Monday, March 30, 2009

මේ දවස් වල අහන ඒවා...

මට පරණ සිංදු ටිකක් ලැබුණා අහන්න... 80-90 අවුරුදු වල ජනප්‍රිය වුණු බටහිර ගීත කීපයක්. මේවයින් සමහර ඒවා දැන් ඇහෙන්නෙම නෑ... ඉතිං මට හිතුණා මේක අනෙක් අයත් එක්ක බෙදා හදා ගන්න. මෙන්න එයින් මම කැමතිම දහය.



10. Boy George - Everything I Own
09. Samantha Fox - Touch me
08. Mystic - Ritmo de La Noche
07. Bobby McFerrin - Don't Worry Be Happy | මේකත් බලන්න.

06. Sandra - In the Heat of the Night


මෙයාගෙ පෙනුම නං ටිකක් විතර anime කාටුන් එකක් වගේ. කටහඬ නම් උපරිමයි.

05. Fern Kinney - Together We Are Beautiful



04. Kim Wilde - Little Kids in America



03. Whigfield - Think of You


මෙයාගෙත් කටහඬ නම් උපරිමයි... දැං ඉතිං ආන්ටි කෙනෙක් නේ...

02. Whigfield - Sexy Eyes


මෙය ත් එම ම තමයි.

01. Metallica - For Whom the Bell Tolls


මේක මගේ ලිස්ට් එකේ #1. ටිකක් ඝෝෂාකාරී තමයි... ;) ඒ වුණාට මරු සිංදුව. අර අකුරු හතරෙ ඉංගිරිසි වචනෙ නැතුව සිංදුව ලස්සනට ගලාගෙන යන වීඩියෝ එකක් හොයාගන්න ටිකක් අමාරු වුණා. මේකෙ ඒ වචනෙ නෑ.. බය නැතුව හොඳට surround දාගෙන අහන්න, එතකොටයි ආතල් එක. ;)

අර්නස්ට් හෙමිංවේ විසින් රචිත For Whom the Bell Tolls නවකතාවේ එන සිද්ධියක් ලු මේ ගීතයෙ තේමාව වෙලා තියෙන්නෙ. චිත්‍රපටයකුත් තියෙනවා, ඒත් දන්න අය කියන්නෙ ඒක වැඩක් නෑ පොත හොයාගෙන කියවන්න කියල.

කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනං කරුණාකර කියන්න මේ පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවද කියල... තාක්ෂණික දේවල් හැර කඩ්ඩෙන් ලියපු වෙනත් දෙයක් කියවන්න මම ටිකක් කම්මැලියි. :P

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Friday, March 27, 2009

හාඩ් ඩිස්ක් ගැන කතා දෙකක්...

අහම්බෙන් වගේ හිතුණා මේ කතා දෙක ලියන්න. පළවෙනි එක... sda5 ගැන. ලිනක්ස් සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති දෙකම එකවර පාවිච්චි කරන අය දැකල ඇති... වින්ඩෝස් වලදි D: ලෙස හඳුන්වන partition එක ලිනක්ස් වලට ගියාම sda5 වෙනවා. C: එක sda1 වෙද්දි D: එක ඇයි sda5 වෙන්නෙ? හේතුව බොහොම සරලයි.

ඕනම හාඩ් ඩිස්ක් එකක එහි ගොනු පද්ධතිය (filesystem) හඳුනාගන්න ලේබලයක් තියෙනවා. මේ කියන්නෙ ‍වින්ඩෝස් වල partition එකෙන් partition එකට අපට පෙන්නන ලේබල් නෙවෙයි. මේ කියන disk label එක සාමාන්‍ය පරිශීලකයන්ගෙන් සඟවා තිබෙන එකක්. මගේ පසුගිය සටහන කියෙව්වනං දකින්න ඇති msdos කියල ලේබල් එකක් ගහන හැටි. වින්ඩෝස් පාවිච්චි කරනව නම් මේ ලේබලය අනිවාර්යයෙන් msdos විය යුතුයි. ඉතින් මේ msdos ඩිස්ක් එකක ගොනු පද්ධති ව්‍යූහය දැනගත්තම මේ sda5 සිද්ධිය හිතාගන්න පුළුවන්. ඇත්තටම... too obvious.
  • msdos තැටියක් කොටස් වලට බෙදන්න හෙවත් partition කරන්න පුළුවන්.
  • Partitions ප්‍රධාන වර්ග දෙකයි. Primary සහ Logical.
  • උපරිම වශයෙන් primary partition හතරක් තිබිය හැකියි. අවම වශයෙන් එකක් හෝ තිබිය යුතුයි.
  • Primary partition වලින් එකක් පමණක් එහි විශේෂ ආකාරයක් වන Extended ආකාරයෙන් තබා ගත හැකියි.
  • Extended - නමින් අරුත් ගැන්වෙන ලෙසම, ඉහත කී දෙවන වර්ගයේ partition සියල්ලම පවතින්නේ මේ primary partition එක 'තුළ' යි.
  • Extended partition එක Logical partitions නම් උප කොටස් කැමති ගණනකට බෙදිය හැකියි.
  • වින්ඩෝස් partition පිළිබඳ දත්ත වගුව තබා ගැනීමට අවසානයේ 7.8 MB ඉඩක් වැය වෙනවා. මෙය භාවිතා නොකළ ඉඩ ලෙසයි සලකුණු කර තබන්නේ.
අපි Windows XP Setup පාවිච්චි කරල හාඩ් ඩිස් එකක් කොටස් වලට බෙදනකොට මොකද වෙන්නෙ? මුලින්ම C: එක හදනවා. ඒක primary. ඊළඟට හදන්නෙ D: එක. ඒක හදනකොට ස්වයංක්‍රීයව දෙවෙනි primary partition එක හෙවත් extended partition එක නිර්මාණය වී ඒ මත පළමු logical partition එක නිර්මාණය වෙනවා. Windows 98 සමඟ එන fdisk.exe උපයෝගීතා යෙදුම පාවිච්චි කරල තියෙනව නම් දන්නව ඇති -- එහිදී මේ ස්වයංක්‍රීවය සිදු වන පියවරත් අපටමයි කරන්න වෙන්නෙ.

ලිනක්ස් වලට ආවම... මේ /dev යටතේ ඇති sda1 සිට sda4 දක්වා primary partition වලට වෙන් කර (reserved) තැබෙනවා. sda5 සිට ඉතිරිය logical partitions වලට වෙන් වෙනවා. Extended partition එකක් යනු වෙනත් partitions දරා සිටින්නක් නිසා එහි ඇති ගොනු කෙළින්ම බලන්න අවකාශ ලබා දෙන්නෙ නෑ -- ඒ තුළ ඇති partition එකින් එකට ගොස් බලන්න පුළුවන් නිසා. ඒ නිසා sda2 හෙවත් extended partition එක mount කරන්න බැහැ. මම නම් උත්සාහ කළා. බැරි වුණා. පුළුවන් නම් කරල බලන්න. ඒ නිසා පළමු logical partiton එක හෙවත් D: තමයි mount කරන්න පුළුවන්. ඒක /dev/sda5.


root@shaakunthala-laptop:/home/shaakunthala# cd /media/
root@shaakunthala-laptop:/media# mkdir extended
root@shaakunthala-laptop:/media# mount -t extended /dev/sda2 /media/extended/
mount: unknown filesystem type 'extended'
root@shaakunthala-laptop:/media#


ඔය ඉහළින් තියෙන්නෙ මගේ අසාර්ථක උත්සාහය. -t වලට දාන්නෙ මොකක්ද කියල තමයි පුරස්නෙ.

ඉතින්... පහේ ඉලක්කමට හේතුව... දැන් පැහැදිලියි නේද?



පළවෙනි එක ඇත්තටම කතාවක් නෙවෙයි... එක්තරා සංසිද්ධියක්... මෙන්න අළුත්ම නිව්ස් එක... හෙවත් දෙවෙනි කතාව ;)

මෙතෙක් කාලයක් අපි ලිනක්ස් ස්ථාපනය කළේ ext-3 පාටිෂන් වල නේ... ඔන්න දැන් ext-4 එනවා. අප්‍රේල් මාසයේ නිකුත් වෙන්න නියමිත Ubuntu 9.04 නොහොත් Jaunty Jackalope සංස්කරණයේත්, මැයි මාසයේ නිකුත් වෙන්න නියමිත Fedora 11 Leonidas සංස්කරණයේත් පෙරනිමි දෘඩ තැඩි ආකෘතිකරණ ක්‍රමය ext-4. ඒ මත තියෙන්න පුළුවන් ගොනුවක උපරිම ප්‍රමාණය දන්නවද? ටෙරාබයිට් 16ක්! පිස්සු හැදෙන සඳ කිව්වලු. Partiton එකක උපරිම ප්‍රමාණය එක්සාබයිට් එකක් ලු. උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන කාලේ යාන්තම් මතකයි ඔහොම එකක් ගැන කිව්වා... කිලෝ.. මෙගා.. ගිගා.. ටෙරා.. පෙටා.. එක්සා.... හරි.. දැන් මීටර් වුණා. ඉතින් විශාල ගොනු හුවමාරු (file share) කරගන්න සර්වර් එකකටම හොඳා. දැන් DVD ගෙඩි පිටින් ඩවුන්ලෝඩ් දෙන කාලේ.. තව ටික කාලෙකින් Blu-Rayත් ගෙඩි පිටින් (iso? images) බාන්න දෙයිද දන්නෙ නෑ. මාර ලෝකයක්!

Fedora 11 Alpha නිකුතුවත් එක්ක ඔන්න තව පරීක්ෂණ මට්ටමේ තියෙන තැටි ආකෘතිකරණ ක්‍රමයකුත් එනවලු. මේකෙ නම btrfs. බොහෝ විට ext4න් පසුව භාවිතයට එක මීළඟ ක්‍රමය මෙය වෙන්නත් පුළුවන් කියල හිතෙනවා. btrfs පාටිෂන් එකක උපරිම ප්‍රමාණය එක්සාබයිට් 16ක්! දත්ත වල ආරක්ෂාවට සහ නිර්වද්‍යතාවයට (integrity) වැදගත් වෙන තව ගොඩක් උපක්‍රමත් සහිතවයි btrfs ගොඩනැගෙන්නෙ. Fedora 11 දැන්ම ගත්තට කමක් නෑ... කවුරුවත් btrfs අත්හදා බලන්න එපා... virtual machine එකක හැර. අනෙක... SELinux එක්ක btrfs පොඩි පරහකුත් තියෙනවලු.

මෙන්න වැඩි විස්තර:
http://www.wikipedia.org
https://fedoraproject.org/wiki/Fedora_11_Alpha_release_notes#Ext4_File_System
https://fedoraproject.org/wiki/Fedora_11_Alpha_release_notes#Btrfs_File_System
http://www.ubuntu.com/testing/jaunty/beta#Ext4%20filesystem%20support

(මෙම සටහන නිකංම විකිපීඩියා කොපි-පේස්ට් කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න... විවිධ මූල වලින් කියවා අත්හදා බලා අවබෝධ කරගෙන නැවත ලිවීමක්... :) )

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Tuesday, March 24, 2009

USB දත්ත උපාංග ධාරිතාව සම්බන්ධ ගැටළු

අද බොහොම කෙටි සටහනක් ලියන්න හිතුණා. හැබැයි තාක්ෂණික සටහනක්. USB flash drives/ pen drives පාවිච්චි කරන අයට පොඩි ටිප් එකක්.

මම මුලින්ම පොඩි ඩිස්ක්ලේමරයක් දාගන්නවා. මේ උපදෙස් පිළිපදින්න ගිහින් ඔබේ පරිගණකයට, වටිනා දත්ත වලට සිදුවිය හැකි හානි ගැන වග කියන්න මම බැඳී නැති බව. මේවා හැකි තාක් පැහැදිලිව කියා තිබෙනවා. තේරුම් ගන්න අපැහැදිලි තැනක් තියෙනව නම් මේක නොකර ඉන්න එක හොඳයි.

සමහර වෙලාවට ඔබ දැක ඇති මේ USB drives වල ධාරිතාව නියමිත ප්‍රමාණයට අඩුවෙන් පෙන්වනවා. මම කියන්නෙ අළුත් 4 GB pen එකක ධාරිතාව 3.77 GB කියල පෙන්වන එක ගැන නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක්. අපි හිතමු 3.77 GB කියල කලින් දක්වපු pen එකක ධාරිතාව කලකට පසුව පෙන්වන්නෙ 1.2 GB කියල... ඔන්න එතකොට නම් අවුලක් තියෙනවා.

තවත් සමහර වෙලාවන් තියෙනවා pen එක හරියට හඳුනාගන්නෙ නෑ මෙහෙයුම් පද්ධතිය මගින්. වින්ඩෝස් වල දී නම් "Insert disk..." වගේ පණිවුඩයකුත් පෙන්වනවා. මේකට විසඳුමක් තමයි අද කියන්න යන්නෙ.

මෙහෙම වෙන්න හේතුව pen එකට භෞතිකව (භෞතික හානි කිවුවම ඉලෙක්ට්‍රොනික නොවන විද්‍යුත් වශයෙන් ඇති වන හානිත් අදාළයි) හෝ ‍ඉලෙක්ට්‍රොනිකව සිදු වූ යම් හානියක් විය හැකියි. මීට හේතුවක් ලෙස වයිරස් ද අපට සැක කරන්න පුළුවන්. ඉතින්,... හානිය බරපතල නම් අද දෙන විසඳුම හරියන එකක් නෑ. මේක මම සාර්ථකව අත්හදා බලල තියෙනවා. නමුත් අදත් එකක් කරන්න උත්සාහ කළා. හරිගියේ නෑ. :(

ඉතින්... වැඩේ දුවන්නෙ ලිනක්ස් උඩ. නිදහස්... විවෘතයි... හැබැයි භාරදූරයි. Pen එකේ දැනට තියෙන ගොනු කියවන්න පුළුවන් නම් මුලින්ම ඒ අවශ්‍ය දේවල් ටික backup කරගන්න. අපි ඒක format කරන්නයි යන්නේ...!
මුලින්ම terminal window එකක් විවෘත කරගෙන පහත දැක්වෙන විධාන එකින් එක ඇතුළත් කරන්න.

su
fdisk -l (පරිගණකයට සම්බන්ධ කර ඇති සියළුම ලිවිය හැකි දත්ත උපාංග පිළිබඳ තොරතුරු මෙයින් පෙන්වනවා)

දැන් තිරයේ දැක්වෙන තොරතුරු මගින් අදාළ උපාංගය හඳුනාගන්න. එහි Device යටතේ ඇති path එක සටහන් කරගන්න. පහත දී ඇති උදාහරණයේදී එය /dev/sdb1 වෙයි.

උදා:

root@shaakunthala-laptop:~# fdisk -l

Disk /dev/sda: 120.0 GB, 120034123776 bytes
255 heads, 63 sectors/track, 14593 cylinders
Units = cylinders of 16065 * 512 = 8225280 bytes
Disk identifier: 0x972ffaf0

Device Boot Start End Blocks Id System
/dev/sda1 * 1 2886 23181763+ 7 HPFS/NTFS
/dev/sda2 2887 14592 94028445 f W95 Ext'd (LBA)
/dev/sda5 2887 12602 78043738+ 7 HPFS/NTFS
/dev/sda6 14414 14592 1437786 b W95 FAT32
/dev/sda7 12603 13439 6723171 83 Linux
/dev/sda8 13440 13537 787153+ 82 Linux swap / Solaris
/dev/sda9 13538 14413 7036438+ 83 Linux

Partition table entries are not in disk order

Disk /dev/sdb: 2063 MB, 2063597568 bytes
16 heads, 32 sectors/track, 7872 cylinders
Units = cylinders of 512 * 512 = 262144 bytes
Disk identifier: 0xcefd5c21

Device Boot Start End Blocks Id System
/dev/sdb1 * 1 7872 2015216 b W95 FAT32
root@shaakunthala-laptop:~#

  • /dev/sdb, /dev/sdb1 - මේ තැන් වලට ඔබට ලැබෙන ප්‍රතිපල මතක තබාගන්න.


umount /dev/sdb1
parted
select /dev/sdb     (මේක කරන්න අමතක වුණොත් නම් විනාසයි!!!)
print    (pen drive එක මත ගොනු පද්ධතියේ තත්වය මෙයින් බලාගන්න පුළුවන්)
mklabel    (බය නැතුව yes කියන්න, new label type එක විධියට msdos කියන එක දෙන්න.)
print    (දැන් මෙහි Disk /dev/sdb: යටතේ දැක්වෙන අගය වෙනම සටහන් කරගන්න. මෙම උදාහරණයේදී එය 2063 MB වුණා.)
mkpartfs
  • Partition type: primary
  • File system type: fat32 (වින්ඩෝස් - ලිනක්ස් දෙකටම හරියන්න FAT පාවිචිචි කරමු)
  • Start: 0
  • End: 2063 MB

quit
exit


දැන් අළුත් partition එකක් නිර්මාණය වී එය ස්වයංක්‍රීයවම mount වේවි. :)
සමහර විට ගැටළු වලට පිළියම් ලැබී තියේවි. මම මීට කලින් අත්හදා බැලූ වාර තුනකදි දෙවරක් සාර්ථක වෙලා තියෙනවා.

ඉතින්... ඕකයි ක්‍රමය. මේක ම සමහර විට පුළුවන් ඇති gparted වලින් කරන්න. මම ඒක බැලුවෙ නෑ. නමුත් GUI නැති ලිනක්ස් යෙදුමක සරල බව විඳින්න parted අපූරුයි.

මේක නැවත වාරයක් අත්හදා බලන්න මට ද්‍රව්‍යමය වශයෙන් ආධාර සැපයූ අපේ බැච් එකේ රනාට මගේ ප්‍රණාමය. :D

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Monday, March 23, 2009

අළුත් සෙමෙස්ටරය සහ එහෙන් මෙහෙන් ටිකක්

අද එව්වා මෙව්වා ටිකක් ලියන්න හිතුවෙ මම මෑත ලියූ බ්ලොග් සටහන් ටිකේ තාක්ෂණික මාතෘකා ටිකක් ඇදල ගත් නිසා. ටිකක් විවිධත්වයකුත් තිබුණාවේ... මගේ බ්ලොග් එකේ ආදර්ශ පාඨය මොකක්ද?

මගේ දිවියේ අත්දැකීම්, දින සටහන්, ඇසූ පිරූ තැන්, ආතල් සීන්, මෙකී නොකී තවත් දෑ...

ඔන්න ඔය වාක්‍යය ඇතුළෙ තියෙන ආතල් එක ගන්න තමයි මම බ්ලොග් එක ලියන්නේ... ආදර්ශ පාඨය කෙසේ වෙතත් මම වැඩියෙන්ම ලියන්නෙ තාක්ෂණික දේවල්. වැඩේ ආතල්ද ඉතින්? සිරාවටම ආතල්... මම ලියන දෙයින් කවුරු හරි ප්‍රයෝජනයක් ගන්නවා කියල දැනෙන හැම වෙලාවකම අමුතු සතුටක් දැනෙනවා. (මේ සටහනෙන් කාටවත් ගන්න ප්‍රයෝජනයක් නැති එක ඉතිං වෙනම කතාවක් :D )



හරි. එමුකො මාතෘකාවට... කැම්පස් එකේ අපේ හතර වෙනි සෙමෙස්ටරය (මේකට සිංහලෙන් කියන්නේ සමාසිකය කියල, ඒ වුණාට හුරු පුරුදු සෙමෙස්ටරය කියන වචනෙම පාවිච්චි කරනවා) පටන් ගෙන දැන් ටික දවසක් වෙනවා. ටික දවසක් කිව්වෙ සති තුනක් විතර. අපට මේ සෙමෙස්ටරයෙ තියෙනවා...
  • Special Topics in Computer Science
  • Information System Security and Audit (මං ආසම එක ;) )
  • eBusiness Technologies and Applications
  • Business Process Re-Engineering
  • Digital Fine Arts
  • Software Development Project
  • Industrial Visits
  • IT Project Management
ඔය කැමතිම එකක් ගැන කියල තියෙන්නෙ අනිත් ඒවට අකමැතිව නෙවෙයි. IS Security අමුතුම කික් එකක් දෙන්නෙ... මං අත්හදා බලන ගැජමැටික්ස් ගැන දන්නෝ දනිති!

IS Security ගැන කිව්වම මතක් වුණේ... මේ ළඟදි දවසක යාළුවෙකුට crypto කුප්පියකුත් දැම්මා... පොරට ඒක නියමෙට වැදිලා... මට මාර සතුටුයි. ළඟදි දවසක සෙට් වුණොත් දානව තවත් අයට. ඒ විෂය කොටස හරිම සිත්ගන්නාසුළුයි. හිතුණොත් ඒ කුප්පිය කාටත් තේරුම් ගන්න පුළුවන් වෙන්න සරල විධියට ලියල දානව බ්ලොග් එකේ. හොඳයි නේද?

අනිත් එක Special Topics in Computer Science. මේ දවස් වල කරන්නෙ Neural Networks and Fuzzy Logic. මම පොඩි දවස් වල TV එකේ Knight Rider බලල හිතුව ඇත්තටම මෙහෙම එකක් ඇති කියල. පස්සෙ කාලෙක කල්පනා කළා... කම්පියුටර් කොහොමද හිතල තීරණ ගන්නේ? ඒත් දැන් මට හිතෙනවා... දැනෙනවා... කෘත්‍රිම බුද්ධිය කියන දේ අනාගතයෙ (හෝ දැනටමත්) තියෙන්න පුළුවන් දෙයක් කියල. අපි කවදාවත් නොහිතපු දේවල් කරන්න පුළුවන් ඒ න්‍යායයන් පාවිච්චි කරලා. මං වැරදි නං කවුරු හරි නිවැරදි කරන්ටකෝ...

ඉතිං සිරිත් පරිදිම සතියයි ආතල් එකේ හිටියේ... ඔන්න එනවා assignments! එක පිට එක ලැබෙනකොට නිකං අප්සැට් වගේ වුණාට assignment එකක් කරලා ඉවර වුණාම දැනෙන සතුට කියා නිම කරන්න බැහැ.

ඉතින්... දැන් ආයෙම වැඩ වැඩ වැඩ වැඩි වේගෙන එනවා.



ඒ අතරේ... අපේ ජූනියර්ලා (අළුත් එවුන් කියන්න බෑ දැන් හොඳට හුරු පුරුදු මූණු... :P ) ඉදිරි දිනයක පවත්වන්නට නියමිත, UCSC එකේ වාර්ෂිකව සිදු කරන පිරිත් පින්කම වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ ගැන යමක් සඳහන් නොකර බැහැ. අපේ බැච් එකෙන් මීට අවුරුද්දකට කලින් කළ පිරිත් පින්කම සරසවි ඇදුරු මඬුල්ලේ ඇගයුමටත් ප්‍රසාදයටත් ලක් වුණ හැටි තාමත් එදා වගේ මතකයි. මේ සැරෙත් එය කෙරෙනවා දකින්න ඇත්තටම සතුටුයි. ජීවිතයට හොඳ අත්දැකීමක්. :)



ඊළඟ කතාව... අළුත් සෙමෙස්ටරයෙ අළුත් වැඩකට සෙට් වෙන්න හිතුවා... හීනියට වගේ ආසාවක් ඇති වෙලා තියෙනව Google Summer of Code එකට සහභාගි වෙන්ට. අද (මාර්තු 23) සිට ශිෂ්‍ය අයදුම්පත් භාරගන්නවලු. මේ වතාවෙත් අපට සහනයක් දෙන්න සහන එනව කියල ආරංචි වුණා. මෙන්න ඒ විස්තරේ. මගේ කොයි එකත් ඉවර වෙන්නෙ Foss Rocks කියාගනෙමයි... ඉතිං මෙන්න ආයෙත්... Foss Rocks පාරක්!

කැම්පස් කස්ටිය... පාසල් ළමෝ... මෙකී නොකී source code එක්ක සෙල්ලම් කරන ශිෂ්‍ය ප්‍රජාව GSOC යාමට සීරුවේන් සිටින්!



එහෙනම්... අදට ඇති. අනිවා ඊළඟට එන්නේ වැදගත් දේකුත් අරගෙනමයි... Ciao!

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Wednesday, March 18, 2009

Ubuntu / Windows අතර තොරතුරු හුවමාරුව

මගේ පසුගිය සටහන කියෙව්ව නම් දකින්න ඇතිනේ මම ආයෙම Ubuntu ස්ථාපනය කරගෙන තියෙනවා... ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් අපට කැම්පස් එකේ නොමිලයේ ලබා දෙන Wireless Internet පහසුකම ලබාගන්න Fedora මානකරණය කරන එක ටිකක් අපහසු වීම. දැන් අපට තියෙන assignments කන්දරාවෙ හැටියට ඕව හොය හොයා ඉන්න ටිකක් අමාරුයි. ඉතින් Ubuntu වලින් වත් සහනයක් ලැබෙයිද බලනවා. ඉතින් දැන් Fedora, Ubuntu, Windows triple boot. අනෙක, කලකට පෙර, මගේ බ්ලොග් එක කියවන චතුර සංදීප දාපු comment එකක්. රසික ඉල්ලීමක්. :P

VirtualBox හි host ලෙස Ubuntuත්, guest ලෙස Windows XPත් තබාගෙන ඒ මෙහෙයුම් පද්ධති දෙක අතර ගොනු හුවමාරු කරගන්න ක්‍රමය තමයි අහල තිබුණෙ. ඉතින්... මගේ ප්‍රධාන වැඩ කටයුතු ටිකත්, ලියන්න අළුත් මාතෘකා ලැබීමත් නිසා මේ ගැන ලියන එක ටික ටික ප්‍රමාද වුණා. ඔන්න අද ලියනවා... ;)



මේක කරන හැටි මම කොටස් හයකට බෙදල ලියන්නම්. එහෙම ලිව්වම තේරුම් ගන්න ලේසියි කියා හිතනවා.

පළමු පියවර:
දැනටමත් ඔබේ පරිගණකයේ Ubuntu තියෙනවා කියල මම හිතනවා. මම මේක කළේ 'මනුස්සකම කඳුකර එළු' සංස්කරණයේ (8.10) ඉඳගෙන. ඉතින් මුලින්ම terminal window එකක් විවෘත කරගෙන පහත විධානය ලබා දෙන්න.

sudo apt-get install virtualbox

(මෙගාබයිට 50කට නොවැඩි බාගැනීමක්)

දෙවන පියවර:
දැන් වින්ඩෝස් ස්ථාපනය සඳහා අළුත් Virtual Machine එකක් නිර්මාණය කරන්න. මම මේ සටහන ලියන්නෙ දැනටමත් VirtualBox පාවිච්චි කරන අය සඳහා නිසා ඒක කරන ක්‍රමය දැන් ලියන්නෙ නෑ. ඒ වුණාට මේ දේවල් වලට අළුත් අයටත් හැකිතාක් තේරුම් ගන්න පුළුවන් වෙන්න ලියන්නම්. ඒක කරන එක එච්චර දේකුත් නෙවෙයි -- facebook account එකක් හදනවට වඩා ලේසියි. :P

අළුත සාදාගත් Virtual Machine එකේ Settings වෙත ගොස් පහත දැක්වෙන තිරපිටපතේ පෙන්වා ඇති සැකසුම් සකසන්න. (පැහැදිලිව බලන්න රූපය මත ක්ලික් කරන්න)


Enable Network Adapter
Attached to NAT
Cable Connected
  • Shared Folders සඳහා සැකසුම් කිරීම අවශ්‍ය වෙන්නෙ නෑ.
තුන් වන පියවර:
සාදාගත් Virtual Machine එක මත Windows XP ස්ථාපනය කරන්න. ඒක ඉතින් කරන්න දන්න එක නේ... වින්ඩෝස් ස්ථාපනය කරල කරන්න සැකසුම් කීපයක් තියෙනවා. ඒවා එකින් එක පහත දක්වා තිබෙනවා.


මේක කරන්නෙ අපේ පහසුවට, ඕන වෙලාවක ජාල‌ සැකසුම් වල තත්වය බලාගන්න පුළුවන්



දැන් Windows Network Setup Wizard දක්නට ලැබේවි. එහි පහත දැක්වෙන සැකසුම් සකසමින් ඉදිරියට යන්න.
  • Select a connection method පියවරේ දී - This computer connects to the Internet through a residential gateway or through another computer on my network.
  • File and printer sharing පියවරේ දී - Turn on file and printer sharing

මෙහි Default Gateway ලෙස දක්වා ඇත්තේ Ubuntu ස්ථාපනය කර ඇති පරිගණකයේ, එනම් host OS ඇති පරිගණකයේ ඇති virtual network interface එකෙහි IP ලිපිනයයි. මේ උදාහරණයේදී එය 10.0.2.2 වෙයි. එය සටහන් කරගන්න.

දැන් Command Prompt එකේ පහත දැක්වෙන විධානය ලබා දෙන්න.

ping 10.0.2.2

(තද කළු අකුරින් තියෙන IP ලිපිනය වෙනුවට ඔබේ පරිගණකයේ IP ලිපිනය (Virtual Windows ස්ථාපිතය මගින් ලබා ගත්) සටහන් කරන්න)


මේ වගේ පිළිතුරු ලැබෙනවනම් වැඩේ හරි

දැන් ටික වෙලාවකට අපි Virtual Machine එක වසා දමමු. මීළඟ පියවර කරන්න තියෙන්නෙ Ubuntu මත.

හතර වන පියවර:
Ubuntu වල terminal window එකක් විවෘත කරගෙන පහත විධාන එකින් එක ලබා දෙන්න.

mkdir ~/vbox-share
chmod 777 ~/vbox-share
cd ~/vbox-share
touch i am proud to be a sinhala blogger (මේක කරන්නෙ ආතල් එකට... shared folder එකේ බෙදා හදා ගන්න මොකුත් තියෙන්නත් එපැයි :P )
sudo apt-get install samba libpam-smbpass
exit

දැන් සැසිය යළි අරඹන්න (session restart). මේක කරන්න ලේසිම විධිය Ctrl+Alt+Backspace. කරන්න කලින් අත්‍යාවශ්‍ය සියළුම වැඩසටහන් වලින් ඉවත් වෙන්න.

පස් වන පියවර
ඉතිරි ටිකත් terminal එකෙන් කරන හැටි තිබුණ නම් හොඳයි. ඒත් කලබල අස්සෙ මට ඒක හොයාගන්න බැරි වුණා. ඒ නිසා nautilus (GUI) වලින් කරන හැටි කියන්නම්.

Places menu (ඉහළ වම් කෙළවර) එකේ Home ක්ලික් කර ඔබේ home folder එක වෙත යන්න. අළුත හදා ගත් folder එක (මේ උදාහරණයේදී vbox-share) right click කරල Properties වෙත යන්න. එහි Share tab එකේ පහත දැක්වෙන සැකසුම් සකසන්න.
  • Share this folder : Yes
  • Share name : ubuntu-host (කැමති නමක්)
  • Allow other people to write in this folder : Yes
  • Guest Access : Yes
දැන් Create Share ක්ලික් කරන්න.


වැඩේ හරි නම් icon එක පේන්නෙ මෙහෙම

හය වන පියවර:
දැන් ආයෙම අපේ Windows virtual machine එක පණගන්වන්න. Start --> Run ගිහින් කලින් අපි සොයාගත් IP එක මෙන්න මේ විධියට ඇතුලත් කරන්න.

\\10.0.2.2\

දැන් මෙහෙම එකක් ලැබෙයි:



ඇරල බලන්න මොනවද තියෙන්නෙ කියලා... :P


වැඩේ හරි නේද? Ubuntu වල තියෙන ආරක්ෂක විධි විධාන මඟහැරල මේ බෙදා හදා ගැනීම කරන ක්‍රමයටයි ලිව්වෙ. මොකද virtual machine එකත් පාවිච්චි කරන්නෙ තමන්මනෙ.

මේ ක්‍රමය virtual නොවන සාමාන්‍ය Windows ස්ථාපිතයකටත් අදාළයි. මේක ලියල දැන් මාර මහන්සියි. මම ලිව්වෙ නවකයින් ගැනත් හිතල. තේරුම් ගන්න පුළුවන් වුණාද දන්නෙ නැහැ. ගැටළු තියෙනව නම් comment එකක් දාන්න... මං දෙඤ්ඤං උත්තර... :)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Thursday, March 12, 2009

ගීතයකින් කටහඬ ඉවත් කරමු

ඔන්න අද කියන්නේ ගීතයකින් කටහඬ ඉවත් කරන්න ක්‍රමයක් ගැන. මේකට අපට අවශ්‍ය වෙනවා Audacity කියන මෘදුකාංගය. ඉතාම සරල පියවර කීපයක් සම්පූර්ණ කිරීම පමණයි අවශ්‍ය වෙන්නෙ. මෙය Linux හෝ Windows යටතේ කළ හැකියි. මම මේක කරල පෙන්වන්නෙ Ubuntu මත. පොඩි අත්හදා බැලීම් කීපයක් (Audacity සඳහා නෙවෙයි) සඳහා නැවත මම Ubuntu දාගත්ත.

කටහඬ ඉවත් කරන්න අවශ්‍ය ගීතය Stereo ආකාරයෙන් තිබිය යුතුයි. මෙය MP3 හෝ OGG format එකකින් තිබිය හැකියි.

මුලින්ම Audacity බාගෙන ස්ථාපනය කරගන්න. (නිකං දෙන්නෙ, ගිහිං ඉක්මනට ගන්න :D ) ලිනක්ස් පාවිච්චි කරනවනම්, Audacity බාගන්න එපා. පහත විධාන ලබා දෙන්න terminal එකක.

Fedora සඳහා,

su
yum install audacity

Ubuntu සඳහා,

sudo apt-get install audacity

ස්ථාපනය අවසාන වුණාම Audacity විවෘත කරගන්න. ලිනක්ස් වල Alt+F2 press කරල, audacity කියන නම යතුරුලියනය කරල Enter යතුර ඔබන්න.


මේ Audacity ප්‍රධාන window එක. මේ සටහනේ පින්තූර පැහැදිලිව පේන්නෙ නැතිනම් පිංතූර මත ක්ලික් කරන්න.

දැන් ගීත ක්ලිප් එක (MP3 ගොනුව) Audacity window එකට ඇදල දාන්න (drag & drop). නැත්නම් File --> Import --> Import Audio... මෙනු විධාන පාවිච්චි කරල අවශ්‍ය ගොනුව Audacity මෘදුකාංගයට import කරගන්න.


ආයාත වෙමින්...

Import වීම අවසාන වුණාම පහත දැක්වෙන තිරපිටපත වැන්නක් දකින්න ලැබේවි. එහි කහ පැහැයෙන් වට කර පෙන්වා ඇති පහළට යොමුවූ කළු පැහැ ත්‍රිකෝණාකාර බොත්තම ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Split Stereo Track යන විධානය ලබා දෙන්න.



මීළඟ පියවර Stereo දකුණු චැනලය invert කරන එක.

මීළඟ තිරපිටපතේ කහ පැහැයෙන් වට කර පෙන්වා ඇති ප්‍රදේශයේ ඕනෑම තැනක් ක්ලික් කරන්න. නමුත් බොත්තමක් හෝ slider එකක් ක්ලික් නොකරන්න වගබලා ගන්න. මෙය සිදු කිරීමෙන් Stereo දකුණු චැනලය පමණක් සලකුණු කරගත හැකියි.




බලන්න පහළින් පෙන්වන දකුණු චැනලය පමණක් සලකුණු වී ඇති අයුරු

දැන් Effect --> Invert යන මෙනු විධානය ලබා දෙන්න.



දැන්, අවසාන පියවර.....ට කලින් එක. පහත දැක්වෙන තිරපිටපතේ සලකුණු කර පෙන්වා ඇති බොත්තම් දෙක වෙන වෙනම ක්ලික් කර ලැබෙන මෙනු වලින් Mono යන සැකසුම තෝරන්න.



අවසානයේ File --> Export As (ඔබ කැමති ගොනු මාදිලිය)... විධානය මගින්, කටහඩ ඉවත් කළ ගීත ක්ලිප් එක save කරගන්න. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. ප්‍රකාශන හිමිකම් පිළිබඳ ගැටළුවක් නිසා MP3 encoder plugin එක Audacity සමග ලැබෙන්නෙ නෑ. නමුත් එය අන්තර්ජාලයෙන් වෙනම බාගත හැකියි. ඉතින්, export කිරීමේදි MP3 පිළිබඳ ගැටළුවක් ආවොත්, මෙන්න බාගන්න LAME_ENC.

අත්හදා බලන්න කලින් සාම්පල් එකක් දකින්න ඕන නම්, මෙන්න මම කරපු එක,



අවසාන වශයෙන් කියන්න ඕන මෙයින් 100% කටහඬ ඉවත් නොවන වග. ඒ වගේම Stereo වුණත් සමහර ගීත වල කඩහඬ මුළුමනින්ම ඉවත් වෙන්නෙ නෑ.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Sunday, March 8, 2009

කේතයෙන් මැවෙන ශබ්ද රටා - Random Alien Sounds

ක්‍රමලේඛ කේත පාවිච්චි කරල පොඩි බීප් එකකින් එක එක විධියෙ ශබ්ද රටා මවන්න පුළුවන්. මේක මම ඉස්සර ආතල් එකක් ගන්න කරපු එකක්. මම ඒ දවස් වල හති දම දමා Visual Basic ඉගෙනගත් එක තමයි කළේ. මට VB ඉගැන්නුවෙ කවුද කියල අහන්න එපා. උත්තරයක් නෑ. ඒකට වගකියන්න ඕන අම්බලන්ගොඩ මහජන පුස්තකාලය සහ වතුගෙදර මහජන පුස්තකාලය. මොකද ඒ දවස් වල අපේ පැත්ත පළාතක අන්තර්ජාලය තිබුණෙ නෑ. ඉතින්... දන් ඔන්න කතාව වෙනම පැත්තකට ඇදිල යනවා. ආයෙම එමු මාතෘකාවට...



ගොඩක් අය තමන් දන්න Visual Basic කේත කොටස් අනෙක් අයට දෙන්න කැමති නෑ. මම දන්නෑ මොකද මුස්ටියද ‍ලෝබකමද කියල. ඇත්තටම ඒකෙ ඇති දේකුත් නෑ. මම Visual Basic 6ත් එක්ක ගනුදෙනු බොහෝවිට නවත්තලා තියෙන්නෙ ඒකෙ ටිකක් යල් පැනගිය ගතියක් තියෙන නිසා. Visual Basic 2008 නම් ඇත්තටම ඇති දෙයක් නෑ. IDE එක තියෙනවා... MSDN තියෙනවා... ඉතින් පොඩි ළමයෙකුට වුණත් code කරන්න පුළුවන්. ඒකනෙ Basic (Beginers' All purpose Symbolic Instructions Code) කියන්නෙ. ;)

ඉතින්... මේක අගේ කරන්න දේකුත් නෙවෙයි. අනෙක Microsoft මෘදුකාංග වලින් කළා කියල මෙව්ව හංගන්න දේවලුත් නෙවෙයි. ඒ නිසා code එකම දානව. දැකුම්කළු source code පෝස්ට් කරන්න අපේ ප්‍රවීන් ඉන්ද්‍රනාම ඒ ගැන ලිව්ව සටහනෙන් ලොකු උදව්වක් වුණා.

මෙන්න කේතය... මේක මහ ලොකු දෙයක් නොවන බවත් (සත පනහෙ ටොපියක් කියල) හිතා ගන්ටකෝ... :P
(අළුත් VB project එකක් පටන් ගෙන එහි තිබෙන form එක ඉවත් කරන්න. අළුත් මොඩියුලයක් එක් කර එයට මෙම කේතය එක් කරන්න. ඉන් පසු F5.)
Option Explicit

Public Declare Function Beep Lib "kernel32" _
 (ByVal dwFreq As Long, ByVal dwDuration As Long) _
  As Long

Sub main()
    Randomize
    Dim I As Integer
    For I = 37 To 32767
        Beep (Rnd * I), 10
    Next
End Sub

මේක වෙනස් කරල නිර්මාණාත්මකව යොදා ගන්න පුළුවන්. මේ ඒ වගේ තව එකක්:
Option Explicit

Public Declare Function Beep Lib "kernel32" _
 (ByVal dwFreq As Long, ByVal dwDuration As Long) _
  As Long

Sub Main()
    Do Until False
        Dim I As Integer
        For I = 256 To 512
            Beep I, 10
        Next
        For I = 512 To 256 Step -1
            Beep I, 10
        Next
    Loop
End Sub

1e06 sorries වෙන්න ඕන මේක wine වල නම් වැඩ නෑ :( . වින්ඩෝස් කස්ටිය... ඉතින්, අත්හදා බලන්න. රිසි පරිදි වෙනස් කර අළුත් දෙයක් අත්හදා බලන්න. :)

බාගැනීම්:
මෙන්න VB නැති අයට Win32 Executables [4 KB] බාගන්න. Double click කරලා විවෘත කරන්න. හැබැයි නවත්තගන්න Windows Task Manager පිහිට පතන්න වෙයි. ඒ නිසා මේවා run කරලා මට බනින්න එපා. :P

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Saturday, March 7, 2009

ඔබේ බ්ලොග් අඩවියට රිසි මූර්තිරූපයක්

ම‍ගේ බ්ලොග් එකට අළුතෙන් සළු පිළි ඇන්දෙව්වට පසුව ලියන පළවෙනි සටහන මේක. සළු පිළි ඇන්දවිල්ල කෙසේ වෙතත් මරු Blogger hacks ටිකක් අහු වුණා... එයින් පොඩි එකක් තමයි මේක. ඉතිරියත් වරින් වර ලියන්නම්.



Google Blogger පාවිච්චි කරන අය දැකල ඇතිනේ තමන්ගෙ බ්ලොග් අඩවිය browser එකේ පෙන්වනකොට title bar/ tab bar එකේ පෙන්නන අයිකන් එක. ඒක රතු පසුබිමක තියෙන සුදු පාට B අකුරක්. අපට අවශ්‍ය නම් ඒකත් වෙනස් කරගන්න පුළුවන්. හරිම සරලයි. මෙන්න ක්‍රමය:


කොහොමද තමන්ට අනන්‍ය රූපයක් මෙතනට ආවොත්?

මුලින්ම Adobe Photoshop හෝ GIMP පාවිච්චි කරල 16x16 ප්‍රමාණයට අයිකන් එක හදාගන්න. ඒක favicon.png කියන නමින්, PNG ක්‍රමයට save කරගන්න. (අවශ්‍ය නම් transparancy පාවිච්චි කරන්න පුළුවන්)

මෙන්න මම ඒ වගේ හදපු අයිකන් දෙකක්. එකකින් පෙන්නන්නෙ මගේ මූණත්තහඩුව, අනෙක Hayabusa Kanji එක -- මගේ Facebook profile තහඩුව. (දැන් මේ දෙකෙන් එකක් තෝරගන්න බැරුවයි ඉන්නෙ ;) )



දැන් යන්න Imageshack.us වෙබ් අඩවියට. මෙතනින් ඔබේ පින්තූර වලට නොමිලයේ වෙබ් ඉඩ ලබා දෙනවා. මුලින්ම Imageshack හි ලියාපදිංචි වන්න. දැන් Imageshack නිවෙස් පිටුවට ගිහින් පහත දැක්වෙන තිරපිටපත් වල පෙන්වා ඇති ආකාරයට අයිකනය host කරන්න. (තිර පිටපත් පැහැදිලි මදි නම් ඒ මත ක්ලික් කළාම නියම ප්‍රමාණයෙන් බලාගන්න පුළුවන්)


  1. Upload: single image තෝරන්න.
  2. සකස් කරගත් අයිකනයේ path එක ලබා දෙන්න (ගවේශනය/Browse) (ඔන්න මම මගේ මූණත්තහඩුව තෝරගත්තා -- අන්තිමේදී :P )
  3. රතු පැහැයෙන් සලකුණු කර ඇති check box දෙක ම දෙ වර බැගින් ක්ලික් කරන්න. (මෙසේ කරන්න සිදු වන්නේ Imageshack අඩවියේ ඇති දෝෂයක්/bug නිසා -- අපි ඒක මඟහරින්න ඕන)
  4. Upload කිරීමට host it! ක්ලික් කරන්න.


Upload කිරීම සම්පූර්ණ වූ පසු ලැබෙන තිරයේ Direct link to image දෙස දක්වා ඇති URL එක පිටපත් කරගන්න. දැන් Imageshack එක්ක ගනුදෙනුව ඉවරයි. (හැබැයි ඉවරයි කිව්ව‍ට ඉවරම නෑ ;) )

මෙන්න මගේ URL එක:

http://img205.imageshack.us/img205/3415/favicon2.png

දැන් යන්න Google Blogger. ඔබේ බ්ලොග් අඩවියේ නමට යටින් තියෙන Layout කියන link එක ක්ලික් කරන්න. දැන් ලැබෙන පිටුවේ Edit HTML link එක ක්ලික් කරන්න.



දැන් ටිකක් භාරදූර වැඩක් තියෙන්නේ... වරදින්නත් පුළුවන්. ඒත් බය වෙන්න එපා. ඒ නිසා මුලින්ම Download Full Template ක්ලික් කර දැනට තිබෙන කේතය backup කරගන්න. දැන් Edit Template යටතේ ඇති කේතයේ පහත දැක්වෙන html කේත පේළිය සොයාගන්න. (ඉක්මනින් සොයන්න Ctrl+F පාවිච්චි කරන්න)
<b:include data='blog' name='all-head-content'/>
එම කේත කොටස සොයාගැනීමට නොමැති නම් පහත කේත පේළිය සොයා ගන්න,
<head>
එයට යටින් පහත දැක්වෙන කේත පේළිය ඇතුලත් කරන්න. දැනට තිබෙන කිසිම කේත කොටසක් ඉවත් නොකරන්න වගබලාගන්න!!!


<link href='http://img205.imageshack.us/img205/3415/favicon2.png' rel='shortcut icon' type='image/x-icon' />


මෙහි තද කළු අකුරින් දක්වා ඇති කේත කොටස වෙනුවට ඔබ විසින් host කළ අයික‍නයේ URL එක (ඉහතදී පිටපත් කරගත්) ආදේශ කරගන්න. සියල්ල අවසාන වූ පසු template එක Save කරන්න.


පැහැදිලිව බලන්න රූපය මත ක්ලික් කරන්න

දැන් ඔබේ බ්ලොග් අඩවියට ගිහින් බලන්න වැඩේ සාර්ථකද කියා...



කෝමද වැ‍ඩේ? මරු නේද? :)



Wordpress වල නම් මේ පහසුකම ලබා දී තිබෙනවා. සටහන ගැන ගැටළුවක් තියෙනවනම් comment එකක් දාන්න.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Wednesday, March 4, 2009

පොඩි ටිප් එකක්

මෙන්න පොඩි ටිප් එකක් මගෙන්... Google Blogger පාවිච්චි කරන අයට... තාක්ෂණික දැනුම අඩු අයට කියවන්නයි මේ සටහන ලිව්වෙ.



මම දැකල තියෙන බ්ලොග් වලින් ගොඩක් ඒවයෙ මොකක් හරි පරණ සටහනක් හොයාගන්න ඕන වුණාම මාර දුකක් විඳින්න වෙන්නෙ. ඉතිං අපි Google එකට ගිහින්
මෙන්න මේක හොයපාං site:shaakunthala.blogspot.com
වගේ එකක් ගහල තමයි වැඩේ කරගන්නෙ. ඉතිං ඒක කියවන්නන්ට කරදරයි.



ඕකට කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි Google Custom Search Engine පිහිට පතන එක. ඒකෙ Standard Edition එක පාවිච්චි කරල තමන්ගෙ බ්ලොග් අඩවිය පමණක් search කරන Search Engine එකක් සාදා ගන්න පුළුවන්. Search Engine Encoding එක Unicode(UTF-8) ලෙස සකස් කරන්න. මේක සකස් කළාම ලැබෙන කේතය බ්ලොග් අඩවියේ අළුත් HTML/Javascript Code Gadget එකකට copy-paste කළාම හරි. Custom Search Engine එකක් හදාගන්න විධිය ගැනත් පෝස්ට් එකක් ඕන නම් comment එකක් දාන්න.. ලියල දෙඤ්ඤං ඇට්ටි හැලෙඤ්ඤ. ;) මේ තියෙන්නෙ මම හදපු එක (අද සිද්ධ වුණ අත්වැරදීමක් නිසා මගේ බ්ලොග් එකේ Search box මැකී ගිහින්). :(




තවත් මරු වැඩක් තියෙනවා කරන්න පුළුවන්. ඒ පොඩි code කෑල්ලක් ලියන එක. Code ලියනව කිව්වම බය වුණාද? බය වෙන්න එපා.. මෙන්න තියෙනව බඩු.. copy-paste කරන්න. මේකත් ඉස්සෙල්ල එක වගෙම HTML/Javascript Code Gadget එකකින් තමයි දාගන්න ඕන. පහත දැක්වෙන කේත කොටස copy-paste කළාම හරි. (මම මේ code කෑල්ල මෙතන දාන්නත් මාර මහන්සියක් වුණේ... HTML දන්න අය දන්නවා හේතුව මොකක්ද කියලා... :D )


<form action="/search" method="get">
<table>
<tr><td><input name="q" type="text"/></td></tr>
<tr><td><input value="සොයන්න" type="submit"/></td></tr>
</table>
</form>


ඉතින්.. මම කියවන රසවත් සිංහල බ්ලොග් අඩවි ගොඩක් තියෙනවා. ඒවයින් ‍‍බොහොමයක පරණ ලිපියක් හොයාගන්න ගියාම මාර කට්ටක් කන්න වෙන්නෙ. එතරම්ම රසයෙන් පිරිලා. නරකද search box එකක් දැම්මොත්?




මේ කේත කැමති පරිදි වෙනස් කරන්න පුළුවන් වුණත් Google විසින් ලබා දෙන කේත වෙනස් කිරීම සම්බන්ධයෙන් නම් යම් යම් සීමාවන් තිබෙනවා. සටහන සම්බන්ධයෙන් ගැටළුවක් තියෙනවනං... කමෙන්ට් එකක් දාන්න. නැත්තං මම online ඉන්නවා GTalk (shaakunthala#gmail#com), Yahoo (shaakunthala#yahoo#com).

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Tuesday, March 3, 2009

වඩේ ප්‍රහාරය

මට අද මරු ඊමේල් එකක් ආවා. මට මෑතකදි ආපු ඊමේල් වලින් මාව වැඩිපුරම හිනස්සපු එක මේක.



මාතෘකාව මේකයි:
Fwd: That is How their news Work @ a critical situation

කට්ටිය ඔක්කොම දැන් බලාගෙන ඉන්නෙ සිරසට ගහන්නනේ... මමත් මහරාජාගෙ ගොන්පාට් වලට තදින්ම විරුද්ධයි. ඒත් හැමදේම විමසා බලන්නෙ නැතුව බෙලි ගෙඩියට බයේ ලෝකෙ පෙරළෙනවා කිය කියා දුවපු හාවා වගේ හැසිරෙන්න ඕන නැහැනෙ. ඉතිං ඊතලයෙන් මොකක් හරි වැරැද්දක් වෙනකම් බලාගෙන හිටපු කෙනෙකුට ‍මේක අහු වෙලා. මොකක් හරි කරුමෙකට එයාගෙ පරිගණකයෙ සිංහල ස්ථාපිතය සම්බන්ධ අවුලක් තිබිලා. ඉතින්... එයා මේක කියවලා තිබුණෙ වඩේ ප්‍රහාරය කියලා.. තමන්ගෙ වැරැද්ද, වැරැද්දක් නෙවෙයිනේ ගොඩක් අයට... ඉතිං... කරන්න පුළුවන් ඊළඟ එකත් කළා.. forward.

ඉතින් අනෙක් කාරණාව... මට මේක එව්ව කෙනා තොරතුරු තාක්ෂණ උපාධිධාරියෙක්... පුදුමයි නේද? මම නම් බිපෙසි.

මොකද කස්ටිය හිතන්නෙ මේක ගැන?

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Monday, March 2, 2009

easyLife - Fedora සමඟ ජීවිතය පහසු කරගන්න

මේක මම ලියන්න හිතල කාලයක් අමතක වෙලා තිබුණ දෙයක්. මගේ පරණ බ්ලොග් පෝස්ට් එකකට ඒක ලිව්ව දවස් වලම අපේ තාරක සහෘදයා තමයි මට මේක හඳුන්වල දුන්නෙ. ඉතින් තාරකට ස්තුති කරනවා ඒ උදව්වට.



දැනට Fedora පාවිච්චි කරන අයට (ගොඩක් වෙලාවට වෙනත් මෙහෙයුම් පද්ධතියක් පාවිචිචි කරල පුරුදු වෙලා Fedora වෙත මාරු වෙන අයට) Fedora අතුරුමුහුණත ටිකක් නුහුරු ගතියක් දැනෙන්න ඉඩ තියෙනවා. මටත් ඒක හොඳටම දැනුණා. ඉතින් මම උපකාර ගත්තේ මෙතනින්. ඒත් සාමාන්‍ය පරිශීලකයින්ට (පරිගණක ඉගෙනීම මූලික කාර්යය කර නොගත්/ තොරතුරු තාක්ෂණයට සම්බන්ධ රැකියාවක් නොකරන කෙනෙකුට) කරදරයක්නේ හැම දේම අන්තර්ජාලයෙන් හොය හොය ඉන්න. ඒ වගේ අයට පහසුවෙන් Fedora පාරිසරිකය ප්‍රියමනාප ආකාරයට සකස් කරගන්න තමයි easyLife තියෙන්නෙ.

Terminal අරහං අයට ඉතාම පහසුවෙන් sudo සක්‍රිය කිරීම, Flash Player ස්ථාපනය, ෆොන්ට ස්ථාපනය වගේ ගොඩක් දේවල් මෙහි තියෙන චිත්‍රක අතුරුමුහුණත (GUI) හරහා කරගන්න පුළුවන්.

easyLife දාගන්න එකත් easy වැඩක්. හැබැයි terminal එකත් එක්ක පොඩ්ඩක් විතර සෙල්ලමක් කරන්න වෙනවා. ඉතින් ලිනක්ස් භාවිතකරුවෙකුට ඒක එතරම් දෙයක් වෙන එකක් නෑ. මුලින්ම මෙතනින් easyLife බාගන්න. ඒක home folder එක පිටපත් කරගන්න. දැන් විවෘත කරගන්න terminal එක. පහත දැක්වෙන විධාන එකින් එක ලබා දෙන්න.

$ su

# rpm -Uvh easylife-1.2-1.fc10.noarch.rpm (බාගත් ගොනුවේ නම)



ස්ථාපනය සාර්ථක වුණා නම් desktop එකට
easyLife අයිකන් එක (easyLife Icon) එයි. ඒක දෙක්ලික් කරන්න.



දැන් තමන්ගෙ පරිශීලක නම තෝරලා OK ක්ලික් කරන්න.


easyLife Main Window

දැන් අවශ්‍ය ඒවා සලකුණු කරලා OK ක්ලික් කරන්න. පේනව නේද කොයිතරම් easy ප්ලෑන් එකක්ද කියලා... ;)
OK ක්ලික් කරන්න කලින් අන්තර්ජාල සම්බන්ධතාව පරීක්ෂා කර බලන්න. මේ කාර්යය සම්පූර්ණ කරන්න අන්තර්ජාල සම්බන්ධයක් අත්‍යාවශ්‍යයි.


ස්ථාපනය අතරතුරදීම (on the fly) වෙනස් වීම් සිද්ධ වෙනවා බලාගන්න පුළුවන්.

ඉතින්... options ටික ඔක්කොම තේරුව නම්... ස්ථාපනය සම්පූර්ණ වෙන්න ටිකක් වෙලා යයි. එතකං අර්ථ රසයෙන් null වුණත් පොඩි ආතල් එකක් තියෙන මේ සිංදුව අහමු. බ්ලොග් ලියන යාළුවෙක් ලින්ක් එක දුන්නෙ. ;)


Flash Player එකත් easyLifeටම බාරදීල බලාගන ඉන්න කෙනෙක් නං 1e06 sorries වෙන්න ඕන... :D




බාගැනීම්:

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴