Showing posts with label සරසවිය. Show all posts
Showing posts with label සරසවිය. Show all posts

Monday, March 1, 2010

අනං මනං... 2010 ජනවාරි, පෙබරවාරි...

මගේ අහවල් කාව්‍යකරණය ගැන ලිව්වට පස්සෙ ගොඩක් දවසකින් මේ පැත්තෙ එන්න බැරි වුණා. මාර්තු අවසාන වෙන්න කලියෙන්වත් මොනව හරි නොලිව්වොත් සිංහල බ්ලොග් කියවනයෙන් මාත් විසික් වෙයි එළියට. කොත්තුවෙන් නම් තාම දොට්ට දාලා නෑ.. :)
(මාස තුනක් ඇතුළත නොලිව්වොත් සිංහල බ්ලොග් කියවනයෙන් එළියට... :| මාස දෙකක් ඇතුළත නොලිව්වොත් කොත්තුවෙන් එළියට.... :| )

මට මතකයි 2009 අවුරුද්දෙත් බ්ලොග් ලිවිල්ල පටන් ගත්තෙ ටික දවසක නිහැඬියාවකට පසුව. සුපුරුදු පරිදි තාක්ෂණික සටහනක් ලියන්න අවශ්‍ය කරන වස්තු බීජයක් ලැබුණෙත් නෑ. පහුගිය දවස් වල මට එක එක ජාතියේ වැඩ තිබුණ නෙව... විභාගයක් තිබුණා... ඉතිං මගේ පුරුදු වැඩ ටිකක් අතමක කරලා 'ගිරවාරූඪය' ට මාරු වුණා. විභාගේ ගැන නම් මතක් කොරනකොටත් බයයි වගේ... හාපෝයි...! විභාගේ 'to be continued' කියල ඒ අතර කාලේ ඡන්දෙකුත් තිබුණනේ.... ඔන්න ඉතිං ජනාධිපතිකමට සුදුසුයි කියල මට හිතුණු පුද්ගලයට මමත් අත පුරෝල පොඩි කතිරයක් ගහල ආවා. :)

දැන් ඉතිං කැම්පස් ජීවිතේ අන්තිම මාස හය... මේ කාලේ අපට තියෙනව ආධුනිකත්ව වැඩසහටනක්...හුරු පුරුදු විධියට කිව්වොත් අපේ internship programme එක. ඉතිං ජනවාරි 25 මමත් ජැන්ඩියට ඇඳලා ගියා ඉන්ටර්වීව්... මගේ ජීවිතේ පළවෙනිම ජොබ් ඉන්ටර්වීව් එක... මම ඒක සමත් වුණා! මාර්තු 02, ඒ කියන්නෙ හෙට උදේ ඉඳලා මට යන්න තියෙන්නෙ අළුත් ගමනක්... අළුත් පරිසරයක්... අළුත් මුහුණු... ලංකාවේ ලොකු ම තැනක පොඩි ම මනුස්සයෙක් විධියට මම හෙට ඉඳලා වැඩ! :)

ඊට පස්සේ ආයෙමත් විභාගේ... ඉතිරි ටිකත් ඩෙෆා රිපීට් කියලා දැනගෙනම නියම නෑමක් නෑවා... විභාගේ තමා අපේ අභාගේ. :( System and Network Administration නම් නාගන්නෙ නැතුව කරගත්තා... ලේසි පාසු එකකට තිබුණෙ ඒක විතරයි මම හිතන්නේ... :D (ලිනක්ස්ට ජය වේවා!)

විභාගේ අස්සේ තවත් වැඩකට ගියානේ... පෙබරවාරි 10 හවස දෙකට Human Resource Management ප්‍රශ්නපත්‍රයකුත් තියෙද්දි උදේ 9ත් 10ත් අතර සජීව ගුවන්විදුලි වැඩසටහනකටත් සහභාගි වුණා... O_o
ඉන්ටර්නෙට් සම්පත් භාවිතය -- මේ වැඩසටහන කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ තවත් සද්කාර්යයක්... :) නිදහස් අධ්‍යාපනයෙන් අප ලබන ජවය මුදා හරින එක විධියක් තමයි ඒ... අප ලබන දැනුම සමාජය වෙතත් ලබා දීම... ශිෂ්‍ය සහභාගීත්වයෙන් හැම බදාදාවකම පෙරවරු 9.00 ට සජීව ව විකාශය කෙරෙන මේ වැඩසටහන් මාලාවේ පෙබරවාරි 10 බදාදා වැඩසටහන ගැන විශේෂයෙන් සඳහන් කළේ ඒකෙ තේමාව සිංහල බ්ලොග්කරණය නිසා... වැඩි විස්තර සිංහල බ්ලොග්කරුවන්ගේ ගුග්ල් සමූහයෙ ඇති වුණු මෙන්න මේ කතාබහෙන් දැනගන්න පුළුවන්. එදා වැඩසටහන මෙතනින් බාගන්නත් පුළුවන්. :)
එදා තවත් පාඩමක් ඉගෙනගත්තා... පූර්ණකාලීනව ලිනක්ස් වලට මාරු වීමේ ප්‍රතිපලයක් ලෙස මට වින්ඩෝස් සම්බන්ධ සමහර දේ අමතක වෙලා කියල දැනුණෙ අසන්නෙකුගෙන් ගැටළුවක් ඉදිරිපත් වුණාමයි... O_o අන්තර්ජාලය තිබුණු නිසා හිර නොවී යංතං ෂේප් කරගත්තා... :D



ඉතිං විභාගෙත් ඉවර වෙලා නිදහසේ ඉන්න කාලේ තව පොඩි පොඩි වැඩ ටිකකට අත ගැහුවා... අපේ ඇන්ත්‍රැක්ස් අයියගේ අළුත් ව්‍යාපෘතියක් තියෙනවා... පරිගණක ආරක්ෂාව ගැන දන්න සිංහලෙන් කතා කරන්න... සිංහල හැකර්ලාගේ තිප්පොල... ඉතිං ඒකටත් පොඩි සහයෝගයක් දෙනවා මේ දවස් වල... තාම සෑහීමකට පත් විය හැකි මට්ටමේ සහභාගීත්වයක් දෙන්න පුළුවන් වුණේ නෑ. :( ඉතිං... මෙන්න තියෙනවා අපි කතාබහ කරන තැන. දැන්ගන්න ඕනේ දෙයක් තමයි මේක සුදු තොප්පිකාරයින්ගෙ තැනක්... "යාළුවගෙ ඊමේල් ගිණුමට හොරෙන් පිවිසෙන්නෙ කොහොමද?" ඒ වගේ දේවල් ගැන කතා කරන්න වෙනින් තැනක් හොයාගන්න. "කොහොමද අපේ ඊමේල් ගිණුම ආරක්ෂා කරගන්නේ?" මෙන්න කතා කරන්න තැන...! තව,... පරිගණක වයිරස් ගැන... වින්ඩෝස් පාවිච්චි කරන අයට ලොකුම කරදරේ ඕකනේ... එන්න ඇවිත් සෙට් වෙන්න... අපි මේ දේවල් ගැන දන්න සිංහලෙන් කතා බහ කරමු... ඉගෙනගනිමු.... http://hacker.lk

පහුගිය දවස් වල මම වැඩියෙන්ම මහන්සි වුණේ මොකකටද කියන පුරස්නෙට නම් එක එක උත්තර තියෙනවා... වඩාත්ම හරි උත්තරය දන්න කස්ටිය සද්ද නැතුව ඉන්නවා හොඳයි... :P :D



පෙබරවාරි 13 නම් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ දවසක්. අපේ කැම්පස් එකේ සම්ප්‍රදායක් විධියට පළමු වසර විනෝද චාරිකාව යොදාගන්නෙ හන්තාන ආශ්‍රිතව. මේ දක්වා ඔය ගමන ගිහිපු අපේ කිසිම බැච් එකකට කිසිම උපද්‍රවයක් සිද්ධ වුණේ නෑ.... නමුත් මේ වතාවේ අපේ පළමු වසර පොඩ්ඩන්ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 'මහා' ශිෂ්‍ය සංගමයෙන් බොහොම නින්දිත සහ දරුණු විධියට සලකලා තියෙනවා... වැඩි විස්තර මෙතනින් කියවන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් විරෝධතාව දක්වලා වෙනම බ්ලොග් සටහනක් ලියන්න මම අදහස් කළත් ඒකට වෙලාවක් ලැබුණෙ නැහැ.


මේ ගැන මගේ සගයින් එක්ක කතා බහ කරද්දි දැනගන්න ලැබුණා වෙනත් විශ්වවිද්‍යාල වල සිසුන්ටත් මේ කරදරයටම මුහුණදෙන්න සිද්ධ වුණු බව... අපි දේශපාලන පක්ෂ වලට කඩේ යන්නෙ නැති නිසා අපිව ඇලජික් වගේ ඇති...

මෙන්න මේකත් බලන්න... ත්‍රස්තවාදය පිළිබඳ විශේෂ උපාධියකුත් පේරාදෙණියෙ ඇති මං හිතන්නේ...
 

පේනව ඇතිනේ... පේරාදෙණියේ 'මහා' ශිෂ්‍ය සංගමයේ 'මහා ලොකු' අයියලා නිදහස් අධ්‍යාපනයෙන් ලද ජවය මුදා හැර තියෙන හැටි... ඉතින් මේ ගැන වැඩි commentary දෙන්න මම කාලය වැය කරන්නෙ නෑ.. කියවන ඇත්තෝම සිය නැණ පමණින් වටහා ගනිත්වා..!

එකක් ඉවර වෙනකොට තවත් එකක්... උතුරේ ත්‍රස්තවාදය නැත්තටම නැති කළා වගේම හන්තාන පැත්තේ ඉවර කරන්න තවත් ඒ වගේම මෙහෙයුමක් අතිගරු ජනාධිපතිතුමාට ඉතිරි වෙලා තියෙනවා.... මේකත් කියවලම බලන්න.

තවත් වැදගත් කාරණාවක්... පේරාදෙණියෙ ඔය 'මහා' ශිෂ්‍ය සංගමයත් එක්ක ඇයි හොඳයියක් නැති පිරිසකුත් ඉන්නවා... මම දන්න තරමින් ඒ අයට කියන්නෙ අලයො කියලා... අලයො අහිංසකයි... ඒ නිසා පේරාදෙණියෙ ඉන්න අල පිරිසට මේ සිද්ධිය සම්බන්ධයෙන් ගරහන්න එපා... උන් නිර්දෝෂයි. (මං වැරදි නම් පේරා අලයෙක්ම ඇවිල්ලා නිවැරදි කරන්ඩෝ.... :) )



පෙබරවාරි 13 Lirneasia AT Tester Soft Launch සඳහාත් සහභාගි වුණා. මට දැන් ඒ ගැන වෙනමම සටහනක් ලියන්න කාල වේලාව මදි... සවිස්තර සටහනක් ලෙස මාලින්ද ලියූ සටහනින් සෑහීමකට පත් වෙන්න පුළුවන්. :-)
වැදගත්ම කාරණාව තමයි ලංකාවේ broadband අන්තර්ජාල සබඳතා ලබා දීමේ ගුණාත්මක ප්‍රමිතියක් තවම නැහැ. එහෙමත් නැත්තම්, ගුණාත්මක සේවාවක් ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයන්ට ලැබෙන්නෙ නැහැ. මේ සම්බන්ධව පාරිභෝගිකයන් ලෙස හඬක් නගන්න අපට අවශ්‍ය කරුණු කාරණා, සාක්ෂි, සාධක පිළිබඳව අදාළ පර්යේෂණ පවත්වනවා Lirneasia ආයතනයෙන්. ඒක ඒ අය ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයා වෙත කරන ලොකු උදව්වක්. ඉතින්.. මේ පර්යේෂණ වලට සහය දීලා ලංකාවේ අන්තර්ජාල සේවා වල දියුණුව වෙනුවෙන් යමක් කිරීම තමයි අන්තර්ජාලය භාවිත කරන්නන් ලෙස අපෙන් සිදුවිය යුතු දේ. :)

පෙබරවාරි 14 වැනිදා ඔය AT Tester එකේ source code එකත් එක්ක ටිකක් ලව් කළා... මට හීනියට වගෙ අදහසක් ඇවිත් තියෙනවා ඒ code එක අධ්‍යයනය කරලා, ලිනක්ස් වල වැඩ කරන්න පුළුවන් AT Tester එක්ක හදන්න. බලමු... වෙලාව තිබුණොත් තමා....



ලිවිය යුතු වැදගත් දෙයක් තව ලැබුණෙ නෑ... ආ.... තංගල්ල පැත්තෙ පොඩි ටුවර් එකක් ගියා... දේශීය - විදේශීය හැමෝටම කියවන්න පුළුවන් වෙන්න ඒක ලිව්වෙ කඩ්ඩෙන්.... ගිහින් කියවලම බලන්න.... වැඩි හරියක්ම තියෙන්නෙ පිංතූර... :)

මගේ අද ලියමන මෙතනින් ඉවරයි... හෙට උදේ නවයෙන් මතු වැඩ කරන්න ලැබෙන කාර්යාල වටපිටාවත් එක්ක බ්ලොග් ලියන්න ඉස්පාසුවක් ලැබෙන එකක් නැති වෙයි... දන්නවනේ... රාජකාරිය = දේවකාරිය :D

ඉතිං... කස්ටිය  ඔය පහළින් තියෙන කොටුවේ ගල්-මුල්-මල්-එකඟතා-නොඑකඟතා මේ මොනව හරි ලියල යන්න..... ඔන්න මං කැපුනා... චෙරියෝ....! :D

Thursday, October 1, 2009

අළුත් නැවට ලිනක්ස්!

2009 සැප්තැම්බර් 26 තවත් අපූරු දවසක්. එදා අපේ ජූනියර්ලා CompSoc (කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක සංගමය) උදව්වෙන් නවකයින්ට පොඩි වැඩමුළුවක් සූදානම් කරලා. ඒ තමයි නිදහස් හා විවෘත මෘදුකාංග සහ ලිනක්ස් පාරිසරිකය හඳුන්වා දීම. ඉතින් තුන වසරෙ අපි කීප දෙනෙකුත් ඒකට උදව් කළා. මේක පැවැත්වුණේ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයෙ මහාචාර්ය වී.කේ. සමරනායක ශ්‍රවණාගාරයේ.

හොඳ අදහසක්. ගොඩක් අය වින්ඩෝස් වලින් ඔබ්බට ලෝකයක් තියෙන බව දන්නෙ නැහැ. ඒ වගේම ගොඩක් දුර බැහැරින් අාපු සමහර අය පාසල් අධ්‍යාපනය හමාර කරලා එද්දි ලබලා තිබුණු පරිගණක දැනුම ගොඩක් අඩුයි (හැම පාසලකම අංග සම්පූර්ණ පරිගණක පහසුකම් නැහැනේ). ඉතින් ඒ අයට FOSS සංකල්පය, ලිනක්ස් ස්ථාපනය සහ පාවිච්චිය ගැන පොඩි හඳුන්වා දීමක් කරන්න තමයි වැඩි කාලයක් වෙන් වුණේ. ඊට අමතරව බ්ලොග්කරණයත් හඳුන්වා දෙනු ලැබුණා. මෙතන සහභාගීත්වයෙ විශේෂත්වයකුත් තියෙනවා. මේ මෙගා කුප්පිය දමාපු අපෙන් දෙතුන් දෙනෙක් හැර ඉතිරි සියල්ලෝ ම සිංහල බ්ලොග්කරුවෝ. (කාටද ආඩම්බර? :P ) ඉතින්, වැඩමුළුවෙදි මම භාරගත් වැඩේ දැනට වින්ඩෝස් ස්ථාපනය කර ඇති පරිගණකයක දෙවන මෙහෙයුම් පද්ධතිය ලෙස Ubuntu ස්ථාපනය කරන ආකාරය කියා දීම. ඒ ගැන මගේ පෞද්ගලික අත්දැකීම් තමයි මේ බ්ලොග් සටහනේ ලියැවෙන්නෙ.




Ubuntu ස්ථාපනය කර පෙන්වන්න ශ්‍රවණාගාරයෙ තියෙන ප්‍රක්ෂේපණ යන්ත්‍රය භාවිතා කළා. මෙතනදි VGA සම්බන්ධව ඇති වෙන්න පුළුවන් ගැටළු නිසාත් Ubuntu අළුතෙන්ම ස්ථාපනය කරන්න ලැප්ටොප් පරිගණකයක් ඉක්මනින් සපයා ගැනීමේ ගැටළු නිසාත් ආදර්ශණය කරන්න පාවිච්චි කළේ VirtualBox මෘදුකාංගය. මේක මම කලින් අත්හදා බලා නැහැ. නමුත් මේ වැඩමුළුවෙන් පස්සේ පැහැදිලි වුණා මෙහෙයුම් පද්ධති ස්ථාපනය වගේ 'බරපතල' වැඩක් ආදර්ශණය කරල පෙන්නන්න VirtualBox අපූරුවට යොදාගන්න පුළුවන් බව. (Ubuntu තියෙන පරිගණකයක VirtualBox දාලා ඒක උඩ ආයෙම Ubuntu දැමිල්ල එක අතකට විකාරයක් වගේ නේද? ;) )

ඉතින් කලින් දවසෙ (සැප්තැම්බර් 25) හවස ශ්‍රවණාගාරයට ගිහින් කෝකටත් කියලා ප්‍රක්ෂේපණ යන්ත්‍රය මගේ ලැප්ටොප් එකත් එක්ක වැඩද කියල පරීක්ෂා කරල බැලුවා. පූර්ව සූදානම ඉතාම වැදගත් (නෝන්ඩි වෙනවට වඩා :P ). මගේ Acer ලැප්ටොප් පරිගණකයෙ Fn + F5 යතුරු සංයෝජනය ක්‍රියාත්මක කළාම ද්විත්ව දර්ශක (dual display) ප්‍රකාරයට මාරු වෙනවා. නැවතත් ඒ යතුරු සංයෝජනයම ක්‍රියාත්මක කළාම පෙර තත්වයට පත් වෙනවා. හැබැයි අවුලක්... මගේ මොනිටරේ පෙන්නන දේ නෙමෙයි ප්‍රක්ෂේපණ යන්ත්‍රයෙන් පෙන්නන්නේ. වින්ඩෝ එකක් ඇදල ප්‍රක්ෂේපණ යන්ත්‍රයට -- ඒ කිව්වෙ දෙවෙනි මොනිටරයට දාන්න පුළුවන්. ආපහු ඒක ඇදල අරගෙන ලැප්ටොප් මොනිටරෙන්ම තියාගන්නත් පුළුවන්. ඒක අවුලක් නෑ කියමු. ප්‍රක්ෂේපණ යන්ත්‍රයෙන් පෙනෙන පිළිබිඹුව අපැහැදිලියි. ඒ මදිවට Compiz Fusion පිස්සු නටනවා. :-O මේකට විසඳුම Mirror Screens කියන විකල්පය භාවිත කරන එක. System --> Preferences --> Screen Resolution ගිහින්, නැත්තම් gnome-display-properties කියන විධානය දීලා Mirror Screens විකල්පය තෝරලා Apply කළාම හරි. ඔව්... ඒක නියමෙට වැඩ!! 1024 x 768 ප්‍රමාණයට තිරය සකසා ගත්තාම වැඩේ ගොඩ! :)

ඊළඟට පූර්ව සූදානමේ දෙවෙනි අදියර... virtual machine එකක් ධාවනය කරල බැලුවා. VirtualBox පූර්ණ තිර ප්‍රකාරයෙදිවත් තිරයෙ සම්පූර්ණ ඉඩ පාවිච්චි වෙන්නෙ නෑ. 800 x 600 ඉඩක් තමයි virtual machine එකෙන් පාවිච්චියට ගන්නෙ. Virtual machine එකට දෙන වීඩියෝ මතක ප්‍රමාණය වැඩි කරල බැලුවත් හරි ගියේ නැහැ. ඒකට නම් මම දන්න තරමින් විසඳුමක් නෑ. හැබැයි අවුලකුත් නෑ. පැහැදිලිව සිද්ධ වෙන දේ පේනවනම් එච්චරයි අපට ඕනේ. ඊළඟට කළේ virtual machine එකේ දෘඩ තැටිය partition තුනකට වෙන් කරලා පළවෙනි එකේ Windows XP ස්ථාපනය කළ එක.

ඉතින් ඔන්න  26 වෙනිදා උදේ ඔක්කොම සැලසුම් කරගත් පරිදි අටවගත්තා. තවත් දේවල් ආදර්ශණය කරල පෙන්නන්න මගේ ලැප්ටොප් පරිගණකයට අමතරව ලැප්ටොප් පරිගණක දෙකකුත් පාවිච්චි කළා. Ubuntu ස්ථාපනය කළේ මගේ පරිගණකයේ. මුලින්ම වින්ඩෝස් වලින් virtal machine එක ක්‍රියාත්මක කරලා C:, D:, E: partition තුන තියෙන ආකාරයත්, ඊළඟට Computer Management Console එකේ Disk Management එකට ගිහින් දෘඩ තැටි partition වල සත්‍ය ස්වභාවයත් පැහැදිලි කර දුන්නා. ලිනක්ස් ස්ථාපනයේදී මෙය දැන සිටීම අත්‍යාවශ්‍යයි [මේ ගැන මම කලින් ලියූ ලිපියක් මෙතනින් කියවන්න]. ඊළඟට Ubuntu Live CD එකෙන් boot කරල GUI මගින් Ubuntu ස්ථාපනය කරන හැටි මම මුල සිට සරලව විස්තර කළා. හැබැයි කී දෙනෙකුට තේරුණාද දන්නෙ නැහැ. :) මහා ලොකු දෙයක් නොවන බව ඇත්ත. ඒත් දුර බැහැර ගම්මාන වල අඩු පහසුකම් යටතෙ උසස් පෙළ කරලා ආපු කී දෙනෙක් ඒකෙන් ඉගෙනගන්න ඇත්ද? අනෙක, හැම දෙනාම හැම දේම දන්නෙ නෑ නොවැ. දැන් ඔය එක එක ටෝක්ස් දුන්නට මමත් පරිගණක ජාලකරණය ඉගෙන ගත්තෙ කැම්පස් ආවට පස්සෙ. ;)

VirtualBox පූර්ණ තිර ප්‍රකාරයට මාරු වුණාම ඇත්ත OS එකද බොරු එකද කියල පිටතින් බලන කෙනෙකුට වෙන් කරල අඳුනගන්න අමාරුයි. ඉතින් ශ්‍රවණාගාරයක විශාල ප්‍රක්ෂේපිත තිරයෙ ඒක පෙනෙනකොට අමුතුම කික් එකක් තියෙන්නෙ. :D

Ubuntu ස්ථාපනයෙදි දෘඩ තැටි ඉඩ භාවිතා කරන ආකාරය තෝරගන්න පියවරේදි වඩාත්ම සුදුසු තමන් විසින්ම (manually) partition table එක සංස්කරණය කරගන්නා විකල්පය. ඒ බව මම විශේෂිතව සඳහන් කළා. ඒ දේවල් කීප දෙනෙකුට හරියට තේරුම් ගිහින් තිබුණෙ නැහැ. ඉතින් කීප සැරයක්ම විස්තර කළා. සිය වතාවක් විස්තර කරන්න කිව්වොත් ඒකත් කරන්න ලෑස්ති වෙලයි මම ගියෙ. :)

ඉතින් Ubuntu ස්ථාපනය කරලා අවසානයෙ GRUB මෙනුව ගැන මූලික දේවල් ටිකක්, මෘදුකාංග ස්ථාපනය, විධාන අතුරුමුහුණත ගැනත් කියා දුන්නෙ මේ virtual machine එකේම තමයි. විධාන අතුරුමුහුණතට (terminal) ගොඩක් දෙනාගෙ තියෙන ලාක්ෂණික බය නැති කරන එක තමයි මට තිබුණු ලොකුම වුවමනාව. නමුත් කාල වේලාව මදි වුණු නිසා ඒක හරියට කරගන්න බැරි වුණා. :( නමුත් අතිශය ජනාදරයට පත් මගේ පරණ බ්ලොග් ලිපියක් පෙන්නල වැඩේ ෂේප් කළා. ;)

මේ ඉන්නෙ මම

රවින්ද, මෘදුකාංග ස්ථාපනය විස්තර කරමින්...

එක වසරෙ අය
(ඡායාරූප ශිල්පියා අපේ බැච් එකේ ඔමිල)

UCSC එකේ එක වසරෙ කස්ටිය මේක කියවනවා නම්... තව මොනව හරි දැනගන්න ඕනේ නම්... මට ලෙක්චර් නැති වෙලාවට මගෙන් අහන්න. එක්කෝ මං 3rd year lab එකේ වැඩක්... නැත්තං බවනේ ලැප්ටොප් එක දිග ඇරගෙන ඇති... එහෙමත් නැත්තං W002 ශාලාවෙ නිදි. :D



ඉතිං සියල්ල අවසාන වෙලා මම ගෙදර ගිහින් ලැප්ටොප් එක ක්‍රියාත්මක කළාම මෙන්න තිරයෙ ඉහළිනුයි පහළිනුයි පෙන්නන පැනල් දෙක නෑ. :-O අහා..! මේ dual display සිද්ධියනේ!! Fn + F5 ක්‍රියාත්මක කළාම වැඩේ හරි. ඒත් පරිගණකය ක්‍රියාත්මක කරන හැම වතාවකම ඒක කරන්න කරදරයි... ඉතින් ඒක හදාගන්න සරල විසඳුමක් තියෙනවා. මං ට්‍රයි කොළා... වැඩ කොළා... :)

ඒ තමයි GRUB මෙනුවේ recovery mode විකල්පය පාවිච්චි කරලා පරිගණකය ක්‍රියාරම්භ කරලා ලැබෙන මෙනුවෙන් xfix (fix graphics problems) විකල්පය ක්‍රියාත්මක කිරීම. දැන් ලෙඩේ නිට්ටාවටම සනීපයි. :)

මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය හා නඩත්තුව ප්‍රක්ෂේපණ තිරයක පෙන්වන ගමන් කාට හරි ඉදිරිපත් කර පෙන්නන්න අවශ්‍යතාවත් ඇති වුණොත් ඒකට VirtualBox හරිම අපූරු මෘදුකාංගයක්.

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴

Monday, March 23, 2009

අළුත් සෙමෙස්ටරය සහ එහෙන් මෙහෙන් ටිකක්

අද එව්වා මෙව්වා ටිකක් ලියන්න හිතුවෙ මම මෑත ලියූ බ්ලොග් සටහන් ටිකේ තාක්ෂණික මාතෘකා ටිකක් ඇදල ගත් නිසා. ටිකක් විවිධත්වයකුත් තිබුණාවේ... මගේ බ්ලොග් එකේ ආදර්ශ පාඨය මොකක්ද?

මගේ දිවියේ අත්දැකීම්, දින සටහන්, ඇසූ පිරූ තැන්, ආතල් සීන්, මෙකී නොකී තවත් දෑ...

ඔන්න ඔය වාක්‍යය ඇතුළෙ තියෙන ආතල් එක ගන්න තමයි මම බ්ලොග් එක ලියන්නේ... ආදර්ශ පාඨය කෙසේ වෙතත් මම වැඩියෙන්ම ලියන්නෙ තාක්ෂණික දේවල්. වැඩේ ආතල්ද ඉතින්? සිරාවටම ආතල්... මම ලියන දෙයින් කවුරු හරි ප්‍රයෝජනයක් ගන්නවා කියල දැනෙන හැම වෙලාවකම අමුතු සතුටක් දැනෙනවා. (මේ සටහනෙන් කාටවත් ගන්න ප්‍රයෝජනයක් නැති එක ඉතිං වෙනම කතාවක් :D )



හරි. එමුකො මාතෘකාවට... කැම්පස් එකේ අපේ හතර වෙනි සෙමෙස්ටරය (මේකට සිංහලෙන් කියන්නේ සමාසිකය කියල, ඒ වුණාට හුරු පුරුදු සෙමෙස්ටරය කියන වචනෙම පාවිච්චි කරනවා) පටන් ගෙන දැන් ටික දවසක් වෙනවා. ටික දවසක් කිව්වෙ සති තුනක් විතර. අපට මේ සෙමෙස්ටරයෙ තියෙනවා...
  • Special Topics in Computer Science
  • Information System Security and Audit (මං ආසම එක ;) )
  • eBusiness Technologies and Applications
  • Business Process Re-Engineering
  • Digital Fine Arts
  • Software Development Project
  • Industrial Visits
  • IT Project Management
ඔය කැමතිම එකක් ගැන කියල තියෙන්නෙ අනිත් ඒවට අකමැතිව නෙවෙයි. IS Security අමුතුම කික් එකක් දෙන්නෙ... මං අත්හදා බලන ගැජමැටික්ස් ගැන දන්නෝ දනිති!

IS Security ගැන කිව්වම මතක් වුණේ... මේ ළඟදි දවසක යාළුවෙකුට crypto කුප්පියකුත් දැම්මා... පොරට ඒක නියමෙට වැදිලා... මට මාර සතුටුයි. ළඟදි දවසක සෙට් වුණොත් දානව තවත් අයට. ඒ විෂය කොටස හරිම සිත්ගන්නාසුළුයි. හිතුණොත් ඒ කුප්පිය කාටත් තේරුම් ගන්න පුළුවන් වෙන්න සරල විධියට ලියල දානව බ්ලොග් එකේ. හොඳයි නේද?

අනිත් එක Special Topics in Computer Science. මේ දවස් වල කරන්නෙ Neural Networks and Fuzzy Logic. මම පොඩි දවස් වල TV එකේ Knight Rider බලල හිතුව ඇත්තටම මෙහෙම එකක් ඇති කියල. පස්සෙ කාලෙක කල්පනා කළා... කම්පියුටර් කොහොමද හිතල තීරණ ගන්නේ? ඒත් දැන් මට හිතෙනවා... දැනෙනවා... කෘත්‍රිම බුද්ධිය කියන දේ අනාගතයෙ (හෝ දැනටමත්) තියෙන්න පුළුවන් දෙයක් කියල. අපි කවදාවත් නොහිතපු දේවල් කරන්න පුළුවන් ඒ න්‍යායයන් පාවිච්චි කරලා. මං වැරදි නං කවුරු හරි නිවැරදි කරන්ටකෝ...

ඉතිං සිරිත් පරිදිම සතියයි ආතල් එකේ හිටියේ... ඔන්න එනවා assignments! එක පිට එක ලැබෙනකොට නිකං අප්සැට් වගේ වුණාට assignment එකක් කරලා ඉවර වුණාම දැනෙන සතුට කියා නිම කරන්න බැහැ.

ඉතින්... දැන් ආයෙම වැඩ වැඩ වැඩ වැඩි වේගෙන එනවා.



ඒ අතරේ... අපේ ජූනියර්ලා (අළුත් එවුන් කියන්න බෑ දැන් හොඳට හුරු පුරුදු මූණු... :P ) ඉදිරි දිනයක පවත්වන්නට නියමිත, UCSC එකේ වාර්ෂිකව සිදු කරන පිරිත් පින්කම වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ ගැන යමක් සඳහන් නොකර බැහැ. අපේ බැච් එකෙන් මීට අවුරුද්දකට කලින් කළ පිරිත් පින්කම සරසවි ඇදුරු මඬුල්ලේ ඇගයුමටත් ප්‍රසාදයටත් ලක් වුණ හැටි තාමත් එදා වගේ මතකයි. මේ සැරෙත් එය කෙරෙනවා දකින්න ඇත්තටම සතුටුයි. ජීවිතයට හොඳ අත්දැකීමක්. :)



ඊළඟ කතාව... අළුත් සෙමෙස්ටරයෙ අළුත් වැඩකට සෙට් වෙන්න හිතුවා... හීනියට වගේ ආසාවක් ඇති වෙලා තියෙනව Google Summer of Code එකට සහභාගි වෙන්ට. අද (මාර්තු 23) සිට ශිෂ්‍ය අයදුම්පත් භාරගන්නවලු. මේ වතාවෙත් අපට සහනයක් දෙන්න සහන එනව කියල ආරංචි වුණා. මෙන්න ඒ විස්තරේ. මගේ කොයි එකත් ඉවර වෙන්නෙ Foss Rocks කියාගනෙමයි... ඉතිං මෙන්න ආයෙත්... Foss Rocks පාරක්!

කැම්පස් කස්ටිය... පාසල් ළමෝ... මෙකී නොකී source code එක්ක සෙල්ලම් කරන ශිෂ්‍ය ප්‍රජාව GSOC යාමට සීරුවේන් සිටින්!



එහෙනම්... අදට ඇති. අනිවා ඊළඟට එන්නේ වැදගත් දේකුත් අරගෙනමයි... Ciao!

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Saturday, November 29, 2008

SLGUbuntu from UCSC

UCSC හා Dialog Telekom එක්ව සංවිධානය කළ Sri Lanka Genius 2008 වැඩසටහනේ රූපවාහිනී තරඟ වට මේ දවස් වල සෙනසුරාදා රාත්‍රී 7.00 ට ජාතික රූපවාහිනියෙ විකාශය වෙනව. SLGenius වැඩසටහන කරන්න කැම්පස් එකේ ජ්‍යෙෂ්ඨ බැච් එකේ අයියලා අක්කලාත් අපේ බැච් එකේ අයත් සෑහෙන මහන්සි වුණා. වැඩියෙන් මහන්සි වුණේ මේක සංවිධානය කරපු අපේ අයියලා අක්කලා.

පරිගණක තාක්ෂණයේ බොහෝ දෙනා නොදුටු පැත්තක් වන නිදහස් හා විවෘත මෘදුකාංග ගැන පාසල් ශිෂ්‍යයින්ව දැනුවත් කිරීමත් මේ SLGenius වලින් සිදුකෙරුණා. මෙහිදී පාසල් සිසුන්ට නොමිලේ Linux සංයුක්ත තැටි බෙදා දුන්නා. මේ සඳහා යොදා ගත්තේ Ubuntu මෙහෙයුම් පද්ධතිය සංස්කරණය කර නිපදවන ලද SLGUbuntu මෙහෙයුම් පද්ධතිය.



Ubuntu සමග multimedia codecs ලැබෙන්නෙ නෑ. නමුත් SLGUbuntu සංයුක්ත තැටියේ අවශ්‍ය සියළුම multimedia codecs අඩංගුයි. Linux ඉගෙනීම ආරම්භ කරන කෙනෙකුට හොඳම මෙහෙයුම් පද්ධතිය Ubuntu. නමුත් ගැටළුවක්ව පැවතුණේ ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය භාවිත කි‍රීමේ අපහසුව නිසා බොහෝ දෙනා Ubuntu පාවිච්චි නොකර සිටීමයි. SLGUbuntu මේ අවශ්‍යතාව සපුරා තිබෙනවා.

SLGUbuntu මුල්වරට නිපදවූයේ Ubuntu 7.10 ඇසුරින්. Ubuntu 7.10 සමග නොලැබුණු සිංහල භාෂාව, wine, Beryl හා Compiz Fusionද මෙයට එක් කර තිබුණා. නමුත් ලිනක්ස් කර්නලයේ සැලකිය යුතු වෙනසක් කර නැහැ.



SLGUbuntu හැදුවේ කැම්පස් එකේ අපට ජ්‍යෙෂ්ඨ බැච් එකේ සුපුන් අයියා. ඔහු මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. Ubuntu ස්ථාපනය කළාට පසුව මේ වෙනස් කිරීම් කරන එක පහසු කාර්යයක් වුණත්, නැවත බෙදාහැරීම සඳහා මේ ආකාරයට එය සකස් කිරීම තරමක් අසීරු කාර්යයක්.

බලන්න ලිනක්ස් වල නිදහස. අපට ඕන විධියට වෙනස් කලා... බෙදාහැරියා...

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Sunday, October 26, 2008

සිංහල ධම්මපදය

ධර්ම දානය සියළු දානයන්ට වඩා උතුම් ය

මේ කියන්නෙ මෘදුකාංගයක් ලෙස එළිදැක්වෙන සිංහල ධම්මපදය ගැන. මෙය නිර්මාණය කරල තියෙන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයෙ දෙවන වසර ශිෂ්‍යයෙක්. ඔහු නමින් සම්පත් බණ්ඩාර. මගේ මිත්‍රයෙක්.

මෙම මෘදුකාංගයෙ අතුරුමුහුණතත් අන්තර්ගතයත් සකස් කරල තියෙන්නෙ සිංහල භාෂාවෙන්. හැබැයි මෙය නිර්මාණය කරල තියෙන්නෙ Microsoft Visual Basic 6.0 භාවිතයෙන් නිසා සිංහල යුනිකේත භාවිත කරල නැහැ. ඉදිරියෙදි මෙය Visual Basic .NET මගින් නැවත සකසන්න අදහසක් තිබෙනවා. එවිට සිංහල යුනිකේත භාවිත කරන්න පුළුවන් වේවි.

මෙහි ගාථා සහ තේරුම සිංහල බසින් කියවන්නත් ශ්‍රවණය කරන්නත් පහසුකම් සලසා දී තිබෙනවා. මෙය නිර්මාණය කිරීමේදී UCSC දෙවන වස‍රෙ සුලක්ෂිකා වීරතුංග, නිරන්දිකා වනිගසේකර සහ පහන් සරත්චන්ද්‍ර යන අයත් දායක වුණා.

මෙම මෘදුකාංගයේ බීටා නිකුතුව දැනට සීමිත පිරිසක් අතර බෙදා හැර තිබෙනවා. ඉදිරි කාලයේදි මෙය අන්තර්ජාලය හරහා භාගත කරගත හැකි වේවි.

පහත දැක්වෙන්නෙ බීටා සංස්කරණයෙ තිරපිටපත්.





.