Friday, September 4, 2009

පොළොන්නරුව - ත්‍රිකුණාමලය - අනුරාධපුර - අපේ සැරිසර

ශාකුන්තල ගියානේ දවස් තුනක පොඩි විනෝද චාරිකාවක්. පොඩි කිව්වට පොඩිත් නෑ... මේක පවුලේ උදවියයි නෑදෑ පිරිවරයි එක්ක ගිය බොහොම දුර ගමනක්. දුරයි කිව්වෙ බොහොම දිග වටවන්දනාවක්! ;)

මේ බ්ලොග් සටහනේ මම ඇසු දුටු විවිධත්වයකින් යුත් බොහෝ දේවල් විස්තර කරල තියෙනවා... ඉස්සරහට ඔහොමම කියවගෙන යන්න.... මේක අපේ රටේ සුන්දර තැන් බලන්න ගිය ගමනක saga එකක් කිව්වොත් වැරැද්දක් නැහැ. :)

පිටත් වුණේ අගෝස්තු 30 පාන්දර 5.30 ට අම්බලන්ගොඩින්. ගිහින් එනකොට හරියටම සැප්තැම්බර් 2 පාන්දර 1.00 යි. මෙහෙමයි ගමන් මාර්ගය.......... අම්බලන්ගොඩ - මොරටුව - කොට්ටාව - හංවැල්ල - පූගොඩ - අත්තනගල්ල - පස්යාල - දඹුල්ල - මින්නේරිය - රොටවැව - රත්මලේ හරහා මැදිරිගිරිය - රොටවැව හරහා ගල්ඔය හන්දිය - ත්‍රිකුණාමලය - උප්පුවේලි - නිලාවේලි වෙරළ - කින්නියා - හොරොව්පතාන - මිහින්තලේ - අනුරාධපුර - තලාව - තඹුත්තේගම - ගල්ගමුව - දළදාගම - පාදෙණිය - වාරියපොළ - කුරුණෑගල - කඩවත - කැළණිය - කොළඹ - කොට්ටාව - මොරටුව - අම්බලන්ගොඩ. අනුරාධපුර - පාදෙණිය අතර ගමන් මාර්ගය (A28) හිතාගෙන හිටියට වඩා බොහොම හොඳයි. ඔය තද කළු අකුරින් තියෙන්නෙ ගමනේදී නැවතුණු තැන්. ගොඩක් දේ දැක බලා ගන්න පුළුවන් වුණා. දශක දෙකකින් නොදුටු නෑදෑ පිරිවර දැක බලා හඳුනාගන්නත්, මගේ ළදරු කාලය ගෙවුණු මැදිරිගිරිය නගරය නැවත දැක බලා ගන්න ලැබීමත් මට බොහොම වැදගත් සිද්ධි වුණා.

ඒ වගේම මේ ගමන මගේ අළුත්ම විනෝදාංශයත් ස්වයං අධ්‍යයනයත් වෙලා තියෙන ඡායාරූපකරණයේ යෙදෙන්න හොඳ අවස්ථාවක් වුණා. හොඳ කලාත්මක ඡායාරූප ටිකක් ගන්න උත්සාහ කළා. ළඟදිම මගේ Flickr සේයාරූ දහරට ඒ පිංතූර ටිකත් එකතු කරනවා. පිංතූර ගත්තේ මගේ Sony Ericsson K770i ජංගම දුරකථන කැමරාවෙන්.

මුල්ම දවසේ ගියා රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරය බලන්න. බොහොම මනරම් පරිසරයක්... වචන වලට වඩා පිංතූර බලගතුයි කියනවනේ.... ඒ නිසා පිංතූරත් එක්කම දාන්නම් ගමන් විස්තරේ.

රංගිරි දඹුලු රජමහා විහාරය

මෙයාල හිටියේ ලෙන් විහාරයට යන්න තිබුණු මංපෙතේ...

දඹුලු විහාරයෙන් පිටත් වෙලා අපේ සැලසුමට අනුව ගිහින් අපි ඊළඟට නතර වුණේ මින්නේරියෙ රොටවැව කියන දුෂ්කර ගම්මානයේ. බොහොම ලස්සන පරිසරයක්. එහේ පදිංචි වෙලා ඉන්න මගේ මව් පාර්ශ්වයේ නෑදෑයින් හමු වෙලා අවුරුදු ගණනාවක දේවල් කතා බහ කරගත්තා... ඒත් ඒ අය එක්ක ගත කරන්න ලැබුණු ඒ සුළු කාලය මදි කියලයි හිතෙන්නේ...  :(

ඒ ගෙදරට යන්න තියෙන්නෙ බොහොම දුෂ්කර වැලි පාරක. ගේ ළඟින්ම තියෙනවා අලිවැට. අලිවැට කියන්නෙ අලින්ගෙන් බේරෙන්න විදුලි රැහැන් යොදල සකස් කළ වැට. ඒ පැත්තෙ දියපාරවල් නම් බොහොමයක් ම මේ දවස් වල හිඳිලා. අපි යද්දි ඒ ගෙදර වහලේ දඬුවැල් මැස්සො වදයක් බැඳල. දඬුවැල් මැස්සා කියන්නෙත් පොඩි මී මැසි වර්ගයක්. අපි ආව නිසා පැණි ගන්න මී වදය කඩල තිබුණා. මේ මැස්සන්ගෙ පැණි වල රසයයි සුවඳයි ඒ වදය බඳින කාලෙට පිපෙන මල් වර්ගය අනුව වෙනස් වෙනවලු. මමත් ඉතිං නිකං ඉන්න බැරි කමට පැණි ටිකට වැඩේ දුන්න එක වෙනම කතාවක්. ;)

රොටවැව මී පැණි :P

ඊළඟට ගියේ මැදිරිගිරියට... මගේ ජීවිතේ වැදගත්ම තැනකට..... හරියටම අවුරුදු 20කට පසුව...! මගේ තාත්තගෙ ජීවිතේ හොඳම කාලය ගෙවිල තියෙන්නෙ මැදිරිගිරියෙ. මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙක් විධියට තාත්තා උගන්වන කාලේ අපි ජීවත් වුණේ විද්‍යාල භූමියේම දකුණු පැත්තෙ තියෙන ගුරු නිවාසයක. හරියටම තැන කිව්වොත් දකුණු පැත්තේ ගේට්ටුවෙන් ඇතුළට ගියාම දකුණු අත පැත්තෙ දකින්න ලැබෙන පළවෙනි ගෙදර. ළදරු අවධියේ පරණ දේවල් වුණත් සමහර ඒවා මට හොඳට මතක තියෙනවා... ගේ ඉස්සරහම තියෙන අඹ ගහ, ගුරු පාර පාසල් ක්‍රීඩා පිටිය මට හොඳට මතකයි. ම්ම්ම්.... මැදිරිගිරියේ කතා වලින් නම් පොතක් පුරවන්න පුළුවන්. ඒ ගැන ඊළඟ බ්ලොග් සටහනක ලියන්නම්. :)

මෙන්න ශාකුන්තල හැදුණු වැඩුණු තැන අද - මේ ගමනේ මට සුවිශේෂීම දේ - මේ ගැන හිතට එන දේ ලියන්න වචන නෑ මට! :-|

තාත්තත් එක්ක මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ එකට රාජකාරි කළ සමකාලීන ගුරුවරු කීප දෙනෙකුත් හමු වුණා.... මගේ ළදරු කාලය ගත වුණේ ඒ අයත් එක්ක..... බොහෝම උණුසුම් පිළිගැනීමක්....!

"ආනේ... බි** කොහොමද පුතේ.........? ඔයාට මතකද අපිව....?"
(බි** = ඒ දවස් වල මගේ සූර තල් නම) :P

අවුරුදු 20ක්......! මොන තරම් දේවල් සිද්ධ වෙන්න ඇත්ද.......?

මේ ලස්සන මල් තියෙන්නෙ මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාල භූමියේ -- කවුද කියන්නෙ පේරාදෙණියෙ විතරයි කියල ලස්සන මල් තියෙන්නෙ? :P

එදා රෑ නතර වුණේ කවුඩුල්ලේ අපේ නෑදෑ ගෙදරක. ඒ නෑදෑයනුත් අපි බොහෝම කලකින් දැකල නැහැ. ඉතින් අපී හැම දෙනාටම මාර හැපී. රෑ කවුඩුලු වැවේ නාන්න ගියා... මූදෙ නානව වගේ... මාර සනීපයි ඇඟට ;) මං ඉතිං වතුරට බහින්න බයයි නොවැ.... ඒ නිසා සිරිත් පරිදිම ගොඩ පිහිනීම ප්‍රගුණ කළා හොඳට. :D

හිතින් මවා ගන්න මෙන්න මෙහෙම.... සප්ත මහා සාගරේ වගේ වතුර තියෙනවා..... සීතල වතුර..... රළ ගහනවා...... වැව් ඉවුරේ බොරළු වගේ වැල්ල.... ලස්සනට හඳ පායලා තියෙනවා.... වැව් දියට යට වුණු ගස් කීපයක කඳන් විතරක් වැව් දියෙන් ඉහළට මතු වෙලා හෙවනැළි වගේ පේනවා..... බොහොම සැරට සීතල සුළං හමනවා..... හිතින් මවාගන්න උත්සාහ කර බලන්න ඒ අපූරු පරිසරය...

නාලා ආපහු ඇවිත් පොඩි සොමියක් දාලා හොඳට කාලා නිදා ගත්තා. ආවේ වැව් බැම්ම දිගේ තියෙන කැලෑ පාරෙන්. වල් අලි බලන්නත් එක්ක. ඒත් කරුමේ කියන්නෙ එක කාලකන්ණි අලියෙක්වත් ආවෙ නෑනෙ එළියට පොඩි ෂෝ පාරක්වත් දාල යන්න! :-| හැබැයි හාවෝ නං හිටියා.... එහෙට මෙහෙට පැන පැන.... උන් වාහනේ සද්දෙට බය වෙලා කැලෑව ඇතුළට දුවනවා.

මින්නේරියේ, කවුඩුල්ලේ අපේ ඥාතීන්ගෙන් ලැබුණු නියම ගැමි සත්කාරය මට ජීවිතේට අමතක වෙන්නෙ නැහැ.

පළවෙනි දවස ගත වුණේ ඔන්න ඔහොම... දෙවෙනි දවසේ අපි මැදිරිගිරිය වටදාගෙය බලලා ඊළඟට පිටත් වුණේ ත්‍රිකුණාමලයට.

මැදිරිගිරිය වටදාගෙය

ත්‍රිකුණාමලයේ බලන්න දේවල් බොහොමයි. කෝනේස්වරම්, නිලාවේලි, කින්නියා.... අපි ත්‍රිකුණාමලයට එද්දි හවස් වුණා. මුලින්ම ගියේ කෝනේස්වරම් හින්දු පුදබිම බලන්න.

මේ panorama එක ගත්තේ කෝනේස්වරම් හින්දු පුදබිමේදී. වම් පැත්තේ පොඩි තිත් වගේ පේන්නෙ ධීවර බෝට්ටු. පිංතූරෙ ක්ලික් කරල පැහැදිළිව බලන්න පුළුවන්.

මේකත් ගත්තේ කෝනේස්වරම් වලදී. ඔය ඈත හීනියට පේන ගොඩබිම මොකක්ද කියල දන්නවද? ඒ තමයි සාම්පූර්!

මෙයාගෙ ළඟටම ගිහින් පිංතූරෙ ගත්තේ -- කෝනේස්වරම් වල ජීවත් වෙන මුවෙක්

නිලාවේලි යද්දි රෑ වුණු නිසා නිලාවේලි මූදෙ නාන අදහස අත්හැරගන්න වුණා. :( :( :( දෙවෙනි දවසේ රෑ නතර වුණේ උප්පුවේලියේ තියෙන guest house එකක. එහෙ ඉඳලා තුන්වෙනි දවසේ අපේ ඉලක්කය වුණේ අනුරාධපුර. ඉතින් උදේ ඉඳලා ගමනේ..... :)

අපි ආපු ගමන් මාර්ගය මීට කලකට ඉහතදී LTTE පාලන ප්‍රදේශයක්. තවමත් දෙපා කොටින්ගේ විසිරුණු පොඩි පොඩි කණ්ඩායම් සැරිසරනවලු. සතෙකුගේ බෙල්ල කපලා වෙන් කළාම ඉතිරි අඬු පඬු ටික ටිකක් වෙලා යනකම් ඉබාගාතේ දඟලනවනේ... අන්න ඒ වගේ තමයි ඔය පොඩි කණ්ඩායම් සීන් එකත්... ටික දවසකින් ඉවරයි :D .

ඒ පැත්තේ හමුදා ආරක්ෂාව තර කරල තිබුණා... අපටත් කීප වතාවක්ම පරීක්ෂාවන්ට ලක් වෙන්න සිද්ධ වුණා. උදේට හමුදාවෙන් යනවා වෙල් යායවල් වල කොටි වළලපු බිම් බෝම්බ හොයන්න.... මම එහෙම අනුමාන කළේ හමුදා භටයින්ගෙ අතේ තිබුණු බෝම්බ සෙවීමේ උපකරණ නිසා. :-O මේක මම මෙතන බොහොම සැහැල්ලුවෙන් ලිව්වට මොකද ඒ අය තමන්ගෙ ජීවිතත් පරදුවට තියල කරන්නෙ බොහොම අමාරු බරපතල රාජකාරියක්. :-O

සමහර වෙල් යායවල් මැද්දෙ එකිනෙකට බොහොම දුරස්ව පොඩි පොඩි ගෙවල් තියෙනවා... අළුතින් ඉඩම් කට්ටි වෙන් කරල දෙනව වගේ. මේ පැත්තෙ වතුර නෑ.... නියං කාලය. ඉඳ හිට දකින්න ලැබෙන ගරාවැටුණු ගොඩනැගිල්ලක් තිබුණොත් ඒකෙ බිත්ති වල වෙඩි උණ්ඩ වලට හිල් වුණු සලකුණුත් දකින්න පුළුවන්. :-O බොහොම දරුණුවට ගේම් එක ගිහින් වගේ මෙහෙ!

ඔහොම ඔහොම අපි හොරොව්පතාන හරහා අනුරාධපුරයටත් ආවා... එන ගමනෙදිත් පිංතූර ගන්න වැඩේ නම් අමතක කළේ නෑ.

දිය සිඳුණු වැවක් -- තැන නම් මතක නෑ

මේ හොරොව්පතානේ කුඹුරක් -- මේ පිංතූරය ගන්න වෙලාවෙ අපේ වාහනය සැලකිය යුතු වේගයකින් ඉදිරියට ඇදෙමින් තිබුණු නිසා exposure time අඩු වෙන විධියට කැමරාව සකසල තමයි ගත්තෙ... ඒ ක්‍රමයට ගත්ත තවත් පිංතූර ගොඩක් තියෙනවා

අපේ ඊළඟ නැරඹුම් ස්ථානය වුණේ මිහින්තලය.... මෙන්න ඇතුළු වෙන තැනම තියෙනවා පිංතූර ගන්න එපාලු! :-O ...

පිංතූර ගන්න එපා? ඒ වුණාට මම ගත්තනෙ! :D

මේක මෙතන තිබුණට මොකද තවත් තැන් තැන් වල ඔය පිටුපසින් තියෙන බෝඩ් එක වගේ බෝඩ් කීපයකම ගහලා තිබුණා ප්‍රතිමා වලට අපහාස වෙන ආකාරයට ඡායාරූප ගැනීම තහනම් කියලා... ඒ කියන්නේ එහෙම නොවෙන්න පිංතූර ගන්න පුළුවන්නේ..... නැද්ද මං අහන්නෙ? ;) එකක් විතරක් නෙමෙයි කීපයක්ම තිබුණා... මේ වගේ බෝඩ් තිබුණේ මේකම විතරයි. මේක මේ සමහන් කාරයගෙ ඇඩ් කෑල්ලක්ද කොහෙද.... මං ගන්නව ෆොටෝ.... මොකද විකුණල මට සල්ලි හොයන්නවත් අපහාස කරන්නවත් නෙමෙයිනෙ....

මේ මිහින්තලේ ඉහළට නැගලා ගත්ත panorama එකක්

මේ පරිසරය කෙතරම් රමණීයද...

මිහින්තලයෙන් පිටත් වෙලා නොබෝ වෙලාවකින් අපි අනුරාධපුරයටත් ආවා.... මෙහෙ නොවැ බලන්න දේවල් තියෙන්නේ.... :)

ජේතවනාරාමය

මෙයා නං හරිම කුළෑටි පෙනුමයි - බෞද්ධ පුදබිමක මේ වගේ සතුන්ට හිංසා කරන්න ඉඩ දෙන එක වැරදියි කියල තමයි මට නම් හිතෙන්නේ....

දිය සිඳුණු කූට්ටම් පොකුණ

අනුරාධපුර රාජධානිය තිබුණු කාලේ මේවා කොහොම තේජසකින් තියෙන්න ඇත්ද........?

අනුරාධපුරදී ගත්ත පිංතූර තමයි වැඩියෙන්ම තියෙන්නෙ... නමුත් මෙතන දැම්මොත් මේ පිටුව load වෙනකං හැට පැයක් බලාගෙන ඉන්න වෙනවා... ඒ නිසා ළඟදිම Flickr දාන්නම්.

අනුරාධපුර ගමනෙන් අපේ චාරිකාව ඉවරයි. ඊට පස්සෙ ඉතිං බැක් ටු හෝම් තමයි. බොහොම වටින කියන තැන් ගොඩක් බලා කියා ගත්තා... ඇත්තෙන්ම කිව්වොත් මේ IT කෙරුවාව අතඇරල දාල සදහටම රොටවැව නතර වෙන්න හිතෙන තරමට අපූරු මනස්කාන්ත පරිසරයක් තිබුණා. ඒ පරිසරය දාල එන්න දුකයි.... අවුරුදු 20කට කලින් මැදිරිගිරිය අතහැර දාල තාත්ත ආපහු උපන් ගමට ආවෙ කොහොමද කියල හිතාගන්නත් අමාරුයි.... ඇත්තෙන්ම කිව්වොත් පහුගිය අවුරුදු 20 පුරාවටම තාත්ත මනසින් ජීවත් වෙලා තියෙන්නෙ මැදිරිගිරියෙ. දේවල් මෙහෙම සිද්ධ වෙන්නත් හේතු තියෙනවා...... ඒ ගැන ඊළඟ බ්ලොග් සටහනේ ලියනවා..... කාට හරි පොලිටිකල් කණේ පාරක් වදින්නත් ඉඩ තියෙනවා ඒකෙන්.

බ්ලොග් ලිවිල්ලෙන් මම නිරාවරණය වුණා.... ඒත් නිරාවරණය නොකර තියාගන්න මම උත්සාහ කරන මගේ එක ගතිගුණයක් තියෙනවා... ඒ තමයි සංවේදීත්වය. හැබැයි මේ බ්ලොග් පෝස්ට් එකෙන් මටත් නොදැනීම ඒ සංවේදීත්වය ටිකක් නිරාවරණය වෙලා වගේ දැනෙනවා..... මම ඒකට අකැමැති වුණත්.

උපන් ගමටත් වඩා ආදරය කරන මැදිරිගිරියේ ජීවිතය ගැන මගේ ඊළඟ බ්ලොග් සටහනක් ලියැවෙනකම් අදට ආයිබෝං.......!

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

28 comments:

  1. හප්පට සිරි... අපේ ගෙදර ඉස්සරහිනුත් ගිහින්නේ.. තලාවෙන් එහෙම ටිකක් නැවතුනේ නැද්ද? පොඩි ‍කෝල් එකක්වත් දුන්නා නම් තේ උගුරක්වත් බීලා යන්න තිබ්බා.. මං කලින් දාපු බ්ලොග් ලිපියෙනුත් කිව්වා (http://udarasblog.blogspot.com/2009/08/blog-post_17.html) මේ පැත්තේ ටිකක් ඇවිත් යන්න කියලා.. ඊළඟ පාරවත් එන්න... මතක් කරලා..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. පට්ට ට්‍රිප් එකක්් නොවැ. මට නං ළඟදි ඔය කොහෙවත් යන්න වෙන්නෙ නෑ. 2011 වෙනකං දකුණයි බස්නාහිරයි ඇරෙන්න අනිත් පළාත්වල මගෙ වීසා කපලා ! :X

    ReplyDelete
  4. මරු ට්‍රිප් එක. හඳපානෙ වැවේ නාපු එකනම් ලේසියෙන් හිතේ මැවුනා. මමත් ඔයවිදියට පොලොන්නරුව කිට්‍ටුව පුංචි වැවක හඳපානෙ නෑවා. මොකද පොලොන්නරුව, පරාක්‍රම සමුද්‍රය එහෙම මඟහැරුනෙ.
    නිලාවේලියන් නාන්න බැරි උන එකේ, උනු වතුර ළිඳකින්වත් නාන්න තිබුනනෙ.
    ගොඩ පීනන අම්බලන්ගොඩයෙක් ගැන අහන්නත් පුදුමයි. හැබැයි ඉතින් ගිලීමලෙත් ඇත දත සුද්දෝ කියල කියනවනේ.
    අනුරාධපුර, පොලොන්නරු පැත්තට ගිහින් වගාවක් කලානම් හොඳයි කියල හිතුනු වාර අනන්තයි.
    රූප ටික බලගෙන විස්තරේ කියවනකොට හිතින් ගමන ගියාවගේ.

    ReplyDelete
  5. නියම සංචාරයක්ෙන්...කොයිතරම් හිත නිදහස් වෙනවද...

    ReplyDelete
  6. එළ ට්‍රිප් එකක්නේ.... :)

    ReplyDelete
  7. මට ඊරිසියීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ..

    ReplyDelete
  8. නියම ට්‍රිප් එක යාලුවා..~!

    ReplyDelete
  9. ඈත්තටම මල්ලි ලිපිය කියවද්දී මේ ගමන ගියා වගේ දෑනුනා.හොදට ලියලා තියෙනවා.ඈත්තටම ගෑමි සුන්දරත්වය තවම සුරෑකිව තිබෙන පරිසරයක ඉදන් ගන්න හුස්ම පොදෙත් අමුතුම ආශ්වාදයක් තියෙනවා.මමත් නිලාවෙලි ,පොලොන්නරුව, සෝමාවතිය වගේ ස්තාන බෑලුවා.ඒත් අපේ පවුලේ සියලු දෙනා සමග ගිය චාරිකාවකදි.නිලාවෑලි වල නාන්නත් පුලුවන් උනා.ආ කෝනෙශ්වන් එහෙමත් ගියා.ඒකෙදි අපි ත්‍රිකුනාමලේ ඉදන් මුතුර් වලට බස් එකේ වගේ ටිකට් කඩල යන නෑවෙත් ගියා.මුතුර් වලින් බහින්නේ නෑතුව ආපහු ඒකෙන්ම ආවා.ඒ යද්දි ප්‍රීමා කම්හල එහෙම හොදට පේනවා.ඒ ගියේ මීට අවුරුදු ගානකට කලින්.මරාල ගිවිසුම ගහපු කාලේ.ඒත් දෑන් මේ ලිපිය කියෙව්වාම නිදහසේ ආයෙත් ගිහින් එන්න හිතෙනවා..

    ReplyDelete
  10. @උදාර,
    ඔය තියෙන්නේ වචනයෙනුත් ගැමි සත්කාරය! :)
    මිලියන් සොරීස් වෙන්න ඕනා... මට ඒ බ්ලොග් පෝස්ට් එක මිසිං වෙලා. ස්තුතියි මෙතන ලින්ක් එක දැම්මට. ආයෙමත් නෑවිත් ඉන්න පැත්තක් නෙමෙයිනේ... අනිවා එනවා දවසක!

    @අමිල,
    ඔයාගෙ කමෙන්ට් එක මැකුවෙ ඇයිද කියල නං දන්නෙ නෑ.... :-S හැබැයි ඒක මගේ ඊමේලට ඇවිත් තිබුණා.. ස්තුතියි යාළුවා... :)

    @බුධාජීව,
    ඇහ්...! ඒ මොකො? ලව්සිකක්ද?

    @කුමාර,
    එහෙනං රූප ටිකෙනුත් හොඳ චිත්‍රයක් මවලා තියෙනව වගේ. නාන්න බැරි වුණේ අපට ටිකක් වෙලාව මදි වුණු නිසා. Schedule එක ටිකක් අවුල් ගියා. නැත්තං වතුරක් දැක්කොත් බැහැල නාන්නෙ නැතුව ඉඳීද මම! :D
    (පීනන්න බැරි එක is a different story)

    @ප්‍රභාත්,
    ඔව්.. දැන් කොටි කලබලත් නැති එකේ ගිහින් එන්න ඒ පැත්තේ.

    @පන්හිඳ,
    නැතුව නැතුව...? ;)

    @änthräX,
    ලංකාවෙ අගේ දැනෙන්නෙ ලංකාවෙන් පිට වුණාම.. එහෙම නේද? ලංකාවට ආපු වෙලාවක ඔය රවුම ගිහින් ආවට පාඩු නෑ.

    @ඉන්දික,
    ඔව්... සිරාම ආතල් ගමන!

    @NUWAN"s lane,
    ස්තුතියි අයියේ.. නැව් සර්විස් එකක් තියෙනව කියල දන්නෙ දැන් නෙව! ප්‍රීමා කම්හලත් දැක්කා.
    ඔය මරාල නපුංසක ගිවිසුම කාලෙ කොටි පෝසත් කර කර ගමන් යනව වගේ නෙවෙයි දැන් බය නැතුව ඕන පැත්තක යන්න පුළුවන්. හැබැයි දෙමළ භාෂාව ටිකක් දැනගෙන යන්න පුලුවන් නම් හොඳයි. නැත්තං හදිසියකට පාරක් තොටක් අහගන්න ගියාම තමයි කෙළවෙන්නෙ.

    ----------------------------

    මම යන හැම විනෝද ගමනකදිම ගන්න ආතල් එකක් මේ සැරේ ගන්න බැරි වුණා.... :( මොකක්ද දන්නවද....? Flirt පාරක් දාන එක.... :P :P (එකක් කිව්වට ඇත්තටම තුනක් - හතරක් එක ගමනකදි ෂුවර්)

    ReplyDelete
  11. නියම ට්‍රිප් එක මචං, මේ වගේ ගමනක් බිමනක් යන්නැතුව, කොමුපියුටරේ බදාගෙන හිටියට පලක් නෑ තමා.......
    කට්ටියත් එක්කම ආයි යමුද බැච් ට්‍රිප් එකක්

    ReplyDelete
  12. මගෙ ජීවිතේට මම මිහින්තලේ, අනුරාධපුරේ ගිහින් තියෙන්නේ එක පාරයි. මේක දැක්කම ආයෙත් යන්න හිතෙනවා.

    ReplyDelete
  13. නිලාවේලි ගිය එකේ පරේයි දූව බලන්න නොගියේ ඇයි????

    ReplyDelete
  14. මල්ලිගෙ ලිපිය කියෙව්වම ලංකාවට ඉගිලිලා එන්න හිතෙනවා. විස්තරත් එක්කම පින්තූර දාපු එක හරිම වටිනව. පින්තූරත් හරිම ලස්සනයි. මෙහෙම හරි අපේ රටේ සිරියාව බලා ගන්න ලබා දුන්නට පින්. ජය ශ්‍රී!

    ReplyDelete
  15. අනුරාධපුරෙන්, පො‍ළොන්නරුවෙන් එහාට මම ගිහිල්ලම නෑ නෙ... :(

    ReplyDelete
  16. ෂහ්! මරු ට්‍රිප් එකක් නෙ ගිහින් තියෙන්නෙ... ඔය පැත්තෙ ගිහින් තිබුණට ඉතිං එක දවසෙ ට්‍රිප් තමයි... එක දවසින් කොහොමැයි ඉතිං ඔච්චර හරියක් කොරන්නෙ...? :(

    ReplyDelete
  17. ෂා... මරු ට්‍රිප් එකක්නෙ... කන්තලේ වැවට ගියෙ නැද්ද?

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. @kanishka©,
    ට්‍රිප් යන්න නං අපේ කස්ටිය එකතු කරගන්න අමාරු වෙයි මචෝ මේ තියෙන වැඩ කන්දරවෙ හැටියට.... හන්තානෙ අපි ඒ දවස් වල ගත්ත ආතල් එක උඹට මතක ඇතිනේ... :D :P

    @Thilina,
    දැන් තමයි යන්න හොඳ කාලේ... කොටි කලබල නෑනේ...

    @Little Star,
    හැම දේටම කාලය හරස් වෙනවා නොවැ... :(

    @අක්කණ්ඩි,
    බොහෝම ස්තුතියි.. පින්තූර ගන්න එක ගැන තමයි මම වැඩියෙන්ම උනන්දු වුණේ... අක්කණ්ඩිටත් ජය ශ්‍රී! :)

    @ගයන්ත,
    දැන් යන්න පුළුවන් කොල්ලෝ බය නැතුව.... ;)

    @ධනික,
    කොල්ලො ටිකක් සැට් කොරාගෙන යන්නයි තියෙන්නේ.... මම තව මාස දෙකකින් විතර ආපහු ඒ පැත්තෙ යන්නයි හිතාගෙන ඉන්නේ.... :P

    @ගයාන් කණිෂ්ක,
    කාලය... කාලය සීමා සහිත වීම... කන්තලේ වැව දිහා බලාගෙන තමයි ගියේ... ඒත් නැවතිලා යන්න වෙලාව මදි වුණා. අනිත් වැව් හිඳිල තිබුණට කන්තලේ වැව හිඳිල නෑ.

    ReplyDelete
  20. ගිය බ්‍රහස්පතින්දා හවස පොළොන්නරු ගිහින් (දන්නෝ දනිති කොහේ, මොකට ගියාද බව.... :D ) අද ආවේ.......!! :)

    බලපන් උඹ කැළණි ඇවිල්ලා තියෙන්නේ අපේ ගෙවල් පහු කරගෙනනේ......!! :D

    ReplyDelete
  21. අම්මට සිරි මරැ ට්‍රිප...ඔයා ගිහින් ඇවිත් අපිවත් එක්කන් ගියා වගේ.නියමට ලියලා තියෙනවා.මමත් හිතන් ඉන්නේ ලගදිම නැගෙනහිර පැත්තේ රවුමක් යන්න.

    ReplyDelete
  22. අම්මට සිරි මරැ ට්‍රිප...ඔයා ගිහින් ඇවිත් අපිවත් එක්කන් ගියා වගේ.නියමට ලියලා තියෙනවා.මමත් හිතන් ඉන්නේ ලගදිම නැගෙනහිර පැත්තේ රවුමක් යන්න.

    ReplyDelete
  23. මරේ මරු ට්‍රිප් එකනෙ

    ReplyDelete
  24. මචන් මම වැඩි හරියක් බ්ලොග් කියවන්නෙ බත් කන ගමන්.
    කන වෙලවක තමයි ඔය කොමෙන්ට් එකත් දැම්මෙ.තේරෙනවනෙ දකුණ හුරු ම‍ට වමෙන් ටයිප් කරන්න ලියාම තියන පෝරියල් එක. කොහොමෙන් හරි ඕක මං අතින් මැකුනා.ආයෙත් කොමෙන්ට් එකක් දාන්න යද්දි මොකක් හරි වැඩක් සෙට් වෙලා බැරි වුණා.හැබැයි ම‍ට මතක තිබ්බෙ මම ඒක ආයෙ දැම්මා කියලා. සොරි වෙන්ඩ ඕනෙ

    ReplyDelete
  25. කස්ටියටම තැංකියු වේවා!

    @අමිල,
    අනේ අවුලක් නෑ මචෝ... ඕවත් දේවල්ද... මොන සොරිද... මේ නැටි පිටිං අලිත් නහින කාලේ... :D

    ReplyDelete
  26. නියමයි...කියවනකොට අපිත් ගියා වගේ...

    ReplyDelete
  27. මම දැන්නේ මේක දැක්කේ... මමත් පොඩි කාලේ- ඒ කියන්නේ අවුරුදු දහයක් විතර වෙනක‍න් හිටියේ රජරට තමා.. එහෙන් ඇවිත් සෑහෙන කාලයක් වෙනවා. යන්න හිතන් හිටි‍යත් තාම වෙලාවක් හම්බ වුනේ නෑනේ........ :(

    ReplyDelete
  28. මම නම් ඉතින් ඒ පැත්තෙනේ. මේවල ඉන්නකොට තමා ඒ පැත්තෙ සුන්දරත්වය හොදට දැනෙන්නේ..කුරුනෑගලින් එහාට ගියාම මට නම් දැනෙන සනිපේ කියලා වැඩක් නෑ.
    ජිවිතේ විදින්න එහාටම යන්න ඕනෑ

    ReplyDelete

Facebook ප්‍රතිචාර