ශාකුන්තල ගියානේ දවස් තුනක පොඩි විනෝද චාරිකාවක්. පොඩි කිව්වට පොඩිත් නෑ... මේක පවුලේ උදවියයි නෑදෑ පිරිවරයි එක්ක ගිය බොහොම දුර ගමනක්. දුරයි කිව්වෙ බොහොම දිග වටවන්දනාවක්! ;)
මේ බ්ලොග් සටහනේ මම ඇසු දුටු විවිධත්වයකින් යුත් බොහෝ දේවල් විස්තර කරල තියෙනවා... ඉස්සරහට ඔහොමම කියවගෙන යන්න.... මේක අපේ රටේ සුන්දර තැන් බලන්න ගිය ගමනක saga එකක් කිව්වොත් වැරැද්දක් නැහැ. :)
පිටත් වුණේ අගෝස්තු 30 පාන්දර 5.30 ට අම්බලන්ගොඩින්. ගිහින් එනකොට හරියටම සැප්තැම්බර් 2 පාන්දර 1.00 යි. මෙහෙමයි ගමන් මාර්ගය.......... අම්බලන්ගොඩ - මොරටුව - කොට්ටාව - හංවැල්ල - පූගොඩ - අත්තනගල්ල - පස්යාල -
දඹුල්ල - මින්නේරිය -
රොටවැව - රත්මලේ හරහා
මැදිරිගිරිය -
රොටවැව හරහා ගල්ඔය හන්දිය - ත්‍රිකුණාමලය -
උප්පුවේලි -
නිලාවේලි වෙරළ -
කින්නියා - හොරොව්පතාන -
මිහින්තලේ -
අනුරාධපුර - තලාව - තඹුත්තේගම - ගල්ගමුව - දළදාගම - පාදෙණිය - වාරියපොළ -
කුරුණෑගල - කඩවත - කැළණිය - කොළඹ - කොට්ටාව - මොරටුව - අම්බලන්ගොඩ. අනුරාධපුර - පාදෙණිය අතර ගමන් මාර්ගය (A28) හිතාගෙන හිටියට වඩා බොහොම හොඳයි. ඔය තද කළු අකුරින් තියෙන්නෙ ගමනේදී නැවතුණු තැන්. ගොඩක් දේ දැක බලා ගන්න පුළුවන් වුණා. දශක දෙකකින් නොදුටු නෑදෑ පිරිවර දැක බලා හඳුනාගන්නත්, මගේ ළදරු කාලය ගෙවුණු මැදිරිගිරිය නගරය නැවත දැක බලා ගන්න ලැබීමත් මට බොහොම වැදගත් සිද්ධි වුණා.
ඒ වගේම මේ ගමන මගේ අළුත්ම විනෝදාංශයත් ස්වයං අධ්‍යයනයත් වෙලා තියෙන ඡායාරූපකරණයේ යෙදෙන්න හොඳ අවස්ථාවක් වුණා. හොඳ කලාත්මක ඡායාරූප ටිකක් ගන්න උත්සාහ කළා. ළඟදිම මගේ
Flickr සේයාරූ දහරට ඒ පිංතූර ටිකත් එකතු කරනවා. පිංතූර ගත්තේ මගේ Sony Ericsson K770i ජංගම දුරකථන කැමරාවෙන්.
මුල්ම දවසේ ගියා රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරය බලන්න. බොහොම මනරම් පරිසරයක්... වචන වලට වඩා පිංතූර බලගතුයි කියනවනේ.... ඒ නිසා පිංතූරත් එක්කම දාන්නම් ගමන් විස්තරේ.
රංගිරි දඹුලු රජමහා විහාරය
මෙයාල හිටියේ ලෙන් විහාරයට යන්න තිබුණු මංපෙතේ...
දඹුලු විහාරයෙන් පිටත් වෙලා අපේ සැලසුමට අනුව ගිහින් අපි ඊළඟට නතර වුණේ මින්නේරියෙ රොටවැව කියන දුෂ්කර ගම්මානයේ. බොහොම ලස්සන පරිසරයක්. එහේ පදිංචි වෙලා ඉන්න මගේ මව් පාර්ශ්වයේ නෑදෑයින් හමු වෙලා අවුරුදු ගණනාවක දේවල් කතා බහ කරගත්තා... ඒත් ඒ අය එක්ක ගත කරන්න ලැබුණු ඒ සුළු කාලය මදි කියලයි හිතෙන්නේ... :(
ඒ ගෙදරට යන්න තියෙන්නෙ බොහොම දුෂ්කර වැලි පාරක. ගේ ළඟින්ම තියෙනවා අලිවැට. අලිවැට කියන්නෙ අලින්ගෙන් බේරෙන්න විදුලි රැහැන් යොදල සකස් කළ වැට. ඒ පැත්තෙ දියපාරවල් නම් බොහොමයක් ම මේ දවස් වල හිඳිලා. අපි යද්දි ඒ ගෙදර වහලේ දඬුවැල් මැස්සො වදයක් බැඳල. දඬුවැල් මැස්සා කියන්නෙත් පොඩි මී මැසි වර්ගයක්. අපි ආව නිසා පැණි ගන්න මී වදය කඩල තිබුණා. මේ මැස්සන්ගෙ පැණි වල රසයයි සුවඳයි ඒ වදය බඳින කාලෙට පිපෙන මල් වර්ගය අනුව වෙනස් වෙනවලු. මමත් ඉතිං නිකං ඉන්න බැරි කමට පැණි ටිකට වැඩේ දුන්න එක වෙනම කතාවක්. ;)
රොටවැව මී පැණි :P
ඊළඟට ගියේ මැදිරිගිරියට... මගේ ජීවිතේ වැදගත්ම තැනකට..... හරියටම අවුරුදු 20කට පසුව...! මගේ තාත්තගෙ ජීවිතේ හොඳම කාලය ගෙවිල තියෙන්නෙ මැදිරිගිරියෙ. මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙක් විධියට තාත්තා උගන්වන කාලේ අපි ජීවත් වුණේ විද්‍යාල භූමියේම දකුණු පැත්තෙ තියෙන ගුරු නිවාසයක. හරියටම තැන කිව්වොත් දකුණු පැත්තේ ගේට්ටුවෙන් ඇතුළට ගියාම දකුණු අත පැත්තෙ දකින්න ලැබෙන පළවෙනි ගෙදර. ළදරු අවධියේ පරණ දේවල් වුණත් සමහර ඒවා මට හොඳට මතක තියෙනවා... ගේ ඉස්සරහම තියෙන අඹ ගහ, ගුරු පාර පාසල් ක්‍රීඩා පිටිය මට හොඳට මතකයි. ම්ම්ම්.... මැදිරිගිරියේ කතා වලින් නම් පොතක් පුරවන්න පුළුවන්. ඒ ගැන ඊළඟ බ්ලොග් සටහනක ලියන්නම්. :)
මෙන්න ශාකුන්තල හැදුණු වැඩුණු තැන අද - මේ ගමනේ මට සුවිශේෂීම දේ - මේ ගැන හිතට එන දේ ලියන්න වචන නෑ මට! :-|
තාත්තත් එක්ක මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ එකට රාජකාරි කළ සමකාලීන ගුරුවරු කීප දෙනෙකුත් හමු වුණා.... මගේ ළදරු කාලය ගත වුණේ ඒ අයත් එක්ක..... බොහෝම උණුසුම් පිළිගැනීමක්....!
"ආනේ... බි** කොහොමද පුතේ.........? ඔයාට මතකද අපිව....?"
(බි** = ඒ දවස් වල මගේ සූර තල් නම) :P
අවුරුදු 20ක්......! මොන තරම් දේවල් සිද්ධ වෙන්න ඇත්ද.......?
මේ ලස්සන මල් තියෙන්නෙ මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාල භූමියේ -- කවුද කියන්නෙ පේරාදෙණියෙ විතරයි කියල ලස්සන මල් තියෙන්නෙ? :P
එදා රෑ නතර වුණේ කවුඩුල්ලේ අපේ නෑදෑ ගෙදරක. ඒ නෑදෑයනුත් අපි බොහෝම කලකින් දැකල නැහැ. ඉතින් අපී හැම දෙනාටම මාර හැපී. රෑ කවුඩුලු වැවේ නාන්න ගියා... මූදෙ නානව වගේ... මාර සනීපයි ඇඟට ;) මං ඉතිං වතුරට බහින්න බයයි නොවැ.... ඒ නිසා සිරිත් පරිදිම ගොඩ පිහිනීම ප්‍රගුණ කළා හොඳට. :D
හිතින් මවා ගන්න මෙන්න මෙහෙම.... සප්ත මහා සාගරේ වගේ වතුර තියෙනවා..... සීතල වතුර..... රළ ගහනවා...... වැව් ඉවුරේ බොරළු වගේ වැල්ල.... ලස්සනට හඳ පායලා තියෙනවා.... වැව් දියට යට වුණු ගස් කීපයක කඳන් විතරක් වැව් දියෙන් ඉහළට මතු වෙලා හෙවනැළි වගේ පේනවා..... බොහොම සැරට සීතල සුළං හමනවා..... හිතින් මවාගන්න උත්සාහ කර බලන්න ඒ අපූරු පරිසරය...
නාලා ආපහු ඇවිත් පොඩි සොමියක් දාලා හොඳට කාලා නිදා ගත්තා. ආවේ වැව් බැම්ම දිගේ තියෙන කැලෑ පාරෙන්. වල් අලි බලන්නත් එක්ක. ඒත් කරුමේ කියන්නෙ එක කාලකන්ණි අලියෙක්වත් ආවෙ නෑනෙ එළියට පොඩි ෂෝ පාරක්වත් දාල යන්න! :-| හැබැයි හාවෝ නං හිටියා.... එහෙට මෙහෙට පැන පැන.... උන් වාහනේ සද්දෙට බය වෙලා කැලෑව ඇතුළට දුවනවා.
මින්නේරියේ, කවුඩුල්ලේ අපේ ඥාතීන්ගෙන් ලැබුණු නියම ගැමි සත්කාරය මට ජීවිතේට අමතක වෙන්නෙ නැහැ.
පළවෙනි දවස ගත වුණේ ඔන්න ඔහොම... දෙවෙනි දවසේ අපි මැදිරිගිරිය වටදාගෙය බලලා ඊළඟට පිටත් වුණේ ත්‍රිකුණාමලයට.
මැදිරිගිරිය වටදාගෙය
ත්‍රිකුණාමලයේ බලන්න දේවල් බොහොමයි.
කෝනේස්වරම්, නිලාවේලි, කින්නියා.... අපි ත්‍රිකුණාමලයට එද්දි හවස් වුණා. මුලින්ම ගියේ කෝනේස්වරම් හින්දු පුදබිම බලන්න.
මේ panorama එක ගත්තේ කෝනේස්වරම් හින්දු පුදබිමේදී. වම් පැත්තේ පොඩි තිත් වගේ පේන්නෙ ධීවර බෝට්ටු. පිංතූරෙ ක්ලික් කරල පැහැදිළිව බලන්න පුළුවන්.
මේකත් ගත්තේ කෝනේස්වරම් වලදී. ඔය ඈත හීනියට පේන ගොඩබිම මොකක්ද කියල දන්නවද? ඒ තමයි සාම්පූර්!
මෙයාගෙ ළඟටම ගිහින් පිංතූරෙ ගත්තේ -- කෝනේස්වරම් වල ජීවත් වෙන මුවෙක්
නිලාවේලි යද්දි රෑ වුණු නිසා නිලාවේලි මූදෙ නාන අදහස අත්හැරගන්න වුණා. :( :( :( දෙවෙනි දවසේ රෑ නතර වුණේ උප්පුවේලියේ තියෙන guest house එකක. එහෙ ඉඳලා තුන්වෙනි දවසේ අපේ ඉලක්කය වුණේ අනුරාධපුර. ඉතින් උදේ ඉඳලා ගමනේ..... :)
අපි ආපු ගමන් මාර්ගය මීට කලකට ඉහතදී LTTE පාලන ප්‍රදේශයක්. තවමත් දෙපා කොටින්ගේ විසිරුණු පොඩි පොඩි කණ්ඩායම් සැරිසරනව
ලු. සතෙකුගේ බෙල්ල කපලා වෙන් කළාම ඉතිරි අඬු පඬු ටික ටිකක් වෙලා යනකම් ඉබාගාතේ දඟලනවනේ... අන්න ඒ වගේ තමයි ඔය පොඩි කණ්ඩායම් සීන් එකත්... ටික දවසකින් ඉවරයි :D .
ඒ පැත්තේ හමුදා ආරක්ෂාව තර කරල තිබුණා... අපටත් කීප වතාවක්ම පරීක්ෂාවන්ට ලක් වෙන්න සිද්ධ වුණා. උදේට හමුදාවෙන් යනවා වෙල් යායවල් වල කොටි වළලපු බිම් බෝම්බ හොයන්න.... මම එහෙම අනුමාන කළේ හමුදා භටයින්ගෙ අතේ තිබුණු බෝම්බ සෙවීමේ උපකරණ නිසා. :-O මේක මම මෙතන බොහොම සැහැල්ලුවෙන් ලිව්වට මොකද ඒ අය තමන්ගෙ ජීවිතත් පරදුවට තියල කරන්නෙ බොහොම අමාරු බරපතල රාජකාරියක්. :-O
සමහර වෙල් යායවල් මැද්දෙ එකිනෙකට බොහොම දුරස්ව පොඩි පොඩි ගෙවල් තියෙනවා... අළුතින් ඉඩම් කට්ටි වෙන් කරල දෙනව වගේ. මේ පැත්තෙ වතුර නෑ.... නියං කාලය. ඉඳ හිට දකින්න ලැබෙන ගරාවැටුණු ගොඩනැගිල්ලක් තිබුණොත් ඒකෙ බිත්ති වල වෙඩි උණ්ඩ වලට හිල් වුණු සලකුණුත් දකින්න පුළුවන්. :-O බොහොම දරුණුවට ගේම් එක ගිහින් වගේ මෙහෙ!
ඔහොම ඔහොම අපි හොරොව්පතාන හරහා අනුරාධපුරයටත් ආවා... එන ගමනෙදිත් පිංතූර ගන්න වැඩේ නම් අමතක කළේ නෑ.
දිය සිඳුණු වැවක් -- තැන නම් මතක නෑ
මේ හොරොව්පතානේ කුඹුරක් -- මේ පිංතූරය ගන්න වෙලාවෙ අපේ වාහනය සැලකිය යුතු වේගයකින් ඉදිරියට ඇදෙමින් තිබුණු නිසා exposure time අඩු වෙන විධියට කැමරාව සකසල තමයි ගත්තෙ... ඒ ක්‍රමයට ගත්ත තවත් පිංතූර ගොඩක් තියෙනවා
අපේ ඊළඟ නැරඹුම් ස්ථානය වුණේ මිහින්තලය.... මෙන්න ඇතුළු වෙන තැනම තියෙනවා පිංතූර ගන්න එපාලු! :-O ...
පිංතූර ගන්න එපා? ඒ වුණාට මම ගත්තනෙ! :D
මේක මෙතන තිබුණට මොකද තවත් තැන් තැන් වල ඔය පිටුපසින් තියෙන බෝඩ් එක වගේ බෝඩ් කීපයකම ගහලා තිබුණා ප්‍රතිමා වලට අපහාස වෙන ආකාරයට ඡායාරූප ගැනීම තහනම් කියලා... ඒ කියන්නේ එහෙම නොවෙන්න පිංතූර ගන්න පුළුවන්නේ..... නැද්ද මං අහන්නෙ? ;) එකක් විතරක් නෙමෙයි කීපයක්ම තිබුණා... මේ වගේ බෝඩ් තිබුණේ මේකම විතරයි. මේක මේ සමහන් කාරයගෙ ඇඩ් කෑල්ලක්ද කොහෙද.... මං ගන්නව ෆොටෝ.... මොකද විකුණල මට සල්ලි හොයන්නවත් අපහාස කරන්නවත් නෙමෙයිනෙ....
මේ මිහින්තලේ ඉහළට නැගලා ගත්ත panorama එකක්
මේ පරිසරය කෙතරම් රමණීයද...
මිහින්තලයෙන් පිටත් වෙලා නොබෝ වෙලාවකින් අපි අනුරාධපුරයටත් ආවා.... මෙහෙ නොවැ බලන්න දේවල් තියෙන්නේ.... :)
ජේතවනාරාමය
මෙයා නං හරිම කුළෑටි පෙනුමයි - බෞද්ධ පුදබිමක මේ වගේ සතුන්ට හිංසා කරන්න ඉඩ දෙන එක වැරදියි කියල තමයි මට නම් හිතෙන්නේ....
දිය සිඳුණු කූට්ටම් පොකුණ
අනුරාධපුර රාජධානිය තිබුණු කාලේ මේවා කොහොම තේජසකින් තියෙන්න ඇත්ද........?
අනුරාධපුරදී ගත්ත පිංතූර තමයි වැඩියෙන්ම තියෙන්නෙ... නමුත් මෙතන දැම්මොත් මේ පිටුව load වෙනකං හැට පැයක් බලාගෙන ඉන්න වෙනවා... ඒ නිසා ළඟදිම
Flickr දාන්නම්.
අනුරාධපුර ගමනෙන් අපේ චාරිකාව ඉවරයි. ඊට පස්සෙ ඉතිං බැක් ටු හෝම් තමයි. බොහොම වටින කියන තැන් ගොඩක් බලා කියා ගත්තා... ඇත්තෙන්ම කිව්වොත් මේ IT කෙරුවාව අතඇරල දාල සදහටම රොටවැව නතර වෙන්න හිතෙන තරමට අපූරු මනස්කාන්ත පරිසරයක් තිබුණා. ඒ පරිසරය දාල එන්න දුකයි.... අවුරුදු 20කට කලින් මැදිරිගිරිය අතහැර දාල තාත්ත ආපහු උපන් ගමට ආවෙ කොහොමද කියල හිතාගන්නත් අමාරුයි.... ඇත්තෙන්ම කිව්වොත් පහුගිය අවුරුදු 20 පුරාවටම තාත්ත මනසින් ජීවත් වෙලා තියෙන්නෙ මැදිරිගිරියෙ. දේවල් මෙහෙම සිද්ධ වෙන්නත් හේතු තියෙනවා...... ඒ ගැන ඊළඟ බ්ලොග් සටහනේ ලියනවා..... කාට හරි පොලිටිකල් කණේ පාරක් වදින්නත් ඉඩ තියෙනවා ඒකෙන්.
බ්ලොග් ලිවිල්ලෙන් මම නිරාවරණය වුණා.... ඒත් නිරාවරණය නොකර තියාගන්න මම උත්සාහ කරන මගේ එක ගතිගුණයක් තියෙනවා... ඒ තමයි සංවේදීත්වය. හැබැයි මේ බ්ලොග් පෝස්ට් එකෙන් මටත් නොදැනීම ඒ සංවේදීත්වය ටිකක් නිරාවරණය වෙලා වගේ දැනෙනවා..... මම ඒකට අකැමැති වුණත්.
උපන් ගමටත් වඩා ආදරය කරන මැදිරිගිරියේ ජීවිතය ගැන මගේ ඊළඟ බ්ලොග් සටහනක් ලියැවෙනකම් අදට ආයිබෝං.......!
෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴