Sunday, November 18, 2012

අපේ සැරිසර | කුරුණෑගල - යාපහුව - අවුකන - දඹුල්ල - මාතලේ

ශාකුන්තලගෙ සටහන් පොතේ බ්ලොග් සටහනක් මේ ලියැවෙන්නෙ 2011 අවුරුද්දෙ මාර්තු තුන් වෙනිද testdisk ගැන ලිව්ව සටහනෙන් පසුවයි. එදා ඉඳලා අවුරුද්දකුත් මාස අටකටත් පස්සෙ තමා මේ සටහන ලියවෙන්නෙ. ඒ කාලය ඇතුළත බොහොමයක් දේවල් වෙනස් වෙලා වගේ... බ්ලොග් ලියවනෙ මාතෘකා වෙනස්, සිංහලෙන් බ්ලොග් ලියන්නත් අළුතෙන් ගොඩක් අය එකතු වෙලා, ඒ විතරක් නෙමෙයි Google Blogger සේවාවත් සෑහෙන දියුණු වෙලා. මාත් එක්ක ඒ දවස් වලම බ්ලොග් ලියන්න පටන් ගෙන ඒත් පසුකාලීනව මම වගේ ම බ්ලොග් ලිවීම නතර කළ කීප දෙනෙක් ආපහු බ්ලොග් ලියන්න පටන්ගෙන තියෙනවා දැක්කම මටත් අනිත් වැඩ පොඩ්ඩක් පැත්තක තියලා මොනවහරි මේකෙ කොටල යන්නම හිතුණා. සිංහලෙන් බ්ලොග් ලියන - කියවන අයට මාව මතකද දන්නෙත් නෑ. :)

අවුරුද්දකුත් මාස අටක කාලයෙ මරු මරු දේවල් ගොඩක් සිද්ධ වුණා. සිරි ලංකාවෙ සුන්දර වෙල් යායකට යාබදව තියෙන ප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණ සමාගමක රැකියාවක් ලැබුණා. ජපන් වාසගම තියෙන ඉන්දියන් යකඩ අස්සයෙක් ගත්තා. අසනීප වෙලා ශල්‍යකර්මයකුත් කරන්න වුණා. කාලය ගත වෙලා පොඩි අස්වැසිල්ලක් ලැබුණාම ලංකාව වටේ පොඩි සවාරියක් යන්නත් අවස්ථාවක් ලැබුණා. අන්න ඒ සවාරිය ගැනයි මේ සටහන.

එක වතාවක් නෑදෑ පිරිවරත් එක්ක ගිය සවාරිය ගැන බ්ලොග් සටහන සමහර අයට මතක ඇති. යකඩ අස්සයාගෙ පිටේ නැගලා ඒ වගේම රට වටේ රවුමක් යන්න සෑහෙන කලක් තිස්සේ ලොකු ආසාවකින් හිටියේ. බයික් එකේ යන ගමන රෝද හතරේ වාහනයකින් යන ගමනට වඩා ආතල් ගමනක්. අනතුරුදායක බව නම් ටිකක් වැඩි තමයි. ඒත් මේ වයසෙදි නොගන්න ආතල් ආයෙ කවද ගන්නද? අපේ ලොකු මලයා (සුලා) නිතර මේ වගේ ගමන් බිමන් යන නිසා එයත් එක්කම මේ ගමන සෙට් කරගන්න මට ඕනෙ වුණා. අන්තිමේ ඔක්තෝබර් 20, 21 සති අන්තයෙ ගමන යන්න දින නියම කරගත්තා.

මේ තමයි අපේ ගමන් මාර්ගය - ආසන්න වශයෙන් 730 km
Image courtesy: maps.google.com
අපි ඔක්කොම හතරදෙනයි. මම, මල්ලිලා දෙන්නා, සහ ලොකු මල්ලිගේ යාළුවෙක්. බයික් දෙකයි. මගේ Hero Honda Hunk එකයි ලොකු මලයගේ Hero Honda Glamour FI එකයි. ගමන දවස් දෙකයි. මුලින් තීරණය වුණේ ගමන දඹුල්ලට යන්නයි. ලොකු මලයා ඉන්නේ අම්පාරේ. අනිත් මලයා රත්නපුරේ. මම ගමන පටන් ගත්තෙ අම්බලන්ගොඩින්. සුලා ගමන පටන් ගත්තේ අම්පාරෙන්. අපි හතරදෙනා සෙට් වුණේ රත්නපුරේ කහවත්ත නගරයට. කහවත්තේ ඉඳලා පටන් ගත්ත අපි කෙළින්ම පිටත් වුණේ දඹුල්ලට යන්න හිතාගෙනයි. නමුත් අනපේක්ෂිත විධියට අපි ප්‍රමාද වෙලා ගමන පටන් ගත් නිසා රෑ වෙන්න කලින් අපට ගමනාන්තයට ළඟා වෙන්න බැරි වුණා. මට මතක විධියට Google Maps වලින් පාර හොයලා බැලුවම කිලෝමීටර දෙසිය ගණනක ගමනක්. රෑ වෙන්න කලින් ගමනාන්තයට යන්න හැකියාවක් නොතිබුණු නිසා අපට ගමන අතරමඟ පොල්ගහවෙල නවාතැන් ගන්න සිද්ධ වුණා.

මේ අපේ කණ්ඩායම (කොණ්ඩයා මම නෙමෙයි)
Image courtesy: sulakkhana.blogspot.com
ඊළඟ දවසෙ උදේ අපේ ගමනෙ සැලසුම ටිකක් වෙනස් කළා. උදේ පාන්දරම අපි පොල්ගහවෙලින් පිටත් වුණේ කුරුණෑගලට. කුරුණෑගල සුප්‍රසිද්ධ ‘ඇතුගල’ මත පිහිටලා තියෙන මේ විහාරයට යන්න තිබුණේ zig zag ආකාරයේ පාරක්. ඒ ගොඩක් ඉහළට නඟින්න තියෙන නිසා. මේ පාර දිගේ ඉහළටම බයික් වලින් යන්න පුළුවන්. හැබැයි නෝ පාකිං. බයික් නං ඉතිං පාර අයිනට වෙන්න නතර කරල තියන්න පුළුවන්.


ආගමික සිද්ධස්ථානයක් හැරෙන්නට මෙතැන හොඳ නැරඹුම් ස්ථානයක්. මේ ගල මුදුනේ සිට කුරුණෑගල නගරයේ විශාල පරාසයක් පැහැදිළිව නරඹන්න පුළුවන්.

අපේ ඊළඟ ගමනාන්තය වුණේ යාපහුව. කුරුණෑගල ඉඳලා යාපහුවට යන්න තියෙන පාර නම් මරේ මරු. අධිවේගී මාර්ගයක් වගේ ගොඩක් ඈතට තියෙන කෙළින් පාර. දකිනකොට නම් ආසාවේ බෑ :D . නමුත් අපි කණ්ඩායමක් විධියට ආපු නිසා ගමන් වේගය පැයට කිලෝමීටර හැටකට සීමා කරන්න සිද්ධ වුණා. :(




විජය - කුවේණිගෙන් පටන් ගෙන ලියැවුණු ඉතිහාසයටත් ඔබ්බෙන් තවත් ඉතිහාසයක් තිබුණු බවට සාක්ෂි දරණ පුරාවිද්‍යාත්මකව වටිනා නටඹුන් තියෙන තැනක් යාපහුව. ඒ ගැන සුලා ලිව්ව සටහනේ විස්තර කරල තියෙනවා. නටඹුන් නරඹා අපි ඊළඟට කළේ බලකොටුව මැද තියෙන ගල මුදුනටම නැගපු එක. ඉහළට යන්න පාරක් නම් නැහැ. පරිස්සමෙන් අඩි තිය තියා, රිලවුන්ගෙනුත් පරිස්සම් වෙවී පඳුරු අස්සෙන් උඩට යන්න ඕනා. මට මතක හැටියට අන්තිමට මෙහෙම කඳු නැගිල්ලක් නැග්ගේ කැම්පස් එකේ එක වසරෙ ඉන්න කාලේ හන්තානේ කඳු නගින්න ගිය වෙලාවේ. කොහොම නමුත් ගල උඩට නැග්ග හැටියේ වටපිට පිංතූර ටිකක් ගන්නත්, පොඩි හාන්සියක් දාලා ඇඩ් එකක් වගේ පොටෝ කෑල්ලක් ගන්නත් අමතක කළේ නෑ. :)


යාපහුවෙන් බහිනකොට අපට හොදටම මහන්සියි. අපේ ඊළඟ නැවතුම වුණේ අවුකන පිළිමය. සුද්දා වැද්දා කාලේ ධාතුසේන රජතුමා විසින් නිම කරවන ලද අවුකන පිළිමයත්, ඊට නුදුරින් පිහිටා තියෙන කලාවැවත් අපේ පැරැන්නන්ගේ තාක්ෂණයේ අපූර්වත්වය මනා ලෙස පෙන්වා දෙන නිමැවුම් දෙකක්. අතිශයෝක්තියක් නෙමෙයි,... අවුකන පිළිමය දිහා සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න ආසා හිතෙන තරමටම ඒක ඉතාම සියුම් නිර්මාණයක්.

අවුකන පිළිමය නරඹා එතැනින් පිටත් වුණු අපි, කලාවැවේ බැම්ම දිගේ සෑහෙන දුරක් ඇවිත් ඊළඟට හැරුණේ දඹුල්ල පැත්තට. මීට කලින් එක වතාවක් රන්ගිරි දඹුළු විහාරය නරඹන්න ඇවිත් තිබුණු නිසා රන්ගිරි දඹුළු විහාරයට මේ වතාවෙ ආපු ගමනෙ මට වැඩි විශේෂත්වයක් තිබුණෙ නෑ. රන්ගිරි දඹුළු විහාරයෙන් අපි ඊළඟට පිටත් වුණේ මාතලේ නාලන්දා ගෙඩිගේ නරඹන්න. වැඩි ප්‍රසිද්ධියක් ලද ස්ථානයක් නොවුණත්, ලංකාවේ පැරණි ආගමික සිද්ධස්ථාන වල තවත් එක් ආකාරයක් විධියට ගෙඩිගේ විහාර හඳුන්වන්න පුළුවන් ලු. අපේ සුලාගේ විනෝදාංශය මේවා ගැන විස්තර හොයන එක. සුලාගෙ බ්ලොග් සටහනේ මේ ගැන වැඩි විස්තර තියෙනවා.

නාලන්දා ගෙඩිගේ නරඹා අපි ඊළඟට ගියේ මාතලේ අළුවිහාරය නරඹන්න. අපේ අවාසනාවට වැස්ස පටන් ගත්තේ මෙතැනින්. වැස්සේ වුණත් අපි අපේ ගමන නතර කළේ නැහැ. කිලෝමීටර කිහිපයක් වැස්ස නොතකා ගමන් කළ අපි ඊළඟට නතර වුණේ අළුවිහාරේ. අයහපත් කාලගුණය නිසා අපට විහාර භූමියට ඇතුළු වෙන්න සිද්ධ වුණේ කළුපාට වැහිකබා ඇඳගෙනමයි.

මාතලේ අළුවිහාරේ තමයි අපේ අවසාන නැරඹුම් ස්ථානය. අළුවිහාරේ සිට මාතලේ නගරයටත්, ඉන් මහනුවරටත් ආපු අපි ඉන් එහාට ආවේ වෙන වෙනම. මහනුවර නගරයට අපි ළඟා වෙනකොට වෙලාව සවස 5 පමණ වී තිබුණු නිසා මෙතැන් සිට කාලගුණය තරමක අභියෝගයක් වුණා. සුලාත්, එයාගෙ මිත්‍රයත් මහියංගනය හරහා අම්පාරට. මමත් බාල මලයත් ආවේ කොළඹ පැත්තට. ඇත්තම කියනවනම් මලයා රත්නපුරට, මම අම්බලන්ගොඩට.

රත්නපුර පැත්තටත් යන්න ඕනෙ නිසා නුවර - කොළඹ පාරේ ටිකක් දුර ඇවිත් ගලිගමුවෙන් රුවන්වැල්ල පැත්තට හැරෙව්වේ අවිස්සාවේල්ලට යන්න තියෙන කෙටිම පාර ඒක කියල හිතාගෙන. මේ ගමනේ මම අත්විඳපු දුෂ්කරම කොටස ගලිගමුවේ ඉඳල අවිස්සාවේල්ලට වැස්සේ බයික් එකේ ආපු ගමන. රෑ වෙලා නිසා පාරත් බොහොම දුෂ්කරයි. පාරේ මැද අලින්ට ස්විමිං පූල්. කිලෝමීටර විසිගණනක් ඇවිත් අන්තිමේ අවිස්සාවේල්ලට ආවට පස්සෙ මලයව රත්නපුර පැත්තට යන බස් එකක යැව්වා.

මම අවිස්සාවේල්ලේ ඉඳලා කොට්ටාව, කැස්බෑව, බණ්ඩාරගම, වස්කඩුව හරහා තනියම ගෙදර ආවා. ඒකත් අපූරු ගමනක්. පළවෙනි වතාවට මට බයික් එකේ නින්ද යන එක අත්දකින්න ලැබුණා. :) ඒක හරිම අවදානම්. මොකක් හරි හීනයක් බාගෙට පේනවා, එහෙමම නින්ද යනවා ලාවට, ඊළගට lane එක මැදට ඇවිත් අනිත් lane එකට පනිනවා, අන්තිමේ ඇහැරවෙන්නෙ ඉස්සරහින් එන වාහනේ සැර හෙඩ්ලයිට් එකට. ඔය චක්කරේ වැඩ කර කර මහ රෑ කිලෝමීටර එකසිය ගණනක දුරක් ආවෙ කොහොමද කියල මතක් වෙද්දි දැන් නම් ඇඟේ මයිල් ටික ඉත්තෑ කූරු වගේ වෙනවා.

 
මේ අතරමග පොඩි වීඩියෝ කෑල්ලක්. :)

ගෙදර ඇවිත් දවස් දෙකකට සෑහෙන්න නිදා ගත්තා. ඇඟේ අමාරුවටත් වඩා සීතලේ පැය හතක ගමන නිසා පොඩ්ඩක් අසනීපත් වුණා. කොහොම නමුත් මෝටර්සයිකල් වලින් යන විනෝද ගමන් නම් අපූරුයි. වැස්සෙන් පොඩ්ඩක් කරදර වුණාට බයික් එකේ ගමන හරිම සැහැල්ලු ගමනක්. ඕනෙ අස්සක මුල්ලක යන්න පුළුවන් නිසාත්, වාහන අස්සෙන් රිංගලා යන්න පුළුවන්කම නිසාත් අපට දවස් දෙකක් ඇතුළත ගොඩක් දේ බලාගන්න පුළුවන් වුණා. තවත් බයික් දෙකක් විතර අපට සෙට් වුණා නං පංකාදු පහයි. :)



මේ බ්ලොග් සටහන ලිව්වෙ කාලෙකට පස්සෙ ඇඟිලි තුඩු වල හිරි ඇරගන්න. මේ ගමනේ ඓතිහාසිකව වැදගත් ස්ථාන ගැන හොඳ විස්තරයක් සුලාගෙ බ්ලොග් අඩවියෙ තියෙනවා. 2012 අවුරුද්ද ඉවර වෙන්න කලින් තවත් මොන මොනවහරි බ්ලොග් එකේ ලියන්න මට පුළුවන් වෙයි කියල මම හිතනවා. (දෙසැම්බර් මාසෙ ලෝක විනාශය සිද්ධ නොවුණොත් :D )

අදට ආයුබෝවන්!