මම සම්පූර්ණයෙන්ම ලිනක්ස් වලට මාරු වෙලා දැන් මාස දහයකටත් කිට්ටුයි. මේ කාලය ඇතුළත මම අළුතෙන් බොහොමයක් දේවල් ඉගෙනගත්තා. “වෙනස් වීම” – බැරැක් ඔබාමා දිනවූ වචනය – ක්‍රියාවට නංවන එක අමාරු කාරියක්. නමුත් ස්වයංව වෙනසට ලක්වීමේදී තමයි අභියෝග වලට මුහුණදීම ගැන හොඳ ප්‍රායෝගික පුහුණුවක් ලැබෙන්නෙත්. මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙලා දෛනික පරිගණක කටයුතු කරගැනීම අමාරුයි නේද කියන එක බොහෝ දෙනා මගෙන් අසා තිබුණු ප්‍රශ්නයක්. මගේ උත්තරය, මුල් කාලේ නම් ටිකක් ඔව්, ඒත් දැන් නම් එහෙම නෑ කියන එක. සමස්තයක් වශයෙන්, ලිනක්ස් වල වැඩ කිරීම කොහොමටත් අමාරු කාරියක් නෙවෙයි. වෙනසට ලක් වීම අමාරුයි. ඒත් වෙනසට ලක් වුණාට පසුව අනුගමනය කළ යුතු සාමාන්‍ය පිළිවෙත් සහ රටාවන් (practices) වලට හුරු වුණාම, මුලින් හිටපු තත්වයට වඩා පහසු බවක් දැනෙන්නේ.
මම දෛනිකව පාවිච්චි කරන මෘදුකාංග ගැන සඳහනක් මීට කලකට ඉහතදි පළ කළා. ඇත්තෙන්ම මේ ලැයිස්තුව දැන් යල් පැනලා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් එක්ක මගේ තිබුණු බැමි කීපයක්ම දැන් බිඳිලා ගිහින්. ලිනක්ස් වලට මාරු වුණු මුල් කාලේ යම් යම් අවශ්‍යතා සඳහා ඉඳහිට වින්ඩෝස් පාවිච්චි කරන්න අවශ්‍ය වුණා. පරිගණකය ප්‍රතිපණගන්වන්න කම්මැලි නිසා මේකට පාව්චිචි කළේ Sun VirtualBox මත Windows XP. නමුත් පහුගිය කාලය ඇතුළත, වින්ඩෝස් නැතිවම බැරි වෙලා තිබුණු මේ සමහර අවශ්‍යතාවන් වලට සාර්ථක නිදහස් හා විවෘත ආදේශක විසඳුම් කීපයක්ම අන්තර්ජාලය ඔස්සේ සොයාගන්න මට හැකි වුණා. ඒ සියළුම මෘදුකාංග/ විසඳුම් සඳහා දායක වූවන්ට මගේ හෘදයාංගම ස්තුතිය හා ප්‍රණාමය පිරිනැමෙනවා.
දැන්, මගේ VirtualBox එක ඇතුලේ තියෙන්නෙ Windows 7. ඒත්... මට දැන් ඒක ක්‍රියාත්මක කරන්නත් කම්මැලියි. හිතාගන්න පුළුවන්ද ලිනක්ස් වල භාවිතයේ පහසුව හා ඇබ්බැහි වීම...? මම මේ මෑතකදි එකම එක වැඩකට මම Windows 7 පාවිච්චි කළා. ඒ OpenOffice.org වින්ඩෝස් සඳහා වන නිකුතුවේ සිංහල අතුරුමුහුණත පරීක්ෂා කරන්න. (ඒකට ඉතිං වින්ඩෝස් නැතුව වෙන මොකක් පාවිච්චි කරන්නද? :P )
මම සෙල්ලම් කර කර හිටපු කාලේ මාර්තු දෙවැනිදායින් අවසාන වුණු බව දන්නව ඇතිනේ... දැන් මම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආධුනිකයෙක්... හඃ හඃ..! මට මේ දවස් වල පැවරිලා තියෙන වැඩ වල ටිකක් බැරෑරුම් වගකීමක් තියෙනවා. මාසයක් ඇතුළත මේ දක්වා ඒ වැඩ වලදි ඉතාම විශ්වාසනීයවත්, ආරක්ෂාකාරීවත් වැඩ කරන්න පුළුවන් බොහොම ස්ථායී පාදමක් සහ හොඳ තාක්ෂණික වටපිටාවක් ලිනක්ස් වලින් ලබා දී තිබෙන බව බය නැතුව අත්දැකීම් සහිතව කියන්න පුළුවන්. මෙපමණ කාලයක් සෙල්ලම් කළේ ලෝකල්හොස්ට් එකේ තියෙන සර්වර සහ පරීක්ෂණ දත්ත එක්ක... ඒත් දැන්.......................
---
පහුගිය කාලේ ඇතුළත මට හමුවුණු දේවල් කීපයක් මේ.
ලිනක්ස් වීඩියෝ සංස්කරණය කරන්න පාවිච්චි කරන මෘදුකාංග ගණනාවක්ම තිබෙනවා. ඒ එකකවත් පරිශීලක අතුරුමුහුණත තාම Adobe Premiere හෝ එවැනි මෘදුකාංගයක් තරම් පහසුවෙන් පාවිච්චි කළ හැකි තරමට දියුණු වෙලා නැති බව ඇත්ත. ඒත්, සමහර වැඩ වලදි අවශ්‍යතාවය අනුව චිත්‍රක අතුරුමුහුණතක් (GUI) නැති ffmpeg පවා සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ක්ලික් කළොත් ඒ ගැන යමක් බලාගන්න පුළුවන්. :-) LiVES, Cinelerra යනාදී වශයෙන් වීඩියෝ මෘදුකාංග ගොඩක් මට අන්තර්ජාලය ඔස්සේ සොයාගන්න හැකි වුණා. අවශ්‍යතාවයක් ඇති වුණොත් මම ඒවා පාවිච්චි කරන ක්‍රමය ඉගෙනගනිමින් අළුත් පරිසරයට හුරු වෙනවා. මම Adobe Premiere පාවිච්චි කරල නෑ. පාවිච්චි කරන්න දන්නෙත් නෑ. ඉතින් මට කෝකත් එකයි.
WinSCP මෘදුකාංගය ගැන දන්නව ඇතිනේ... SSH/ SFTP සඳහා වින්ඩෝස් මත භාවිත කළ හැකි client මෘදුකාංගයක්. Windows Explorer (explorer.exe) පාවිච්චි කරලා සාමාන්‍ය ගොනු හුවමාරු වැඩ කරගන්න පුළුවන් වුණාට SSH වගේ ආරක්ෂාකාරී විවෘත කේත පද්ධතිත් එක්ක වැඩ කිරීමේ හැකියාව එයට ලබා දී නැහැ. ඒ නිසයි WinSCP හෝ එවැනි තෙවන පාර්ශ්වයීය මෘදුකාංගයක් පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. නමුත් Ubuntu/ Kubuntu/ Fedora වගේ ලිනක්ස් පද්ධතියකදි තත්වය වෙනස්. File Manager එක විවෘත කරලා පෙත ලබා දෙන තැන ssh://username@serverhost:port යන රටාව අනුව පෙත සටහන් කරලා Enter කළ ගමන් වැඩේ ගොඩ! මේක කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ Ubuntu සමඟ පෙරනිමියෙන්ම GVFS සහය තියෙන නිසා. මේ තියෙන තිර රූපසටහන් දෙකත් බලන්න.
තෙවන පාර්ශ්වයීය ආදේශක අවශ්‍ය නෑ... :-) කාර්යාල වැඩ වලදි ත්‍රෛභාෂික (යුනිකෝඩ්) පෙළ අඩංගු ගොනුත් සමඟ වැඩ කරන්න සිද්ධ වෙන නිසා සාමාන්‍ය ලිනක්ස් ටර්මිනල් එකක වැඩ කරන්න අමාරුයි. අනිවාර්යයෙන්ම චිත්‍රක අතුරුමුහුණතකට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වැඩෙන් ගොඩක් කාලය ඉතිරි වුණා.
මේ 'සුඛෝපභෝගී' පහසුකම් පාවිච්චි කරන්න නම් ටිකක් වේගවත් ජාල සම්බන්ධතාවක් අවශ්‍යයි -- කාර්යාලයීය පරිගණක ජාලය (Office LAN) තුළ පාවිච්චිය ගැටළුවක් නැහැ
ඊළඟ කාරණාව, EOT වැනි යල්පිනූ ක්‍රම පාවිච්චි කර සිංහල ලියන අන්තර්ජාල පුවත්පත් (උදා: ලක්බිම) කියවන එක. මේ පුවත්පත් කියවන්න පුළුවන් Windows Internet Explorer භාවිතයෙන්ම පමණයි. පත්තරේ බලන්න විතරක් වින්ඩෝස් බූට් කරන්න මට කම්මැලියි. ගැටළුවට නිවැරදිම විසඳුම ළඟපාත තිබිලත් මම දැනගෙන හිටියෙ නැහැ නොවැ. අපේ සහෝදර බ්ලොග්කරුවෙක් වන කෙහළිය බණ්ඩාර ගල්ලබ මීට සාර්ථක විසඳුමක් දීලා තියෙනවා. ගිහිල්ලම බලන්න...!
3GP මාදිලියේ වීඩියෝ ක්ලිප් නරඹන්න ලිනක්ස් මත වැඩ කරන මෘදුකාංගයක් හොයාගන්න බැරුව මම පහුගිය කාලෙ නහයෙන් අඬ අඬා හිටිය නෙව. මේකත් අර මුලින් කිව්ව වින්ඩෝස් එක්ක තිබුණු බැමි කීපයෙන් එකක්. පහුගිය සතියේ මම අහම්බෙන් දැක්කා SuperUbuntu මත පෙරනිමියෙන් එන RealPlayer 11 මෘදුකාංගයෙන් ඒ අවශ්‍යතාවයත් සාර්ථකව සපුරාගන්න පුළුවන් බව. ඉතින් මම මේ දවස් වල හොයනවා ඒක එහෙම වුණේ කොහොමද කියලා...
ඉතින් ඔය වගේ හැම බැම්මක්ම ක්‍රම ක්‍රමයෙන් බිඳිලා මම දැන් VirtualBox එක ඇතුලේ තියෙන Windows 7 ධාවනය කරවන්නෙත් ඉතාම කලාතුරකින්. පහුගිය මාසයටම දෙ වතාවයි.
ඉතිං.......... මට තව දුරටත් වින්ඩෝස් ඕනෙ වේවිද? ඔව්. මම මෘදුකාංග සංවර්ධනයේ (software development) නියැලෙන්නෙක්. තවමත් වැඩි දෙනා පාවිච්චි කරන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිසා ඒ ආශ්‍රිතව මෘදුකාංග සඳහා තත්ත්ව පරීක්ෂණ කරන්න වින්ඩෝස් අවශ්‍ය වෙනවා. .NET ආශ්‍රිත මෘදුකාංග සංවර්ධනයටත් ඉදිරි කාලය තුළ ඉඳහිට මට වින්ඩෝස් අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත්, වින්ඩෝස් සඳහා වෙනම වෙන් කළ partition එකක් මගේ පරිගණකයෙ නෑ. ඉඳහිට අවශ්‍ය වූ වෙලාවක පාවිච්චි කරන්න ඒක VirtualBox එකේම තියේවි.
ඉතින්... මේ ලියවිල්ලෙන් මම දෙන පණිවුඩය...
සාමාන්‍ය පරිශීලකයෙකුට මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙන්න බෑ කියන එක බොරුවක්. පැහැදිලි දැක්මක් සහිතව ලිනක්ස් වලට මාරු වීමේ අවශ්‍යතාවය අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ ඇති. පහුගිය කාලය ඇතුළත සුළු මට්ටමේ චිත්‍රක සංස්කරණ කටයුතු කීපයකුත් මගේ කාර්යාල වැඩ වලදි කරන්න සිදු වුණා. කිසිදු අපහසුවකින් තොරව මම GIMP පාවිච්චි කරලා අදාළ අවශ්‍යතාව සපුරාගත්තා. අනෙක් වැඩ වලදිත් එහෙමයි... සොයන්නාට සම්භ වේ කියල කියමනක් එහෙමත් තියෙනවනෙ..! :-)
හැමදෙනාටම ලිනක්ස් වලට මාරු වෙන්න බෑ කියන කතන්දරේ ඇත්තකුත් නැතුවම නොවෙයි. සමහර අවශ්‍යතාවන් වලදි ලිනක්ස් පාරිසරිකය තුළ වැඩ කරන්න පුළුවන් වෘත්තීයමය මට්ටමේ මෘදුකාංග නැහැ. ඒකට තව ටික කලක් ගත වෙයි. උදාහරණයක් විධියට අපි GIMP ගත්තොත්, මුද්‍රණ ක්ෂේත්‍රයේ භාවිත වෙන CMYK වර්ණ මාදිලියට එය පෙරනිමියෙන් සහය දක්වන්නෙ නැහැ. නමුත්, ඒ සඳහා plugin එකක් අන්තර්ජාලය ඔස්සේ හොයාගන්න පුළුවන්.
ඊළඟ ගැටළුව මතු වෙන්නේ අන්තර්ජාලය ගැන. අන්තර්ජාලය නැතුව මෘදුකාංග ස්ථාපනය කරන්නත් බෑ. ඒ වගේම ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවක විසඳුම් හොයාගන්නත් බෑ. මමත් කාලයක් තිස්සේ මේ ගැටළුවත් සමඟ ඔට්ටු වෙමින් ලිනක්ස් සහ නිදහස් - විවෘත මෘදුකාංග පාවිච්චි කළ කෙනෙක්.
හිතල බලන්න මෙහෙම..... ලංකාවෙ අනවසරයෙන් වින්ඩෝස් භාවිතය ඉතාම ප්‍රචලිතයි. එක එක වැඩ වලට මෘදුකාංග අවශ්‍ය වෙනවා. ඒ නිසා වින්ඩෝස් හා ඒ මත ධාවනය වෙන මෘදුකාංග වලට අපේ රටේ හොඳ වෙළඳපොළක් ඇති වුණා. ඒ ඔස්සේ රට පුරා මෘදුකාංග අලෙවිසැල් බිහි වුණා. නීති විරෝධී වුණත්, වින්ඩෝස් එක්ක ඕනෙ වැඩක් කරගන්න අවශ්‍ය මෘදුකාංග මේ තැන් වලින් හොයාගන්න පුළුවන්.
නමුත්, අපි ඉදිරි කාලය තුළ අනවසර මෘදුකාංග පාවිච්චිය අතහැරලා නිදහස් මෙහෙයුම් පද්ධති හා නිදහස් මෘදුකාංග භාවිතයට පෙළඹුණොත්. මෘදුකාංග අවශ්‍ය වෙයි. ඒ මෘදුකාංග වලට හොඳ වෙළඳපොළකුත් ඇති වෙයි. මෘදුකාංග අලෙවිසැල් වලට ලිනක්ස් හා ඒ සමඟ වැඩ කරන්න පුළුවන් නිදහස් මෘදුකාංගත් එයි. අවසානයේ ලිනක්ස් එක්කත් ඕනෙ වැඩක් කරගන්න මෘදුකාංග අලෙවිසැල් වලින් හොයාගන්න පුළුවන් වෙයි. රිචඩ් ස්ටෝල්මන් විසින් අර්ථ දැක්වූ සිව් වැදෑරුම් නිදහසට අනුව බලාත්මක කරන ලද 'නිදහස්' මෘදුකාංග නැවත විකිණීම නීතියෙන් වරදක් නොවන නිසා කිසිදු අසාධාරණයක් මෙහි සිදු නොවෙන්නා සේම, පහසු මිළකට නීත්‍යානුකූල මෘදුකාංග ලබා ගන්නත් අපේ රටේ අන්තර්ජාල පහසුකම් නැති අයට හැකි වේවි.
මම දැනටත් දැකල තියෙනවා බම්බලපිටියේ මෘදුකාංග අලෙවිසැල් වල Ubuntu, Kubuntu සහ OpenOffice.org මිළදී ගන්න පුළුවන්. ඒ වගේම ස්වභාෂාවෙන් පළ වෙන තොරතුරු තාක්ෂණ සඟරා වලත් දැන් දැන් නිදහස් හා විවෘත මෘදුකාංග ගැන වැඩි වශයෙන් කතාබහට ලක් කෙරෙනවා. මේක ඉතා හොඳ ප්‍රවණතාවක්. මේ තත්වය ඉදිරි කාලය ඇතුළත තවදුරටත් දියුණු වේ යයි අපේක්ෂා කරන්න පුළුවන්.
මේ කතන්දරේ ලේසි වැඩක් නෙවෙයි. නමුත් නිදහස් හා විවෘත මෘදුකාංග ක්ෂේත්‍රය දියුණු වෙන්නේ ඒ වටා එක්ව සිටින ප්‍රජාවත් සමඟ. ඒ නිසා ප්‍රජා දායකත්වය අත්‍යාවශ්‍යයි. මේ වෙනස.... පෙරළිය අපි කළොත් දිනෙක ලංකාවේ අපට 'මෘදුකාංග හොරු' කියන ලේබලයෙන් මිදී දේශයක් විධියට ආඩම්බරයෙන් යුතුව නැගී සිටින්නට හැකි වේවි.