Friday, August 28, 2009

හාඩ් ඩිස්ක් එකකට වෙච්ච හදියක්!

මේක මම කලින් නිකං ඉන්න බැරිකමට ලිව්ව සටහනේ දෙවෙනි කොටස කියල කියන්නත් පුළුවන්. මේ සටහනත් පළවෙනි එකටම එකතු කරන්නෙ නැතිව වෙනම සටහනක් විධියට ලියන්න හේතු වුණේ මේක කලින් සිද්ධියට සම්බන්ධ වුණත් මේ කතන්දරේ වෙනස් මාතෘකාවක් ඔස්සෙ යන නිසා.

ඔන්න ඉතිං මගේ යාළුව දිගටම නහයෙන් අඬන්න පටන් ගත්තා... D partition එකේ වින්ඩෝස් කියෙනකොට හරි නැහැලු.. කැතයිලු... අප්සැට්ලු... ලිනක්ස් වල ඉඳං sda එක, පහ, හය, හත කියල ගණං කරන්න පුරුදු වෙච්ච මට නං ඕකෙ විශේෂයක් නෑ... ඒත් ඉතිං පොඩි එකාගෙ ආසාවනේ... ඉතිං මම මොකද කළේ... දැම්මා PowerQuest Partition Magic. ඒ මෘදුකාංගයෙන් පුළුවන් වින්ඩෝස් ස්ථාපනය කරල තියෙද්දිම System Partition එකේ අකුර වෙනස් කරන්න. මැසිමේ හාඩ් ඩිස්ක් දෙකක් තියෙනවා. එකක් 40 GB. අනෙක 80 GB. 40 GB තැටිය කෑලි දෙකකට කඩලා තියෙනවා. 80 GB තැටිය කෑලි තුනකට කඩලා එකක වින්ඩෝස් දාලා තියෙනවා. ඒකෙ තමයි D අකුර ඇවිත් කියලා නහයෙන් අඬන්නේ. Partition Magic විවෘත කළාම මෙන්න හාඩ් ඩිස්ක් දෙකේම තොරතුරු පෙන්නන්නෙ වැරදියට!

පැහැදිලිව බලන්න රූපය මත ක්ලික් කරන්න

NTFS partition වලට වැඩ දාන්න මම දන්න හොඳම මෘදුකාංගය තමයි Partition Magic. Partition Magic කෙසේ වෙතත් හාඩ් ඩිස්ක් එකේ MBR අවුලක් තියෙන බව මට තේරුණා. වැඩි විස්තර හොයල බලද්දි තමයි දැනගත්තේ... මේ හාඩි ඩිස්ක් දෙකම හම යනකං සැරින් සැරේ format කර කර වින්ඩෝස් දමාපු ඒවා. සමහර වෙලාවල BSOD පවා ඇවිත් තියෙනවලු.

දැන් වෙලා තියෙන දේ හැටියට C/D මාරු කරනව බොරු. ඒත් නිකං උතුර දකුණ ටැපලිලා වගේ දැනුණු නිසා මම කල්පනා කළා දෙවැනි හා අන්තිම උත්සාහය විධියට GParted වලින් partition table එක නිකමට බලාගන්නවත් පුළුවන් වෙයිද කියලා. ඉතිං මැසිම Ubuntu Live CD එකකින් පණගන්වලා GParted ධාවනය කරලා බැලුවා... වාසනාවට මොකක් හරි පෙනීයන් කියලා. යාන්තම් ඇති... එක partition එකක් වග විස්තර පේනවා. මීළඟ තිරපිටපත් දෙකත් බලන්න.

මම මේකෙන් කියන්න උත්සාහ කරන්නෙ නෑ Partition Magic මෘදුකාංගයට වඩා GParted හොඳයි කියලා. දැන් කස්ටිය හිතනව ඇති මම FOSS පැත්තට බර නිසා මේකත් වාණිජ මෘදුකාංග වලට පහර ගහන්න ලිව්ව එකක් කියලා -- නෑ,.. එහෙම අදහසක් නම් නෑ. මේ වගේ දෝෂ සහගත හාඩ් ඩිස්ක් එකක් එක මෘදුකාංගයකින් හඳුනාගන්නත් අනෙක මගින් හඳුනා නොගන්නත් හේතුව වෙන්න ඇත්තෙ ඒ මෘදුකාංග දෙකේ අභ්‍යන්තරයෙ එකම කාර්යය කරන්න දෙවිධියක ක්‍රම සහ විධි පාවිච්චි කරන නිසා වෙන්න පුළුවන්. මේ වගේ එක සිද්ධියක් පමණක් නිරීක්ෂණයෙන් එහෙම සංසන්දනයක් කරන්නත් බෑ.

පැහැදිලිව බලන්න රූපය මත ක්ලික් කරන්න

මේ තිර පිටපත හොඳට නිරීක්ෂණය කරන්න (මම ලියලා තියෙන නිරීක්ෂණ අපැහැදිලි නම් මේ ලිපියත් බලන්න). මෙන්න මේ තැටිය ගැන මම දැකපු දේවල්:
  • වින්ඩෝස් ස්ථාපනය කළ partition එක (/dev/sdb5) extended partition එකේ තියෙන එකම logical drive එක වෙලා... කොහොම වුණාද කියල හිතාගන්න බෑ. වින්ඩෝස් වලදි සාමාන්‍යයෙන් logical partition එකකට C අකුර දෙන්නෙ නෑ. ඒක දෙන්නෙ primary partition එකකට. එතකොට C/D මාරු වෙන්න හේතුව ඒකයි.
  • /dev/sdb2 හා /dev/sdb3 -- මේක දෙකේ ඉලක්කමෙන් පටන් ගන්න එකේ තේරුම තමයි හාඩ් ඩිස්ක් එකේ පළවෙනි partition එක මම කලින් කිව්ව extended partition එක බවට පත් වෙලා තියෙන බව. ඒක අපට එතරම්ම වැදගත් නෑ.
  • /dev/sdb2 වින්ඩෝස් වලදි C: වුණේ boot flag එක ඒක මත තියෙන නිසා.
  • /dev/sdb2 ත් extended partition එකත් අතර 2.8 MB හිස් ඉඩක් තියෙනවා. මේකත් කොහොම වෙච්ච වින්නැහියක්ද කියල හිතාගන්න බෑ... මම මේ පොඩි හිඩැස දෙපැත්තේ තියෙන partition වලින් පුරවන්න පොඩ්ඩක් උත්සාහ කළා. ම්හු... බෑ... :( දැන් මේක X-Files වගේ අබිරහස් සීන් එකක් වෙලා. :-O
  • සාමාන්‍යයෙන් වින්ඩෝස් තියෙන හාඩ් ඩිස්ක් එකක partition table එකේ අග 7.8 MB ඉඩක් වෙන් කර (reserved) තැබෙනවා. හැබැයි මෙතන තියෙන්නෙ 7.38 MB. ඒ මදිවට partition table එකේ මුලටම ඇවිත්! මේ සංසිද්ධිය නම් හිතාගන්න බැහැ මට. බොහෝ විට හානි සිදු වූ හාඩ් ඩිස්ක් එකක් GParted මගින් වැරදි ආකාරයට කියැවීම නිසා වෙන්න පුළුවනි.
නිගමනය: හාඩ් ඩිස්ක් එකේ පාටිෂන් ටේබලය අච්චාරුවක් බවට පත් වී ඇත :D . C/D මාරු කරලා boot flag එකත් දෙන්න නම් /dev/sdb5 format කරලා ඒක primary එකක් කරන්න පොඩි ගේමක් දෙන්න වෙනවා GParted වලින්. හැබැයි අමාරු වැඩක් නෙමෙයි.

ඔය තරම් නැහෙන්න ඕන නෑ තව 80 GB තැටියක් හොයාගන්න පුළුවන් වුණා නම්. එහෙම එකක් තිබුණ නම් මේකෙ තියෙන කුණු කන්දරාව වෙනින් hard disk එකකට පටවලා සම්පූර්ණයෙන්ම format කරලා සියළු දෝෂ නිවාරණය කරන්න තිබුණා. ඒත් ඉතිං තව හාඩ් ඩිස්ක් කොහෙ හොයන්නද?

මේ මැසිමෙ තියෙන 40 GB ප්‍රමාණයෙ අනිත් තැටියට මොකද වුණේ එතකොට? මීළඟ screenshot එකත් බලන්න:


ඒක එහෙමවත් හඳුනාගත්තෙ නෑ GParted වලින්. :(

මම දන්නෙ නෑ මේකාගෙන් හාඩ් ඩිස්ක් එකට මොන මොන අතවර සිද්ධ වුණාද කියල. ;) මොනව වුණත් මාසෙකට දෙකකට වතාවක් slow හරි වයිරස් හරි කිය කියා format කරන බව නම් මං හොඳාකාරව දන්නව.

අන්තිමේ මටත් නිකං ඉන්න බැරිකමට... වාණිජ මෙහෙයුම් පද්ධතිය(ක)ට ඔළුව අතගාලා පොඩි ටොක්කක් ඇනලම මේක අවසන් කරන්න හිතුණා. Windows Setup එකේ තියෙන කෙහෙම්මල් partition එඩිටරය නම් මහ ඇණයක්. විකාරයි අජූතයි. මම එහෙම කියන්නෙ හේතුවක් ඇතිව. අපි partition එකක් format කරද්දි ඒකෙන් partition එක හරියටම තියෙන තැන, primary ද logical ද කියන එක පෙන්නන්නෙ නෑ. අනෙක් විස්තරත් අඩුවෙන් පෙන්නන්නේ. ඩොස් යුගයෙ තිබුණු FDISK මේකට වඩා හොඳා. Windows 7 ට එද්දි මේකෙ වෙලා තියෙන එකම දියුණුව විධියට මම තාම දැක්කෙ mouse එකෙන් වැඩ කරන්න පුළුවන්කම විතරයි. හැබැයි වැඩ නම් තාම එහෙමමයි.

ඒකට, බලන්න ලිනක්ස් ස්ථාපනය කරද්දි පාවිච්චි කරන්න ලැබෙන partition එඩිටරය කොයි තරම් ස්වීට්ද කියලා... ;) ලේසියෙන් වැඩ කරගන්න ඕන නං Guided Partition කියලා විකල්පයකුත් තියෙනවා. නැත්තම් හිතේ හැටියට partition කරගන්නත් පුළුවන්. හැබැයි මම නම් නිර්දේශ කරන්නේ Guided Partition කරන්න එපා කියලා. තමන්ට හිතෙන හැටියට partition table එක සංස්කරණය කරන්න ඒකෙ දීල තියෙන පහසුකම් අපූරුයි.

හාඩ් ඩිස්ක් කතන්දරේ දැන් ඉවරයි... අළුතෙන් යමක් දැන කියාගත්තා කියල හිතෙනවා ඒකෙන්.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Thursday, August 27, 2009

නිකං ඉන්න බැරිකමට ලිව්ව එකක්.........

ටික කාලයක් නිහඬව හිටියෙ අළුතින් ලිපියක් ලියන්න තරම් සුදුසුයි කියල හිතෙන මාතෘකාවක් නොලැබුණු නිසා... කවි, නිසදැස් ඕව ලියන්න අදහස් එන්නෑනෙ මට... :( ලිව්වොත් එකත් ඒකත් ගීක් ඇන්ඩ් ග්‍රීක් වෙලා තියෙයි. මගේ කැමරා පෝං එකත් නොතිබුණා නම් නිවාඩු කාලෙ කිසි ආතල් එකක් නැතිව ගෙවිලා යනවා.

ඊයෙ මට පොඩි වැඩක් සෙට් වුණා. මගෙ යාළුවෙකුගෙ මැසිමෙ Windows XP දාලා අළුතෙන්. හැබැයි වින්ඩෝස් ස්ථාපනය කරපු partition එක නිකංම D වෙලා. ඉතිං මෑන්ස්ට මේක සැටිස් මදි. මට කියනවා පුළුවන් නම් partition එකේ තියෙන අකුර වෙනස් කරල දෙන්නලු. ඒක C කරගන්න ඕනලු. හාඩ් ඩිස්ක් එකේ තියෙන චිත්‍රපට සහ ඇනිමේෂන් කන්දරාව නිසා අනිත් partition වල තියෙන ඒවා එහාට මෙහාට කරන්නත් බෑ. ඕක ඔය මොකේ තිබුණාම මොකද වැඩේ කෙරෙනවනං..

බලාගෙන ගියාම පොර පොඩි (ලොකු) හොර වැඩක් කරන්න ගිහිං. එයාගෙ ළඟ තිබිල තියෙනවා WindowsXPGenuine.exe කියල පොඩි patch එකක්. මේ ක්‍රමලේඛය එක එක පාරක් ධාවනය කරලා Patch කළාම වින්ඩෝස් යවත්කල් කරගන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. ඒ කියන්නෙ අර Windows Genuine (Dis)Advantage කියන update එක එන්නෙ නැතිලු. නියම (අ)ව්‍යාජ මයික්‍රොසොෆ්ට් පාරිභෝගිකයෙක් වෙනවලු. ඕක දාන්න ගියාම error එකක් ඇවිත්... C:\WINDOWS\System32\winsysan.vbs කියන file එක හොයාගන්න නැතිලු. මේකෙ C/D මාරු වෙලා තියෙන නිසා මම D එකේ අදාළ තැන බැලුවා... එහෙම ගොනුවක් හොයාගන්න නැහැ.

ඒ කියන්නෙ මේ patch එකෙන් තාවකාලිකව VBScript ගොනුවක් හදාගෙන ඒක ධාවනය කරලා තමයි patch කරන්නෙ. අන්තිමේ ඒ තාවකාලික ගොනුව මකලා දානවා. කොහොමද මේ VBScript එක කොපි කරගන්න තියෙනවනං? මට ආවෙ එහෙම අදත්තාදාන අදහසක්... හොර වැඩ අස්සෙ තවත් හොර වැඩ! :D

මම notepad එකේ මෙන්න මෙහෙම පේළි දෙකක් ලියලා a.bat කියන නමින් save කළා ඔය VBScript එක කොපි වෙන තැනටම:

copy winsysan.vbs winsysan.txt
a.bat

සිද්ධ වෙන දේ පැහැදිලියිනේ.... මේක නොනැවතී ධාවනය වෙන පොඩි batch file එකක්. කොයි වෙලාවක හරි winsysan.vbs කියල ගොනුවක් හම්බවුණොත් ඒකෙ පිටපතක් තියාගන්නවා.

ඔහොම අටවලා ආයෙ පාරක් patch කළා. වැඩේ හරි!! :) winsysan.vbs එකේ පිටපතක් ලැබුණා. හැබැයි ඕන කරන දේ ඒක ඇතුළෙ තිබුණෙ නෑ. :( ඒක Windows XP වල product key එක වෙනස් කරන්න ලියපු පොඩි script එකක්. හැබැයි script එක ඇතුළෙ product key එකක් නෑ. ඒ කියන්නෙ key එක වෙනම ලබා දෙන්න ඕනා. පේළි 20ක් විතර තිබුණු ඒ කේතය කියවද්දි, සිද්ධ වෙන දේ මට හරියටම පැහැදිළි වුණා.

මේ patch එකෙන් ඇත්තටම සිද්ධ වෙන්නෙ patch කිරීමක් නෙමෙයි. පොඩි VBScript කෑල්ලක් කඩේ යවන එක. කඩේ යවන්නෙ අතට සල්ලිත් දීලා. තේරුණේ නැද්ද? පරිගණක ක්‍රමලේඛණය කරන අයගේ බාසාවෙන් කිව්වොත් VBScript එකක් හදලා product key එක parameter/arguement එකක් විධියට එවනවා script එකට. ඒ කියන්නේ product key එක තියෙන්නේ අර මුලින් කිව්ව WindowsXPGenuine.exe ගොනුව හෙවත් 'patch' එක ඇතුලේ.

දැන් ඉතින් වෙන කුමක් කරන්නද exe එක කියවනු හැර? ඉතිං මට මතක් වුණා පොඩි ආම්පන්නයක්. Huawei E220 අගුළු අරිනකොට පාවිච්චි කළා ඒක. ඒ තමයි XVI32 hex editor එක. ඇත්තටම මම නං hex editor වලින් වැඩිය වැඩ දාන්න දන්නෙ නෑ. ;) හැබැයි මොකක් හරි හොයාගන්න පුළුවන් වෙයි කියල හිතලා exe එක විවෘත කරලා බැලුවා. ග්‍රීක් වගේ... ඉලක්කං ගොඩකුයි ඉංග්‍රීසි අකුරුයි... විකාර වගෙ. ඒ වුණත් ටිකක් එහෙ මෙහෙ විපරං කරලා බලනකොට මෙන්න තියෙනවා ගෙඩි පිටින් කැරට් 0x18 ගෝල්ඩ් කිව්වලු!!! :-O XXXXX-XXXXX-XXXXX-XXXXX-XXXXX

මොකක් හරි මටත් හිතාගන්න බැරි හේතුවක් නිසා මේ key එක blacklist වෙලා නෑ. වින්ඩෝස් යවත්කල් කරන්න පුළුවන් කිසි ගේමක් නැතිව. මම මේ ගැන විස්තර කරලා ලිව්වේ හේතු දෙකක් නිසා. පළවෙනි හේතුව, පරිගණක ක්‍රමලේඛණයෙදි සිද්ධ වෙන වැරදි නිසා ඒවයෙ තියෙන වැදගත් තොරතුරු වෙනත් අය අතට පත් වෙන්නෙ කොහොමද කියල පෙන්නන්න. මේ පොඩි ක්‍රමලේඛය ලිව්ව කෙනා කෙළින්ම වින්ඩෝස් registry එකේ අදාළ වෙනස්කම් සිද්ධ වෙන විධියට ක්‍රමලේඛය සකස් නොකර VBScript එකක් කඩේ යැව්වෙ සමහරවිට අදාළ කේත තමන් විසින්ම ලියන්න තියෙන කම්මැලිකමට වෙන්න පුළුවන්. Windows API එකෙන් %WINDOWS%\System32 කියන එක නොගෙන ලියන්නන් වාලේ C:\WINDOWS\System32 කියලා path එක දීලා තියෙන විධියෙන්ම පේනවා කම්මැලිකම බව. ;)

අනෙක් හේතුව තමයි අමුතු ගැජට් කෑලි දැක්කාම ඒ ගැන ටිකක් විපරම් කරලා වැඩ දාලා බලන්න ඕන (හැබැයි කූඤ්ඤෙ ගලවපු වඳුරා වගේ නොවී - ක්‍රමානුකූලව :D ).... ඒකෙ තියෙන ආතල් එක ගන්න ඕන කියන දේ පෙන්නන්න. ඒ වගේම ක්‍රමානුකූලව මේ වගේ දෙයක් කරන්නෙ කොහොමද කියල පෙන්නන්න. නිකම් පොඩි tool එකක් ධාවනය කරලා ක්ලික් දෙකතුනක් දීලා වැඩ කරගන්නව වගේද code එක්කත් යංතං හරි ඔට්ටු වුණාම තියෙන ආතල් එක? ;)

මේ 'patch' එක හැදුවෙ කවුද (ලංකාවෙ කෙනෙක්), කුමන හේතුවක් නිසා ද කියලා මම දන්නවා.... (හේතුවක් නැත්තං මෙහෙම වට වන්දනාවෙ යන්නෙ නැතුව Windows CD එකේ හොර කොපිත් එක්ක බෙදාහරින්න තිබුණනෙ) ඒත්... ඒ ගැන මම කියන්නෙ නෑ.... key එකත් අහන්න එපා මොකක්ද කියලා.... :D (key එකෙන් මම වැඩක් නොගන්න එක වෙනම කතාවක් :D )

කියන්න අතමක වුණා.... මගේ යාළුවා ඇනිමේෂන් බුවෙක් නිසා මම ගහපු උබුන්ටු තෙල වැඩ කළේ නෑ :( ඒ නිසා තාමත් හොරට M$ පාවිච්චි කරනවා.
එහෙනං.... Ciao!

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Friday, August 14, 2009

ශාකුන්තල.com සමඟ ශාකුන්තල නැවතත්!

ඔන්න ඉතිං විභාග කාරිය එහෙම ඉවර වෙලා මම ආයෙමත් ආවා බ්ලොග් එක පැත්තේ... අදත් සිරිත් පරිදිම මොකක් හරි ප්‍රයෝජනවත් දෙයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මගේ ආගිය කතා ගොන්න ඉවර කරන්න ඕනේ.

පහු ගිය දවස් වල අපට තිබුණා විභාගයක් කියලා එකක්. Geeks are not parrots කිය කියා හිටියට මොකද මාත් හීන් සීරුවේ ගිරා මෝඩ් එකට සෙට් වෙලා පහු ගිය කාලෙ කස්ටියත් එක්ක සෙට් වලා පාඩම් කළා. විභාගෙ ඉවර වෙච්ච දවසේ හවස කැම්පස් එකේ අපේ අයියලා කස්ටියක් එක්ක ක්‍රිකට් ගහලා මං වාර්තාවකුත් තිබ්බා. මොකක්ද වාර්තාව? Cricket sucks කිය කියා හිටපු ශාකුන්තල ක්‍රිකට් ගහපු එකද? ඒකත් එකක් තමා :D , ඇත්තම වාර්තාව තමයි එක් දින තරඟයකදී වාර්තාගත වැඩිම 'බෝක්කු' ගණනකට හිමිකම් කියන්න ලැබීම. :D :D :D
ක්‍රිකට් ගහලා කාරිය ඉවර වෙලා බවනෙන් හොඳට කාලා අපි සෙට් වුණේ බම්බා යන්න. බම්බා යනව කිව්වෙ බම්බලපිටියෙ ටිකක් ඇවිදින්න. බම්බා ගිහින් ‍ආයෙමත් හොඳ‍ට කාලා බීලා (බිව්වේ සිසිල් බීම සහ පානීය ජලය පමණි :P ) හතරවටේ ඇවිද්දා. පැය හතරක් විතර බේගල් ඇද බාන ගමන් ඇවිදලා ඇවිදලා අන්තිමේ බෝඩිමට යද්දි වෙලාව රෑ දහයයි!
හැමදාම මොනිටරේ ඇතුලේ ඔළුගෙඩිය ඔබාගෙන ඉන්න මට නම් කොහෙ හරි ඇවිදින්න සෙල්ලම් කරන්න චාන්ස් එකක් එනවා කියන්නෙ ලොකු ‍දෙයක්.

---

ආගිය කතා වලින් වැදගත් ම එක එන්නේ දැන්. මගේ පරිගණක අධ්‍යාපනයේදී මට නිතර අත හිත දීපු මිත්‍රයෙක් ඉන්නවා. ඔහු නමින් සමීර ‍කොළඹගේ. අපේ ඉස්කෝලේ පරිගණක වැඩ නිසාම ප්‍රසිද්ධ වුණු අයියා කෙනෙක්. IT පොරක්. මගේ පියාණන්ගෙ ශිෂ්‍යයෙක් :D මගේ මුල්ම පරිගණකය ගනිද්දි තාක්ෂණික උපකාර ලැබුණෙ ඔහුගෙන්. ඒ වගේම මගේ පළමු පරිගණකය මා ලවාම assemble කරවූයේ ඔහු. එහෙම නොවුණා නම් මම තාමත් පරිගණකයක කේබල් ටික හරි තැන් වලට අමුණාගන්න හැටි වත් නොදන්න කෙනෙක් වෙන්න තිබුණා.
කලකට ඉහතදී ඔහු හදිසියේම විදේශගත වුණ බව ආරංචි වුණා. ඉන් පස්සෙ connection lost! මෙන්න ළඟදි දවසක මට Facebook එක හරහා අහම්බෙන් ආපහු දකින්න ලැබෙනවා... :-O මගේ පැරණි මිත්‍රයා!! මාක් සකර්බර්ග් කොලුවට හිතින් පොඩි පුණ්‍යානුමෝදනාවක් කළා ඒ වෙලාවෙම. :D
ඉතින් ආගිය තොරතුරු කතා බහ කරගන්න අතරෙදි මගේ බ්ලොග් එකත් පෙන්නුවා. එච්චරයි නොවැ සන්තකේටම තියෙන්නේ පෙන්නන්න .

"මල්ලී, ඩොමේන් එකක් මං free දෙන්නම්."

දන්න කාලෙ ඉඳලම මට ගොඩක් උදව් කළ සමීර අයියාගෙන් තව උදව්වක්. ඔන්න ඔහොමයි shaakunthala.blogspot.com කියන තැන තිබුණු මගේ සටහන් පොත blog.shaakunthala.com තියන තැනට ආවේ. ඔන්න ඊයෙ වෙබ් ඉඩත් නොමිලේම හම්බවුණා. ඉතින් අලුත් ඩොමේන් එක පාවිච්චි කරන ගමන් ලියන පළවෙනි සටහනන් සමීර අයියට‍ ස්තුති නොකළොත් ඒක ‍ලොකු අඩුවක්. :)

දැන් මේක දැක්කාම තමන්ගෙම ඩොමේන් එකක් නැතිව බ්ලොග් ලියන අයට පොඩි දුකකුත් හිතේ ඇති වෙන්න ඉඩ තියෙනව. දුක් වෙන්න එපා. සමාජයට වැඩදායක, හොඳ ලිපි ලියැවෙන තාක් කල් බ්ලොග් එක බැබළෙයි. බ්ලොග් වලදි ඩොමේන් එක කියන‍ දේට මහා ලොකු වැදගත් කමක් නෑ. බ්ලොග් එකේ අන්තර්ගතයෙ තිබිය යුතු ගුණාත්මක බව තමයි වැදගත් වෙන්නෙ.

---

විභාගෙ ඉවර වෙලත් ටික කලක් නිහඩව හිටියෙ මගේ ප්‍රියාවිය ඔත්පල වීම නිසයි. ඒ මදිවට හාවා මාක් OS එකත් පිස්සු නටන්න ගත්තා. එන්න එන්නම මන්දගාමී වුණා. මම පොඩි පණ්ඩිත වැඩක් කරන්නත් ගිහින් මැසිම නන්නත්තාර කරගත්තා. දැන් ආපහු පරණ එළුවා මාක් OS එක දාලා New Wave තීම් එකත් දාලා යංතං හාවා ලුක් එකම එන්න හදා ගත්තා. ඒ වගේ වැඩ වලට ටිකක් කල් ගත වුණු නිසා තමයි බ්ලොග් එක පැත්තෙ එන්න බැරි වුණේ.

ඔන්න ඔහොමයි ආගිය කතා වග විස්තර. දැන් කියන්න යන්නෙ වැදගත් කාරණාවක් ගැන.



මගේ ආගිය කතා ගොන්නෙන් අන්තිම එක... මම Ubuntu අප්සැට් කරගත්තනේ වැඩ දාන්න ගිහින්. ඉතිං මම හාඩ් ඩිස්ක් එකේ Ubuntu තිබුණු partition එක ආපහු format කරලා Ubuntu ස්ථාපනය කළා. මගේ සිංදු, චිත්‍රපට, ශ්‍රව්‍ය-දෘශ්‍ය පරිගණක පාඩම් (video tutorials), අනංමනං එකතුවක් තිබුණා ගිගාබයිට් 80ක විතර. දැන් හාඩ් ඩිස්ක් එක format කරන්න කලින් මේ ටික backup කරගන්න ඕනේ. නැත්තං වැඩේ දෙල් වෙනවා. :P

ඔන්න ඔය වෙලාවට තමයි /home සඳහා වෙන් වූ වෙනම partition එකක අගේ දැනෙන්නෙ. ඇත්තටම මම හාඩ් ඩිස්ක් එක බෙදල තිබුණෙ එහෙම තමයි. /home වෙනුවෙන් 90 GB වෙන් කරල තිබුණෙ. ඒ නිසා / partition එක format කරල ආපහු Ubuntu ස්ථාපනය කළා කියල කිසි ම අවුලක් නෑ. ඉතින් backup ගැන කරදර නොවී මම එහෙම කළා. මගේ අත්‍යාවශ්‍ය ගොනු, ඩෙස්ක්ටොප් එක, විජට්ටු, භාවිත යෙදුම් වල සැකසුම් හැම දෙයක්ම තිබුණු විධියටම තිබුණු තැන් වල වැඩ.

කොහොමද /home වෙනම partition එකකට ගන්නෙ? ලිනක්ස් ස්ථාපනය කරද්දිම කරනවනම් වැඩේ හරි ලේසියි. දෘඩ තැටිය partition කරන අවස්ථාවෙදි Guided Partition විකල්පය තෝරන්නෙ නැතුව Manual විකල්පය තෝරාගන්න. මෙන්න මේ තිරරූප සටහනේ පෙන්නල තියෙනව වගේ.


දැන් / සඳහා හදපු partition එක එහෙමම තියෙද්දි තවත් ext-3 partition එකක් (10 GB හෝ ඊට වඩා වැඩි ඉඩක් සහිතව) හදල ඒකෙ Mount Point එක /home ලෙස ලබා දෙන්න. දැන් සාමාන්‍ය පරිදි ලිනක්ස් ස්ථාපනයෙ ඉතිරි පියවර ටික කරන්න. හරිම සරලයි නේද?

දැනට Ubuntu ස්ථාපනය කරල තියෙන්නෙත් /home ඩිරෙක්ටරිය තියෙන්නෙත් එකම partition එකේ නම්, /home අළුත් තැනකට ගෙනියන්න ආසයි ආසයි වගෙ නම්... දැන් මොකද කරන්නේ? තියෙන /home එක backup කරල හාඩ් ඩිස්ක් එක අළුතින් format කරනවද? කළබළ වෙන්න එපා එච්චර මහන්සි වෙන්න ඕන නෑ... ඕවටත් බෙහෙත් තියෙනව. :D සරල ඉංගිරිස් වලින් තියෙන මෙන්න මේ ලිපිය බලන්න. එච්චර අමාරු කාරියක් නෙමෙයි.

---

තව පොඩි දෙයක් තියෙනව කියන්න VirtualBox සහ USB ගැන. මම අන්තිමට ලිව්ව ලිපියෙ තිබුණනේ ලිනක්ස් ධාරකයෙක් මත තියෙන VirtualBox ස්ථාපිතයක USB වැඩ නොකිරීමේ අවුල ලිහා ගන්න විධිය. හැබැයි පොඩි පොඩි අවුල් තියෙනවා වගෙ. එකක් තමයි ඒ විධියට VirtualBox හරහා වින්ඩෝස් වලට pen drive එකක් සම්බන්ධ කරලා ඒකට ගොනු පිටපත් කරන්න උත්සාහ කළාම වින්ඩෝස් ඇණහිටීම (blue screen of death). මම දන්නෙ නෑ මේ අවුල මට විතරක් ආපු එකක් ද කියලා.

කොහොම වුණත් pen drive වලට විකල්ප විසඳුමක් තියෙනවා. ඒ තමයි pen drive එක ලිනක්ස් වලින් mount කරලා ඒක virtual machine එකත් එක්ක බෙදා හදා ගැනීම (share). Share කරන ක්‍රමයත් මම කලින් දවසක ලිව්වා. ඒක මෙතනින් බලන්න.

ඉතිරි ටික කෙරෙන්න ඕන මෙහෙමයි. මුලින්ම අපි USB mount කරන්න වෙනම directory එකක් හදා ගනිමු.

mkdir ~/usbmount

දැන් මම share කිරීම ගැන ලිව්ව ලිපියෙ තියෙන විධියට ඒක වින්ඩෝස් එක්ක බෙදා හදා ගන්න.
අවසාන පියවර, pen drive එක මැසිමට සම්බන්ධ කරලා මෙන්න මේ විධාන දෙන්න.

su
umount /dev/sdb1
mount -t fat32 /dev/sdb1 ~/usbmount


දැන් virtual machine එක ඇතුලේ තියෙන වින්ඩෝස් ක්‍රියා කරවලා shared folder (usbmount) එක බලන්න. Pen drive එකේ තිබුණු දේවල් ඔක්කොම පේන්න තියෙනවා නේද එකක් නෑර? :D

---

ඔච්චරයි දැනට ලියන්න දේවල් හම්බවුණේ... ප්‍රියාවිය නොහොත් මගේ ලැප්ටොප් එක යථා තත්වයට පත් වුණ ගමන් ආයෙම ලියන්නම්. ;)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴