Sunday, January 19, 2014

CV එක පිළිවෙලකට හදමු

Image courtesy: mathieuloiseau.deviantart.com
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් අවුරුදු දෙකහමාරක විතර අත්දැකීම් අනුසාරයෙන් කාටත් වැදගත් වෙන දෙයක් ලියන්න හිතුණා. උපාධියක් හදාරණ කෙනෙකුගෙ ඊළඟ අරමුණ රැකියාවක් සොයා ගන්න එක. තොරතුරු තාක්ෂණ උපාධි කරන අයගෙන් නම් වැඩිම පිරිසක් (මාත් ඇතුළුව) තෝරාගන්නෙ තොරතුරු තාක්ෂණ කර්මාන්තය - පුරුදු විදිහට කිව්වොත් IT industry එක.

මේ අයට ඊළඟට මුහුණදෙන්න වෙන අභියෝගය තමයි ‘හොඳ‘ රැකියාවක් සොයාගන්න එක. ඔය කිව්ව ‘හොඳ‘ එක එක පුද්ගලයා රැකියාවෙන් බලාපොරොත්තු වෙන දේවල් අනුව වෙනස් වෙනවා. කොහොම වුණත්, කෙනෙකුට තමන් බලාපොරොත්තු වෙන රැකියාවම ලබාගන්න නම් අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව තව තව දේවල් කීපයක් බලපානවා. මනෝවිද්‍යාවේ කියන first impression කතන්දරයෙ හැටියට, රැකියාවකට අයදුම් කරන කෙනෙක් ගැන, යම් ආයතනයක් යහපත් හැඟීමක් ඇති කරගන්න තියෙන ප්‍රථම සාධකය මොකක්ද? CV එක. කෙනෙක් රැකියාවක් බලාපොරොත්තුවෙන් යම් ආයතනයකට මුලින්ම යවන්නෙ CV එකක්. ඒක කියවලා බලන කෙනා අයදුම්කරු ගැන හැකිතාක් හොඳ චිත්තරූපයක් මවාගන්න ආකාරයට CV එක හදල තිබුණොත් සම්මුඛ පරීක්ෂණයකට කතා කරයි. නැත්තං අවුට්.

CV එක පිළිවෙලකට වගේම නිරවුල්ව තියෙනවා නං ඒක කියවන කවුරු වුණත් ආසයි. නමුත් අවාසනාවකට මෙතෙක් මගේ අතට ලැබිලා තියෙන CV වලින් වැඩි හරියක තත්වය ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. මම මේ කියන්නෙ internship සහ උපාධියෙන් පස්සෙ පළවෙනි රැකියාවට අයදුම් කරන අය ගැන. ඒ නිසා මම හිතුවා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට එන්න හිතාගෙන ඉන්න අයට උදව්වක් විදිහට CV එක, නැත්නම් වෘත්තීයමය සුදුසුකම් පිළිබඳ සාරාංශ සටහන හදනකොට සැළකිලිමත් විය යුතු දේවල් කීපයක් ගැන ලියන්න.

තොරතුරු ඉදිරිපත් කරන පිළිවෙල
අපි පොඩි කාලේ ඉස්කෝලෙ උගන්නනවා "Bio Data Form" කියල එකක් හදන හැටි. සමහරු (සුළුතරයක්) උපාධියක් අවසාන කරන්න කිට්ටුව තමන්ගෙ CV එක හදන්නත් මේ බයෝ ඩේටා එකේ ආකෘතියම පාවිච්චි කරනවා. ඒක කිසිසේත්ම නොකළ යුතු වැඩක්. එයින් පෙනෙන්නෙ අයදුම්කරුගෙ කම්මැලිකම සහ නිර්මාණශීලීත්වයක් නැතිකම. ජීව දත්ත ආකෘතියක අවධානය යොමු කරන්නෙ පුද්ගලික තොරතුරු පිළිබඳව. නමුත් CV එකක වැඩි අවධානය යොමු කරන්නෙ වෘත්තීයමය සුදුසුකම් ගැන. ඒ නිසා මම නම් හිතන්නේ පුළුවන් තරම් වෘත්තීයමය සුදුසුකම් වලට මුල්තැන දීලා CV එක හදන එක කළ යුතුයි.

CV එකක් හදන්න සම්මත ආකෘතියක් කියලා දෙයක් මම දන්න තරමින් නැහැ. තමන්ගෙ නිර්මාණශීලීත්වය අනුව ආකෘතිය හදාගන්න පුළුවන්. ආකෘතිය මොකක් වුණත්, වෘත්තීයමය සුදුසුකම් වලට වැඩි අවධානයක් යොමු කරන නිසා මම හිතනවා මෙන්න මේ පිළිවෙලට තොරතුරු ඉදිරිපත් කරන එක හොඳයි කියල. නමුත් හොඳයි කියල හිතෙනවනම් මේ පිළිවෙල පොඩ්ඩක් එහාට මෙහාට වෙනස් කරගන්න එකේ කිසිම වරදක් නැහැ. හැබැයි තොරතුරු ඉදිරිපත් කිරීමේදී කාලානුක්‍රමික පිළිවෙලකට (chronologically) ඉදිරිපත් කරන්න පුළුවන් නම් තවත් පිළිවෙලයි.
  1. නම, දුරකථන අංකය සහ ලිපිනය ශීර්ෂපාඨය ලෙස
  2. Objective - වෘත්තීයමය අරමුණ - පේළි 3 - 4/ වාක්‍ය දෙකක් පමණ කෙටි ඡේදයක්. උපාධියකුත් සම්පූර්ණ කරලා විධායක මට්ටමේ රැකියාවකට යනකොට වෘත්තීය මට්ටමේ අරමුණක් තිබිය යුතුයි.
  3. Professional Experience/ Projects - රැකියා අත්දැකීම් සහ ව්‍යාපෘති පිළිබඳ විස්තර.
  4. Academic Qualifications - අධ්‍යාපන සුදුසුකම් - (වඩා වැදගත් සුදුසුකම් ඉහළින් සඳහන් කරන්න. සාමාන්‍ය පෙළ ගැන සඳහන් කරන්නවත් එපා!)
  5. Professional Certifications - වෘත්තීයවේදී සහතිකපත් (උදා: OCJP, Oracle DB, CEH, etc.)
  6. Skills - නිපුණතා (උදා: Java programming, PHP, xHTML, Linux, etc.)
  7. Extra-curricular activities/ Achievements - බාහිර කටයුතු සඳහා සහභාගීත්වය/ ජයග්‍රහණ
  8. Personal Information - පෞද්ගලික තොරතුරු - රැකියාවට බඳවාගැනීමේදී වැදගත් විය හැකි අත්‍යාවශ්‍යම පෞද්ගලික තොරතුරු සුළු ප්‍රමාණයක්
  9. Non-related Referees/ තීරකයින්- සාමාන්‍ය සම්මතය තීරකයින් දෙදෙනෙකුගෙ විස්තර සඳහන් කිරීම. දෙන්නම එකම ආයතනයේ නොවීම වැදගත්.
මේ මට මතක් වුණු හැටියටයි ලිව්වේ. මම ලිව්ව headings ටික හැර වෙන විධියකට වර්ගීකරණය කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් මේවා අස්සට පරිස්සමින් රිංගවන එකේ කිසිම වරදක් නැහැ. උපාධිය හදාරණ අතරතුර පර්යේෂණ පත්‍රිකාවක් පළ කරල තියෙනවනම් ඒක ඉහත 3ත් 4ත් අතරට රිංගවන්න පුළුවන් Research Experience කියලා. ඒවා හොඳටම හයිලයිට් වෙනවා. :)

Internship එකකට හෝ internship එකක් නොකර කෙළින්ම පළමු රැකියාවටම අයදුම් කරනවා නම් බොහෝවිට Professional Experience කියල දාන්න එකක් නැති වෙන්න පුළුවන්. ඒ ගැන හිතන්න එපා. ඒක නොදා ඉන්න පුළුවන්. හැබැයි ඒ අඩුපාඩුව මැකෙන්නත් එක්ක කැම්පස් එකේ කරපු projects, research ගැන ටිකක් ලොකු කරල ලියන්න පුළුවන්. :)

දැන් මම මෙහෙම කියල තියෙන පලියට මේ විදියටම CV හදන්න ගියොත් ඒකත් හරියන වැඩක් නෙමෙයි. තමන් අයදුම් කරන්න බලාපොරොත්තු වෙන රැකියාවත්, ආයතනයත්, තමන්ගෙ සුදුසුකමුත් ගැන පොඩ්ඩක් කල්පනා කරල බලල ගැළපෙන විධියට පිළිවෙල හදාගන්න.

සුදුසුකම්
සුදුසුකම් ගැනත් පොඩ්ඩක් සඳහන් කරන්නම්. ඕනම සේවායෝජකයෙක් (employer) කැමති වෘත්තීයමය අත්දැකීම් සහ අදාළ විෂයය පිළිබඳ හොඳ දැනුමක් (domain knowledge) තියෙන කෙනෙක්ව ගන්න. ඒ නිසා කැම්පස් එකේ ඉන්න කාලෙ (එක වසරෙ ඉඳලම) ‘උගන්නන‘ දේ තමයි සියල්ල කියල හිතන්නෙ නැතුව අතිරේක වශයෙන් තමන් කැමති විෂයය පථයක් ගැන තනියම වැඩි දුර ඉගෙනගන්න. මේ දැනුම Skills/ නිපුණතා යටතේ CV එකේ සඳහන් කරන්න පුළුවන්. මම නං එහෙම තනියම ඉගෙනගත්තෙ systems administration සහ technical documentation ගැන.

Internship එකක් කරල තියෙන එකත් වැදගත් වෙනවා. ඒකට ස්ථිර රැකියාවකට තරම්ම පිළිගැනීමක් නැතත්, internship එකක් කළා කියන්නෙ වෘත්තීයමය අත්දැකීම් ටිකක් තියෙනව කියන එක. Internship එකෙන් පස්සෙ පළමු රැකියාවට යන්න CV එක හදනකොට Professional Experience යටතට internship experience එක දාන්න පුළුවන්.

කැම්පස් එකේ ඉන්න කාලෙ project එකක් කරල තියෙන එකත් වැදගත් වෙනවා. Project කිව්වම එක එක අය එක එක මට්ටමින් ඒ ගැන හිතන්නේ. සමහර අය CV එකේ දානවා කැම්පස් එකේ එක වසරෙ ඉඳල හතර වසරටම කරපු ඔක්කොම කණ්ඩායම් පැවරුම් ටික. කණ්ඩායමක් විධියට පැවරුමක් කළොත් ඒකටත් 'project' කියනවා. මේක වැරදියි. සේවායෝජකයගෙ පැත්තෙන් ගත්තොත් කැම්පස් project එකක් සම්බන්ධ අත්දැකීම් විධියට බලාපොරොත්තු වෙන්නේ අනුග්‍රාහකයෙකුත් (client), නිසි අධීක්ෂණයකුත් (supervision) යටතේ විධිමත් ක්‍රියාපිළිවෙලක් ඇතුව කරපු project එකක්. බොහෝ විට අවසාන වසර ව්‍යාපෘතිය ගැන මේ යටතේ සඳහන් කරන්න පුළුවන්.

අච්චාරු CV
CV එක යැව්වට පස්සෙ ඊළඟට එන්නෙ සම්මුඛ පරීක්ෂණය. Projects යටතට, කරපු assignment ටික එක්ක ඇත්තම project එක ගැනත් CV එකේ දාල තිබුණොත් මොකද වෙන්නේ? ඔක්කොම අච්චාරුවක් වෙනවා. Assignment ගොඩක් අස්සෙ රිංගවල project එකේ වටිනකම නිකංම අවතක්සේරු වෙනව. ඒ නිසා අනවශ්‍ය දේවල් සඳහන් නොකරන එක ඇඟට ගුණයි.

CV ගොඩක මම දැකපු අනිත් අවුල තමයි නිපුණතා (Skills) යටතේ කැම්පස් එකේ එක එක විෂයයන් යටතේ පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගනිපු ක්‍රමලේඛණ භාෂා ඔක්කොම දාලා තියෙනවා. උදාහරණයක් විධියට, කැම්පස් එකේ එක වසරෙදි "Introduction to Programming" වගේ විෂයයක් යටතෙ ක්‍රමලේඛණ භාෂා තුනක් විතර ඉගෙනගත්තනං skills යටතෙ දානව VB.NET, Java, C/ C++ වගේ ඒ ඔක්කොම. ඊළඟ අවුරුදු වල ඉගෙනගත්ත ඒවත් එක්ක මේ ලිස්ට් එක තවත් දිග වෙනව VB.NET, Java, C/C++/C#, PHP, JavaScript, XML, Python,.... නමුත් වෘත්තීයමය අත්දැකීම් තියෙන කෙනෙකුට හොඳටම තේරෙනවා එසේ මෙසේ පොරකට හැර පළවෙනි රස්සාවට අයදුම් කරන කැම්පස් පොඩ්ඩෙකුට නං මේ ලිස්ට් එකම හොඳට ජීරණය වෙලා තියෙන සම්භාවිතාව හොඳටම අඩු බව. මෙහෙම CV එකක් මගේ අතට ආවොත් මට නං හිතෙන්නේ CV එකේ අයිතිකාරයා එකක්වත් හරියට දන්නෙ නෑ කියලා. සේවායෝජකයගෙ පැත්තෙන් සම්මුඛ පරීක්ෂණයකට කැඳවන්න CV තෝරන කෙනාටත් එහෙම හිතුණොත් අබ සරණයි. තමන් දන්න programming languages කීපයක්ම CV එකේ දාන්න අවශ්‍ය නම් උදාහරණයක් විධියට මෙන්න මේ ක්‍රමය ප්‍රවේසම් මම හිතන විධියට.

"A passionate C++ programmer. Also familiar with Visual Basic and Java."

මෙතනදි තමන් හරියටම දන්න එක මොකක්ද කියල පැහැදිලිව කියල තියෙනව වගේම, අනිත් programming languages දෙක ආශ්‍රිතව වැඩක් පැවරුවොත් වැඩේ ගොඩදාන්න බැරිකමක් නැති බවත් කියවෙනව.

තවත් අවුලක් තමයි සමහර අය CV එකේ දාන දේවල් ගැන හරියාකාරව දැනගෙන නෙමෙයි දාන්නෙ. උදාහරණයක් විධියට, එක වසරෙදි Fedora Linux environment එකක C ක්‍රමලේඛණය ඉගෙන ගත්තනම් ඒක CV එකේ skills යටතෙ දානවා C/C++, Linux, Fedora කියල. ඒක ලියල තියෙන හැටියෙන්ම එතකොට මැනගන්න පුළුවන් Linux ගැන දන්නෙ මොනවද කියල. මම CV කිහිපයක දැකලා මතක ඇති මේ විධියේ වැරදි කීපයක් සඳහන් කරන්නම්. (නොගැළපීම් පාට කරලා පෙන්නලා තියෙනවා)
  • PCs running Windows, MacOS, Linux and Unix - මෙයාට ඕනෙ වුණේ මෙහෙයුම් පද්ධති ගොඩක් භාවිත කරන්න දන්නවා කියන්න. නමුත් මෙතන ප්‍රායෝගිකත්වය පිළිබඳ තරමක ගැටළුවක් තියෙනවා.
  • Web development languages: HTML, CSS, and Dreamweaver - Dreamweaver කියන්නෙ ක්‍රමලේඛණ භාෂාවක්ද?
  • Programming languages: Java, PHP, .NET - .NET කියන්නෙ framework එකක් මිස භාෂාවක් නෙමෙයි.
  • MySQL Server, Oracle Server, MSSQL 2005/2008 - මෙතන තියෙන්නේ වචන යෙදීම පිළිබඳ පොඩි නොගැළපීමක්. Oracle RDBMS කිව්වනං ගැළපෙනවා.
මේ වගේ වැරදි වලින් පැහැදිළිවම පෙන්නුම් කරන්නෙ නොසැලකිලිමත් කම. මේ වගේ අඩුපාඩුත් ටිකක් හොයල බලල හදා ගත්තනං CV එක ලස්සන වෙනවා. :)

Defendability
CV එකේ මොන දේ කියල තිබුණත් වැඩක් නෑ සම්මුඛ පරීක්ෂණයකදි CV එකේ තියෙන දේවල් අළලා අහන ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරි නම්. CV එක සිය වතාවක් වුණත් කමක් නෑ කියවලා බලන්න එකකට එකක් පරස්පර විරෝධී දේවල්, ඒ වගේම අපැහැදිලි තැන් තියෙනවද කියල. ඒ වගේම, CV එකේ තියෙන හැම වචනයක් ගැනම සැළකිලිමත් වෙන්න. අහල ඇතිනේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා, කොමාවකට පුළුවන්ලු මිනිහෙක් මරන්න. ප්‍රශ්නයක් ඇහුවොත් අමාරුවේ නොවැටෙන විධියට CV එක හදාගන්න.

මම ඉහළිනුත් කියල තියෙන skills දිග ලැයිස්තු වලටත් මේක අදාළ වෙනව. ජංගම දුරකථන ආශ්‍රිත තාක්ෂණික දේවල් දන්නව කියල පෙන්නන්න CV එකේ කණාවට "Familiar with Android and iOS development" කියල තිබුණොත් මොන වගේ තාක්ෂණික ප්‍රශ්න අහයිද? "What is Android manifest XML?" කියල බැරි වෙලාවත් ඇහුවොත්, Android ගැන දන්නෙත් නැත්තං විළිලැජ්ජාවෙ පණ යනව නේද? ඒ නිසා හරියටම දන්න දේවල් ගැන විතරක් CV එකේ දාන්න.

විශේෂයෙන්ම වෘත්තීයමය අරමුණ (objective) ගැන කියවෙන ඡේදය ගැන සැළකිලිමත් වෙන්න. තියෙන කම්මැලිකමට Google එකෙන් පොඩි සර්ච් පාරක් දාලා හොයාගත්ත පේළි දෙකක් කොපි පේස්ට් කරන්නෙ නැතුව තමන්ම හිතලා තමන්ට defend කරගන්න පුළුවන් එකක් කෙටියෙන් ලියන්න. සම්මුඛ පරීක්ෂණයකදි CV එකේ තියෙන හැම දෙයක් ගැනම ප්‍රශ්න අහන්නෙ නෑ. නමුත් කොයි දේ ගැන ප්‍රශ්න අහයිද කියල කියන්නත් අපි දන්නෙ නෑ. ඒ නිසා හැම දේම සම්පූර්ණව, තිබුණාම අපි ප්‍රවේසම්.

ගුණදොස් විපරම - proof reading
අවසාන වශයෙන් කරන්න ඕනෙ දෙයක් තමයි යාළුවො දෙන්නෙකුට විතර CV එක දීලා අඩුපාඩු හොයාගන්න එක. ඒ වගේම යාළුවන්ගෙත් CV අරගෙන ඒ උදව්වම කරන එක. මම පෙන්නල දීපු අඩුපාඩු විතරක් නෙමෙයි; අක්ෂර වින්‍යාස දෝෂ, ව්‍යාකරණ දෝෂ වගේ ඒවත් නැත්තටම නැති කරගන්න. තමන්ගේ දර්ශන පථයට අහු නොවෙන ගොඩක් වැරදි වෙන කෙනෙකුට පේන්න පුළුවන්. ඒවා සම්මුඛ පරීක්ෂණය මෙහෙයවන අයට පේන්න කලින් යාළුවෙක් දකිනවා කියන්නෙ වැරදි හදාගන්න චාන්ස් එකක් තියෙනවා කියන එකයි.

මේ බ්ලොග් සටහන ලියන්න කලින් මෑතකදි මම යාළුවො කීපදෙනෙකුගෙම CV වල proof reading කළා උදව්වක් විධියට. ඉහළින් මම ලියල තියෙන අඩුපාඩු ඒ ආශ්‍රිතව හොයාගත්ත දේවල්. එයින් එක්කෙනෙකුට මෑතකදි කරපු සම්මුඛ සාකච්ඡාවකදි විශේෂිතවම කියල තිබුණලු CV එක පිළිවෙලයි කියල. (ඒක ඇහුවම දැණුනු සංතෝසේ!! :D )


කෙටියෙන් ලියනව කියල හිතාගෙන පටන් ගත්තට මේ ලිපියත් දැන් මාර දිගයි අන්තිමේ බැලුවම. මගේ ලියමනේ දිග කෙසේ වෙතත් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මොන දේ දැම්මත් CV එක සාරාංශගත (summarize) කරගන්න එකත් ඉතාම වැදගත්. ලංකාවෙ සාමාන්‍යෙයන් පිළිගත් ක්‍රමය තමයි CV එක A4 ප්‍රමාණයෙ පිටු 3ක් හෝ 4කට සීමා කිරීම.

CV හදන හැටි ගැන මම ලිව්ව මේ එක කරුණක්වත් සුභාෂිතය නෙමෙයි. නොඑකඟතා, අඩුපාඩු ඕනතරං තියෙන්න පුළුවන්. අන්න ඒවා ගැන හොඳ සාකච්ඡාවක් ඇති වෙයි කියන බලාපොරොත්තුව ඇතුව මම ලිපිය අවසාන කරනවා. ආයුබෝ වේවා! සුදුස්සාට සුදුසු රැකියාව ලැබේවා!! :D

25 comments:

  1. Thumbs up (y)

    godak watinna karanaa godaak meke liyala thiyannawa

    thawa CV eka fonts ganath sadahan keroth hodaie ,
    mokada samaharak eyya fonts use karanna hariyata
    eka eka font eka eka wediyaye CV eka ,




    chankx

    ReplyDelete
    Replies
    1. Thanks Chankx!

      Good point!
      Fonts ගැන කියන්න මට අමතක වුණා. ඇත්තටම මම ඒ ගැන වැඩිය අධ්‍යයනය කරලත් නැහැ. හැබැයි මනෝවිද්‍යාත්මක පැත්ත සලකල බැලුවොත් fonts වල ස්වභාවයත් ඇත්තටම අවධානය යොමු කළ යුතු දෙයක්.

      ස්තුතියි! :)

      Delete
  2. Niyamai ayya, welcome back to blogging

    ReplyDelete
  3. නියමයි...
    අපේ ෆොටෝ එකක් ඕනද ?

    ReplyDelete
    Replies
    1. Photo එකකුත් දැම්මාම තවත් හොඳයි. හැබැයි මරුමුස් ඒවා දාන්න එපා. :)

      Delete
  4. contact number දානකොට විශේෂයෙන්ම Hutch number නොදැමීමට වගබලාගතයුතුයි :D

    ReplyDelete
    Replies
    1. Hutch එකේ job එකකට ඇප්ලයි කරනවා නං හැර :D :D :D

      Delete
  5. ප්‍රායෝගිකව මම අත්විඳපු තව දෙයක් තමා තමාගේ CV එකට කලින් Covering Letter එකක් සපයන්න පුළුවන් නම් ඒකත් ලොකු උපකාරයක් වෙනවා.... ඒ වගේම තමාගේ විද්යුත් තැපැල් ලිපිනය පිලිබඳ සැලකිලිමත් වෙන්නත් ඕනේ. ගොඩාක් වෙලාවට මම දැකපු CV වල තිබ්බ ඒවා තමා (taniprincess@domain.com / hotstuff69@email.com) මේ වගේ දේවල් දැක්ක ගමන් CV එක ප්‍රතික්ෂේප කරනවා .... !!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අදහස් වලට. වැදගත් කාරණා දෙකක්!

      Cover letter එකත් ඉතාම වැදගත්. Cover letter එකක් නැතුව CV එක හතරවටේටම නිකං අමුණල යවන එක උපහාසාත්මකව හඳුන්වන්නෙ "shotgun approach" කියලා. තමන් අයදුම් කරන ආයතනයටත් රැකියාවටත් අදාළ වෙන විධියට පොඩි පේළි දෙකතුනක් එක්ක cover letter එකකුත් තිබුණාම නිතැතින්ම වැඩි අවධානයක් ලැබෙනවා. :)

      Delete
  6. වැදගත් කරුණු ටිකක්. ස්තූතියි. දිගටම ලියන්න.

    ReplyDelete
  7. බොහොම වටින වැඩක්.. මං මේක ෂෙයා කරන්නං.. අයියෝ මේ මගුලේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. ඒක සතේකට වැඩක් නැහැ නෙව

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනෙ මචෝ වෙච්ච අපහසුතාව ගැන. ඉස්සර කාලෙ වගේ නෙමෙයි දැන් ගොඩක් අය එක එක drugs අනංමනං ගැන spam comments දානවා බ්ලොග් වලට. එක කමෙන්ට් එකට එක මේල් එක ගානෙ එනව මට. ඒවා නවත්තන්නයි CAPTCHA දැම්මේ.

      Delete
  8. ගොඩක් වැදගත් ලිපියක් ,,,යකූ මේ වර්ඩ් වෙරිෆිකේෂන් මගුල අයින් කොරහන් වදයක් බන්

    ReplyDelete
  9. මටනන් සීවී එකේ වටිනාකම හොදටම තේරුනා පහුගිය දවස් ටිකේ.. තව ටිකක් අඩුපාඩු හදල අයියට දීලම වෙරිෆයි කරගන්න ඕනි :D

    ReplyDelete
  10. මේකනම් මාරම ප්‍රයෝජනවත් දෙයක් යාලුවා.....ස්තුතියි

    ReplyDelete
  11. ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් - Please check the below link that may support you to give further valuable ideas. I teach CV writing apart from my other subjects and use below link to guide students and it's very effective.
    http://prezi.com/586vy_gq3apt/resume-writing-how-to-leverage-your-experience-education-and-knowledge-into-an-interview/

    ReplyDelete
  12. cv එකයි bio data එකයි කියන්නේ දෙකක්ද???

    ReplyDelete
  13. ගොඩක් වැදගත් ලිපියක්.බොහොම ස්තූතියි.

    ReplyDelete
  14. Really a valuable article! Thank you so much!

    ReplyDelete

Facebook ප්‍රතිචාර