ඔන්න ඉතිං මගේ යාළුව දිගටම නහයෙන් අඬන්න පටන් ගත්තා... D partition එකේ වින්ඩෝස් කියෙනකොට හරි නැහැලු.. කැතයිලු... අප්සැට්ලු... ලිනක්ස් වල ඉඳං sda එක, පහ, හය, හත කියල ගණං කරන්න පුරුදු වෙච්ච මට නං ඕකෙ විශේෂයක් නෑ... ඒත් ඉතිං පොඩි එකාගෙ ආසාවනේ... ඉතිං මම මොකද කළේ... දැම්මා PowerQuest Partition Magic. ඒ මෘදුකාංගයෙන් පුළුවන් වින්ඩෝස් ස්ථාපනය කරල තියෙද්දිම System Partition එකේ අකුර වෙනස් කරන්න. මැසිමේ හාඩ් ඩිස්ක් දෙකක් තියෙනවා. එකක් 40 GB. අනෙක 80 GB. 40 GB තැටිය කෑලි දෙකකට කඩලා තියෙනවා. 80 GB තැටිය කෑලි තුනකට කඩලා එකක වින්ඩෝස් දාලා තියෙනවා. ඒකෙ තමයි D අකුර ඇවිත් කියලා නහයෙන් අඬන්නේ. Partition Magic විවෘත කළාම මෙන්න හාඩ් ඩිස්ක් දෙකේම තොරතුරු පෙන්නන්නෙ වැරදියට!
පැහැදිලිව බලන්න රූපය මත ක්ලික් කරන්න
NTFS partition වලට වැඩ දාන්න මම දන්න හොඳම මෘදුකාංගය තමයි Partition Magic. Partition Magic කෙසේ වෙතත් හාඩ් ඩිස්ක් එකේ MBR අවුලක් තියෙන බව මට තේරුණා. වැඩි විස්තර හොයල බලද්දි තමයි දැනගත්තේ... මේ හාඩි ඩිස්ක් දෙකම හම යනකං සැරින් සැරේ format කර කර වින්ඩෝස් දමාපු ඒවා. සමහර වෙලාවල BSOD පවා ඇවිත් තියෙනවලු.
දැන් වෙලා තියෙන දේ හැටියට C/D මාරු කරනව බොරු. ඒත් නිකං උතුර දකුණ ටැපලිලා වගේ දැනුණු නිසා මම කල්පනා කළා දෙවැනි හා අන්තිම උත්සාහය විධියට GParted වලින් partition table එක නිකමට බලාගන්නවත් පුළුවන් වෙයිද කියලා. ඉතිං මැසිම Ubuntu Live CD එකකින් පණගන්වලා GParted ධාවනය කරලා බැලුවා... වාසනාවට මොකක් හරි පෙනීයන් කියලා. යාන්තම් ඇති... එක partition එකක් වග විස්තර පේනවා. මීළඟ තිරපිටපත් දෙකත් බලන්න.
මම මේකෙන් කියන්න උත්සාහ කරන්නෙ නෑ Partition Magic මෘදුකාංගයට වඩා GParted හොඳයි කියලා. දැන් කස්ටිය හිතනව ඇති මම FOSS පැත්තට බර නිසා මේකත් වාණිජ මෘදුකාංග වලට පහර ගහන්න ලිව්ව එකක් කියලා -- නෑ,.. එහෙම අදහසක් නම් නෑ. මේ වගේ දෝෂ සහගත හාඩ් ඩිස්ක් එකක් එක මෘදුකාංගයකින් හඳුනාගන්නත් අනෙක මගින් හඳුනා නොගන්නත් හේතුව වෙන්න ඇත්තෙ ඒ මෘදුකාංග දෙකේ අභ්‍යන්තරයෙ එකම කාර්යය කරන්න දෙවිධියක ක්‍රම සහ විධි පාවිච්චි කරන නිසා වෙන්න පුළුවන්. මේ වගේ එක සිද්ධියක් පමණක් නිරීක්ෂණයෙන් එහෙම සංසන්දනයක් කරන්නත් බෑ.
පැහැදිලිව බලන්න රූපය මත ක්ලික් කරන්න
මේ තිර පිටපත හොඳට නිරීක්ෂණය කරන්න (මම ලියලා තියෙන නිරීක්ෂණ අපැහැදිලි නම් මේ ලිපියත් බලන්න). මෙන්න මේ තැටිය ගැන මම දැකපු දේවල්:
- වින්ඩෝස් ස්ථාපනය කළ partition එක (/dev/sdb5) extended partition එකේ තියෙන එකම logical drive එක වෙලා... කොහොම වුණාද කියල හිතාගන්න බෑ. වින්ඩෝස් වලදි සාමාන්‍යයෙන් logical partition එකකට C අකුර දෙන්නෙ නෑ. ඒක දෙන්නෙ primary partition එකකට. එතකොට C/D මාරු වෙන්න හේතුව ඒකයි.
- /dev/sdb2 හා /dev/sdb3 -- මේක දෙකේ ඉලක්කමෙන් පටන් ගන්න එකේ තේරුම තමයි හාඩ් ඩිස්ක් එකේ පළවෙනි partition එක මම කලින් කිව්ව extended partition එක බවට පත් වෙලා තියෙන බව. ඒක අපට එතරම්ම වැදගත් නෑ.
- /dev/sdb2 වින්ඩෝස් වලදි C: වුණේ boot flag එක ඒක මත තියෙන නිසා.
- /dev/sdb2 ත් extended partition එකත් අතර 2.8 MB හිස් ඉඩක් තියෙනවා. මේකත් කොහොම වෙච්ච වින්නැහියක්ද කියල හිතාගන්න බෑ... මම මේ පොඩි හිඩැස දෙපැත්තේ තියෙන partition වලින් පුරවන්න පොඩ්ඩක් උත්සාහ කළා. ම්හු... බෑ... :( දැන් මේක X-Files වගේ අබිරහස් සීන් එකක් වෙලා. :-O
- සාමාන්‍යයෙන් වින්ඩෝස් තියෙන හාඩ් ඩිස්ක් එකක partition table එකේ අග 7.8 MB ඉඩක් වෙන් කර (reserved) තැබෙනවා. හැබැයි මෙතන තියෙන්නෙ 7.38 MB. ඒ මදිවට partition table එකේ මුලටම ඇවිත්! මේ සංසිද්ධිය නම් හිතාගන්න බැහැ මට. බොහෝ විට හානි සිදු වූ හාඩ් ඩිස්ක් එකක් GParted මගින් වැරදි ආකාරයට කියැවීම නිසා වෙන්න පුළුවනි.
ඔය තරම් නැහෙන්න ඕන නෑ තව 80 GB තැටියක් හොයාගන්න පුළුවන් වුණා නම්. එහෙම එකක් තිබුණ නම් මේකෙ තියෙන කුණු කන්දරාව වෙනින් hard disk එකකට පටවලා සම්පූර්ණයෙන්ම format කරලා සියළු දෝෂ නිවාරණය කරන්න තිබුණා. ඒත් ඉතිං තව හාඩ් ඩිස්ක් කොහෙ හොයන්නද?
මේ මැසිමෙ තියෙන 40 GB ප්‍රමාණයෙ අනිත් තැටියට මොකද වුණේ එතකොට? මීළඟ screenshot එකත් බලන්න:
ඒක එහෙමවත් හඳුනාගත්තෙ නෑ GParted වලින්. :(
මම දන්නෙ නෑ මේකාගෙන් හාඩ් ඩිස්ක් එකට මොන මොන අතවර සිද්ධ වුණාද කියල. ;) මොනව වුණත් මාසෙකට දෙකකට වතාවක් slow හරි වයිරස් හරි කිය කියා format කරන බව නම් මං හොඳාකාරව දන්නව.
අන්තිමේ මටත් නිකං ඉන්න බැරිකමට... වාණිජ මෙහෙයුම් පද්ධතිය(ක)ට ඔළුව අතගාලා පොඩි ටොක්කක් ඇනලම මේක අවසන් කරන්න හිතුණා. Windows Setup එකේ තියෙන කෙහෙම්මල් partition එඩිටරය නම් මහ ඇණයක්. විකාරයි අජූතයි. මම එහෙම කියන්නෙ හේතුවක් ඇතිව. අපි partition එකක් format කරද්දි ඒකෙන් partition එක හරියටම තියෙන තැන, primary ද logical ද කියන එක පෙන්නන්නෙ නෑ. අනෙක් විස්තරත් අඩුවෙන් පෙන්නන්නේ. ඩොස් යුගයෙ තිබුණු FDISK මේකට වඩා හොඳා. Windows 7 ට එද්දි මේකෙ වෙලා තියෙන එකම දියුණුව විධියට මම තාම දැක්කෙ mouse එකෙන් වැඩ කරන්න පුළුවන්කම විතරයි. හැබැයි වැඩ නම් තාම එහෙමමයි.
ඒකට, බලන්න ලිනක්ස් ස්ථාපනය කරද්දි පාවිච්චි කරන්න ලැබෙන partition එඩිටරය කොයි තරම් ස්වීට්ද කියලා... ;) ලේසියෙන් වැඩ කරගන්න ඕන නං Guided Partition කියලා විකල්පයකුත් තියෙනවා. නැත්තම් හිතේ හැටියට partition කරගන්නත් පුළුවන්. හැබැයි මම නම් නිර්දේශ කරන්නේ Guided Partition කරන්න එපා කියලා. තමන්ට හිතෙන හැටියට partition table එක සංස්කරණය කරන්න ඒකෙ දීල තියෙන පහසුකම් අපූරුයි.
හාඩ් ඩිස්ක් කතන්දරේ දැන් ඉවරයි... අළුතෙන් යමක් දැන කියාගත්තා කියල හිතෙනවා ඒකෙන්.
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴