Sunday, November 30, 2008

Prabakaran's Desktop

මේක මට ආපු E-mail එකක්. මෙහි නිර්මාණකරු කවුද කියා නම් දන්නෙ නෑ.

ඨොඩය් ඓ'ම් ට්ය්පින්ග් තිස් උසින්ග් තෙ ර්‍ඒල්ටිමෙ Cඔන්වෙර්ටෙර්. ඇ ස්මල්ල් ටෙච්නිcඅල් ප්‍රොබ්ලෙම් විත් Sඉන්හල Uනිcඔඩෙ. :(
Today I'm typing this using the Realtime Converter. A small technical problem with Sinhala Unicode. :(



Sameera Shaakunthala

Saturday, November 29, 2008

SLGUbuntu from UCSC

UCSC හා Dialog Telekom එක්ව සංවිධානය කළ Sri Lanka Genius 2008 වැඩසටහනේ රූපවාහිනී තරඟ වට මේ දවස් වල සෙනසුරාදා රාත්‍රී 7.00 ට ජාතික රූපවාහිනියෙ විකාශය වෙනව. SLGenius වැඩසටහන කරන්න කැම්පස් එකේ ජ්‍යෙෂ්ඨ බැච් එකේ අයියලා අක්කලාත් අපේ බැච් එකේ අයත් සෑහෙන මහන්සි වුණා. වැඩියෙන් මහන්සි වුණේ මේක සංවිධානය කරපු අපේ අයියලා අක්කලා.

පරිගණක තාක්ෂණයේ බොහෝ දෙනා නොදුටු පැත්තක් වන නිදහස් හා විවෘත මෘදුකාංග ගැන පාසල් ශිෂ්‍යයින්ව දැනුවත් කිරීමත් මේ SLGenius වලින් සිදුකෙරුණා. මෙහිදී පාසල් සිසුන්ට නොමිලේ Linux සංයුක්ත තැටි බෙදා දුන්නා. මේ සඳහා යොදා ගත්තේ Ubuntu මෙහෙයුම් පද්ධතිය සංස්කරණය කර නිපදවන ලද SLGUbuntu මෙහෙයුම් පද්ධතිය.



Ubuntu සමග multimedia codecs ලැබෙන්නෙ නෑ. නමුත් SLGUbuntu සංයුක්ත තැටියේ අවශ්‍ය සියළුම multimedia codecs අඩංගුයි. Linux ඉගෙනීම ආරම්භ කරන කෙනෙකුට හොඳම මෙහෙයුම් පද්ධතිය Ubuntu. නමුත් ගැටළුවක්ව පැවතුණේ ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය භාවිත කි‍රීමේ අපහසුව නිසා බොහෝ දෙනා Ubuntu පාවිච්චි නොකර සිටීමයි. SLGUbuntu මේ අවශ්‍යතාව සපුරා තිබෙනවා.

SLGUbuntu මුල්වරට නිපදවූයේ Ubuntu 7.10 ඇසුරින්. Ubuntu 7.10 සමග නොලැබුණු සිංහල භාෂාව, wine, Beryl හා Compiz Fusionද මෙයට එක් කර තිබුණා. නමුත් ලිනක්ස් කර්නලයේ සැලකිය යුතු වෙනසක් කර නැහැ.



SLGUbuntu හැදුවේ කැම්පස් එකේ අපට ජ්‍යෙෂ්ඨ බැච් එකේ සුපුන් අයියා. ඔහු මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. Ubuntu ස්ථාපනය කළාට පසුව මේ වෙනස් කිරීම් කරන එක පහසු කාර්යයක් වුණත්, නැවත බෙදාහැරීම සඳහා මේ ආකාරයට එය සකස් කිරීම තරමක් අසීරු කාර්යයක්.

බලන්න ලිනක්ස් වල නිදහස. අපට ඕන විධියට වෙනස් කලා... බෙදාහැරියා...

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Friday, November 28, 2008

The first Porn Shop - ශ්‍රී ලංකාද්වීපයේ ප්‍රථම වතාවට

මේ බ්ලොග් සටහන බලද්දි මට මේක මතක් වුණේ. දැන් ටිකක් පරණයි මේක. :D



---

මම කාගෙවත් නොදන්න කමට හිනා වෙනව නෙවෙයි. සිංහල කියල මේ තරම් ලස්සන භාෂාවක් තියෙද්දි ඇයි අපි ඉංග්‍රීසි නම් දාගෙන වරිගෙ නහගන්නෙ?

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Monday, November 24, 2008

මගේ Assignment කෙරුවාව

අද in-class assignment එකක්. සිරිත් පරිදිම අවසන් මොහොත වෙනකම් මොනවත් බලාගත්තෙත් නෑ. කුප්පියක් දම්මගන්න අදහසකුත් නෑ... උදේ පාන්දරම ආතල් එකේ මල් පාත්තියක් දාගෙන හිටිය.

Assignment එක පටන්ගත්තාම තමයි දෙයියො සිහි වුණේ. පේපර් එකේ තිබුණ මෙලෝ හසරක් හිතාගන්න බෑ. කරකවල අතෑරිය වගේ. දීල තිබුණ කාලය පැය එකහමාරක් වගේ මතකයි. මුල් පැය කාලක් බාගයක් විතර හොඳට නිදා ගත්තා (අර බෝංචි මාමා නිදාගත්තා වගේ). ඇහැරුණාට පස්සෙ පටන් ගත්ත උත්තර ලියන්න.

පාඩම් කරල නැති වුණත් මේවට උත්තර ලියන්න ක්‍රම තියෙනව. ප්‍රශ්න ඇතුලෙම උත්තරය හැංගිලා තියෙනව. ඔහොම හිතාගෙන කොහොම හරි වෙට්ටු දාල මොන මොනව හරි බොරු ටිකක් ලිව්ව. තව තැනින් තැනින් කාන්තාර වගේ හිස් තිබ්බ. ලියල එළියට ආවට පස්සෙ මාර සැහැල්ලුවක් දැනෙන්නෙ.
---
හෙටත් තියෙනව එකක්. Business Statistics and Operational Research. ඇත්තටම මොන එකකට මේව තියෙනවද මන්ද.. business කියනකොටත් මට තිත්තයි... අප්පිරියයි...
ඒකට නම් කුප්පියක් දා නොගත්තොත් සදා අනාතයි. :(

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Sunday, November 23, 2008

Wordpress ආරක්ෂිතද?

මිනි බ්ලොග් මැරතන් ගැන ගොඩක් අය කතා වෙනව. මටත් ආස හිතුණ මොනව හරි බයිල ටිකක් පැය කාලෙන් කාලට ලියල දාන්න. ඒත් තාම හරි අයිඩියාවක් නෑ. :( කැම්පස් එකේ assignment එකක් සෙට් වුණොත් නම් ඉතින් අනිවා එන්නෙ නෑ. කෝකටත් සහ වෙනසකට කියල මම Wordpress එකේ බ්ලොග් එකක් පටන් ගත්ත. ඒක http://shaakunthala.wordpress.com
---
මේ කියන්න යන්නෙ Wordpress account එකක් හදද්දි වෙච්ච දෙයක්. Wordpress account එක හදන්නෙ මෙහෙමයි. Wordpress.com අඩවියට තමන්ගෙ විද්‍යුත් තැපැල් ලිපිනය, අළුත් පරිශීලක නම හා මුරපදය ලබා දුන්නම ඔවුන් conformation විද්‍යුත් ලිපියක් එවනව. Wordpress ඉතිං පොල් ගෙඩි අකුරු වලින්නෙ වැඩ. අර විද්‍යුත් ලිපියෙ තියෙන conformation link එක ක්ලික් කළාම යනව ආයෙම Wordpress අඩවියට. මෙන්න මගේ password එක පොල්ගෙඩි සයිස් අකුරෙන් screen එක මැද!!!

මෙතන ගැටළු දෙකක් තියෙනවා.
  1. ළඟපාත කවුරුත් හිටියනම් මගේ password එක දකිනව.. පැහැදිලිව.


  2. මේක ටිකක් තාක්ෂණික කරුණක්. මං වැරදි නම් කවුරුහරි මාව නිවැරදි කරන්න. සාමාන්‍යයෙන් යම් අඩවියකට මුරපදයක් ලබා දුන්නම ඔවුන් එය ගබඩා කරගන්නෙ එය encrypt කරල. Encrypt කළාම ලැබෙන hash එක තමයි database එකේ ගබඩා වෙන්නෙ. Wordpress හි ලියාපදිංචි වන විට අප ලබා දෙන මුරපදය encrypt වී ඔවුන්ගේ database එකේ ගබඩා වූවා නම් එය අපට නැවත දර්ශනය වීමේ හැකියාවක් නෑ. මොකද hash එකක් නැවත එහි මුල් ස්වරූපය බවට පත් කරන්න නොහැකි නිසා (මම කියන්නෙ MD5 ගැන). ඒ කියන්නෙ මගේ password එක එහි මුල් ස්වරූපයෙන්ම Wordpress දත්තමූල වල ගබඩා වෙනවා!!! එහි ආරක්ෂාව පිළිබඳ අවදානමක් තියෙනව කියලයි මගේ හැඟීම.
තවත් එකක් තියෙනව https නැති එක. ඒක ගොඩක් වෙබ් අඩවි වල නැති නිසා ඒ ගැන එච්චර කියන්නෙ නෑ. https නෑ කියන්නෙ ඉතින් හරි පොරකට අහුවුනොත් සොරි තමා (කැම්පස් එකේ අත්දැකීම් වලින් කියන්නෙ).

---
කොහොම වුණත් මේක මට නම් ඇත්තටම අවුලක් නෑ. :D

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Saturday, November 22, 2008

සිත්ගත් ගීතය

මේ මම කැමතිම ගීතය, Strength of a Woman. ඔබවාහිනියෙ සැරිසරදිදි අහම්බෙන් දැක්කෙ. මේ වීඩියෝ එක ජර්මනියේ Night of the Proms ප්‍රසංගයේ දර්ශනයක්. මෙහි විශේෂත්වය තමයි Reggae/ Rock සංගීතය Classic සංගීතයත් සමග මනා ලෙස ගලපා තිබීම. බලන්න කෙතරම් අපූරුද කියා...




෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Friday, November 21, 2008

නිදහස

නිදහස කියල මාතෘකාව තිබුණට මේ ලියන්නෙ ශාස්ත්‍රීය දෙයක් නෙවෙයි. ආගිය කතාවක්. හදිසියෙම මගේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත වුණා. දැන් කොහේ ගියත් යන්නෙ හිස් අතින්. එක්කො මේක හදා ගන්න පුළුවන්. අළුත් එකක් ගන්නත් කාලෙ හරි. ඒත් ජංගම දුරකථනය නැති වුණාම මාර නිදහසක් දැනෙන්නෙ.

මිස්කෝල්ස් නෑ.. SMS මළවදේ නෑ.. සාක්කුවට බරත් නෑ.. එකම අවුල තියෙන්නෙ හදිසියකදි ගෙදරට කෝල් එකක් ගන්න එක තමා. මේ කාලෙ හැටියට ජංගම දුරකථනයක් නැතුව දුර ගමන් යන එක ටිකක් භයානක තමයි.

ඒත් මම ටික දවසක් මේ නිදහස අත්විඳිනව.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Monday, November 17, 2008

අළුත් වයිරසයක්ද?

අද උදෑසන දුම්රියේදී මට මගේ මිත්‍රයෙකුගෙන් අසන්නට ලැබුණේ දුක් ගැනවිල්ලකි. ඔහුගේ පරිගණකයේ තිබූ ගීත හා වීඩියෝ ගොනු සියල්ල අස්ථානගතවී ඇති බව ඔහුගේ දුක් ගැනවිල්ල විය. මෙය වයිරසයක්දැයි සැක සිතුණු නිසා මම වැඩිදුර ප්‍රශ්න කිරීම ඇරඹූයෙමි. පසුව දැනගත් පරිදි ජංගම දුරකථනයෙන් ලබාගත් කෙටි පණිවුඩ ගොනු මැකී ගෙස් නැත. තවද පරිගණකය ක්‍රියා විරහිත කරන විට ඉබේ නතර නොවන එක් ක්‍රමලේඛයක් ඇති බවත්, එය අවසන් කිරීමට End Now බොත්තම එබිය යුතු බවත්, කලින් එසේ නොවූ බවත් ඔහු කීය. මගේ සැකය බොහෝ දුරට තහවුරු විය.

උදේ පාන්දර සරසවියේදී බැචියකගෙන්ද මෙවැනිම දුක් ගැනවිල්ලක් ඉදිරිපත් විය. පරිගණකයේ බොහොමයක් අත්‍යවශ්‍ය ගොනු මැකී ඇති බවත්, පරිගණකය ක්‍රියාවිරහිත කිරීමේදී rundll32.exe නතර නොවන බවත් ඈ කීවාය. වයිරස් සැකය මත වයිරස් නාශකයෙන් පරීක්ෂා කළත් ඉන් පලක් නොවූ බව දුක් ගැනවිල්ලේ සඳහන් විය.
---
මගේ සැකය තවත් තහවුරු විය. ඔබ සැමට කිව යුතු පණිවුඩය මෙයයි. අළුත් වයිරසයක් ආ සැනින් වයිරස් නාශක ඒ ගැන දැනුවත් යයි නොසිතන්න. මොන තරම් ප්‍රබල වයිරස් නාශකය වුවත් අළුත්ම වයිරස හමුවේ අසරණ විය හැකිය. ඒ වයිරස් නාශකයේ නිෂ්පාදකයා අළුත් වයිරස පිළිබඳ දත්ත වලින් වයිරස් නාශකය දැනුවත් කරන තුරු (update) වයිරස් නාශකය අළුත් වයිරස නොහැඳිනීමය. මට හැඟෙන පරිදි දැන් rundll32.exe (Run DLL as App) වින්ඩෝස් ක්‍රමලේඛයේ නමින්ම ක්‍රියාත්මක වන අළුත් වයිරසයක් ඇත (මේ සටහනේ svchost.exe මෙන්). ප්‍රවේශම් වන්න. මේවායින් ආරක්ෂා විය යුතු අන්දම ගැන සුළු විස්තරයක් මේ සටහනෙන් කියවන්න.

Start --> Search මගින් rundll32.exe ගෙනුව සොයන්න. C:\WINDOWS\System32 හැර වෙනත් ස්ථානයක එය පිහිටියහොත් එය බොහෝ විට (බොහෝ විට නොව 100% වුවත්) වයිරසයක් විය හැකිය.

දන්නා පරිදි මෙයට තවම බෙහෙත් සොයාගෙන නැත.

෴සමීර ශාකුන්තල෴Sameera Shaakunthala෴

Sunday, November 16, 2008

සිංහරාජෙට ගිය විනෝද ගමන

මට දැන් මීට මාස තුනකට විතර කලින් (එතකොට මම බ්ලොග් ලිවීම අතහැර දාලයි හිටියේ) කැම්පස් එකේ යාළුවො ටිකක් එක්ක සිංහරාජෙට ගිය ආතල් ගමන මතක් වුණා. කෝ දැන් දෙක වසරනෙ. කොළඹින් එළියට ගිහින් ඒ වගේ ආතල් ගන්න ආයෙම නිදහසක් එයිද දන්නෙත් නෑ. ඒ තරමට වැඩ.

මේ වීඩියෝ තුනේ තියෙන්නෙ ඒ සොඳුරු මතකයන්ගෙන් බිඳක්...

මේ අපේ ගමනේ පිංතූර ටිකක්...


ආපහු එන්න බස් නැතුව මල පැනල ඉන්න වෙලාවෙ දුන් පොඩි ආතල් එකක්...


ට්‍රැක්ටරේ ආතල් එක... මෙදේරිපිටියෙන් යන අන්තිම බස් එකත් ගිහිං! කොහොම හරි අමාරුවෙන් තේ දළු ගේන ට්‍රැක්ටරයක් සෙට් කරගත්තා... තේ දළු උඩ වාඩි වෙලා අපි 12ක්.. මාර ආතල්... (බය වෙන්න එපා.. ඒව පිටරට පටවන ඒව :D)


බලමු.. තව මාස දෙකකින් exam ඉවර වුනාම පුළුවන්ද කියල.. තව කොහෙ හරි යන්න....

෴සමීර ශාකුන්තල෴Sameera Shaakunhala෴

Friday, November 14, 2008

ඉබි කෙළිය

ඔන්න මම ආයෙත් පටන් ගත්තා ඉබ්බා ගහන්න.

හවසට බෑග් එකත් එල්ලගෙන කැම්පස් එකේ ඉඳං බම්බලපිටියට පයින් යන්න කම්මැලි හිතුණා. පයින් ගිහින් තව කෝච්චියෙ හිටගෙනත් යන්න වුණාම ඇඟට හරි සැප! ඒ නිසා මං දැන් හවසට බස් එකේ බම්බලපිටියට යනව. කෝ බස් එකේ ටිකට් දෙන්නෑනෙ. මං මොකද කරන්නෙ කොන්දොස්තරත් එක්ක වාද කරන්නෙ නෑ; ගහනව ඉබ්බ. මටත් ලේසියි, ලාබයි. හැබැයි කොන්දොස්තර අතේ ටිකට් පොත තිබුණොත් නම් මම ටිකට් ගන්නවා.

මම මහරගම බෝඩිමේ හිටපු කාලෙ 112, 138, 176.. මේ ගොඩක් ඒවයෙ ටිකට් නොදෙන වෙලාවට මම නොසෑහෙන්න ඉබ්බ ගහල තියෙනව. සමහර දවස් වල යාම් ඊම් දෙකම නොමිලේ.. :D

ඉස්සර එක කාලෙක මේක පුරුද්දක් කරගෙන හිටිය.. ඉඳහිට දවසක අම්බලන්ගොඩ - කොළඹත් නොමිලේ.. සල්ලි නැති කමකට නෙවෙයි, ආතල් එකට. පස්සෙ ඒ වැඩේ වැරදි බව තේරුම් අරං නැවැත්තුවා.

CTB බස් වල නං කොහොම හරි ටිකට් එක ගන්නවා. ඒත් පුද්ගලික බස් වල ඉබි කෙළිය සලකා බලනවා. ටිකට් දෙන්නැත්තං ඉතිං අනිවා ඉබ්බා.

ටිකට් වලට බස් කොන්දොස්තරලත් එක්ක ඇරගන්නෙ මොකටද? මං වගේ ඉබ්බ ගහන්න පුරුදු වෙන්න.

ගැමුණු විජේරත්න මහත්තය දැං කියයිද දන්නෙ නෑ 'ඉබ්බො ගහන්නන්ගේ ප්‍රතිශතය ඉහළ යාම නිසා බස් ගාස්තු තව 25%කින් වැඩි කළ යුතුයි' කියල.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

ArgoUML

Rational Rose මෘදුකාංගයට FOSS ආදේශකයක් සොයන්න පටන් අරන් හෙම්බත් වෙලා හිටියෙ. හොඳ වෙලාවට සිලිය එකක් පිටමං කරල. දැන් Ubuntu වල ඉඳගෙනම (Windows වලට මාරු නොවී) design වැඩ කරන්න පුළුවන්. :)

මේක විශේෂිතව ස්ථාපනය කරන්න අවශ්‍ය නෑ. Java වලින් හදල තියෙන්නෙ. පාවිච්චිය හුරු වෙන්න නම් මට ටික දවසක් යයි වගේ. මට නම් හොඳා...

Just type ./argouml.sh and hit Enter. Here you go!!


෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Thursday, November 13, 2008

නිදහස සොයා - 2 | නිදහස්-විවෘත මෘදුකාංග හා සංවෘත මෘදුකාංග

පෙර ලිපිය හා සබැඳේ.

අද GNU/GPL ගැන ලියන්න බලාපොරොත්තු වෙලා හිටියත් ඒ ගැන තව වැඩිදුර අධ්‍යනයක් කරලා පසුව ලියන්න හිතුණා. මෘදුකාංග බලපත්‍ර ක්‍රම රාශියක් පවතිනවා. සමහර මෘදුකාංග වල මේ බලපත්‍ර දෙකක් සංයෝජනය කර සාදාගන්නා බලපත්‍ර ලබා දෙන ක්‍රමයකුත් තිබෙනවා. තොරතුරු තාක්ෂණයත් නීතියත් එකට සන්ධි වෙන එක් සන්ධිස්ථානයක් තමයි මෙය. ඉතින් මෘදුකාංග බලපත්‍ර ක්‍රම ගැන ලියන්න කලින් තව අධ්‍යනය කරන එක මගේ ඉගෙනීමටත් වැදගත්.

---

අද මම ලියන්නෙ නිදහස් හා විවෘත මෘදුකාංග (කෙටියෙන් FOSS - Free and Open Source Software කියමු) සහ සංවෘත (closed source) මෘදුකාංග අතර පොඩි සංසන්දනයක්.

FOSS වල ඇති විවෘත විනිවිද භාවය නිසා පරිශීලකයාට රිසි පරිදි එහි අභ්‍යන්තරය‍ට එබී බලන්නත් මෘදුකාංගය සංස්කරණය කරන්නත් පුළුවන්. එහි තේරුම තමාගේ මෘදුකාංග පිටපත තමා විසින් අවශ්‍ය පරිදි වෙනස් කරගැනීම පමණක් නොවෙයි, ඉන් ඔබ්බට ගොස් අළුත් යමක් සොයා ගත් විට අනෙක් අය සමග එය බෙදා හදා ගැනීම මගින් ලොවට යමක් දායාද කරන්නත් පුළුවන්. මේ බෙදා හදා ගැනීම් සඳහාම කැප වූ සංසද හා forums සෑහෙන ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා සොයාගන්න පුළුවන්. මේවා බොහොමයකට නොමිලයේම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පූර්ව තාක්ෂණික දැනුමක් තිබීමත් අත්‍යාවශ්‍යම නැහැ.

GNU ව්‍යාපෘතිය ආරම්භ කළ රිචඩ් මැතිව් ස්ටෝල්මන් නැමැත්තා වරෙක මෙසේ කියා තිබෙනවා,

"To serve humanity with software, software should be free, because software belongs to human knowledge. Proprietary software does not belong to human knowledge."

අද වන විට ලබා ගත හැකි FOSS ඇත්ත වශයෙන්ම තනි පුද්ගලයෙකුගේ, සමාගමක හෝ ආයතනයක දැනුමෙන් ගොඩනැගුණු ඒවා නොවෙයි. එය මුළු මහත් මිනිස් වර්ගයාගේම දැනුම නියෝජනය කරනවා.

උදාහරණයක් ලෙස අපි GNU/Linux කර්නලය (මෙහෙයුම් පද්ධතිය) ගනිමු. 1991දී මෙය නිර්මාණය කළේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු විසින් (Linus Torvalds, undergraduate at University of Helsinky). කාලයත් සමඟ විවිධ රටවල විවිධ පුද්ගලයන්ගේ දැනුමින් පෝෂණය වෙමින් දියුණු වූ මෙය අද පරිගණක භාවිතය ඉගෙනගන්නා අයගේ සිට මහාචාර්යවරුන් දක්වා විවිධ දැනුම්/ බුද්ධි මට්ටම් ඇති බොහෝ පිරිසකගේ එදිනෙදා අවශ්‍යතාවන් සපුරන්නක්. වෙනත් මෙහෙයුම් පද්ධතිද ප්‍රචලිතව තිබූ මේ කාලයේ Linux දියුණුවට ලොකු හේතුවක් වුණේ මූල කේත දෙස ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් වීම හා නිදහස් බවයි.

සමහරවිට කෙනෙකුට හිතෙන්න පුළුවන් මූලය විවෘත නිසා වයිරස නිර්මාණය කරන අයට මේ මෘදුකාංග වල කේතය අධ්‍යයනය කරල ඒ මෘදුකාගංයට හානි කරන වයිරස නිර්මාණය කරන්න පුළුවන් නේද කියල. ඇත්ත තත්වය එය නොවෙයි. යමක් සංවෘතව ඇති තාක් මිනිස්සු උත්සාහ කරන්නෙ ඒ දේ අභ්‍යන්තරය කොහොම හරි බලාගන්න. ඒ විතරක් නෙවෙයි කොහොම හරි අභ්‍යන්තරයට එබිල අනිත් අයට කරන්න බැරි දෙයක් කරල පෙන්නල 'පොර' වෙන්න. එතැනින් තමයි hackers/ crackers හා වයිරස ලියන්නන්ට මග විවර වෙන්නෙ. නමුත් දෙයක් විවෘත වුණාම, එහි ඇති අරුමයක් නැති බව පෙණුනම මිනිස්සු ඒක තව දියුණු කරල 'පොර' වෙන්න හදනව මිසක් එය විනාශ කරන්න දඟලන්නෙ නෑ. කාගෙත් හොඳ වෙලාවට තවමත් ලෝකයේ තාක්ෂණය දන්න අයගෙන් වැඩි හරියක් යහපත් අය. ඒ නිසා තමයි ලිනක්ස් කර්නලය මෙතරම් දියුණු තත්වයෙන් අද පවතින්නෙ. එයට වයිරස වලින් හානියක් කළත් මූලය විවෘත නිසා ඕනෑම කෙනෙකුට එය ඉක්මනින් යථා තත්වයට ගෙන එන්නත් පිළියම ලොවට ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ විතරක් නොවෙයි. තාක්ෂණික දැනුම නැතිනම් හානිය ගැන අනෙක් අයව දැනුවත් කළාම කාට හරි ඉක්මන් පිළියමක් සොයා ගන්න පුළුවන්.

ලිනක්ස් වල ඇති නිදහස් හා විවෘත බව නිසා දැනට ලෝකයේ පාවිච්චි වෙන ලිනක්ස් කර්නල අතර විවිධත්වයක් තිබෙනවා. ඒ බොහෝ අය තමන් ලද දෙය රිසි පරිදි සකස් කරගෙන පාවිච්චි කරන නිසා. මේ විවිධත්වය නිසා එක් ලිනක්ස් කර්නලයකට හානි කිරීමට සමත් වයිරසයක් තවත් ලිනක්ස් කර්නලයක් හමුවේ අසරණ වෙනවා. නමුත් Windows හෝ වෙනත් සංවෘත මෙහෙයුම් පද්ධතියකට හානි කරන්න සමත් වයිරසයක්, ලොව පුරා ඇති එම මෙහෙයුම් පද්ධති කර්නල පිටපත් වල ඇති එකිනෙකට සමාන බව නිසා පහසුවෙන් ජය ගන්නවා. අවශ්‍ය නම් ඕනෑතරම් උදාහරණ දෙන්න පුළුවන්.

---

අපි හිතමු යම් කෙනෙක් FOSS එකක දෝෂයක් (bug) සොයා ගත්ත කියල. අවශ්‍ය තාක්ෂණික දැනුම තියෙනවනම් ඔහුට පුළුවන් ඒ සඳහා 'patch' එකක් තමන් විසින්ම හදල නිකුත් කරන්න. විවෘත නිසා අනෙක් අයට පුළුවන් එහි නිවැරදි බව පරීක්ෂා කරන්න. තාක්ෂණික දැනුම නැතිනම් පුළුවන් bug එක ගැන forum එකක කතා කරන්න. එවිට කාට හරි පුළුවන් patch එක හදන්න. FOSS අභ්‍යන්තරය දෙස මුළු ලොකයේම නෙත් යොමු වී ඇති නිසා ඇති වන දෝෂ ඉක්මනින්ම සොයා ගැනෙනවා.

නමුත් සංවෘත මෘදුකාංග වල දෝෂයක් හොයා ගත්තම එය තමන්ටම නිවැරදි කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් දියුණු තාක්ෂණික ක්‍රම තිබුණත් ඒවා පාවිච්චිය නීති විරෝධීයි. ඒවා පාවිච්චියේදී bugs ගැන අදාළ සමාගමට පැමිණිලි කළ යුතු වෙනවා. ඔවුන් එයට අවශ්‍ය විසඳුම දෙන්නෙ ඔවුන්ට අවශ්‍ය පරිදි අවශ්‍ය නම් පමණයි. විසඳුම් ලැබෙනකොට අශ්වයා පැන ගිහින් ඉවරයි. හොඳම උදාහරණය Windows XP Service Packs නිකුත් වෙන්න කොයි තරම් කාලයක් ගියාද?

---

මේ අතරෙ Microsoft ගැනත් යමක් කියන්න ඕන. බිල් ගේට්ස් පෝල් ඇලන් හා එක්ව හැදූ MS-DOS පද්ධතිය දියුණු වෙලා Windows දක්වා දියුණු වුණේ Microsoft ආයතනයට සේවය කරන අය අතින් පමණයි. ලෝකයේ සෙසු අය කළේ ගුණ දොස් විචාරන එකයි. එහෙනම් කොහොමද Microsoft තවමත් ලෝකයේ අංක එක වෙලා තියෙන්නෙ?

ඒකට හේතුව Microsft සමාගමේ දක්ෂ අලෙවි ප්‍රවර්ධන උපාය ක්‍රම (marketing strategies) හා උසස් මට්ටමක ඇති කළමනාකරණය කියලයි මට හිතෙන්නෙ. ව්‍යාපාරික මට්ටමින් බැලූ විට එය පැසසිය යුතු දෙයක්. (හැබැයි ඔවුන් ව්‍යාපාර කරන්නෙත් නීති විරෝධීව - Antitrust Law)

මෘදුකාංග නිදහස් විය යුතුයි. Software should be free.

---

සටහන අපැහැදිලියි වගේ නම් සමාවෙන්න. ප්‍රශ්න තියෙනවනම් comemnt එකක් දාන්න.


Wednesday, November 12, 2008

Firefox සහ පෞද්ගලිකත්වය

මට හම්බ වුණා මරු Firefox add-on එකක්. නම TabRenamizer.

ඒක වැඩ කරන්නෙ මෙහෙමයි. අපි හිතමු මට බොසාට හොරෙන් Youtube වෙබ් අඩවියට යන්න ඕන වුණා කියල. ඒක අළුත් වින්ඩෝ එකක open කරල minimize කළොත් title bar එක පේනව. අළුත් tab එකක open කරල වෙනිං tab එකකට මාරු වුණත් tab title එක පේනව.

විසඳුම ඒ tab එකේ title එකේ පෙන්නන පාඨය (tab title text) වෙනස් කරන එක. ඒකට තමයි TabRenamizer තියෙන්නෙ.

Tab එක right click කරල rename කරන්න පුළුවන්. එතකොට tab එකේ තියෙන්නෙ Youtube. Tab title එක Wikipedia. පිටින් එබිල බලන කෙනෙකුට හිතෙන්නෙ හොඳ ළමයෙක් කියල. හික්.. :D

බලන්න Internet Explorer පාවිච්චි කරන අයට මේ වාසිය තියෙනවද කියල. Firefox අයට විතරයි චාන්ස් එක. ;)



Tuesday, November 11, 2008

සෝඩියම් කුට්ටිය

මට මතක් වුණා පාසල් යන කාලෙ පොඩි සිද්ධියක්. මම එතකොට 10 වසර. අපට තිබුණා විෂයයක් විද්‍යාව හා තාක්ෂණවේදය කියල. දැන් නං කොහොමද දන්නෑ. ඒකෙ තිබුණ පොඩි පරීක්ෂණයක් - මහ ලොකු දෙයක් නෙවෙයි. සෝඩියම් ලෝහය ජලයත් එක්ක වේගවත්ව ප්‍රතික්‍රියා කරන හැටි පෙන්නන්න. පොතේ තිබුණෙ වතුර බේසමකට මුං ඇටයක තරමේ සෝඩියම් කෑල්ලක් දාන්න කියල. හේතුව මේක තරමක භයානක වැඩක් නිසා.

---

අපේ පංතියෙ (10 B) තමයි ඇට්ටරයො ටික හිටියෙ. අපේ ඇට්ටර ගැන් එකේ එකෙක් දවසක් පාසල් විද්‍යාගාරයෙන් සෝඩියම් කුට්ටියක් හොරකම් කරල. රසායන ද්‍රව්‍ය ගබඩා කරල තියෙන කොටසට මොනම හේතුවක් මත වත් ශිෂ්‍යයින්ට යන්න දෙන්නෙ නෑ. ඒත් මේකා ගුරුවරුන්ටත් නොදැනී කොහොමහරි එතැනට ගිහින්!

---

අපේ කස්ටියට යෝජනාවලිය ගෙනාවම ඒක ඉහළින්ම සම්මත වුණා. ඒ දවස්වලම පරණ පොත්පත් වලින් සෝඩියම් වල ඉතිහාසය ගැන කියවල දැනගෙන තිබුණු නිසා මම වැඩේට විරුද්ධ වුණත් විරුද්ධතාව පෙන්නුවෙ නැහැ නෝන්ඩි වෙයි කියල බයට. ඒ සියල්ල පරයමින් නැග ආ කුතුහලය නිසා මමත් කස්ටිය යන තැනට හෙමින් සේන්දු වුණා. උස්සපු සෝඩියම් කෑල්ල රබර් ඇටයකට වඩා ටිකක් ලොකුයි. තව එකෙක් කොහෙන්ද මන්ද මළකඩ කාපු පොඩි නෙස්ටොමෝල්ට් ටින් එකක බාගයක් විතර පිරෙන්න වතුර අරගෙන ආව. අපි 15ක් විතර වටේට වට වුණා. මහමොළකාරය අර සෝඩියම් කුට්ටිය පිටින් වතුර එකට දැම්ම!!!

අපි කුතුහලයෙන් යුතුව බලාගෙන හිටිය. සෝඩියම් කුට්ටිය වතුර උඩ පාවෙමින් එහාට පැන්න - මෙහාට පැන්න - කහපාට දැල්ලක් දැම්ම - මහ හඬක් නගමින් පුපුරා ගියා. සියල්ලටම ගත වුණේ එක නිමේෂයයි. ටින් එක තිබුණු තැනක්වක් හොයාගන්න නෑ. කස්ටිය සී සී කඩ විසිර ගියා. හොඳ වෙලාවට කාටවත් අනතුරක් වෙලා තිබුණෙ නෑ.

---

පස්සෙ මේ වැඩේ කොහොම හරි ලීක් වෙලා තිබුණ. විද්‍යාගාරය භාර ගුරුතුමියගෙන් හොඳ හැටි අහගත්තා. දඬුවම වුණේ පාසල් විද්‍යාගාරය මාස හයකට තහනම් වීම. කොහොම වුණත් අන්තිමේ වැඩේ කස්ටියට මාර ආතල් එකක් ගෙන දුන්නා.

---

සිද්ධියෙ මහමොළකාරය ශිෂ්‍යත්වයක් ලැබිල දැන් ජපානයේ ඉංජිනේරු විද්‍යාව හදාරනව. ඔහු සමහරවිට බුද්ධි ගලනයට තවත් එක් උදාහරණයක් වේවි.


Monday, November 10, 2008

වෙන වැඩ නැතුවට...

Dialog HSDPA සම්බන්ධතාව පාවිච්චි කරන අය මේ මොකක්ද කියා දන්නවා. හැබැයි කාටවත් මේ වැඩේ වැදගත් කමක් ඇති කියල නම් මට හිතෙන්නෙ නැහැ. මේ තිර රූපසටහන ක්ලික් කරල හොඳට ඒ දිහා බලන්න.




Friday, November 7, 2008

ඇස්පනාපිට ලැබුණු අවවාදය

මම කැම්පස් එකට යන්නෙ-එන්නෙ ගෙදර (අම්බලන්ගොඩ) ඉඳලමයි. හවසට එන්නෙ සමුද්‍රදේවී දුම්රියෙ (වාර ප්‍රවේශපත්‍රය නිසා ගානක් නැහැ). අද කැම්පස් එකේ පොඩි වැඩ වගයක් තිබිල මට පිටත් වෙන්න පරක්කු වුණා. 154ක නැගල බම්බලපිටියට ගිහිල්ල බැහැපු ගමන් මම දිව්වෙ දුම්රිය ස්ථානය දිහාවට. කොහොම නමුත් මම දුම්රියට ළඟා වෙනකොට එය පිටත් වෙන්න ගමන් අරඹලා. කොහොම හරි නැගගන්න හිතුණත් දුම්රියේ වේගය වැඩි හින්ද මම නැග්ගෙ නෑ. ජීවිත කාලය කෙටි කරගන්නවත්, අනෙක් මගීන්ගේ විරුද්ධත්වය නොතකා එහෙම කරල 'පොර' වෙන්නවත් මට ඕන වුණේ නැති හින්දා මම විනාඩි 10ක් ඉඳල ඊළඟ දුම්රියේ ආව.

---

ඔන්න මම ආපු මන්දගාමී දුම්රිය හෙමින් හෙමින් ඇවිත් බෙන්තොටත් නතර කළා. මහන්සිය නිසා මම ඒ වෙලාවෙ හිටියෙ අඩ නින්දේ.

බෙන්තොටින් පිටත් වෙනකොටම මගීන්ගෙ කෑගැසීම නිසා මම උඩ ගිහින් බිම වැටුණ. ඒ කෑගැසීම කළේ කොහොම හරි රියදුරු ලවා දුම්රිය නවතන්න. මම ළඟ තිබුණු රතු පාට EMERGENCY SWITCH බොත්තම තද කළා -- කෝ එතන බොත්තමක් නෙවෙයි නිකන් සිදුරක් විතරයි (ඒ ගැන ඉතිං වෙනම කතා කරන්න ඕන). කොහොම හරි දුම්රිය තුළ හා දුම්රිය ස්ථානයෙ හිටපු මගීන්ගේ කෑගැසීම නිසා රියදුරු දුම්රිය නැවැත්තුවා. මේ සියල්ල සිදුවෙන්න ගත වුණේ එක නිමේෂයයි.

දුම්රිය ටික දුරක් ගිහින් නැවතුනා. දුම්රිය ගාඩ්වරයාත් මගීනුත් එකතු වෙලා දුම්රිය වේදිකාව අස්සට වැටුණු මනුස්සයව එළියට ගත්ත. ප්‍රාතිහාර්යයක් වගේ, ඔහු තවම පණපිටින්! සීරීමක් දෙකක් හැරෙන්න වෙන තුවාලයක් නැහැ.

සිද්ධිය මේකයි. ඔහුත් මං වගේම ප්‍රමාද වෙලා දුම්රියට ආපු කෙනෙක්. බෑග් එකකුත් එල්ලගෙන දුම්රිය‍ට නගින්න උත්සාහ කරද්දි බෑග් එක බිම (වේදිකාව මතට) වැටිලා. ඔහු නැවත බෑග් එකත් අතට අරගෙන දුම්රියට නගින්න උත්සාහ කරද්දි පය ලිස්සා දුම්රිය වේදිකාව අස්සට වැටිලා. (ඒ ප්‍රමාදයෙදි දුම්රියේ වේගය වැඩි වෙන බව ඔහුට එවෙලේ නිකමටවත් හිතිල නැහැ) කොහොම වුණත් වාසනාවට ඔහු බේරුණා.

---

මේ වගේ සිද්ධි ඇති තරම් වෙලා තිබුණත් අද මේ සිද්ධිය මගේ හිතේ පොඩි කැළඹීමක් ඇති කළා. අද මම හදිස්සි වුණා නම් මොකද වෙන්නෙ? හරියට මට ඇස්පනාපිටම ලැබුණු අවවාදයක් වගේ. කොහොම වුණත් අර මගියා බේරුණු එක නම් ලොකුම ලොකු දෙයක්.

බස්රිය, දුම්රිය මිස් වුණොත් ඊළඟ එකේ යන්න පුළුවන්. ඒත් ඔය වගේ මෝඩ වැඩ කරන්න ගියොත් වෙන්නේ ජීවිතයෙන් ඩිස්මිස් වෙන්න.



Wednesday, November 5, 2008

නිදහස සොයා - 1 | GNU/GPL වෙත ප්‍රවේශයක්

අද සටහනත් වෙන් වෙන්නෙ පරිගණක පිළිබඳ සාපේක්ෂව අඩු හෝ සාමාන්‍ය දැනුමක් තියෙන අය වෙනුවෙන්.

අපි පාවිච්චි කරන පරිගණක මෘදුකාංග අපට ලැබු€ණෙ කොහොමද? Software CD ටික ඉල්ලගන්නව යාළුවෙක්ගෙන් - නැත්තම් ඕනම CD එකක් රුපියල් 80ත් 200ත් අතර මුදලකට ගන්නවා - නැත්තම් Pirate Bay පිහිටෙන් - එහෙමත් නැත්තම් කාට හරි කියනව තමන්ගෙ පරිගණකයෙ මෘදුකාංග ටික ස්ථාපනය කරල දෙන්න කියල. මේ එක වෙලාවකවත් මේ වැඩේ නීත්‍යානුකූල බව ගැන හෙව්වද? දැන ගත්තත් ඒ ගැන අපි තැකීමක් කරනවද?

ඔන්න කොහෙන් හරි ගේනව Windows XP තැටියක්. ගෙනත් install කරනව. ටිකකින් මොකක්ද ඉංග්‍රීසියෙන් ලියපු වැල්වටාරමක් එනව. මොකද කරන්නෙ - ඔබනව F8. තමන්ගෙ සියළු චංචල - නිශ්චල දේපල Microsoft එකට පවරනව කියල තිබුණත් දන්නෑ. කියවන්නෙ නැහැනෙ අපේ අය.

හරි. දැන් එමු මාතෘකාවට. මම කිව්ව ඉංග්‍රීසි වැල්වටාරම කී දෙනෙක් සම්පූර්ණයෙන් කියවල තියෙනවද? මම නම් කියෙව්වා. කියවල නැත්තම් මෙතනින් කියවන්න [Windows XP, PDF]. eula.txt කියෙව්වම තේරුම් ගන්න පුළුවන් Microsoft ආයතනය Windows භාවිත කරන්නාට කොතරම් සීමා පනවල තියෙනවද කියල.

තමන්ට අවශ්‍ය විධියට වෙනස් කරගන්න බෑ. එක පරිගණකයක විතරයි පාවිච්චි කරන්න පුළුවන්. Decompile - ඒ කියන්නෙ වින්ඩෝස් ගොනු නැවත මූල කේත වලට හැරවීම (අඩුගානේ ආසාවට බලන්නවත්) සපුරා තහනම්. "The Product may not be used by more than two (2) processors at any one time on any single Workstation Computer" - මේ ගැන මොකද හිතන්නෙ? මේ වගේ කොන්දේසි රාශියකට අපව යටත් කරල තමයි ඔවුන් අපට මෘදුකාංග පාවිච්චි කරන්න දෙන්නෙ.

අනවසර පිටපත් පාවිච්චිය හා ළග තබා ගැනීම වැරදි වුණත් අනවසර පිටපතක් පාවිච්චි කරන කෙනාට ඕව වැදගත් නැහැනේ. දැන් බලමු නියමිත මුදල ගෙවල තමන්ගෙ පිටපත ලබාගන්න අය දිහා. ගෙවන මුදලත් එක්ක සංසන්දනය කරල හිතන්න මේ EULA (End User's License Agreement) එක කොයි තරම් දුරට සාධාරණද කියා. Microsoft පමණක් නොව අප එදිනෙදා පාවිච්චි කරන මෘදුකාංග බොහොමයක සත්‍ය තත්වය ඕකයි.

මගේ මතය තමයි මෘදුකාංග තමන්ට රිසි පරිද්දෙන් පාවිච්චි කිරීමේ නිදහස තිබිය යුතුයි කියන එක. මේක කවුරුවත් තෙල ගහල මගේ ඔළුවට ඇතුළු කරපු එකක් නෙවෙයි. හැබැයි විවිධ පුද්ගලයන් විසින් කළ දැනුවත් කිරීම් විවෘතව විමසා බලා හිතට ගත් දෙයක්. මම නිදහස උපරිමයෙන් අගයන්නෙක්.


මෙන්න නිදහස බලෙන් විඳීම (සංස්කරණය කළ logonui.exe):
මෙහි තිබූ තිර රූපසටහන ඉවත් කරන ලදී.
---

කොන්දේසි වලට හිර වෙන්න අකමැති නම්??? මෙන්න විසඳුම... නිදහස් හා විවෘත මෘදුකාංග හෙවත් Free and Open Source Software

නිදහස් (Free): පිටපත් කිරීම, සංස්කරණය කිරීම හා නැවත බෙදා හැරීම සඳහා නිදහස්
විවෘත (Open) : මූලය විවෘතයි. මෘදුකාංග සමග එහි මූල කේත (source code) ලබා ගත හැකියි

Ubuntu, Mozilla Firefox, Audacity මේ අතරින් කීපයක්. මදක් සිතා බලන්න, මේ නිදහස කෙතරම් අගනේද කියා...

මේ මෘදුකාංග වලත් license හෙවත් බලපත්‍ර ක්‍රමයක් තිබෙනවා. ඒ සඳහා විවිධ හේතු තිබෙනවා. BSD License, GNU General Public License, Apache License මේ අතරින් කීපයක්.

මම වැඩිපුර දැකල තියෙන්නෙ GNU/GPL යටතෙ දෙන නිදහස් හා විවෘත මෘදුකාංග. ඒ නිසා මම GNU/GPL වැඩිපුර උනන්දුයි. මම ඉදිරියෙදි GNU/GPL ගැන සටහනක් තියන්නම්.

GNU: GNU's Not Unix
GPL: General Public License

දැන් නවත්තන්නෙ නිදිමත නිසා... ප්‍රශ්න තියෙනව නම්/ මම වැරදි දෙයක් කියල නම් comment එකක් දාන්න.

Monday, November 3, 2008

සැඟවුණු චරිත සහ ආගිය කතා

මගේ Dialog HSDPA සම්බන්ධතාව එකපාරටම අවුල් වූණා. සම්බන්ධ වෙන්නෙ නෑ. පස්සෙ මම Dialog එක‍ට කතා කරල කිව්ව. දැන් නම් ටිකක් හරි වගේ. ඔන්න ඔය ජරමර ඉවර වුණාට පස්සෙ මට මූණුපොතෙන් හෝ ගාල ඇවිල්ල තිබුණු ඊමේල් කන්දරාව ඩිලීට් කරල දැම්ම. දැන් තමයි සිංහල බ්ලොග් ටික කියවල ඉවර කළේ. මේ අවුල නිසා මම (කල්පයක් වගේ) දවස් දෙකකට අන්තර්ජාලයෙන් වෙන් වුණා. ඒ අස්සෙ සෑහෙන විප්ලවයක් වෙලා.

පහුගිය දවස් වල මම තෙල ගහල සැඟවුණු සාමාජිකයො දෙන්නෙක් එළියට ගත්ත. එක්කෙනෙක් පහන්. අනිත් එක්කෙනා චමිල. තවත් කීප දෙනෙකුට බ්ලොග් තෙල ගසමින් පවතිනව. ඒ අයත් ඉදිරියෙදි සිංහල බ්ලොග් අවකාශයට එයි. අපේ කිරිකැටියා, වලේ ඇතුළුව කීපදෙනෙක්ම ඉන්නවා. මගේ බ්ලොග් එක වනමින් අවකාශයට ආයුබෝවන් කියූ චමිල දැන් සුපිරි ක්‍රීඩකයෙක්. කෝ ඉතින් මුන්ගෙ වැඩ කිඩ දැක්කෙ දැන්නෙ. :)

---

ඒ අස්සෙ මම xAurora එක්ක පොඩි සෙල්ලමක් දැම්ම. xaurora.exe සංස්කරණය කරල ඒකෙ comment විධියට තිබුණු hackerzmafia@gmail.com ඊමේල් ලිපිනය වෙනස් කරල ඒකට මගේ ඊමේල් ලිපිනය shaakunthala@gmail.com දැම්ම. දාල සේව් කළාම මෙන්න වැඩ! ඒක අහම්බෙන් වෙච්ච දෙයක් කියල දැනගත්තෙ අද උදේ කාලිංගගේ බ්ලොග් සටහන කියවද්දි.
  • hackerzmafia : 12 characters
  • shaakunthala : 12 characters
xAurora ගැන නම් ඉතින් කතා කරල වැඩක් නෑ. නන්නත්තාරයි.

---

තව ඉතින් කියන්න දෙයක් නෑ.. අද ටිකක් tech ගතිය අඩුයි වගේ.. තාවකාලික සමුගැන්ම.

~ ශාකුන්තල ~ Shaakunthala ~