Saturday, June 20, 2009

ආයුබෝවන් Leonidas! සහ තවත් කතා෴

ඕං මමත් කැම්පස් එකෙන් බාගනිපු Fedora 11 image එක අළුත් DVD තැටියකට පිටපත් කරලා හොඳ නැකතක් හෙම බලලා ලැප්ටොප් එකේ (hd0,5) කියන තැනට ගානට මිම්මට පරිස්සමෙන් ගෙනත් දාගත්තා. වැඩේට උදව් කරපු පිංතූරමල්ලත් අමතක කරන්න හොඳ නෑ. තව ReloadEvery කියන ඇඩෝනයත්. පිංතූරමල්ලෙ දැඩි ප්‍රතිපත්ති ලිහිල් කරල දුන්නෙ ReloadEvery තමා :D .

ඉතිං Leonidas කියන නමේ තේරුමත් කියන්න එපායැ... Leonidas කියන නමේ තේරුම "සිංහයාගේ පුත්‍රයා" හෝ "සිංහයකු වැනි" කියන එක බවයි විකිපීඩියාවෙ ලියැවිලා තියෙන්නෙ. ඔය නම ඇහුවම මතක් වෙන චිත්‍රපටයක් තියෙනවා. නම 300.

Fedora Upgrade කරන්නයි මම මුලින් උත්සාහ කළේ. ඒක හරි ගියේ නැත්තෙ ඒ partition එකේ ඉඩ මදි වෙච්ච නිසා. මගේ /home එක තියෙන්නෙ වෙනම partition එකක. මගේ ළඟ තියෙන චිත්‍රපටි කන්දරාව දාගන්නත් එක්ක ලොකු ඉඩක් ඒකට දීලා OS එක දාන partition එකට පොඩි ඉඩක් දීමෙ විපාක තමයි ඉතිං මේ :( . ඉතිං වැඩේ පටන් ගත්තෙ නැතෑ මුල ඉඳලම දාන්න! Fedora දාලා පොඩි පොඩි අවුල් කීපයකුත් ඇති වුණා. ඒවා Fedora වල වැරදි නෙමෙයි, මගේ පරිගණකය Fedora Ubuntu dual boot කරන්න ගිහින් වුණ අවුලක් ඒක. සුපුරුදු පරිදි ක්‍රම සහ විධි පාවිච්චි කරලා ඒවත් විසඳගත්තා.

ඉතිං මරු මරු වැඩ තියෙනවා.. තව Windows 7 ගැන පොඩි කතාවකුත් තියෙනවා. මේක දිගටම කියවන්න... මගදි අහු වෙයි. ;) දැං සිද්ධ වෙච්ච දේ ගැන කතාව කියවමු.

ඔන්න ඉතිං Fedora DVD එක දාලා පටං ගත්තා වැඩේ. Fedora 10 නිකුතුවේ ඇනකොන්ඩාට සිංහල බෑ. ඒ කිව්වෙ Fedora ස්ථාපනය කරද්දි ස්ථාපන ක්‍රමලේඛයෙ අතුරුමුහුණතේ සිංහල භාෂාව තොරාගන්න පුළුවන් වුණත් සිංහල අකුරු හරියට පෙන්වන්නෙ නැහැ. නමුත් Fedora 11 සංස්කරණයේ මේ අවුල හදලා තියෙනවා. දැං ඇනකොන්ඩා සිංහලෙන්. ඒකත් අපූරුයි. තියෙන සමහර සිංහල වචන නම් ටිකක් නුහුරුයි. ඒත් කල් ගතවෙද්දි ඒ තත්වය සමනය වෙයි.

මගේ /dev/sda1 partition එකේ තියෙන්නෙ Ubuntu. /dev/sda5 කියන්නෙ /home. /dev/sda6 තමා Fedora. ඉතිං මම /dev/sda6 format කරලා සාමාන්‍ය විධියට Fedora ස්ථාපනය කළා. හැබැයි බූට් මෙනුව මානකරණය කරන පියවරේදි Ubuntu තියෙන බවක් ඇනකොන්ඩාට පෙනිල නෑ. කමක් නෑ, ඕන එකක් වෙද්දෙන් කියල ස්ථාපනය කළා.

---

ඔන්න දැං අතුරු කතාව..... අපේ මලයා දැනට දවස් කීපයකට කලින් ගෙදර ඩෙස්ක්ටොප් මැෂිමට Windows 7 දාගෙන. ඒ වුණාට Windows 7 සංස්කරණයෙ drivers ස්ථාපනය කරන් බැරිලු. ඉතිං Fedora වල 1500කට වඩා ටිකක් වැඩි ගණනකින් යුත් පැකේජ කන්දරාවෙන් එකින් එක මගේ ලැප්ටොප් එකේ ස්ථාපනය වෙද්දි මම ගිහින් ඒක කරල දෙන්න විධියක් කල්පනා කළා. ඇත්ත තමා... motherboard එකත් එක්ක එන CD එකේ තියෙන මෙලෝ මගුලක් වැඩ කරන්නෙ නෑ.

ඉතිං මෙන්න සරල විසඳුම... කොටන්න Start,... right click කරන්න Computer,... යන්න Manage. දැන් Device Manager එකට ගිහින් අදාළ hardware එක තෝරලා driver එක යවත්කල් (update) කරන්න. Drivers ගන්න ප්‍රභවය විධියට CD-ROM එක ලබා දුන්නාම වැඩේ ගොඩ. කෝමද ටිකිරි මොළේ? :)

ඉතිං ඕක කරන හැටිත් මලයට කියල දීලා ඒ මැෂිමෙන්ම සිංදුවකුත් අහගෙන ඉන්න වෙලාවේ අදහසක් ආවා අළුතෙන් බ්ලොග් සටහනක් ලියන්න. ඒකට ඕන වෙයි කියලා හිතෙන තිරපිටපතක් අරගෙන Microsoft Paint මෘදුකාංගය පාවිච්චි කරලා save කරද්දි තමා මරු සීන් එකක් දැක්කෙ. Save කරන්න තිබුණ ඩයලොග් එකේ ගොනු වර්ගය (file type) ලෙස පෙරනිමියෙන් තිබුණෙ PNG. ඒ කියන්නෙ දැන් Microsoft එකත් FOSS වලට ටිකක් බැහැලා ඉන්නෙ. :D මේ බලන්න screenshot එක:



දැං වින්ඩෝස් කතා ඇති... එමුකො මාතෘකාවට...

---

ඔන්න Fedora ස්ථාපනය කරලා ඇනකොන්ඩා මගේ ලැප්ටොප් එක reboot කළා. කලින් හිතපු එක හරි... බූට් මෙනු එකක් නෑ. ගෙඩිය පිටින් Fedora බූට් වෙනවා. ඉතින් මම Fedora බූට් වෙනකම් ඉඳලා /boot/grub/menu.lst බැලුවා. හරිනේ... මේකෙ තියෙන්නෙ Fedora වලට අවශ්‍ය යොමුව විතරයි. ඉතිං කෝමද මෙනු එකක් වෙන්නේ? ;)

මම මෙහෙමයි කළේ... Ubuntu තියෙන partition එක (/dev/sda1) mount කළා. ඒකෙ boot/grub/menu.lst වලින් Ubuntu වලට අදාළ යොමු ටික පිටපත් කරගෙන, Fedora ස්ථාපනය කළ partition එකේ එම ගොනුවට ඇතුළත් කළා. දැං ඇත්තටම වැඩේ සම්පූර්ණද?

තව පොඩි වැඩක් තියෙනවා. දැන් GRUB එක තියෙන්නේ Ubuntu තියෙන partition එකේ නෙමෙයි. ඒ නිසා Ubuntu වල කර්නල් එක /boot/vmlinuz-2.6.28-12-generic කියලා එකපාරටම දුන්නාම ඒක වැඩ කරන්නෙ නෑ. ඒකට පොඩි උප්පරවැට්ටියක් දාන්න ඕනේ root (/) partition එක හඳුන්වා දීලා. root partition එක විධියට දෙන්න ඕනේ Ubuntu තියෙන partition එකම තමා. මේ උදාහරණ බැලුවාම පැහැදිලි වෙයි.

පෙර:
title    Ubuntu 9.04, kernel 2.6.28-12-generic
uuid    3a70c937-6728-47ff-a488-19e1d8942c85
kernel    /boot/vmlinuz-2.6.28-12-generic root=UUID=3a70c937-6728-47ff-a488-19e1d8942c85 ro quiet splash
initrd    /boot/initrd.img-2.6.28-12-generic
quiet

පසු:
title    Ubuntu 9.04, kernel 2.6.28-12-generic
root    (hd0,0)
uuid    3a70c937-6728-47ff-a488-19e1d8942c85
kernel    /boot/vmlinuz-2.6.28-12-generic root=UUID=3a70c937-6728-47ff-a488-19e1d8942c85 ro quiet splash
initrd    /boot/initrd.img-2.6.28-12-generic
quiet

Fedora එක්ක KDE දැම්මා. බබා වගේ වැඩ. KDE පරණ සංස්කරණයෙ වගේ හිර වීම් මේකෙ නැහැ. බූට් වීමත් ඉක්මන්. හැබැයි අවුලකට තියෙන්නෙ මගේ ලැප්ටොප් එකේ touchpad එක හරියට අඳුනගන්නෙ නැති එක තමා. :(

තව ඉතිං... Firefox 3.5 beta තියෙනවා... ලස්සන ඩෙස්ක්ටොප් රංග සැරසිලි ටිකකුත් තියෙනවා (මේවා පරණ ඒවා + අළුත් ඒවා; Fedora දාලම බලන්ටකෝ...).

කොහොම වුණත් මේ වතාවේ Fedora ට හොඳ දසාවක් ලබල වගේ :P . තිරපිටපත් ටිකක් බලන්න ඕන නම් මගේ අමුතු තාලේ photoblog එක පැත්තෙ ඇවිත් යන්න එන්න෴

---

මේ සටහනේ තියෙන දේවල් වෙලා දැන් සතියකටත් වැඩියි. වැඩ වැඩි වුණ නිසා ලියන්න කාලයක් ලැබුණෙ නැහැ.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Saturday, June 13, 2009

ලිනක්ස් නවකයිනි, මෙන්න කියවන්න - දැනගන්න!

මේ සටහන ලියැවෙන්නෙ වින්ඩෝස් පාවිච්චි කර තිබෙන/ පාවිච්චි කරන ඒත් ලිනක්ස් සඳහා නවකයින් වෙනුවෙන්. අපි දන්න දෙයක්නේ වින්ඩෝස් වලදි කරන හැම දෙයක්ම කරන්න තියෙන්නෙ චිත්‍රක මුහුණතක (GUI - Graphical User Interface) බව. ඇත්තෙන්ම වින්ඩෝස් පාරිසරිකයෙදි පරිශීලක හා පරිගණකය අතර ප්‍රධාන අතුරුමුහුණත තමයි GUI එක. නමුත් ලිනක්ස් වලදි මේ තත්වය වෙනස්... ලිනක්ස් වලදි මූලිකයා විධාන පෙළ අතුරුමුහුණත (Command Line Interface).

මීට කලකට පෙර නම් මේ විධාන පෙළ අතුරුමුහුණත පාවිච්චිය දැන සිටීම ලිනක්ස් පාවිච්චියෙදි අත්‍යාවශ්‍ය සාධකයක්ව තිබුණා. මගේ විශ්වාසයේ හැටියට දැන් කාලේ නම් සාමාන්‍ය පරිශීලකයෙකුට මෙය දැන සිටීම අනිවාර්ය නැහැ. ඒත් ලිනක්ස් පාවිච්චියෙදි හොඳ user experience එකක් ලබා ගන්නට නම් මේ විධාන පෙළ අතුරුමුහුණත ගැන දැන සිටීම වැදගත් වෙනවා. විධාන අතුරුමුහුණත පුරුදු වුණාට පසු ඔබට දැනේවි එය චිත්‍රක අතුරුමුහුණතකට වඩා වේගවත්ව පාවිච්චි කරන්න පුළුවන් බව.

ලිනක්ස් වල විධාන පෙළ අතුරුමුහුණත (Terminal/අග්‍රය) ගැන, වින්ඩෝස් වල තියෙන Command Prompt එකේ මට්ටමින් හිතන්න එපා. වින්ඩෝස් වල Command Prompt එක මට නම් බැලු බැල්මට පෙනෙන්නෙ පරණ ලොරි කබලක් වගේ. නමුත් ලිනක්ස් Terminal එකට අත හුරු වුණාට පසුව දැනේවි එහි තියෙන පහසු බව. Tab auto complete, suggestions වගේ පහසුකම් ලිනක්ස් terminal එකේ ඇතුළත් කරල තියෙන්නෙ අපේ වෙලාව ඉතිරි කරන්නයි.

ලිනක්ස් ෆෝරම කීපයක් පැත්තෙ සැරිසරද්දි දැක්ක දේ තමයි නවකයො terminal එකට බයයි. ඒවයෙ ප්‍රශ්න වලට පිළිතුරු දෙන අයත් මුලින්ම කියන්නෙ "terminal එකට බය වෙන්න එපා :) " කියන එක. මටත් මගේ බ්ලොග් ලිපි කියවන්නන්ට දෙන්න තියෙන පණිවුඩය ඒකම තමයි. බිය නොවනු -- දැන් මේ ලිපිය කියවනු -- පසුව අත්හදා බලනු! ;)


මුලින්ම terminal prompt එකක තියෙන දේවල් අඳුනගනිමු.

මෙන්න පොඩි උදාහරණයක්:
shaakunthala@shaakunthala-laptop:~/Desktop$

shaakunthala : පරිශිලක නම
shaakunthala-laptop : පරිගණකයට ලබා දුන් නම
~/Desktop : දැනට අපි වැඩ කරන ඩිරෙක්ටරිය (ෆෝල්ඩරය), ~ සළකුණෙන් නිරූපණය කරන්නේ පරිශීලකගේ home ඩිරෙක්ටරියයි.
$ : පරිශීලකගේ බලතල (user previleges) -- මේ ගැන සටහනේ අග හරියේ විස්තර කරල තියෙනවා බය වෙන්න එපා :)


මේ terminal එක පාවිච්චිය හුරු වෙන්න පොඩි ඉඟි ටිකක්:
  • නොදන්න command එකක් ගැන දැනගන්න අවශ්‍ය නම් man විධානය යතුරුලියනය කරලා හිස්තැනක් තියලා අවශ්‍ය command එක යතුරුලියනය කර Enter කරන්න. man එකෙන් ඉවත් වෙන්න q යතුරුලියනය කරන්න. man කිව්වෙ මිනිහා නෙමෙයි manual කියන එක. ;)
උදා:
cp විධානය ගැන දැනගන්න නම්,
man cp

දැන් තවත් මරු වැඩක් කරල බලමු. ඔය man cp කියන එක ගූග්ල්ගෙන් ඇහුවොත්? Google Search එකේ man cp කියල යතුරුලියනය කරල I'm Feeling Lucky ක්ලික් කරල බලන්න.
ලක් එක පට්ට්ට්...ට ම සිරා නේද? :-O
---

  • බොහොමයක් command එක්ක උපකාරක සටහනක් සපයා තිබෙනවා. මෙය කියැවීම සඳහා අදාළ command එක යතුරුලියනය කර හිස්තැනක් තබා --help යතුරුලියනය කර Enter කරන්න.
උදා:
cp --help
---

  • ගොනු/ෆෝල්ඩර වල නම් දිග වැඩි වුණාම ඒවා යතුරුලියනය කරන්න කම්මැලියි වගේ නේද? මෙන්න විසඳුම -- නමේ කොටසක් යතුරුලියනය කරලා Tab යතුර තද කරන්න. ඉතිරිය ඉබේම සම්පූර්ණ වෙයි (autocomplete). එහෙම වෙන්නෙ නැත්තම් තව පාරක් Tab තද කරන්න. දැන් අදාළ වෙන්න පුළුවන් නම් (suggestions) කීපයක්ම පෙන්වයි. මේක පුරුදු වෙන්නත් එක්ක පහත දැක්වෙන උදාහරණය කරල බලන්න.
මුලින්ම අපි මේක අත්හදා බලන්න folder කීපයක් හදා ගන්න පහත විධාන දෙන්න.

mkdir shaakunthalasblog (අපේ අත්හදා බැලීම අළුත් folder එකක කරමු ;) )
cd shaakunthalasblog
mkdir my-first-documents my-first-code sourcecode


දැන් my-first-documents, my-first-code හා sourcecode ලෙස folder තුනක් නිර්මාණය වෙලා ඇති.
දැන් autocomplete අත්හදා බලමු. පහත දැක්වෙන පෙළ යතුරුලියනය කරන්න.

cd sourc

දැන් Tab යතුර තද කරන්න. මොකද වෙන්නෙ?

හරි. දැන් ඒ පෙළ මකලා මෙන්න මේ පෙළ යතුරුලියනය කරන්න.

cd my

දැන් Tab යතුර තද කරන්න. මොනවත් වෙන්නෙ නෑ නේද? තවත් වරක් Tab යතුර තද කරන්න. දැන් මොකද වෙන්නෙ? මෙන්න මේ වගේ එකක් පෙන්නයි.

my-first-documents        my-first-code


ලේසියි නේද? :)
---

  • වර්ණ භාවිතාව ගැනත් බලමු ද? මෙන්න මේ විධානය දීලා බලන්න:
ls
මොනවද පෙන්නන්නෙ? Folder නම් එක පාටකිනුත්, සාමාන්‍ය ගොනු නම් තව පාටකිනුත්, ක්‍රමලේඛ තවත් පාටකිනුත් පෙන්නනවා නේද? වින්ඩෝස් command prompt එකට වඩා terminal එක හොඳ නැද්ද? ;)
---


සාමාන්‍ය පරිශීලක සහ සුපිරි පරිශීලක (normal user and superuser):
වින්ඩෝස් වල දැකල ඇතිනෙ වර්ග කීපයක user accounts තියෙනවා. Administrator, Limited Account, Guest සහ තවත් සැඟවුණු ඒවා තියෙනවා. මේ කතන්දරෙත් එම ම තමා. ජාති කීපයක එවුන්ට එකම මැෂිමෙ වැඩ කරන්න පුළුවන්. :P

ඉතිං... වින්ඩෝස් වල පෙරනිමියෙන් එන බොසා Administrator. ලිනක්ස් වලදි ඒකා root.

මෙහෙම බාධක දාල තියෙන්නෙ පරිගණක‍යෙ ආරක්ෂාවට. මෘදුකාංග ස්ථාපනය, GRUB මෙනුව සංස්කරණය වගේ 'ලොකු' වැඩ වලට super user mode අත්‍යාවශ්‍යයි.

Terminal එකේදි සාමාන්‍ය පරිශීලක හා සුපිරි පරිශීලක වෙන් තර හඳුනා ගන්නේ prompt එකේ ඇති # හෝ $ සලකුණෙන්. සමහර ලිනක්ස් උපකාරක ලිපි වල සඳහන් විධානවල මුල #/$ සලකුණු දකින්න පුළුවන්. එහි තේරුම අදාළ විධානය එම සලකුණෙන් දැක්වෙන ආකාරයේ පරිශීලක ගිණුමක් යටතේ ක්‍රියා කළ යුතු බවයි.

උදා:
සුපිරි පරිශීලක:
root@shaakunthala-laptop:~#
සාමාන්‍ය පරිශීලක:
shaakunthala@shaakunthala-laptop:~$

තමුන්ගෙ පරිගණකයෙ root ලෙස පිවිසෙන්න කිසි තහනමක් නෑ. ඒකට මෙන්න මේ ක්‍රම දෙකෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්:

  • Switch User - su
su

මෙය පාවිච්චි කරන්න root පරිශීලකගේ මුරපදය ලබා දිය යුතුයි. ඇත්තෙන්ම su තියෙන්නෙ වෙනත් පරිශීලකයෙකු ලෙස terminal එකෙන් පිවිසෙන්නයි. එයට පරිශීලක නමක් ලබා නොදුන්නොත් අපට අවශ්‍ය පරිශීලක root කියා එය මගින් අනුමාන කෙරනවා. exit විධානය ලබාදී superuser mode එකෙන් ඉවත් වෙන්න පුළුවන්.
---
  • sudo
sudo [root ලෙස ක්‍රියාත්මක කළ යුතු විධානය]

උදා:
sudo vi /boot/grub/menu.lst

පෙරනිමියෙන් එන සැකසුම් යටතේ මෙය පාවිච්චි කරන්න ඔබේ මුරපදය (root නොවෙයි!!!) ලබා දිය යුතුයි. ඔබ අවසරලත් (මේ අවසර වැඩේ වෙන හැටි මම මෙතන පැහැදිලි කරන්නෙ නැහැ) පරිශීලකයෙක් නම් root ලෙස පිවිසෙන්න පුළුවන්. ලිනක්ස් ස්ථාපනය කළේ තමන් විසින් නම් බය වෙන්න එපා sudo වැඩ. :)

පහත දැක්වෙන විධානය su ආකාරයටම ක්‍රියා කරනවා (මුරපදය ලබා දීම හැර):
sudo bash

---


දැනගත යුතු ලිනක්ස් විධාන:

ලිනක්ස් වල තියෙන හැම විධානයක්ම මතක තියාගන්න ඕන කියනවනම් ඒක විහිළුවක්. ඒත් අඩු තරමින් පහත දැක්වෙන විධාන ලැයිස්තුව ගැන යන්තමින්වත් දැන ගත යුතුයි කියලා මම හිතනවා. ඒකෙ තේරුම කටපාඩම් කරන්න කියන එක නෙමෙයි (කටපාඩම් කරන්න මේක විභාගයක් නෙවෙයිනේ :D ). අත හුරු කරගන්න. ඕනම විධානයක් ගැන වැඩිදුර දැනගන්න ඕනෙ නම් මේ ලිපියේ මුලදි කිව්ව ක්‍රම (man/help) අනුගමනය කරන්න. Google වුණත් අපට හරීම හිතවත්නේ... :P . ඇත්තෙන්ම cp වැනි මා නිතර භාවිතා කරන විධාන වලත් සම්පූර්ණ විස්තරය මට මතක නෑ. මම කරන්නෙ අවශ්‍ය වෙලාවට cp --help යොදලා විස්තරය එවෙලෙට කියවන එකයි. මෙන්න ලැයිස්තුව:

  • cd
වැඩ කරන ඩිරෙක්ටරිය (ෆෝල්ඩරය) මාරු කිරීමට

  • mkdir
ඩිරෙක්ටරි නිර්මාණය

  • rmdir
ඩිරෙක්ටරි ඉවත් කිරීම

  • rm
ගොනු ඉවත් කිරීම

  • cp
ගොනු පිටපත් කිරීම

  • mv
ගොනු තැන්මාරු කිරීම (move)

  • ls
ගොනු, ඩිරෙක්ටරි ලැයිස්තුගත කිරීම

  • chown
ගොනු, ඩිරෙක්ටරි වල අයිතිකරු (owner) වෙනස් කිරීම

  • chmod
‍ගොනු, ඩිරෙක්ටරි සඳහා අවසර (permissions) සැකසීම -- මෙය ගොඩක් නවකයින් පටලවා ගන්නා නිසා (මමත් නවකයෙක්ව හිටි කාලේ එහෙමයි :P ) මේ ගැන වෙනම ලිපියක් පසුව ලියන්නම්.

  • vi
පාඨ ගොනු සංස්කරණය -- මේ වෙනුවට vim ද භාවිත කළ හැකියි. මම හිතන්නේ vi ට වඩා vim හොඳයි.

  • su
ලිනක්ස් 'මැජික් අරිෂ්ඨය'

  • mount
දත්ත ගබඩා මාධ්‍ය (data storage media) භාවිත තත්වයට පත් කිරීමට

  • umount
දත්ත ගබඩා මාධ්‍ය (data storage media) අභාවිත තත්වයට පත් කිරීමට/ Safe Remove

  • apt-get හෝ yum
මෘදුකාංග ස්ථාපනය

  • make
මූල කේත (source code) ලෙස බෙදාහැරෙන මෘදුකාංග ස්ථාපනය කිරීමට පෙරාතුව සම්පාදනය (compile) කර ගැනීමට




ඉතින්... අද සටහනේ හිතුවට වඩා ගොඩක් දේ ලියැවුණා. ගොඩක් ලිව්වා -- ගොඩක් මහන්සියි :-/ . නමුත් කතා කළයුතු මාතෘකා කීප‍යක්ම ඇදල ගත්තා. තව ලියන්න අවශ්‍ය දෙයක් තියෙනවනම්/ ගැටළු තියෙනවනම් comment එකක් දාන්න... මම උත්තර දෙනවා.

මේක වෙනත් කෙනෙක් ලිව්ව සටහනක කොපියක්වත් අනුවාදයක්වත් නෙවෙයි. නමුත් සමහර තොරතුරු විකිපීඩියා දේවතාවුන්නාන්සේ යැදීමෙන් ලබාගත්ත ඒවා. දේවාලෙ කපුවා වලි‍ගෙ ගිනිගත් නරියෙක්... පඬුරුත් එපාලු. මරු නේද? :D එතකොට යාතිකාව?

මෙන්න යාතිකාව:
GET /wiki/Linux HTTP/1.1
...
..
.


හිතාදර ගීක්වරුනි, දේවතාවා මාර concept එක නේද? :D

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Monday, June 8, 2009

අද ඇති වූ සුළිකුණාටුව (tornado)

මේ සටහන අද (2009 ජුනි 8) උදේ ලියන්න හිතාගෙන හිටියත් කාර්යබහුලත්වය :P නිසා දැන් තමා ලියැවෙන්නෙ.

හැම සඳුදාවකම වගේ මම අදත් උදේ පාන්දරම ගෙදර ඉඳලා කොළඹ ආවේ දුම්රියෙන්. සමුද්‍රදේවී නෙමෙයි ඊට කලින් තියෙන ගාල්ලෙන් එක බලවේග කට්ටල දුම්රිය. අද විශේෂත්වය තමයි කලාතුරකින් සමීපව දකින්න ලැබෙන, දර්ශනයක් දකින්න ලැබීම. ඒ සුළු සුළිකුණාටු තත්වයක්.

මේ පිංතූරෙ ගත්තෙ solarnavigator.net අඩවියෙන්. මම දැක්ක දර්ශණයත් ඔය විධියෙමයි. අද මගේ ළඟ ජංගම දුරකථනය නොතිබුණු නිසා සිද්ධිය රූගත කරන්න බැරි වුණා. :(

ඔය පිංතූරෙ පේනවා වගේ එකක් මූදෙ තියෙනවා පැහැදිලිව පේන්න පටන් ගත්තෙ දුම්රිය පානදුර දුම්රිය ස්ථානය පසු කර ටිකක් දුර ගියායින් පසුවයි. ඈතින් නැව් හා ධීවර යාත්‍රා කීපයක් තිබුණා. අහස තරමක් අඳුරු වෙලා තිබුණා. මම සිද්ධිය හොඳින් බලාගන්න ගියා දුම්රියේ අවදානම් තැනට :-O පාපුවරුවට.

ඔය සුළිය ටික ටික ආවෙ ගොඩබිම පැත්තට. කවදාවත් මේ වගේ දෙයක් දැකල නැති නිසා මටත් මාර මැජික්. අන්තිමේ (කොරළවැල්ලේදී) සුළිය දුම්රිය මාර්ගයට මීටර් 100ක් විතර වෙන්න ආසන්නයට ආවා. ඒ එක්කම ඇති වුණු වැස්සෙන් ටිකක් තෙමෙන්න වුණත්, මොකද වෙන්නෙ කියලා ඇසි පිය නොහෙළා බලාගෙන හිටියෙ මේ අපූරු (සජීවී) දර්ශනය ආපහු දකින්න නොලැබෙන නිසා. සුළිය නිසා මුහුදු වතුර ඉහළට ඇදිල යන හැටි හොඳින් බලාගන්න පුළුවන් වුණා. අපූරුයි -- ටිකක් භයංකරයි. කොහොම වුණත්, දුම්රිය ඉදිරියට ගමන් කරමින් තිබුණු නිසා විනාඩියක පහකට වඩා ඕක දිහා බලාගෙන ඉන්න ලැබුණෙත් නෑ.

ඉන් පසු මොනව වුණාද කියල නම් දන්නෙ නැත! :(



Tornado ගැන හොඳ විස්තරයක් විකිපීඩියාවෙන් බලාගන්න පුළුවන්. ඒ අතරෙ මතක් වුණා සෑහෙන කාලෙකට ඉහතදී බලපු හොඳ චිත්‍රපටයකුත්. Twister (1996).

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴