Showing posts with label Windows. Show all posts
Showing posts with label Windows. Show all posts

Tuesday, April 6, 2010

එන්න, නිදහස අත්විඳින්න මා සමඟ...

ආයුබෝ...! ආයෙමත්, ටික දවසකට පස්සේ ඔන්න ආවා බ්ලොග් එක පැත්තේ. මේ ලියමන තාක්ෂණය සම්බන්ධ එකක් වුණාට මේක කියවන්න ගීක්ලා වෙන්නම ඕනෙ නෑ. :-) මේ ලිපියේ කොටස් දෙකයි... පූර්වභාගය මගේ අත්දැකීම්... අපර භාගය සමාජයට පොඩි පණිවුඩයක්.

මම සම්පූර්ණයෙන්ම ලිනක්ස් වලට මාරු වෙලා දැන් මාස දහයකටත් කිට්ටුයි. මේ කාලය ඇතුළත මම අළුතෙන් බොහොමයක් දේවල් ඉගෙනගත්තා. “වෙනස් වීම” – බැරැක් ඔබාමා දිනවූ වචනය – ක්‍රියාවට නංවන එක අමාරු කාරියක්. නමුත් ස්වයංව වෙනසට ලක්වීමේදී තමයි අභියෝග වලට මුහුණදීම ගැන හොඳ ප්‍රායෝගික පුහුණුවක් ලැබෙන්නෙත්. මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙලා දෛනික පරිගණක කටයුතු කරගැනීම අමාරුයි නේද කියන එක බොහෝ දෙනා මගෙන් අසා තිබුණු ප්‍රශ්නයක්. මගේ උත්තරය, මුල් කාලේ නම් ටිකක් ඔව්, ඒත් දැන් නම් එහෙම නෑ කියන එක. සමස්තයක් වශයෙන්, ලිනක්ස් වල වැඩ කිරීම කොහොමටත් අමාරු කාරියක් නෙවෙයි. වෙනසට ලක් වීම අමාරුයි. ඒත් වෙනසට ලක් වුණාට පසුව අනුගමනය කළ යුතු සාමාන්‍ය පිළිවෙත් සහ රටාවන් (practices) වලට හුරු වුණාම, මුලින් හිටපු තත්වයට වඩා පහසු බවක් දැනෙන්නේ.

මම දෛනිකව පාවිච්චි කරන මෘදුකාංග ගැන සඳහනක් මීට කලකට ඉහතදි පළ කළා. ඇත්තෙන්ම මේ ලැයිස්තුව දැන් යල් පැනලා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් එක්ක මගේ තිබුණු බැමි කීපයක්ම දැන් බිඳිලා ගිහින්. ලිනක්ස් වලට මාරු වුණු මුල් කාලේ යම් යම් අවශ්‍යතා සඳහා ඉඳහිට වින්ඩෝස් පාවිච්චි කරන්න අවශ්‍ය වුණා. පරිගණකය ප්‍රතිපණගන්වන්න කම්මැලි නිසා මේකට පාව්චිචි කළේ Sun VirtualBox මත Windows XP. නමුත් පහුගිය කාලය ඇතුළත, වින්ඩෝස් නැතිවම බැරි වෙලා තිබුණු මේ සමහර අවශ්‍යතාවන් වලට සාර්ථක නිදහස් හා විවෘත ආදේශක විසඳුම් කීපයක්ම අන්තර්ජාලය ඔස්සේ සොයාගන්න මට හැකි වුණා. ඒ සියළුම මෘදුකාංග/ විසඳුම් සඳහා දායක වූවන්ට මගේ හෘදයාංගම ස්තුතිය හා ප්‍රණාමය පිරිනැමෙනවා.

දැන්, මගේ VirtualBox එක ඇතුලේ තියෙන්නෙ Windows 7. ඒත්... මට දැන් ඒක ක්‍රියාත්මක කරන්නත් කම්මැලියි. හිතාගන්න පුළුවන්ද ලිනක්ස් වල භාවිතයේ පහසුව හා ඇබ්බැහි වීම...? මම මේ මෑතකදි එකම එක වැඩකට මම Windows 7 පාවිච්චි කළා. ඒ OpenOffice.org වින්ඩෝස් සඳහා වන නිකුතුවේ සිංහල අතුරුමුහුණත පරීක්ෂා කරන්න. (ඒකට ඉතිං වින්ඩෝස් නැතුව වෙන මොකක් පාවිච්චි කරන්නද? :P )

මම සෙල්ලම් කර කර හිටපු කාලේ මාර්තු දෙවැනිදායින් අවසාන වුණු බව දන්නව ඇතිනේ... දැන් මම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආධුනිකයෙක්... හඃ හඃ..! මට මේ දවස් වල පැවරිලා තියෙන වැඩ වල ටිකක් බැරෑරුම් වගකීමක් තියෙනවා. මාසයක් ඇතුළත මේ දක්වා ඒ වැඩ වලදි ඉතාම විශ්වාසනීයවත්, ආරක්ෂාකාරීවත් වැඩ කරන්න පුළුවන් බොහොම ස්ථායී පාදමක් සහ හොඳ තාක්ෂණික වටපිටාවක් ලිනක්ස් වලින් ලබා දී තිබෙන බව බය නැතුව අත්දැකීම් සහිතව කියන්න පුළුවන්. මෙපමණ කාලයක් සෙල්ලම් කළේ ලෝකල්හොස්ට් එකේ තියෙන සර්වර සහ පරීක්ෂණ දත්ත එක්ක... ඒත් දැන්.......................

---

පහුගිය කාලේ ඇතුළත මට හමුවුණු දේවල් කීපයක් මේ.

ලිනක්ස් වීඩියෝ සංස්කරණය කරන්න පාවිච්චි කරන මෘදුකාංග ගණනාවක්ම තිබෙනවා. ඒ එකකවත් පරිශීලක අතුරුමුහුණත තාම Adobe Premiere හෝ එවැනි මෘදුකාංගයක් තරම් පහසුවෙන් පාවිච්චි කළ හැකි තරමට දියුණු වෙලා නැති බව ඇත්ත. ඒත්, සමහර වැඩ වලදි අවශ්‍යතාවය අනුව චිත්‍රක අතුරුමුහුණතක් (GUI) නැති ffmpeg පවා සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ක්ලික් කළොත් ඒ ගැන යමක් බලාගන්න පුළුවන්. :-) LiVES, Cinelerra යනාදී වශයෙන් වීඩියෝ මෘදුකාංග ගොඩක් මට අන්තර්ජාලය ඔස්සේ සොයාගන්න හැකි වුණා. අවශ්‍යතාවයක් ඇති වුණොත් මම ඒවා පාවිච්චි කරන ක්‍රමය ඉගෙනගනිමින් අළුත් පරිසරයට හුරු වෙනවා. මම Adobe Premiere පාවිච්චි කරල නෑ. පාවිච්චි කරන්න දන්නෙත් නෑ. ඉතින් මට කෝකත් එකයි.

WinSCP මෘදුකාංගය ගැන දන්නව ඇතිනේ... SSH/ SFTP සඳහා වින්ඩෝස් මත භාවිත කළ හැකි client මෘදුකාංගයක්. Windows Explorer (explorer.exe) පාවිච්චි කරලා සාමාන්‍ය ගොනු හුවමාරු වැඩ කරගන්න පුළුවන් වුණාට SSH වගේ ආරක්ෂාකාරී විවෘත කේත පද්ධතිත් එක්ක වැඩ කිරීමේ හැකියාව එයට ලබා දී නැහැ. ඒ නිසයි WinSCP හෝ එවැනි තෙවන පාර්ශ්වයීය මෘදුකාංගයක් පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. නමුත් Ubuntu/ Kubuntu/ Fedora වගේ ලිනක්ස් පද්ධතියකදි තත්වය වෙනස්. File Manager එක විවෘත කරලා පෙත ලබා දෙන තැන ssh://username@serverhost:port යන රටාව අනුව පෙත සටහන් කරලා Enter කළ ගමන් වැඩේ ගොඩ! මේක කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ Ubuntu සමඟ පෙරනිමියෙන්ම GVFS සහය තියෙන නිසා. මේ තියෙන තිර රූපසටහන් දෙකත් බලන්න.

තෙවන පාර්ශ්වයීය ආදේශක අවශ්‍ය නෑ... :-) කාර්යාල වැඩ වලදි ත්‍රෛභාෂික (යුනිකෝඩ්) පෙළ අඩංගු ගොනුත් සමඟ වැඩ කරන්න සිද්ධ වෙන නිසා සාමාන්‍ය ලිනක්ස් ටර්මිනල් එකක වැඩ කරන්න අමාරුයි. අනිවාර්යයෙන්ම චිත්‍රක අතුරුමුහුණතකට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වැඩෙන් ගොඩක් කාලය ඉතිරි වුණා.


මේ 'සුඛෝපභෝගී' පහසුකම් පාවිච්චි කරන්න නම් ටිකක් වේගවත් ජාල සම්බන්ධතාවක් අවශ්‍යයි -- කාර්යාලයීය පරිගණක ජාලය (Office LAN) තුළ පාවිච්චිය ගැටළුවක් නැහැ 

ඊළඟ කාරණාව, EOT වැනි යල්පිනූ ක්‍රම පාවිච්චි කර සිංහල ලියන අන්තර්ජාල පුවත්පත් (උදා: ලක්බිම) කියවන එක. මේ පුවත්පත් කියවන්න පුළුවන් Windows Internet Explorer භාවිතයෙන්ම පමණයි. පත්තරේ බලන්න විතරක් වින්ඩෝස් බූට් කරන්න මට කම්මැලියි. ගැටළුවට නිවැරදිම විසඳුම ළඟපාත තිබිලත් මම දැනගෙන හිටියෙ නැහැ නොවැ. අපේ සහෝදර බ්ලොග්කරුවෙක් වන කෙහළිය බණ්ඩාර ගල්ලබ මීට සාර්ථක විසඳුමක් දීලා තියෙනවා. ගිහිල්ලම බලන්න...!

3GP මාදිලියේ වීඩියෝ ක්ලිප් නරඹන්න ලිනක්ස් මත වැඩ කරන මෘදුකාංගයක් හොයාගන්න බැරුව මම පහුගිය කාලෙ නහයෙන් අඬ අඬා හිටිය නෙව. මේකත් අර මුලින් කිව්ව වින්ඩෝස් එක්ක තිබුණු බැමි කීපයෙන් එකක්. පහුගිය සතියේ මම අහම්බෙන් දැක්කා SuperUbuntu මත පෙරනිමියෙන් එන RealPlayer 11 මෘදුකාංගයෙන් ඒ අවශ්‍යතාවයත් සාර්ථකව සපුරාගන්න පුළුවන් බව. ඉතින් මම මේ දවස් වල හොයනවා ඒක එහෙම වුණේ කොහොමද කියලා...

ඉතින් ඔය වගේ හැම බැම්මක්ම ක්‍රම ක්‍රමයෙන් බිඳිලා මම දැන් VirtualBox එක ඇතුලේ තියෙන Windows 7 ධාවනය කරවන්නෙත් ඉතාම කලාතුරකින්. පහුගිය මාසයටම දෙ වතාවයි.

ඉතිං.......... මට තව දුරටත් වින්ඩෝස් ඕනෙ වේවිද? ඔව්. මම මෘදුකාංග සංවර්ධනයේ (software development) නියැලෙන්නෙක්. තවමත් වැඩි දෙනා පාවිච්චි කරන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිසා ඒ ආශ්‍රිතව මෘදුකාංග සඳහා තත්ත්ව පරීක්ෂණ කරන්න වින්ඩෝස් අවශ්‍ය වෙනවා. .NET ආශ්‍රිත මෘදුකාංග සංවර්ධනයටත් ඉදිරි කාලය තුළ ඉඳහිට මට වින්ඩෝස් අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත්, වින්ඩෝස් සඳහා වෙනම වෙන් කළ partition එකක් මගේ පරිගණකයෙ නෑ. ඉඳහිට අවශ්‍ය වූ වෙලාවක පාවිච්චි කරන්න ඒක VirtualBox එකේම තියේවි.



ඉතින්... මේ ලියවිල්ලෙන් මම දෙන පණිවුඩය...

සාමාන්‍ය පරිශීලකයෙකුට මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙන්න බෑ කියන එක බොරුවක්. පැහැදිලි දැක්මක් සහිතව ලිනක්ස් වලට මාරු වීමේ අවශ්‍යතාවය අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ ඇති. පහුගිය කාලය ඇතුළත සුළු මට්ටමේ චිත්‍රක සංස්කරණ කටයුතු කීපයකුත් මගේ කාර්යාල වැඩ වලදි කරන්න සිදු වුණා. කිසිදු අපහසුවකින් තොරව මම GIMP පාවිච්චි කරලා අදාළ අවශ්‍යතාව සපුරාගත්තා. අනෙක් වැඩ වලදිත් එහෙමයි... සොයන්නාට සම්භ වේ කියල කියමනක් එහෙමත් තියෙනවනෙ..! :-)

හැමදෙනාටම ලිනක්ස් වලට මාරු වෙන්න බෑ කියන කතන්දරේ ඇත්තකුත් නැතුවම නොවෙයි. සමහර අවශ්‍යතාවන් වලදි ලිනක්ස් පාරිසරිකය තුළ වැඩ කරන්න පුළුවන් වෘත්තීයමය මට්ටමේ මෘදුකාංග නැහැ. ඒකට තව ටික කලක් ගත වෙයි. උදාහරණයක් විධියට අපි GIMP ගත්තොත්, මුද්‍රණ ක්ෂේත්‍රයේ භාවිත වෙන CMYK වර්ණ මාදිලියට එය පෙරනිමියෙන් සහය දක්වන්නෙ නැහැ. නමුත්, ඒ සඳහා plugin එකක් අන්තර්ජාලය ඔස්සේ හොයාගන්න පුළුවන්.

ඊළඟ ගැටළුව මතු වෙන්නේ අන්තර්ජාලය ගැන. අන්තර්ජාලය නැතුව මෘදුකාංග ස්ථාපනය කරන්නත් බෑ. ඒ වගේම ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවක විසඳුම් හොයාගන්නත් බෑ. මමත් කාලයක් තිස්සේ මේ ගැටළුවත් සමඟ ඔට්ටු වෙමින් ලිනක්ස් සහ නිදහස් - විවෘත මෘදුකාංග පාවිච්චි කළ කෙනෙක්.

හිතල බලන්න මෙහෙම..... ලංකාවෙ අනවසරයෙන් වින්ඩෝස් භාවිතය ඉතාම ප්‍රචලිතයි. එක එක වැඩ වලට මෘදුකාංග අවශ්‍ය වෙනවා. ඒ නිසා වින්ඩෝස් හා ඒ මත ධාවනය වෙන මෘදුකාංග වලට අපේ රටේ හොඳ වෙළඳපොළක් ඇති වුණා. ඒ ඔස්සේ රට පුරා මෘදුකාංග අලෙවිසැල් බිහි වුණා. නීති විරෝධී වුණත්, වින්ඩෝස් එක්ක ඕනෙ වැඩක් කරගන්න අවශ්‍ය මෘදුකාංග මේ තැන් වලින් හොයාගන්න පුළුවන්.

නමුත්, අපි ඉදිරි කාලය තුළ අනවසර මෘදුකාංග පාවිච්චිය අතහැරලා නිදහස් මෙහෙයුම් පද්ධති හා නිදහස් මෘදුකාංග භාවිතයට පෙළඹුණොත්. මෘදුකාංග අවශ්‍ය වෙයි. ඒ මෘදුකාංග වලට හොඳ වෙළඳපොළකුත් ඇති වෙයි. මෘදුකාංග අලෙවිසැල් වලට ලිනක්ස් හා ඒ සමඟ වැඩ කරන්න පුළුවන් නිදහස් මෘදුකාංගත් එයි. අවසානයේ ලිනක්ස් එක්කත් ඕනෙ වැඩක් කරගන්න මෘදුකාංග අලෙවිසැල් වලින් හොයාගන්න පුළුවන් වෙයි. රිචඩ් ස්ටෝල්මන් විසින් අර්ථ දැක්වූ සිව් වැදෑරුම් නිදහසට අනුව බලාත්මක කරන ලද 'නිදහස්' මෘදුකාංග නැවත විකිණීම නීතියෙන් වරදක් නොවන නිසා කිසිදු අසාධාරණයක් මෙහි සිදු නොවෙන්නා සේම, පහසු මිළකට නීත්‍යානුකූල මෘදුකාංග ලබා ගන්නත් අපේ රටේ අන්තර්ජාල පහසුකම් නැති අයට හැකි වේවි.

මම දැනටත් දැකල තියෙනවා බම්බලපිටියේ මෘදුකාංග අලෙවිසැල් වල Ubuntu, Kubuntu සහ OpenOffice.org මිළදී ගන්න පුළුවන්. ඒ වගේම ස්වභාෂාවෙන් පළ වෙන තොරතුරු තාක්ෂණ සඟරා වලත් දැන් දැන් නිදහස් හා විවෘත මෘදුකාංග ගැන වැඩි වශයෙන් කතාබහට ලක් කෙරෙනවා. මේක ඉතා හොඳ ප්‍රවණතාවක්. මේ තත්වය ඉදිරි කාලය ඇතුළත තවදුරටත් දියුණු වේ යයි අපේක්ෂා කරන්න පුළුවන්.

මේ කතන්දරේ ලේසි වැඩක් නෙවෙයි. නමුත් නිදහස් හා විවෘත මෘදුකාංග ක්ෂේත්‍රය දියුණු වෙන්නේ ඒ වටා එක්ව සිටින ප්‍රජාවත් සමඟ. ඒ නිසා ප්‍රජා දායකත්වය අත්‍යාවශ්‍යයි. මේ වෙනස.... පෙරළිය අපි කළොත් දිනෙක ලංකාවේ අපට 'මෘදුකාංග හොරු' කියන ලේබලයෙන් මිදී දේශයක් විධියට ආඩම්බරයෙන් යුතුව නැගී සිටින්නට හැකි වේවි.

Wednesday, September 30, 2009

පාලමෙන් ගිහින් ආවේශ වීම


මගේ බ්ලොග් එකේ ලියවෙන ගොඩක් සටහන් වලට දාන්නෙම හරිම අමුතු මාතෘකා. කලකට කලින් රෙද්ද උස්සල බලපු හැටි මතකනේ.. :P මේකත් එහෙම එකක්... සුපුරුදු පරිදි ටෙක් නෝට් එකක්. තවත් අළුත් අත්දැකීමක් ලබපු හැටි තමයි විස්තර කරන්නේ... මුලින්ම ගළපගමුකෝ මේ අමුතු කතන්දරේ... පාලම තේරෙන බාසාවෙන් කිව්වොත් bridge එක... නිකම් bridge නෙමෙයි network bridge. එතකොට ආවේශ වෙනව කිව්වෙ? ආවේශ වෙනව කිව්වෙ remote desktop සීන් එක... මේ වචනෙ මට අහම්බෙන් ඔළුවට ආපු එකක්. බලන්න කොයි තරම් ගැලපෙනවද කියල. :D කිසිම සිප්යුරු වදන් පොතක නැතුව ඇති මෙහෙම එකක්. :D :D

හරි... වැඩි කතා ඕනැ නෑ. මේක සිද්ධ වෙලා දැන් ටික දවසක් වෙනවා. අපේ මලයා ගෙදර තිබුණු පරණ මැසිම ආපහු හදලා... වින්ඩෝස් දාලා. ඉතිං මගේ පරණ උණකුත් ඒ එක්කම ඉස්මතු වෙලා ආවා... මොකක්ද? GTA Vice City!! මාව ළඟින් ආශ්‍රය කළ අය දන්නව මම මේකට කොයි තරම් ඇබ්බැහි වෙලා හිටියද කියල. ඉතිං දෙපාරක් හිතුවෙ නෑ දාගත්තා GTA Vice City. දවස් දෙකයි සෙල්ලං කළේ විදුලි බිල බර ගාණකින් වැඩි වෙලා!! :-O ඒකට හේතුව වෙන මොකක්වත් නෙමෙයි පරණ මැසිමෙ තියෙන තඩි CRT මොනිටරය. ඉතිං ගෙදර කස්ටියගෙන් දැඩි විරෝධතා ආවා Vice City සෙල්ලං කරනවට (මිනී මරාගන්න ගේම් එකක් බව දන්නවනං මට කොහොමටත් සෙල්ලං කරන්න දෙන්නෙ නෑ).

ඉතිං මම ට්‍රයි එකක් දුන්නා රිමෝට් ඩෙස්ක්ටොප් පාරක්වත් දාගන්න. එතකොට මගේ ලැප්ටොප් එකේ ඉඳගෙන ethernet හරහා අනිත් මැසිමෙ තියෙන Vice City සෙල්ලම් කරන්න පුළුවන්නේ. නමුත් මුල ඉඳලම මට සැකයක් තිබුණා වැඩේ අසාර්ථක වෙන බවට. වීඩියෝ මතකය සම්බන්ධ ගැටළුවක් එන්න පුළුවන් කියල හිතුණා.

මගේ ලැප්ටොප් එකේ දුවන්නෙ Ubuntuනේ... ඩෙස්ක්ටොප් මැසිමෙ වින්ඩෝස්. වින්ඩෝස් වල Remote Desktop ප්‍රොටොකෝල් එක Ubuntu වල VNC එක්ක වැඩ කරන්නෙ නැහැනේ... එතකොට තමයි අයිඩියාව ආවේ VirtualBox එකේ දාලා තියෙන Windows XP ස්ථාපිතය ප්‍රයෝජනයට ගන්න පුළුවන් බව. දැන් නම් Vice City සෙල්ලම් කරන වැඩේ අසාර්ථක වුණත් ආපු අයිඩියාව අතාරින්නෙ නෑ! අත්හදා බලන්නම වටින වැඩක්. මේව නොවැ ගේම්!!

කොහොමද මේක හදා ගන්නේ.....? ඒවට තමයි Network Bridge තියෙන්නේ.
Bridge එක හදන්නෙ කොතනද? Ubuntu හරහා virtual මැසිමයි ඇත්ත මැසිමයි සම්බන්ධ වෙනවා...  ඒ කියන්නෙ Ubuntu වලට තමා bridge එක එන්නේ.

ඊළඟ ප්‍රශ්නය... මොන ජංජාලකරණ උපාංග දෙකද පාලමේ දෙකොනෙ තියෙන්න ඕනේ? එකක් eth0, එතතකොට අනික? Virtual machine එකේ settings වලට ගිහින් Network යටතේ Adapter 2 සක්‍රිය කරලා ඒක Host-only Adapter විධියට සකස් කළා. පහත දැක්වෙන තිර රූප සටහන බලන්න.




මෙහෙම කළාම ධාරක පරිගණකයේ (ඒ කිව්වෙ Ubuntu වල) vboxnet0 නමින් තවත් අතථ්‍ය ජාලකරණ උපාංගයක් එකතු වෙනවා. Virtual machine එක ධාවනය වෙන අතරේ ධාරක පරිගණකයට ifconfig විධානය දීලා ඒ බව තහවුරු කරගන්න පුළුවන්.

දැන් අපි පාලම හදන්නෙ eth0 සහ vboxnet0 අතර.  ඒක කරන්න sudo vim /etc/network/interfaces විධානය දීලා /etc/network/interfaces ගොනුව විවෘත කරගන්න. මේ පෙන්නල තියෙන කේත පේළි තුන ඒ ගොනුවෙ අගට එකතු කරලා ගොනුව සුරකින්න (Esc - :wq - Enter).

# Bridge between eth0 and vboxnet0
iface br0 inet dhcp
bridge_ports eth0 vboxnet0



මෙහෙම කරලා මැසිම restart කළා. ඊට පස්සෙ virtual machine එකත් ක්‍රියාත්මක කළා.

ඊළඟ පියවර ජාලකරණ උපාංග වින්‍යාසගත (configure) කිරීම. මෙන්න මේවා තමයි උපාංග ටික:
  1. ඩෙස්ක්ටොප් පරිගණකයෙ ethernet ඇඩැප්ටරය
  2. ලැප්ටොප් එකේ ethernet ඇඩැප්ටරය
  3. ලැප්ටොප් එකේ VirtualBox ධාවනය වෙන වෙලාවෙ නිර්මාණය වෙන virtual ඇඩැප්ටරය (vboxnet0)
  4. Virtual machine එක තුළ vboxnet0 සඳහා නිර්මාණය වෙන virtual ඇඩැප්ටරය

මේ පාලම්ගත ජාලය වැඩ කරන්න පුළුවන් වෙන්නේ bridge එකේ දෙපස තියෙන ජාල දෙකේම subnet mask සමාන වුණොත් විතරයි. ඒකට හේතුව ටිකක් දීර්ඝව විස්තර කරන්න සිද්ධ වෙන නිසා මෙතන ලියන්නෙ නැහැ -- විකිපීඩියාවෙ ඒ ගැන තියෙන ලිපිය කියවන්න. එහෙම නැත්නම් එක ජාලයකට අනෙක හඳුනාගන්න බැරි වෙනවා. vboxnet0 ට අදාළ ජාලයෙ සැකසුම් ස්වයංක්‍රීයව DHCP මගින් සකස් වෙන නිසා විශේෂිතව සකසන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. කළ යුත්තෙ subnet mask එක බලා ගන්න එක. ඒක කරන්න ifconfig vboxnet0 විධානයෙන් පුළුවන්. එහෙමත් නැත්නම් virtual machine එකේ control panel එකට ගිහින් බලා ගන්නත් පුළුවන්.

ඉතින් මෙන්න මේ අගයයන් තමයි DHCP මගින් සකස් කර දීල තිබුණෙ:
  1. VIrtual machine එක තුළ වින්ඩෝස් - IP: 192.168.56.3, Subnet Mask: 255.255.255.0
  2. ලැප්ටොප් එකේ vboxnet0 - IP: 192.168.56.1, Subnet Mask: 255.255.255.0

ඊළඟට ඩෙස්ක්ටොප් පරිගණකයෙත් මගේ ලැප්ටොප් එකෙත් ethernet සකස් කරන්න ඕනේ.
  1. ඩෙස්ක්ටොප් පරිගණකයෙ Control Panel එකේ Network Connections වලට ගිහින් අදාළ connection එකේ සැකසුම් සකස් කළා -- IP: 10.16.32.202, Subnet Mask: 255.255.255.0
  2. ලැප්ටොප් එකේ - # ifconfig eth0 10.16.32.201 netmask 255.255.255.0 up

කොළඹ සරසවියෙ අපි හොඳට දන්න කියන වැදගත් සර්වර් එකක් internal network එකේ 10.16.32.201 ලිපිනයෙ තියෙනවා. ලැප්ටොප් එකට මතක තියාගන්න පහසු IP එකක් දාන්න හිතුණු නිසා ඒකම දැම්මා. ;) මොකද මේ ජංජාලෙ ගෙදරදි විතරයිනෙ.

වින්ඩෝස් වල My Computer right click කරලා Properties ගිහින් Remote Desktop සැකසුම් හදා ගන්න පුළුවන්. ඒ ගැන මෙතන විස්තර කරන්නෙ නෑ. බොහොම සරල කාරියක් නිසා. ඉතින් virtual machine එකේ ඉඳන් Remote Desktop Viewer ක්‍රියාත්මක කරලා IP ලිපිනය විධියට 10.16.32.202 ලබා දුන්නා. ඒ කිව්වෙ ඩෙස්ක්ටොප් පරිගණකයෙ IP එක.


හරීම සෝක්! මෙන්න virtual machine එකේ ඉඳගෙන එළියෙ තියෙන අනිත් මැසිමේ වැඩ කරන්න පුළුවන්!! :-O අත්හදා බලන්නම වටින වැඩක්. ඉතින් මේකෙන් ටිකක් වෙලා යනකම් එක එක වැඩ දම දමා හිටියා. විදුලි පරිභෝජනය වැඩි CRT තඩිය off කරලා මගේ ලැප්ටොප් එකෙන්ම ඒ මැසිමත් පාලනය කරන්න පුළුවන්.

මගේ වුවමනාව තිබුණේ GTA සෙල්ලම් කරන්න. ඉතිං GTA දාලා බැලුවා... ම්හූ.. වැඩ නෑ. :( වීඩියෝ මතක ප්‍රමාණය මදිලු. හැබැයි කමක් නෑ ඒකට.. අළුත් දෙයක් අත්හදා බලන්න ලැුබුණනේ. :) GTA සෙල්ලම් කළා කියල ලැබෙන දෙයක් නැහැ නොවැ.

පසු වෙලාවක නිකමට අන්තර්ජාලයෙ විපරම් කරල බලද්දි මෙන්න මේ දේවල් දැනගන්න ලැබුණා:
  • Ubuntu වල ජාලකරණ සැකසුම් සකස් කරන්න හොඳ GUI ටූල් එකක් තියෙනවා... ඒකෙ නම Firestarter (# apt-get install firestart) හැබැයි මම ඇත්තටම කැමති නෑ මේකෙන් වැඩ කරන්න. එතකොට ඇතුළෙ මොන මොනව වෙනවද කියල මං දන්නෙ නෑනෙ.
  • Ubuntu වල ඉඳලා වින්ඩෝස් මැසිමකට ආවේශ වෙන්න TightVNC මෘදුකාංගයෙන් පුළුවන්.

ඉතිං... ආපහු මොනවහරි දෙයක් අරගෙන ඉඩකඩ ඇති වෙලාවක මේ පැත්තෙ එන්නං... ciao!

අළුතෙන් මේ ටිකත් එකතු කළා (2009-10-02)
මේ බ්ලොග් ලිපිය ලිව්වේ කලබලෙන්... ඉතිං මේ මොඩල් එක පැහැදිලි කෙරෙන පිංතූරයක් දාන්න බැරි වුණා. මෙන්න උණු උණුවෙම GIMP වලින් හදලා දැම්මා... පිංතූරෙ පැහැදිලි මදි නම් ඒක ක්ලික් කරලා බලන්න පුළුවන්. :)

  
Ciao!

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴

Friday, August 28, 2009

හාඩ් ඩිස්ක් එකකට වෙච්ච හදියක්!

මේක මම කලින් නිකං ඉන්න බැරිකමට ලිව්ව සටහනේ දෙවෙනි කොටස කියල කියන්නත් පුළුවන්. මේ සටහනත් පළවෙනි එකටම එකතු කරන්නෙ නැතිව වෙනම සටහනක් විධියට ලියන්න හේතු වුණේ මේක කලින් සිද්ධියට සම්බන්ධ වුණත් මේ කතන්දරේ වෙනස් මාතෘකාවක් ඔස්සෙ යන නිසා.

ඔන්න ඉතිං මගේ යාළුව දිගටම නහයෙන් අඬන්න පටන් ගත්තා... D partition එකේ වින්ඩෝස් කියෙනකොට හරි නැහැලු.. කැතයිලු... අප්සැට්ලු... ලිනක්ස් වල ඉඳං sda එක, පහ, හය, හත කියල ගණං කරන්න පුරුදු වෙච්ච මට නං ඕකෙ විශේෂයක් නෑ... ඒත් ඉතිං පොඩි එකාගෙ ආසාවනේ... ඉතිං මම මොකද කළේ... දැම්මා PowerQuest Partition Magic. ඒ මෘදුකාංගයෙන් පුළුවන් වින්ඩෝස් ස්ථාපනය කරල තියෙද්දිම System Partition එකේ අකුර වෙනස් කරන්න. මැසිමේ හාඩ් ඩිස්ක් දෙකක් තියෙනවා. එකක් 40 GB. අනෙක 80 GB. 40 GB තැටිය කෑලි දෙකකට කඩලා තියෙනවා. 80 GB තැටිය කෑලි තුනකට කඩලා එකක වින්ඩෝස් දාලා තියෙනවා. ඒකෙ තමයි D අකුර ඇවිත් කියලා නහයෙන් අඬන්නේ. Partition Magic විවෘත කළාම මෙන්න හාඩ් ඩිස්ක් දෙකේම තොරතුරු පෙන්නන්නෙ වැරදියට!

පැහැදිලිව බලන්න රූපය මත ක්ලික් කරන්න

NTFS partition වලට වැඩ දාන්න මම දන්න හොඳම මෘදුකාංගය තමයි Partition Magic. Partition Magic කෙසේ වෙතත් හාඩ් ඩිස්ක් එකේ MBR අවුලක් තියෙන බව මට තේරුණා. වැඩි විස්තර හොයල බලද්දි තමයි දැනගත්තේ... මේ හාඩි ඩිස්ක් දෙකම හම යනකං සැරින් සැරේ format කර කර වින්ඩෝස් දමාපු ඒවා. සමහර වෙලාවල BSOD පවා ඇවිත් තියෙනවලු.

දැන් වෙලා තියෙන දේ හැටියට C/D මාරු කරනව බොරු. ඒත් නිකං උතුර දකුණ ටැපලිලා වගේ දැනුණු නිසා මම කල්පනා කළා දෙවැනි හා අන්තිම උත්සාහය විධියට GParted වලින් partition table එක නිකමට බලාගන්නවත් පුළුවන් වෙයිද කියලා. ඉතිං මැසිම Ubuntu Live CD එකකින් පණගන්වලා GParted ධාවනය කරලා බැලුවා... වාසනාවට මොකක් හරි පෙනීයන් කියලා. යාන්තම් ඇති... එක partition එකක් වග විස්තර පේනවා. මීළඟ තිරපිටපත් දෙකත් බලන්න.

මම මේකෙන් කියන්න උත්සාහ කරන්නෙ නෑ Partition Magic මෘදුකාංගයට වඩා GParted හොඳයි කියලා. දැන් කස්ටිය හිතනව ඇති මම FOSS පැත්තට බර නිසා මේකත් වාණිජ මෘදුකාංග වලට පහර ගහන්න ලිව්ව එකක් කියලා -- නෑ,.. එහෙම අදහසක් නම් නෑ. මේ වගේ දෝෂ සහගත හාඩ් ඩිස්ක් එකක් එක මෘදුකාංගයකින් හඳුනාගන්නත් අනෙක මගින් හඳුනා නොගන්නත් හේතුව වෙන්න ඇත්තෙ ඒ මෘදුකාංග දෙකේ අභ්‍යන්තරයෙ එකම කාර්යය කරන්න දෙවිධියක ක්‍රම සහ විධි පාවිච්චි කරන නිසා වෙන්න පුළුවන්. මේ වගේ එක සිද්ධියක් පමණක් නිරීක්ෂණයෙන් එහෙම සංසන්දනයක් කරන්නත් බෑ.

පැහැදිලිව බලන්න රූපය මත ක්ලික් කරන්න

මේ තිර පිටපත හොඳට නිරීක්ෂණය කරන්න (මම ලියලා තියෙන නිරීක්ෂණ අපැහැදිලි නම් මේ ලිපියත් බලන්න). මෙන්න මේ තැටිය ගැන මම දැකපු දේවල්:
  • වින්ඩෝස් ස්ථාපනය කළ partition එක (/dev/sdb5) extended partition එකේ තියෙන එකම logical drive එක වෙලා... කොහොම වුණාද කියල හිතාගන්න බෑ. වින්ඩෝස් වලදි සාමාන්‍යයෙන් logical partition එකකට C අකුර දෙන්නෙ නෑ. ඒක දෙන්නෙ primary partition එකකට. එතකොට C/D මාරු වෙන්න හේතුව ඒකයි.
  • /dev/sdb2 හා /dev/sdb3 -- මේක දෙකේ ඉලක්කමෙන් පටන් ගන්න එකේ තේරුම තමයි හාඩ් ඩිස්ක් එකේ පළවෙනි partition එක මම කලින් කිව්ව extended partition එක බවට පත් වෙලා තියෙන බව. ඒක අපට එතරම්ම වැදගත් නෑ.
  • /dev/sdb2 වින්ඩෝස් වලදි C: වුණේ boot flag එක ඒක මත තියෙන නිසා.
  • /dev/sdb2 ත් extended partition එකත් අතර 2.8 MB හිස් ඉඩක් තියෙනවා. මේකත් කොහොම වෙච්ච වින්නැහියක්ද කියල හිතාගන්න බෑ... මම මේ පොඩි හිඩැස දෙපැත්තේ තියෙන partition වලින් පුරවන්න පොඩ්ඩක් උත්සාහ කළා. ම්හු... බෑ... :( දැන් මේක X-Files වගේ අබිරහස් සීන් එකක් වෙලා. :-O
  • සාමාන්‍යයෙන් වින්ඩෝස් තියෙන හාඩ් ඩිස්ක් එකක partition table එකේ අග 7.8 MB ඉඩක් වෙන් කර (reserved) තැබෙනවා. හැබැයි මෙතන තියෙන්නෙ 7.38 MB. ඒ මදිවට partition table එකේ මුලටම ඇවිත්! මේ සංසිද්ධිය නම් හිතාගන්න බැහැ මට. බොහෝ විට හානි සිදු වූ හාඩ් ඩිස්ක් එකක් GParted මගින් වැරදි ආකාරයට කියැවීම නිසා වෙන්න පුළුවනි.
නිගමනය: හාඩ් ඩිස්ක් එකේ පාටිෂන් ටේබලය අච්චාරුවක් බවට පත් වී ඇත :D . C/D මාරු කරලා boot flag එකත් දෙන්න නම් /dev/sdb5 format කරලා ඒක primary එකක් කරන්න පොඩි ගේමක් දෙන්න වෙනවා GParted වලින්. හැබැයි අමාරු වැඩක් නෙමෙයි.

ඔය තරම් නැහෙන්න ඕන නෑ තව 80 GB තැටියක් හොයාගන්න පුළුවන් වුණා නම්. එහෙම එකක් තිබුණ නම් මේකෙ තියෙන කුණු කන්දරාව වෙනින් hard disk එකකට පටවලා සම්පූර්ණයෙන්ම format කරලා සියළු දෝෂ නිවාරණය කරන්න තිබුණා. ඒත් ඉතිං තව හාඩ් ඩිස්ක් කොහෙ හොයන්නද?

මේ මැසිමෙ තියෙන 40 GB ප්‍රමාණයෙ අනිත් තැටියට මොකද වුණේ එතකොට? මීළඟ screenshot එකත් බලන්න:


ඒක එහෙමවත් හඳුනාගත්තෙ නෑ GParted වලින්. :(

මම දන්නෙ නෑ මේකාගෙන් හාඩ් ඩිස්ක් එකට මොන මොන අතවර සිද්ධ වුණාද කියල. ;) මොනව වුණත් මාසෙකට දෙකකට වතාවක් slow හරි වයිරස් හරි කිය කියා format කරන බව නම් මං හොඳාකාරව දන්නව.

අන්තිමේ මටත් නිකං ඉන්න බැරිකමට... වාණිජ මෙහෙයුම් පද්ධතිය(ක)ට ඔළුව අතගාලා පොඩි ටොක්කක් ඇනලම මේක අවසන් කරන්න හිතුණා. Windows Setup එකේ තියෙන කෙහෙම්මල් partition එඩිටරය නම් මහ ඇණයක්. විකාරයි අජූතයි. මම එහෙම කියන්නෙ හේතුවක් ඇතිව. අපි partition එකක් format කරද්දි ඒකෙන් partition එක හරියටම තියෙන තැන, primary ද logical ද කියන එක පෙන්නන්නෙ නෑ. අනෙක් විස්තරත් අඩුවෙන් පෙන්නන්නේ. ඩොස් යුගයෙ තිබුණු FDISK මේකට වඩා හොඳා. Windows 7 ට එද්දි මේකෙ වෙලා තියෙන එකම දියුණුව විධියට මම තාම දැක්කෙ mouse එකෙන් වැඩ කරන්න පුළුවන්කම විතරයි. හැබැයි වැඩ නම් තාම එහෙමමයි.

ඒකට, බලන්න ලිනක්ස් ස්ථාපනය කරද්දි පාවිච්චි කරන්න ලැබෙන partition එඩිටරය කොයි තරම් ස්වීට්ද කියලා... ;) ලේසියෙන් වැඩ කරගන්න ඕන නං Guided Partition කියලා විකල්පයකුත් තියෙනවා. නැත්තම් හිතේ හැටියට partition කරගන්නත් පුළුවන්. හැබැයි මම නම් නිර්දේශ කරන්නේ Guided Partition කරන්න එපා කියලා. තමන්ට හිතෙන හැටියට partition table එක සංස්කරණය කරන්න ඒකෙ දීල තියෙන පහසුකම් අපූරුයි.

හාඩ් ඩිස්ක් කතන්දරේ දැන් ඉවරයි... අළුතෙන් යමක් දැන කියාගත්තා කියල හිතෙනවා ඒකෙන්.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Thursday, August 27, 2009

නිකං ඉන්න බැරිකමට ලිව්ව එකක්.........

ටික කාලයක් නිහඬව හිටියෙ අළුතින් ලිපියක් ලියන්න තරම් සුදුසුයි කියල හිතෙන මාතෘකාවක් නොලැබුණු නිසා... කවි, නිසදැස් ඕව ලියන්න අදහස් එන්නෑනෙ මට... :( ලිව්වොත් එකත් ඒකත් ගීක් ඇන්ඩ් ග්‍රීක් වෙලා තියෙයි. මගේ කැමරා පෝං එකත් නොතිබුණා නම් නිවාඩු කාලෙ කිසි ආතල් එකක් නැතිව ගෙවිලා යනවා.

ඊයෙ මට පොඩි වැඩක් සෙට් වුණා. මගෙ යාළුවෙකුගෙ මැසිමෙ Windows XP දාලා අළුතෙන්. හැබැයි වින්ඩෝස් ස්ථාපනය කරපු partition එක නිකංම D වෙලා. ඉතිං මෑන්ස්ට මේක සැටිස් මදි. මට කියනවා පුළුවන් නම් partition එකේ තියෙන අකුර වෙනස් කරල දෙන්නලු. ඒක C කරගන්න ඕනලු. හාඩ් ඩිස්ක් එකේ තියෙන චිත්‍රපට සහ ඇනිමේෂන් කන්දරාව නිසා අනිත් partition වල තියෙන ඒවා එහාට මෙහාට කරන්නත් බෑ. ඕක ඔය මොකේ තිබුණාම මොකද වැඩේ කෙරෙනවනං..

බලාගෙන ගියාම පොර පොඩි (ලොකු) හොර වැඩක් කරන්න ගිහිං. එයාගෙ ළඟ තිබිල තියෙනවා WindowsXPGenuine.exe කියල පොඩි patch එකක්. මේ ක්‍රමලේඛය එක එක පාරක් ධාවනය කරලා Patch කළාම වින්ඩෝස් යවත්කල් කරගන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. ඒ කියන්නෙ අර Windows Genuine (Dis)Advantage කියන update එක එන්නෙ නැතිලු. නියම (අ)ව්‍යාජ මයික්‍රොසොෆ්ට් පාරිභෝගිකයෙක් වෙනවලු. ඕක දාන්න ගියාම error එකක් ඇවිත්... C:\WINDOWS\System32\winsysan.vbs කියන file එක හොයාගන්න නැතිලු. මේකෙ C/D මාරු වෙලා තියෙන නිසා මම D එකේ අදාළ තැන බැලුවා... එහෙම ගොනුවක් හොයාගන්න නැහැ.

ඒ කියන්නෙ මේ patch එකෙන් තාවකාලිකව VBScript ගොනුවක් හදාගෙන ඒක ධාවනය කරලා තමයි patch කරන්නෙ. අන්තිමේ ඒ තාවකාලික ගොනුව මකලා දානවා. කොහොමද මේ VBScript එක කොපි කරගන්න තියෙනවනං? මට ආවෙ එහෙම අදත්තාදාන අදහසක්... හොර වැඩ අස්සෙ තවත් හොර වැඩ! :D

මම notepad එකේ මෙන්න මෙහෙම පේළි දෙකක් ලියලා a.bat කියන නමින් save කළා ඔය VBScript එක කොපි වෙන තැනටම:

copy winsysan.vbs winsysan.txt
a.bat

සිද්ධ වෙන දේ පැහැදිලියිනේ.... මේක නොනැවතී ධාවනය වෙන පොඩි batch file එකක්. කොයි වෙලාවක හරි winsysan.vbs කියල ගොනුවක් හම්බවුණොත් ඒකෙ පිටපතක් තියාගන්නවා.

ඔහොම අටවලා ආයෙ පාරක් patch කළා. වැඩේ හරි!! :) winsysan.vbs එකේ පිටපතක් ලැබුණා. හැබැයි ඕන කරන දේ ඒක ඇතුළෙ තිබුණෙ නෑ. :( ඒක Windows XP වල product key එක වෙනස් කරන්න ලියපු පොඩි script එකක්. හැබැයි script එක ඇතුළෙ product key එකක් නෑ. ඒ කියන්නෙ key එක වෙනම ලබා දෙන්න ඕනා. පේළි 20ක් විතර තිබුණු ඒ කේතය කියවද්දි, සිද්ධ වෙන දේ මට හරියටම පැහැදිළි වුණා.

මේ patch එකෙන් ඇත්තටම සිද්ධ වෙන්නෙ patch කිරීමක් නෙමෙයි. පොඩි VBScript කෑල්ලක් කඩේ යවන එක. කඩේ යවන්නෙ අතට සල්ලිත් දීලා. තේරුණේ නැද්ද? පරිගණක ක්‍රමලේඛණය කරන අයගේ බාසාවෙන් කිව්වොත් VBScript එකක් හදලා product key එක parameter/arguement එකක් විධියට එවනවා script එකට. ඒ කියන්නේ product key එක තියෙන්නේ අර මුලින් කිව්ව WindowsXPGenuine.exe ගොනුව හෙවත් 'patch' එක ඇතුලේ.

දැන් ඉතින් වෙන කුමක් කරන්නද exe එක කියවනු හැර? ඉතිං මට මතක් වුණා පොඩි ආම්පන්නයක්. Huawei E220 අගුළු අරිනකොට පාවිච්චි කළා ඒක. ඒ තමයි XVI32 hex editor එක. ඇත්තටම මම නං hex editor වලින් වැඩිය වැඩ දාන්න දන්නෙ නෑ. ;) හැබැයි මොකක් හරි හොයාගන්න පුළුවන් වෙයි කියල හිතලා exe එක විවෘත කරලා බැලුවා. ග්‍රීක් වගේ... ඉලක්කං ගොඩකුයි ඉංග්‍රීසි අකුරුයි... විකාර වගෙ. ඒ වුණත් ටිකක් එහෙ මෙහෙ විපරං කරලා බලනකොට මෙන්න තියෙනවා ගෙඩි පිටින් කැරට් 0x18 ගෝල්ඩ් කිව්වලු!!! :-O XXXXX-XXXXX-XXXXX-XXXXX-XXXXX

මොකක් හරි මටත් හිතාගන්න බැරි හේතුවක් නිසා මේ key එක blacklist වෙලා නෑ. වින්ඩෝස් යවත්කල් කරන්න පුළුවන් කිසි ගේමක් නැතිව. මම මේ ගැන විස්තර කරලා ලිව්වේ හේතු දෙකක් නිසා. පළවෙනි හේතුව, පරිගණක ක්‍රමලේඛණයෙදි සිද්ධ වෙන වැරදි නිසා ඒවයෙ තියෙන වැදගත් තොරතුරු වෙනත් අය අතට පත් වෙන්නෙ කොහොමද කියල පෙන්නන්න. මේ පොඩි ක්‍රමලේඛය ලිව්ව කෙනා කෙළින්ම වින්ඩෝස් registry එකේ අදාළ වෙනස්කම් සිද්ධ වෙන විධියට ක්‍රමලේඛය සකස් නොකර VBScript එකක් කඩේ යැව්වෙ සමහරවිට අදාළ කේත තමන් විසින්ම ලියන්න තියෙන කම්මැලිකමට වෙන්න පුළුවන්. Windows API එකෙන් %WINDOWS%\System32 කියන එක නොගෙන ලියන්නන් වාලේ C:\WINDOWS\System32 කියලා path එක දීලා තියෙන විධියෙන්ම පේනවා කම්මැලිකම බව. ;)

අනෙක් හේතුව තමයි අමුතු ගැජට් කෑලි දැක්කාම ඒ ගැන ටිකක් විපරම් කරලා වැඩ දාලා බලන්න ඕන (හැබැයි කූඤ්ඤෙ ගලවපු වඳුරා වගේ නොවී - ක්‍රමානුකූලව :D ).... ඒකෙ තියෙන ආතල් එක ගන්න ඕන කියන දේ පෙන්නන්න. ඒ වගේම ක්‍රමානුකූලව මේ වගේ දෙයක් කරන්නෙ කොහොමද කියල පෙන්නන්න. නිකම් පොඩි tool එකක් ධාවනය කරලා ක්ලික් දෙකතුනක් දීලා වැඩ කරගන්නව වගේද code එක්කත් යංතං හරි ඔට්ටු වුණාම තියෙන ආතල් එක? ;)

මේ 'patch' එක හැදුවෙ කවුද (ලංකාවෙ කෙනෙක්), කුමන හේතුවක් නිසා ද කියලා මම දන්නවා.... (හේතුවක් නැත්තං මෙහෙම වට වන්දනාවෙ යන්නෙ නැතුව Windows CD එකේ හොර කොපිත් එක්ක බෙදාහරින්න තිබුණනෙ) ඒත්... ඒ ගැන මම කියන්නෙ නෑ.... key එකත් අහන්න එපා මොකක්ද කියලා.... :D (key එකෙන් මම වැඩක් නොගන්න එක වෙනම කතාවක් :D )

කියන්න අතමක වුණා.... මගේ යාළුවා ඇනිමේෂන් බුවෙක් නිසා මම ගහපු උබුන්ටු තෙල වැඩ කළේ නෑ :( ඒ නිසා තාමත් හොරට M$ පාවිච්චි කරනවා.
එහෙනං.... Ciao!

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Saturday, July 4, 2009

~ VirtualBox ~ e1108 ~ USB ~ K770i ~ Wammu ~ එහෙන් ~ මෙහෙන් ~

ඇත්තටම මේ සටහනට දාන්න හොඳ මාතෘකාවක් හිතාගන්න බැහැ තාමත් මට. මොකද exam භීතිකාව නිසා පිස්සු පීකුදු වෙලා ඉන්න මොහොතක මේක ලියවෙන්නෙ. සමහරවිට මේ ජූලි මාසෙ අවසාන වෙනකම් මේ සටහන හැර වෙන කිසිම දෙයක් නොලියන්නම ඉඩ තියෙනව. ඒ නිසා හිතට එන ඔක්කොම දේවල් අච්චාරුවක් කරල ලියනව මේකෙ. පහුගිය දවස් ටිකේ ආගිය කතා ටිකකුත් ඒ ඇසුරින් අන් අයගේ දැන ගැනීම පිණිස ලියැවෙන විවිධ තාක්ෂණික කරුණු ටිකකුත් තමයි මේකෙ තියෙන්නෙ.

---

මුලින්ම අතීත කතාව කියලා ඉවර කරන්නම්... මම අවුරුදු තුනක් පුරාවට පාවිච්චි කළේ NEC e1108 වර්ගයේ ජංගම දුරකථනයක්. ඒක ගත්තට පස්සෙ තමයි තේරුණේ කරපු මෝඩකම. ඔය දීල තියෙන ලින්ක් එකෙන් ගිහින් user reviews බලන්න මම කියන දේ විශ්වාස නැති නම්. මේ තියෙන්නේ මම ඒකෙ දැකපු ලොකුම අඩුපාඩු.
  • වැඩිය ප්‍රචලිත නැති මාදිලියක් නිසා හදිසියකට charger එකක් හොයා ගන්න අමාරුයි
  • Charger එක හතරැස් තුන්කූරු පේනු (square type three pin plug) වර්ගයේ එකක් වීම (හැම තැනම three pin නැහැනේ...)
  • පුදුම හිතෙන තරමට මන්දගාමී (දුරකථනය ක්‍රියාත්මක කළාම initialize වෙන්න විනාඩි 2-3 විතර කාලයක් ගත වෙනවා)
  • ගොනු හුවමාරු (file transfer) ප්‍රකාරයේදී ඉක්මනින් බැටරිය විසර්ජනය වෙනවා
  • දුරකථනය තියෙන තැනින් හොල්ලන්නෙ නැතුව තිබුණත් බැටරිය දවස් තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම විසර්ජනය වෙනවා
  • Synchronization කියා එකක් තිබුණාට එය වැඩ කරන්නෙ නැති වීම
  • වීඩියෝ ගොනු මාදිලිය MJPEG වීම -- ශබ්දය නැත!
  • T9 යකා නැටීම -- මේක කරලම බලන්න රඟ... :P
තව තව අවුල් ගොඩක් තියෙනවා. කොහොම වුණත් අවුරුදු දෙකක් පුරාවට පාවිච්චි කළ ජංගම දුරකථනයනේ...

ඔන්න ඉතිං ඕක එපා වෙවී ඉඳලා මමත් ගත්තා Sony Ericsson K770i එකක්. ඒක නම් මගේ වැඩ වලට ප්‍රමාණවත්. වේගය අතිනුත් ඉතාම හොඳයි.

---

ඊළඟ ගැටළුව Sony Ericsson එකත් එක්ක දෙන සංයුක්ත තැටියෙ තියෙන මෘදුකාංග කට්ටලය ලිනක්ස් එක්ක වැඩ කරන්නෙ නැති වීම. ඉතින් ඔය වෙලාවට මට මතක් වුණේ MyPhoneExplorer කියන මෘදුකාංගය. ඒකත් වැඩ කරන්නෙ නෑනේ.... :( ඔන්න එතකොට තමයි අපේ නාගබුද්ධික ලිව්ව පරණ සටහනක් මතක් වුණේ. ඉතිං Wammu දාලා බැලුවා. නාගයාට ලබන ආත්මේවත් කිං කෝබරාවෙක් වෙන්න වාසනා බල මහිමය ලැබේවා! :D

ටිකක් වෙලා Wammu එක්ක ඔට්ටු වෙලා යංතං මගේ ජංගම දුරකථනය පරිගණකයත් එක්ක සම්බන්ධ කරගත්තා. MyPhoneExplorer වලින් කරන්න පුළුවන් ගොඩක් දේ මේකෙන් කරන්න පුළුව්න්. ජංගම දුරකථන මාදිලි බොහොමයකට මේ මෘදුකාංගය සහය දක්වනවා. (හැබැයි මම පරීක්ෂා කළේ Sony Ericsson K770i එක්ක විතරයි :D ) ජංගම දුරකථනයෙ ගොනු පද්ධතිය බලාගන්න බැරි එක තමා එකම අවුල.

දැන් පෙන්නන්න යන්නේ... Wammu පාවිච්චි කරන හැටි. මේ පිංතූර ගත්තේ Leonidas වලින්.

මුලින්ම ජංගම දුරකථනය පරිගණකයට සම්බන්ධ කර එහි නිෂ්පාදකයා දී ඇති උපදෙස් පරිදි සූදානම් කරගන්න. (Sony Ericsson දුරකථනයක් නම් Phone Mode සක්‍රිය කරන්න -- වෙනත් වර්ගවල දුරකථන ගැන මම දන්නෙ නැත)

Wammu සැකසුම් කරන්න කලින් මතක ඇතුව Wammu භාවිත කරන්න බලාපොරොත්තු වෙන පරිශීලක ගිණුම/ගිණුම් dialout කණ්ඩායමට (group) එකතු කරන්න. නැත්නම් අදාළ උපාංග (devices) පාවිච්චි කරන්න ලැබෙන්නෙ නෑ.

විධාන අතුරුමුහුණතින්:
su
usermod -a -G dialout {ඔබේ පරිශීලක නාමය}


එහෙම අකමැති නම් GUI භාවිතයෙන්:


දැන් Wammu විවෘත කරගන්න. Phone Wizard කවුළුව විවෘත වුණේ නැත්තම් Wammu --> Phone Wizard වෙත ගිහින් එය විවෘත කරගන්න. එතන ඉඳලා කරන වැඩ ටිකේ ඇත්තටම තිරපිටපත් වලින් කියන්න තරම් ලොකු දෙයක් නෑ. වින්ඩෝස් පාවිච්චි කරල පරිගණක හුරුව ලබාපු අපට මේවත් වැඩද නේද? හැබැයි හැම පියවරකම දීල තියෙන විස්තරේ හොඳට කියවන්න අතමක කරන්න එපා!! ;)


මේ ලැයිස්තුවේ තියෙන උපාංග (devices) පාවිච්චි කරන්න අවසර තියෙන්නේ dialout කණ්ඩායමේ අයට විතරයි. තමන් dialout සාමාජිකයෙක් වෙලා ඉඳිද්දිත් මෙතනින් එහාට යනකොට දෝෂ පණිවුඩයක් එනවනම් මෙතනින් වෙනත් ttyACM උපාංගයක් තෝරන්න.


ඔය ඉන්නෙ යස අගේට මගේ අළුත් 'කෑල්ල'! :P

දැන් Wammu වල Phone මෙනු එකට ගිහින් Connect කියන මෙනු අයිතමය ක්ලික් කරන්න. හපොයි මේව කියන්නත් දේවල්ද? :-O ඊළඟ තිරපිටපත බලන්න මේකෙ වැඩ කෝමද කියලා.... බැටරි ආරෝපණ තත්වය, සංඥා ප්‍රතිග්‍රහණ තත්වය වගේ විස්තරත් බලාගන්න පුළුවන්.


ඔන්න මගේ කෙටි පණිවුඩ කියවන්න පොඩි චාන්ස් එකක් :D

මේක මාර ආතල් භාණ්ඩේ... MyPhoneExplorer පාවිච්චි කරල කෙරෙන වැඩ වලින් බහුතරය කරගන්න මේකෙන් පුළුවන්. ඒ වුණාට ජංගම දුරකථනයෙ ගොනු පද්ධතිය කියවන්නෙ නෑ. Sony Ericsson ජංගම දුරකථන වල File Transfer Mode පාවිච්චි කළත් Memory Stick එකේ තියෙන ගොනු පමණයි බලාගන්න පුළුවන්. ඉතින් Wammu සර්ව සාර්ථක විසඳුමක් නෙවෙයි ජංගම දුරකථනයත් එක්ක නොමිලේ ලබා දෙන මෘදුකාංග කට්ටලය තරම්. ඒත් ඒක වින්ඩෝස් වලට විතරයි නෙ.... :(

---

දැන් මේක පාවිච්චි කරන්න වින්ඩෝස් ඕනා... මගේ බ්ලොග් එකට නිතර යන එන කස්ටිය දන්නවා ඇතිනේ මම පාවිච්චි කරන්නේ ලිනක්ස් විතරයි කියලා. ඒක එහෙම වුණත් මට වෙනත් විකල්පයක් හොයාගන්න බැරි විධියෙ අවශ්‍යතාවක් ඇති වුණොත් පාවිච්චියට ගන්න වින්ඩෝස් ස්ථාපනය කරලා තියෙන්නෙ VirtualBox ඇතුලේ... සාමාන්‍යයෙන් ලිනක්ස් host එකකදී VirtualBox වල USB වැඩ නොකරන බව ප්‍රසිද්ධ කාරණයක් නේ. මම පහුගිය කාලෙ ඔය ගැන උනන්දු නොවුණට දැන් මේ ජංගම දුරකථනයත් එක්ක ඔට්ටු වීම නිසා මගේ උනන්දුව වැඩි වුණා. මට නිකමට හිතුණා VirtualBox දුවවලා බලන්න root user විධියට.

gksu VirtualBox

අනේ යාන්තාං ඇති! එළටම වැඩ!! ඒත් නිතර මුරපද ටයිප් කර කර ඉන්න ගියාම කරදර නිසා මේකට හරි විසඳුමක් හොයාගන්න මම උත්සුක වුණා. ඕකත් දෙයක් ද අපේ ගුග්ල් දෙයියා ඉන්නකං... ;) මෙන්න මෙතනිං විසඳුමක් ලැබුණා. හැබැයි ඒ ලිපිය Ubuntu 7.10 ආශ්‍රිතව ලියපු එකක්. මම ඒක මගේ අත්දැකීම එකතු කර නැවත ලියනවා.

පොඩි සැත්කමක් -- /etc/init.d/mountdevsubfs.sh ගොනුව සංස්කරණය කරන්න කියලා තමයි සඳහන් වෙන්නෙ. ඊට කලින් අපි අදාළ ගොනුවේ උපස්ථ පිටපතක් හදමු... වැඩේ වැරදුණොත් ආපහු ගොඩ එන්න පුළුවන් වෙන්න... (ඇස් ඇරගෙන වැඩ කළොත් වරදින්නෙ නෑ)

su
cp /etc/init.d/mountdevsubfs.sh /root/mountdevsubfs.sh


දැන් බය නැතුව සංස්කරණය කරමු:
gedit /etc/init.d/mountdevsubfs.sh

මෙන්න මේ කේත පේළිය සොයා ගන්න. (Ctrl + F)
do_start () {

ඒ පේළියේ තියෙන සඟල වරහනට ගැළපෙන වැසීමේ සඟල වරහන '}' සොයා ගන්න. ඒ වැසීමේ සඟල වරහනට ඉහළින්, එහෙත් සඟල වරහන් දෙක අතර දැනට පවතින කේත පේළි වලට යටින්, පහත දැක්වෙන කේත පේළි ඇතුළත් කරන්න (Copy & Paste):

#VirtualBox USB hack (මේ පේළිය ලියන්නෙ කහනවට නෙවෙයි -- අපේම පහසුව පිණිසයි)

mkdir -p /dev/bus/usb/.usbfs
domount usbfs /dev/bus/usb/.usbfs -obusmode=0700,devmode=0600,listmode=0644
ln -s .usbfs/devices /dev/bus/usb/devices
mount –rbind /dev/bus/usb /proc/bus/usb


දැන් ගොනුව සුරකින්න. පරිගණකය ප්‍රතිපණගන්වා VirtualBox ක්‍රියාත්මක කර බලන්න. USB වැඩ නේද? :)

ඕකෙ පිහිටෙන් මම දුරකථනයෙ මෙමෙරියෙ තියෙන දේවල් ටික බලාගත්ත. ඒත් මකා දමන්න බැරි වෙන්න Sony Ericsson එකෙන්ම දාල එවන කරුම ෆයිල් දෙකතුනක් තියෙනව ඒව මෙහෙමවත් මකන්න බෑ නෙව! :(

දැං ඉතිං ජංගම දුරකථනය විතරක් නෙමෙයි USB වලින් වැඩ කරන නානාප්‍රකාර පරිගණක උපාංග virtual මැෂිමට අමුණන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පිස්සු විකාර වැඩ කරන්නත් පුළුවන්. ඔය බොරු මැසිමයි ඇත්ත මැසිමයි අතර පරිගණක ජාලයක් වගේ එකක් තියෙනවනේ... කොහොමද gateway එක බොරු මැසිම වුණොත්? නිකං ඉන්න බැරිකමට මගේ Huawei e220 මොඩම් එකෙන් කරල බැලුවා... අවුලක් නැතුව වැඩ! :)

---

අද සටහන දිග වැඩියි.... ආවරණ කලාපයත් ලොකුද මන්දා... මටත් මහන්සියි ලියලා.... වැඩක් වේවිද දන්නෙත් නෑ.......................... :-O

21 වැනිදා අපේ ජයග්‍රාහී හතරවෙනි සෙමෙස්ටරයෙ මහා ඉල්ලංකෑමේ කැම්පේන් එක පටන් ගන්නවා..... මං යනවා දැන්ම දාගන්න ගිරවෙක් දාගන්න..... ආයුබෝ!!!!!!!

බාගැනීම්:

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Saturday, June 20, 2009

ආයුබෝවන් Leonidas! සහ තවත් කතා෴

ඕං මමත් කැම්පස් එකෙන් බාගනිපු Fedora 11 image එක අළුත් DVD තැටියකට පිටපත් කරලා හොඳ නැකතක් හෙම බලලා ලැප්ටොප් එකේ (hd0,5) කියන තැනට ගානට මිම්මට පරිස්සමෙන් ගෙනත් දාගත්තා. වැඩේට උදව් කරපු පිංතූරමල්ලත් අමතක කරන්න හොඳ නෑ. තව ReloadEvery කියන ඇඩෝනයත්. පිංතූරමල්ලෙ දැඩි ප්‍රතිපත්ති ලිහිල් කරල දුන්නෙ ReloadEvery තමා :D .

ඉතිං Leonidas කියන නමේ තේරුමත් කියන්න එපායැ... Leonidas කියන නමේ තේරුම "සිංහයාගේ පුත්‍රයා" හෝ "සිංහයකු වැනි" කියන එක බවයි විකිපීඩියාවෙ ලියැවිලා තියෙන්නෙ. ඔය නම ඇහුවම මතක් වෙන චිත්‍රපටයක් තියෙනවා. නම 300.

Fedora Upgrade කරන්නයි මම මුලින් උත්සාහ කළේ. ඒක හරි ගියේ නැත්තෙ ඒ partition එකේ ඉඩ මදි වෙච්ච නිසා. මගේ /home එක තියෙන්නෙ වෙනම partition එකක. මගේ ළඟ තියෙන චිත්‍රපටි කන්දරාව දාගන්නත් එක්ක ලොකු ඉඩක් ඒකට දීලා OS එක දාන partition එකට පොඩි ඉඩක් දීමෙ විපාක තමයි ඉතිං මේ :( . ඉතිං වැඩේ පටන් ගත්තෙ නැතෑ මුල ඉඳලම දාන්න! Fedora දාලා පොඩි පොඩි අවුල් කීපයකුත් ඇති වුණා. ඒවා Fedora වල වැරදි නෙමෙයි, මගේ පරිගණකය Fedora Ubuntu dual boot කරන්න ගිහින් වුණ අවුලක් ඒක. සුපුරුදු පරිදි ක්‍රම සහ විධි පාවිච්චි කරලා ඒවත් විසඳගත්තා.

ඉතිං මරු මරු වැඩ තියෙනවා.. තව Windows 7 ගැන පොඩි කතාවකුත් තියෙනවා. මේක දිගටම කියවන්න... මගදි අහු වෙයි. ;) දැං සිද්ධ වෙච්ච දේ ගැන කතාව කියවමු.

ඔන්න ඉතිං Fedora DVD එක දාලා පටං ගත්තා වැඩේ. Fedora 10 නිකුතුවේ ඇනකොන්ඩාට සිංහල බෑ. ඒ කිව්වෙ Fedora ස්ථාපනය කරද්දි ස්ථාපන ක්‍රමලේඛයෙ අතුරුමුහුණතේ සිංහල භාෂාව තොරාගන්න පුළුවන් වුණත් සිංහල අකුරු හරියට පෙන්වන්නෙ නැහැ. නමුත් Fedora 11 සංස්කරණයේ මේ අවුල හදලා තියෙනවා. දැං ඇනකොන්ඩා සිංහලෙන්. ඒකත් අපූරුයි. තියෙන සමහර සිංහල වචන නම් ටිකක් නුහුරුයි. ඒත් කල් ගතවෙද්දි ඒ තත්වය සමනය වෙයි.

මගේ /dev/sda1 partition එකේ තියෙන්නෙ Ubuntu. /dev/sda5 කියන්නෙ /home. /dev/sda6 තමා Fedora. ඉතිං මම /dev/sda6 format කරලා සාමාන්‍ය විධියට Fedora ස්ථාපනය කළා. හැබැයි බූට් මෙනුව මානකරණය කරන පියවරේදි Ubuntu තියෙන බවක් ඇනකොන්ඩාට පෙනිල නෑ. කමක් නෑ, ඕන එකක් වෙද්දෙන් කියල ස්ථාපනය කළා.

---

ඔන්න දැං අතුරු කතාව..... අපේ මලයා දැනට දවස් කීපයකට කලින් ගෙදර ඩෙස්ක්ටොප් මැෂිමට Windows 7 දාගෙන. ඒ වුණාට Windows 7 සංස්කරණයෙ drivers ස්ථාපනය කරන් බැරිලු. ඉතිං Fedora වල 1500කට වඩා ටිකක් වැඩි ගණනකින් යුත් පැකේජ කන්දරාවෙන් එකින් එක මගේ ලැප්ටොප් එකේ ස්ථාපනය වෙද්දි මම ගිහින් ඒක කරල දෙන්න විධියක් කල්පනා කළා. ඇත්ත තමා... motherboard එකත් එක්ක එන CD එකේ තියෙන මෙලෝ මගුලක් වැඩ කරන්නෙ නෑ.

ඉතිං මෙන්න සරල විසඳුම... කොටන්න Start,... right click කරන්න Computer,... යන්න Manage. දැන් Device Manager එකට ගිහින් අදාළ hardware එක තෝරලා driver එක යවත්කල් (update) කරන්න. Drivers ගන්න ප්‍රභවය විධියට CD-ROM එක ලබා දුන්නාම වැඩේ ගොඩ. කෝමද ටිකිරි මොළේ? :)

ඉතිං ඕක කරන හැටිත් මලයට කියල දීලා ඒ මැෂිමෙන්ම සිංදුවකුත් අහගෙන ඉන්න වෙලාවේ අදහසක් ආවා අළුතෙන් බ්ලොග් සටහනක් ලියන්න. ඒකට ඕන වෙයි කියලා හිතෙන තිරපිටපතක් අරගෙන Microsoft Paint මෘදුකාංගය පාවිච්චි කරලා save කරද්දි තමා මරු සීන් එකක් දැක්කෙ. Save කරන්න තිබුණ ඩයලොග් එකේ ගොනු වර්ගය (file type) ලෙස පෙරනිමියෙන් තිබුණෙ PNG. ඒ කියන්නෙ දැන් Microsoft එකත් FOSS වලට ටිකක් බැහැලා ඉන්නෙ. :D මේ බලන්න screenshot එක:



දැං වින්ඩෝස් කතා ඇති... එමුකො මාතෘකාවට...

---

ඔන්න Fedora ස්ථාපනය කරලා ඇනකොන්ඩා මගේ ලැප්ටොප් එක reboot කළා. කලින් හිතපු එක හරි... බූට් මෙනු එකක් නෑ. ගෙඩිය පිටින් Fedora බූට් වෙනවා. ඉතින් මම Fedora බූට් වෙනකම් ඉඳලා /boot/grub/menu.lst බැලුවා. හරිනේ... මේකෙ තියෙන්නෙ Fedora වලට අවශ්‍ය යොමුව විතරයි. ඉතිං කෝමද මෙනු එකක් වෙන්නේ? ;)

මම මෙහෙමයි කළේ... Ubuntu තියෙන partition එක (/dev/sda1) mount කළා. ඒකෙ boot/grub/menu.lst වලින් Ubuntu වලට අදාළ යොමු ටික පිටපත් කරගෙන, Fedora ස්ථාපනය කළ partition එකේ එම ගොනුවට ඇතුළත් කළා. දැං ඇත්තටම වැඩේ සම්පූර්ණද?

තව පොඩි වැඩක් තියෙනවා. දැන් GRUB එක තියෙන්නේ Ubuntu තියෙන partition එකේ නෙමෙයි. ඒ නිසා Ubuntu වල කර්නල් එක /boot/vmlinuz-2.6.28-12-generic කියලා එකපාරටම දුන්නාම ඒක වැඩ කරන්නෙ නෑ. ඒකට පොඩි උප්පරවැට්ටියක් දාන්න ඕනේ root (/) partition එක හඳුන්වා දීලා. root partition එක විධියට දෙන්න ඕනේ Ubuntu තියෙන partition එකම තමා. මේ උදාහරණ බැලුවාම පැහැදිලි වෙයි.

පෙර:
title    Ubuntu 9.04, kernel 2.6.28-12-generic
uuid    3a70c937-6728-47ff-a488-19e1d8942c85
kernel    /boot/vmlinuz-2.6.28-12-generic root=UUID=3a70c937-6728-47ff-a488-19e1d8942c85 ro quiet splash
initrd    /boot/initrd.img-2.6.28-12-generic
quiet

පසු:
title    Ubuntu 9.04, kernel 2.6.28-12-generic
root    (hd0,0)
uuid    3a70c937-6728-47ff-a488-19e1d8942c85
kernel    /boot/vmlinuz-2.6.28-12-generic root=UUID=3a70c937-6728-47ff-a488-19e1d8942c85 ro quiet splash
initrd    /boot/initrd.img-2.6.28-12-generic
quiet

Fedora එක්ක KDE දැම්මා. බබා වගේ වැඩ. KDE පරණ සංස්කරණයෙ වගේ හිර වීම් මේකෙ නැහැ. බූට් වීමත් ඉක්මන්. හැබැයි අවුලකට තියෙන්නෙ මගේ ලැප්ටොප් එකේ touchpad එක හරියට අඳුනගන්නෙ නැති එක තමා. :(

තව ඉතිං... Firefox 3.5 beta තියෙනවා... ලස්සන ඩෙස්ක්ටොප් රංග සැරසිලි ටිකකුත් තියෙනවා (මේවා පරණ ඒවා + අළුත් ඒවා; Fedora දාලම බලන්ටකෝ...).

කොහොම වුණත් මේ වතාවේ Fedora ට හොඳ දසාවක් ලබල වගේ :P . තිරපිටපත් ටිකක් බලන්න ඕන නම් මගේ අමුතු තාලේ photoblog එක පැත්තෙ ඇවිත් යන්න එන්න෴

---

මේ සටහනේ තියෙන දේවල් වෙලා දැන් සතියකටත් වැඩියි. වැඩ වැඩි වුණ නිසා ලියන්න කාලයක් ලැබුණෙ නැහැ.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Sunday, May 31, 2009

මම Windows 7 දැම්මෙමි෴

මේ දවස් වල කවුරු කවුරුත් Windows 7 ගැන කතා කරන නිසා මටත් හිතුණ Windows 7 දාල බලන්න. ලිනක්ස් වලට මාරු වුණා කියල අළුත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් අත්හදා බලන්න තහනමක් නැහැනේ. ;)

ඉතිං මමත් දැම්මා බිල් මහත්තැන්ගේ කොම්පැණියේ අළුත්ම නිමැවුම :-O Windows 7!

මගේ ලැප්ටොප් එකේ දෘඩ තැටිය දැන් මුළුමනින්ම ext-3 (දත්ත අස්ථානගත වීමේ අවදානම නිසා මම ext-4 පාවිච්චි කරන්නෙ නැහැ). Bootloader එක විධියට පාවිච්චි කරන්නෙ GRUB. වින්ඩෝස් කියන රාත්තල් 600ක් බර ගෝරිල්ලට සිරිත් පරිදිම GRUB අරහං බව දන්න නිසා මම ඒ වෙනුවෙන් වෙනම partition එකක් හදන්න කරදර වුණේ නැහැ. දැම්ම Sun VirtualBox. ආසන්න වශයෙන් ගිගාබයිට් 5 කින් වැඩෙත් ෂේප්. මේ ගැන මම කලින් කඩ්ඩෙන් කොටපු ලියවිල්ලක් බලන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න.



VirtualBox පාවිච්චි කරන අය දන්නව ඇති (සමහරවිට නොදන්නවත් ඇති) ඒකෙ තියෙන Seamless Mode කියන පහසුකම ගැන. මටත් මේ ගැන කිව්වේ බ්ලොග් ලියන අපේ මිත්‍රයෙක්. සාමාන්‍යයෙන් virtual machine එකේ ධාවනය වන වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නෙ ලිනක්ස් ඩෙස්ක්ටොප් එකෙන් බැහැරව වෙනමම window එකක් ඇතුලෙ. නමුත් Seamless Mode පාවිච්චි කරනවනම් මේ මෙහෙයුම් පද්ධති දෙකේම ධාවනය වන වැඩසටහන් එකම ඩෙස්ක්ටොප් එකට ගන්න පුළුවන්. වින්ඩෝස් ඩෙස්ක්ටොප් එකේ පසුබිම් රූපය අතුරුදන් වෙලා, වින්ඩෝස් taskbar එක Gnome/KDE පැනලය උඩට ඇවිත් මෙහෙයුම් පද්ධති දෙකත් එක්කම එකවර වඩා පහසුවෙන් වැඩ කරන්න පුළුවන් පරිසරයක් එයින් නිර්මාණය කර දෙනවා. මේක පැහැදිලි වෙන්න පහත දැක්වෙන තිරපිටපත බලන්න.


එකම කතාවක් - අවසානයන් දෙකක්
(Mozilla Firefox 3.0.10 සහ Windows Internet Explorer 8 [VirtualBox Seamless Mode])

Seamless Mode පහසුකම නිර්දේශ කරල තියෙන්නෙ Windows XP මෙහෙයුම් පද්ධතියට. නමුත් පොඩි වෙට්ටුවක් දාලා ඒක පහසුවෙන්ම Windows 7 මෙහෙයුම් පද්ධතියට හරියන විධියට හදාගන්න පුළුවන්. ;)

මුලින්ම මම Seamless Mode ගැන නොදන්න අයට ඒක ගැන තවදුරටත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. Virtual machine එක ධාවනය වෙන අතරෙදි ඒකෙ තියෙන Machine මෙනු එකේ Seamless Mode කියන අයිතමය ක්ලික් කළාම Seamless Mode වෙත පිවිසෙන්න පුළුවන්. නමුත් මේ මෙනු අයිතමය සාමාන්‍යයෙන් අක්‍රියවයි පවතින්නේ. ඒකට හේතුව VirtualBox ඇතුළෙ ධාවනය වෙන virtual machine එක, host මෙහෙයුම් පද්ධතියෙ ඩෙස්ක්ඩොප් පාරිසරිකයට අනුගත විය යුතු ආකාරය දැන නොසිටීම. ඒක කරන්න අවශ්‍ය driver software එකක් virtual machine එකේ ස්ථාපනය කළ යුතුයි. මේ drivers තියෙන iso ගොනුවක් (~ 25 MB) අපට අන්තර්ජාලය හරහා බාගන්න පුළුවන්. එය හඳුන්වන්නේ VirtualBox Guest Additions යන නමින්. virtual machine එකෙන් iso ගොනු mount කරන්න පුළුවන් නිසා CD එකකට පිටපත් කරගැනීම අවශ්‍ය වෙන්නෙ නෑ. Virtual machine එකේ Windows ධාවනය වෙන අතරෙදි, machine එකේ Devices මෙනු එකේ තියෙන Install Guest Additions අයිතමය ක්ලික් කළාම අදාළ ගොනුව බාගත වෙලා ස්වයංක්‍රීයවම mount වෙයි. මෙන්න අවශ්‍ය නම් Guest Additions 2.0.4 වෙළුම බාගන්න.

Guest Additions iso එක mount කළා නම් දැන් virtual machine එකේ Windows Explorer/My Computer වලින් CD drive එක විවෘත කරලා VBoxWindowsAdditions.exe ගොනුව විවෘත කළාම Guest Additions ස්ථාපනය වෙයි. ඉන්පසුව virtual machine එක එක්වරක් ප්‍රතිපණගැන්වූවාම කරදරයක් නැතිව Seamless Mode වෙත පිවිසෙන්න පුළුවන්.

නමුත් මේ Guest Additions හදල තියෙන්නෙ Windows XP සඳහා. Windows 7 දී Guest Additions ස්ථාපනය කරන්න ගියාම දෝෂ පණිවුඩයක් පෙන්වලා ස්ථාපනය මඟහරිනවා. දැන් කියන්න යන්නෙ මම මුලින් කිව්ව වෙට්ටුව ගැන. ඒක වචන වලින් කියනවට වඩා පැහැදිලි වෙයි මීළඟ තිරපිටපත බලනව නම්.


අපැහැදිලි නම් තිරපිටපත මත ක්ලික් කරන්න

ඔහොම කරල VBoxWindowsAdditions.exe ගොනුව විවෘත කළාම කිසි ආබාධයක් නැතුව වැඩ.

ඉතින් දැන් Windows 7 ගැන ලියන්න ගත්ත සටහනේ මම වැඩි හරියක් ලියල තියෙන්නේ VirtualBox ගැනද මන්දා... කොහොම නමුත් කරල බලන්න. Seamless Mode අමුතුම අත්දැකීමක් වෙයි. ;)



දැන් වටවන්දනාව අහවර කරලා එමුකො ආපහු මාතෘකාවට... Windows 7. මේක පෙනුමින් Windows Vista පද්ධතියට වඩා වැඩි වෙනසක් නැති වුණත් අළුත් taskbar එක නම් අපූරුයි. Taskbar එකේ ඉඩකඩ ඉතිරි කරගන්න යොදාගෙන තියෙන අළුත් ක්‍රමය හොඳයි.

වේගය අතිනුත් Windows 7 හොඳයි. අවම වශයෙන් 1 GB RAM ඉල්ලලා තිබුණත් 512 MB RAM එකකත් වැඩ. හැබැයි දැනගන්ට ඕනෙ... Ubuntu වල නම් visual effects එක්ක වැඩ කරන්න ඕන කරන අවමය 384 MB බව. ;)

මම Guest Additions වල තියෙන VGA driver එක ස්ථාපනය කරල තියෙද්දිත් වින්ඩෝස් වල Aero Effects නම් වැඩ කළේ නැහැ. ඒ වගේම VirtualBox වලදි Windows 7 audio වැඩ කරන්නෙත් නැහැ. ඒ ගැන හොයද්දි තමයි දැනගත්තෙ Windows 7 Troubleshooter කියන්නෙ Windows XP Troubleshooter එකටත් වඩා මෝඩ ජෝක් එකක් කියල. :D

මීළඟ තිරපිටපත බලන්න. ඒකෙ විකල්ප දෙකක් තෝරාගන්න දීල තියෙනවා.



මොන වැඩේ වුණත් මම නම් තෝරන්නෙ දෙවැන්න. පළමුවැන්න තේරුවම එන එක දැක්කනම් ඒ මොකද කියල හිතාගන්න පුළුව්න්.



ඔහොම කියන්නෙ නැතුව වැඩේ බැරි එක කලින්ම බෑ කිව්වනං අපි forum එකකින් හරි බ්ලොග් එකකින් හරි හොයාගන්නවනේ පිළියමක්. Explore Additional Options කියන එක ක්ලික් කරන පරිශීලකයා බලාපොරොත්තු වෙන්නෙ මොකක් හරි අළුත් යමක් -- පිළියමක්. එහෙම නැතුව එකම විධියෙ කතන්දරේ හැම වෙලාවෙම දැක්කම එපා වෙනවා. Windows XP පාවිච්චි කරන කාලෙත් මට එපාම කරල තිබුණ යෙදුම තමයි Troubleshooter එක. ඒකෙන් ඇති වැඩක් වුණේ නැහැ. නිකං කාලය නාස්ති වුණා විතරයි.

කොහොම වුණත් Windows කැමති අය Windows 7 දාල බලන්න... අළුත් අත්දැකීමක් වෙයි. ;)

Windows 7 ගැන අදට එපමණයි. දිගින් දිගටම Windows 7 පාවිච්චි කරන්න බලාපොරොත්තුවක් නැහැ වුවමනාවක්ම වුණොත් VirtualBox එකෙන් Windows XP පාවිච්චි කරනව මිසක්. මට හොඳයි නිදහසේ ඕන දෙයක් කරන්න ඉඩදෙන ලිනක්ස්ම. ;)

බාගැනීම්:
මේ සටහනේ ලිව්ව VirtualBox Seamless Mode ක්‍රියාත්මක කිරීම ගැන අපැහැදිලි තැනක්/ගැටළුවක් එහෙම තියෙනවනම් comment එකක් දාන්න. ඕනම ආකාරයක ප්‍රශ්න වලට මම උත්තර දෙනවා. :)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Sunday, May 24, 2009

මගේ OS ඉතිහාසය - එදා සිට අද දක්වා...

අද මම ලියනවා මගේ OS පාවිච්චියේ සහ ඉගෙනීමේ ඉතිහාසය ගැන ටිකක්. අද මේ ගැන මතක් කරන්න හිතුණේ විශේෂ හේතුවක් නිසයි.

මම පරිගණක පිළිබඳ ඉගෙනගන්න පටන් ගත්තෙ 1995 අවුරුද්දෙ. මම එතකොට පරිගණකයක් දැකලවත් නැහැ. ඒ දවස් වල විජය ළමා පත්තරේ තිබුණ ලිපි ටික තමයි කියෙව්වෙ. විජය පුවත්පත් සමාගමට මම අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා ඒ ලිපි පෙළ පළ කිරීම ගැන. ඒ ලිපි පෙළ තමයි මගේ පරිගණක අධ්‍යාපනයට මූලික අඩිතාලම දැම්මෙ. මට මතක විධියට ඒ ලිපි පෙළේ අන්තිම හරියෙ තිබුණ MS-DOS වලින් පරිගණකය ක්‍රියා කරවන ආකාරය ගැන. ඉතින් මම මෙහෙයුම් පද්ධතියක් විධියට මුලින් ඉගෙනගත්තෙ MS-DOS ගැන කියල කියන්න පුළුවන් (ප්‍රායෝගික ක්‍රියාකාරකම් නැතිව). පොඩි කාලෙ MS-DOS දුවන පරිගණකයකින් වැඩ කරන්න ආසාවෙ හීන බල බල හිටිය.

පසුකාලීනව පාසලේදි පරිගණක අතපත ගාන්න ලැබුණම මට පරිගණකය මැජික් වගෙ. මොකද එතකොට MS-DOS නෑ. පරිගණක බොහොමයක Windows 98ත්, කීපයක Windows 2000ත් තිබුණා. ප්‍රායෝගිකව සමහර දේවල් කරල බලල ඉගෙනගත්තා. ඒ දවස් වල ඉඳලම මගේ පුරුද්දක් තිබුණා පරිගණක තිරයේ දිස් වෙන හැම දෙයක්ම කියවන. කිසිම OK/Cancel බොත්තමක්වත් අදාළ පණිවුඩය නොකියවා ක්ලික් කළේ නැහැ (සමහරවිට අදහස නොතේරුණත්).

2003 අප්‍රේල් මාසෙ මගේ ම පරිගණකයක් පාවිච්චි කරද්දි මම පාවිච්චි කළේ Windows 98. ගොඩක් දෙනා මට Windows XP පාවිච්චි කරන්න කියල කිව්වත් මොකක් හරි හේතුවක් නිසා මට හරි ගියේ Windows 98. මම හිතන්නෙ මට පුරුදු ඒක නිසා වෙන්න ඇති. මම වැඩියෙන්ම කාලය ගත කළේ Windows වල තියෙන රහස් හොයමින්. ඒ දවස් වල අපේ පැත්තෙ වැඩිය අන්තර්ජාල භාවිතාවක් තිබුණෙ නැති නිසා මම අතපත ගාල හොයාගත්ත බොහෝ දේ බොහොමයක් දෙනා නොදන්න දේවල්.

Windows 98 සිට XPට මාරු වෙද්දි මට එක දෙයක් දැනිලා තිබුණා. භාවිත කරන්නාව තොටිල්ලෙ තියල නලවන ගතියක් Windows XP වලට ඇවිත් තිබුණා. විය යුත්තෙ එය වුණත්, මට නම් ඒක එච්චර හිතට ඇල්ලුවෙ නෑ.

කලක් යද්දි Windows XP වල පෙනුමට වහ වැටිල මම Windows 98 තියෙද්දිම XPත් ස්ථාපනය කරගත්ත. ටික ටික Windows XP වලට හුරු වුණාට පස්සෙ මුළුමනින්ම Windows XP වලට මාරු වුණා. ඔය කාලෙම තමයි මම සැරට එක එක දේවල් අත්හදා බලන්න පුරුදු වුණේ. සැරට කිව්වේ මම කළ දේවල් පරිගණකයෙ ස්ථාපනය කරල තිබුණ මෘදුකාංග වලට නරක විධියට බලපෑ නිසා. ඉතින් ඒ නිසා ඒ දවස් වල මාසෙකට කීප වතාවක් දෘඩ තැටිය format කරල නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන එක සාමාන්‍ය දෙයක් වෙලා තිබුණෙ.

2005 අවුරුද්දෙ මට මිත්‍රයෙකුගෙන් ලිනක්ස් ගැන දැනගන්න ලැබුණ. ඒ Ubuntu ගැන. ඉතින් මමත් ඒ දවස් වල තිබුණ Ubuntu Breezy Badger පිටපතක් ඉල්ලගෙන ස්ථාපනය කරල බැලුව. සිංදුවක්වත් අහන්න විධියක් නැති නිසා එපා වුණත් අළුතෙන් ඉගෙනගන්න ඒකෙ යම් දෙයක් තියෙන නිසා මගේ දෙවෙනි (secondary) OS එක විධියට දාල තියාගත්ත. ඒ කාලෙ Ubuntu පාවිච්චි කළේ කලාතුරකින්. දැන් තියෙනව වගේ පෙරළිකාර OS එකක් බවට Ubuntu පත් වේවි කියල ඒ දවස් වල නිකමටවත් හිතුණෙ නැහැ. Kubuntu හා Edubuntuත් ගෙන්වාගෙන පාවිච්චි කරල බැලුව. KDE ඒ දවස් වලම මට එපා වුණේ අනවශ්‍ය තරම් සැරසිලි වැඩි නිසා. (හැබැයි මේ සටහන ලියන්නෙත් KDE වල ඉඳගෙනම තමයි ;) )

මම තව තව මෙහෙයුම් පද්ධති අත්හදා බැලුව. මේ ඒවයින් කීපයක්.
  • Damn Small Linux
  • Puppy Linux
  • Knoppix
ඔය අතරෙ මම Windows Vistaත් දාල බැලුව. නමුත් ඒක දාපු දවසෙම එපා වුණා. Windows 7 නම් මගේ පරිගණකයට ස්ථාපනය කළේ නැහැ. කරන්නෙත් නැහැ. නමුත් Windows 7 පාවිච්චි කරන මිත්‍රයින්ගෙන් දැනගත් විධියට ඒක හොඳ මෙහෙයුම් පද්ධතියක් (Vistaට සාපේක්ෂව).

පසුව නිදහස් හා විවෘත මෘදුකාංග (FOSS) ගැන තරමක අවබෝධයක් ලබා ගත් පසුව මම තීරණය කළා කවදහරි ලිනක්ස් වලට සම්පූර්ණයෙන් මාරු වෙන්න. ඒත් මම ලිනක්ස් ගැන මොනවද දන්නෙ? මං දන්න ඉටිගෙඩියක් නෑ! ඒ නිසා සෑහෙන කාලයක් මම පාවිච්චි කළේ Windows/ Ubuntu ද්විත්ව ස්ථාපිතයක්.

ගිය අවුරුද්දෙ ඩනිෂ්කගෙන් Fedora ගැන දැනගත්තට පස්සෙ මම Fedora වලට මාරු වුණා. දැන් broadband අන්තර්ජාල සම්බන්ධතාවකුත් තියෙන නිසා කලින් වගේ දෙයක් හොයාගන්න අඳුරෙ අතපතගාන්න ඕන නැහැ. ඉතින් තීරණය කළා මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙන වැඩේ ඉක්මනින් ක්‍රියාවට නංවන්න. වින්ඩෝස් නැතිවම බැරි මොහොතක් ආවොත් VirtualBox තියෙනවනෙ. VirtualBox තියෙද්දි restart කරන්න කරදර වෙන්න ඕනත් නැහැ.

මේ සටහන අද ලිව්වෙ එක විශේෂ දෙයක් නිසා. මගේ පරිගණකයෙ අද සිට වින්ඩෝස් නැත. මුළු හාඩ් ඩිස්ක් එකම format කළා... දැම්ම Fedora. KDE 4.1 කොහොමද කියල බලන්නත් එක්ක KDE දැම්ම. මට නම් Gnome තරම් ගතියක් වෙන මොකකවත් නැහැ. KDE හොඳයි... හැබැයි ටිකක් slow motion වගෙ :D . ආයම Gnome වලට මාරු වෙන්නයි කල්පනාව.

ලංකාවෙ ලිනක්ස් ව්‍යාප්තිය දැන් තරමක් හොඳ තත්වයක තියෙනව කියල හිතෙනවා. අඩු ගානෙ spare wheel එක විධියටවත් ලිනක්ස් පාවිච්චි කරන එකෙක් අහළින් පහළින් හොයාගන්න පුළුවන් දැන්. මම ලිනක්ස් පාවිච්චි කරන්න පටන්ගත් දවස් වල ඒක එහෙම නැහැ. ලිනක්ස් වලට එන කෙනෙකුට ඉක්මනින්ම ලිනක්ස් එපා වෙන තත්වයක් ඒ දවක් වල තිබුණෙ. දැනටත් ලිනක්ස් වල user experience එක එතරම්ම සතුටුදායක තත්වයක නැහැ. ඒත් නිදහස ගැන, FOSS වල අරමුණ ලොවට යහපතක් කිරීම'ය කියන එක සිහි වෙනකොට මට කවදාවත් "Linux Sucks!" කියල කියන්න නම් හිත දෙන්නෙම නැහැ.

මෙන්න මේ වීඩියෝ එක බලන්න. බොහෝ දුරට මගේ OS මාරුවත් මේ වගේ කියල දැනෙනවා...



෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Wednesday, April 29, 2009

යල්පිනූ FAT32 අපට ආතල් දෙන හැටි

හැන්ඩි හාවා ඉපදිලා දවස් කීපයයි වුණේ... ඌ තැපෑලෙ එන්න බෑ කියනවනෙ. https://shipit.ubuntu.com/ ගිහින් බලන්න බොරුද කියල... ඉතින් කස්ටිය මේ දවස් වල හෝ ගාලා Ubuntu බානවා. ඉතින් අපේ කැම්පස් එකේ නොමිලේ දෙන අන්තර්ජාල පහසුකමත් මේ දවස් වල සෑහෙන මන්දගාමී වෙලා. ඉතින් ‍මේක වුණේ අපේ එකෙකුට ඔය බාගත්ත Ubuntu DVD image එකක් කොපි කරල දෙන්න ගිහින්.

ඌට මේ image එක පිටපත් කරගන්න ඕන වුණේ USB pen drive එකකට. Image එක දළ වශයෙන් 4.45 GB නිසා පිටපත් කළේ 8 GB පෙන් එකකට. මෙන්න මේක එකපාරටම නැවතුණා! මම එවෙලෙ වැඩ කරමින් උන්නෙ Windows වල. පිටපත් කරන්න පාවිච්චි කළේ Teracopy. Teracopy වල පොඩි අවුලක් තියෙනවා. ඒ තමයි ගොනු පිටපත් වෙන මාධ්‍යයෙ (target media) ඉඩ මදි නම් වැරදි ආකාරයක දෝෂ පණිවුඩයක් (The system cannot find the file specified.) පෙන්වීම. කෝකටත් මම බැලුවා මුල් පිටපත තියෙනවද කියලා. ඒක තියෙනවා. බාගෙට පිටපත් වුණ ගොනු අයිකනය දිහා බැලුවා (මේ සටහනේ මුලින්ම තියෙන රූපය). ඒක දැක්ක ගමන් මට මීටර් වුණා යමක්. ඒ ගොනුවෙ ප්‍රමාණය ආසන්න වශයෙන් 4196 MB හෙවත් 4 GB. පෙන් එක format කරල තිබුණෙ FAT32 ආකෘතියෙන්. මට නිකං ලාවට වගේ හිතුණ මේක FAT32 ආකෘතියෙ ලක්ෂණයක් නිසා වෙන එකක්ද කියල. මොකද ඔය ආකෘති වල ගුණාංග කටපාඩම් කරන්නෙ නෑනේ. කෝකටත් කියල ගිහින් බැලුව විකිපීඩියාව පැත්තෙ. බැලින්නම් වැඩේ ඇත්ත.
Max file size: 4 GB minus 1 byte (or volume size if smaller)
ඔය volume size if smaller කියන්නෙ FAT12 නම් 32 MB, FAT16 නම් 2 GB. අළුත් වින්ඩෝස් සංස්කරණ වල FAT12 ක්‍රමය භාවිත වෙන්නෙ නැහැ.

නමුත් pen drive ආකෘති කරන්න පෙරනිමිය විධියට FAT32 භාවිත වෙනවා තවම. Pen drive එකේ ධාරිතාව 2 GB වලට වඩා අඩු නම් FAT16 තෝරාගැනීමේ විකල්පයකුත් තියෙනවා. ඉතින් කොහොම කොහොම හරි මේ කිව්ව 8 GB පෙන් එකත් format කරල තිබුණෙ පෙරනිමියෙන් ආපු FAT32 ආකෘතියෙන්. ඉතින් මේකට විසඳුමත් කියන්නම්. පෙන් එක NTFS ක්‍රමයට ආකෘති කිරීම. හැබැයි NTFS බවට පරිවර්තනය කළාම පෙන් එක safe remove කිරීම අනිවාර්යයි. හැබැයි වින්ඩෝස් මගින් NTFS ක්‍රමයට පෙන් එක format කරගන්න පොඩි කට්ටක් කන්න වෙනවා. අපේ ගැටළුව නම් විසඳුණා. හැබැයි මුලින් 4 GB කොපි කරන්න ගතවෙච්ච කාලය අපරාදේ. විනාඩි 20ක් විතර වෙලාව නාස්ති කරලා හොඳ ආතල් එකක් දුන්නෙ අපට.

මෙන්න NTFS ක්‍රමයට පෙන් එකක් ආකෘති කරන හැටි. හැබැයි මේ වෙනින් පෙන් එකක්. (අපේ දේවල් හොරකම් කරන එකෙක් ඉන්න නිසා පිංතූර watermark කරන්න හිතුවා)







දැන් තව ‍අවුලක් තියෙනවා. NTFS ක්‍රමයෙ තියෙන file permissions නිසා වෙනත් පරිගණකයකින් පෙන් එකට ගොනු පිටපත් කිරීමේ ගැටළු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැටළුවත් මෙන්න මෙහෙම මඟහරවා ගනිමු:









ඔය ටික කළාට පස්සෙ අපේ වැඩේ හරි ගියා. මේ තිරපිටපත් ටික ගත්තෙ Windows XP වලින් (හෙට අනිද්ද‍ full time ලිනක්ස් වලට මාරු වෙන්න ඉන්න මට මොන Windows Seven ද?).

ඉතින් මම අපේ වින්ඩෝස් 7 පරිශීලකයෙක් වෙන තිළිණගෙන් අහල බැලුවා වින්ඩෝස් 7ත් මෙහෙමද කියලා. ඒ කියන්නෙ pen drive සඳහා පෙරනිමියෙන් එන ආකෘති ක්‍රමය FAT32ද කියලා. ඔව් ලු. මට හිතාගන්න බැරි දේ තමයි තාක්ෂණය මේ තරම් දියුණු වෙද්දි ඇයි වින්ඩෝස් තාම පරණ දේ පෙරනිමියෙන් තියාගෙන ඉන්නෙ කියන එක (මේ ලිපියත් බලන්න). කවුරු හරි දන්නවනම් උත්තරේ කියන්න. හැබැයි "Old is Gold" වගේ කුණුහරුප නම් කියාගෙන එන්න එපා! :P

අවසානයෙ සාරාංශ වශයෙන් මෙහෙම කියන්නම්. 4 GBට වඩා ලොකු pen drive එකක් පාවිචිචි කරනවනම් NTFS ක්‍රමයට ආකෘති කරල තියාගන්න. දැන් ලිනක්ස් වලත් NTFS සහය දක්වන නිසා ලිනක්ස් මත ගැටළුවක් වෙන එකක් නෑ. හැබැයි safe remove අනිවාර්යයි NTFS වලදී.

මේ බ්ලොග් පෝස්ට් එක ලියන්නත් වරුවක් ගත කළා මම. මෙයින් කවුරු හරි කෙනෙක් අළුතින් දෙයක් ඉගෙනගනීවි කියා හිතනවා.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Wednesday, March 18, 2009

Ubuntu / Windows අතර තොරතුරු හුවමාරුව

මගේ පසුගිය සටහන කියෙව්ව නම් දකින්න ඇතිනේ මම ආයෙම Ubuntu ස්ථාපනය කරගෙන තියෙනවා... ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් අපට කැම්පස් එකේ නොමිලයේ ලබා දෙන Wireless Internet පහසුකම ලබාගන්න Fedora මානකරණය කරන එක ටිකක් අපහසු වීම. දැන් අපට තියෙන assignments කන්දරාවෙ හැටියට ඕව හොය හොයා ඉන්න ටිකක් අමාරුයි. ඉතින් Ubuntu වලින් වත් සහනයක් ලැබෙයිද බලනවා. ඉතින් දැන් Fedora, Ubuntu, Windows triple boot. අනෙක, කලකට පෙර, මගේ බ්ලොග් එක කියවන චතුර සංදීප දාපු comment එකක්. රසික ඉල්ලීමක්. :P

VirtualBox හි host ලෙස Ubuntuත්, guest ලෙස Windows XPත් තබාගෙන ඒ මෙහෙයුම් පද්ධති දෙක අතර ගොනු හුවමාරු කරගන්න ක්‍රමය තමයි අහල තිබුණෙ. ඉතින්... මගේ ප්‍රධාන වැඩ කටයුතු ටිකත්, ලියන්න අළුත් මාතෘකා ලැබීමත් නිසා මේ ගැන ලියන එක ටික ටික ප්‍රමාද වුණා. ඔන්න අද ලියනවා... ;)



මේක කරන හැටි මම කොටස් හයකට බෙදල ලියන්නම්. එහෙම ලිව්වම තේරුම් ගන්න ලේසියි කියා හිතනවා.

පළමු පියවර:
දැනටමත් ඔබේ පරිගණකයේ Ubuntu තියෙනවා කියල මම හිතනවා. මම මේක කළේ 'මනුස්සකම කඳුකර එළු' සංස්කරණයේ (8.10) ඉඳගෙන. ඉතින් මුලින්ම terminal window එකක් විවෘත කරගෙන පහත විධානය ලබා දෙන්න.

sudo apt-get install virtualbox

(මෙගාබයිට 50කට නොවැඩි බාගැනීමක්)

දෙවන පියවර:
දැන් වින්ඩෝස් ස්ථාපනය සඳහා අළුත් Virtual Machine එකක් නිර්මාණය කරන්න. මම මේ සටහන ලියන්නෙ දැනටමත් VirtualBox පාවිච්චි කරන අය සඳහා නිසා ඒක කරන ක්‍රමය දැන් ලියන්නෙ නෑ. ඒ වුණාට මේ දේවල් වලට අළුත් අයටත් හැකිතාක් තේරුම් ගන්න පුළුවන් වෙන්න ලියන්නම්. ඒක කරන එක එච්චර දේකුත් නෙවෙයි -- facebook account එකක් හදනවට වඩා ලේසියි. :P

අළුත සාදාගත් Virtual Machine එකේ Settings වෙත ගොස් පහත දැක්වෙන තිරපිටපතේ පෙන්වා ඇති සැකසුම් සකසන්න. (පැහැදිලිව බලන්න රූපය මත ක්ලික් කරන්න)


Enable Network Adapter
Attached to NAT
Cable Connected
  • Shared Folders සඳහා සැකසුම් කිරීම අවශ්‍ය වෙන්නෙ නෑ.
තුන් වන පියවර:
සාදාගත් Virtual Machine එක මත Windows XP ස්ථාපනය කරන්න. ඒක ඉතින් කරන්න දන්න එක නේ... වින්ඩෝස් ස්ථාපනය කරල කරන්න සැකසුම් කීපයක් තියෙනවා. ඒවා එකින් එක පහත දක්වා තිබෙනවා.


මේක කරන්නෙ අපේ පහසුවට, ඕන වෙලාවක ජාල‌ සැකසුම් වල තත්වය බලාගන්න පුළුවන්



දැන් Windows Network Setup Wizard දක්නට ලැබේවි. එහි පහත දැක්වෙන සැකසුම් සකසමින් ඉදිරියට යන්න.
  • Select a connection method පියවරේ දී - This computer connects to the Internet through a residential gateway or through another computer on my network.
  • File and printer sharing පියවරේ දී - Turn on file and printer sharing

මෙහි Default Gateway ලෙස දක්වා ඇත්තේ Ubuntu ස්ථාපනය කර ඇති පරිගණකයේ, එනම් host OS ඇති පරිගණකයේ ඇති virtual network interface එකෙහි IP ලිපිනයයි. මේ උදාහරණයේදී එය 10.0.2.2 වෙයි. එය සටහන් කරගන්න.

දැන් Command Prompt එකේ පහත දැක්වෙන විධානය ලබා දෙන්න.

ping 10.0.2.2

(තද කළු අකුරින් තියෙන IP ලිපිනය වෙනුවට ඔබේ පරිගණකයේ IP ලිපිනය (Virtual Windows ස්ථාපිතය මගින් ලබා ගත්) සටහන් කරන්න)


මේ වගේ පිළිතුරු ලැබෙනවනම් වැඩේ හරි

දැන් ටික වෙලාවකට අපි Virtual Machine එක වසා දමමු. මීළඟ පියවර කරන්න තියෙන්නෙ Ubuntu මත.

හතර වන පියවර:
Ubuntu වල terminal window එකක් විවෘත කරගෙන පහත විධාන එකින් එක ලබා දෙන්න.

mkdir ~/vbox-share
chmod 777 ~/vbox-share
cd ~/vbox-share
touch i am proud to be a sinhala blogger (මේක කරන්නෙ ආතල් එකට... shared folder එකේ බෙදා හදා ගන්න මොකුත් තියෙන්නත් එපැයි :P )
sudo apt-get install samba libpam-smbpass
exit

දැන් සැසිය යළි අරඹන්න (session restart). මේක කරන්න ලේසිම විධිය Ctrl+Alt+Backspace. කරන්න කලින් අත්‍යාවශ්‍ය සියළුම වැඩසටහන් වලින් ඉවත් වෙන්න.

පස් වන පියවර
ඉතිරි ටිකත් terminal එකෙන් කරන හැටි තිබුණ නම් හොඳයි. ඒත් කලබල අස්සෙ මට ඒක හොයාගන්න බැරි වුණා. ඒ නිසා nautilus (GUI) වලින් කරන හැටි කියන්නම්.

Places menu (ඉහළ වම් කෙළවර) එකේ Home ක්ලික් කර ඔබේ home folder එක වෙත යන්න. අළුත හදා ගත් folder එක (මේ උදාහරණයේදී vbox-share) right click කරල Properties වෙත යන්න. එහි Share tab එකේ පහත දැක්වෙන සැකසුම් සකසන්න.
  • Share this folder : Yes
  • Share name : ubuntu-host (කැමති නමක්)
  • Allow other people to write in this folder : Yes
  • Guest Access : Yes
දැන් Create Share ක්ලික් කරන්න.


වැඩේ හරි නම් icon එක පේන්නෙ මෙහෙම

හය වන පියවර:
දැන් ආයෙම අපේ Windows virtual machine එක පණගන්වන්න. Start --> Run ගිහින් කලින් අපි සොයාගත් IP එක මෙන්න මේ විධියට ඇතුලත් කරන්න.

\\10.0.2.2\

දැන් මෙහෙම එකක් ලැබෙයි:



ඇරල බලන්න මොනවද තියෙන්නෙ කියලා... :P


වැඩේ හරි නේද? Ubuntu වල තියෙන ආරක්ෂක විධි විධාන මඟහැරල මේ බෙදා හදා ගැනීම කරන ක්‍රමයටයි ලිව්වෙ. මොකද virtual machine එකත් පාවිච්චි කරන්නෙ තමන්මනෙ.

මේ ක්‍රමය virtual නොවන සාමාන්‍ය Windows ස්ථාපිතයකටත් අදාළයි. මේක ලියල දැන් මාර මහන්සියි. මම ලිව්වෙ නවකයින් ගැනත් හිතල. තේරුම් ගන්න පුළුවන් වුණාද දන්නෙ නැහැ. ගැටළු තියෙනව නම් comment එකක් දාන්න... මං දෙඤ්ඤං උත්තර... :)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Thursday, February 19, 2009

වයිරස් දෙන PisSu ආතල්

මේ ළඟදි දවසක කැම්පස් එකේ computer එකක Photoshop විවෘත කරද්දී ආපු පණිවුඩයක් මේක. මට මොළේ අළුත් කරගන්නලු. මට එදා නම් මේක දැකල මාර හිනා. මොකද මං බය නෑනේ වයිරස් වලට. හැබැයි මගේ පසුගිය බ්ලොග් සටහනකට හේතු පාදක වුණ සිද්ධියෙන් පස්සෙ නම් මම ටිකක් විතර බයයි.



ඉතිං මටත් නිකං ඉන්න බෑනෙ. මාත් දන්න වැඩ කිඩ එක එක පටන් ගත්තා. සරල තැනින් ප‍ටන් ගන්න ඕන. මුලින්ම Windows Task Manager. ඒක හරිගියා! මෙයා වැඩියම කරදර කරන්නෙ නෑ වගේ. Task Manager වල Processes tab එකට ගියාම මෙන්න මොකක්දෝ එකක් නටනවා!!

හොඳට බැලුවම තේරුණා නිකං pissu.exe වගේ එකක් කියලා. ඒක එනවා - යනවා, යනවා - එනවා. මොන විකාරයක්ද? කෝකටත් මගේ ප්‍රියතම taskkill /f /im pissu.exe විධානය දීලා බැලුවා. වැඩේ හරි. දැන් Photoshop වැඩ.



මෙන්න තව එකක්. පහත දැක්වෙන තිරපිටපත් දෙක හොඳට බලන්න. පළමු වෙනි තිරපිටපත ගත්තට පසුව ඒ වින්ඩෝ එකම පහළට scroll කරල තමයි දෙවැන්න ගත්තෙ.





හොඳට බලන්න අවස්ථා දෙකේදි වෙනස. පළමුවෙනි එකේ සලකුණු කරපු තැන කියන්නෙ දත්ත උපාංගයේ (flash drive) තියෙන ක්‍රමලේඛය පාවිච්චි කරල බහාලුම් විවෘත කරන්න කියල. දෙවැන්නෙ සලකුණු කරපු තැන තියෙන්නෙ Windows Explorer පාවිච්චි කරල බහාලුම් විවෘත කරන්න කියල. බැලු බැල්මට දෙකම එක වගේ. ඉතින් දත්ත උපාංගයේ තියෙන ක්‍රමලේඛය වයිරසයක් බව දැන් වැටහෙන්න ඕන නේද? ඒ නිසා මේ ආකාරයට බහාලුම් විවෘත කිරීමෙදි සැලකිලිමක් වෙන්න ඕන.



මට මේ වයිරස්, Task Manager, Taskkill ගැන ලියලම එපා වෙලා. මෙහෙම ගියොත් මේකත් අර කැටපෝල් පිස්සගෙ කතන්දරේ වගේ වෙයිද දන්නෑ. :D

෴සමීර ශාකුන්තල෴

Saturday, December 13, 2008

පරණ assignment එක සහ තවත් එක් network කතාවක්

කැම්පස් එකේ පළමු වසර දෙවන සෙමෙස්ටරයේ අපට ලැබුණු එක පැවරුමක් (assignment) වුණේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් මත HTTP version 1.0 අනුව ක්‍රියාත්මක වන වෙබ් සර්වර් එකක් නිර්මාණය කිරීම. මම සෑහෙන උනන්දුවකින් කළ assignment එකක් මේක (අළුත් අවුරුද්දෙ නොනගතය වෙලාවෙත් වැඩ). ආදර්ශණය සඳහා HTML පිටු කීපයකුත් නිමැවුණා. මේක මහා ලොකු වැඩක් නෙ‍වෙයි. බබා සර්වර් එකක්. ගිනි හිවල ඉල්ලුවම දෙන්න විතරයි තිබුණෙ. :D
මේක මට වැදගත් වෙන්නෙ මම මෙයින් ලද දැනුම් සම්භාරය නිසා. Assignment එක භාරදීල සති ගණනක් ගිහිල්ලත් මට පරිගණකය ඉදිරිපිටට වෙලා කේත ලියන එක නතර කරගන්න බැරි වුණා. Server Sockets වලින් කරන මේ සෙල්ලමට එතරම්ම මගේ හිත ඇදී ගියා. අන්තිමේ ඒ දැනුම පාවිච්චි කරල සරල (බබා) chat server එකක් සහ proxy server එකක් නිර්මාණය කළා. ලොකු ලොකු වැඩ වලට බහින්න බැරි වුණේ කැම්පස් එකේ NAT (Network Address Translation) අක්‍රිය කර තිබීම නිසයි. පසුව තව තව assignments සෙට් වුණු නිසා වැඩේ අල්ලල දැම්ම. අනිත් දේවලුත් ඉගෙනගන්න එපැයි. ;)
---
අද නිකමට පරණ assignment එකෙන් සෙල්ලම් කර කර ඉඳිද්දි තමයි දැක්කෙ telnet එකෙන් පොඩි සෙල්ලමක් දාපු ගමන් බබා ඩවුන් කියල. කමක් නෑ දැන් බාර දීල ඉවරයිනෙ. මොනව කරන්නද? අනෙක error handling අවශ්‍ය නෑ කියල තිබුණ.. ඒ නිසා බයක් නෑ.. :)

Browser has made a connection to the server.
Browser requests: nawathiyan yako!!!!!!!!!!!!
Error: String index out of range: -1

ඔන්න බබා මළා!



හරි.. ජාලය සම්බන්ධ තාක්ෂණික කතාව මේකයි.
Dialog HSDPA අන්තර්ජාල සම්බන්ධතාවයෙ කෙරෙන්නෙ ග්‍රාහකයන්ට NAT සක්‍රීය කළ dynamic IP ලිපින ලබා දීම. ඒ කියන්නෙ මම දැන් විසන්ධි කරල ආයෙම සම්බන්ධ වුණොත් මට ලැබෙන්නෙ වෙන IP එකක්. (කොහොම වුණත් Dialog එපා වෙන්නෙ Rapidshare වලින් මොනවහරි බාගන්න ගියාම තමයි. :( )
මේ ක්‍රමය නිසා (සියළුම) Dialog HSDPA ග්‍රාහකයින් ඉන්නෙ එකම subnet එකක. මම බබා සර්වර් එක ක්‍රියාත්මක කරල Dialog HSDPA පාවිච්චි කරන යාළුවෙකුට Gtalk හරහා මගේ IP ලිපිනය දුන්න.. මේ වගේ. http://***.***.***.***:3001/
"ඒක වැඩ කරනව මචෝ" එහා පැත්තෙන් reply එක ආවා. මේ server එක local loopback එකෙනුත් ගෙදර අනෙක් පරිගණකය මගිනුත් පරීක්ෂා කර තිබුණත් මේක ඊට වඩා ආතල් වගේ.

ඊලඟට කළ වැඩේ මේකයි.
මම එවෙලෙ වැඩ කරමින් උන්නෙ Windows වල. මම හවුල් බහාලුමක් (Shared Folder) හදල යාළුවට කිව්ව Windows Explorer හරහා \\***.***.***.***\Shared\ යන්න පුළුවන්ද බලන්න කියල. වැඩේ හරි. මිත්‍රයා මට ඒ ටිකට මට MP3 එකකුත් එවල. නමුත් upload වේගය ගොඩක් අඩුයිලු. (ඒකනෙ HSPA කියන්නෙ නැතුව HSDPA කියන්නෙ :D )
මට එවෙලෙ හිතුණෙ මේක මාරයි කියල. මොකද අපි කරන කණ්ඩායම් ව්‍යාපෘති වල අදාළ ගොනු වැඩ කරන වෙලාවෙම share කරගන්න පුළුවන් කියලයි මට හිතුණෙ. Username එකකුයි password එකකුයි දුන්නම ඒක දන්න අයට විතරයි ප්‍රවේශ වෙන්න පුළුවන්.
ඔහොම ටිකක් වෙලා ආතල් එකේ ඉන්නකොට avast කියාපි අර shared folder එකේ virus එකක් තියෙනව කියල. දැන් තමයි දෙලෝ රත් වුණේ. ඒක ඩිලීට් කරගමන්ම දෙවෙනි එක හම්බ වුණා C:\Users\All Users\Documents\ ඩිරෙක්ටරිය ඇතුලෙ තිබිල.. අජීර්ණයක් වගේ..
මම වහාම ක්‍රියාත්මක වන පරිදි shared folder එක ඉවත් කළා.. (අනෙක් ඩිරෙක්ටරියත් shared වුණාට ඉවත් කළේ නැහැ) යන්තම් ඇති. Virus මම පරිගණක නොදන්න කාලෙ මට හොඳ ආතල් දීල තියෙනව. දැන් නම් virus එකක් ආවොත් අයින් කරගන්න එක ගේමක් නෙවෙයි. ඒත් ඒව කරන්න ගියොත් අපේ project කරගන්න වෙලාවක් නැති වෙනවා.

13-Dec-2008 9:19 PM Shaakunthala 1960 Sign of "Win32:Trojan-gen {Other}" has been found in "D:\Entertainment\Shared\ltsnpb.exe" file.
13-Dec-2008 9:20 PM Shaakunthala 1960 Sign of "Win32:Trojan-gen {Other}" has been found in "C:\Users\All Users\Documents\ltsnpb.exe" file.

ඔන්න ඔහොමයි අද ගත්ත ආතල් එක. අත්දැකීම් ටිකක් විතර එකතු වුණා. ඒක වටිනවා. පිටු 1000 ක් 2000 ක් තියෙන පොත් ගිරව දානවට වඩා මේ ලබන අත්දැකීම් පොඩි වුණත් වටිනව කියලයි මට හිතෙන්නෙ.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Tuesday, December 2, 2008

මගේ පරිගණක ඉතිහාසය හා පළමු Fedora අත්දැකීම

ම‍ට මේ ළඟදි ඩනිෂ්ක අයියගෙන් Fedora තැටියක් ලැබුණා. එකක් නෙවෙයි දෙකක්... පහුගිය සිකුරාදා CD එකක් හම්බ වුණා... අද දුන්නා DVD එකක්. මේ සූදානම Fedora ස්ථාපනය කරන්න.
---
මට ඔය අතරෙ හිතුණ මගේ පරිගණක පාවිච්චියෙ අතීතය ගැන මතක සටහනක් ලියන්න. මේක ටිකක් අමුතු පාවිච්චියක්. මොකද මේ ලැයිස්තුවෙ මුලින් තියෙන ඒව ආදි කාලෙ පරිගණක. මම පරිගණක ඉගෙනගත්තෙ ස්වොත්සාහයෙන් -- කවුරුවත් උගන්නලවත්, ඉගෙනගන්න බල කරලවත් නෙවෙයි. ඒ දවස්වල මගේ දැනුම අල්පයි වගේම උනන්දුව තිබුණෙ ක්‍රමලේඛණය ඉගෙනගන්න. ඒ නිසා මේව කියවල කවුරුත් මට හිනාවෙන්න එපා. ම්.. ම්.. ම්... මේ කතාව පටන් ගන්නෙ 2002 අවුරුද්දෙන්. මම සාමාන්‍ය පෙළට සූදානම් වෙන කාලෙ.

මුලින්ම මගේ ඥාතියෙක් පාවිච්චි කරපු Casio fx-5200-p වර්ගයේ එකක්. මේක ගොඩක් වෙලාවට කැල්කියුලේටරයක් වගේ. නමුත් නිෂ්පාදකයා දීපු අත්පොතේ තිබුණෙ Computer කියල. BASIC ක්‍රමලේඛණ භාෂාව භාවිතයෙන් ක්‍රමලේඛණය කරල පාවිච්චි කරන්නයි තිබුණෙ. මේකෙන් මම BASIC ක්‍රමලේඛණ භාෂාව ඉගෙනගත්තා. දැන් නම් BASIC භාවිත වෙන්නෙ නෑ. නමුත් ක්‍රමලේඛණය ඉගෙනගන්න පටන්ගන්න කෙනෙකුට BASIC ඉතාම හොඳයි. (ඒකනෙ Beginer's All purpose Symolic Instruction Code කියන්නෙ). පස්සෙ මම ඒක 'මස්' කරා.

2002 අන්තිමේ මට ලැබුණ තවත් කෞතුක වස්තුවක්. ඒක Atari 800 XL එකක්. ඒකත් පාවිච්චි කරන්න තිබුණෙ තමන් විසින්ම ක්‍රමලේඛණය කරගෙන. ක්‍රමලේඛණ භාෂාව වුණේ Atari Basic (BASIC වලම ව්‍යුත්පන්න ආකාරයක්). පෙනුමින් යතුරුලියනයක් වගේ. මොනිටරය වෙනුවට පාවිච්චි කරන්න තිබුණෙ ගෙදර රූපවාහිනිය :D. ඒකෙ තිබුණා ලොකු RAM එකක්, කිලෝබයිට් 64ක :D. අවශ්‍ය නම් කලින් සකස් කළ ක්‍රමලේඛ වැඩසටහන් අඩංගු කාට්රිජ් පාවිච්චි කර වැඩ ගන්නත් මෙහි පහසුකම් සලසා තිබුණා. මට මතකයි ඒත් එක්ක තිබුණා Microsoft Basic II කාට්රිජ් එකකුත්. මේකෙන් මට වැඩිය වැඩ ගන්න වුණේ නෑ සාමාන්‍ය පෙළ නිසා. මම ඒකත් මස් කළා. කුතුහලය තමයි මේ ඉලෙක්ට්‍රොනික මස්කඩ දැමීමට හේතුව.

මගේ පරිගණක පිස්සුව දැකල තාත්ත මට 2003 අප්‍රේල් මාසෙ පරිගණකයක් ගෙනත් දුන්න. ඒකෙ මෙන්න මේ දේවල් තිබුණ.
  • RAM - 128 MB SDRAM
  • VGA - 16 MB Shared
  • HDD - 20 GB IDE
  • CPU - 1.3 GHz AMD Duron
  • 52x CD-ROM Drive
  • Windows 98 OS
මේකෙන් ගොඩක් දේ ඉගෙනගත්ත. සැරින් සැරේ මස්කඩත් දැම්ම. මම කිසි කෙනෙක්ගෙන් උපදෙසක්වත් ගන්නෙ නැතුව තනියම පොතපත හොයාගෙන කියවල BIOS update, CPU overclocking වගේ 'ලොකු' දේවලුත් ප්‍රායෝගිකව කරල ඉගෙනගත්තා. පසුව Windows XP වලට මාරු වුණා. Windows XP hacks පවා තනියම හොයාගෙන අත්හදා බැලුවා. ඔය අතරෙ මට මිත්‍රයෙකුගෙන් ලැබුණ Ubuntu 5.10ත් පාවිච්චි කරන්න පටන් ගත්තා. Linux වලට මාරු වෙන්න පටන් ගත්තෙ ඒ කාලෙමයි. මොකද ඒ කාලෙම අවබෝධ කරගෙන තිබුණා Windows වල යම් යම් දේ restrict කරල තිබුණු බවත් 'ලොකු' දේවල් ඉගෙනගන්න නම් Linux වලට යා යුතු බවත්. නමුත් ලොකු ගැටළුව වුණේ සිංදු අහන එක :D. ඒ නිසා Ubuntu/ Windows dual boot.

කාලෙන් කාලෙට ඒක upgrade කරල දැන් තියෙන්නෙ මෙහෙම. හැබැයි දැන් පාවිච්චි කරන්නෙ මම නෙවෙයි.
  • RAM - 256 MB DDR1
  • VGA - 16 MB Shared
  • HDD - 80 GB SATA, 40 GB IDE
  • CPU - Intel Celeron 2.53 GHz
  • 52x CD-ROM Drive
  • CD-RW Drive
  • TV Card
  • SLG Ubuntu/ Windows XP Dual Boot

2007 දෙසැම්බර් වල මම ගත්ත Acer Aspire 4315 ලැප්ටොප් එකක්. ඒක තමයි දැනටත් පාවිච්චි කරන්නෙ. නිෂ්පාදකයා එවන්නෙ Linpus Linux දාල. ඒ වුණාට මෙහෙදි විකුණන්න කලින් දානව Windows XP ව්‍යාජ පිටපතක් :D. මම Windows Vista දමාගෙන බැලුව හිතට හරි නෑ.. ඒ නිසා ආයෙම Windows XP වලට මාරු වුණා. ඒ ගමන් දැම්ම Ubuntu. දැන් මෙහෙමයි.
  • RAM - 512 MB DDR2
  • CPU - Intel Celeron 1.73 GHz
  • HDD - 120 GB SATA
  • DVD-RW Drive (Dual Layer)
  • Windows XP/ Ubuntu 8.10 Dual Boot

ඒ තමයි මගේ පරිගණක ඉතිහාසය. මේ මැෂිම මං දැන් අවුරුද්දක් පුරාවට පාවිච්චි කරනව. මම ලොකු ශක්‍යතාවක් තියෙන, posh රැස් විහිදෙන පරිගණක වලට නොයන්න හේතුව මගේ මූලික අවශ්‍යතාවය වන ක්‍රමලේඛණය ඉගෙනීමට පොඩි පරිගණකයක් ප්‍රමාණවත් වීම. මම VirtualBox පාවිච්චි කරන නිසා ළඟදි RAM එක විතරක් upgrade කරන්න අදහසක් තියෙනව. ඊට පස්සෙ Windows/ Linux dual boot නෑ. :)
---
දැන් එමුකො Fedora කතාවට,
පහුගිය සිකුරාදා ඩනිෂ්ක අයිය දීපු අළුත් Fedora CD එක දාල පැය ගාණක් කට්ට කෑව Fedora දාගන්න. එතකොට තමයි දන්නෙ මගේ DVD Writer එක අවුල් කියල. මැෂිම Metropoliton ගෙනියන්න වෙයි වගේ.. warranty එකෙන් මොකක් හරි කරගන්න. කොහොම හරි අමාරුවෙන් Fedora boot කරගත්තා. මෙන්න ස්ථාපනය කරන්න යනකොට කියාපි input/output error කියල. ඔන්න ඔහොමයි පළමු Fedora අත්දැකීම.



දැන් මොකෝ කොරන්නෙ... අද ඉල්ලගත්ත DVD එකක්. දැන් ඒක දාල බලන්නයි සූදානම. ටික දවසක් Fedora වලට හුරු වෙනකම් Windows/ Ubuntu / Fedora තුනම පාවිච්චි කරනවා. මේ තියෙන්නෙ ඒ ගැන ලිව්ව (ටිකක් තාක්ෂණික) සටහන. ඊට පස්සෙ Fedora/ Windows තමා. RAM එක ගත්තට පස්සෙ Windows on Fedora වෙයි. :)

Fedora මේ දැන් install කරනු ලැබේ...!

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴