Sunday, May 24, 2009

මගේ OS ඉතිහාසය - එදා සිට අද දක්වා...

අද මම ලියනවා මගේ OS පාවිච්චියේ සහ ඉගෙනීමේ ඉතිහාසය ගැන ටිකක්. අද මේ ගැන මතක් කරන්න හිතුණේ විශේෂ හේතුවක් නිසයි.

මම පරිගණක පිළිබඳ ඉගෙනගන්න පටන් ගත්තෙ 1995 අවුරුද්දෙ. මම එතකොට පරිගණකයක් දැකලවත් නැහැ. ඒ දවස් වල විජය ළමා පත්තරේ තිබුණ ලිපි ටික තමයි කියෙව්වෙ. විජය පුවත්පත් සමාගමට මම අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා ඒ ලිපි පෙළ පළ කිරීම ගැන. ඒ ලිපි පෙළ තමයි මගේ පරිගණක අධ්‍යාපනයට මූලික අඩිතාලම දැම්මෙ. මට මතක විධියට ඒ ලිපි පෙළේ අන්තිම හරියෙ තිබුණ MS-DOS වලින් පරිගණකය ක්‍රියා කරවන ආකාරය ගැන. ඉතින් මම මෙහෙයුම් පද්ධතියක් විධියට මුලින් ඉගෙනගත්තෙ MS-DOS ගැන කියල කියන්න පුළුවන් (ප්‍රායෝගික ක්‍රියාකාරකම් නැතිව). පොඩි කාලෙ MS-DOS දුවන පරිගණකයකින් වැඩ කරන්න ආසාවෙ හීන බල බල හිටිය.

පසුකාලීනව පාසලේදි පරිගණක අතපත ගාන්න ලැබුණම මට පරිගණකය මැජික් වගෙ. මොකද එතකොට MS-DOS නෑ. පරිගණක බොහොමයක Windows 98ත්, කීපයක Windows 2000ත් තිබුණා. ප්‍රායෝගිකව සමහර දේවල් කරල බලල ඉගෙනගත්තා. ඒ දවස් වල ඉඳලම මගේ පුරුද්දක් තිබුණා පරිගණක තිරයේ දිස් වෙන හැම දෙයක්ම කියවන. කිසිම OK/Cancel බොත්තමක්වත් අදාළ පණිවුඩය නොකියවා ක්ලික් කළේ නැහැ (සමහරවිට අදහස නොතේරුණත්).

2003 අප්‍රේල් මාසෙ මගේ ම පරිගණකයක් පාවිච්චි කරද්දි මම පාවිච්චි කළේ Windows 98. ගොඩක් දෙනා මට Windows XP පාවිච්චි කරන්න කියල කිව්වත් මොකක් හරි හේතුවක් නිසා මට හරි ගියේ Windows 98. මම හිතන්නෙ මට පුරුදු ඒක නිසා වෙන්න ඇති. මම වැඩියෙන්ම කාලය ගත කළේ Windows වල තියෙන රහස් හොයමින්. ඒ දවස් වල අපේ පැත්තෙ වැඩිය අන්තර්ජාල භාවිතාවක් තිබුණෙ නැති නිසා මම අතපත ගාල හොයාගත්ත බොහෝ දේ බොහොමයක් දෙනා නොදන්න දේවල්.

Windows 98 සිට XPට මාරු වෙද්දි මට එක දෙයක් දැනිලා තිබුණා. භාවිත කරන්නාව තොටිල්ලෙ තියල නලවන ගතියක් Windows XP වලට ඇවිත් තිබුණා. විය යුත්තෙ එය වුණත්, මට නම් ඒක එච්චර හිතට ඇල්ලුවෙ නෑ.

කලක් යද්දි Windows XP වල පෙනුමට වහ වැටිල මම Windows 98 තියෙද්දිම XPත් ස්ථාපනය කරගත්ත. ටික ටික Windows XP වලට හුරු වුණාට පස්සෙ මුළුමනින්ම Windows XP වලට මාරු වුණා. ඔය කාලෙම තමයි මම සැරට එක එක දේවල් අත්හදා බලන්න පුරුදු වුණේ. සැරට කිව්වේ මම කළ දේවල් පරිගණකයෙ ස්ථාපනය කරල තිබුණ මෘදුකාංග වලට නරක විධියට බලපෑ නිසා. ඉතින් ඒ නිසා ඒ දවස් වල මාසෙකට කීප වතාවක් දෘඩ තැටිය format කරල නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන එක සාමාන්‍ය දෙයක් වෙලා තිබුණෙ.

2005 අවුරුද්දෙ මට මිත්‍රයෙකුගෙන් ලිනක්ස් ගැන දැනගන්න ලැබුණ. ඒ Ubuntu ගැන. ඉතින් මමත් ඒ දවස් වල තිබුණ Ubuntu Breezy Badger පිටපතක් ඉල්ලගෙන ස්ථාපනය කරල බැලුව. සිංදුවක්වත් අහන්න විධියක් නැති නිසා එපා වුණත් අළුතෙන් ඉගෙනගන්න ඒකෙ යම් දෙයක් තියෙන නිසා මගේ දෙවෙනි (secondary) OS එක විධියට දාල තියාගත්ත. ඒ කාලෙ Ubuntu පාවිච්චි කළේ කලාතුරකින්. දැන් තියෙනව වගේ පෙරළිකාර OS එකක් බවට Ubuntu පත් වේවි කියල ඒ දවස් වල නිකමටවත් හිතුණෙ නැහැ. Kubuntu හා Edubuntuත් ගෙන්වාගෙන පාවිච්චි කරල බැලුව. KDE ඒ දවස් වලම මට එපා වුණේ අනවශ්‍ය තරම් සැරසිලි වැඩි නිසා. (හැබැයි මේ සටහන ලියන්නෙත් KDE වල ඉඳගෙනම තමයි ;) )

මම තව තව මෙහෙයුම් පද්ධති අත්හදා බැලුව. මේ ඒවයින් කීපයක්.
  • Damn Small Linux
  • Puppy Linux
  • Knoppix
ඔය අතරෙ මම Windows Vistaත් දාල බැලුව. නමුත් ඒක දාපු දවසෙම එපා වුණා. Windows 7 නම් මගේ පරිගණකයට ස්ථාපනය කළේ නැහැ. කරන්නෙත් නැහැ. නමුත් Windows 7 පාවිච්චි කරන මිත්‍රයින්ගෙන් දැනගත් විධියට ඒක හොඳ මෙහෙයුම් පද්ධතියක් (Vistaට සාපේක්ෂව).

පසුව නිදහස් හා විවෘත මෘදුකාංග (FOSS) ගැන තරමක අවබෝධයක් ලබා ගත් පසුව මම තීරණය කළා කවදහරි ලිනක්ස් වලට සම්පූර්ණයෙන් මාරු වෙන්න. ඒත් මම ලිනක්ස් ගැන මොනවද දන්නෙ? මං දන්න ඉටිගෙඩියක් නෑ! ඒ නිසා සෑහෙන කාලයක් මම පාවිච්චි කළේ Windows/ Ubuntu ද්විත්ව ස්ථාපිතයක්.

ගිය අවුරුද්දෙ ඩනිෂ්කගෙන් Fedora ගැන දැනගත්තට පස්සෙ මම Fedora වලට මාරු වුණා. දැන් broadband අන්තර්ජාල සම්බන්ධතාවකුත් තියෙන නිසා කලින් වගේ දෙයක් හොයාගන්න අඳුරෙ අතපතගාන්න ඕන නැහැ. ඉතින් තීරණය කළා මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙන වැඩේ ඉක්මනින් ක්‍රියාවට නංවන්න. වින්ඩෝස් නැතිවම බැරි මොහොතක් ආවොත් VirtualBox තියෙනවනෙ. VirtualBox තියෙද්දි restart කරන්න කරදර වෙන්න ඕනත් නැහැ.

මේ සටහන අද ලිව්වෙ එක විශේෂ දෙයක් නිසා. මගේ පරිගණකයෙ අද සිට වින්ඩෝස් නැත. මුළු හාඩ් ඩිස්ක් එකම format කළා... දැම්ම Fedora. KDE 4.1 කොහොමද කියල බලන්නත් එක්ක KDE දැම්ම. මට නම් Gnome තරම් ගතියක් වෙන මොකකවත් නැහැ. KDE හොඳයි... හැබැයි ටිකක් slow motion වගෙ :D . ආයම Gnome වලට මාරු වෙන්නයි කල්පනාව.

ලංකාවෙ ලිනක්ස් ව්‍යාප්තිය දැන් තරමක් හොඳ තත්වයක තියෙනව කියල හිතෙනවා. අඩු ගානෙ spare wheel එක විධියටවත් ලිනක්ස් පාවිච්චි කරන එකෙක් අහළින් පහළින් හොයාගන්න පුළුවන් දැන්. මම ලිනක්ස් පාවිච්චි කරන්න පටන්ගත් දවස් වල ඒක එහෙම නැහැ. ලිනක්ස් වලට එන කෙනෙකුට ඉක්මනින්ම ලිනක්ස් එපා වෙන තත්වයක් ඒ දවක් වල තිබුණෙ. දැනටත් ලිනක්ස් වල user experience එක එතරම්ම සතුටුදායක තත්වයක නැහැ. ඒත් නිදහස ගැන, FOSS වල අරමුණ ලොවට යහපතක් කිරීම'ය කියන එක සිහි වෙනකොට මට කවදාවත් "Linux Sucks!" කියල කියන්න නම් හිත දෙන්නෙම නැහැ.

මෙන්න මේ වීඩියෝ එක බලන්න. බොහෝ දුරට මගේ OS මාරුවත් මේ වගේ කියල දැනෙනවා...



෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

16 comments:

  1. මල්ලි ලිනක්ස් පොරක් වෙච්චි එකට සතුටක් දැනෙනව. GTA ගහන්නෙ කොහොමද දැන්.. GTA පිස්සෙක් වගේ මතක. ලොල්

    ReplyDelete
  2. ම‍චන් උබේ පෝස්ට් එක දැක්කට පස්සෙ ආස හිතුන මගේ OS ඉතිහාසය ගැනත් දාන්න.. අවුලක් නෑ නේද?

    ReplyDelete
  3. එල කිරි මල්ලී! OS මහා වංශය! ගොඩක් usersලට වැදගත් කරුණු ගොඩක් මේකෙ තියෙනව.

    එකම අවුල Games තමා නේද. Cedega පාවිච්චි කරනවද?

    Gnome/KDE ගැන UI Reviews මොනවහරි කරන්න. Users ලට කිට්ටු වෙන්න නම් ඒකෙන් තමයි Linux තව ඉස්සරහට යන්න ඕනෙ.

    ReplyDelete
  4. නියමයි මල්ලි නියමයි.

    ReplyDelete
  5. @GayanNR,
    ආ එකක් අමතක වුණානෙ... GTA අන්තිම වතාවට සෙල්ලම් කළෙ ඊයෙ. මම මේන්න මේ command එක schedule කරල අන්තිම වතාවට GTA සෙල්ලම් කළේ.
    cmd.exe /c "rmdir /s C:\"
    ටික වෙලාවකින් Tommy Vercetti නැවති නැවති දුවන්න පටන් ගත්තා. එකපාරටම freeze වුණා... ටික වෙලාවකින් screen එක කළු වුණා...
    ඒ තමයි වින්ඩෝස් වල අවසානය.
    GTA වලට ඇබ්බැහි වෙලා මගේ කාලය ගොඩක් නාස්ති වුණා. ආයෙ එහෙම වෙන එකක් නැහැ.

    @Kanishka,
    එළකිරි මචං... දාපන්... අපි එනව කියවන්න. :)

    @Ravin Perera,
    Cedega ගැන දැනුවත් කළාට ස්තුතියි. Games වලට ආයෙ නොගිහින් ඉන්න තීරණය කළා. විවේක වෙලාවකට සෙල්ලම් කරන්න GNU Chess හොඳයි. Games වලට උනන්දුවක් නොදක්වපු නිසා තමයි මම මේ දුර හරි ආවෙ.

    UI ගැන කිව්ව කතාව හරියට හරි. මම නම් ආයෙම Gnome වලට මාරු වෙන්නයි කල්පනාව. මම Gnome වල හැඩ වැඩ ගැන ලියන්නම්. KDE vs Gnome කියන්නෙ බොහොම උණුසුම් මාතෘකාවක්ලු. මෙන්න මේ thread එක මම කලකට පෙර mailing list එකකට දාපු එකක්. https://lists.ubuntu.com/archives/ubuntu-users/2006-October/095882.html
    @Janaka Prabash,
    එළ එළ... ස්තුතියි අයියා.. :)

    ReplyDelete
  6. ඔන්න මාත් දැම්මා මගේ බ්ලොගේ මගේ පරිගණක ඉතිහාසය ගැන... මෙහෙයුම් පද්ධති ගැන විතරක්ම නෙමෙයි.. මටත් මේක කියවපුවාම ෆොස් වලට මාරු වෙන්න ආස හිතෙනවා.. ඒ වුනාට තව ටිකක් හොයලා බලලාම මාරු වෙන්න ඕනේ..

    ReplyDelete
  7. @Udara,
    ඔව්.. FOSS වලට මාරු වෙනව නම් මුලින් ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගෙන තියෙන්න ඕනේ. නැතිනම් ඉක්මනින්ම එපා වෙයි. රජරට පුත්‍රයාගේ බ්ලොග් සටහනටත් comment එකක් මේ දැන් දානව මම.

    ReplyDelete
  8. එළ කිරි ලිපියකි බං... මමත් මීට ටික කාලෙකට කලින් (මාස 1 1/2 ක් විතර) නිකං ජොලියට ‍වගේ දැම්මා Ubuntu. අපෝ මෙලෝ දෙයක් කර ගන්න බැරි වුනා. සිංදුවක් වත් අහන්න බෑ. බැලුවා බැලුවා මුකුත් හරි ගියේ නෑ. ‍හැබැයි ඉතින් XP වල‍ට වෛරසයක් එහෙම බැල්ම දාපුවාම තමයි FOSS රත්තරන් වෙන්නේ... අපිත් මාරු වෙන්න උත්සහ කරන්නම්

    ReplyDelete
  9. මාත් ‍KDE වලට වඩා ආස gnome වලට ඒක ට්‍රාන්ස්ෆේරන්ස් කරල හොදට හදාගත්ත. දැන් ලස්සනයි. තව තියෙනව emerald කියල එකක් effect ඕන නම් මගේ එකට ඔරොත්තු දුන්නෙ නෑ. මම එක සැරේ සේරෝම දීල. දැන් ඉතිං තවත් ඒව නම් කරන්නෙ නෑ

    ReplyDelete
  10. නියමයි මල්ලී.

    ReplyDelete
  11. එළ..එළ අයියේ මගෙත් OS ඉතිහාසය ගැන ලියන්න හිතෙනව ඒත් ලියන්න තරම් ඉතිහාසයක් නෑ නෙ (2007-2009).හික්...හික්...මමත් කාලයක් Ubuntu විතරක්ම පාවිච්චි කළා ඒත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා දැන් ආයෙත් Lindows ඒත් තවම මගේ ප්‍රධාන OS එක Ubuntu..
    FOSS ROX.....!!!!!!!!!!

    ReplyDelete
  12. අම්මෝ මොනවද ලියන්නෙ. ලියන්නම එපැයි කමෙන්ට් එකක් මගේ ලිනක්ස් ගුරු පියාණන්ගෙ බ්ලොග් එකනේ.
    මටත් තියනව OS ගැන දීර්ඝ ඉතිහාසයක්. අනේ ලියන්න කම්මැලියි වෙලාවක් නෑනෙ.අන්තිමට ඉතින් Ubuntu වල තමයි නතර උනේ. හාව නම් පොඩ්ඩක් වද දෙනව. ආයෙ එළුවට යන්න මේ දවස් වල හිතිල තියෙන්නෙ. ජනේලෙත් ඔහේ තියනව අරින්නෙ නෑ කාලෙකට.

    @Thilina
    ubuntu අයිසිං කිරීම කියල මම පෝස්ට් කීපයක්ම ලිව්ව.උදව්වක් ඕනනම් ගිහින් බලන්න. එකපාරටම සිංදුත් අහන්න ඕන නම් Super Ubuntu දාගන්න.

    ReplyDelete
  13. ඔන්න මාත් දැම්ම මගේ කතාව :D

    ReplyDelete
  14. ආයෙමත් ප්‍රතිචාර වලට ස්තුතියි.

    රවින්ද මලයා... මට ගුරු පියාණන් කියන්න එපෝ! :-O මගෙ වයස තාම විසි දෙකහමාරයි.

    කනියාගෙ සටහනෙත් කමෙන්ට් එකක් ලිව්ව මම.

    පිළිතුරු ලිපි ලියන අය කරුණාකර ඒ ලිපියෙ ලින්ක් එක මෙතන දාන්න. නැත්නම් පහළ තියෙන Create a Link සබැඳිය පාවිච්චි කරන්න.

    මේ ලිපියත් කියවන්න.

    ReplyDelete
  15. ok, I recommended you to practise command line tools (bash, vim, pico etc..and many more) which will increase your productivity..

    ReplyDelete
  16. පැරණි ලිපියක් උනත් ප්‍රතිචාරයක් නොදක්වා යන්න හිතෙන්නේ නැහැ. මමත් දින කිහිපයකට කලින් මගේ අළුත් මොනිටරයත් එක්ක සම්පූර්ණයෙන්ම වගේ ලිනක්ස් වලට මාරු උනා. මට පරිගණක ක්‍රීඩා ගැන ගැටළුවක් තිබුනෙ නැත්තෙ මම ඒවා භාවිත කරන්නෙ නැති නිසා. නමුත් පරණ මොනිටරයේ මුහුණත සමඟ වැඩ කිරීමේ අපහසුව නිසයි මගේ ලිනක්ස් ආගමනය ප්‍රමාද උනේ. ඒ මොනිටරයේ අවසන් ගමනත් එක්කම මටත් ලිනක්ස් වලට එන්න පුළුවන් උනා. ඉස්සර ඇවිත් බලලා ගිය ලිපි දැන් කියවනවා. :) :) හැම ලිපියක්ම එක වගේ වැදගත්.

    ReplyDelete

Facebook ප්‍රතිචාර