Thursday, December 23, 2021

උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව]

"උඹට කොහොමද බං ඕක සෙට් වුණේ?"

මේක ගොඩක් අය මගෙන් අහපු දෙයක් නිසාත්, මෑතක ඉඳලා යාළුවෝ කීප දෙනෙක්ම මට මැසේජ් කරලා නෙදර්ලන්තයට සංක්‍රමණය වෙන්නෙ කොහොමද කියලා අහපු නිසාත් මාස කීපයකට කලින් මම ට්විටර් එකේ ඒ ගැන පොඩි හෑල්ලක් ලිව්වා. ඒ හෑල්ල අද මම බ්ලොග් එකේ ලියනවා විස්තර කරලා.

Philips Stadion - Eindhoven

වෙන රටකට සංක්‍රමණය වෙන්න අපි කැමති වුණා කියලා අපිව බාරගන්න ඒ රටවල් එහෙම එකපාර කැමති වෙන්නෙ නැහැ. ඒ රටටත් වාසියක් වෙන විදියේ, රටට අවශ්‍ය කෙනෙක්ව ගෙන්න ගන්න තමයි ගොඩක් රටවල් වැඩියෙන් කැමති. ඉතින් නෙදර්ලන්තයත් එහෙමයි [1]. ඒ නිසා අධ්‍යාපනය හෝ වෘත්තීය දක්ෂතා අතින් ඉතාම ඉහළින් ඉන්න, නෙදර්ලන්තයේ රැකියා වෙළඳපොළ ඇතුළේ සොයාගන්න දුර්ලභ නිපුණතාවන් තියෙන අයව නෙදර්ලන්තයට ආකර්ෂණය කරගන්න නෙදර්ලන්ත රජය ක්‍රමයක් හඳුන්වලා දීල තියෙනව. ඒ අනුව, ඉහළ සුදුසුකම් තියෙන අයට සහ විද්‍යාත්මක පර්යේෂණ වල නියැලෙන අයට රැකියා බලපත්‍රයක් (work permit) නැතුව නීත්‍යානුකූලව නෙදර්ලන්තය ඇතුලේ රැකියාවක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. මේ අයට කියන්නෙ highly skilled migrant (kennismigrant) කියලා. මීට සමගාමීව, නෙදර්ලන්ත රජයේ තීරණය මත 30% ruling කියන වාසියත් ලබාගන්න පුළුවනි.

ඉතින් ඔයාලා ඉතිරිය කියවන්න කාලය වැය කරන්න කලින් කියන්න ඕනේ, මේක ඉතාම අමාරු වැඩක්. ලෝකේ අනිත් රටවල් වල (උදාහරණ: ඉන්දියාව/ පිලිපීනය/ ඉන්දුනීසියාව/ ඉරානය) දක්ෂතා ඇති අයගෙනුත් තරඟයක් තියෙනවා. ඉහළින් වගන්ති කොටසක් තද කළු අකුරින් දැම්මෙත් ඒකයි. බොහෝ විට මේ අවස්ථාව ලැබෙන්නෙ තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රයේත් ඉහළ දැනුමැති අයට විතරයි.


මොකක්ද මේ 30% ruling?

30% ruling කියන එකේ තේරුම, වාර්ෂික වැටුපෙන් 30%ක් බදු වලින් නිදහස් කියන එක. බදු ගණනය කරනකොට වැටුපෙන් 70%කට පමණයි highly skilled migrant කෙනෙක් බදු ගෙවන්න ඕනේ. මේ බදු වාසිය අවුරුදු 5ක් යන තෙක් ලබාගන්න පුළුවනි.

30% ruling ලබාගත් කෙනෙකුට රැකියා බලපත්‍රයක් (work permit - tewerkstellingsvergunning/ TWV) රහිතව, knowledge worker කෙනෙකු විදියට රැකියාවක නියැලෙන්න පුළුවනි. (තමන්ට හිතෙන පලියට ඕනම රස්සාවක් කරන්නත් බෑ) ඊට අමතරව මේ වාසි ටික තියෙනවා,

  • ලංකාවේ රියදුරු බලපත්‍රය හුවමාරු කරගන්න පුළුවනි.
  • නෙදර්ලන්තයේ භාෂාව (ලන්දේසි) ඉගෙනගැනීම සහ නෙදර්ලන්ත සමාජයට අනුගත වීමට අදාළ විභාග සමත් වීම (inburgering) අනිවාර්ය නොවීම.
  • විවාහක හෝ domestic partner කෙනෙක් ඉන්න කෙනෙකුට නම්, කලත්‍රයාට work permit එකක් ඉල්ලුම් කරන්න පුළුවනි. (මේ ගැන මට අත්දැකීම් නැති නිසා වැඩි විස්තර කියන්න දැනුමක් නෑ)
  • ළමයි ඉන්නවා නම් ළමයින්ව ගෙන්නගන්නත් පුළුවනි. (මේ ගැනත් අත්දැකීම් නැත)

30% ruling වලට අවශ්‍ය සුදුසුකම් මොනවාද?

පළවෙනිම සුදුසුකම තමයි රැකියාවක් සොයාගැනීම සහ රජයෙන් නියම කර ඇති අවම වැටුපට හෝ ඊට වැඩි වැටුපකට රැකියාව ලබා දෙන සමාගමත් එක්ක එකඟ වීම. ඊළඟට, ‌රැකියාව ලබා දෙන ආයතනයත් සමග 30% ruling සඳහා නෙදර්ලන්ත රජයෙන් අයදුම් කළ යුතුයි.
නමුත්, විද්‍යාත්මක පර්යේෂණ වල නියැලෙන්න නෙදර්ලන්තයට එන විදේශිකයන්ට අවම වැටුප බලපාන්නෙ නෑ. (විද්‍යාත්මක පර්යේෂණ පැත්ත ගැන මට අත්දැකීම් නැති නිසා වැඩි විස්තර කියන්න දැනුමක් නෑ)

ඊට අමතරව තව කොන්දේසි තියෙනවා එක එක පුද්ගලයාගේ තත්වය අනුව. උදාහරණයක් විධියට, පහුගිය අවුරුදු දෙක ඇතුළත නෙදර්ලන්තයේ හෝ නෙදර්ලන්ත දේශ සීමාවට ආසන්නව ජීවත් වෙලා හිටපු අයට මේ බදු සහනය නොලැබී යන්න පුළුවන් [2].

මගේ අත්දැකීම් අනුව, මට නෙදර්ලන්තයෙ රැකියාව ලැබුණෙ ලංකාවෙ ඉන්නකොටමයි. LinkedIn, HoneyPot, StackOverflow Jobs වගේ වෙබ් අඩවි හරහා IT field එකට අදාළව විවිධ සමාගම් වල රැකියා අවස්ථා ලංකාවෙ ඉඳලම සොයාගන්න පුළුවනි. ඒවාට ඔන්ලයින් අයදුම් කරලා, ඔන්ලයින්ම ඉන්ටර්වීව් ගිහින් ඒකෙන් සමත් නම් රැකියාව ලැබෙනවා. ඉතින් මේ වෙබ් අඩවි වලින් රැකියා සොයද්දී, visa sponsorship, relocation package කියන කාරණා දෙකට අවධානය යොමු කරන්න. Relocation package කියන එකේ තේරුම; අළුත් රැකියාව සඳහා සංක්‍රමණය වීමේදී දරන්න වෙන මූලික වියදම් පියවාගන්න, වැටුපට අතිරේකව මුදලක් ගෙවනවා කියන එක.

නෙදර්ලන්තයේ (හෝ යුරෝපයේ) රැකියා වෙළඳපොළ ඇතුළේ දුර්ලභ නිපුණතා (skills)/ හැකියාවන් තියෙන කෙනෙකුට තමයි මේ ජොබ් ඉන්ටර්වීව් එකක් ලේසියෙන් සමත් වෙන්න පුළුවන්. නෙදර්ලන්තය ඇතුළෙන් ඒ රැකියා අවස්ථාවට තරඟයක් තියෙනවා නම් ඒක රට ඇතුළේ කෙනෙකුට ලැබෙනවා මිසක පිටින් කෙනෙක් ගෙන්නන්න ඕන නැහැනෙ.

මේ ඉන්ටර්වීව් වලදි වැටුප සාකච්ඡා කර ගැනීම ඉතාම වැදගත්. කම්පැනියෙන් ජොබ් එක දෙන්න කැමති වෙලා විතරක් මදි, 30% ruling වලට අවශ්‍ය කරන අවම වැටුපවත් දෙන්න ඒ සමාගම එකඟ වෙන්න ඕනේ. එහෙම නොවුණොත් වැඩේ හබඃ. ඉතින් 2021 අවුරුද්දේ හාපුරා කියලා නෙදර්ලන්තයට මේ ක්‍රමයට එන කෙනෙකුට අවශ්‍ය කරන අවම දළ මාසික වැටුප යුරෝ 4752ක් (වයස30ට වැඩි අයට). සම්පූර්ණ විස්තරය ind.nl වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවනි (highly skilled migrant කැටගරි එක බලන්න).

වයස 30ට අඩු, masters ඩිග්‍රි එකක් තියෙන කෙනෙකුට මීටත් වඩා අඩු වැටුපකින් 30% ruling අයදුම් කරන්න පුළුවනි.

විදේශිකයන්ට මේ විදියට රැකියා ලබා දෙන්න/ සංක්‍රමණය වෙන්න අනුග්‍රහය ලබා දෙන්න හැම ආයතනයකටම අවසර නැහැ. නෙදර්ලන්ත රජයෙන් ප්‍රකාශ කරලා තියෙන 'පිළිගත් අනුග්‍රාහකයන්ගේ ලැයිස්තුවේ' තියෙන සමාගම් වලට විතරයි ඒ අවසරය තියෙන්නේ. ඒ නිසා ඉන්ටර්වීව් යනකොට ඒ ආයතනය ගැනත් හොයල බලන්න.

වැටුප සාකච්ඡා කරගන්නකොට මේ ගැනත් අවධානය යොමු කරන්න

මුලින්ම, නෙදර්ලන්ත රජයේ ind.nl හෝ belastingdienst.nl වෙබ් අඩවි වලින් හොයාගන්න ඔබේ තත්වය  අදාළව ඔබ විසින් ඉපැයිය යුතු අවම වැටුප.

ඊළඟට, රැකියාව ලබා දෙන ආයතනයේ, අදාළ ප්‍රදේශයේ ඔබ අයදුම් කරන තනතුරට ගෙවන අනුමාන වැටුප හොයාගන්න (මම මේකට තොරතුරු හොයාගත්තේ Glassdoor.com වෙබ් අඩවියෙන්). ඉන්ටර්වීව් එකට පළවෙනි කෝල් එක එන්නේ බලාපොරොත්තු වෙන වැටුපත් අහලා. ඉතින් ජොබ් වලට ඇප්ලයි කරනකොටම තමන් ඉල්ලන ගාන ගැන අදහසක් හිතේ තියෙන එක වැදගත්. ඔබ ඉල්ලන වැටුප ඉහත කී අවම වැටුපට සමාන හෝ වැඩි විය යුතුයි.

අදාළ ප්‍රදේශයේ ජීවන වියදම/ නිවාස කුලිය වගේ දේවල් ගැන කල් ඇතුව අධ්‍යයනය කරන්න. මේකට Numbeo.com වෙබ් අඩවිය ප්‍රයෝජනවත් වෙයි.

රැකියාවක් කරන්න/ ජීවත් වෙන්න සුදුසු ප්‍රදේශ?

සාමාන්‍ය මතය අනුව; රන්ඩ්ස්ටඩ් (Randstad) කියලා සමස්තව හඳුන්වන ඇම්ස්ටර්ඩෑම් (Amsterdam), රොටර්ඩෑම් (Rotterdam), ඩෙන් හාග් (Den Haag) සහ යූට්රෙක්ට් (Utrecht) කියන නගර හතරට ලොකු ඉල්ලුමක් තියෙනවා. රැකියාවක් සොයාගැනීමේ පහසුව නිසා බොහොමයක් අය ඒ නගර වලින් එකක පදිංචි වෙන්න කැමතියි.

Map of the Netherlands; from HERE WeGo.
Map courtesy: HERE

සමහර නෙදර්ලන්ත ජාතිකයන් අතර මතයක් තියෙනවා රොටර්ඩෑම් වල අපරාධ ටිකක් වැඩියි කියලා. නමුත් ඇම්ස්ටර්ඩෑම් ගත්තත් අපරාධ වැඩියි. දකුණේ ලිම්බර්ග් (Limburg) පළාත ගත්තොත්, ගංවතුර අවදානම තියෙනවා. පහුගිය කාලේප්‍රවෘත්ති වලත් දකින්න ඇති.

මම රැකියාව කරන්නෙ/ ජීවත් වෙන්නෙ නෙදර්ලන්තයේ IT වලට ප්‍රසිද්ධ අයින්ඩ්හෝවන් (Eindhoven) නගරයේ. අයින්ඩ්හෝවන් වල තියෙනවා ASML සහ Philips ඇතුළුව ප්‍රසිද්ධ සමාගම් ගණනාවක්. ටෙක් කම්පැනිම විතරක් තියෙන High Tech Campus කියලා ඒරියා එකක් අයින්ඩ්හෝවන් වල තියෙනවා. මේවායේ ගොඩක් විදේශිකයෝ වැඩ කරනවා. ඒ කියන්නෙ අපටත්, අවශ්‍ය සුදුසුකම් තිබේ නම් අවස්ථාව තියෙනවා.

මම කලින් ජීවත්වුණේ ඩෙන් බොස් (Den Bosch) නගරයේ. සාපේක්ෂව එහේ විදේශිකයෝ අඩුයි. නමුත් කවුරුත් ජීවත් වෙන්න කැමති පැරණි නගරයක්. ඊට අමතරව අසා දැන ඇති හැටියට ටිල්බ'ග් (Tilburg) සහ බ්‍රෙඩා (Breda) ජීවත් වෙන්න සුදුසු ප්‍රදේශ.

නෙදර්ලන්තයේ උතුර ගැන මට ලොකු දැනුමක් නෑ. Statista වෙබ් අඩවියෙන් ජනප්‍රිය නගර/ පළාත් ගැන අදහසක් ගන්න පුළුවනි. Numbeo වලින් තව crime rate, quality of life වගේ අමතර තොරතුරු ටිකකුත් හොයාගන්න පුළුවනි. Funda.nl සහ Huispedia.nl වෙබ් අඩවි වලින් නිවාස වල මිළ ගණන් සහ නිවාස කුළිය ගැන අදහසක් ගන්න පුළුවනි.

රැකියාව ලැබුණට පසුව?

රැකියාව ලැබුණොත්, ඔබව තෝරාගත් ආයතනයෙන් රැකියා කොන්ත්‍රාත්තුව ලංකාවට එවයි. ඒක අත්සන් කරලා හැකි ඉක්මනින් ආයතනයට ලැබෙන්න සලස්වන්න ඕනි. ඉන් පසුව ඔවුන් බොහෝ විට ඔබේ වීසා එක සකස් කරන වැඩේ ඊට අදාළ වෙන ආයතනයකට භාර දෙනවා (outsourced process). අදාළ වියදම් ඔබට රැකියාව ලබා දෙන ආයතනයෙන් බලා ගනියි. එතනින් පස්සේ තියෙන්නේ අදාළ ලියකියවිලි ටික ඊමේල් කරලා, වීසා එක අනුමත වුණාට පස්සේ තානාපති කාර්යාලයට ගිහින් තාවකාලික වීසා ස්ටෑම්ප් එක ලබාගන්න එක. ලංකාවේ ලියකියවිලි වලට කරන පොඩි වියදමක් හැර, වීසා වලට කීයක්වත් ගෙවන්න ඕනේ නෑ.

තාවකාලික වීසා එකෙන් නෙදර්ලන්තයට ආවට පස්සේ, පළවෙනිම රාජකාරිය ඉතාම ඉක්මනින් (දිනක් හෝ දින දෙකක් ඇතුළත) resident permit එක ලබාගන්න එක සහ නගර සභාවේ ලියාපදිංචි වීම.

ඉතින් මේ වැඩේ ලොකු ප්‍රොජෙක්ට් එකක්. ප්‍රොජෙක්ට් එකක් ප්ලෑන් කරනකොට වගේ සමහර දේවල් කලින් වැඩේ ඉවර වෙනකම් බලන් ඉන්නෙ නැතුව තිතට ප්ලෑන් කරන්න ඕනි. රැකියාවට අදාළ කොන්ත්‍රාත්තුව අත්සන් කළාට පස්සේ ලංකාවේ ඉන්න අන්තිම මාසයේ හෝ මාස දෙකේ ආතල් එකේ නටන්න කාලයක් නෑ. මේ කාලය ඇතුළත ලියකියවිලි ගොඩක් එහාට මෙහාට යවන්න ඕනි. වැදගත්ම දේ, පහුගිය අවුරුදු දෙක ඇතුළත තමන්ගෙ පදිංචිය සනාථ කරන්නත්, 30% ruling අයදුම්පත්‍රයට අදාළ ලියකියවිලිත්, උප්පැන්න සහතිකයේ සහතික කළ ඉංග්‍රීසි පරිවර්තනයකුත් ලෑස්ති කරගන්න ඕන.

ඊට අමතරව, නෙදර්ලන්තයට ඇවිත් ඉන්න හිටින්න තැනක් කල්තියා හොයාගන්නත් ඕන. (මම නම් ගෙයක් හොයාගන්නකම් මාස එකහමාරක් හිටියෙ AirBnB එකක) මේ කාලය හරියට කල්තියා කළමනාකරණය කරගත්තෙ නැත්තම් ඔළුව යකාගෙ කම්මල වගේ වෙනව.

පසුව රැකියාව වෙනස් කරන්න පුළුවන්ද?

Highly skilled migrant කෙනෙකු විදියට එන කෙනෙකුට ඕනම රැකියාවක් කරන්න අවකාශ නැහැ. Resident permit එකේ පිටුපස මෙය පැහැදිලිව සඳහන් කරලා තියෙනවා එක්කෝ highly skilled migrant කෙනෙක්, නැත්තම් ස්වයං ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒ හැර වෙන රැකියාවක් කරන්න නම් රැකියා බලපත්‍රයක් අවශ්‍යයි. ඒ වුණත්, මේ ක්‍රමයට නෙදර්ලන්තයට එන කෙනෙකුට, මතු රැකෙන උගතමනා ශිල්පය තියෙන නිසා එහෙම ෆීල්ඩ් එක මාරු කරන්න අවශ්‍යතාවයක් මතු වෙන්නෙ නැහැ.

Highly skilled migrant කෙනෙක් විදියට වෙනත් සමාගමක රැකියාවට මාරු වෙනවා නම්, ඒ සමාගමත් රජය පිළිගත් අනුග්‍රාහකයෙක් වෙන්න ඕනා. අපි ජොබ් මාකට් එක ඇතුළේ නිදහස් වෙන තුරු අනුග්‍රාහක සමාගමක උපකාරය නැතුව නෙදර්ලන්තය ඇතුළේ මේ ආකාරයට රැකියාවක් කරන්න බැහැ. ඒ වගේම, අළුත් සමාගමේ රැකියාව පටන් ගන්න වර්ෂයේ 30% ruling වලට අදාළ අවම වැටුපත් ලැබිය යුතුයි. උදාහරණයක් විදියට, 2021 අවශ්‍ය අවම වැටුපම කතා කරගෙන රැකියාවකට ආවා යයි උපකල්පනය කරමු. 2022 දී ඒ සමාගමෙන් අයින් වෙලා වෙනත් සමාගමක සමාන ලෙවල් එකක රැකියාවක් සොයාගන්නවා නම්, අළුත් තැනදී 2022 අවුරුද්දේ 30% ruling සඳහා අවශ්‍ය අවම වැටුපවත් ලබා දෙන්න අළුත් සමාගමෙන් එකඟ වී තිබිය යුතුයි.

අවුරුදු පහක් නෙදර්ලන්තයේ නීත්‍යානුකූලව රැකියාවක් කළ කෙනෙකු ජොබ් මාකට් එකේ නිදහස් අයෙක් ලෙස සැලකෙනවා. ඉන් පසුව අනුග්‍රාහකයෙකුගේ උපකාර අවශ්‍ය වෙන්නෙ residence permit එක සඳහා පමණයි [4].

රැකියාව නැති වුණොත්?

30% ruling වලින් එන කෙනෙකුට බොහෝවිට පළවෙනි අවුරුද්ද orientation year එක විදියට සලකලා තාවකාලික කොන්ත්‍රාත්තුවක් තමයි ලැබෙන්නේ. සේවය ස්ථිර කරන්නෙ ඊට පස්සේ. ස්ථිර වුණායින් පසුව රැකියාව නැති වීමේ අවස්ථා අඩුයි. (මෙහේ job security එක හොඳයි) නමුත් පළවෙනි අවුරුද්දේ කොන්ත්‍රාත්තුව අළුත් නොකර ඉන්න සමාගමට අවකාශ තියෙනවා. මම පුද්ගලිකව හඳුනන විදේශිකයන් කීපදෙනෙකුටම ඔය සිද්ධිය වුණා COVID-19 නිසා. එයාලා රැකියාව කළ ආයතනයෙන් කොන්ත්‍රාත්තුව අළුත් නොකළ නිසා සමහර අයට මේ ගැටළුව ඇති වුණා.

ඉතින්, රැකියාව නැති වුණොත් නැවත සමාන ලෙවල් එකක රැකියාවක් සොයාගන්න මාස තුනක් දක්වා සහන කාලයක් ලැබෙනවා [5]. ඒ කාලය ඇතුළත අදාළ අවුරුද්දේ නියමිත අවම වැටුප හෝ ඊට වැඩි වැටුපක් සහිතව රැකියාවක් සොයාගන්න බැරි වුණොත් ආපසු සියරට බලා හැරෙන්න තමයි තියෙන්නෙ.

නෙදර්ලන්තයේ ජීවිතය

Picture of a Gazelle bicycle with panniers, and two horses behind.

මේක ටිකක් දිග මාතෘකාවක්. නමුත්, වැදගත්ම කරුණු ටිකක් කියන්නම්.
  • නෙදර්ලන්තයට එන ඕනම විදේශිකයෙක් Dutch Social Security number (burgerservicenummer - BSN) ලබාගන්න ඕනේ. මේකට අදාළ තාවකාලික සහ ස්ථිර රෙජිස්ටර් දෙකක් තියෙනවා. ඇවිත් පදිංචි වෙන්න නිවසක් හොයාගන්න කල් යනවා නම්, තාවකාලික රෙජිස්ටරයේ ලියාපදිංචි වෙලා පසුව නිවසක් හොයාගත්තාම ස්ථිර රෙජිස්ටරයට මාරු වෙන්න හැකියාව තියෙනවා.
  • ඉහත කිව්ව ස්ථිර රෙජිස්ටරයට ඇතුළු වෙන්න නම්, නිවසක් කුළියට ගන්නකොට ලිපිනය නගර සභාවේ (gemeente) ලියාපදිංචි කරන්න හැකි විදියට කොන්ත්‍රාත්තුවක් (rental contract) අත්සන් කර තිබිය යුතුයි. එහෙම නැතුව යාළුවෙකෙුගෙ ගෙදර කාමරයක පදිංචි වෙනවා නම් ඒකත් ලිඛිතව අත්සන් කරපු ලියවිල්ලකින් කරලා, නගර සභාවට දැනුම් දිය යුතුයි. මගේ දැනුමේ හැටියට; ලිපිනයක් නැතිව තාවකාලික ලියාපදිංචියෙන් නෙදර්ලන්තයේ නීත්‍යානුකූලව ජීවත් වෙන්න පුළුවන් මාස හතරක කාලයක් පමණයි.
  • බැංකු ගිණුමක් විවෘත කිරීමත් අනිවාර්යයි. මේ වැඩේට BSN එක සහ ලියාපදිංචි ලිපිනයක් තියෙනවා නම් ඉතාම පහසුයි. එහෙම නැති නම් බැංකුවේ expat affairs වලට අදාළ අංශය සම්බන්ධ කරගෙන කතා කරගන්න වෙනවා මොනවද කරන්න පුළුවන් කියල. වැටුප ඇතුළුව, වැදගත් මුදල් ගනුදෙනු සියල්ල සිදු වෙන්නෙ බැංකුව හරහා. ඒ නිසා බැංකු ගිණුමක් නැතිව නෙදර්ලන්තයේ රැඳෙන එක ඉතා අපහසු කාර්යයක්.
  • සෞඛ්‍ය රක්ෂණාවරණයක් අනිවාර්යයි (මේකට ආසන්න වශයෙන් මසකට යුරෝ 100 - 120 පමණ වියදම් වෙයි.) නමුත්, ළමයින්ට සෞඛ්‍යය (දන්ත සෞඛ්‍යයත් ඇතුළුව) නොමිළේ. වැඩිහිටි අය ‌සෞඛ්‍ය රක්ෂණයක් නැතිව මාස තුනකට වඩා නෙදර්ලන්තයේ රැඳුණොත් තව දඩයකුත් එකතු වෙනවා.
  • 2021 අවුරුද්දේ නෙදර්ලන්තයේ කුලී නිවසක් සොයාගැනීම ඉතාම අසීරු කටයුත්තක්. (මම කලින් විසූ කුලී නිවස ගැන දැන්වීම අන්තර්ජාලයේ පළ කරලා දවස් දෙකක් ඇතුළත සියළුම ඇපොයින්ට්මන්ට් ඉවර වුණා). ඒ නිසා රැකියාවක් සොයනවාත් එක්කම නෙදර්ලන්තයේ ඉඳුම් හිටුම් වියදම ගැනත් කල් ඇතුව ලංකාවේදීම දැනුවත් වෙන්න. හැකියාවක් ඇතොත්, ලංකාවෙන් පිටවෙන්න සතියකට කලින් තැරැව්කාර ආයතනයක් (real estate agent) හරහා ගෙවල් බලන්න ඇපොයින්ට්මන්ට් ටිකක් දාගන්න. ගෙවල් හොයන වැඩේ පටන් ගන්නෙ පළවෙනි වැටුප ලැබෙන්නට පෙර නිසා, නැවත ගෙවන තැන්පතුවට (සාමාන්‍යයෙන් යුරෝ 800 - 1200 පමණ) කල් ඇතුව ලෑස්ති කරලා තියාගන්න.
  • නෙදර්ලන්තය කියන්නෙ වර්ග කිලෝමීටරයට 500ක, සාපේක්ෂව අධික ජනගහන ඝනත්වයක් තියෙන රටක්. ඒ නිසා සාපේක්ෂව නිවාස වල ඉඩකඩ අඩුයි, නිවාස මිළෙන් වැඩියි.
  • නෙදර්ලන්තය පැතැළි රටක්. ඒ නිසා ගොඩක් අය ගමන් යන්නෙ බයිසිකලෙන්. (හැත්තෑව පැනපු ආච්චිලාටත් අපට වඩා ෆිට්නස් තියෙනවා 😅) වාහනයක් නඩත්තු කිරීම සහ පාකිං වියදම් ටිකක් වැඩියි කියල මම අහල තියෙනවා (නමුත් අත්දැකීම් නැහැ). ඒ නිසා මෙහේ එනවා නම් බයිසිකල් පදින්නත් ඉගෙනගන්න වෙනව 😁. රැකියාවක් කරන ඕනම කෙනෙකුට බදු රහිතව බයිසිකලයක් මිළදී ගන්න අවස්ථාවත් මේ රටේ තියෙනව.
  • පවුල් පිටින් පදිංචියට එන අයට/ මෙහේ පවුල් වෙන්න බලාගෙන එන අයට: ළමයින්ව දාන්න වෙන්නේ මේ රටේ භාෂාවෙන් උගන්වන ඉස්කෝලෙට. පාසල් අධ්‍යාපනය නොමිලේ. මම අහලා තියෙන විදියට; ඉස්කෝලේ පොත්පත් ටිකකට වියදම් කරනවා හැර වෙන ලොකු විදයම් නෑ. ඉංග්‍රීසියෙන්ම උගන්නන්න ඉන්ටර්නැෂනල් ස්කූල් දාන්න පුළුවනි, නමුත් ඒවායේ වියදම වැඩියි. ඉන්ටර්නැෂනල් ස්කූල් යවන්න වැඩි ප්‍රමුඛතාව ලැබෙන්නේ තාවකාලික රැකියාවකට මෙහේ එන අයගේ ළමයින්ට බව තමයි දැනගන්න ලැබුණේ. සාපේක්ෂව, නෙදර්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට වඩා ගොඩක් දියුණුයි.
  • 30% ruling ලැබෙන කෙනෙකුට භාෂාව ඉගෙනගැනීම අනිවාර්ය නොවුණත්, භාෂාව ඉගෙනගැනීම ප්‍රායෝගිකව ගොඩක් වාසියි. නෙදර්ලන්ත ජාතිකයන් එක්ක මිතුරුකම් ඇති කරගන්නත්, නීතිමය කටයතු/ ගිවිසුම් සම්බන්ධ කටයුතු වලදී පරිවර්තකයෙකු නැතුව වැඩ කරගන්නටත් භාෂාව ඉගෙන ගෙන තිබීම මට ඉතාම පහසුවක් වුණා. 30% ruling වලින් මෙහෙට එන විදේශිකයෝ බහුතරයක් භාෂාව ඉගෙනගන්න පොඩි උත්සාහයක්වත් දරන්නෙ නැහැ. මගේ පුද්ගලික මතය; භාෂාව නොදැනීම වැරදි අවබෝධයන්ට පවා මුල පුරන දෙයක්. අවුරුදු දහය පහළොව මෙහේ ජීවත් වෙන සමහර විදේශිකයෝ භාෂාව ඉගෙනගන්න තියා වචනයක්වත් කතා කරන්න උත්සාහයක් නොකර රඟන එක ගැන අප්‍රසාදය පළ කරන නෙදර්ලන්ත ජාතිකයෝ දෙතුන් දෙනෙක් පවා මට හමුවෙලා තියෙනවා. ඒ නිසා භාෂාව ඉගෙනගන්නත් උනන්දු වෙන්න. නෙදර්ලන්තයේ ජීවිතය ඉතාම පහසු වෙන්නත්, ස්වාධීනව ජීවත් වෙන්නත් සමාජ සබඳතා ඇති කරගන්නත් භාෂාව ලොකු පිටිවහලක් වේවි.
  • නෙදර්ලන්තයේ මිනිස් ශ්‍රමයට ඉහළ වටිනකමක්/ මිළක් තියෙනවා. ඒ නිසා ලංකාවෙදි අතට පයට සේවකයෝ තියාගෙන, දුප්පත් මිනිහෙක්ට සොච්චමක් දීලා ගෙදර වැඩ පළ කරවගෙන නිළමෙළා වගේ හිටපු අයට මෙහේ සෙට් වෙන එකක් නෑ. තමන්ගෙ වැඩ තනියම කරගන්නත් ඉගෙනගන්න වෙනවා. මම ට්විටර් එකේ නිරීක්ෂණය කළ දෙයක්; නෙදර්ලන්තයෙ ජීවිතය මහ කට්ටක්, අජූතයි වගේ මත සමාජගත කරන්න දඟලන කීප දෙනෙක්ම ඉන්නවා. මේ හැම කෙනාම ලංකාවෙ ජීවිතේ ආතල් කියන්නෙ පොඩි මිනිහගෙන් කුණු කොල්ලෙට වැඩ ගන්න පුළුවන්කම සහ wage gap එක වැඩි වීමේ වාසියෙන් පුහු සමාජ තත්වයක් මේන්ටේන් කරන්න ලංකාවෙ පුළුවන් වීම නිසා. මෙහේ ඒවා ලේසි නෑ.
  • සෞඛ්‍යය, පොදු ප්‍රවාහනය, අධ්‍යාපනය, රාජ්‍ය සේවා, ආරක්ෂාව, නීතිය ක්‍රියාත්මක වීම, සමානාත්මතාව සහ නිදහස ඇතුළුව සමස්ත ජීවන තත්වය ලංකාවට වඩා ඉතාම හොඳයි. (යටින් ඉරි ගහපු දේවල් තමා ලංකාවේදී ශක්තිමත් ආර්ථික තත්වයක් තිබුණු උගතුන් පවා "පතිරූපදේස වාසෝ ච" අනුගමනය කරමින් ලංකාවෙන් පිට වෙන්න හේතු)

සමාප්තයි෴
මෙය (immigration) සංකීර්ණ මාතෘකාවක්. වැරදි ඇතොත් කරුණාකර ඒවා පෙන්වා දෙන්න. ප්‍රශ්න තිබේ නම් අසන්ට. අපි සාකච්ඡා කරමු.

විශේෂ ස්තුතිය: මගේ ට්විටර් හෑල්ලට යහමින් දායක වෙමින් මේ ලියමනට අවශ්‍ය සමහර කරුණු සැපයූ උමේෂ්🙏

වැඩිදුර කියවීම පිණිස/ official sources:





6 comments:

  1. සමානාත්මතාව, නිදහස ගැන අදහසක් නම් පලවෙනි පින්තුරෙන්ම ගන්න පුළුවන්. ඉන්න හිතෙන රටක් කියන්නේ මේ වගේ රටවල් වලට වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න 100% නැති රටක් නෙමේ, නමුත් ආතල් එකේ ඉන්න පුළුවනි. :)

      Delete
  2. වැදගත් ලිපියක් යන්ට හිතන් ඉන්න අයට..
    හැත්තෑව පැනපු ආච්චිලාත් ෆිට්- ආච්චි කෙනෙක්වත් පාස් කරගන්න බැරි උනාද 😁

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ! සමහර අය කිලෝමීටර් 10 - 15 වගේ දුරත් බයිසිකල් පදිනවා. ඒක සාමාන්‍ය දෙයක්. 😀

      Delete
  3. ස්තූතියි! සෑහෙන කාලයක් තිස්සේ හොයමින් හිටපු දේවල් ටිකක්.

    ReplyDelete

Facebook ප්‍රතිචාර