---
මුලින්ම අතීත කතාව කියලා ඉවර කරන්නම්... මම අවුරුදු තුනක් පුරාවට පාවිච්චි කළේ NEC e1108 වර්ගයේ ජංගම දුරකථනයක්. ඒක ගත්තට පස්සෙ තමයි තේරුණේ කරපු මෝඩකම. ඔය දීල තියෙන ලින්ක් එකෙන් ගිහින් user reviews බලන්න මම කියන දේ විශ්වාස නැති නම්. මේ තියෙන්නේ මම ඒකෙ දැකපු ලොකුම අඩුපාඩු.
- වැඩිය ප්‍රචලිත නැති මාදිලියක් නිසා හදිසියකට charger එකක් හොයා ගන්න අමාරුයි
- Charger එක හතරැස් තුන්කූරු පේනු (square type three pin plug) වර්ගයේ එකක් වීම (හැම තැනම three pin නැහැනේ...)
- පුදුම හිතෙන තරමට මන්දගාමී (දුරකථනය ක්‍රියාත්මක කළාම initialize වෙන්න විනාඩි 2-3 විතර කාලයක් ගත වෙනවා)
- ගොනු හුවමාරු (file transfer) ප්‍රකාරයේදී ඉක්මනින් බැටරිය විසර්ජනය වෙනවා
- දුරකථනය තියෙන තැනින් හොල්ලන්නෙ නැතුව තිබුණත් බැටරිය දවස් තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම විසර්ජනය වෙනවා
- Synchronization කියා එකක් තිබුණාට එය වැඩ කරන්නෙ නැති වීම
- වීඩියෝ ගොනු මාදිලිය MJPEG වීම -- ශබ්දය නැත!
- T9 යකා නැටීම -- මේක කරලම බලන්න රඟ... :P
ඔන්න ඉතිං ඕක එපා වෙවී ඉඳලා මමත් ගත්තා Sony Ericsson K770i එකක්. ඒක නම් මගේ වැඩ වලට ප්‍රමාණවත්. වේගය අතිනුත් ඉතාම හොඳයි.
---
ඊළඟ ගැටළුව Sony Ericsson එකත් එක්ක දෙන සංයුක්ත තැටියෙ තියෙන මෘදුකාංග කට්ටලය ලිනක්ස් එක්ක වැඩ කරන්නෙ නැති වීම. ඉතින් ඔය වෙලාවට මට මතක් වුණේ MyPhoneExplorer කියන මෘදුකාංගය. ඒකත් වැඩ කරන්නෙ නෑනේ.... :( ඔන්න එතකොට තමයි අපේ නාගබුද්ධික ලිව්ව පරණ සටහනක් මතක් වුණේ. ඉතිං Wammu දාලා බැලුවා. නාගයාට ලබන ආත්මේවත් කිං කෝබරාවෙක් වෙන්න වාසනා බල මහිමය ලැබේවා! :D
ටිකක් වෙලා Wammu එක්ක ඔට්ටු වෙලා යංතං මගේ ජංගම දුරකථනය පරිගණකයත් එක්ක සම්බන්ධ කරගත්තා. MyPhoneExplorer වලින් කරන්න පුළුවන් ගොඩක් දේ මේකෙන් කරන්න පුළුව්න්. ජංගම දුරකථන මාදිලි බොහොමයකට මේ මෘදුකාංගය සහය දක්වනවා. (හැබැයි මම පරීක්ෂා කළේ Sony Ericsson K770i එක්ක විතරයි :D ) ජංගම දුරකථනයෙ ගොනු පද්ධතිය බලාගන්න බැරි එක තමා එකම අවුල.
දැන් පෙන්නන්න යන්නේ... Wammu පාවිච්චි කරන හැටි. මේ පිංතූර ගත්තේ Leonidas වලින්.
මුලින්ම ජංගම දුරකථනය පරිගණකයට සම්බන්ධ කර එහි නිෂ්පාදකයා දී ඇති උපදෙස් පරිදි සූදානම් කරගන්න. (Sony Ericsson දුරකථනයක් නම් Phone Mode සක්‍රිය කරන්න -- වෙනත් වර්ගවල දුරකථන ගැන මම දන්නෙ නැත)
Wammu සැකසුම් කරන්න කලින් මතක ඇතුව Wammu භාවිත කරන්න බලාපොරොත්තු වෙන පරිශීලක ගිණුම/ගිණුම් dialout කණ්ඩායමට (group) එකතු කරන්න. නැත්නම් අදාළ උපාංග (devices) පාවිච්චි කරන්න ලැබෙන්නෙ නෑ.
විධාන අතුරුමුහුණතින්:
su
usermod -a -G dialout {ඔබේ පරිශීලක නාමය}
එහෙම අකමැති නම් GUI භාවිතයෙන්:
දැන් Wammu විවෘත කරගන්න. Phone Wizard කවුළුව විවෘත වුණේ නැත්තම් Wammu --> Phone Wizard වෙත ගිහින් එය විවෘත කරගන්න. එතන ඉඳලා කරන වැඩ ටිකේ ඇත්තටම තිරපිටපත් වලින් කියන්න තරම් ලොකු දෙයක් නෑ. වින්ඩෝස් පාවිච්චි කරල පරිගණක හුරුව ලබාපු අපට මේවත් වැඩද නේද? හැබැයි හැම පියවරකම දීල තියෙන විස්තරේ හොඳට කියවන්න අතමක කරන්න එපා!! ;)
මේ ලැයිස්තුවේ තියෙන උපාංග (devices) පාවිච්චි කරන්න අවසර තියෙන්නේ dialout කණ්ඩායමේ අයට විතරයි. තමන් dialout සාමාජිකයෙක් වෙලා ඉඳිද්දිත් මෙතනින් එහාට යනකොට දෝෂ පණිවුඩයක් එනවනම් මෙතනින් වෙනත් ttyACM උපාංගයක් තෝරන්න.
ඔය ඉන්නෙ යස අගේට මගේ අළුත් 'කෑල්ල'! :P
දැන් Wammu වල Phone මෙනු එකට ගිහින් Connect කියන මෙනු අයිතමය ක්ලික් කරන්න. හපොයි මේව කියන්නත් දේවල්ද? :-O ඊළඟ තිරපිටපත බලන්න මේකෙ වැඩ කෝමද කියලා.... බැටරි ආරෝපණ තත්වය, සංඥා ප්‍රතිග්‍රහණ තත්වය වගේ විස්තරත් බලාගන්න පුළුවන්.
ඔන්න මගේ කෙටි පණිවුඩ කියවන්න පොඩි චාන්ස් එකක් :D
මේක මාර ආතල් භාණ්ඩේ... MyPhoneExplorer පාවිච්චි කරල කෙරෙන වැඩ වලින් බහුතරය කරගන්න මේකෙන් පුළුවන්. ඒ වුණාට ජංගම දුරකථනයෙ ගොනු පද්ධතිය කියවන්නෙ නෑ. Sony Ericsson ජංගම දුරකථන වල File Transfer Mode පාවිච්චි කළත් Memory Stick එකේ තියෙන ගොනු පමණයි බලාගන්න පුළුවන්. ඉතින් Wammu සර්ව සාර්ථක විසඳුමක් නෙවෙයි ජංගම දුරකථනයත් එක්ක නොමිලේ ලබා දෙන මෘදුකාංග කට්ටලය තරම්. ඒත් ඒක වින්ඩෝස් වලට විතරයි නෙ.... :(
---
දැන් මේක පාවිච්චි කරන්න වින්ඩෝස් ඕනා... මගේ බ්ලොග් එකට නිතර යන එන කස්ටිය දන්නවා ඇතිනේ මම පාවිච්චි කරන්නේ ලිනක්ස් විතරයි කියලා. ඒක එහෙම වුණත් මට වෙනත් විකල්පයක් හොයාගන්න බැරි විධියෙ අවශ්‍යතාවක් ඇති වුණොත් පාවිච්චියට ගන්න වින්ඩෝස් ස්ථාපනය කරලා තියෙන්නෙ VirtualBox ඇතුලේ... සාමාන්‍යයෙන් ලිනක්ස් host එකකදී VirtualBox වල USB වැඩ නොකරන බව ප්‍රසිද්ධ කාරණයක් නේ. මම පහුගිය කාලෙ ඔය ගැන උනන්දු නොවුණට දැන් මේ ජංගම දුරකථනයත් එක්ක ඔට්ටු වීම නිසා මගේ උනන්දුව වැඩි වුණා. මට නිකමට හිතුණා VirtualBox දුවවලා බලන්න root user විධියට.
gksu VirtualBox
අනේ යාන්තාං ඇති! එළටම වැඩ!! ඒත් නිතර මුරපද ටයිප් කර කර ඉන්න ගියාම කරදර නිසා මේකට හරි විසඳුමක් හොයාගන්න මම උත්සුක වුණා. ඕකත් දෙයක් ද අපේ ගුග්ල් දෙයියා ඉන්නකං... ;) මෙන්න මෙතනිං විසඳුමක් ලැබුණා. හැබැයි ඒ ලිපිය Ubuntu 7.10 ආශ්‍රිතව ලියපු එකක්. මම ඒක මගේ අත්දැකීම එකතු කර නැවත ලියනවා.
පොඩි සැත්කමක් -- /etc/init.d/mountdevsubfs.sh ගොනුව සංස්කරණය කරන්න කියලා තමයි සඳහන් වෙන්නෙ. ඊට කලින් අපි අදාළ ගොනුවේ උපස්ථ පිටපතක් හදමු... වැඩේ වැරදුණොත් ආපහු ගොඩ එන්න පුළුවන් වෙන්න... (ඇස් ඇරගෙන වැඩ කළොත් වරදින්නෙ නෑ)
su
cp /etc/init.d/mountdevsubfs.sh /root/mountdevsubfs.sh
දැන් බය නැතුව සංස්කරණය කරමු:
gedit /etc/init.d/mountdevsubfs.sh
මෙන්න මේ කේත පේළිය සොයා ගන්න. (Ctrl + F)
do_start () {
ඒ පේළියේ තියෙන සඟල වරහනට ගැළපෙන වැසීමේ සඟල වරහන '}' සොයා ගන්න. ඒ වැසීමේ සඟල වරහනට ඉහළින්, එහෙත් සඟල වරහන් දෙක අතර දැනට පවතින කේත පේළි වලට යටින්, පහත දැක්වෙන කේත පේළි ඇතුළත් කරන්න (Copy & Paste):
#VirtualBox USB hack (මේ පේළිය ලියන්නෙ කහනවට නෙවෙයි -- අපේම පහසුව පිණිසයි)
mkdir -p /dev/bus/usb/.usbfs
domount usbfs /dev/bus/usb/.usbfs -obusmode=0700,devmode=0600,listmode=0644
ln -s .usbfs/devices /dev/bus/usb/devices
mount –rbind /dev/bus/usb /proc/bus/usb
දැන් ගොනුව සුරකින්න. පරිගණකය ප්‍රතිපණගන්වා VirtualBox ක්‍රියාත්මක කර බලන්න. USB වැඩ නේද? :)
ඕකෙ පිහිටෙන් මම දුරකථනයෙ මෙමෙරියෙ තියෙන දේවල් ටික බලාගත්ත. ඒත් මකා දමන්න බැරි වෙන්න Sony Ericsson එකෙන්ම දාල එවන කරුම ෆයිල් දෙකතුනක් තියෙනව ඒව මෙහෙමවත් මකන්න බෑ නෙව! :(
දැං ඉතිං ජංගම දුරකථනය විතරක් නෙමෙයි USB වලින් වැඩ කරන නානාප්‍රකාර පරිගණක උපාංග virtual මැෂිමට අමුණන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පිස්සු විකාර වැඩ කරන්නත් පුළුවන්. ඔය බොරු මැසිමයි ඇත්ත මැසිමයි අතර පරිගණක ජාලයක් වගේ එකක් තියෙනවනේ... කොහොමද gateway එක බොරු මැසිම වුණොත්? නිකං ඉන්න බැරිකමට මගේ Huawei e220 මොඩම් එකෙන් කරල බැලුවා... අවුලක් නැතුව වැඩ! :)
---
අද සටහන දිග වැඩියි.... ආවරණ කලාපයත් ලොකුද මන්දා... මටත් මහන්සියි ලියලා.... වැඩක් වේවිද දන්නෙත් නෑ.......................... :-O
21 වැනිදා අපේ ජයග්‍රාහී හතරවෙනි සෙමෙස්ටරයෙ මහා ඉල්ලංකෑමේ කැම්පේන් එක පටන් ගන්නවා..... මං යනවා දැන්ම දාගන්න ගිරවෙක් දාගන්න..... ආයුබෝ!!!!!!!
බාගැනීම්:
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴