Tuesday, November 26, 2019

ටෝස්ට්මාස්ටර්ස් ගැන තවදුරටත්... | More on Toastmasters (The Club Leadership Committee)

ටෝස්ට්මාස්ටර්ස් ගැන මම කලින් ලිව්ව ලියමනට හොඳ ප්‍රතිචාර තිබුණු නිසාත්, මගේ යාළුවන්ගෙන් ලැබුණු ප්‍රතිචාරත් මත මම ඒ ගැන තව ටිකක් දේවල් එකතු කරලා තව බ්ලොග් ලිපියක් ලියන්න තීරණය කළා. ඔව්...! බ්ලොග් සටහනක් ලියන්න ඕන මානසික නිදහසත් එක්ක කාලය වෙන් කරගන්නවා කියන ඒක "තීරණයක්" තමයි... :)

ඉතින් මට දිරි දුන්, ප්‍රතිචාර දැක්වූ මිතුරන් හැමදෙනාටම ස්තුතිය පළ කරන ගමන්, මේ සටහන ලියවෙන්නෙ කලින් ලිව්ව එකේ සබැඳියක් විදියට. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ක්ලබ් එකේ "නායකත්ව කමිටුව" (club leadership committee/ executive committee) සම්බන්ධව.


(Photo courtesy: pixabay.com under Pixabay License)

ටෝස්ට්මාස්ටර්ස් වැඩකටයුතු මගේ වෘත්තීය ජීවිතයට වැදගත් කුසලතා වැඩිදියුණු කරගන්නත් ලොකු උපකාරයක් වුණා. ටෝස්ට්මාස්ටර්ස් සැසි වාර (meetings) වලින් වැඩි දියුණු කරගත් කුසලතා වලට අමතරව, මට දැනෙන තල්ලුව වුණේ මම එදා නියෝජනය කළ Fusion Toastmasters Club එකේ Vice President Public Relations තනතුර දැරීමෙන් ලබපු අත්දැකීම්. "Vice President" කොටස දැක්ක ගමන් හිතන්න එපා මේක පම්පෝරියක් කියල... මොකද ටෝස්ට්මාස්ටර්ස් වල ඉන්නෙ ඔනරබල් ලීඩර්ස්ලා නෙමේ සර්වන්ට් ලීඩර්ස්ලා. ඉතින් ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් එකක තනතුරක් දරනවා කියන්නෙ ලොකු කමක් නෙමෙයි, වගකීමක්.

"නායකත්වය මෙහෙවරකි."

 ලංකාවේ සාමාන්‍ය මිනිස්සු හිතන පතන ක්‍රමයට අනුව "servant leadership" කියන දර්ශනය ටිකක් විතර අමුතු දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ගැන දන්නෙ නැත්නම් ඉහතින් දීලා තියෙන විකිපීඩියා ලින්ක් එකට ගිහින් කියවලා ආපහු එන්න මේ පැත්තට. :)

ඉතින් ලොකුයි වගේ පේන තනතුරු ලැබුණාම, තමන් නියෝජනය කරන ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ සාමාජිකයෝ යටත් වැසියෝ කියල හිතාගෙන වැඩ කරන කෙනෙක් වෙතොත් ඒ කෙනාගෙ ධූර කාලය අසාර්ථක නායකයෙක් විදියට ගෙවිලා යන හැටි දකින්න පුළුවන්. හැබැයි තනතුරු නිසා උඩ නොයා තමන් නියෝජනය කරන ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ හැම සාමාජිකයෙකුගේම දියුණුව, ක්ලබ් එකේ දියුණුව තමන්ගේ වගකීමක් විදියට හිතට අරන්, පුද්ගලිකව හැමෝමත් එක්ක කතා බහ කරලා වැඩ කළොත් සාර්ථක නායකයෙක් වෙන්න පුළුවන් වගේම නිතැතින්ම තමන්ගේ පුද්ගලික දියුණුවත් සිද්ධ වෙනවා.

ඉතින් මොනවද මේ තනතුරු?

ටෝස්ට්මාස්ටර්ස් සමාජයක (ක්ලබ් එකක) මෙන්න මේ පහතින් දැක්වෙන තනතුරු ධූරාවලිය තියෙනවා. පොතේ හැටියට  ගත්තාම උඩ ඉඳන් පහළට යද්දි බලතල ටික ටික අඩු වුණත්, කණ්ඩායමක් විදියට එකට වැඩ කරද්දි ප්‍රායෝගිකව හැමෝම සම තත්වයේයි සැලකෙන්නේ.
  1. President - සමස්ත නායකත්වය, ටෝස්ට්මාස්ටර්ස් දිස්ත්‍රික් නිළධාරීන් වෙත වාර්තා කිරීම
  2. Vice President Education (VPE) - ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ සාමාජිකයන්ගේ අධ්‍යාපන වැඩසටහන්/ ක්‍රියාකාරකම්
  3. Vice President Membership (VPM) - ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ සාමාජිකයින්/ සාමාජිකත්ව කළමනාකරණය
  4. Vice President Public Relations (VPPR) - ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ ක්‍රියාකාරකම් පිළිබඳ බාහිර සමාජය දැනුවත් කිරීම (මේ ගැන බ්ලොග් ලිවිල්ලත් එක අතකට මාකටිං වැඩක් තමයි :P )
  5. Secretary - ලියකියවිලි සහ වාර්තා නිසි ආකාරව පවත්වා ගැනීම
  6. Treasurer - භාණ්ඩාගාරික, අරමුදල් පරිපාලනය
  7. Sergeant At Arms (SAA) - මේ සැරයන් කෙනෙක් නෙමේ 😜, ක්ලබ් එකට අයිති භෞතික දේපළ වල භාරකාරීත්වයත්, සැසි වාර සඳහා රැස් වෙන ස්ථානය පිළිබඳ වගකීමත් දරන්නෙ මෙයා තමයි
  8. Immediate Past President - හිටපු සභාපති, කමිටුවේ අනුශාසක.
ඉතින් මම 2016 - 2017 SAA විදියටත්, 2017 - 2018 VPPR විදියටත් සේවය කළා 2019 - 2020 ආපහු වතාවක් VPPR. සේවය කිව්වේ මේක කළාට අතට සල්ලි හම්බවෙන්නෙ නෑ... මුළුමනින්ම ස්වේච්ඡාවෙන් කැමැත්තෙන් කරන දෙයක්.

ස්වෙච්ඡා සේවය කරනවට මොනවද ලැබෙන්නෙ?

වෘත්තියෙන් මම තොරතුරු තාක්ෂණයට, ව්‍යාපෘති කළමනාකරණයට අදාළ එක්තරා සොෆ්ට්වෙයාර් එකක් සම්බන්ධව විශේෂඥයෙක් (tooling expert). මම මගේ විෂයයට අදාළව 'බොනට්ටුව යට තියෙන දේ' පවා හොඳින් දන්නවා වුණත්, මනුෂ්‍යයෝ ගැන - කණ්ඩායමකට නායකත්වය දෙන හැටි - නායකයෙක් විධියට කණ්ඩායමක් පිළිබඳ වගකීමක් දරන හැටි ගැන කිසිදු ප්‍රායෝගික දැනුමක් හෝ අත්දැකීමක් මට තිබුණේ නැහැ.

හිතන්න මට රැකියාවේදී යම් දවසක එවැනි වගකීමක් ලැබුණා කියල. අත්දැකීම් මදිකම සහ සැලසුමක් නැතිකම නිසා ඒ වගේ ලොකු වගකීමක් දරනකොට සමහරවිට මාව හිර වෙන්නත් පුළුවන්. හැබැයි, මම ඒ පිළිබඳ කල් ඇතුව පුහුණුවක් ලබල අවශ්‍ය අත්දැකීම් ලබල තිබුණොත් මගේ රාජකාරිය පහසු වෙනවා.

ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් එකක නිළයක් දැරීම ඔන්න ඔය කාරණාව සම්පූර්ණ කරගන්න උදව් වෙනවා වෙනවා. වැරදුණාට බැනුම් අහන්න වෙන්නේ නැති, හැමවිටම වැරදි නිවැරදි කරගන්න උපකාර කරන, "ආරක්ෂාකාරී" පරිසරයක ප්‍රායෝගිකව නායකත්ව අත්දැකීම් සහ පුහුණුව ලබාගන්න අපිව නිකම්ම පෙළඹෙනවා. මේ අත්දැකීම් අපේ එදිනෙදා වෘත්තීය නිපුණතාවන් එක්ක එක්කාසු වුණාම ඊළඟ ලෙවල් එකට යන්න පහසුයි.

වැරදීම් ගැන කියද්දි, පුද්ගලිකව මගේ කාල කළමනාකරණය අන්තිමයි. VPPR වෙලා හිටපු මුල් කාලේ රැකියාවේ වැඩ කටයුතුත්, ටෝස්ට්මාස්ටර්ස් VPPR තනතුරේ වගකීමුත් දෙපැත්ත බැලන්ස් කරගන්න මට එකවර අපහසු වුණා. ඒ නිසාම ක්ලබ් එක වෙනුවෙන් මගෙන් වෙන්න තිබුණු යුතුකම් ගොඩක් මහහැරුණා. එතනදි වැදගත්ම දේ, ක්ලබ් එකේ අනිත් තනතුරු වල හිටපු අය කිසිම වෙලාවක මේක දිහා සෘණාත්මකව නොබලා මට හැදෙන්න චාන්ස් එකක් දීපු එක. අවසානයේ යම් මොහොතක මම ගත්තා හොඳ ගැම්මක්. එතනින් පස්සේ සියල්ල කළමනාකරණය කරගෙන ක්ලබ් එක වෙනුවෙන් ලොකු දායකත්වයක් සපයන්න පුළුවන් වුණා.

ඉතින් මොනවද ප්‍රායෝගිකව ඉගෙනගත්ත දේවල්?

ගොඩක් දේවල්...! බලමු මෙච්චරකල් ඉංග්‍රීසියෙන් හිතපු, කියපු දේවල් සිංහලෙන් වචන කරන්න.🙂
  1. නායකයෙක් වුණාම දැක්මක් (vision) අවශ්‍යයි. විශේෂයෙන්ම President/ Vice President වගේ පට්ටමකදි දැක්මක අවශ්‍යතාව තදින්ම තියෙනවා. ඉතින් VPPR කෙනෙක් විදියට විෂයයට අදාළව මගේ දැක්ම වුණේ සමූහයේ එක් එක් සාමාජිකයාගේ (individual member) ජයග්‍රහණ වලට උදව් කරන ගමන්, ඒ එක් එක් ජයග්‍රහණයට නිසි තැන සහ ප්‍රචාරය දුන්නොත් අපේ ක්ලබ් එක නිතැතින්ම කැපීපෙනෙනවා (stand out) කියන එක.
  2. සැලසුම්කරණය - ඉවෙන්ට් එකක්, ක්ලබ් එකේ සාමූහික ක්‍රියාකාරකමක් ප්ලෑන් කරන හැටි මං මේකෙන් හොඳට නාගෙන  😀 ඉගෙනගත්තා. (ඉවෙන්ට් එක හොඳට කෙරුණා ක්ලබ් එකේ පරණ සාමාජිකයින්ගෙ ගුරුහුරුකම් ටිකකුත් එක්කාසු වෙච්ච නිසා)
  3. අරමුණක් වෙනුවෙන් එක්ව වැඩ කිරීම - මේක එදිනෙදා රැකියාවේ හෝ CV එකේ හැමෝම ලියන 'teamwork' එකේ හොඳ ප්‍රායෝගික භාවිතාවක්. VP කෙනෙක් වුණාම අනිත් VPලා දෙන්නා එක්ක හොඳ සම්බන්ධතාවක් තියාගෙන වැඩ කරන්න වෙනවා. මම VP කෙනෙක්, මම පොරක්, අහවල් දේ මගේ වගකීම නෙමෙයි අනිත් එක්කෙනාගේ කියලා උජාරුවෙන් අත්දෙක බැඳන් හිටියොත් කිසිම දෙයක් සාර්ථක වෙන එකක් නෑ. ක්ලබ් එකේ නායකත්ව කමිටුවේ හැමෝම අන්‍යොන්‍ය සම්බන්ධතාවය ඇතුව වැඩ කරන්න ඕනා.. එයිනුත්, VPලා තුන්දෙනා අතර අන්‍යොන්‍ය සම්බන්ධය ගොඩක් වැඩ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේදී වැදගත්. උදාහරණයක් විදියට, VPM සාමාජිකයින් බඳවාගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරද්දී VPPR විදියට මට ඉදිරිපත් වෙලා ඒකට අදාළව ප්‍රවර්ධනය (marketing) පැත්තෙන් උදව් කරන්න පුළුවන්. මෙතනදී අනිත් එක්කෙනාගේ විෂයය හරියට තේරුම් ගැනීමත්, විෂයය භාර කෙනාගේ අදහස් සාවධානව තේරුම් ගැනීමත් වැදගත්.
  4. මිනිස්සු එක්ක වැඩ කරන හැටි (soft skills) - කාගෙන් හරි වැඩකට උදව්වක් ඉල්ලුවාම හැරෙන තැපෑලෙන් "බැඃ!" කිව්වොත් හිත අවුල් කර නොගෙන professional විදියට ඒක හැන්ඩ්ල් කරන්න මම ඉගෙනගත්තා. සාර්ථක servant leader කෙනෙකුට ගොඩක් වෙලාවට එකෙක් බැහැ කියද්දි හා කියන්න තව හතරක් පහක් ඉන්නවා. ඒ තත්වය ඇති වෙන්නේ කල්ක්‍රියාවෙන් තමන් උපයාගත් ගෞරවය මතයි. 😉 (ටෝස්ට්මාස්ටර්ස් වලින් පිටතදී සමහර සමාජ ක්‍රියාකාරිකයින්ගේ මේ හැකියාව මම නිරීක්ෂණය කරල තියෙනවා)
  5. සන්නාම කළමනාකරණය (brand management) - VPPR වීම නිසාම මට වැඩිදියුණු කරගන්න ලැබුණු, රැකියාවෙදි කවදාවත් නොලැබෙන (මගේ විෂයය නොවීම නිසා) මම ඉගෙනගත් අපූරුම නිපුණතාවයක් තමයි සන්නාම කළමනාකරණය. ටෝස්ට්මාස්ටර්ස් බ්‍රෑන්ඩ් එක ආරක්ෂා කිරීමත් බ්‍රෑන්ඩ් එකේ ප්‍රවර්ධනයත් VPPR තනතුරේ වගකීමක්. ටෝස්ට්මාස්ටර්ස් වැරදීම් නිවැරදි කරගන්න අවස්ථාව සලසන වටපිටාවක් නිසා අත්වැරදීම් වලදි ගැටළුවක් නෑ, නමුත් ඇත්ත ෆීල්ඩ් එකේදි (industry එකේදි) බ්‍රෑන්ඩ් එකක අවභාවිතාව නීතිමය ගැටළු පවා මතු කරන්න පුළුවන් දෙයක්. 
අවසාන වශයෙන්, ටෝස්ට්මාස්ටර් කෙනෙකුගේ නමට එකතු කරගත හැකි ඉහළම පිළිගැනීමකින් යුත් DTM කියන තත්වය ලබාගන්න මේ නායකත්ව කමිටුවේ අවම වශයෙන් අවුරුද්දක අත්දැකීම් අනිවාර්යයි. (පිරිස ඉදිරියේ කතා පැවැත්වීමේ හැකියාව පමණක් ප්‍රමාණවත් නැහැ)

මොනවද ඔය තරම් තියෙන 'වැඩ'? 

නායකත්ව කමිටුවට (executive committee) ලොකු වගකීමක් තියෙනවා. ක්ලබ් එකේ හැම සාමාජිකයෙක්ම Toastmasters International (TMI) ආයතනය වෙත අර්ධ වාර්ෂිකව සාමාජික ගාස්තු ගෙවනවා. ඒ නිසා කාගේ කාගේත් කාලය = මුදල් බව පෙනෙනවා ඇති. ඉතින් මේ වියදම් කරන මුදල් වලට උපරිම සාධාරණයක් වෙන්න නම් නායකත්ව කමිටුව සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් වලට ඕනා පරිසරය සකසන්න (facilitate කරන්න) ඕනා. ධූරාවලියක් විධියට සංවිධානය වුණු කමිටුවක් ඉන්නෙ ටෝස්ට්මාස්ටර්ස් වෙතින් ලබා දීපු ක්‍රමවේදයන්ට අනුකූලව ඒ දේ කරන්නයි.

මම එහෙම ලිව්වා කියලා දැන් මේක කියවන සමහර ටෝස්ට්මාස්ටර්ස්ලා තම තමන්ගේ ක්ලබ් කොමිටිය පැත්තට ඇඟිලි දික් කරන්නත් එපා. 😉 ක්‍රියාකාරකම් වලට සක්‍රීයව සහභාගී වී පුද්ගල සංවර්ධනය අත්පත් කර ගැනීම සමානව ඔබේත් වගකීමක්. උදව් කරන්න (facilitate) පුළුවන් වුණත්, හැන්දෙන් පෙවීම කරන්න බැරි බවත් සිහියේ තබාගන්න.

සමහරවිට මතුපිටින් බැලුවාම මේ කියන 'වැඩ' එච්චර ලොකු දෙයක් නෙමේ කියල පිටින් ඉන්න කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. එහෙම හිතෙන අය බැහැල බලමු ෆීල්ඩ් එකට. 😉

ක්ලබ් එකක නායකත්ව කමිටුවට බැඳෙන්නෙ කොහොමද?

ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් එකකටත් ව්‍යවස්ථාවක් කියල එකක් තියෙනවා. 😉 ඉතින් මේ ව්‍යවස්ථාවේ හැටියට (Article VI - Section 5) නායකත්ව කමිටු සාමාජිකයන්ව ඡන්දයකින් තෝරා පත් කරගන්න තමයි අනුබල දෙන්නේ. ඡන්දදායකයෝ වෙන්නෙ ක්ලබ් එකේ සියළුම සාමාජිකයින්.

නමුත්, ගොඩක් ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් ප්‍රායෝගිකව අත්දකින අවාසනාවන්ත සත්‍යය නම්, ක්ලබ් එකට ස්වෙච්ඡාවෙන් නායකත්වය දෙන්න කැමති අය අලලන්න දැල් දාන්න ඕනා. ගොඩක් අය කමිටුවට නායකත්වය දෙන්න කතා කළාම පස්ස ගහනවා. ඒ නිසා බොහෝවිට, එක ධූර කාලයක් අවසාන වෙද්දි වෙන්නේ දැනට ඉන්න කමිටු නායකයෝ ටික තම තමන්ගෙ පුටු මාරු කරගන්න එක. අවාසනාවට ඇත්ත කතාවක්!

ටෝස්ට්මාස්ටර්ස්ලා මේ ලිපිය කියවනවා නම් මම ඔබට කියනවා, ඒ වගේ වෙලාවක ඉදිරිපත් වෙන්න! පටන් ගන්න Sergeant At Arms තනතුරෙන්. දැනට ඉන්න කෙනා ළඟට ගිහින් කියන්න එයාගෙ successor වෙන්න කැමතියි කියල. (එක තනතුරට දෙන්නෙක් ඉදිරිපත් වෙන්න කැමති නම් ඡන්දයක් තියයි)

ධූරාවලියෙන් පහළම වුණත්, නායකත්ව කමිටුවක වැඩකටයුතු සිද්ධ වෙන විධිය ඉගෙනගන්න එය හොඳ ආරම්භයක්. ඒ වගේම එක අවුරුද්දක් සම්පූර්ණ කළොත් DTM කෙනෙක් වීම දක්වා යන ගමනේ සම්පූර්ණ කළ යුතු අවශ්‍යතාවයක් සම්පූර්ණ වෙනවා. පළවෙනි අවුරුද්ද අවසාන වුණාම ආපහු ඉදිරිපත් වෙන්න වෙනත් තනතුරක අත්දැකීම් ගන්න. අවසානයේ ඉවත් වෙද්දි තවත් කෙනෙක්ව උනන්දු කරලා අවස්ථාව දෙන්න.

අවුරුද්දක් කරලා, පුළුවන් නම් තවත් අවුරුද්දක් වෙනින් තනතුරක් භාර අරන් කරලා ආපහු හැරිලා බලන්න වෙනස. 💪👍

අත්දැකීම් ලත් ටෝස්ට්මාස්ටර්ස්ලා, DTMලා මෙය කියවනවා නම්, මම ලියූ කරුණු වල වරදක් ඇතොත් කරුණාකර එය පෙන්වා දෙන්න... 😊 ෆේස්බුක් හැර වෙනත් සෝෂල් මීඩියා කිහිපයකම @shaakunthala නමින් මම ඉන්නවා.

අදට ආයුබෝ෴ 🙏

2 comments:

  1. ටෝස්ට්මාස්ටර්ස් වල මෙච්චර දේවල් ගොඩක් තියෙනවා කියලා අදයි දැනගත්තේ ශාකු 😲 . ගොඩක් ස්තූතියි මේ විස්තර ටිකට.

    ReplyDelete

Facebook ප්‍රතිචාර