Thursday, December 16, 2021

තට්ට හිසට පිළියමක් | Hair loss; what now?

ඉස්සර කාලේ මේ බ්ලොග් එක කියවපු අය දන්නවා ඒ කාලේ මගේ හැඩහුරුකම මොන වගේද කියල. යාන්තමට කැරළි ගතියක් තිබුණු දිග කොණ්ඩයක් තිබුණෙ. නමුත් කාලයක් යද්දි කොණ්ඩේ ටික ටික ගැලවිලා ගිහින් මම දැන් තට්ටයෙක්. ඉතාම ඉක්මනින් සිදුවුණු ඒ වෙනස්කම මටත් මුලදි දරාගන්න අමාරු දෙයක් වුණා. ගොඩක් අය තට්ටෙට විසඳුම් හොය හොයා ලත වෙන නිසා මට හිතුණා මගේ අත්දැකීමත් නිගමනයත් මෙතන ලියලා තියන්න.

 

ඔන්න කාලය මැව් වෙනසක අරුමය 😁

පිරිමි අයගේ මේ කොණ්ඩෙ යන තත්වෙට කියන්නෙ "male pattern hair loss" කියල. මේක රෝගයක් නෙමෙයි. සිද්ධ වෙන්නෙ හිස මුදුනේත්, ඉදිරිපස ප්‍රදේශයේත් කෙස් වැවෙන එක ටික ටික නතර වෙලා අවසානයේ හිස පිටුපස සහ දෙපැත්තේ කෙස් ටික විතරක් ඉතුරු වෙන එක. මේ තත්වයට ප්‍රධානතම හේතුවක් තමයි අපේ ශරීර වල නිපදවෙන ඇන්ඩ්රොජන් කාණ්ඩයට අදාළ හෝමෝන (උදාහරණයක්, ටෙස්ටොස්ටරොන්). වෛද්‍යවරයෙකුගෙන් අසා දැනගත් කරුණු අනුව, අපේ ඔළුවේ පිටුපස සහ දෙපස තියෙන හිසකෙස් වලට මේ හෝමෝන වලින් බලපෑමක් නැහැ. මුදුනේ සහ ඉදිරිපස කෙස් ටික යනවා. ඔළුව පිටුපස කෙස් ටික ඉතිරි වෙලා තියෙනවා.

ඉතින් මුලදි මේක මානසික වදයක් වුණු නිසා මම ප්‍රතිකර්ම සොයලා බැලුවා. ඉස්සෙල්ලාම ඒ ගැන අත්දැකීම් කියලා ඉන්නම්.

මීටියාගොඩ පැත්තේ හදන තෙලක් තියෙනවා කේෂමූල තරලය කියල. අවුරුදු ගණනාවකට පෙර මාස හයක පමණ කාලයක් මම ඕක ගෑවා. කිසිම ප්‍රතිපලයක් නෑ. පසුව අන්තර්ජාලය ඔස්සේ මේ තෙල ගැන හොයද්දි කස්ටිය ජාත්‍යන්තරයට තෙල බෙදන්න ගිහින් අහගෙන තිබුණු ආතල් කතා ටිකකුත් හම්බවුණා.

 මෙන්න ලින්ක් ගිහින් කියවා ආතල් එකක් ගන්න. 😂

https://forum.hairsite.com/t/photos-of-hair-by-keshamulatharalaya-for-bald-head/7888/34


https://www.hairsite.com/hair-loss/board_entry-id-82070.html 

 

ආයුර්වේදය ගැන දාහක් පුරාජේරු ගහලා බෙදන මේ තෙල් ජාති අපි ගන්නෙම කල් ඇතුව හිතේ ලොකු ඊනියා විශ්වාසයක් ඇති කරගෙන. ප්‍රතිපල බලන්න කියලා පටන් ගත්තට පටන් ගනිද්දිම අපි biased. සතියක් දෙකක් ගානකොට, ඔළුවේ ඉතිරි වෙලා තියෙන කෙස් ඩිංගිත්තේ ස්වභාවික වර්ධන චක්‍රය කන්ණාඩියෙන් දකින අපි හිතන්නෙ තෙල වැඩ කරලා කියල. නමුත් ආපහු වතාවක් කොණ්ඩේ කෙටියට කපලා හිමීට වැවෙන්න ඉඩ ඇරියම ඇත්ත තත්වේ බලාගන්න පුළුවනි. තෙල් බේත් ගෑවා කියලා වැඩක් වෙන්නෑ.

මේකට තෙල්ගාලා හරියන පාටක් නැති නිසා මම ඊළඟට බටහිර විද්‍යාත්මක ක්‍රම පැත්තට හැරුණා. බම්බලපිටිය පැත්තේ මේ වැඩේට විශේශඥ වෛද්‍යවරයෙක් ඉන්න බව දන්න අඳුනන මාර්ගයකින් දැනගත්ත මම, ඊළඟට ඒ වෛද්‍යවරයාගෙන් බෙහෙත් වට්ටෝරුවක් ගත්තා. ඔහු කිසිවක් කීවේ නෑ. මගේ ඔළුව ඇඟිලි තුඩු වලින් අල්ලලා හරව හරව බැලුවා. කොළයක් අරන් වට්ටෝරුව ලිව්වා. විනාඩි දෙකක ඒ හමුවෙන් පසුව ගෙදර ආවට පසුවයි ඒ බෙහෙත් වට්ටෝරුවේ තිබුණ අවුල පෙනුණෙ. වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකයක් ඒ වට්ටෝරුවේ සඳහන්ව තිබුණෙ නෑ. ඒ නිසා ඒ බෙහෙත් ගන්නට පෙර, යාබද නිවසේ අපේ අසල්වැසි වෛද්‍යවරයාගෙන් ඒ ගැන අහලා කතන්දරේ හරියටම දැනගත්තා.

ඒ බෙහෙත් වලින් කරන්නෙ ශරීරයේ තියෙන පිරිමි හෝමෝන වල ක්‍රියාකාරීත්වය අඩු කිරීම. කොණ්ඩය කෙසේ වෙතත්, ශරීරයේ හෝමෝන වල වෙනස්කම් කෘතිමව සිදු කරන එක එතරම් සුභපල ගේන දෙයක් නොවෙන බව මම එදා දැනගත්තා. යාබද නිවසේ මගේ මිතුරු වෛද්‍යවරයාට පින්සිදුවන්නට මම ඒ බෙහෙත් පෙති එකක්වත් ගත්තෙ නෑ.

මේ අතරේ කොණ්ඩය ඉතාම කොට කට් එකකට (නෝට් එකට වඩා යන්තම් ටිකක් දිගට) කපන්න මම පුරුදු වුණා. ඒ, වෙනස දරාගන්න තියෙන හිතට තියෙන අපහසුව නිසා. ඒ අතරේම කොණ්ඩය යනවාට විසඳුම් අන්තර්ජාලයෙන් ඔස්සේ ටිකක් ගැඹුරට හොයන්න පටන් ගත්තා.

අකලට කෙස් වැටීම 'සුවපත් කරන' වෙළෙන්දෝ අන්තර්ජාලයේ එමටයි. හැම එකකම විස්තර දුරට කියවගෙන යද්දි හොයාගන්න ලැබෙනවා තියෙන රිවීව් එච්චර හොඳ ඒවා නොවෙන බව. ගොඩක් drop shipping වෙබ් අඩවි වල තියෙන ධනාත්මක ප්‍රතිචාරත් ඒ ඒ ආලේපන විකුණන වෙළෙන්දෝම එක එක අන්වර්ථ නම් වලින් ඇවිත් දාගත්ත ඒවා වගෙත් පෙනුණා. ඒ වැඩෙත් අල්ලල දැම්මා.

Scino 5 යන වෙළඳ නාමය යටතේ ලංකාවෙ ෆාමසි වල ගන්න තියෙන Minoxidil 5% ආලේපනය ප්‍රායෝගිකව සාර්ථක විසඳුමක් නොවෙන බව තමයි මගේ අත්දැකීම. ඇන්ඩ්රොජන් වලට බලපෑමක් නැති නිසා මම මාස කීපයක් මේක ඔළුවේ ගාලා බැලුවා. නමුත් ඇති වැඩක් නම් නැහැ.

අවසානයට, කොණ්ඩය හිටවන වැඩේට අත ගහන්න තීරණය කළා. ලංකාවේ ඒ සඳහා තියෙන ප්‍රසිද්ධ ආයතනයකට ගිහින් මගේ අවශ්‍යතාවය ගැන කතා කළාම මම දැනගත්තා රුපියල් 400,000 ඉක්මවන වියදමකින් යුත් transplant දෙකක් කරලා හිස මුදුන යන්තම් වසාගන්න විතරක් පුළුවන් බව. (ඒ කාලේ මගේ තිබුණු මූණෙන් බාගයක් වැහෙන අකීකරු කොණ්ඩේ ආපහු එන්නෑ). මේ සා විශාල මුදලක් වියදම් කරලත් වයස අවුරුදු 19දි තිබුණු පෙනුම ආපහු ගන්න බැරි බව දැනගත්ත මම කොණ්ඩය ගැන හිතන එක අතහැරලා දැම්ම. ගෙදර ඇවිත් ටිකක් වෙලාව අරන් කල්පනා කළාම, ඒ මුදල ප්‍රයෝජනයවත් දෙයක ආයෝජනය කළොත් ඊට වඩා ප්‍රයෝජනයක් තියෙන බවත් මම තේරුම් ගත්ත.

ප්‍රසිද්ධ පුද්ගලයෙකුට (celebrity) කොණ්ඩය හිටවන එකේ ප්‍රයෝජනයක් තියෙනවා කියල හිතන්න පුළුවන්. මිනිස්සු එයාලගෙන් බලාපොරොත්තු වෙන එක දෙයක් පෙනුම නිසා, සමහරවිට එයාලගේ celebrity life එකේ පැවැත්මට කොණ්ඩය අවශ්‍ය වෙනවා ඇති. නමුත් අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ඕකෙන් ලැබෙන දෙයක් නෑ.

තවදුරටත් මම දැනගත් කරුණු අනුව, කොණ්ඩය හිටෙව්වා කියලා ආතල් එකේ ඉන්න ලැබෙන්නෙ නෑ. නිසියාකාරව 'තවාන' පරිස්සම් කරගන්නත් වෙනවා. සමහරවිට මාස කීපයක් යනකම්වත් බෙහෙත් බොන්න වෙයි. ඒ වට්ටෝරුවෙත් අර ඉහතින් කිව්ව ජාතියෙ බෙහෙත් තිබ්බොත්, ලොකු ගානක් වියදම් කළ එකේ බෙහෙතත් බොන්නම වෙනවා. කොහොම හරි හිටවපු කෙස් ටික පරිස්සම් කළා කියමු, තව කාලයක් යද්දි කෙස් සුදු වෙනවා. ඊට වඩා හොඳ නැද්ද තට්ටේ? සරලයි, පහසුයි. අවුරුදු විස්සක් තිහක් ගියත් තියෙන පාටටම දිළිසේවි.

ඔය ඔස්සේ දිගට කල්පනා කරපු මම තීරණාත්මක ප්‍රශ්න දෙක මගෙන්ම අසාගෙන පිළිතුරු සොයන්න පටන්ගත්තා.

ශරීරයේ සිද්ධ වෙන ස්වභාවික වෙනස් වීම් නවත්තන්න අපි උත්සාහ කරන්නෙ ඇයි?

ඒ ඒ වෙනස් වීම්, ලැබෙන විධියට භාරගන්න අපි අකමැති ඇයි?


වටහා ගත් සත්‍යයට අනුව, මගේ අවසාන නිගමනය මෙන්න මෙහෙම සාරාංශගත කරන්න පුළුවනි.

  1. අපේ සමාජයේ "කඩවසම් පෙනුම"ට අදාළ සාම්ප්‍රදායික නිර්ණායකයක් තමයි කොණ්ඩ මෝස්තරය. ඉතින් අපි ඒ සම්ප්‍රදායිකව හිතන ක්‍රමේට ෂොට් එක දෙන්න ඕනා. මම කළේ සරල දෙයක්. කොණ්ඩය යාම හංගන්න ඉතාම කොටට කොණ්ඩය කපනවා වෙනුවට 100% බූගාලා ආත්ම විශ්වාසයකින් යුතුව ඉස්සරහට ආවා. කොණ්ඩෙ නැති එකට මට පොඩි පොඩි හින්ට් දීපු ගතානුගතික අයට එතනින් එහාට කට උත්තර නැති වුණා. "ඔව්, මම තට්ටයෙක් තමයි!"
  2. කොණ්ඩය නැති අය ආකර්ෂණීය නෑ/ ඒක වයස්ගතවීමේ ලක්ෂණයක් වගේ වැල්බයිලා සෝෂල් මීඩියා අස්සේ ප්‍රතිරාවය කරනවා විවිධ මාකටිං කැම්පේන් වල අය. (මනුස්සයෙක් සිත්තැවුලෙන් ඉන්නකොට දේකට පොළඹවන්න හරි ලේසියි). ඉතින් මේ අයත් එක්කෝ තෙල්බේත් වෙළෙන්දෝ. නැත්තම් අර වගේ කොණ්ඩේ හිටවන ප්‍රතිකර්ම කරන ආයතන. ඔය මාකටිං කැම්පේන් කරන අවස්ථාවාදීන්ට අහු වෙන්න එපා. කෙස් වැටීම ලෙඩක් නෙමෙයි. කෙස් වැටුණා කියල තරුණ පෙනුම නැති වෙන්නෙත් නෑ.
    • වෙළඳ දැන්වීම් වලට අවධානය යොමු කිරීම නැවැත්වීමත්, ප්‍රතිපල ගැන හොඳ කියමින් එකම කණ්ඩායමේ අය වෙනස් පුද්ගලයින් වශයෙන් පෙනී සිටිමින් දමනවා යයි සැක සිතිය හැකි කමෙන්ට් කියවීම නැවැත්වීමත් මානසිකව ලොකු සහනයක් වුණා.
    • GTA San Andreas ගේම් එකේ parody ඇඩ් එකකුත් තියෙනවා මේ ගැන. Sarcasm දන්නවා නම් එය තේරුම් ගන්න පුළුවන් වේවි. - [Castradon parody radio commercial in GTA
    • තට්ටයින්ට ස්ත්‍රී පාර්ශවයේ ආකර්ෂණය ලැබෙන්නෙ නෑ කියන එකත් මිථ්‍යාවක් පමණයි. හැම ස්ත්‍රී පරාණයටම personal choices තියෙනවා. තට්ටයේ තියෙන masculine badass ලුක් එකට කැමති ස්ත්‍රී පරාණ ඉන්නවා. එහෙම නැති අයත් ඉන්නවා. 😁 
  3.  අනිත්‍යය කියන දේ වෙනස් කරන්න බැරි බවත් අපි තේරුම් ගන්න ඕනි. 


කාලයක් ගිහින් අවබෝධ කරගත්ත ඔය කාරණා වලින් පස්සේ මම යන්තම් වැවෙන කෙස් ඩිංගත් මුළුමනින්ම කපල දැම්ම. ලස්සනට දිළිසෙනව. දැන් මම යුරෝපයේ ජීවත් වෙන නිසා මට ඕනේ නම් තුර්කියට ගිහින් ලාබෙට ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරගෙන එන එක සුළු දෙයක්. නමුත්, මම මගේ අළුත් පෙනුමට කැමතියි. තට්ටය මගේ අනන්‍යතාවය විදියට මම 100% පිළිගෙන ඉවරයි. හිතුණොත් ලේසර් කරලා ඉතිරි කෙස් ඩිංගිත්තත් ගලවලා දානවා. 😀

 

Photo courtesy: Thivanka Ilanperuma

ඉතින් අවසානයට: 'අකලට' කෙස් වැටීම නිසා සිත් තැවුලෙන් ඉන්න සුවහසක් තට්ටයින් වෙනුවෙන් මට කියන්න තියෙන්නේ,

ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරියට යන්න, ජීවිතේ විඳින්න, දිනන්න තට්ටය බාධාවක් කරගන්න එපා. නොලැබෙන දේ අතහැරලා, ලැබිලා තියෙන දෙයින් සතුටු වීම තමයි තට්ට හිසට හොඳම පිළියම.

හැම තට්ටයාම තට්ටේ හංගන්න උත්සාහ නොකර මෙහෙම හිතනවා නම් තට්ටය බොහොම ඉක්මනට සමාජයේ සාමාන්‍ය දෙයක් වේවි.


දශකයකටත් වඩා දිග කතාවක සාරාංශය මෙසේ සමාප්තයි෴


10 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. පිස්සු පූසා... කාලෙකට පස්සෙ...

    ReplyDelete
  3. ඔබ නැවතත් ලිවීම පිළිබඳව අපගේ බලවත් සතුට! පසුගිය වසරක පමණ කාලයක සිට ඔබ ලිවීමෙන් බැහැරව සිටි හෙයින් ඔබගේ මේ අනර්ඝ බ්ලොගය රඳවා තිබුනේ "පුරා වස්තු" කොලමේය.මේවන විට ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" කොලමේ පල කොට ඇත.
    අපගේ සින්ඩිය දැනට අපරටේ පවතින විශාලතම සින්ඩියයි.
    බ්ලොග් අඩවි 1150 කට පහසුවෙන් පිවිසිය හැකි පිය ගැඨ පෙලක ඇරඹුම අපගේ සින්ඩියයි.
    අපගේ සින්ඩියට ප්‍රචාරණයක් ලබා දීමට ඔබ කටයුතු කරණ්නේ නම් එය ඉමහත් අගේ කොට සලකන්නෙමු. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි!
      සඳකඩපහණත් එක්ක ගොඩක් පරණ බ්ලොග් ලියන්නෝ පවා ඉන්නවා මම දැක්කා. :)

      Delete
  4. අනිත් යටත් ධෛර්යමත් වෙන්න හොඳ පොස්ටුවක්...

    ReplyDelete
    Replies
    1. ඒ නිසා තමයි මේක ලිව්වෙ.
      ‌බොහෝම ස්තුතියි ඔබේ අදහසට. :)

      Delete
  5. බල බලා හිටපු ලිපියක් :-D , කොණ්ඩෙට මොකද වුනේ ? මේකේ motivational දේවල් ටික කියවලා කෙනෙකුට ගොඩයන්න පුළුවන් . මගෙත් shampoo වර්ගයක් නිසා 2011 අවුරුද්දේ ඉස්සරහා කොණ්ඩය ගියා . ඒත් තවමත් ආරෙන් එන (ජාන ලක්ෂණ වලින්) කොණ්ඩය යෑම ගැන දන්න නිසා කිසිම අවුලක් නැතිව ඉන්නවා . අලුත් රටේ විස්තරත් අලුත් ලිපියක බලාපොරොත්තු වෙනවා . ජය !

    ReplyDelete
    Replies
    1. අළුත් රටේ විස්තරත් ලියන්නම් වෙලාවක! :)

      Delete
  6. එන්න එපා ඕවට විතරක්!

    ReplyDelete
  7. හොද ලිපියක් වෙනස්ව හිතන්න.. ��

    ReplyDelete

Facebook ප්‍රතිචාර