හරි... වැඩි කතා ඕනැ නෑ. මේක සිද්ධ වෙලා දැන් ටික දවසක් වෙනවා. අපේ මලයා ගෙදර තිබුණු පරණ මැසිම ආපහු හදලා... වින්ඩෝස් දාලා. ඉතිං මගේ පරණ උණකුත් ඒ එක්කම ඉස්මතු වෙලා ආවා... මොකක්ද? GTA Vice City!! මාව ළඟින් ආශ්‍රය කළ අය දන්නව මම මේකට කොයි තරම් ඇබ්බැහි වෙලා හිටියද කියල. ඉතිං දෙපාරක් හිතුවෙ නෑ දාගත්තා GTA Vice City. දවස් දෙකයි සෙල්ලං කළේ විදුලි බිල බර ගාණකින් වැඩි වෙලා!! :-O ඒකට හේතුව වෙන මොකක්වත් නෙමෙයි පරණ මැසිමෙ තියෙන තඩි CRT මොනිටරය. ඉතිං ගෙදර කස්ටියගෙන් දැඩි විරෝධතා ආවා Vice City සෙල්ලං කරනවට (මිනී මරාගන්න ගේම් එකක් බව දන්නවනං මට කොහොමටත් සෙල්ලං කරන්න දෙන්නෙ නෑ).
ඉතිං මම ට්‍රයි එකක් දුන්නා රිමෝට් ඩෙස්ක්ටොප් පාරක්වත් දාගන්න. එතකොට මගේ ලැප්ටොප් එකේ ඉඳගෙන ethernet හරහා අනිත් මැසිමෙ තියෙන Vice City සෙල්ලම් කරන්න පුළුවන්නේ. නමුත් මුල ඉඳලම මට සැකයක් තිබුණා වැඩේ අසාර්ථක වෙන බවට. වීඩියෝ මතකය සම්බන්ධ ගැටළුවක් එන්න පුළුවන් කියල හිතුණා.
මගේ ලැප්ටොප් එකේ දුවන්නෙ Ubuntuනේ... ඩෙස්ක්ටොප් මැසිමෙ වින්ඩෝස්. වින්ඩෝස් වල Remote Desktop ප්‍රොටොකෝල් එක Ubuntu වල VNC එක්ක වැඩ කරන්නෙ නැහැනේ... එතකොට තමයි අයිඩියාව ආවේ VirtualBox එකේ දාලා තියෙන Windows XP ස්ථාපිතය ප්‍රයෝජනයට ගන්න පුළුවන් බව. දැන් නම් Vice City සෙල්ලම් කරන වැඩේ අසාර්ථක වුණත් ආපු අයිඩියාව අතාරින්නෙ නෑ! අත්හදා බලන්නම වටින වැඩක්. මේව නොවැ ගේම්!!
කොහොමද මේක හදා ගන්නේ.....? ඒවට තමයි Network Bridge තියෙන්නේ.
Bridge එක හදන්නෙ කොතනද? Ubuntu හරහා virtual මැසිමයි ඇත්ත මැසිමයි සම්බන්ධ වෙනවා... ඒ කියන්නෙ Ubuntu වලට තමා bridge එක එන්නේ.
ඊළඟ ප්‍රශ්නය... මොන ජංජාලකරණ උපාංග දෙකද පාලමේ දෙකොනෙ තියෙන්න ඕනේ? එකක් eth0, එතතකොට අනික? Virtual machine එකේ settings වලට ගිහින් Network යටතේ Adapter 2 සක්‍රිය කරලා ඒක Host-only Adapter විධියට සකස් කළා. පහත දැක්වෙන තිර රූප සටහන බලන්න.
මෙහෙම කළාම ධාරක පරිගණකයේ (ඒ කිව්වෙ Ubuntu වල) vboxnet0 නමින් තවත් අතථ්‍ය ජාලකරණ උපාංගයක් එකතු වෙනවා. Virtual machine එක ධාවනය වෙන අතරේ ධාරක පරිගණකයට ifconfig විධානය දීලා ඒ බව තහවුරු කරගන්න පුළුවන්.
දැන් අපි පාලම හදන්නෙ eth0 සහ vboxnet0 අතර. ඒක කරන්න sudo vim /etc/network/interfaces විධානය දීලා /etc/network/interfaces ගොනුව විවෘත කරගන්න. මේ පෙන්නල තියෙන කේත පේළි තුන ඒ ගොනුවෙ අගට එකතු කරලා ගොනුව සුරකින්න (Esc - :wq - Enter).
# Bridge between eth0 and vboxnet0
iface br0 inet dhcp
bridge_ports eth0 vboxnet0
මෙහෙම කරලා මැසිම restart කළා. ඊට පස්සෙ virtual machine එකත් ක්‍රියාත්මක කළා.
ඊළඟ පියවර ජාලකරණ උපාංග වින්‍යාසගත (configure) කිරීම. මෙන්න මේවා තමයි උපාංග ටික:
- ඩෙස්ක්ටොප් පරිගණකයෙ ethernet ඇඩැප්ටරය
- ලැප්ටොප් එකේ ethernet ඇඩැප්ටරය
- ලැප්ටොප් එකේ VirtualBox ධාවනය වෙන වෙලාවෙ නිර්මාණය වෙන virtual ඇඩැප්ටරය (vboxnet0)
- Virtual machine එක තුළ vboxnet0 සඳහා නිර්මාණය වෙන virtual ඇඩැප්ටරය
මේ පාලම්ගත ජාලය වැඩ කරන්න පුළුවන් වෙන්නේ bridge එකේ දෙපස තියෙන ජාල දෙකේම subnet mask සමාන වුණොත් විතරයි. ඒකට හේතුව ටිකක් දීර්ඝව විස්තර කරන්න සිද්ධ වෙන නිසා මෙතන ලියන්නෙ නැහැ -- විකිපීඩියාවෙ ඒ ගැන තියෙන ලිපිය කියවන්න. එහෙම නැත්නම් එක ජාලයකට අනෙක හඳුනාගන්න බැරි වෙනවා. vboxnet0 ට අදාළ ජාලයෙ සැකසුම් ස්වයංක්‍රීයව DHCP මගින් සකස් වෙන නිසා විශේෂිතව සකසන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. කළ යුත්තෙ subnet mask එක බලා ගන්න එක. ඒක කරන්න ifconfig vboxnet0 විධානයෙන් පුළුවන්. එහෙමත් නැත්නම් virtual machine එකේ control panel එකට ගිහින් බලා ගන්නත් පුළුවන්.
ඉතින් මෙන්න මේ අගයයන් තමයි DHCP මගින් සකස් කර දීල තිබුණෙ:
- VIrtual machine එක තුළ වින්ඩෝස් - IP: 192.168.56.3, Subnet Mask: 255.255.255.0
- ලැප්ටොප් එකේ vboxnet0 - IP: 192.168.56.1, Subnet Mask: 255.255.255.0
ඊළඟට ඩෙස්ක්ටොප් පරිගණකයෙත් මගේ ලැප්ටොප් එකෙත් ethernet සකස් කරන්න ඕනේ.
- ඩෙස්ක්ටොප් පරිගණකයෙ Control Panel එකේ Network Connections වලට ගිහින් අදාළ connection එකේ සැකසුම් සකස් කළා -- IP: 10.16.32.202, Subnet Mask: 255.255.255.0
- ලැප්ටොප් එකේ - # ifconfig eth0 10.16.32.201 netmask 255.255.255.0 up
කොළඹ සරසවියෙ අපි හොඳට දන්න කියන වැදගත් සර්වර් එකක් internal network එකේ 10.16.32.201 ලිපිනයෙ තියෙනවා. ලැප්ටොප් එකට මතක තියාගන්න පහසු IP එකක් දාන්න හිතුණු නිසා ඒකම දැම්මා. ;) මොකද මේ ජංජාලෙ ගෙදරදි විතරයිනෙ.
වින්ඩෝස් වල My Computer right click කරලා Properties ගිහින් Remote Desktop සැකසුම් හදා ගන්න පුළුවන්. ඒ ගැන මෙතන විස්තර කරන්නෙ නෑ. බොහොම සරල කාරියක් නිසා. ඉතින් virtual machine එකේ ඉඳන් Remote Desktop Viewer ක්‍රියාත්මක කරලා IP ලිපිනය විධියට 10.16.32.202 ලබා දුන්නා. ඒ කිව්වෙ ඩෙස්ක්ටොප් පරිගණකයෙ IP එක.
මගේ වුවමනාව තිබුණේ GTA සෙල්ලම් කරන්න. ඉතිං GTA දාලා බැලුවා... ම්හූ.. වැඩ නෑ. :( වීඩියෝ මතක ප්‍රමාණය මදිලු. හැබැයි කමක් නෑ ඒකට.. අළුත් දෙයක් අත්හදා බලන්න ලැුබුණනේ. :) GTA සෙල්ලම් කළා කියල ලැබෙන දෙයක් නැහැ නොවැ.
පසු වෙලාවක නිකමට අන්තර්ජාලයෙ විපරම් කරල බලද්දි මෙන්න මේ දේවල් දැනගන්න ලැබුණා:
- Ubuntu වල ජාලකරණ සැකසුම් සකස් කරන්න හොඳ GUI ටූල් එකක් තියෙනවා... ඒකෙ නම Firestarter (# apt-get install firestart) හැබැයි මම ඇත්තටම කැමති නෑ මේකෙන් වැඩ කරන්න. එතකොට ඇතුළෙ මොන මොනව වෙනවද කියල මං දන්නෙ නෑනෙ.
- Ubuntu වල ඉඳලා වින්ඩෝස් මැසිමකට ආවේශ වෙන්න TightVNC මෘදුකාංගයෙන් පුළුවන්.
ඉතිං... ආපහු මොනවහරි දෙයක් අරගෙන ඉඩකඩ ඇති වෙලාවක මේ පැත්තෙ එන්නං... ciao!
අළුතෙන් මේ ටිකත් එකතු කළා (2009-10-02)
මේ බ්ලොග් ලිපිය ලිව්වේ කලබලෙන්... ඉතිං මේ මොඩල් එක පැහැදිලි කෙරෙන පිංතූරයක් දාන්න බැරි වුණා. මෙන්න උණු උණුවෙම GIMP වලින් හදලා දැම්මා... පිංතූරෙ පැහැදිලි මදි නම් ඒක ක්ලික් කරලා බලන්න පුළුවන්. :)
Ciao!
෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴