Monday, September 28, 2009

IDE හාඩ් ඩිස්ක් ලෙඩ වීම


අද ලියවෙන්නෙ පොඩි හාඩ්වෙයාර් කතන්දරයක්. IDE හාඩ් ඩිස්ක් ලෙඩ ගැන. මෑතකදි ලබපු එකම විධියෙ අත්දැකීම් දෙකක් නිසා මේක ලියන්න හිතුණෙ මේ ගැටළුව තවත් අයට ඇති වෙලා තියෙන්න ඇති කියල හිතුණු නිසා. හැබැයි ඉදිරියෙදි ඇති වීමේ සම්භාවිතාව අඩුයි... මොකද දැන් IDE කියන දේ භාවිතයෙන් ඉවත් වෙලා SATA ඇවිත්නේ.. :P

මම මුලින්ම පාවිච්චි කළ මැසිමේ කොටස් වලින් නොවෙනස්ව තාමත් තියෙන්නෙ නිවෙස්නයයි තඩි CRT මොනිටරයයි කී බෝඩ් එකයි විතරයි. ඉතිරි කොටස් ඔක්කොම සැරින් සැරේ මාරු කළා. ඇත්තෙන්ම කියනවනම් මේ මැසිමෙ හාඩ් ඩිස්ක් එකත් මෑතක් වෙනකම් ම තිබුණෙ ගෙදර අනිත් මැසිමේ. ඒත් මේ ළඟදි අපේ මලයා මේක ආපහු ඇසෙම්බල් කරලා. හැබැයි OS දැම්මෙ මම. මොකද මේක වින්ඩෝස් ඔන්ලි මැසිමක් කරන්නයි අපේ මලයා හිතාගෙන හිටියේ. නමුත් මගේ ඉල්ලීමට මේක ලිනක්ස් වින්ඩෝස් ඩුවල් බූට් වෙන විධියට සකස් කළ නිසා OS ස්ථාපනයත් මම ම ඉල්ලගෙන කළා.

මේකට වින්ඩෝස් දාන්න ගියාමයි කරපු ඉල්ලංකෑම තේරුණේ. Windows Setup එක බූට් වෙන්නෙ නෑ.... සමහර විට අතරමග හිර වෙනවා. ලෙඩ ගොඩයි. මං ඉතිං පෙන්ගුයින් ලවර් කෙනෙක්නේ... දැම්මා Ubuntu. අපරාදේ කියන්න බෑ අන්තිම වෙනකම් ම Install වුණා. හැබැයි reboot කරනකොට කියාපි INVALID SYSTEM DISK කියලා! :-O ඒ කියන්නෙ MBR (Master Boot Record) එක හාඩ් ඩිස්ක් එකේ නිවැරදිව ලියවිලා (write) නෑ. මෙහෙම වෙන්නෙ ඇයි? හාඩ් ඩිස්ක් එකේ 'කාලෙ' හරිද? කේබල් එක අවුල්ද? තැටියක් සීරිලාද? හෙඩ් එකකට කෙළවිලාද? මං දන්නෙ නෑ... Google search... forum වල රස්තියාදු වීම අවසාන විකල්ප විධියට තියාගෙන මම ගැටළුව මොකක් වෙන්න පුළුවන්ද කියල ටිකක් විපරම් කළා.

ඉතින් මේ විධියට මැසිම පිස්සු නටන නිසා මම නිකමට IDE කේබල් එක ගලවලා ආපහු හයි කරල බැලුවා. Motherboard එකේ අනිත් IDE slot එකට සම්බන්ධ කරල බැලුවා. Master-Slave මාරු කරල බැලුවා... ජම්පර් එහෙ මෙහෙ කරල බැලුවා... ම්හූ... ලෙඩේ හොයාගන්න බෑ. :(

මම හිතුවෙ කේබල් එකේ අවුලක් වෙන්න ඇති කියලයි. ඒත් නිකමට මගේ ඇහැ යැවුණේ හාඩ් ඩිස්ක් එකේ IDE slot එකට. මෙන්න එක pin එකක් අඩුයි! :-O


දැන් උඩ පැන පැන හිනා වෙන්න එපා ශාකුන්තල IDE ගැන දන්නෙ නෑ කියලා... ඔව් ඉතිං, හැම දේම දන්නෙ නෑ තමයි... මොකද අපි මේ දැනුම උපතින්ම අරගෙන එන අය නෙමෙයිනේ... හැබැයි මූලික දේවල් ටික කොහෙන් කොහෙන් හරි ඉගෙනගෙන දන්නවා. IDE slot එකේ 20 වෙනි pin එක ගොඩක් හාඩ් ඩිස්ක් වල නැති බව/ පාවිච්චි නොවෙන බවත් මම කලින් ඉඳලම දන්න දෙයක්... ඒ pin එක නෙමෙයි මෙතන අඩුයි කිව්වෙ. ;) ඒ ආසන්න වෙනත් pin එකක් යටට ගිළිලා. IDE කේබලය ගලවන එකයි නැවත සම්බන්ධ කරන එකයි නිතර කරනකොට pin එකක් දෙකක් ඇද වෙන්න ඉඩ තියෙනවා. මෙතන සිද්ධ වෙලා තියෙන්නෙ කේබලයෙ තියෙන socket එකේ වැදිලා pin එක යටට එබිලා.

ඉතින් මම ස්කුරුප්පු නියනක් අරගෙන හාඩ් ඩිස්ක් එකේ පරිපථ පුවරුව ගලවලා යටට තල්ලු වෙලා තිබුණු pin එක පරිස්සමෙන් තිබුණු තැනටම තල්ලු කළා. ඊට පස්සෙ ඒ pin එක ආපහු යට නොයන විධියට අඬුවකින් අල්ලගෙන IDE කේබලයත් සවි කරලා ආපහු පරිපථ පුවරුවත් තිබුණු විධියටම සවි කළා. (හොඳ වෙලාවට මේකෙ තිබුණෙ පිලිප්ස් හිස ස්කුරුප්පු ඇණ විතරයි :), සාමාන්‍යයෙන් දකින්න ලැබෙන torx-8 වර්ගයෙ [තරු හැඩැති] ස්කුරුප්පු හිස තිබුණ නං සදා අනාතයි)

ඊට පස්සෙ මැසිම බූට් කරලා වින්ඩෝස් ස්ථාපනය කළා කිසි කරදරයක් නැතුව. Ubuntuත් දාගත්තා... දැන් නම් කිසිම ලෙඩක් නැතුව මැසිම දුවනවා. :) මුලින් ලෙඩ, ඒ කිව්වෙ MBR එක write නොවීමට හේතුව හාඩ් ඩිස්ක් එකේ එක pin එකක් නිසි පරිදි IDE කේබලයත් එක්ක සම්බන්ධ නොවීම වෙන්න පුළුවනි.

---

දැන් කියන්න යන්නෙ දෙවෙනි සිද්ධිය ගැන. මගේ යාළුවෙකුගෙ මැසිමෙ වින්ඩෝස් දාන්න ගිහින්, යාළුව තැටිය බෙදාගන්න බැරිලු. ඔක්කොම partition මකා දමලලු තියෙන්නේ. ඒත් partition කරගන්න තැනින් එහාට යන්න බැරිලු. මං කල්පනා කළා... Windows XP Setup එකේ තියෙන diskpart යුටිලිටිය වෙලාවකට පිස්සු නටනවා තමයි. ඒත් parition table එකක් නැති හාඩ් ඩිස්ක් එකක් බෙදනකොට ඒකෙන් ලස්සනට පිළිවෙලකට partition කරගන්න පුළුවන්නෙ... කෝකටත් ගියා බලන්න.



ඇත්ත නේන්නං! ඔය පිංතූරෙ පෙන්නල තියෙන තැනට එනවා... 'C' press කළා... අළුත් partition එකේ ප්‍රමාණය දුන්නා... ආයෙමත් එන්නෙ මෙතනටමනෙ!! ඒක හරියන්නෙ නැති නිසා නිකංම enter කළා. සාමාන්‍යයෙන් වෙන්නෙ එතකොට තනි partition එකක් හදාගෙන ඒකට වින්ඩෝස් ස්ථාපනය වෙන එකනෙ. ම්ම්හ්... නෑ... ඒත් ඔතනින් එහාට හෙල්ලෙන්නෙ නෑ.. :(

මම වැඩේට ලෑස්ති වෙලා යද්දිම ලිනක්ස් live CD එකකුත් අරගෙනමයි ගියේ. ඉතිං මං කල්පනා කළා fdisk / parted දෙකෙන් එකක් පාවිච්චි කරලා හාඩ් ඩිස්ක් එක partiton කරන්න. මොකද වින්ඩෝස් diskpart වලට වඩා වැඩි අවබෝධයකින් යුතුව fdisk / parted මෘදුකාංග වලින් වැඩ කරන්න පුළුවන් නිසා.

හාඩ් ඩිස්ක් එක partition කරගන්න ලිනක්ස් GUI එකට ගියොත් ගොඩක් මන්දගාමී වෙනවා, වෙලාව අපතෙ යනවා. ඉතින් මම කළේ live CD එකේ boot menu එකට ආවම F6 press කරලා kernel එකට යවන පරාමිතීන් වෙනස් කළ එක. ඒ දිග හෑල්ලෙ අන්තිමට තියෙනවා initrd=/casper/initrd.gz quiet splash -- කියල කොටසක්. ඒකෙ quite splash වෙනුවට ro single යෙදුවම හොඳ එකා වගේ මැසිම යන්නෙ text mode එකට. හරිම සරලයි.

# fdisk /dev/sda
o
w


මෙහෙම කළාම msdos ආකෘතියෙ partiton table එකක් නිර්මාණය වෙන්න ඕනේ.

# fdisk -l


මෙහෙම කළාම partition table එක පෙන්නන්න ඕනේ.. ඒත් අටේ පාදයෙන් ලොකු අංකෙකුත් පෙන්නගෙනම මෙන්න කියනවා disklabel එක වැරදියිලු. :-O ඒ කියන්නෙ මුලින් Windows Setup එකත් එක්ක වැඩ කරද්දි ඇති වෙච්ච ලෙඩේ ම තමා!

ඉතින් දෙවෙනි උත්සාහය විධියට parted පාවිච්චි කරල බැලුවා.

# parted
mklabel
msdos


ම්හූ... ලේබල් එකක් හදන්න බැරිලු. දැන් මොකද කරන්නේ....?

මට එක පාරටම මතක් වුණේ කලින් සිද්ධිය...

හාඩ් ඩිස්ක් එක ගලවලා බලනකොට මෙන්න අංක 1, 2 pins දෙකම ඇද වෙලා.... නැමිලා flat වෙලා... බය හිතෙනවා ඒක තිබුණු විධිය දැක්කම :-O ! පැතැලි ස්කුරුප්පු නියනකුයි උල් අඬුවකුයි (needle nose pliers) පාවිච්චි කරලා බොහොම පරිස්සමෙන් pins දෙකම ප්‍රතිස්ථානගත කළා.

ආපහු පරිස්සමෙන් මැසිම හයි කරලා ලිනක්ස් වලින් බූට් කරලා හාඩ් ඩිස්ක් එක බෙදලා වින්ඩෝස් ස්ථාපනය කරලා කේක් කෑල්ලක් කාලා තේ බීලා ගෙදර ඇවිත් මේ ලියමනත් ලියල ඉවර කළා.......... :)



IDE හාඩ් ඩිස්ක් වල pins එකින් එකට ක්‍රියාකාරීත්වය මොන වගේද කියල කියන්න මම දන්නෙ නෑ. මෙතන මම ඉදිරිපත් කරල තියෙන නිගමන නිවැරදිම නොවෙන්නත් පුළුවන් - ඒ ගැන අදහස් දැක්වීම මේ ලියමන කියවන ඔබට බාරයි ;)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

9 comments:

  1. ගොඩක් වැදගත් ස්තූතියි අයියේ..

    ReplyDelete
  2. page Rank එකේ මොකක් හරි අවුලක්

    ReplyDelete
  3. @MANJU,
    කලින් මේ බ්ලොග් එකේ ලිපිනය shaakunthala.blogspot.com
    ඒ කාලෙ PR=3
    ළඟදි blog.shaakunthala.com අළුත් ඩොමේන් එකට මාරු වුණා.
    තාම PR නෑ :(

    shaakunthala.blogspot.com එකට ගියාම මෙතනට redirect වෙන නිසා නුදුරු අනාගතයෙදි PR 3 ලැබෙයි කියල හිතනවා...

    ReplyDelete
  4. වැදගත් ලිපියක්...මේවගෙ දෙයක් වුනොත් ඔය සිද්දිය මතක් වේවිනේ

    ReplyDelete
  5. ඔය බාස්කම නම් මාත් කරල තියනවා. හාඩ් ඩිස්ක් එකට විතරක් නෙමෙයි එක පාරක් prosa ගේ පින් එකක් නැවිලා තිබිලා බොහොම අමාරුවෙන් කෙළින් කලා. පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් පින් එක කැඩිලා යනවනේ..

    ReplyDelete
  6. @ඉන්දික,
    ඔව්.. අහම්බෙන් මේ වගේ දෙයක් වෙන්න බැරි නෑ.

    @සුසිත,
    ඔව්, පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. මම මුලින් හිතාගෙන හිටියෙ එක pin එකක් හරි ලූස් නම් BIOS වලින් detect කරන්නෙ නෑ කියල.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මටත් ඔය වැඩේම වෙලා තියෙනව අයියෙ පින් 40න් 2 මදිවට පවර් පින් එකකුත් එක දවසක් කේබල් ගලවන්න යද්දි අතට ආව
    :P මමත් අපරාදෙ හාඩ් එක කියල නිකන් හිටියෙ නෑ පෑස්සුව දැන් එලකිරි වගේ වැඩ :D

    ReplyDelete
  9. ela machan ela thankyou

    ReplyDelete

Facebook ප්‍රතිචාර