩෝස් නැතුව වෙන මොකක් පාවිච්චි කරන්නද? :P )

මම සෙල්ලම් කර කර හිටපු කාලේ මාර්තු දෙවැනිදායින් අවසාන වුණු බව දන්නව ඇතිනේ... දැන් මම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආධුනිකයෙක්... හඃ හඃ..! මට මේ දවස් වල පැවරිලා තියෙන වැඩ වල ටිකක් බැරෑරුම් වගකීමක් තියෙනවා. මාසයක් ඇතුළත මේ දක්වා ඒ වැඩ වලදි ඉතාම විශ්වාසනීයවත්, ආරක්ෂාකාරීවත් වැඩ කරන්න පුළුවන් බොහොම ස්ථායී පාදමක් සහ හොඳ තාක්ෂණික වටපිටාවක් ලිනක්ස් වලින් ලබා දී තිබෙන බව බය නැතුව අත්දැකීම් සහිතව කියන්න පුළුවන්. මෙපමණ කාලයක් සෙල්ලම් කළේ ලෝකල්හොස්ට් එකේ තියෙන සර්වර සහ පරීක්ෂණ දත්ත එක්ක... ඒත් දැන්.......................

---

පහුගිය කාලේ ඇතුළත මට හමුවුණු දේවල් කීපයක් මේ.

ලිනක්ස් වීඩියෝ සංස්කරණය කරන්න පාවිච්චි කරන මෘදුකාංග ගණනාවක්ම තිබෙනවා. ඒ එකකවත් පරිශීලක අතුරුමුහුණත තාම Adobe Premiere හෝ එවැනි මෘදුකාංගයක් තරම් පහසුවෙන් පාවිච්චි කළ හැකි තරමට දියුණු වෙලා නැති බව ඇත්ත. ඒත්, සමහර වැඩ වලදි අවශ්‍යතාවය අනුව චිත්‍රක අතුරුමුහුණතක් (GUI) නැති ffmpeg පවා සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ක්ලික් කළොත් ඒ ගැන යමක් බලාගන්න පුළුවන්. :-) LiVES, Cinelerra යනාදී වශයෙන් වීඩියෝ මෘදුකාංග ගොඩක් මට අන්තර්ජාලය ඔස්සේ සොයාගන්න හැකි වුණා. අවශ්‍යතාවයක් ඇති වුණොත් මම ඒවා පාවිච්චි කරන ක්‍රමය ඉගෙනගනිමින් අළුත් පරිසරයට හුරු වෙනවා. මම Adobe Premiere පාවිච්චි කරල නෑ. පාවිච්චි කරන්න දන්නෙත් නෑ. ඉතින් මට කෝකත් එකයි.

WinSCP මෘදුකාංගය ගැන දන්නව ඇතිනේ... SSH/ SFTP සඳහා වින්ඩෝස් මත භාවිත කළ හැකි client මෘදුකාංගයක්. Windows Explorer (explorer.exe) පාවිච්චි කරලා සාමාන්‍ය ගොනු හුවමාරු වැඩ කරගන්න පුළුවන් වුණාට SSH වගේ ආරක්ෂාකාරී විවෘත කේත පද්ධතිත් එක්ක වැඩ කිරීමේ හැකියාව එයට ලබා දී නැහැ. ඒ නිසයි WinSCP හෝ එවැනි තෙවන පාර්ශ්වයීය මෘදුකාංගයක් පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. නමුත් Ubuntu/ Kubuntu/ Fedora වගේ ලිනක්ස් පද්ධතියකදි තත්වය වෙනස්. File Manager එක විවෘත කරලා පෙත ලබා දෙන තැන ssh://username@serverhost:port යන රටාව අනුව පෙත සටහන් කරලා Enter කළ ගමන් වැඩේ ගොඩ! මේක කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ Ubuntu සමඟ පෙරනිමියෙන්ම GVFS සහය තියෙන නිසා. මේ තියෙන තිර රූපසටහන් දෙකත් බලන්න.

තෙවන පාර්ශ්වයීය ආදේශක අවශ්‍ය නෑ... :-) කාර්යාල වැඩ වලදි ත්‍රෛභාෂික (යුනිකෝඩ්) පෙළ අඩංගු ගොනුත් සමඟ වැඩ කරන්න සිද්ධ වෙන නිසා සාමාන්‍ය ලිනක්ස් ටර්මිනල් එකක වැඩ කරන්න අමාරුයි. අනිවාර්යයෙන්ම චිත්‍රක අතුරුමුහුණතකට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වැඩෙන් ගොඩක් කාලය ඉතිරි වුණා.


මේ 'සුඛෝපභෝගී' පහසුකම් පාවිච්චි කරන්න නම් ටිකක් වේගවත් ජාල සම්බන්ධතාවක් අවශ්‍යයි -- කාර්යාලයීය පරිගණක ජාලය (Office LAN) තුළ පාවිච්චිය ගැටළුවක් නැහැ 

ඊළඟ කාරණාව, EOT වැනි යල්පිනූ ක්‍රම පාවිච්චි කර සිංහල ලියන අන්තර්ජාල පුවත්පත් (උදා: ලක්බිම) කියවන එක. මේ පුවත්පත් කියවන්න පුළුවන් Windows Internet Explorer භාවිතයෙන්ම පමණයි. පත්තරේ බලන්න විතරක් වින්ඩෝස් බූට් කරන්න මට කම්මැලියි. ගැටළුවට නිවැරදිම විසඳුම ළඟපාත තිබිලත් මම දැනගෙන හිටියෙ නැහැ නොවැ. අපේ සහෝදර බ්ලොග්කරුවෙක් වන කෙහළිය බණ්ඩාර ගල්ලබ මීට සාර්ථක විසඳුමක් දීලා තියෙනවා. ගිහිල්ලම බලන්න...!

3GP මාදිලියේ වීඩියෝ ක්ලිප් නරඹන්න ලිනක්ස් මත වැඩ කරන මෘදුකාංගයක් හොයාගන්න බැරුව මම පහුගිය කාලෙ නහයෙන් අඬ අඬා හිටිය නෙව. මේකත් අර මුලින් කිව්ව වින්ඩෝස් එක්ක තිබුණු බැමි කීපයෙන් එකක්. පහුගිය සතියේ මම අහම්බෙන් දැක්කා SuperUbuntu මත පෙරනිමියෙන් එන RealPlayer 11 මෘදුකාංගයෙන් ඒ අවශ්‍යතාවයත් සාර්ථකව සපුරාගන්න පුළුවන් බව. ඉතින් මම මේ දවස් වල හොයනවා ඒක එහෙම වුණේ කොහොමද කියලා...

ඉතින් ඔය වගේ හැම බැම්මක්ම ක්‍රම ක්‍රමයෙන් බිඳිලා මම දැන් VirtualBox එක ඇතුලේ තියෙන Windows 7 ධාවනය කරවන්නෙත් ඉතාම කලාතුරකින්. පහුගිය මාසයටම දෙ වතාවයි.

ඉතිං.......... මට තව දුරටත් වින්ඩෝස් ඕනෙ වේවිද? ඔව්. මම මෘදුකාංග සංවර්ධනයේ (software development) නියැලෙන්නෙක්. තවමත් වැඩි දෙනා පාවිච්චි කරන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිසා ඒ ආශ්‍රිතව මෘදුකාංග සඳහා තත්ත්ව පරීක්ෂණ කරන්න වින්ඩෝස් අවශ්‍ය වෙනවා. .NET ආශ්‍රිත මෘදුකාංග සංවර්ධනයටත් ඉදිරි කාලය තුළ ඉඳහිට මට වින්ඩෝස් අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත්, වින්ඩෝස් සඳහා වෙනම වෙන් කළ partition එකක් මගේ පරිගණකයෙ නෑ. ඉඳහිට අවශ්‍ය වූ වෙලාවක පාවිච්චි කරන්න ඒක VirtualBox එකේම තියේවි.



ඉතින්... මේ ලියවිල්ලෙන් මම දෙන පණිවුඩය...

සාමාන්‍ය පරිශීලකයෙකුට මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙන්න බෑ කියන එක බොරුවක්. පැහැදිලි දැක්මක් සහිතව ලිනක්ස් වලට මාරු වීමේ අවශ්‍යතාවය අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ ඇති. පහුගිය කාලය ඇතුළත සුළු මට්ටමේ චිත්‍රක සංස්කරණ කටයුතු කීපයකුත් මගේ කාර්යාල වැඩ වලදි කරන්න සිදු වුණා. කිසිදු අපහසුවකින් තොරව මම GIMP පාවිච්චි කරලා අදාළ අවශ්‍යතාව සපුරාගත්තා. අනෙක් වැඩ වලදිත් එහෙමයි... සොයන්නාට සම්භ වේ කියල කියමනක් එහෙමත් තියෙනවනෙ..! :-)

හැමදෙනාටම ලිනක්ස් වලට මාරු වෙන්න බෑ කියන කතන්දරේ ඇත්තකුත් නැතුවම නොවෙයි. සමහර අවශ්‍යතාවන් වලදි ලිනක්ස් පාරිසරිකය තුළ වැඩ කරන්න පුළුවන් වෘත්තීයමය මට්ටමේ මෘදුකාංග නැහැ. ඒකට තව ටික කලක් ගත වෙයි. උදාහරණයක් විධියට අපි GIMP ගත්තොත්, මුද්‍රණ ක්ෂේත්‍රයේ භාවිත වෙන CMYK වර්ණ මාදිලියට එය පෙරනිමියෙන් සහය දක්වන්නෙ නැහැ. නමුත්, ඒ සඳහා plugin එකක් අන්තර්ජාලය ඔස්සේ හොයාගන්න පුළුවන්.

ඊළඟ ගැටළුව මතු වෙන්නේ අන්තර්ජාලය ගැන. අන්තර්ජාලය නැතුව මෘදුකාංග ස්ථාපනය කරන්නත් බෑ. ඒ වගේම ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවක විසඳුම් හොයාගන්නත් බෑ. මමත් කාලයක් තිස්සේ මේ ගැටළුවත් සමඟ ඔට්ටු වෙමින් ලිනක්ස් සහ නිදහස් - විවෘත මෘදුකාංග පාවිච්චි කළ කෙනෙක්.

හිතල බලන්න මෙහෙම..... ලංකාවෙ අනවසරයෙන් වින්ඩෝස් භාවිතය ඉතාම ප්‍රචලිතයි. එක එක වැඩ වලට මෘදුකාංග අවශ්‍ය වෙනවා. ඒ නිසා වින්ඩෝස් හා ඒ මත ධාවනය වෙන මෘදුකාංග වලට අපේ රටේ හොඳ වෙළඳපොළක් ඇති වුණා. ඒ ඔස්සේ රට පුරා මෘදුකාංග අලෙවිසැල් බිහි වුණා. නීති විරෝධී වුණත්, වින්ඩෝස් එක්ක ඕනෙ වැඩක් කරගන්න අවශ්‍ය මෘදුකාංග මේ තැන් වලින් හොයාගන්න පුළුවන්.

නමුත්, අපි ඉදිරි කාලය තුළ අනවසර මෘදුකාංග පාවිච්චිය අතහැරලා නිදහස් මෙහෙයුම් පද්ධති හා නිදහස් මෘදුකාංග භාවිතයට පෙළඹුණොත්. මෘදුකාංග අවශ්‍ය වෙයි. ඒ මෘදුකාංග වලට හොඳ වෙළඳපොළකුත් ඇති වෙයි. මෘදුකාංග අලෙවිසැල් වලට ලිනක්ස් හා ඒ සමඟ වැඩ කරන්න පුළුවන් නිදහස් මෘදුකාංගත් එයි. අවසානයේ ලිනක්ස් එක්කත් ඕනෙ වැඩක් කරගන්න මෘදුකාංග අලෙවිසැල් වලින් හොයාගන්න පුළුවන් වෙයි. රිචඩ් ස්ටෝල්මන් විසින් අර්ථ දැක්වූ සිව් වැදෑරුම් නිදහසට අනුව බලාත්මක කරන ලද 'නිදහස්' මෘදුකාංග නැවත විකිණීම නීතියෙන් වරදක් නොවන නිසා කිසිදු අසාධාරණයක් මෙහි සිදු නොවෙන්නා සේම, පහසු මිළකට නීත්‍යානුකූල මෘදුකාංග ලබා ගන්නත් අපේ රටේ අන්තර්ජාල පහසුකම් නැති අයට හැකි වේවි.

මම දැනටත් දැකල තියෙනවා බම්බලපිටියේ මෘදුකාංග අලෙවිසැල් වල Ubuntu, Kubuntu සහ OpenOffice.org මිළදී ගන්න පුළුවන්. ඒ වගේම ස්වභාෂාවෙන් පළ වෙන තොරතුරු තාක්ෂණ සඟරා වලත් දැන් දැන් නිදහස් හා විවෘත මෘදුකාංග ගැන වැඩි වශයෙන් කතාබහට ලක් කෙරෙනවා. මේක ඉතා හොඳ ප්‍රවණතාවක්. මේ තත්වය ඉදිරි කාලය ඇතුළත තවදුරටත් දියුණු වේ යයි අපේක්ෂා කරන්න පුළුවන්.

මේ කතන්දරේ ලේසි වැඩක් නෙවෙයි. නමුත් නිදහස් හා විවෘත මෘදුකාංග ක්ෂේත්‍රය දියුණු වෙන්නේ ඒ වටා එක්ව සිටින ප්‍රජාවත් සමඟ. ඒ නිසා ප්‍රජා දායකත්වය අත්‍යාවශ්‍යයි. මේ වෙනස.... පෙරළිය අපි කළොත් දිනෙක ලංකාවේ අපට 'මෘදුකාංග හොරු' කියන ලේබලයෙන් මිදී දේශයක් විධියට ආඩම්බරයෙන් යුතුව නැගී සිටින්නට හැකි වේවි.

Sunday, November 22, 2009

අළුත් අළුත් ලිනක්ස්

මම දැනට මගේ ලැප්ටොප් පරිගණකයේ මෙහෙයම් පද්ධති තුනක් පාවිච්චි කරනවා. ඒ Ubuntu, Fedora සහ Debian. සාමාන්‍ය පාවිච්චියට Ubuntu ත්, පරිගණක ජාලකරණය/ Virtualization පිළිබඳ යම් යම් දෑ අත්හදා බලන්න Fedora සහ Debian පද්ධතිත් පාවිච්චි කරනවා. GUI නැතුව කට්ට කළුවරේ ඇඩ්වෙන්චර් සෙල්ලම් වලට Debian.. :P ඉතින් මෑතකදි නිකුත් වුණු අළුත් ලිනක්ස් සංස්කරණ ගැන යමක් ලියන්නයි මේ සටහන.




Karmic Koala නම් බැලු බැල්මටම 'මොඩ්' ගතියක් තියෙනවා. කිහිප දවසකට පෙර, මම ඉංග්‍රීසි බසින් ලියන බ්ලොග් අඩවියේ මේ ගැන යම් සඳහනක් කළා. Karmic Koala නිකුතුවත් එක්ක පැහැදිලිව පෙනෙන දෙයක් Ubuntu තව තවත් වින්ඩෝස් වගේ වෙලා. ඒක එක අතකින් හොඳයි කියන්නත් තවත් පැත්තකින් නරකයි කියන්නත් පුළුවන්. මේකෙ තියෙන සමහර වෙනස්කම් වලට නම් මම පෞද්ගලිකව කැමති නැහැ. හැබැයි පෙරට වඩා සෑහෙන හොඳ user friendly ගතියක් තියෙන බවත් පිළිගන්න වෙනවා.

Karmic Koala එන්නේ අළුත් දේවල්, ගති ලක්ෂණ කිහිපයකුත් එක්ක. ඉන් පැහැදිලිවම දකින්න පුළුවන් එකක් තමයි පැරණි GRUB එක (GRUB Legacy) ඉවත් කරලා තවමත් බීටා අවධියේ තියෙන GRUB2 බූට්ලෝඩරය විධියට පාවිච්චි කිරීම. පොත්තට රැවටෙන්න එපා කියල කියන්න තියෙන්නෙ මෙතනදි තමයි. GRUB2, පැරණි GRUB එකට වඩා දියුණු ගති ලක්ෂණ කීපයක්ම තිබුණත්, ආරක්ෂිත බව අතින් නම් අවමයි. GRUB2 වෙත ප්‍රවේශ වෙන්න දියුණු බහු පරිශීලක ප්‍රවේශන ක්‍රමයක් සකසා තිබුණත් තවමත් ඒක 'කොට උඩ' බව තමයි දැනගන්න ලැබෙන්නේ. සරලව කිව්වොත් GRUB2 වෙත බූට්ලෝඩර් මුර පදයක් යෙදීම තවමත් කරන්න බැහැ. කොහොම වුණත් මේ අඩුපාඩු නිවැරදි වෙලා ඉක්මනින් හොඳ බූට්ලෝඩරයක් විධියට GRUB2 එළිදැක්වෙයි කියලා බලාපොරොත්තු වෙමු. :)

Ubuntu අළුත් සංස්කරණයත් එක්ක GRUB2 බෙදාහැරීම කර ඇති ආකාරය ගැන නම් මගේ එතරම් පැහැදීමක් නැහැ. එය එක්තරා විධියක ඒකාධිකාරයක් කියන්නත් පුළුවන්. මීට දෙමසකට පෙර නිකුත් වූ Debian Lenny පද්ධතියත් GRUB2 නිකුතුව ලබා දුන්නා. නමුත් Debian ස්ථාපනයේදී තමන් කැමති බූට්ලෝඩරය තෝරාගැනීමේ විකල්පය පරිශීලකට ලබා දී තිබුණා. පුරුදු පරිදිම, Ubuntu Karmic Koala ස්ථාපනයේදීත් බූට්ලෝඩරය පිළිබඳව වූ එකම සඳහන වුණේ GRUB2 ස්ථාපනය කරන device එක තෝරා ගැනීමේ විකල්පය පමණයි. පැරණි GRUB එකෙන් මගේ පරිගණකයට සැලසුණු ආරක්ෂාව අළුත් GRUB2 වෙතින් නොලැබෙන නිසා නැවත GRUB Legacy වෙත මාරුවීම තමයි මම Ubuntu ස්ථාපනය කළ වහාම කළ පළමුවෙනි කාරිය.

මීළඟට මම දැක්ක තව දෙයක්, Ubuntu ස්ථාපනයේදී තියෙනවා Home ඩිරෙක්ටරිය encrypt කිරීමේ විකල්පයක්. මේ වගේ (අවදානම්) විකල්ප තෝරාගන්න කලින් කළ යුතු දේ පොඩි Google සෙවුමක් කරල බලන එක. Google සෙවුමෙන් දැනගන්න ලැබුණෙ බොහොම නරක ආරංචියක් නිසා මම Home ඩිරෙක්ටරිය encrypt කරන අදහස අතහැර දැම්මා. පරිශීලක මුරපදය වෙනස් කළොත් ලොගින් වෙන්න බැරිලු.

ඊළඟ කාරණාව ලැප්ටොප් පාවිච්චි කරන සංගීත ලෝලීන්ට හොඳ ආරංචියක් වෙයි. සාපේක්ෂව බොහොමයක් ලැප්ටොප් වල හඬ අඩුයි. මේ නිසා ටිකක් කලබල පරිසරයකදි ලැප්ටොප් එකේ ස්පීකර් වලින් නිකුත් වෙන හඬ ඇහෙන්නෙ නැතිව යනවා. මේ ගැටළුවට විසඳුම් හොයන්න මම ෆෝරම් ගණනාවක රස්තියාදු වුණු බව මගේ පැරණි බ්ලොග් සටහන් වලත් ලියා ඇති. නමුත් Karmic Koala සමඟ මෙයටත් විසඳුමක් ලබා දීලා. දැන් gnome-volume-control මගින් හඬ 150% දක්වා වැඩි කරන්න පුළුවන්. :)

තවත් වැදගත් දෙයක් iBus framework එක. මෙතෙක් අපි සිංහල යතුරුලියන වැඩේට පාවිච්චි කළ SCIM ඉවත් කරලා ඒ වෙනුවට iBus ආදේශ කරලා. iBus ගැන වැඩි යමක් මම දන්නෙ නැහැ. නමුත් iBus වින්‍යාසගත කරන එක SCIMට වඩා සෑහෙන පහසු බව නම් පැහැදිලියි.

Ubuntu අළුත් නිකුතුව Cloud Computing පැත්තටත් අත ගහලා. ඒ UbuntuOne. මේ සේවාවෙන් නොමිලයේ 2 GB ඉඩක් ලැබෙනවා. මාසෙකට ඩොලර් දහය ගණනේ ගෙවන්න පුළුවන් නම් මේ ඉඩ 50 GB දක්වා වැඩි කරගන්න පුළුවන්. කොහොම වුණත් Dialog Broadband පාවිච්චි කරන මට නම් UbuntuOne පාවිච්චි කරන අදහස අතහැර දමන්න සිද්ධ වෙනවා.

තව සුළු සුළු කාරණා කීපයක්ම තියෙනවා... නමුත් ඒ දේවල් මෙතන ලියන්න තරම් වැදගත්කමක් නැහැ කියලයි හිතෙන්නේ. Ubuntu 9.10 තවමත් මට සැලකිය යුතු තරමේ ගැටළුවක් මතු කළේ නැහැ. හැබැයි Huawei e220 මොඩම් එකේ තියෙන virtual CD-ROM device එක ස්වයංක්‍රීයව mount වීම නවත්තන්න පුළුවන් විසඳුමක් නම් ලැබුණෙ නැහැ. පෙරදී මේ සඳහා විසඳුම වෙලා තිබුණු usb-modeswitch මෘදුකාංගයත් Ubuntu 9.10 සමඟ අපේක්ෂිත ක්‍රියාකාරීත්වය දක්වන බවක් පෙනෙන්න නැහැ.

සමස්තයක් වශයෙන් කියන්න පුළුවන්,
Ubuntu --> Windows
:(




Ubuntu ගැන කතා ටික ඔහොම අවසාන කරලා ඊළඟට මම කතා කරන්නෙ පසුගිය සතියෙ නිකුත් වුණු Fedora 12 Constantine නිකුතුව ගැන. හැබෑවටම මොකද දන්නෙ නෑ මේ අළුත් ට්‍රෙන්ඩ් එක... දැන් පිට පිටම Fedora සංස්කරණ දෙකකට දාලා තියෙන්නෙ රජවරුන්ගෙ නම්. ඒකෙත් පොඩි 'ගතියක්' නැත්තෙම නෑ.... :P

Fedora නම් Ubuntu වගේ පොත්තේ වැඩි වෙනසක් කරලා නෑ. මම Fedora එක්කත් පාවිච්චි කරන්නෙ Gnome ම නිසා කලින් Ubuntu ගැන ලියල තියෙන දේවල් කීපයකුත් Fedora අළුත් සංස්කරණයට අදාළ වෙනවා. ඒ Sound Preferences වලින් ශබ්දය 150% දක්වා වැඩි කරන්න පුළුවන් වීමත්, Huawei මොඩමයත් එක්ක ඇති වෙන ගැටළුවත්, SCIM වෙනුවට iBus යොදා තිබීමත් සහ තවත් සුළු කාරණා කීපයක්.

SELinux Troubleshooter අතුරුමුහුණතේ ලොකු වෙනසක් කරලා. කලින් තිබුණු එකට වඩා පැහැදිලි සහ මිත්‍රශීලී අතුරුමුහුණතක්. :)



පරිගණකය ක්‍රියාරම්භ වීමේදීත් පෙරට වඩා පැහැදිලි වේගවත් බවක් තියෙනවා. ආ.......... කියන්න අමතක වුණා.... GRUB2 ඒකාධිකාරය මේකෙ නෑ... :) පෙරනිමියෙන් තියෙන එකම විකල්පය පෙර පරිදිම GRUB Legacy. හැබැයි ස්ථාපනය කළාට පසුව ඕනෙම නම් GRUB2 ස්ථාපනය කරගන්න පුළුවන්. (yum yum :P )

Fedora පාවිච්චි කරන කීපදෙනෙක්ම නගපු පොඩි මැසිවිල්ලක් තමයි Ubuntu වලදි වගේ අන්තර්ජාලය හරහා Fedora නිකුතුව අළුත් කරගන්න (distribution upgrade) පහසුකමක් දීලා නෑ කියන එක. නෑ නෙවෙයි තියෙනවා... ;) ඒකෙ නම preupgrade. හැබැයි නියමින මෙනු යොමුවක් දකින්න නැහැ. ඉතින් Alt+F2 යතුරුලියනය කරලා gksu preupgrade නිවේශනය කරලා අළුත්ම Fedora 12 Constantine නිකුතුවට මාරු වෙන එක අමාරු වැඩක් නොවෙයි කියා මම හිතනවා. :)

(පැරණි Fedora සංස්කරණය වල සමහර විට පෙරනිමියෙන් preupgrade ස්ථාපනය කර නොතිබෙන්න පුළුවන්. එහෙම වෙලාවක,
# yum install preupgrade
විධානය දෙන්න)




ඔය අතරේ අපේම රටේ ලිනක්ස් භාවිතකරුවන් පිරිසක් අපේ රටේ පාවිච්චියට ගැලපෙන අළුත්ම Fedora remix එකක් එළිදක්වලා. ඒ හන්තාන ලිනක්ස්. මේක අපටම ගැළපෙන්නෙ ශ්‍රී ලාංකික පරිගණක භාවිතකරුවන්ගෙ අවශ්‍යතා මැනවින් හඳුනාගෙන ඒ ඔස්සේ එහි නිමැවුම් කටයුතු කර ඇති නිසා. සුපුරුදු Gnome අතුරුමුහුණත පාවිච්චි නොකර ඒ වෙනුවට XFCE හඳුන්වා දී තිබෙන නිසා අවම පද්ධති ශක්‍යතාවක් සහිත පරිගණකයක දී වුණක් හොඳ ක්‍රියාකාරීත්වක් දකින්න පුළුවන් බවයි දැනට හන්තාන ලිනක්ස් පාවිච්චි කරන අය කියන්නේ. හැබැයි දැනට හන්තාන ලබාගන්න පුළුවන් i686 තාක්ෂණයට අනුව නිමැවුණු පරිගණක පද්ධති සඳහා පමණයි.

සරලව කිව්වොත්,
හන්තාන ලිනක්ස් = Fedora + බහුමාධ්‍ය සහය (AVI, MP3, DVD, etc...) + ලාංකිකයෙකුගේ පරිගණක අවශ්‍යතා සපුරාලන අත්‍යාවශ්‍ය මෘදුකාංග

ඉතින් සැරින් සැරේ අත්‍යාවශ්‍ය මෘදුකාංගයි multimedia codecs ටිකයි ඩවුන්ලෝඩ් කරගන්න වේගවත් අන්තර්ජාල සබඳතාවක් නැති නම් තෝරාගන්න Ubuntuත් නෙමෙයි, Fedoraත් නෙමෙයි, හන්තාන ලිනක්ස්. මෙන්න මෙතනින් පොඩියක් සැරිසරලා බලන්න පුළුවන් හන්තාන බැලු බැල්මට කොහොමද කියලා.

හන්තාන ඕනේ නම් මෙතනින් බාගන්න, නැතිනම් blank CD එකකුත් අරගෙන මෙන්න මේ පිටුවෙ නම සඳහන් කරලා තියෙන කෙනෙක් මුණගැහෙන්න. මමත් කැම්පස් එකේ අන්තර්ජාල පහසුකම පාවිච්චි කරලා හෙට දවස ඇතුළත හන්තාන ලිනක්ස් ඩවුන්ලෝඩ් කරන්න අදහස් කරගෙනයි ඉන්නේ... ඒ නිසා කොළඹ සරසවිය ළඟපාත ඉන්නවනම් blank CD එකක් අරගෙන එන්න.... මමත් දෙන්නම් හන්තාන. :)

ඉතින් මේ වැඩේට මූලිකත්වය දක්වපු ඩනිෂ්ක නවින් ඇතුළු පිරිසත් මේ වෙලාවේ මතක් කළ යුතුයි. හන්තාන ගැන ගැටළුවක් තියෙනවනම් මෙන්න තැන... සුද්ධ සිංහලෙන්ම දැනගන්න පුළුවන්. :)

ඉතින්, හන්තානට ජය!



මුළුමනින්ම Fedora වෙත මාරු වෙන්න මම මීට පෙර අසාර්ථක උත්සාහයක නිරත වුණු ආකාරය, මගේ බ්ලොග් අඩවියට නිතර ආ ගිය අය දන්නව ඇති. ඒ දිනවල ලිනක්ස් පිළිබඳ තිබුණු අවම දැනුමත්, Fedora uncomfortable කියා යටිහිතෙන් එක එක නිවේදන නිකුත් වීමත්, මගේ wireless adapter එක Fedora සමඟ වැඩ නොකිරීමත් නිසා මට නැවතත් Ubuntu වෙත ම යොමු වෙන්න සිදු වුණා.

නමුත් අද තත්වය වෙනස්. Gentoo ස්ථාපනය කිරීමේ අසාර්ථක උත්සාහයන් දෙකකිනුත්, පද්ධති හා ජාල පරිපාලනය පිළිබඳ සරසවි දේශන මගිනුත් මට ලිනක්ස් මෙහෙයුම් පද්ධති පිළිබඳ සැලකිය යුතු අවබෝධයක් ලැබුණා. එයින් තේරුම් ගත් විධියට නම් මොන ලිනක්ස් පද්ධතියක වුණත් 'මදේ' එකයි. :D භාවිතයේ පහසුව වෙනම කතන්දරයක්.

Fedora වල නව්‍යකරණ සියල්ල සිදු කර තිබෙන්නේ එහි තිබෙන 'ගීක්' ගතියත් රැකගෙනයි. හැබැයි geek වුණාට greek නෙවෙයි. :D ඒ නිසා අළුත්ම හන්තාන සංස්කරණය දුටු වහාම නැවතත් Fedora වෙත මාරු වෙන්න නැවත වතාවක් නොහිතුණාම නෙවෙයි. Easylife තියෙද්දි ඕවත් වැඩද? :P



එහෙනම්,..... ලිනක්ස් කතා ටික අදට මෙතනින් ඉවරයි.... අපි ගියා.... ciao!

Thursday, October 1, 2009

අළුත් නැවට ලිනක්ස්!

2009 සැප්තැම්බර් 26 තවත් අපූරු දවසක්. එදා අපේ ජූනියර්ලා CompSoc (කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක සංගමය) උදව්වෙන් නවකයින්ට පොඩි වැඩමුළුවක් සූදානම් කරලා. ඒ තමයි නිදහස් හා විවෘත මෘදුකාංග සහ ලිනක්ස් පාරිසරිකය හඳුන්වා දීම. ඉතින් තුන වසරෙ අපි කීප දෙනෙකුත් ඒකට උදව් කළා. මේක පැවැත්වුණේ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයෙ මහාචාර්ය වී.කේ. සමරනායක ශ්‍රවණාගාරයේ.

හොඳ අදහසක්. ගොඩක් අය වින්ඩෝස් වලින් ඔබ්බට ලෝකයක් තියෙන බව දන්නෙ නැහැ. ඒ වගේම ගොඩක් දුර බැහැරින් අාපු සමහර අය පාසල් අධ්‍යාපනය හමාර කරලා එද්දි ලබලා තිබුණු පරිගණක දැනුම ගොඩක් අඩුයි (හැම පාසලකම අංග සම්පූර්ණ පරිගණක පහසුකම් නැහැනේ). ඉතින් ඒ අයට FOSS සංකල්පය, ලිනක්ස් ස්ථාපනය සහ පාවිච්චිය ගැන පොඩි හඳුන්වා දීමක් කරන්න තමයි වැඩි කාලයක් වෙන් වුණේ. ඊට අමතරව බ්ලොග්කරණයත් හඳුන්වා දෙනු ලැබුණා. මෙතන සහභාගීත්වයෙ විශේෂත්වයකුත් තියෙනවා. මේ මෙගා කුප්පිය දමාපු අපෙන් දෙතුන් දෙනෙක් හැර ඉතිරි සියල්ලෝ ම සිංහල බ්ලොග්කරුවෝ. (කාටද ආඩම්බර? :P ) ඉතින්, වැඩමුළුවෙදි මම භාරගත් වැඩේ දැනට වින්ඩෝස් ස්ථාපනය කර ඇති පරිගණකයක දෙවන මෙහෙයුම් පද්ධතිය ලෙස Ubuntu ස්ථාපනය කරන ආකාරය කියා දීම. ඒ ගැන මගේ පෞද්ගලික අත්දැකීම් තමයි මේ බ්ලොග් සටහනේ ලියැවෙන්නෙ.




Ubuntu ස්ථාපනය කර පෙන්වන්න ශ්‍රවණාගාරයෙ තියෙන ප්‍රක්ෂේපණ යන්ත්‍රය භාවිතා කළා. මෙතනදි VGA සම්බන්ධව ඇති වෙන්න පුළුවන් ගැටළු නිසාත් Ubuntu අළුතෙන්ම ස්ථාපනය කරන්න ලැප්ටොප් පරිගණකයක් ඉක්මනින් සපයා ගැනීමේ ගැටළු නිසාත් ආදර්ශණය කරන්න පාවිච්චි කළේ VirtualBox මෘදුකාංගය. මේක මම කලින් අත්හදා බලා නැහැ. නමුත් මේ වැඩමුළුවෙන් පස්සේ පැහැදිලි වුණා මෙහෙයුම් පද්ධති ස්ථාපනය වගේ 'බරපතල' වැඩක් ආදර්ශණය කරල පෙන්නන්න VirtualBox අපූරුවට යොදාගන්න පුළුවන් බව. (Ubuntu තියෙන පරිගණකයක VirtualBox දාලා ඒක උඩ ආයෙම Ubuntu දැමිල්ල එක අතකට විකාරයක් වගේ නේද? ;) )

ඉතින් කලින් දවසෙ (සැප්තැම්බර් 25) හවස ශ්‍රවණාගාරයට ගිහින් කෝකටත් කියලා ප්‍රක්ෂේපණ යන්ත්‍රය මගේ ලැප්ටොප් එකත් එක්ක වැඩද කියල පරීක්ෂා කරල බැලුවා. පූර්ව සූදානම ඉතාම වැදගත් (නෝන්ඩි වෙනවට වඩා :P ). මගේ Acer ලැප්ටොප් පරිගණකයෙ Fn + F5 යතුරු සංයෝජනය ක්‍රියාත්මක කළාම ද්විත්ව දර්ශක (dual display) ප්‍රකාරයට මාරු වෙනවා. නැවතත් ඒ යතුරු සංයෝජනයම ක්‍රියාත්මක කළාම පෙර තත්වයට පත් වෙනවා. හැබැයි අවුලක්... මගේ මොනිටරේ පෙන්නන දේ නෙමෙයි ප්‍රක්ෂේපණ යන්ත්‍රයෙන් පෙන්නන්නේ. වින්ඩෝ එකක් ඇදල ප්‍රක්ෂේපණ යන්ත්‍රයට -- ඒ කිව්වෙ දෙවෙනි මොනිටරයට දාන්න පුළුවන්. ආපහු ඒක ඇදල අරගෙන ලැප්ටොප් මොනිටරෙන්ම තියාගන්නත් පුළුවන්. ඒක අවුලක් නෑ කියමු. ප්‍රක්ෂේපණ යන්ත්‍රයෙන් පෙනෙන පිළිබිඹුව අපැහැදිලියි. ඒ මදිවට Compiz Fusion පිස්සු නටනවා. :-O මේකට විසඳුම Mirror Screens කියන විකල්පය භාවිත කරන එක. System --> Preferences --> Screen Resolution ගිහින්, නැත්තම් gnome-display-properties කියන විධානය දීලා Mirror Screens විකල්පය තෝරලා Apply කළාම හරි. ඔව්... ඒක නියමෙට වැඩ!! 1024 x 768 ප්‍රමාණයට තිරය සකසා ගත්තාම වැඩේ ගොඩ! :)

ඊළඟට පූර්ව සූදානමේ දෙවෙනි අදියර... virtual machine එකක් ධාවනය කරල බැලුවා. VirtualBox පූර්ණ තිර ප්‍රකාරයෙදිවත් තිරයෙ සම්පූර්ණ ඉඩ පාවිච්චි වෙන්නෙ නෑ. 800 x 600 ඉඩක් තමයි virtual machine එකෙන් පාවිච්චියට ගන්නෙ. Virtual machine එකට දෙන වීඩියෝ මතක ප්‍රමාණය වැඩි කරල බැලුවත් හරි ගියේ නැහැ. ඒකට නම් මම දන්න තරමින් විසඳුමක් නෑ. හැබැයි අවුලකුත් නෑ. පැහැදිලිව සිද්ධ වෙන දේ පේනවනම් එච්චරයි අපට ඕනේ. ඊළඟට කළේ virtual machine එකේ දෘඩ තැටිය partition තුනකට වෙන් කරලා පළවෙනි එකේ Windows XP ස්ථාපනය කළ එක.

ඉතින් ඔන්න  26 වෙනිදා උදේ ඔක්කොම සැලසුම් කරගත් පරිදි අටවගත්තා. තවත් දේවල් ආදර්ශණය කරල පෙන්නන්න මගේ ලැප්ටොප් පරිගණකයට අමතරව ලැප්ටොප් පරිගණක දෙකකුත් පාවිච්චි කළා. Ubuntu ස්ථාපනය කළේ මගේ පරිගණකයේ. මුලින්ම වින්ඩෝස් වලින් virtal machine එක ක්‍රියාත්මක කරලා C:, D:, E: partition තුන තියෙන ආකාරයත්, ඊළඟට Computer Management Console එකේ Disk Management එකට ගිහින් දෘඩ තැටි partition වල සත්‍ය ස්වභාවයත් පැහැදිලි කර දුන්නා. ලිනක්ස් ස්ථාපනයේදී මෙය දැන සිටීම අත්‍යාවශ්‍යයි [මේ ගැන මම කලින් ලියූ ලිපියක් මෙතනින් කියවන්න]. ඊළඟට Ubuntu Live CD එකෙන් boot කරල GUI මගින් Ubuntu ස්ථාපනය කරන හැටි මම මුල සිට සරලව විස්තර කළා. හැබැයි කී දෙනෙකුට තේරුණාද දන්නෙ නැහැ. :) මහා ලොකු දෙයක් නොවන බව ඇත්ත. ඒත් දුර බැහැර ගම්මාන වල අඩු පහසුකම් යටතෙ උසස් පෙළ කරලා ආපු කී දෙනෙක් ඒකෙන් ඉගෙනගන්න ඇත්ද? අනෙක, හැම දෙනාම හැම දේම දන්නෙ නෑ නොවැ. දැන් ඔය එක එක ටෝක්ස් දුන්නට මමත් පරිගණක ජාලකරණය ඉගෙන ගත්තෙ කැම්පස් ආවට පස්සෙ. ;)

VirtualBox පූර්ණ තිර ප්‍රකාරයට මාරු වුණාම ඇත්ත OS එකද බොරු එකද කියල පිටතින් බලන කෙනෙකුට වෙන් කරල අඳුනගන්න අමාරුයි. ඉතින් ශ්‍රවණාගාරයක විශාල ප්‍රක්ෂේපිත තිරයෙ ඒක පෙනෙනකොට අමුතුම කික් එකක් තියෙන්නෙ. :D

Ubuntu ස්ථාපනයෙදි දෘඩ තැටි ඉඩ භාවිතා කරන ආකාරය තෝරගන්න පියවරේදි වඩාත්ම සුදුසු තමන් විසින්ම (manually) partition table එක සංස්කරණය කරගන්නා විකල්පය. ඒ බව මම විශේෂිතව සඳහන් කළා. ඒ දේවල් කීප දෙනෙකුට හරියට තේරුම් ගිහින් තිබුණෙ නැහැ. ඉතින් කීප සැරයක්ම විස්තර කළා. සිය වතාවක් විස්තර කරන්න කිව්වොත් ඒකත් කරන්න ලෑස්ති වෙලයි මම ගියෙ. :)

ඉතින් Ubuntu ස්ථාපනය කරලා අවසානයෙ GRUB මෙනුව ගැන මූලික දේවල් ටිකක්, මෘදුකාංග ස්ථාපනය, විධාන අතුරුමුහුණත ගැනත් කියා දුන්නෙ මේ virtual machine එකේම තමයි. විධාන අතුරුමුහුණතට (terminal) ගොඩක් දෙනාගෙ තියෙන ලාක්ෂණික බය නැති කරන එක තමයි මට තිබුණු ලොකුම වුවමනාව. නමුත් කාල වේලාව මදි වුණු නිසා ඒක හරියට කරගන්න බැරි වුණා. :( නමුත් අතිශය ජනාදරයට පත් මගේ පරණ බ්ලොග් ලිපියක් පෙන්නල වැඩේ ෂේප් කළා. ;)

මේ ඉන්නෙ මම

රවින්ද, මෘදුකාංග ස්ථාපනය විස්තර කරමින්...

එක වසරෙ අය
(ඡායාරූප ශිල්පියා අපේ බැච් එකේ ඔමිල)

UCSC එකේ එක වසරෙ කස්ටිය මේක කියවනවා නම්... තව මොනව හරි දැනගන්න ඕනේ නම්... මට ලෙක්චර් නැති වෙලාවට මගෙන් අහන්න. එක්කෝ මං 3rd year lab එකේ වැඩක්... නැත්තං බවනේ ලැප්ටොප් එක දිග ඇරගෙන ඇති... එහෙමත් නැත්තං W002 ශාලාවෙ නිදි. :D



ඉතිං සියල්ල අවසාන වෙලා මම ගෙදර ගිහින් ලැප්ටොප් එක ක්‍රියාත්මක කළාම මෙන්න තිරයෙ ඉහළිනුයි පහළිනුයි පෙන්නන පැනල් දෙක නෑ. :-O අහා..! මේ dual display සිද්ධියනේ!! Fn + F5 ක්‍රියාත්මක කළාම වැඩේ හරි. ඒත් පරිගණකය ක්‍රියාත්මක කරන හැම වතාවකම ඒක කරන්න කරදරයි... ඉතින් ඒක හදාගන්න සරල විසඳුමක් තියෙනවා. මං ට්‍රයි කොළා... වැඩ කොළා... :)

ඒ තමයි GRUB මෙනුවේ recovery mode විකල්පය පාවිච්චි කරලා පරිගණකය ක්‍රියාරම්භ කරලා ලැබෙන මෙනුවෙන් xfix (fix graphics problems) විකල්පය ක්‍රියාත්මක කිරීම. දැන් ලෙඩේ නිට්ටාවටම සනීපයි. :)

මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය හා නඩත්තුව ප්‍රක්ෂේපණ තිරයක පෙන්වන ගමන් කාට හරි ඉදිරිපත් කර පෙන්නන්න අවශ්‍යතාවත් ඇති වුණොත් ඒකට VirtualBox හරිම අපූරු මෘදුකාංගයක්.

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴

Wednesday, September 30, 2009

පාලමෙන් ගිහින් ආවේශ වීම


මගේ බ්ලොග් එකේ ලියවෙන ගොඩක් සටහන් වලට දාන්නෙම හරිම අමුතු මාතෘකා. කලකට කලින් රෙද්ද උස්සල බලපු හැටි මතකනේ.. :P මේකත් එහෙම එකක්... සුපුරුදු පරිදි ටෙක් නෝට් එකක්. තවත් අළුත් අත්දැකීමක් ලබපු හැටි තමයි විස්තර කරන්නේ... මුලින්ම ගළපගමුකෝ මේ අමුතු කතන්දරේ... පාලම තේරෙන බාසාවෙන් කිව්වොත් bridge එක... නිකම් bridge නෙමෙයි network bridge. එතකොට ආවේශ වෙනව කිව්වෙ? ආවේශ වෙනව කිව්වෙ remote desktop සීන් එක... මේ වචනෙ මට අහම්බෙන් ඔළුවට ආපු එකක්. බලන්න කොයි තරම් ගැලපෙනවද කියල. :D කිසිම සිප්යුරු වදන් පොතක නැතුව ඇති මෙහෙම එකක්. :D :D

හරි... වැඩි කතා ඕනැ නෑ. මේක සිද්ධ වෙලා දැන් ටික දවසක් වෙනවා. අපේ මලයා ගෙදර තිබුණු පරණ මැසිම ආපහු හදලා... වින්ඩෝස් දාලා. ඉතිං මගේ පරණ උණකුත් ඒ එක්කම ඉස්මතු වෙලා ආවා... මොකක්ද? GTA Vice City!! මාව ළඟින් ආශ්‍රය කළ අය දන්නව මම මේකට කොයි තරම් ඇබ්බැහි වෙලා හිටියද කියල. ඉතිං දෙපාරක් හිතුවෙ නෑ දාගත්තා GTA Vice City. දවස් දෙකයි සෙල්ලං කළේ විදුලි බිල බර ගාණකින් වැඩි වෙලා!! :-O ඒකට හේතුව වෙන මොකක්වත් නෙමෙයි පරණ මැසිමෙ තියෙන තඩි CRT මොනිටරය. ඉතිං ගෙදර කස්ටියගෙන් දැඩි විරෝධතා ආවා Vice City සෙල්ලං කරනවට (මිනී මරාගන්න ගේම් එකක් බව දන්නවනං මට කොහොමටත් සෙල්ලං කරන්න දෙන්නෙ නෑ).

ඉතිං මම ට්‍රයි එකක් දුන්නා රිමෝට් ඩෙස්ක්ටොප් පාරක්වත් දාගන්න. එතකොට මගේ ලැප්ටොප් එකේ ඉඳගෙන ethernet හරහා අනිත් මැසිමෙ තියෙන Vice City සෙල්ලම් කරන්න පුළුවන්නේ. නමුත් මුල ඉඳලම මට සැකයක් තිබුණා වැඩේ අසාර්ථක වෙන බවට. වීඩියෝ මතකය සම්බන්ධ ගැටළුවක් එන්න පුළුවන් කියල හිතුණා.

මගේ ලැප්ටොප් එකේ දුවන්නෙ Ubuntuනේ... ඩෙස්ක්ටොප් මැසිමෙ වින්ඩෝස්. වින්ඩෝස් වල Remote Desktop ප්‍රොටොකෝල් එක Ubuntu වල VNC එක්ක වැඩ කරන්නෙ නැහැනේ... එතකොට තමයි අයිඩියාව ආවේ VirtualBox එකේ දාලා තියෙන Windows XP ස්ථාපිතය ප්‍රයෝජනයට ගන්න පුළුවන් බව. දැන් නම් Vice City සෙල්ලම් කරන වැඩේ අසාර්ථක වුණත් ආපු අයිඩියාව අතාරින්නෙ නෑ! අත්හදා බලන්නම වටින වැඩක්. මේව නොවැ ගේම්!!

කොහොමද මේක හදා ගන්නේ.....? ඒවට තමයි Network Bridge තියෙන්නේ.
Bridge එක හදන්නෙ කොතනද? Ubuntu හරහා virtual මැසිමයි ඇත්ත මැසිමයි සම්බන්ධ වෙනවා...  ඒ කියන්නෙ Ubuntu වලට තමා bridge එක එන්නේ.

ඊළඟ ප්‍රශ්නය... මොන ජංජාලකරණ උපාංග දෙකද පාලමේ දෙකොනෙ තියෙන්න ඕනේ? එකක් eth0, එතතකොට අනික? Virtual machine එකේ settings වලට ගිහින් Network යටතේ Adapter 2 සක්‍රිය කරලා ඒක Host-only Adapter විධියට සකස් කළා. පහත දැක්වෙන තිර රූප සටහන බලන්න.




මෙහෙම කළාම ධාරක පරිගණකයේ (ඒ කිව්වෙ Ubuntu වල) vboxnet0 නමින් තවත් අතථ්‍ය ජාලකරණ උපාංගයක් එකතු වෙනවා. Virtual machine එක ධාවනය වෙන අතරේ ධාරක පරිගණකයට ifconfig විධානය දීලා ඒ බව තහවුරු කරගන්න පුළුවන්.

දැන් අපි පාලම හදන්නෙ eth0 සහ vboxnet0 අතර.  ඒක කරන්න sudo vim /etc/network/interfaces විධානය දීලා /etc/network/interfaces ගොනුව විවෘත කරගන්න. මේ පෙන්නල තියෙන කේත පේළි තුන ඒ ගොනුවෙ අගට එකතු කරලා ගොනුව සුරකින්න (Esc - :wq - Enter).

# Bridge between eth0 and vboxnet0
iface br0 inet dhcp
bridge_ports eth0 vboxnet0



මෙහෙම කරලා මැසිම restart කළා. ඊට පස්සෙ virtual machine එකත් ක්‍රියාත්මක කළා.

ඊළඟ පියවර ජාලකරණ උපාංග වින්‍යාසගත (configure) කිරීම. මෙන්න මේවා තමයි උපාංග ටික:
  1. ඩෙස්ක්ටොප් පරිගණකයෙ ethernet ඇඩැප්ටරය
  2. ලැප්ටොප් එකේ ethernet ඇඩැප්ටරය
  3. ලැප්ටොප් එකේ VirtualBox ධාවනය වෙන වෙලාවෙ නිර්මාණය වෙන virtual ඇඩැප්ටරය (vboxnet0)
  4. Virtual machine එක තුළ vboxnet0 සඳහා නිර්මාණය වෙන virtual ඇඩැප්ටරය

මේ පාලම්ගත ජාලය වැඩ කරන්න පුළුවන් වෙන්නේ bridge එකේ දෙපස තියෙන ජාල දෙකේම subnet mask සමාන වුණොත් විතරයි. ඒකට හේතුව ටිකක් දීර්ඝව විස්තර කරන්න සිද්ධ වෙන නිසා මෙතන ලියන්නෙ නැහැ -- විකිපීඩියාවෙ ඒ ගැන තියෙන ලිපිය කියවන්න. එහෙම නැත්නම් එක ජාලයකට අනෙක හඳුනාගන්න බැරි වෙනවා. vboxnet0 ට අදාළ ජාලයෙ සැකසුම් ස්වයංක්‍රීයව DHCP මගින් සකස් වෙන නිසා විශේෂිතව සකසන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. කළ යුත්තෙ subnet mask එක බලා ගන්න එක. ඒක කරන්න ifconfig vboxnet0 විධානයෙන් පුළුවන්. එහෙමත් නැත්නම් virtual machine එකේ control panel එකට ගිහින් බලා ගන්නත් පුළුවන්.

ඉතින් මෙන්න මේ අගයයන් තමයි DHCP මගින් සකස් කර දීල තිබුණෙ:
  1. VIrtual machine එක තුළ වින්ඩෝස් - IP: 192.168.56.3, Subnet Mask: 255.255.255.0
  2. ලැප්ටොප් එකේ vboxnet0 - IP: 192.168.56.1, Subnet Mask: 255.255.255.0

ඊළඟට ඩෙස්ක්ටොප් පරිගණකයෙත් මගේ ලැප්ටොප් එකෙත් ethernet සකස් කරන්න ඕනේ.
  1. ඩෙස්ක්ටොප් පරිගණකයෙ Control Panel එකේ Network Connections වලට ගිහින් අදාළ connection එකේ සැකසුම් සකස් කළා -- IP: 10.16.32.202, Subnet Mask: 255.255.255.0
  2. ලැප්ටොප් එකේ - # ifconfig eth0 10.16.32.201 netmask 255.255.255.0 up

කොළඹ සරසවියෙ අපි හොඳට දන්න කියන වැදගත් සර්වර් එකක් internal network එකේ 10.16.32.201 ලිපිනයෙ තියෙනවා. ලැප්ටොප් එකට මතක තියාගන්න පහසු IP එකක් දාන්න හිතුණු නිසා ඒකම දැම්මා. ;) මොකද මේ ජංජාලෙ ගෙදරදි විතරයිනෙ.

වින්ඩෝස් වල My Computer right click කරලා Properties ගිහින් Remote Desktop සැකසුම් හදා ගන්න පුළුවන්. ඒ ගැන මෙතන විස්තර කරන්නෙ නෑ. බොහොම සරල කාරියක් නිසා. ඉතින් virtual machine එකේ ඉඳන් Remote Desktop Viewer ක්‍රියාත්මක කරලා IP ලිපිනය විධියට 10.16.32.202 ලබා දුන්නා. ඒ කිව්වෙ ඩෙස්ක්ටොප් පරිගණකයෙ IP එක.


හරීම සෝක්! මෙන්න virtual machine එකේ ඉඳගෙන එළියෙ තියෙන අනිත් මැසිමේ වැඩ කරන්න පුළුවන්!! :-O අත්හදා බලන්නම වටින වැඩක්. ඉතින් මේකෙන් ටිකක් වෙලා යනකම් එක එක වැඩ දම දමා හිටියා. විදුලි පරිභෝජනය වැඩි CRT තඩිය off කරලා මගේ ලැප්ටොප් එකෙන්ම ඒ මැසිමත් පාලනය කරන්න පුළුවන්.

මගේ වුවමනාව තිබුණේ GTA සෙල්ලම් කරන්න. ඉතිං GTA දාලා බැලුවා... ම්හූ.. වැඩ නෑ. :( වීඩියෝ මතක ප්‍රමාණය මදිලු. හැබැයි කමක් නෑ ඒකට.. අළුත් දෙයක් අත්හදා බලන්න ලැුබුණනේ. :) GTA සෙල්ලම් කළා කියල ලැබෙන දෙයක් නැහැ නොවැ.

පසු වෙලාවක නිකමට අන්තර්ජාලයෙ විපරම් කරල බලද්දි මෙන්න මේ දේවල් දැනගන්න ලැබුණා:
  • Ubuntu වල ජාලකරණ සැකසුම් සකස් කරන්න හොඳ GUI ටූල් එකක් තියෙනවා... ඒකෙ නම Firestarter (# apt-get install firestart) හැබැයි මම ඇත්තටම කැමති නෑ මේකෙන් වැඩ කරන්න. එතකොට ඇතුළෙ මොන මොනව වෙනවද කියල මං දන්නෙ නෑනෙ.
  • Ubuntu වල ඉඳලා වින්ඩෝස් මැසිමකට ආවේශ වෙන්න TightVNC මෘදුකාංගයෙන් පුළුවන්.

ඉතිං... ආපහු මොනවහරි දෙයක් අරගෙන ඉඩකඩ ඇති වෙලාවක මේ පැත්තෙ එන්නං... ciao!

අළුතෙන් මේ ටිකත් එකතු කළා (2009-10-02)
මේ බ්ලොග් ලිපිය ලිව්වේ කලබලෙන්... ඉතිං මේ මොඩල් එක පැහැදිලි කෙරෙන පිංතූරයක් දාන්න බැරි වුණා. මෙන්න උණු උණුවෙම GIMP වලින් හදලා දැම්මා... පිංතූරෙ පැහැදිලි මදි නම් ඒක ක්ලික් කරලා බලන්න පුළුවන්. :)

  
Ciao!

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴

Saturday, July 4, 2009

~ VirtualBox ~ e1108 ~ USB ~ K770i ~ Wammu ~ එහෙන් ~ මෙහෙන් ~

ඇත්තටම මේ සටහනට දාන්න හොඳ මාතෘකාවක් හිතාගන්න බැහැ තාමත් මට. මොකද exam භීතිකාව නිසා පිස්සු පීකුදු වෙලා ඉන්න මොහොතක මේක ලියවෙන්නෙ. සමහරවිට මේ ජූලි මාසෙ අවසාන වෙනකම් මේ සටහන හැර වෙන කිසිම දෙයක් නොලියන්නම ඉඩ තියෙනව. ඒ නිසා හිතට එන ඔක්කොම දේවල් අච්චාරුවක් කරල ලියනව මේකෙ. පහුගිය දවස් ටිකේ ආගිය කතා ටිකකුත් ඒ ඇසුරින් අන් අයගේ දැන ගැනීම පිණිස ලියැවෙන විවිධ තාක්ෂණික කරුණු ටිකකුත් තමයි මේකෙ තියෙන්නෙ.

---

මුලින්ම අතීත කතාව කියලා ඉවර කරන්නම්... මම අවුරුදු තුනක් පුරාවට පාවිච්චි කළේ NEC e1108 වර්ගයේ ජංගම දුරකථනයක්. ඒක ගත්තට පස්සෙ තමයි තේරුණේ කරපු මෝඩකම. ඔය දීල තියෙන ලින්ක් එකෙන් ගිහින් user reviews බලන්න මම කියන දේ විශ්වාස නැති නම්. මේ තියෙන්නේ මම ඒකෙ දැකපු ලොකුම අඩුපාඩු.
  • වැඩිය ප්‍රචලිත නැති මාදිලියක් නිසා හදිසියකට charger එකක් හොයා ගන්න අමාරුයි
  • Charger එක හතරැස් තුන්කූරු පේනු (square type three pin plug) වර්ගයේ එකක් වීම (හැම තැනම three pin නැහැනේ...)
  • පුදුම හිතෙන තරමට මන්දගාමී (දුරකථනය ක්‍රියාත්මක කළාම initialize වෙන්න විනාඩි 2-3 විතර කාලයක් ගත වෙනවා)
  • ගොනු හුවමාරු (file transfer) ප්‍රකාරයේදී ඉක්මනින් බැටරිය විසර්ජනය වෙනවා
  • දුරකථනය තියෙන තැනින් හොල්ලන්නෙ නැතුව තිබුණත් බැටරිය දවස් තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම විසර්ජනය වෙනවා
  • Synchronization කියා එකක් තිබුණාට එය වැඩ කරන්නෙ නැති වීම
  • වීඩියෝ ගොනු මාදිලිය MJPEG වීම -- ශබ්දය නැත!
  • T9 යකා නැටීම -- මේක කරලම බලන්න රඟ... :P
තව තව අවුල් ගොඩක් තියෙනවා. කොහොම වුණත් අවුරුදු දෙකක් පුරාවට පාවිච්චි කළ ජංගම දුරකථනයනේ...

ඔන්න ඉතිං ඕක එපා වෙවී ඉඳලා මමත් ගත්තා Sony Ericsson K770i එකක්. ඒක නම් මගේ වැඩ වලට ප්‍රමාණවත්. වේගය අතිනුත් ඉතාම හොඳයි.

---

ඊළඟ ගැටළුව Sony Ericsson එකත් එක්ක දෙන සංයුක්ත තැටියෙ තියෙන මෘදුකාංග කට්ටලය ලිනක්ස් එක්ක වැඩ කරන්නෙ නැති වීම. ඉතින් ඔය වෙලාවට මට මතක් වුණේ MyPhoneExplorer කියන මෘදුකාංගය. ඒකත් වැඩ කරන්නෙ නෑනේ.... :( ඔන්න එතකොට තමයි අපේ නාගබුද්ධික ලිව්ව පරණ සටහනක් මතක් වුණේ. ඉතිං Wammu දාලා බැලුවා. නාගයාට ලබන ආත්මේවත් කිං කෝබරාවෙක් වෙන්න වාසනා බල මහිමය ලැබේවා! :D

ටිකක් වෙලා Wammu එක්ක ඔට්ටු වෙලා යංතං මගේ ජංගම දුරකථනය පරිගණකයත් එක්ක සම්බන්ධ කරගත්තා. MyPhoneExplorer වලින් කරන්න පුළුවන් ගොඩක් දේ මේකෙන් කරන්න පුළුව්න්. ජංගම දුරකථන මාදිලි බොහොමයකට මේ මෘදුකාංගය සහය දක්වනවා. (හැබැයි මම පරීක්ෂා කළේ Sony Ericsson K770i එක්ක විතරයි :D ) ජංගම දුරකථනයෙ ගොනු පද්ධතිය බලාගන්න බැරි එක තමා එකම අවුල.

දැන් පෙන්නන්න යන්නේ... Wammu පාවිච්චි කරන හැටි. මේ පිංතූර ගත්තේ Leonidas වලින්.

මුලින්ම ජංගම දුරකථනය පරිගණකයට සම්බන්ධ කර එහි නිෂ්පාදකයා දී ඇති උපදෙස් පරිදි සූදානම් කරගන්න. (Sony Ericsson දුරකථනයක් නම් Phone Mode සක්‍රිය කරන්න -- වෙනත් වර්ගවල දුරකථන ගැන මම දන්නෙ නැත)

Wammu සැකසුම් කරන්න කලින් මතක ඇතුව Wammu භාවිත කරන්න බලාපොරොත්තු වෙන පරිශීලක ගිණුම/ගිණුම් dialout කණ්ඩායමට (group) එකතු කරන්න. නැත්නම් අදාළ උපාංග (devices) පාවිච්චි කරන්න ලැබෙන්නෙ නෑ.

විධාන අතුරුමුහුණතින්:
su
usermod -a -G dialout {ඔබේ පරිශීලක නාමය}


එහෙම අකමැති නම් GUI භාවිතයෙන්:


දැන් Wammu විවෘත කරගන්න. Phone Wizard කවුළුව විවෘත වුණේ නැත්තම් Wammu --> Phone Wizard වෙත ගිහින් එය විවෘත කරගන්න. එතන ඉඳලා කරන වැඩ ටිකේ ඇත්තටම තිරපිටපත් වලින් කියන්න තරම් ලොකු දෙයක් නෑ. වින්ඩෝස් පාවිච්චි කරල පරිගණක හුරුව ලබාපු අපට මේවත් වැඩද නේද? හැබැයි හැම පියවරකම දීල තියෙන විස්තරේ හොඳට කියවන්න අතමක කරන්න එපා!! ;)


මේ ලැයිස්තුවේ තියෙන උපාංග (devices) පාවිච්චි කරන්න අවසර තියෙන්නේ dialout කණ්ඩායමේ අයට විතරයි. තමන් dialout සාමාජිකයෙක් වෙලා ඉඳිද්දිත් මෙතනින් එහාට යනකොට දෝෂ පණිවුඩයක් එනවනම් මෙතනින් වෙනත් ttyACM උපාංගයක් තෝරන්න.


ඔය ඉන්නෙ යස අගේට මගේ අළුත් 'කෑල්ල'! :P

දැන් Wammu වල Phone මෙනු එකට ගිහින් Connect කියන මෙනු අයිතමය ක්ලික් කරන්න. හපොයි මේව කියන්නත් දේවල්ද? :-O ඊළඟ තිරපිටපත බලන්න මේකෙ වැඩ කෝමද කියලා.... බැටරි ආරෝපණ තත්වය, සංඥා ප්‍රතිග්‍රහණ තත්වය වගේ විස්තරත් බලාගන්න පුළුවන්.


ඔන්න මගේ කෙටි පණිවුඩ කියවන්න පොඩි චාන්ස් එකක් :D

මේක මාර ආතල් භාණ්ඩේ... MyPhoneExplorer පාවිච්චි කරල කෙරෙන වැඩ වලින් බහුතරය කරගන්න මේකෙන් පුළුවන්. ඒ වුණාට ජංගම දුරකථනයෙ ගොනු පද්ධතිය කියවන්නෙ නෑ. Sony Ericsson ජංගම දුරකථන වල File Transfer Mode පාවිච්චි කළත් Memory Stick එකේ තියෙන ගොනු පමණයි බලාගන්න පුළුවන්. ඉතින් Wammu සර්ව සාර්ථක විසඳුමක් නෙවෙයි ජංගම දුරකථනයත් එක්ක නොමිලේ ලබා දෙන මෘදුකාංග කට්ටලය තරම්. ඒත් ඒක වින්ඩෝස් වලට විතරයි නෙ.... :(

---

දැන් මේක පාවිච්චි කරන්න වින්ඩෝස් ඕනා... මගේ බ්ලොග් එකට නිතර යන එන කස්ටිය දන්නවා ඇතිනේ මම පාවිච්චි කරන්නේ ලිනක්ස් විතරයි කියලා. ඒක එහෙම වුණත් මට වෙනත් විකල්පයක් හොයාගන්න බැරි විධියෙ අවශ්‍යතාවක් ඇති වුණොත් පාවිච්චියට ගන්න වින්ඩෝස් ස්ථාපනය කරලා තියෙන්නෙ VirtualBox ඇතුලේ... සාමාන්‍යයෙන් ලිනක්ස් host එකකදී VirtualBox වල USB වැඩ නොකරන බව ප්‍රසිද්ධ කාරණයක් නේ. මම පහුගිය කාලෙ ඔය ගැන උනන්දු නොවුණට දැන් මේ ජංගම දුරකථනයත් එක්ක ඔට්ටු වීම නිසා මගේ උනන්දුව වැඩි වුණා. මට නිකමට හිතුණා VirtualBox දුවවලා බලන්න root user විධියට.

gksu VirtualBox

අනේ යාන්තාං ඇති! එළටම වැඩ!! ඒත් නිතර මුරපද ටයිප් කර කර ඉන්න ගියාම කරදර නිසා මේකට හරි විසඳුමක් හොයාගන්න මම උත්සුක වුණා. ඕකත් දෙයක් ද අපේ ගුග්ල් දෙයියා ඉන්නකං... ;) මෙන්න මෙතනිං විසඳුමක් ලැබුණා. හැබැයි ඒ ලිපිය Ubuntu 7.10 ආශ්‍රිතව ලියපු එකක්. මම ඒක මගේ අත්දැකීම එකතු කර නැවත ලියනවා.

පොඩි සැත්කමක් -- /etc/init.d/mountdevsubfs.sh ගොනුව සංස්කරණය කරන්න කියලා තමයි සඳහන් වෙන්නෙ. ඊට කලින් අපි අදාළ ගොනුවේ උපස්ථ පිටපතක් හදමු... වැඩේ වැරදුණොත් ආපහු ගොඩ එන්න පුළුවන් වෙන්න... (ඇස් ඇරගෙන වැඩ කළොත් වරදින්නෙ නෑ)

su
cp /etc/init.d/mountdevsubfs.sh /root/mountdevsubfs.sh


දැන් බය නැතුව සංස්කරණය කරමු:
gedit /etc/init.d/mountdevsubfs.sh

මෙන්න මේ කේත පේළිය සොයා ගන්න. (Ctrl + F)
do_start () {

ඒ පේළියේ තියෙන සඟල වරහනට ගැළපෙන වැසීමේ සඟල වරහන '}' සොයා ගන්න. ඒ වැසීමේ සඟල වරහනට ඉහළින්, එහෙත් සඟල වරහන් දෙක අතර දැනට පවතින කේත පේළි වලට යටින්, පහත දැක්වෙන කේත පේළි ඇතුළත් කරන්න (Copy & Paste):

#VirtualBox USB hack (මේ පේළිය ලියන්නෙ කහනවට නෙවෙයි -- අපේම පහසුව පිණිසයි)

mkdir -p /dev/bus/usb/.usbfs
domount usbfs /dev/bus/usb/.usbfs -obusmode=0700,devmode=0600,listmode=0644
ln -s .usbfs/devices /dev/bus/usb/devices
mount –rbind /dev/bus/usb /proc/bus/usb


දැන් ගොනුව සුරකින්න. පරිගණකය ප්‍රතිපණගන්වා VirtualBox ක්‍රියාත්මක කර බලන්න. USB වැඩ නේද? :)

ඕකෙ පිහිටෙන් මම දුරකථනයෙ මෙමෙරියෙ තියෙන දේවල් ටික බලාගත්ත. ඒත් මකා දමන්න බැරි වෙන්න Sony Ericsson එකෙන්ම දාල එවන කරුම ෆයිල් දෙකතුනක් තියෙනව ඒව මෙහෙමවත් මකන්න බෑ නෙව! :(

දැං ඉතිං ජංගම දුරකථනය විතරක් නෙමෙයි USB වලින් වැඩ කරන නානාප්‍රකාර පරිගණක උපාංග virtual මැෂිමට අමුණන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පිස්සු විකාර වැඩ කරන්නත් පුළුවන්. ඔය බොරු මැසිමයි ඇත්ත මැසිමයි අතර පරිගණක ජාලයක් වගේ එකක් තියෙනවනේ... කොහොමද gateway එක බොරු මැසිම වුණොත්? නිකං ඉන්න බැරිකමට මගේ Huawei e220 මොඩම් එකෙන් කරල බැලුවා... අවුලක් නැතුව වැඩ! :)

---

අද සටහන දිග වැඩියි.... ආවරණ කලාපයත් ලොකුද මන්දා... මටත් මහන්සියි ලියලා.... වැඩක් වේවිද දන්නෙත් නෑ.......................... :-O

21 වැනිදා අපේ ජයග්‍රාහී හතරවෙනි සෙමෙස්ටරයෙ මහා ඉල්ලංකෑමේ කැම්පේන් එක පටන් ගන්නවා..... මං යනවා දැන්ම දාගන්න ගිරවෙක් දාගන්න..... ආයුබෝ!!!!!!!

බාගැනීම්:

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Sunday, May 31, 2009

මම Windows 7 දැම්මෙමි෴

මේ දවස් වල කවුරු කවුරුත් Windows 7 ගැන කතා කරන නිසා මටත් හිතුණ Windows 7 දාල බලන්න. ලිනක්ස් වලට මාරු වුණා කියල අළුත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් අත්හදා බලන්න තහනමක් නැහැනේ. ;)

ඉතිං මමත් දැම්මා බිල් මහත්තැන්ගේ කොම්පැණියේ අළුත්ම නිමැවුම :-O Windows 7!

මගේ ලැප්ටොප් එකේ දෘඩ තැටිය දැන් මුළුමනින්ම ext-3 (දත්ත අස්ථානගත වීමේ අවදානම නිසා මම ext-4 පාවිච්චි කරන්නෙ නැහැ). Bootloader එක විධියට පාවිච්චි කරන්නෙ GRUB. වින්ඩෝස් කියන රාත්තල් 600ක් බර ගෝරිල්ලට සිරිත් පරිදිම GRUB අරහං බව දන්න නිසා මම ඒ වෙනුවෙන් වෙනම partition එකක් හදන්න කරදර වුණේ නැහැ. දැම්ම Sun VirtualBox. ආසන්න වශයෙන් ගිගාබයිට් 5 කින් වැඩෙත් ෂේප්. මේ ගැන මම කලින් කඩ්ඩෙන් කොටපු ලියවිල්ලක් බලන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න.



VirtualBox පාවිච්චි කරන අය දන්නව ඇති (සමහරවිට නොදන්නවත් ඇති) ඒකෙ තියෙන Seamless Mode කියන පහසුකම ගැන. මටත් මේ ගැන කිව්වේ බ්ලොග් ලියන අපේ මිත්‍රයෙක්. සාමාන්‍යයෙන් virtual machine එකේ ධාවනය වන වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නෙ ලිනක්ස් ඩෙස්ක්ටොප් එකෙන් බැහැරව වෙනමම window එකක් ඇතුලෙ. නමුත් Seamless Mode පාවිච්චි කරනවනම් මේ මෙහෙයුම් පද්ධති දෙකේම ධාවනය වන වැඩසටහන් එකම ඩෙස්ක්ටොප් එකට ගන්න පුළුවන්. වින්ඩෝස් ඩෙස්ක්ටොප් එකේ පසුබිම් රූපය අතුරුදන් වෙලා, වින්ඩෝස් taskbar එක Gnome/KDE පැනලය උඩට ඇවිත් මෙහෙයුම් පද්ධති දෙකත් එක්කම එකවර වඩා පහසුවෙන් වැඩ කරන්න පුළුවන් පරිසරයක් එයින් නිර්මාණය කර දෙනවා. මේක පැහැදිලි වෙන්න පහත දැක්වෙන තිරපිටපත බලන්න.


එකම කතාවක් - අවසානයන් දෙකක්
(Mozilla Firefox 3.0.10 සහ Windows Internet Explorer 8 [VirtualBox Seamless Mode])

Seamless Mode පහසුකම නිර්දේශ කරල තියෙන්නෙ Windows XP මෙහෙයුම් පද්ධතියට. නමුත් පොඩි වෙට්ටුවක් දාලා ඒක පහසුවෙන්ම Windows 7 මෙහෙයුම් පද්ධතියට හරියන විධියට හදාගන්න පුළුවන්. ;)

මුලින්ම මම Seamless Mode ගැන නොදන්න අයට ඒක ගැන තවදුරටත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. Virtual machine එක ධාවනය වෙන අතරෙදි ඒකෙ තියෙන Machine මෙනු එකේ Seamless Mode කියන අයිතමය ක්ලික් කළාම Seamless Mode වෙත පිවිසෙන්න පුළුවන්. නමුත් මේ මෙනු අයිතමය සාමාන්‍යයෙන් අක්‍රියවයි පවතින්නේ. ඒකට හේතුව VirtualBox ඇතුළෙ ධාවනය වෙන virtual machine එක, host මෙහෙයුම් පද්ධතියෙ ඩෙස්ක්ඩොප් පාරිසරිකයට අනුගත විය යුතු ආකාරය දැන නොසිටීම. ඒක කරන්න අවශ්‍ය driver software එකක් virtual machine එකේ ස්ථාපනය කළ යුතුයි. මේ drivers තියෙන iso ගොනුවක් (~ 25 MB) අපට අන්තර්ජාලය හරහා බාගන්න පුළුවන්. එය හඳුන්වන්නේ VirtualBox Guest Additions යන නමින්. virtual machine එකෙන් iso ගොනු mount කරන්න පුළුවන් නිසා CD එකකට පිටපත් කරගැනීම අවශ්‍ය වෙන්නෙ නෑ. Virtual machine එකේ Windows ධාවනය වෙන අතරෙදි, machine එකේ Devices මෙනු එකේ තියෙන Install Guest Additions අයිතමය ක්ලික් කළාම අදාළ ගොනුව බාගත වෙලා ස්වයංක්‍රීයවම mount වෙයි. මෙන්න අවශ්‍ය නම් Guest Additions 2.0.4 වෙළුම බාගන්න.

Guest Additions iso එක mount කළා නම් දැන් virtual machine එකේ Windows Explorer/My Computer වලින් CD drive එක විවෘත කරලා VBoxWindowsAdditions.exe ගොනුව විවෘත කළාම Guest Additions ස්ථාපනය වෙයි. ඉන්පසුව virtual machine එක එක්වරක් ප්‍රතිපණගැන්වූවාම කරදරයක් නැතිව Seamless Mode වෙත පිවිසෙන්න පුළුවන්.

නමුත් මේ Guest Additions හදල තියෙන්නෙ Windows XP සඳහා. Windows 7 දී Guest Additions ස්ථාපනය කරන්න ගියාම දෝෂ පණිවුඩයක් පෙන්වලා ස්ථාපනය මඟහරිනවා. දැන් කියන්න යන්නෙ මම මුලින් කිව්ව වෙට්ටුව ගැන. ඒක වචන වලින් කියනවට වඩා පැහැදිලි වෙයි මීළඟ තිරපිටපත බලනව නම්.


අපැහැදිලි නම් තිරපිටපත මත ක්ලික් කරන්න

ඔහොම කරල VBoxWindowsAdditions.exe ගොනුව විවෘත කළාම කිසි ආබාධයක් නැතුව වැඩ.

ඉතින් දැන් Windows 7 ගැන ලියන්න ගත්ත සටහනේ මම වැඩි හරියක් ලියල තියෙන්නේ VirtualBox ගැනද මන්දා... කොහොම නමුත් කරල බලන්න. Seamless Mode අමුතුම අත්දැකීමක් වෙයි. ;)



දැන් වටවන්දනාව අහවර කරලා එමුකො ආපහු මාතෘකාවට... Windows 7. මේක පෙනුමින් Windows Vista පද්ධතියට වඩා වැඩි වෙනසක් නැති වුණත් අළුත් taskbar එක නම් අපූරුයි. Taskbar එකේ ඉඩකඩ ඉතිරි කරගන්න යොදාගෙන තියෙන අළුත් ක්‍රමය හොඳයි.

වේගය අතිනුත් Windows 7 හොඳයි. අවම වශයෙන් 1 GB RAM ඉල්ලලා තිබුණත් 512 MB RAM එකකත් වැඩ. හැබැයි දැනගන්ට ඕනෙ... Ubuntu වල නම් visual effects එක්ක වැඩ කරන්න ඕන කරන අවමය 384 MB බව. ;)

මම Guest Additions වල තියෙන VGA driver එක ස්ථාපනය කරල තියෙද්දිත් වින්ඩෝස් වල Aero Effects නම් වැඩ කළේ නැහැ. ඒ වගේම VirtualBox වලදි Windows 7 audio වැඩ කරන්නෙත් නැහැ. ඒ ගැන හොයද්දි තමයි දැනගත්තෙ Windows 7 Troubleshooter කියන්නෙ Windows XP Troubleshooter එකටත් වඩා මෝඩ ජෝක් එකක් කියල. :D

මීළඟ තිරපිටපත බලන්න. ඒකෙ විකල්ප දෙකක් තෝරාගන්න දීල තියෙනවා.



මොන වැඩේ වුණත් මම නම් තෝරන්නෙ දෙවැන්න. පළමුවැන්න තේරුවම එන එක දැක්කනම් ඒ මොකද කියල හිතාගන්න පුළුව්න්.



ඔහොම කියන්නෙ නැතුව වැඩේ බැරි එක කලින්ම බෑ කිව්වනං අපි forum එකකින් හරි බ්ලොග් එකකින් හරි හොයාගන්නවනේ පිළියමක්. Explore Additional Options කියන එක ක්ලික් කරන පරිශීලකයා බලාපොරොත්තු වෙන්නෙ මොකක් හරි අළුත් යමක් -- පිළියමක්. එහෙම නැතුව එකම විධියෙ කතන්දරේ හැම වෙලාවෙම දැක්කම එපා වෙනවා. Windows XP පාවිච්චි කරන කාලෙත් මට එපාම කරල තිබුණ යෙදුම තමයි Troubleshooter එක. ඒකෙන් ඇති වැඩක් වුණේ නැහැ. නිකං කාලය නාස්ති වුණා විතරයි.

කොහොම වුණත් Windows කැමති අය Windows 7 දාල බලන්න... අළුත් අත්දැකීමක් වෙයි. ;)

Windows 7 ගැන අදට එපමණයි. දිගින් දිගටම Windows 7 පාවිච්චි කරන්න බලාපොරොත්තුවක් නැහැ වුවමනාවක්ම වුණොත් VirtualBox එකෙන් Windows XP පාවිච්චි කරනව මිසක්. මට හොඳයි නිදහසේ ඕන දෙයක් කරන්න ඉඩදෙන ලිනක්ස්ම. ;)

බාගැනීම්:
මේ සටහනේ ලිව්ව VirtualBox Seamless Mode ක්‍රියාත්මක කිරීම ගැන අපැහැදිලි තැනක්/ගැටළුවක් එහෙම තියෙනවනම් comment එකක් දාන්න. ඕනම ආකාරයක ප්‍රශ්න වලට මම උත්තර දෙනවා. :)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Sunday, May 24, 2009

මගේ OS ඉතිහාසය - එදා සිට අද දක්වා...

අද මම ලියනවා මගේ OS පාවිච්චියේ සහ ඉගෙනීමේ ඉතිහාසය ගැන ටිකක්. අද මේ ගැන මතක් කරන්න හිතුණේ විශේෂ හේතුවක් නිසයි.

මම පරිගණක පිළිබඳ ඉගෙනගන්න පටන් ගත්තෙ 1995 අවුරුද්දෙ. මම එතකොට පරිගණකයක් දැකලවත් නැහැ. ඒ දවස් වල විජය ළමා පත්තරේ තිබුණ ලිපි ටික තමයි කියෙව්වෙ. විජය පුවත්පත් සමාගමට මම අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා ඒ ලිපි පෙළ පළ කිරීම ගැන. ඒ ලිපි පෙළ තමයි මගේ පරිගණක අධ්‍යාපනයට මූලික අඩිතාලම දැම්මෙ. මට මතක විධියට ඒ ලිපි පෙළේ අන්තිම හරියෙ තිබුණ MS-DOS වලින් පරිගණකය ක්‍රියා කරවන ආකාරය ගැන. ඉතින් මම මෙහෙයුම් පද්ධතියක් විධියට මුලින් ඉගෙනගත්තෙ MS-DOS ගැන කියල කියන්න පුළුවන් (ප්‍රායෝගික ක්‍රියාකාරකම් නැතිව). පොඩි කාලෙ MS-DOS දුවන පරිගණකයකින් වැඩ කරන්න ආසාවෙ හීන බල බල හිටිය.

පසුකාලීනව පාසලේදි පරිගණක අතපත ගාන්න ලැබුණම මට පරිගණකය මැජික් වගෙ. මොකද එතකොට MS-DOS නෑ. පරිගණක බොහොමයක Windows 98ත්, කීපයක Windows 2000ත් තිබුණා. ප්‍රායෝගිකව සමහර දේවල් කරල බලල ඉගෙනගත්තා. ඒ දවස් වල ඉඳලම මගේ පුරුද්දක් තිබුණා පරිගණක තිරයේ දිස් වෙන හැම දෙයක්ම කියවන. කිසිම OK/Cancel බොත්තමක්වත් අදාළ පණිවුඩය නොකියවා ක්ලික් කළේ නැහැ (සමහරවිට අදහස නොතේරුණත්).

2003 අප්‍රේල් මාසෙ මගේ ම පරිගණකයක් පාවිච්චි කරද්දි මම පාවිච්චි කළේ Windows 98. ගොඩක් දෙනා මට Windows XP පාවිච්චි කරන්න කියල කිව්වත් මොකක් හරි හේතුවක් නිසා මට හරි ගියේ Windows 98. මම හිතන්නෙ මට පුරුදු ඒක නිසා වෙන්න ඇති. මම වැඩියෙන්ම කාලය ගත කළේ Windows වල තියෙන රහස් හොයමින්. ඒ දවස් වල අපේ පැත්තෙ වැඩිය අන්තර්ජාල භාවිතාවක් තිබුණෙ නැති නිසා මම අතපත ගාල හොයාගත්ත බොහෝ දේ බොහොමයක් දෙනා නොදන්න දේවල්.

Windows 98 සිට XPට මාරු වෙද්දි මට එක දෙයක් දැනිලා තිබුණා. භාවිත කරන්නාව තොටිල්ලෙ තියල නලවන ගතියක් Windows XP වලට ඇවිත් තිබුණා. විය යුත්තෙ එය වුණත්, මට නම් ඒක එච්චර හිතට ඇල්ලුවෙ නෑ.

කලක් යද්දි Windows XP වල පෙනුමට වහ වැටිල මම Windows 98 තියෙද්දිම XPත් ස්ථාපනය කරගත්ත. ටික ටික Windows XP වලට හුරු වුණාට පස්සෙ මුළුමනින්ම Windows XP වලට මාරු වුණා. ඔය කාලෙම තමයි මම සැරට එක එක දේවල් අත්හදා බලන්න පුරුදු වුණේ. සැරට කිව්වේ මම කළ දේවල් පරිගණකයෙ ස්ථාපනය කරල තිබුණ මෘදුකාංග වලට නරක විධියට බලපෑ නිසා. ඉතින් ඒ නිසා ඒ දවස් වල මාසෙකට කීප වතාවක් දෘඩ තැටිය format කරල නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන එක සාමාන්‍ය දෙයක් වෙලා තිබුණෙ.

2005 අවුරුද්දෙ මට මිත්‍රයෙකුගෙන් ලිනක්ස් ගැන දැනගන්න ලැබුණ. ඒ Ubuntu ගැන. ඉතින් මමත් ඒ දවස් වල තිබුණ Ubuntu Breezy Badger පිටපතක් ඉල්ලගෙන ස්ථාපනය කරල බැලුව. සිංදුවක්වත් අහන්න විධියක් නැති නිසා එපා වුණත් අළුතෙන් ඉගෙනගන්න ඒකෙ යම් දෙයක් තියෙන නිසා මගේ දෙවෙනි (secondary) OS එක විධියට දාල තියාගත්ත. ඒ කාලෙ Ubuntu පාවිච්චි කළේ කලාතුරකින්. දැන් තියෙනව වගේ පෙරළිකාර OS එකක් බවට Ubuntu පත් වේවි කියල ඒ දවස් වල නිකමටවත් හිතුණෙ නැහැ. Kubuntu හා Edubuntuත් ගෙන්වාගෙන පාවිච්චි කරල බැලුව. KDE ඒ දවස් වලම මට එපා වුණේ අනවශ්‍ය තරම් සැරසිලි වැඩි නිසා. (හැබැයි මේ සටහන ලියන්නෙත් KDE වල ඉඳගෙනම තමයි ;) )

මම තව තව මෙහෙයුම් පද්ධති අත්හදා බැලුව. මේ ඒවයින් කීපයක්.
  • Damn Small Linux
  • Puppy Linux
  • Knoppix
ඔය අතරෙ මම Windows Vistaත් දාල බැලුව. නමුත් ඒක දාපු දවසෙම එපා වුණා. Windows 7 නම් මගේ පරිගණකයට ස්ථාපනය කළේ නැහැ. කරන්නෙත් නැහැ. නමුත් Windows 7 පාවිච්චි කරන මිත්‍රයින්ගෙන් දැනගත් විධියට ඒක හොඳ මෙහෙයුම් පද්ධතියක් (Vistaට සාපේක්ෂව).

පසුව නිදහස් හා විවෘත මෘදුකාංග (FOSS) ගැන තරමක අවබෝධයක් ලබා ගත් පසුව මම තීරණය කළා කවදහරි ලිනක්ස් වලට සම්පූර්ණයෙන් මාරු වෙන්න. ඒත් මම ලිනක්ස් ගැන මොනවද දන්නෙ? මං දන්න ඉටිගෙඩියක් නෑ! ඒ නිසා සෑහෙන කාලයක් මම පාවිච්චි කළේ Windows/ Ubuntu ද්විත්ව ස්ථාපිතයක්.

ගිය අවුරුද්දෙ ඩනිෂ්කගෙන් Fedora ගැන දැනගත්තට පස්සෙ මම Fedora වලට මාරු වුණා. දැන් broadband අන්තර්ජාල සම්බන්ධතාවකුත් තියෙන නිසා කලින් වගේ දෙයක් හොයාගන්න අඳුරෙ අතපතගාන්න ඕන නැහැ. ඉතින් තීරණය කළා මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙන වැඩේ ඉක්මනින් ක්‍රියාවට නංවන්න. වින්ඩෝස් නැතිවම බැරි මොහොතක් ආවොත් VirtualBox තියෙනවනෙ. VirtualBox තියෙද්දි restart කරන්න කරදර වෙන්න ඕනත් නැහැ.

මේ සටහන අද ලිව්වෙ එක විශේෂ දෙයක් නිසා. මගේ පරිගණකයෙ අද සිට වින්ඩෝස් නැත. මුළු හාඩ් ඩිස්ක් එකම format කළා... දැම්ම Fedora. KDE 4.1 කොහොමද කියල බලන්නත් එක්ක KDE දැම්ම. මට නම් Gnome තරම් ගතියක් වෙන මොකකවත් නැහැ. KDE හොඳයි... හැබැයි ටිකක් slow motion වගෙ :D . ආයම Gnome වලට මාරු වෙන්නයි කල්පනාව.

ලංකාවෙ ලිනක්ස් ව්‍යාප්තිය දැන් තරමක් හොඳ තත්වයක තියෙනව කියල හිතෙනවා. අඩු ගානෙ spare wheel එක විධියටවත් ලිනක්ස් පාවිච්චි කරන එකෙක් අහළින් පහළින් හොයාගන්න පුළුවන් දැන්. මම ලිනක්ස් පාවිච්චි කරන්න පටන්ගත් දවස් වල ඒක එහෙම නැහැ. ලිනක්ස් වලට එන කෙනෙකුට ඉක්මනින්ම ලිනක්ස් එපා වෙන තත්වයක් ඒ දවක් වල තිබුණෙ. දැනටත් ලිනක්ස් වල user experience එක එතරම්ම සතුටුදායක තත්වයක නැහැ. ඒත් නිදහස ගැන, FOSS වල අරමුණ ලොවට යහපතක් කිරීම'ය කියන එක සිහි වෙනකොට මට කවදාවත් "Linux Sucks!" කියල කියන්න නම් හිත දෙන්නෙම නැහැ.

මෙන්න මේ වීඩියෝ එක බලන්න. බොහෝ දුරට මගේ OS මාරුවත් මේ වගේ කියල දැනෙනවා...



෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Wednesday, May 13, 2009

හාවෙක් එක්ක වරුවක්

හාවෙක් එක්ක වරුවක්? මොන මළ විකාරයක්ද??

හාවා කිව්වෙ නිකංම නිකං හාවා නෙමෙයි හැඩකාර හාවා... Jaunty Jackalope. දැන් තේරුණාද මොකක්ද කියන්න යන්නෙ කියලා?

ඊළඟ ප්‍රශ්නය... ෆෙඩෝරා වලට මාරු වෙච්ච එකා උබුන්ටුත් එක්ක මොකක් කරනවද? ඒකටත් උත්තරේ මම ම දෙන්නම්. ෆෙඩෝරා ආරක්ෂාව අතින් උපරිමයි. නමුත් දන්නවනේ.. ආරක්ෂාව වැඩි වෙන්න වෙන්න පහසුව අඩු වෙන බව. ඒක ප්‍රසිද්ධ සත්‍යයක්නේ. අනෙක ෆෙඩෝරා වල Wi-Fi අවුලකුත් තියෙනවා. SELinux වලින් සමහර වැඩසටහන් අවහිර කරන එක තව අවුලක්. තාම මම SELinux පාවිච්චි කරන්න හරියට දන්නෙ නෑ.. ඒත් ඉගෙනගන්නවා. ඒ නිසා SELinux අක්‍රිය කරලත් බෑ. ඔය හේතූන් නිසා තීරණය කළා Ubuntu - Fedora ද්විත්ව ස්ථාපිතයක් පාවිච්චි කරන්න.

Ubuntu - Fedora ද්විත්ව ස්ථාපිතයක්?? එතකොට වින්ඩෝස්? වින්ඩෝස් පාවිච්චි කළ කාලය අවසානයි. අපට කැම්පස් එකේ දෙන සමහර පැවරුම් (assignments) කරන්න වින්ඩෝස් අත්‍යාවශ්‍ය නිසා රූට රූට හීනෙන් මට ජනෙල් පෙනීයන් කියල VirtualBox එකෙන් සැරින් සැරේ වින්ඩෝස් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නව. දැන් සැලසුම මේකයි. Fedora වලට 15 GB, Ubuntu වලට 15 GB, ඉතිරිය /home (පොදු) විධියට partition තුනකින් වැඩේ ෂේප් කරගන්න බැලුවෙ. ඒත් ඒක හරියන්නෙ නෑ වගේ. පොඩි අත්හදා බැලීමක් කළා ඒත් ලෙඩ ගෙඩක්. ෆෙඩෝරයි උබුන්ටුයි එක ගෙදර ඉන්න කැමති නෑ වගේ දෙන්නටම Gnome ඇඳුම් අන්දලත්.



හරි.. දැන් ප්‍රශ්න අහන්නයි උත්තර දෙන්නයි ගිහින් මාතෘකාවෙනුත් පිට පැනල මම. අද කියන්නෙ Jaunty Jackalope වල වගවිස්තරේ.

Ext-4 වල අඩු පාඩු ගැන (data loss) අපේ චතුර (ලබන්) මාව දැනුවත් කළ නිසා මම ext-4 දැම්මෙ නෑ.

Jaunty ක්‍රියාරම්භ (boot) වීම ඉතාම ඉක්මන්. පැරණි Intrepid සංස්කරණය ක්‍රියාරම්භ වෙන්න ගත වෙන කාලයෙන් හතරෙන් එකක් තරම් අඩු කාලයක් ඊට ගත වුණේ. Jauntu වල පෙරනිමි පිවිසුම් කවුළුවත් වෙනස් වෙලා. අමුතු ලස්සනක් නම් නෑ. ඒත් අඳුරු වැඩියි ඒක.

මගේ ලැප්ටොප් එකේ video adapter එක Mobile Intel GM965 වර්ගයේ එකක්. ලැප්ටොප් එක ගත්ත දවසෙ ඉඳල තිබුණ හැම Ubuntu සංස්කරණයක්ම ඒකත් එක්ක හොඳට වැඩ කළා. ඒත් Jaunty වල මේක හරියට වැඩ කරන්නෙ නෑ! ඉතින් මම අපේ full time උබුන්ටු පරිශීලකයෙක් වෙන රවින්දගෙන් අහල බැලුව මේකෙ තත්වෙ. ලැබුණ උත්තරේ නම් සතුටුදායක එකක් නෙමෙයි. දන්න විධියට Xorg එහෙමපිටින්ම අවුල්. ඊට පස්සෙ අන්තර්ජාලයෙ ටිකක් එහා මෙහා සැරිසරලා බලනකොට කියාපි මොකක්ද බ්ලැක්ලිස්ට් කතන්දරයක්! ඒ ගැන හොයල බලන්න ඕන මේ බ්ලොග් පෝස්ට් එක ලිව්වට පස්සෙ.

Jaunty වල පරණ themes කීපයක් ඉවත් කරල අළුත් themes කීපයක් ඇතුළත් කරල තියෙනව. ඒත් මට නම් පෙරනිමියෙන් එන Human හොඳා. Notifications, tooltips වලත් පෙනුම වෙනස් වෙලා. ඒවයෙ නම් අළුත් පෙනුම හොඳයි.

ම්ම්.. තවත් පොඩි දෙයක්... mobile broadband වර්ගයේ අන්තර්ජාල සම්බන්ධතාවක් සකසනකොට උබුන්ටු වල අහනවනෙ සේවා සපයන්නා (ISP) කවුද කියල.. ඇත්තටම ලැයිස්තුවකින් තෝරන්නයි තියෙන්නෙ. Interpid වල තිබුණු මේ ලැයිස්තුවෙ හිටපු හතරදෙනාට අමතරව දැන් තවත් එක්කෙනෙක් ඉන්නවා.. ඒ Airtel. ඒකත් උබුන්ටු වලට රිංගපු ඉක්මන!

මේ ගැන වැඩිය හොයන්න වෙලාවක් නෑ ඇත්තටම... ව්‍යාපෘති - පැවරුම් කරගන්නත් තියෙන්නෙ මේ ලැප්ටොප් යන්තරේම විතරයි. ඒ නිසා වැඩිය සෙල්ලම් දාන්න යන්නෙ නෑ... කතාව මෙතනින් ඉවරයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අළුත් හාවා පරණ එළුවා තරම් හොඳ නෑ කියල තමයි. බලමු ඉතින් ඉස්සරහට කොහොම වේවිද කියල. සමහරවිට පැච් එකක් එයි කියන බලාපොරොත්තුව විතරක් තියාගන්න පුළුවන්.



විශේෂ ස්තුතිය: මට මේ සියල්ල අත්හදා බලන්න data backup කරගන්න පෝටබල් හාඩ් එකක් ණයට දුන්, මගේ බ්ලොග් එකේ නිත්‍ය පාඨකයෙක් වූත් මගේ බැචෙක් වූත් ඩිලාන් වෙත.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Friday, March 27, 2009

හාඩ් ඩිස්ක් ගැන කතා දෙකක්...

අහම්බෙන් වගේ හිතුණා මේ කතා දෙක ලියන්න. පළවෙනි එක... sda5 ගැන. ලිනක්ස් සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති දෙකම එකවර පාවිච්චි කරන අය දැකල ඇති... වින්ඩෝස් වලදි D: ලෙස හඳුන්වන partition එක ලිනක්ස් වලට ගියාම sda5 වෙනවා. C: එක sda1 වෙද්දි D: එක ඇයි sda5 වෙන්නෙ? හේතුව බොහොම සරලයි.

ඕනම හාඩ් ඩිස්ක් එකක එහි ගොනු පද්ධතිය (filesystem) හඳුනාගන්න ලේබලයක් තියෙනවා. මේ කියන්නෙ ‍වින්ඩෝස් වල partition එකෙන් partition එකට අපට පෙන්නන ලේබල් නෙවෙයි. මේ කියන disk label එක සාමාන්‍ය පරිශීලකයන්ගෙන් සඟවා තිබෙන එකක්. මගේ පසුගිය සටහන කියෙව්වනං දකින්න ඇති msdos කියල ලේබල් එකක් ගහන හැටි. වින්ඩෝස් පාවිච්චි කරනව නම් මේ ලේබලය අනිවාර්යයෙන් msdos විය යුතුයි. ඉතින් මේ msdos ඩිස්ක් එකක ගොනු පද්ධති ව්‍යූහය දැනගත්තම මේ sda5 සිද්ධිය හිතාගන්න පුළුවන්. ඇත්තටම... too obvious.
  • msdos තැටියක් කොටස් වලට බෙදන්න හෙවත් partition කරන්න පුළුවන්.
  • Partitions ප්‍රධාන වර්ග දෙකයි. Primary සහ Logical.
  • උපරිම වශයෙන් primary partition හතරක් තිබිය හැකියි. අවම වශයෙන් එකක් හෝ තිබිය යුතුයි.
  • Primary partition වලින් එකක් පමණක් එහි විශේෂ ආකාරයක් වන Extended ආකාරයෙන් තබා ගත හැකියි.
  • Extended - නමින් අරුත් ගැන්වෙන ලෙසම, ඉහත කී දෙවන වර්ගයේ partition සියල්ලම පවතින්නේ මේ primary partition එක 'තුළ' යි.
  • Extended partition එක Logical partitions නම් උප කොටස් කැමති ගණනකට බෙදිය හැකියි.
  • වින්ඩෝස් partition පිළිබඳ දත්ත වගුව තබා ගැනීමට අවසානයේ 7.8 MB ඉඩක් වැය වෙනවා. මෙය භාවිතා නොකළ ඉඩ ලෙසයි සලකුණු කර තබන්නේ.
අපි Windows XP Setup පාවිච්චි කරල හාඩ් ඩිස් එකක් කොටස් වලට බෙදනකොට මොකද වෙන්නෙ? මුලින්ම C: එක හදනවා. ඒක primary. ඊළඟට හදන්නෙ D: එක. ඒක හදනකොට ස්වයංක්‍රීයව දෙවෙනි primary partition එක හෙවත් extended partition එක නිර්මාණය වී ඒ මත පළමු logical partition එක නිර්මාණය වෙනවා. Windows 98 සමඟ එන fdisk.exe උපයෝගීතා යෙදුම පාවිච්චි කරල තියෙනව නම් දන්නව ඇති -- එහිදී මේ ස්වයංක්‍රීවය සිදු වන පියවරත් අපටමයි කරන්න වෙන්නෙ.

ලිනක්ස් වලට ආවම... මේ /dev යටතේ ඇති sda1 සිට sda4 දක්වා primary partition වලට වෙන් කර (reserved) තැබෙනවා. sda5 සිට ඉතිරිය logical partitions වලට වෙන් වෙනවා. Extended partition එකක් යනු වෙනත් partitions දරා සිටින්නක් නිසා එහි ඇති ගොනු කෙළින්ම බලන්න අවකාශ ලබා දෙන්නෙ නෑ -- ඒ තුළ ඇති partition එකින් එකට ගොස් බලන්න පුළුවන් නිසා. ඒ නිසා sda2 හෙවත් extended partition එක mount කරන්න බැහැ. මම නම් උත්සාහ කළා. බැරි වුණා. පුළුවන් නම් කරල බලන්න. ඒ නිසා පළමු logical partiton එක හෙවත් D: තමයි mount කරන්න පුළුවන්. ඒක /dev/sda5.


root@shaakunthala-laptop:/home/shaakunthala# cd /media/
root@shaakunthala-laptop:/media# mkdir extended
root@shaakunthala-laptop:/media# mount -t extended /dev/sda2 /media/extended/
mount: unknown filesystem type 'extended'
root@shaakunthala-laptop:/media#


ඔය ඉහළින් තියෙන්නෙ මගේ අසාර්ථක උත්සාහය. -t වලට දාන්නෙ මොකක්ද කියල තමයි පුරස්නෙ.

ඉතින්... පහේ ඉලක්කමට හේතුව... දැන් පැහැදිලියි නේද?



පළවෙනි එක ඇත්තටම කතාවක් නෙවෙයි... එක්තරා සංසිද්ධියක්... මෙන්න අළුත්ම නිව්ස් එක... හෙවත් දෙවෙනි කතාව ;)

මෙතෙක් කාලයක් අපි ලිනක්ස් ස්ථාපනය කළේ ext-3 පාටිෂන් වල නේ... ඔන්න දැන් ext-4 එනවා. අප්‍රේල් මාසයේ නිකුත් වෙන්න නියමිත Ubuntu 9.04 නොහොත් Jaunty Jackalope සංස්කරණයේත්, මැයි මාසයේ නිකුත් වෙන්න නියමිත Fedora 11 Leonidas සංස්කරණයේත් පෙරනිමි දෘඩ තැඩි ආකෘතිකරණ ක්‍රමය ext-4. ඒ මත තියෙන්න පුළුවන් ගොනුවක උපරිම ප්‍රමාණය දන්නවද? ටෙරාබයිට් 16ක්! පිස්සු හැදෙන සඳ කිව්වලු. Partiton එකක උපරිම ප්‍රමාණය එක්සාබයිට් එකක් ලු. උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන කාලේ යාන්තම් මතකයි ඔහොම එකක් ගැන කිව්වා... කිලෝ.. මෙගා.. ගිගා.. ටෙරා.. පෙටා.. එක්සා.... හරි.. දැන් මීටර් වුණා. ඉතින් විශාල ගොනු හුවමාරු (file share) කරගන්න සර්වර් එකකටම හොඳා. දැන් DVD ගෙඩි පිටින් ඩවුන්ලෝඩ් දෙන කාලේ.. තව ටික කාලෙකින් Blu-Rayත් ගෙඩි පිටින් (iso? images) බාන්න දෙයිද දන්නෙ නෑ. මාර ලෝකයක්!

Fedora 11 Alpha නිකුතුවත් එක්ක ඔන්න තව පරීක්ෂණ මට්ටමේ තියෙන තැටි ආකෘතිකරණ ක්‍රමයකුත් එනවලු. මේකෙ නම btrfs. බොහෝ විට ext4න් පසුව භාවිතයට එක මීළඟ ක්‍රමය මෙය වෙන්නත් පුළුවන් කියල හිතෙනවා. btrfs පාටිෂන් එකක උපරිම ප්‍රමාණය එක්සාබයිට් 16ක්! දත්ත වල ආරක්ෂාවට සහ නිර්වද්‍යතාවයට (integrity) වැදගත් වෙන තව ගොඩක් උපක්‍රමත් සහිතවයි btrfs ගොඩනැගෙන්නෙ. Fedora 11 දැන්ම ගත්තට කමක් නෑ... කවුරුවත් btrfs අත්හදා බලන්න එපා... virtual machine එකක හැර. අනෙක... SELinux එක්ක btrfs පොඩි පරහකුත් තියෙනවලු.

මෙන්න වැඩි විස්තර:
http://www.wikipedia.org
https://fedoraproject.org/wiki/Fedora_11_Alpha_release_notes#Ext4_File_System
https://fedoraproject.org/wiki/Fedora_11_Alpha_release_notes#Btrfs_File_System
http://www.ubuntu.com/testing/jaunty/beta#Ext4%20filesystem%20support

(මෙම සටහන නිකංම විකිපීඩියා කොපි-පේස්ට් කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න... විවිධ මූල වලින් කියවා අත්හදා බලා අවබෝධ කරගෙන නැවත ලිවීමක්... :) )

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Wednesday, March 18, 2009

Ubuntu / Windows අතර තොරතුරු හුවමාරුව

මගේ පසුගිය සටහන කියෙව්ව නම් දකින්න ඇතිනේ මම ආයෙම Ubuntu ස්ථාපනය කරගෙන තියෙනවා... ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් අපට කැම්පස් එකේ නොමිලයේ ලබා දෙන Wireless Internet පහසුකම ලබාගන්න Fedora මානකරණය කරන එක ටිකක් අපහසු වීම. දැන් අපට තියෙන assignments කන්දරාවෙ හැටියට ඕව හොය හොයා ඉන්න ටිකක් අමාරුයි. ඉතින් Ubuntu වලින් වත් සහනයක් ලැබෙයිද බලනවා. ඉතින් දැන් Fedora, Ubuntu, Windows triple boot. අනෙක, කලකට පෙර, මගේ බ්ලොග් එක කියවන චතුර සංදීප දාපු comment එකක්. රසික ඉල්ලීමක්. :P

VirtualBox හි host ලෙස Ubuntuත්, guest ලෙස Windows XPත් තබාගෙන ඒ මෙහෙයුම් පද්ධති දෙක අතර ගොනු හුවමාරු කරගන්න ක්‍රමය තමයි අහල තිබුණෙ. ඉතින්... මගේ ප්‍රධාන වැඩ කටයුතු ටිකත්, ලියන්න අළුත් මාතෘකා ලැබීමත් නිසා මේ ගැන ලියන එක ටික ටික ප්‍රමාද වුණා. ඔන්න අද ලියනවා... ;)



මේක කරන හැටි මම කොටස් හයකට බෙදල ලියන්නම්. එහෙම ලිව්වම තේරුම් ගන්න ලේසියි කියා හිතනවා.

පළමු පියවර:
දැනටමත් ඔබේ පරිගණකයේ Ubuntu තියෙනවා කියල මම හිතනවා. මම මේක කළේ 'මනුස්සකම කඳුකර එළු' සංස්කරණයේ (8.10) ඉඳගෙන. ඉතින් මුලින්ම terminal window එකක් විවෘත කරගෙන පහත විධානය ලබා දෙන්න.

sudo apt-get install virtualbox

(මෙගාබයිට 50කට නොවැඩි බාගැනීමක්)

දෙවන පියවර:
දැන් වින්ඩෝස් ස්ථාපනය සඳහා අළුත් Virtual Machine එකක් නිර්මාණය කරන්න. මම මේ සටහන ලියන්නෙ දැනටමත් VirtualBox පාවිච්චි කරන අය සඳහා නිසා ඒක කරන ක්‍රමය දැන් ලියන්නෙ නෑ. ඒ වුණාට මේ දේවල් වලට අළුත් අයටත් හැකිතාක් තේරුම් ගන්න පුළුවන් වෙන්න ලියන්නම්. ඒක කරන එක එච්චර දේකුත් නෙවෙයි -- facebook account එකක් හදනවට වඩා ලේසියි. :P

අළුත සාදාගත් Virtual Machine එකේ Settings වෙත ගොස් පහත දැක්වෙන තිරපිටපතේ පෙන්වා ඇති සැකසුම් සකසන්න. (පැහැදිලිව බලන්න රූපය මත ක්ලික් කරන්න)


Enable Network Adapter
Attached to NAT
Cable Connected
  • Shared Folders සඳහා සැකසුම් කිරීම අවශ්‍ය වෙන්නෙ නෑ.
තුන් වන පියවර:
සාදාගත් Virtual Machine එක මත Windows XP ස්ථාපනය කරන්න. ඒක ඉතින් කරන්න දන්න එක නේ... වින්ඩෝස් ස්ථාපනය කරල කරන්න සැකසුම් කීපයක් තියෙනවා. ඒවා එකින් එක පහත දක්වා තිබෙනවා.


මේක කරන්නෙ අපේ පහසුවට, ඕන වෙලාවක ජාල‌ සැකසුම් වල තත්වය බලාගන්න පුළුවන්



දැන් Windows Network Setup Wizard දක්නට ලැබේවි. එහි පහත දැක්වෙන සැකසුම් සකසමින් ඉදිරියට යන්න.
  • Select a connection method පියවරේ දී - This computer connects to the Internet through a residential gateway or through another computer on my network.
  • File and printer sharing පියවරේ දී - Turn on file and printer sharing

මෙහි Default Gateway ලෙස දක්වා ඇත්තේ Ubuntu ස්ථාපනය කර ඇති පරිගණකයේ, එනම් host OS ඇති පරිගණකයේ ඇති virtual network interface එකෙහි IP ලිපිනයයි. මේ උදාහරණයේදී එය 10.0.2.2 වෙයි. එය සටහන් කරගන්න.

දැන් Command Prompt එකේ පහත දැක්වෙන විධානය ලබා දෙන්න.

ping 10.0.2.2

(තද කළු අකුරින් තියෙන IP ලිපිනය වෙනුවට ඔබේ පරිගණකයේ IP ලිපිනය (Virtual Windows ස්ථාපිතය මගින් ලබා ගත්) සටහන් කරන්න)


මේ වගේ පිළිතුරු ලැබෙනවනම් වැඩේ හරි

දැන් ටික වෙලාවකට අපි Virtual Machine එක වසා දමමු. මීළඟ පියවර කරන්න තියෙන්නෙ Ubuntu මත.

හතර වන පියවර:
Ubuntu වල terminal window එකක් විවෘත කරගෙන පහත විධාන එකින් එක ලබා දෙන්න.

mkdir ~/vbox-share
chmod 777 ~/vbox-share
cd ~/vbox-share
touch i am proud to be a sinhala blogger (මේක කරන්නෙ ආතල් එකට... shared folder එකේ බෙදා හදා ගන්න මොකුත් තියෙන්නත් එපැයි :P )
sudo apt-get install samba libpam-smbpass
exit

දැන් සැසිය යළි අරඹන්න (session restart). මේක කරන්න ලේසිම විධිය Ctrl+Alt+Backspace. කරන්න කලින් අත්‍යාවශ්‍ය සියළුම වැඩසටහන් වලින් ඉවත් වෙන්න.

පස් වන පියවර
ඉතිරි ටිකත් terminal එකෙන් කරන හැටි තිබුණ නම් හොඳයි. ඒත් කලබල අස්සෙ මට ඒක හොයාගන්න බැරි වුණා. ඒ නිසා nautilus (GUI) වලින් කරන හැටි කියන්නම්.

Places menu (ඉහළ වම් කෙළවර) එකේ Home ක්ලික් කර ඔබේ home folder එක වෙත යන්න. අළුත හදා ගත් folder එක (මේ උදාහරණයේදී vbox-share) right click කරල Properties වෙත යන්න. එහි Share tab එකේ පහත දැක්වෙන සැකසුම් සකසන්න.
  • Share this folder : Yes
  • Share name : ubuntu-host (කැමති නමක්)
  • Allow other people to write in this folder : Yes
  • Guest Access : Yes
දැන් Create Share ක්ලික් කරන්න.


වැඩේ හරි නම් icon එක පේන්නෙ මෙහෙම

හය වන පියවර:
දැන් ආයෙම අපේ Windows virtual machine එක පණගන්වන්න. Start --> Run ගිහින් කලින් අපි සොයාගත් IP එක මෙන්න මේ විධියට ඇතුලත් කරන්න.

\\10.0.2.2\

දැන් මෙහෙම එකක් ලැබෙයි:



ඇරල බලන්න මොනවද තියෙන්නෙ කියලා... :P


වැඩේ හරි නේද? Ubuntu වල තියෙන ආරක්ෂක විධි විධාන මඟහැරල මේ බෙදා හදා ගැනීම කරන ක්‍රමයටයි ලිව්වෙ. මොකද virtual machine එකත් පාවිච්චි කරන්නෙ තමන්මනෙ.

මේ ක්‍රමය virtual නොවන සාමාන්‍ය Windows ස්ථාපිතයකටත් අදාළයි. මේක ලියල දැන් මාර මහන්සියි. මම ලිව්වෙ නවකයින් ගැනත් හිතල. තේරුම් ගන්න පුළුවන් වුණාද දන්නෙ නැහැ. ගැටළු තියෙනව නම් comment එකක් දාන්න... මං දෙඤ්ඤං උත්තර... :)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Friday, February 20, 2009

Fedora/ Ubuntu මත Shiretoko ස්ථාපනය කරමු

Shiretoko,... Mozilla Firefox පවුලේ මීළඟ සාමාජිකයාගේ පරීක්ෂණ නිකුතුව ගැන කවුරුත් දැන් දන්නවා ඇතිනෙ. දන්නෙ නැති නම් කියවන්න මෙතනින්.

වින්ඩෝස් මත Shiretoko ස්ථාපනය කිරීම mouse clicks කීපයකින් පුළුවන්. ඒත් වින්ඩෝස් වලටම හුරු වෙලා ඉන්න අයට ලිනක්ස් වල Shiretoko ස්ථාපනය ටිකක් අමාරු වැඩක් වගේ පේන්න පුළුවන්. ඇත්තටම ඒක අමාරු නෑ. ඉතාම සරලයි. පහත දැක්වෙන පියවර කීපය අනුගමනය කරන්න.

Shiretoko භාගත කරන්න. [ලිනක්ස්]

Terminal එක විවෘත කරන්න. පහත විධාන එකින් එක ලබා දෙන්න.

පළමුව root හිමිකම් ලබාගනිමු.

su

දැන් භාගත කරගත් archive එක විසුරුවමු. ඉන්පසු archive එක ඉවත් කළ හැකියි.

tar -jxvf firefox-3.1b3pre.si.linux-i686.tar.bz2 -C /opt

rm firefox-3.1b3pre.si.linux-i686.tar.bz2

අවසන් පියවර ලෙස /usr/bin/ තුළ shiretoko සඳහා සංකේතාත්මක සන්ධියක් (symbolic link) සාදමු. ඉන් පසු root හිමිකම් වෙතින් ඉවත් විය හැකියි.

ln -s /opt/firefox/firefox /usr/bin/shiretoko

exit

පරීක්ෂා කිරීමට,

shiretoko &

සියලු පියවර නිවැරදිව සිදු කළේ නම් Shiretoko ධාවනය වනු ඇති.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Thursday, December 4, 2008

Ubuntu නික්ම යාම!

මම Fedora එක්ක දවසක් හමාරක් විතර ඔට්ටු වුණා. මේකෙ ඉගෙනගන්න දේවල් සෑහෙන්න තියෙනවා. සමහර දේවල් අතින් Fedora, Ubuntu වලට වඩා ඉදිරියෙන්. Firewall එකක් මානකරණය කරන නියම අත්දැකීමක් ගත්තේ Fedora වලින්. Windows වලින් Ubuntu වලට මාරු වෙනවට වඩා ලේසියි Ubuntu වලින් Fedora වලට මාරු වෙන එක.
මට ලැබුණු Fedora DVD එකේ ඕන කරන සියළුම දේ තියෙනවා. සිංහල භාෂාව, Apache HTTP Server, PHP, MySQL Server, Mozilla Firefox සිංහල සංස්කරණය, Eclipse, Wireshark, K3b මේ අතරින් කීපයක්. ඉතින් තව Ubuntu මොකටද? ඊයෙ රෑ සිට Fedora/ Windows dual boot!
මම ලිනක්ස් ඉගෙනගන්න පටන් ගත්තේ Ubuntu වලින්. Windows වලට හුරු වෙලා හිටපු මම Ubuntu තරම් පහසු මෙහෙයුම් පද්ධතියක් නොතිබුණානම් කවදාවත් ලිනක්ස් ඉගෙන නොගන්න තිබුණා. පරිගණක ඉගෙනගැනීම මූලික අවශ්‍යතාව නොවන, දිනපතා කාර්යාලයීයය වැඩ කරගන්නත් අන්තර්ජාලය සැරිසරන්නත් මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය කෙනෙකුට මම තවමත් හොඳයි කියන්නෙ Ubuntu. Ubuntu යන්නේ Windows එක්ක තරඟයක්. ඒ නිසා බොහෝ දේ ස්වයංකරණය (automate - වචනේ හරිද දන්නෑ) කරල තියෙනවා. ඒ අතින් Ubuntu සුපිරි තත්වයේ තිබුණත්, ගැඹුරට දෙයක් ඉගෙනගන්න කැමති කෙනෙකුට Ubuntu මදි.



Ubuntu වලින් යන ගමන් දෙයක් දීල යන්නම්. Ubuntu වලටත් අළුත් අයට Windows XP Theme එකක්. මේක Ubuntu විතරක් නෙවෙයි. Gnome පාවිච්චි කරන ඕනම එකකට පුළුවන්. හැබැයි මේව පාවිච්චි නොකරන තරමට හොඳයි.



---

දැන් ඉතින්... Fedora තමයි.








විශේෂයෙන් ස්තුති කළ යුතු ලිපි පෙළක් ෆෙඩෝරා ලිනක්ස් සටහන්. එයින් බෙහෝ දේ ඉගෙන ගත්තා. අද සිට ෆෙඩෝරා ගමනේ යා!

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴