Sunday, November 8, 2020

පොළොස් මාලුවේ කතාව

Vintage picture of a smiling Ceylonian man with a jackfruit.
Image courtesy: Lankapura.com
මගේ යාළුවෝ ගොඩක් දෙනා (අන්තර්ජාලය ඔස්සේ හඳුනාගත් අයත් ඇතුළුව) දන්නවා මම දැන් ලංකාවේ නෑ කියලා. මුලින්ම ඒ ආගිය කතාවෙන් පටන් ගන්නම්. අවුරුදු දෙකකට විතර ඉස්සර මම විදේශගත වුණා. සාමාන්‍යයෙන් ලංකාවෙන් පිට වෙන ගොඩක් අය ඒ යන ගමනත් එක්කම උයන්න පිහන්නත් ඉගෙනගන්නව. නමුත් මම ඒ දේ කළේ නෑ. ඒකට එක හේතුවක් වුණේ මෙහේට ආපු ගමන් මුල් දවස් වල තිබුණු අධික කාර්යබහුලකම. ඒක නිසා පහසුවට රෙස්ටුරන්ට් වලින් කෑම කන්න පුරුදු වුණා. අනික තමයි, තනියම ඉන්න මට කෑමක් උයාගන්න යන කාලයත් වෙහෙසත් සලකා බැලුවාම රෙස්ටුරන්ට් එකකට ටිකක් වැඩිපුර ගෙවලා කෑම ගැනීම ඇත්තටම ලාබයි. මට ලොකු වාසියකට තිබුණේ "කොත ගහලා" බත් කන පුරුද්දක් නොතිබුණු එක. ඒ නිසා යුරෝපීය ආහාර රටාවට හුරු වෙන එක මට මට ගොඩක් පහසු වුණා.

 

අවුරුද්දකුත් ගත වුණාට පස්සේ ආවා Covid-19 කියලා එකක්. මේ වසංගතයත් එක්ක මම ගෙදර රැඳෙන කාලය වැඩි වුණා. (ගෙදරටම හිර වුණා) ඒකෙන් ඇතිවෙන මානසික ආතතිය දුරු කරගන්නත්, දැන් උයන්න පිහන්න, අත්හදා බැලීම් ඕන එකකට කාලය තියෙන නිසාත් මම පොඩ්ඩ පොඩ්ඩ උයන්න ඉගෙන ගන්න තීරණය කළා. මුලින්ම ඉගෙනගන්න ඉව්වේ සරල පැස්ටා එකක්. ඒකෙන් තමා දැනුණේ මේ වැඩේ කරගෙන යන්න පුළුවන් කියල. තවත් මාස ගාණක් යද්දි ලංකාවේ කෑම වලින් මගේ ප්‍රියතම එකක් වෙච්ච පොළොස් මාලුවේ අඩුව මට දැනෙන්න ගත්ත. ඊට පස්සෙ තමයි තීරණය කළේ අඩුමකුඩුමත් ගෙනත් මේක කොහොම හරි උයනව කියල.


ඉතිං උයන්න දන්නෙ නැහැනෙ!


අම්මට කෝල් එකක් දීලා අහගත්තා පොළොස් හදන විදිය. මට ඒ රෙසිපියම ඕනා වුණේ පොළොස් ඒ රසට මම ලංකාවේ හොටෙල් එකකිංවත් කාලා නැති නිසයි. රෙසිපිය අහගත්තාට පස්සෙ තවත් අවුලක්. රම්පෙ, කරපිංචා, ගොරකා මෙහේ අහළ පහළක හොයාගන්න නෑ. ගොරකා වලට මේ රටේ භාෂාවෙන් නමකුත් නෑ. රම්පෙ කරපිංචා හොයාගන්න පහසු නැති නිසා මම ඒ වෙනුවට සුවඳ එන වෙනින් ජාතියක් (Italian herbs) පාවිච්චි කළා. අම්මා කියා දීපු රෙසිපියට අනුව කුරුඳු, ඉඟුරු, සුදුළූණු පොඩි වංගෙඩියක දාලා කොටන්න ඕනි. නමුත් මෙහේ අඹරපු කුළුබඩු ඉතා පහසුවෙන් ගන්න පුළුවන් නිසා මට ඒ ස්ටෙප් එක මගඅරින්න පුළුවන් වුණා. ලංකාවෙන් එන ඉස්තරම් පොල්කිරි තියෙනවා ටින් කරලා. ඉතිං එතනිං එහාට වැඩේ හරි ලේසියි. පොළොස් මාලුව රසවත්ව උයාගැනීමේ රහස තමයි ගින්දර අඩු කර කර දිග කාලයක් රත් කරන එක.

 

ඉතිං අම්මා කියා දීපු ක්‍රමය පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා, අඩංගු ද්‍රව්‍ය වල සංයුතියත් ටිකක් වෙනස් කරලා, මෙහේ තියෙන පහසුකම් අනුව උයාගත්ත පිළිවෙල තමයි මම අද ලියන්නේ. මෙන්න මේවා තමයි මම පාවිච්චි කළ දේවල්:

 Jacky F. Young Jackfruit 400g - මේ ලංකාවෙන් ජර්මනියට ආනයනය කරලා යුරෝපයේ බෙදාහරින ඉස්තරම් පොළොස්. කොහොල්ලා බිඳක්වත් නෑ. මං ඉන්න රටේ මේ ටින් එකක් යුරෝ 3.50යි (ලංකාවේ මුදලින් රුපියල් 750 පමණ).

A can of Jacky F. Young Jackfruit in Brine

Fairtrade Coconut Milk 270ml - මේකත් ලංකාවේ නිෂ්පාදනයක්. (පෞද්ගලික ප්‍රතිපත්තියක් හැටියට මම ලංකාවෙන් ආනයනය කරන දේවල් තමයි හැකිතාක් මිළදී ගන්නේ)

 


මේ තේ හැඳි වලින් මිම්ම දාලා තියෙන කුළුබඩු ඔක්කොම අඹරපු ඒවා. පව්ඩර් එක විදියට ගන්න එක පහසුයි. එහෙම නැති ඒවා තියෙනවනං අඹරාගන්න ඕනේ කලින්.

  • කරි පව්ඩර් (තුනපහ වෙනුවට) තේ හැඳි 1 - තේ හැඳි කිව්වම අපි තේ හදන්න එක එක සයිස් තේ හැඳි පාවිච්චි කරනවනේ. මේක එහෙම නෙමේ. හරියටම මිලි ලීටර් පහයි.
  • මිරිස් කුඩු තේ හැඳි බාගයයි
  • සුදුළූණු කුඩු තේ හැඳි එකහමාරයි
  • කහ තේ හැඳි බාගයයි
  • ලංකා කුරුඳු කුඩු තේ හැඳි කාලයි
  • අබ කුඩු තේ හැඳි කාලයි
  • ඉඟුරු කුඩු තේ හැඳි කාලයි
  • කරාබුනැටි තේ හැඳි කාලයි
  • කරදමුංගු තේ හැඳි කාලයි
  • තුනී තීරු වලට කපාගත් රතුළූණු සහ සුදුළූණු බික් 1ක් හෝ 2ක්
  • ඔලිව් තෙල්
  • Italian herbs
  • දෙහි
 

Picture of all ingredients before cooking
(මේ පින්තූරය ඉහත කියලා තියෙන විස්තරයට වඩා යන්තමින් වෙනස්)


ක්‍රමය:

මුලින්ම මිරිස් තුනපහ බැදගන්න ඕන. ඒක ඉතිං ලංකාවේ අයට අමුතුවෙන් විස්තර කරන්න ඕනි නැහැනේ.

ඊට පස්සෙ ඒකට අනිත් කුළුබඩු කුඩු ටික මිශ්‍ර කරගන්නවා.

ටින් එකේ පොළාස් තියෙන්නෙ බ්‍රයින් ද්‍රාවණයක. බ්‍රයින් කියන්නෙ සැලකිය යුතු ප්‍රමාණයක් ලුණු වතුර. බ්‍රයින් ටික මම වෙනම වතුර වීදුරුවකට එකතු කරගන්නවා.

පොළොස් කෑලිත් දෙකට කපාගන්න ඕනා. එතකොට කුළුබඩු වල රසය පොළොස් වලට උරාගැනීම පහසු වෙනවා.

මේ පොළොස් කෑලි එකින් එක අරන් අර කුළුබඩු මිශ්‍රණය ඒවායෙ වටේම හොඳින් තවරලා පැත්තකින් තියනවා. විනාඩි 5ක් විතර තිබුණම ඇති.

Young jackfruit seasoned with spices mix.

දැන් තමයි ගින්දරත් එක්ක සෙල්ලම පටන් ගන්නේ. මෙහේ මැටි හට්ටි, දරලිප් (තියා ගෑස් ලිපක්වත්) නෑ. නොන්ස්ටික් පෑන් එකයි ඉලෙක්ට්‍රික් ස්ටෝව් එකයි තමයි මට තියෙන්නෙ.

ඔලිව් තෙල් වලින් රතුළූණු, සුදුළූණු බැදගන්න ඕනා පාට වෙනස් වෙන්න පටන් ගන්නකම්. ඊට පස්සෙ ඒකට දානවා අර කුළුබඩු තැවරූ පොළොස් කෑලි.

The curry is being cooked.
 

කුළුබඩු මිශ්‍රකළ භාජනයෙත්, පොළොස් කැබලි තිබුණු භාජනයෙත් තැවරිලා තියෙන කුළුබඩු මිශ්‍රණය බ්‍රයින් ටිකකින් හෝදලා ඒකත් පෑන් එකටම එකතු කරගන්නවා. අපතේ යවන්න හොඳ නැහැනෙ!

ඒ පිටටම පොල් කිරි ටින් එකත් එහෙම්පිටිම්ම වක්කරලා, ඉතුරු බ්‍රයින් ටිකත් එකතු කරගත්තාම ලුණු දාන්න ඕනත් නෑ. පොල් කිරි තුනී කරන්න අමුතුවෙන් වතුර එකතු කරන්න ඕනත් නෑ. Italian herbs තේ හැන්දක් පමණත් එකතු කරගන්න ඕනේ සුවඳ එන්න.


පළවෙනි විනාඩි පහළොව මැද ගින්දරේ උයන්නේ. සැරින් සැරේ හැඳිගානවා.

ඊට පස්සෙ ගින්දර අඩු කර කර සම්පූර්ණ කාලය විනාඩි 45ක් වෙනකම් වරින් වර හැඳිගාන ගමන් උයාගන්නවා. මෙහෙම උයනකොට පොළොස් මාලුවේ පාට පොඩ්ඩ පොඩ්ඩ අඳුරු පාටට හැරෙනවා. ඒක සාමාන්‍යයි. ලංකාවේ අපේ ගෙදර හදන පොළොස් එකත් සාමාන්‍යයෙන් හොටෙල් වල තියෙන පොළොසට වඩා අඳුරු පාටයි හැබැයි පදම නියමයි.

Still cooking, but closer to finish line.

මේකේ රහ තියෙන්නේ ගොඩක් වෙලා රත් කරන එකේ. විනාඩි 35 පනිනකොට තෙල් බිඳිති මතු වෙනවා. මට හිතෙන්නේ පොල්කිරි වලින් කොටසක් තෙල් වෙනවා කියලයි. මේ තෙල් කොටස හිඳෙන්න ගන්නකොට තමයි පොළොස් එකේ මං ආස කරන රසය මතු වෙන්නෙත්.

ලිපෙන් බාගත්ත පොළොස් එක පොඩ්ඩක් නිවෙන්න ඇරලා රස පදම තමන් කැමති ගානට දෙහි එකතු කරලා හැඳි ගාන්න ඕන. මම නං දාන්නෙ දෙහිගෙඩි කාලක යුෂ.

අම්මා නම් කියන්නෙ අද රෑට උයලා තියල හෙට උදේ කන්න කියලා. එතකොට තවත් රසයි. ඒ වුණාට මෙච්චර මහන්සි වෙච්ච එකේ ඒකෙං ඩිංගක් නොකා පුළුවනෙයි. ඉතිරි හරිය ෆ්‍රිජ් එකේ දාලා දවස් තුනක් විතර තියාගන්න පුළුවන්.

The end result. Cooked young jackfruit in a dinner plate.
මහන්සියේ ප්‍රතිපලය. ඉන්ස්ටග්‍රෑම් ෆිල්ටර් මොකුත් නැති ඔරිජිනල් පිංතූරයකි.

 

ඉතාම ප්‍රණීතයි!

 

ඉතිරි පොළාස් ශීතකරණයෙන් එළියට අරන් ආපහු රත් කරද්දි - මයික්‍රෝවේව් කරනවා නං - ඝන වෙච්ච පොල්තෙල් ටික දියවෙනකම් ටිකක් වෙලා තියලා මයික්‍රෝවේව් කරන්න ඕනා.

මේක කන්න මම එක්කෝ බත් මිටක් උයාගන්නවා. එහෙම නැත්තං ගෙදරම බේක් කරගනිපු පිටා පාන් (flatbread).

ඔන්න ඔහොමයි ලංකාවේ සාම්ප්‍රදායික පොළොස් මාලුව යුරෝපීය රටක ඉඳන් මම හදාගත්තේ. ඉවුම් පිහුම් ඉගෙනගන්න පටන් ගත් ගමන්ම මගේ සීමිත අත්දැකීමෙන් මෙවැන්නක් හදාගත් එක මට ලොකු දිනුමක්! පොළොස් මාලුව මිරිස් අඩුවෙන් දාලා රසපදම තව ටිකක් ෆයින් ටියුන් කරලා අරන් යුරෝපීය මිතුරන් එක්ක බෙදාහදාගැනීම තමයි මගේ ඊළඟ ස්ටෙප් එක.


5 comments:

  1. mata thibba lokuma getaluwa une mula tika kiyavagena yanakota ohe koheda polos kiyala. pallehata balagena yanakota thmama dekke tin karapu polos.

    ReplyDelete
    Replies
    1. පොළොස් මෙහෙ නෑ. දකුණු ආසියාතික රටවල් වලින් ගේන ඒවා තමයි. ලංකාවට අමතරව තායිලන්තයෙන් සහ ඉන්දුනීසියාවෙන් ආනයනය කරනව.
      😁

      Delete
  2. Patta shakunthala aiya ❤️❤️ thawa kamak hadamu oya wage well done

    ReplyDelete
  3. මමත් රට ආපු දවස් වල උයන්න දන්ලෙ අලයි සම්බෝලයි විතරයි. දැන් නම් ඕන දෙයක් උයන්න පුලුවන්

    ReplyDelete

Facebook ප්‍රතිචාර