Sunday, November 15, 2020

ඉංග්‍රීසි බස උගත් හැටි

"ඉක්මනට ඉංග්‍රීසි ඉගෙනගන්නෙ කොහොමද?"

මට ෆේස්බුක් එකවුන්ට් එකක් තිබුණු කාලේ විවිධ ගෘප් වල මම නිතර දැක්ක ප්‍රශ්නයක් ඕක. මට මේ ගැන සවිස්තරව ලියන්න අදහසක් තිබුණත්, ඒකට කාල වේලාව සොයාගැනීම ලංකාවෙ හිටපු කාලේ හරිම අසීරු වෙලා තිබුණේ. දැන් පොඩි වෙලාවක් ලැබුණු නිසා මේක ලියලා ඉවර කරනවා. 🙂

Photo of a blackboard with a few basic English words written on.
Image courtesy: pixabay.com
 

ඉතින් මේකට එක එක අය තම තමන් දන්න ක්‍රම කියලා උත්තර දීලා තිබුණා. හැම එකක්ම කියවලා බලලා තමන්ට හරියටම හරි යන ක්‍රමය හොයා ගැනීම ප්‍රශ්නයට විසඳුම් හොයන අයගේ වැඩක්. මා දන්නා දෙය කියා දීම මගේ යුතුකමක්. දැන් මම ෆේස්බුක් එකේ නැති නිසා මගේම තැනක ලියනවා. අවශ්‍ය අය දකිත්වා! 😎

කතාව පටන් ගන්න කලින් මගේ පසුබිම පොඩ්ඩක් කියන්නම්. මම ජීවිතේ මුල් අවුරුදු හතර මැදිරිගිරියේත්, පසුව ළමා කාලය අම්බලන්ගොඩට නුදුරු ගම් දෙකකත් ගත කළ කෙනෙක්. කොළඹින් දුර බැහැර මේ පැති වල ඒ කාලේ ඉංග්‍රීසි කියන්නෙ නිතර ඇහෙන දෙයක් නෙමේ. ඒ නිසා මගේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ගොඩක් අඩු මට්ටමක තමයි තිබුණෙ. ඉස්කෝලේ ඉංග්‍රීසි පීරියඩ් එක කට් නොකළ නිසාත්, අමතර පංති ගිය නිසාත් පාසැලේ අනිත් ළමයින්ට සාපේක්ෂව මගේ ඉංග්‍රීසි දැනුම පොඩ්ඩක් විතර ඉහළින් තිබුණ.

ඉංග්‍රීසි ඉගෙනගන්න අහම්බෙන් වගේ මම හරි ට්‍රැක් එකට වැටුණෙ වයස අවුරුදු 16 විතර වෙනකොට. එදිනෙදා ජීවිතේ ඉංග්‍රීසියෙන් කතා කරන්න පටන් ගන්නකොට වයස 20 විතර වෙලා. භාෂාව පැහැදිලිව පාවිච්චි කරන්න පුළුවන් මට්ටමකට එනකොට වයස 22ක් වගේ. අද වෙනකොට මට ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුළුවන් වගේම, රැකියාවෙදි 100% වැඩ කරන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන්.

 

දැන් අතීත කතාව කොටස් වලට කඩලා බලමු මගේ ක්‍රමය! ඒ එක්කම මම කියන්නම් අද කාලේ කරන්න පුළුවන් දේවල් ටිකකුත්.

ලේඩිබර්ඩ්

මේ කාලේ මම ටිකක් හිතට ධෛර්යය අරන් පොඩි බබාලාගෙ ලේඩිබර්ඩ් පොත් ගෙනත් කියවනවා. ඉංග්‍රීසි මව්බස වෙච්ච අය වයස අවුරුදු 4දී කියවන පොත් මම වයස අවුරුදු 16දි කියවනවා. මෙතනදි හිතන්න නරකයි ඇයි මං මේ ළාමක බොළඳ දේ කියවන්නෙ කියල. ලේඛකයා භාෂාව සරලව භාවිත කරල තියෙන නිසා පොඩි ළමයින්ගේ පොත් වලින් ගොඩක් මූලික දේ ඉගෙනගන්න පුළුවන්.

(අදටත්, මම ලන්දේසීන්ගෙ භාෂාව ඉගෙනගන්න නෙදර්ලන්තයේ "ළමා පුවත්" සහ "Sesamstraat" බලනවා. ඒ ගැන ලැජ්ජා වෙන්න දෙයක් නෑ.)

කොහොම වුණත්, 2000න් පස්සෙ ඉපදුණු අයට මම කාපු කට්ට කන්න වෙන්නෙ නෑ. ෆෝන් එකෙන්ම හොයාගන්න පුළුවනි කියවන්න ඕන තරම් චූටි ළමයින්ගේ සාහිත්‍යය.😇

 

ටිකක් විතර ලොකු පොත්

ලේඩිබර්ඩ් පොත් සෙට් එක කියවලා ටිකක් ඉංග්‍රීසි ඇඟට ආවට පස්සෙ මම කියවන්න ගත්ත තවත් පොත් දෙකක්. එකක් "ටොම් සෝයර්" ගෙ වීරක්‍රියා සරල බසින් ලියූ පොතක්. අනිත් එක, ඒ කාලෙ මගේ විනෝදාංශයක් වෙච්ච චෙස් ක්‍රීඩාවේ හරඹ ගැන ලියවුණු අධ්‍යාපනික පොතක්. මුල සිට අගටම කඩ්ඩ තමා. ඒ වුණාට එහෙම වතුරට නොබැස පීනන්නත් බෑ.

මෙතනදි මට කියන්න ඕනේ වැදගත් කාරණාව තමයි, තමන් කැමති, තම තමන්ගෙ විනෝදාංශ වලට අදාළ මාතෘකා ඔස්සේ ලියවුණු දේවල් හොයන් කියවන්න (මගේ චෙස් පොත වගේ). කවි, සාහිත්‍යය පැත්තට ආස නැත්තම් ව්‍යවහාරික විද්‍යාව පොත් වුණත් වරදක් නැහැ. 2000න් පස්සෙ ඉපදිච්ච සෙට් එක මොබයිල් ගේම්ස් වලට ආස ඇති කියල මම හිතනව. පොත් වලට ආස නැත්තම් Fandom වෙබ්සයිට් එකට ගිහින් හොයාගෙන කියවන්න ඒ ගේම්ස් වල ඉන්න එක එක චරිත ගැන, ඒවයෙ ස්ටෝරි එක. විකිපීඩියා එකට ගිහින් කියවන්න තමන් ආසාවෙන් බලපු මාවල්/ DC ෆිල්ම් එකක ප්ලොට් එක. හරිම පහසුවක් වෙයි භාෂාව හුරු වෙන්න.

 

වයස 16: ඔක්ස්ෆර්ඩ්

Photo of a page of a dictionary.
Image courtesy: pixabay.com
ඔය කොයි පොතත් ශබ්දකෝෂයක (dictionary) උදව් නැතුව කියවන්න බැහැ භාෂාව නොදන්න කෙනෙකුට. හැබැයි මෙතනදි ගොඩක් අය වරද්දගන්න තැනක් තමයි දිගින් දිගටම ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂයක්ම පාවිච්චි කරන එක. මුල්ම කාලේ ඒක වරදක් නැහැ. හැබැයි ටිකක් දියුණු වේගෙන එනකොට ඉංග්‍රීසි - ඉංග්‍රීසි ශබ්දකෝෂයකට මාරු වෙන්න. ඒක භාෂාව ඉක්මනින්ම අල්ලගන්න උදව් වෙයි. මට උදව් වුණේ Oxford Advanced Learner's Dictionary කියන විශාල ප්‍රමාණයේ පොත. මම අදටත් නිර්දේශ කරන්නේ ඒකමයි. රූපසටහන්, ව්‍යාකරණ කෙටි සටහන් ටිකක් සහ ලියුමක් ලියනවා වගේ එදිනෙදා වැඩ ටිකක් කර ගන්න හැටි පවා ඒ පොතේ තියෙනව.

ඒ කාලෙ මට සමහරු නක්කලේට කිව්ව කතාවක් තමයි, "ඕකෙ තියෙන තේරුම් ටික කියවගන්න තවත් ඩික්ෂනරි එකක් ගන්න වෙයි" කියන එක. එහෙම නෑ. වචනයක තේරුමක් කියවද්දි තවත් නොදන්න වචනයක් අහුවුණොත් පිටුව බුක්මාක් කරගෙන ඒ අළුත් වචනෙත් ඒ ඩික්ෂනරි එකෙන්ම බලන්න. එතන තව අළුත් වචන තියෙනවනම් ඒවත් ඒ ඩික්ෂනරි එකෙන්ම බලන්න. ඒ භාෂාවෙන්ම ඉගෙනගන්න. එහෙමයි භාවිතයෙන්ම භාෂාවක් ඉගෙනගන්නේ.

ඒ වගේම ඩික්ෂනරි එකේ තියෙනවා හැම වචනයක්ම උච්ඡාරණය කරන ක්‍රමය අමුතු අකුරු සෙට් එකකින් දක්වලා. මේකට කියන්නෙ IPA (International Phonetic Alphabet) කියලා. IPA ඉගෙනගන්න හැටිත් ඩික්ෂනරි එකේම විස්තර කරලා තියෙනවා. IPA ඉගෙනගත්තොත් තව ගොඩක් භාෂා වල අළුත් වචන උච්ඡාරණය ඉගෙනීම පහසු වේවි. ඉතා නිවැරදිව ඉංග්‍රීසි වචන උච්ඡාරණය ඉගෙනගන්න කැමති නම් සිංහල අකුරු වලින් නැතුව IPA අකුරු වලින්ම උච්ඡාරණය ඉගෙනගන්න.

මේ පොතත් එක්ක හරි අපූරු විදියකට මම ඉංග්‍රීසි ඉගෙනගත්තෙ. ඒ කාලෙ මට තිබුණා කුතුහලය කියල එකක්. ඉතිං මම පොතේ අහඹු පිටුවක් පෙරළන් වචනයක තේරුම කියවනවා. ඒක කියවද්දි අහුවෙන අළුත් වචනත් ඒකෙන්ම හොයන් කියවනවා. ඕකට මම අන්තිමේ ඇබ්බැහි වුණා කිව්වත් වරදක් නෑ. ඒ ඇබ්බැහි වීම නිසා මම ඉංග්‍රීසි වචන මහා ගොඩක් වගේම වාක්‍ය වල ඒවායේ යෙදීමත්, ව්‍යාකරණත් මහා ගොඩක් කෙටි කලකින් ඉගෙනගත්ත. ඒ වගේම, මේ සිරිත නිසා මම ඒ කාලෙ භාවිත කළ ඉංග්‍රීසි ගොඩක්ම ලිඛිත භාෂාවේ (formal) ස්වරූපය ගත්ත.

මම වචන කටපාඩම් කළේ නෑ. මගේ පුද්ගලික මතය: "irregular verbs" සහ "prepositions" හැර අනික් වචන ලැයිස්තු බලෙන්ම කටපාඩම් කිරීම තිත්ත කසාය බොනවා වගේ වැඩක්. මම කළේ "කුතුහලය"ට මාව පාලනය කරන්න ඉඩ දීල කියවීමේ සිරිත ඔස්සේ නිදහසේම භාෂාව ඉගෙනගත් එක. වචන එකපාරින් මතක හිටින්නෑ. නමුත් දවස් කීපයක් විවිධත්වයක් ඇතිව විවිධ තැන්වල ඒ වචන දකිනකොට නිකම්ම මතකයේ තැන්පත් වෙනව. බෝරිං වෙන්නෙත් නෑ.

මේ කාර්යයෙදි අළුත් වචන ඉගෙනගන්නකොට වචන වල නිරුක්තිය (etymology) ගැන අවධානය යොමු කරලා ඒවයේ තියෙන පැටර්න් වලට ටිකක් හුරු වෙන්න. පසු කාලීනව ඩික්ෂනරි එකක් අතේ නැති වෙලාවකත් අළුත් වචනයක් දැක්කාම තේරුම ගැන දළ අදහසක් ගන්න ඒ හුරුව උදව් වෙනව.

2000න් පස්සෙ උපන් සෙට් එක පොත් අතපත ගාන්න වැඩිය කැමති නැතුව ඇති. හැබැයි ඉතිං පොත තමයි වඩාත්ම දැනෙන විදිය (මගේ පුද්ගලික මතය). දැන් හැම දේම ඩිජිටල්කරණය වෙච්ච යුගය වුණත්, මම ඉගෙන ගන්න අළුත් භාෂාව වන ලන්දේසි භාෂාවෙන් ලියවුණු පොඩි බබාලගෙ කතන්දර පොතක් සහ ලන්දේසි - ලන්දේසි ශබ්දකෝෂයක් මේ වෙලාවෙ පවා මගේ මේසය උඩ තියෙනව.

කඩදාසි වලට පොත්පත් වලට අකමැති නම් ෆෝන් එක පාවිච්චි කරලා පහතින් පින්තූර විදියට දක්වලා තියෙන ක්‍රමයෙනුත් (වෙබ් සෙවුම්) අළුත් වචන ඉගෙනගන්න පුළුවනි. Wikitionary වෙබ් අඩවියත් පාවිච්චි කරන්න පුළුවනි. ඒකේ නිරුක්ති පහදා දීම් පැහැදිලිව තියෙනවා.

define නොදන්නා ඉංග්‍රීසි වචනය

Image courtesy: Google app


මුලින්ම ඉංග්‍රීසි කතා කළ හැටි

මේ කාලේ තමයි මම උසස් අධ්‍යාපන කටයුතු වලට ගමෙන් බැහැර වෙලා කොළඹට එන්නෙ. ඒත් ඉතිං ගොඩක් අය සිංහල කතා කරන නිසා ලෙක්චර්ස් තියෙන වෙලාවෙන් පිට ඉංග්‍රීසි භාවිතය අවමයි. වැඩි හරියක්ම කරන්නෙ අහන් ඉන්න එකනෙ. ඉංග්‍රීසි කතා කරන්න තියෙන බය ගතිය පහව ගියේ අපූරු සිදුවීමකින්.

අක්කරෙයිපත්තුව පැත්තේ ගමකින් ආපු මුස්ලිම් ජාතික ශිෂ්‍යයෙක් හිටියා. පොරට හරියට කතා කරන්න පුළුවන් දෙමළ විතරයි. මැත්ස් ලෙක්චර් එකෙන් මිස්වෙච්ච කොටසක් අහගන්න එයා මං ළඟට ආවා. අපිට කතා කරගන්න පොදු භාෂාවක් විදියට තිබුණේ ඉංග්‍රීසි විතරයි. නමුත් බලාගෙන ගියාම දෙන්නටම ගොත ගහන්නැතුව ඒක හරියට කතා කරගන්න බැහැ. දෙයක් කියන්න උත්සාහ කරන වේගෙන් වචන එන්නෙ නැහැ. කොහොම හරි වෙහෙසක් දරලා අපි කැඩිච්ච ඉංග්‍රීසියෙන් ගණන් කුප්පිය දාගත්තා. ඕක තමයි බය නැතුව ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්න මුල් වුණු සිද්ධිය. සමහර වෙලාවට තමන් ඉන්න බෝට්ටුවේම තව එකෙක් ඉන්නවා දැකීම හිතට ධෛර්යය ඇති කරවන සාධකයක්! 😁

ඉතින් මට මේ ඇසුරින් කියන්න ඕනේ දෙයක් තියෙනවා. අපේ සමාජයේ තියෙනවා එක නරක ගතියක්, අමාරුවෙන් ඉංග්‍රීසි කතා කරන එකාට හිනා වෙන. එහෙමත් නැත්තං "පොෂ් වෙන්න දඟලනවා" කියයි. අපි ඉංග්‍රීසි කතා කරන්න ටිකක් සබකෝල ගතියක් පෙන්නන්න ඒකත් හේතුවක්. මේක ටිකක් ලොකු උප මාතෘකාවක් නිසා පහතින් ලින්ක් එක දාලා තියෙන TEDx Talk එක දෙසැරයක් විතර හොඳට අහන්න නිදහස් වෙලාවක.

Learning a language? Speak it like you’re playing a video game | Marianna Pascal | TEDxPenangRoad - https://youtu.be/Ge7c7otG2mk

ඔය වීඩියෝ එකේ ලස්සන කතාවක් කියනවා. මේ ලෝකේ මව්බස ඉංග්‍රීසි වෙච්ච එක්කෙනෙකුට මව්බස නොවී ඉංග්‍රීසි කතා කරන අය පස්දෙනෙක් ගණනේ ඉන්නවා. ඉතිං, "100% නිවැරදි" නොවන ඉංග්‍රීසි කතා කරන්න ලැජ්ජා විය යුතුද කියන එක හිතලා බලන්න.

 

මම ඉගෙනගත් කාලේ වැඩිය ව්‍යාප්තව නොතිබුණු එකක් තමයි ටෝස්ට්මාස්ටර්ස්. ටෝස්ට්මාස්ටර්ස් කියන්නෙ ඉංග්‍රීසි පංතියක් නෙමේ. ඒකේ ඉංග්‍රීසි උගන්නන්නෙ නෑ. නමුත්, මම ඉහත කී ක්‍රම වලින් භාෂාව ඉගෙනගත්තට පස්සෙ කතා කරන්නත්, ඇහුම්කන් දෙන්නත් ඉගෙනගන්න ඒක සුපිරි අවස්ථාවක්. භාෂාවක් පොත පතින් ඉගෙනගත්තට පස්සෙ ප්‍රායෝගිකව පාවිච්චි කරල පුරුදු පුහුණු වෙන්න ඕනේ. ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් එකක් (වයස 18ට අඩු නම් ගැවල් ක්ලබ් එකක්) හොයාගෙන ඒකට යන්න. දැන් Covid-19 නිසා ගොඩක් ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් ඔන්ලයින්. කතා කරන්න. අනිත් අයටත් උදව් කරන්න. ලංකාවෙ දුර බැහැර පළාත්වල  ටෝස්ට්මාස්ටර්ස් ව්‍යාප්තියක් නොතිබුණු නිසා මට ඒ වයසෙදි මේ අවස්ථාව ලැබුණේ නෑ.

අද කාලේ සමාජ ජාල තියෙන නිසාත් අපට ඉංග්‍රීසි ඉගෙනගන්න තවත් හොඳ අවස්ථාවන් ලැබිලා තියෙනවා. ටික් ටොක් වලට හොල්ල හොල්ල ඉන්න වෙලාවේ ඉංග්‍රීසියෙන් දෙයක් ලියන්න කියන්න පුරුදු වෙන්න. මම මේ දවස් වල මගේ සෝෂල් මීඩියා පෝස්ට් සමහර ඒවා දාන්නෙ ලන්දේසීන්ගෙ භාෂාවෙන්. ඒවා දාන්නෙ මාව ෆලෝ කරන බහුතරයක් ලාංකික අයට වැඩ පෙන්නන්න නෙමේ. ඉගෙනීමට බලාපොරොත්තු වෙන භාෂාව තමන් කැමති, තමන්ගේ දෛනික ජීවිතයට සමීප මාතෘකා ඔස්සේ පාවිච්චි කළාම ඉක්මනින්ම ඉගෙනගන්න පුළුවන් වෙන නිසා.


විශ්වවිද්‍යාල අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු වලදි අපට ලැබෙනවා අපි ඉගෙනගත් දේවල් පැනල් එකක් ඉස්සරහා ඉදිරිපත් කරන්න (presentations). ඉතින් මේවා අපි කළේ ඉංග්‍රීසියෙන් නිසා භාෂාව පාවිච්චි කරලා කරලා නිකම්ම ඒක අපිට ඇඟටම කාවැදුණා.

මේවා කරද්දි අපි අම්බානෙක වැරැද්දුවා. ගොත ගැහුණා. වචන එළියට ආවෙ නෑ. ඒවා ඔක්කොම පසුකාලීනව හරිගියේ වරදින්න වරදින්න තව තවත් ඒවා කරන්න අපට සිද්ධ වෙච්ච නිසා. ඒ වගේම සරසවි ආචාර්යවරු ඒවා ගැන ඉවසුම් සහගතව කටයුතු කළ නිසා.

නමුත්, හැම කෙනාම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලබන නිසා මේ presentation අත්දැකීම ගන්න කාටත් පුළුවන් තැන ඉහතිනුත් කිව්ව ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් එකක්ම තමයි.


ව්‍යාකරණ වැදගත්!

Photo of a page from book, where "Grammar" is the headline.
Image courtesy: pixabay.com
ඔය ඔක්කොම කියලා මම මේ දිග ලියවිල්ලේ මඟහැරපු දේ තමයි ව්‍යාකරණ. අළුත් වචන කොච්චර ඉගෙනගත්තත් වචන එකතු කරලා ලස්සන වාක්‍ය හදන මැලියම තමයි ව්‍යාකරණ. මම ව්‍යාකරණ ගැන කලින් නොකිව්වේ ගොඩක් අයට පාසල් අධ්‍යාපනයෙන් ඒ ටික ලැබෙන නිසා. ඔය ඔක්කොම කරන අතරේ මම පාසැලෙනුත්, උපකාරක පන්ති වලිනුත් ඉංග්‍රීසි ඉගෙනගත්තා. මට ඉගැන්වූ ගුරුවරුන්ගේ උපකාරය ඉතාම ප්‍රයෝජනවත් වුණා. ඒ වැඩේ අතහැරියෙම නැහැ.

අද දවසේත්, මම අළුත් භාෂා ඉගෙනගනිද්දී ව්‍යාකරණ සටහන් ඉතාම පරිස්සමෙන් හෙමිහිට කියවනවා. ව්‍යාකරණ රීති තේරුම් ගත්තාම භාෂාව ඉගෙනගන්නවා කියන එක ඉබ්බා දියේ දැම්මා හා සමානයි.

ඉතින් අද කාලේ ගොඩක් අයගේ අතේ ෆෝන් එකකුත් තියෙන නිසා, ව්‍යාකරණ ගැටළු නිරාකරණය කරගන්න වෙබ් අඩවි ඕනතරම් සොයාගන්න පුළුවනි. ඉස්සර කාලේ ඉතිං පොත්ම විතරයි. 😉


ඉතින් මේ ඔක්කොම ඉවර වෙද්දි මට භාෂා දෙකෙන්ම "හිතන්න" පුළුවනි. හැබැයි ඒ තැනට එන්න මම ඉහතින් කිව්ව ලොකු උත්සාහය යෙදෙව්වා. අද කාලේ ගොඩක් අයට ස්මාට්ෆෝන් එකක් එක්ක වේගවත් ඉන්ටර්නෙට් පහසුකම් තියෙන බව පේනවා කැලේ ඩොටේ ඉඳගෙනත් සමහරු ලයිව් වීඩියෝ දානවනෙ සෝෂල් මීඩියා වලට. ඉතිං ඒ නිසා මගේ පුද්ගලික අදහස: මම වයස 20ත් පනිනකම් කට්ට කාලා ඉගෙනගත්ත ඉංග්‍රීසි අද කාලේ පහසුකම් එක්ක මං වගේ ගමේ ළමයෙකුට වයස 16 වෙන්න කලින් ඉගෙනගන්න පුළුවන්.

උත්සාහ කළොත් ඔබටත් ඉංග්‍රීසි ඉගෙනගන්න බැරි නැහැ! 🙏

මගේ දිග ලියමන කියෙව්වාට ඔබට ස්තුතියි෴

Thank you for reading my lengthy note!

6 comments:

  1. කාලෙකට පස්සේ හැමෝටම වැදගත් වෙන ලිපියක් ලියලා :-) . මටත් තියෙනවා මතකයක් ,පොඩි කාලේ අමතර ඉංග්‍රීසි පන්තියකට ගියහම එකේ සර් homework එකක් දෙනවා අනිත් දවසේ පාඩම් කරගෙන එන්න dictation words 10ක් . ඒත් මමයි , මගේ යාළුවෙකුයි පුරුදු වෙලා හිටියා කවදාවත්ම ඒ ඉංග්‍රීසි වචන කට පාඩම් කරගෙන නොයන්නත් , සර් කියන වචන උච්චාරණය අනුව (අපේ කනට ඇහෙන විදිහට) spellings ලියන්න . එතකොට අවසාන ප්‍රතිඵලය වුනේ අර කලින් දවසේ පාඩම් කරගෙන එන්න කියපු dictation words 10 ම අර යාළුවගෙයි මගෙයි හරියන එක. නමුත් තරමක් අමාරු වචන වලදී ඒ ක්‍රමය සාර්ථක වුනේ නැහැ . එකෙන් වුන හොදම සේත තමයි වචන කනට හුරුවුන එක :-) .

    ReplyDelete
    Replies
    1. ඔව්. වරදින රිස්ක් එක අරන් ඉගෙනගන්න ඒ ක්‍රමයත් හරි. හැබැයි entrepreneur වගේ බර වචනයක් සෙට් වෙලා වැරදුණාම සර්ගෙන් "ඇයි ඒ" කියලා අහලා හේතු සොයමින් ඉගෙනගත්තා නම් තවත් අපූරුයි.

      Delete
  2. හිතට වැදෙනව හොදින්ම. ඉතාමත් වටිනා ලිපියක්.

    ReplyDelete
  3. මම වැඩිපුරම ඉංග්‍රීසි ඉගෙනගත්තෙ TV Series සහ Films බලල. බලනකොට මතක ඇතුව සිංහල subtitles වෙනුවට ඉංග්‍රීසි subtitles පාවිච්චි කරන එකෙන් උච්ඡාරණය තේරුම්ගන්න පුලුවන්. ඒ වගේම පොත් සහ දෙබස් කියවනකොට වචනයෙන් වචනය තේරුම්ගන්න උත්සාහ නොගෙන, වාක්‍යයක සමස්තය තේරුම්ගන්න උත්සාහ කරන එකත් මං හිතන්නෙ වැදගත්.

    ReplyDelete
    Replies
    1. // වචනයෙන් වචනය තේරුම්ගන්න උත්සාහ නොගෙන, වාක්‍යයක සමස්තය තේරුම්ගන්න උත්සාහ කරන එකත් මං හිතන්නෙ වැදගත්

      එකඟයි! මම අර ඩික්ෂනරි එක අරන් වචන වල තේරුම් *ඒ භාෂාවෙන්ම* කියවන ක්‍රමයටත් ඔය අදහස ටැලි වෙනවා.

      Delete

Facebook ප්‍රතිචාර