Saturday, December 14, 2024

නෙදර්ලන්ත රසකතා (පැරසිටමෝල්)

 මම නෙදර්ලන්තයට සංක්‍රමණය වෙච්ච මුල් දවස් වල නෙදර්ලන්ත භාෂාව (ලන්දේසි භාෂාව) ගැන මේලෝක දැනීමක් තිබුණෙ නැහැ. ඒ විතරක් නෙමෙයි, සමහර දේවල් වලදි ලංකාවට වඩා මෙහේ වෙනස් කියන එකත් එච්චර ඔළුවට වැදිල තිබුණෙ නැහැ. මුල් දවස් වල සීත කාලෙට ඔය කිව්ව දැනීමක් නැති ගතිය එනව.



ඉතින් මේ පුංචි කතන්දරේ ඔය කාලෙ වෙච්ච එකක්. දවසක් උදෙන්ම වැඩට යන ගමන් පොඩි ඔළුව කැක්කුමක් ආපු නිසා කෝච්චියෙන් බැහැපු ගමන්ම ස්ටේෂන් එකේ තිබුණු පොඩි බෙහෙත් සාප්පුවට ගියේ පැරසිටමෝල් පැකට් එකක් ගන්න. ලංකාවට වඩා මෙහේ බෙහෙත් සාප්පු වෙනස්. මේවා ෆාමසි නෙමේ, නමුත් වෛද්‍ය නිර්දේශයක් නැතුව ගන්න අවසර තියෙන සුළු බෙහෙත් වර්ග මේ බෙහෙත් සාප්පු වලින් ගන්න පුළුවන්. පොඩි සුපර්මාකට් එකක් වගෙම තමයි, නමුත් ගොඩක්ම තියෙන්නෙ වේදනා නාශකයි ප්‍රථමාධාර කට්ටලයි වගේ දේවල්.


පැරසිටමෝල් කිව්වාමත් මෙහේ ජාති ගොඩයි. හපලා කන්න පුළුවන් ඒවා, දිගටි හැඩේ ඒවා (පැනඩෝල් වගේ), රවුම් ඒවා, බොන බෙහෙත්, දියර පැරසිටමෝල් පෙති ඇතුළුව මේ කතාවට හේතු වෙච්චි තවත් එක වර්ගයක් තිබුණා. ඒ වගේම, වෙළඳ නම් ගොඩකිනුත් පැරසිටමෝල් මාකට් එකට එනවා.


මට ඉතිං ඉක්මනට වැඩට යන්න ඕනි නිසා අතට අහුවෙච්ච එකක් අරන් සෙල්ෆ් චෙකවුට් එකෙන් සල්ලි ගෙවලා චිල් එකේ පැරසිටමෝල් පැකට් එකත් උඩ දම දම විසිල් පාරකුත් ගහගෙන එහෙම වැඩට ගියා. පුටුවෙ හරිබරි ගැහිලා පැරසිටමෝල් පැකට් එක අතට අරන් හොඳට බැලුවාම තමයි වැඩේ තේරුණේ. චූටිම චූටි ටෝපිඩෝ එකක් වගෙ පින්තූරයක් එක්ක "5 zetpillen"  කියල පැකට් එකේ ගහල තිබුණ. මේක අපේ පැනඩෝල් පෙත්තට වඩා වෙනස් ලුක් එකක් නිසා නිකමට ට්‍රාන්ස්ලේටර් එකට දාල බැලුව zetpil/zetpillen කියන්නෙ මොකක්ද කියල. මේ මොකක්ද කියල තක්බීර්  වෙච්චි මම අනිත් පැත්තෙ තිබ්බ  "පාවිච්චියට උපදෙස්"  ටිකත් ට්‍රාන්ස්ලේටර් එකටම දාල බැලුවාම තමා කරපු මෝඩකම තේරුණේ.


Image courtesy: etos.nl


බිලත් එක්ක ඒක අරන් ආපහු බෙහෙත් සාප්පුවට ආපහු දුවලා හරි පැරසිටමෝල් එකට ඒක මාරු කරගන්න පුළුවන් වුණා, ලැජ්ජාව පැත්තක දාල ඇත්ත කතන්දරේ පැහැදිලි කරල දීල. උඩ දම දම අරන් ආපු එක ආපහු අරන් යනකොට ගියේ ට්‍රෙන්ච් කෝට් එකේ සාක්කුවෙ දාන්. ලංකාවෙත් ඕවා තියෙනවා, ඒත් පැනඩෝල් නමින් තියෙනවද දන්නෙ නෑ. මම දන්න තරමින් ලංකාවෙ සුපර්මාකට් වල ඕවා ගන්න නෑ. ෆාමසි වලින් විතරයි ගන්න පුළුවන්, ඒකත් ඉල්ලලා ගන්න ඕනි බෙහෙත් එක තියෙන්නෙ ෆ්‍රිජ් එකේ නිසා. ලංකාවෙ තියෙන රස්නෙත් එක්ක බෙහෙත ඉක්මනට නාස්ති වෙලා යනවා. නමුත් නෙදර්ලන්තය සීතල රටක් නිසා සුපර්මාකට් එකේ රාක්කෙ උඩ නිකං තියල තියෙන එක අවුලක් නෑ වගේ.


නුපුරුදු රටකට යනවා නම් අපේ වටපිටාවල් ගැන අපි ලංකාවෙ ඉන්නකොට තිබුණු අවධානයට වඩා ලොකු අවධානයක් දෙන්න වෙනවා. පිටරට ජීවිතේ පුරුදු වෙනකම්ම අවුරුද්දක්, දෙකක් යනකම් ඉඳහිට ඔය වගේ ආතල් එකක් සෙට් වෙනව.  


අද වෙනකොට මට ලන්දේසි භාෂාවෙන් හොඳට ලියන්න, කතා කරන්න පුළුවන්. අවුරුදු හයකට කලින් මෙහෙට ආපු දවස් වල වෙච්ච ඔය වගේ පොඩි පොඩි ආතල් සිද්ධිත් මතක් වෙන අතරේ ස්ථිර පදිංචිකාරයෙක් විදියට බොහොම නිදහසේ මම ජීවිතේ විඳිනවා. කතාව අල්ලලා යනවනං කියන්න. ඔය වගේ තව පොඩි පොඩි කතන්දර තියේ.


3 comments:

Facebook ප්‍රතිචාර