Tuesday, May 11, 2010

විකිපීඩියා | Wikipedia

විකිපීඩියා කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් හඳුන්වල දෙන්න අවශ්‍ය නැහැනේ... අද මම කල්පනා කළා මේ ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළ හැකි, ලොව වැඩි දෙනෙක් විශ්වාසය තබන, ලොව විශාලතම නිදහස් විශ්වකෝෂය ගැන පොඩි විස්තරයක් සරලව ලියන්න. ඇත්තෙන්ම කියනව නම්... මේ දවස් වල විකිපීඩියාවට ශාකුන්තලගෙ බැල්ම වැටිලයි තියෙන්නේ... :P

මට විකිපීඩියාව සෙට් වුණෙත් හරි අපූරු විධියකට. විකිපීඩියාවෙන් අපමණ දේවල් මෙතෙක් ගත්තට අබමල් රේණුවක දෙයක් ඒ වෙනුවෙන් ලියලා තිබුණෙ නෑ. මේ කාලේ මගේ 'ඉන්ටර්න්ෂිප්' කාලේ නොවැ... ආධුනිකයෙක් විධියට මට වැඩ කරන්න අවස්ථාව ලැබිල තියෙනවා ආසියා-පැසිෆික් ටෙලිසෙන්ටර් ජාලය (APTN) සම්බන්ධයෙන්. කලාපීය වැදගත්කමක් තියෙන මෙහි මහලේකම් කාර්යාලය (secretariat) පිහිටුවා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ. මම APTN වැඩ වලට සම්බන්ධ වෙන්න කලින් ඒ පිළිබඳව යම් හැදෑරීමක් කළ යුතු වුණා. ඉතින් APTN වෙබ් අඩවියෙන් පසු නිතැතින්ම මම යොමු වුණේ විකිපීඩියාවට. කෝ..? අපේ මාතෘකාව ගැන සඳහනක් නෑ...! මේ වගේ ලෝකවාසීන් දැන ගත යුතු, ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් කාරණාවක් සම්බන්ධයෙන් විකිපීඩියා ලිපියක් නැති එක මට පෙනුණේ සැලකිය යුතු අඩුපාඩුවක් විධියට. ඔන්න ඔහොමයි විකිපීඩියාවට ලිවීමෙන් දායක වෙන වැඩේ සෙට් වුණේ.

ආපහු එමු මාතෘකාවට... විකිපීඩියාවේ තියෙන වඩාත්ම සිත්ගන්නාසුළු ලක්ෂණය තමයි එහි නිදහස් බව. ඒ කියන්නේ ඕනම කෙනෙකුට වැඩිදියුණු කරන්න පුළුවන්. හැබැයි මේ සියල්ල සිදු වෙන්නේ මනා පරිපාලනයක් සහිතවයි. සරල සිංහලෙන් කිව්වොත් පිස්සු කෙළින්න බෑ. ඉතින් මට අවශ්‍ය වුණේ ආසියා-පැසිෆික් ටෙලිසෙන්ටර් ජාලය ගැන ලිපියකින් විකිපීඩියාවට දායක වෙන්න. ඒ අත්දැකීම් මගේ බ්ලොග් එකේ ලිපියක් විධියට මේ ලියන්නේ විකිපීඩියාවට ලිපි ලියන්න තවත් අයව උනන්දු කරවන්න සහ, විකිපීඩියාව අළුත් අයට උදව්වක් වශයෙනුයි.

විකිපීඩියාවට මුල්වරට ලිපියක් ලියද්දී සැළකිලිමත් විය යුතු කාරණා කීපයක්ම තියෙනවා. තමන් විසින් ලිපි ලියන්න බලාපොරොත්තු වෙන විෂය ක්ෂේත්‍රය පිළිබඳ සැළකිය යුතු දැනීමක් තිබිය යුතුයි. කිසිම තේරුමක් නැති, nonsense වගේ පේන්න පේළි දෙකෙන් තුනෙන් ලියන අළුත් ලිපි විකිපීඩියාවෙන් ඉවත් කෙරෙන්න තියෙන සම්භාවිතාව ඉතා වැඩියි. අදාළ විෂය ක්ෂේත්‍රය ගැන ප්‍රවීණයෙක් වීම අවශ්‍ය නැහැ. දැනුම සහ ගවේෂණය කිරීමේ උනන්දුව තිබුණාම හොඳට ඇති.

මාතෘකාව තෝරගත්තට පසුව ඊළඟට කරන්න තියෙන දේට සරල භාෂාවෙන් කියන්නේ RTFM කියලා. :D දී ඇති උපදෙස් වරක්, දෙවරක් හොඳින් කියවන්න. ඇත්තෙන්ම කියනවා නම්, විකිපීඩියාවට ලිපි ලියන්න දැනගන්න ඕනේ අදාළ විෂය ක්ෂේත්‍රය හැරුණාම භාෂාව විතරයි. HTML, CSS, feed වගේ මළ ඉලව් ඕනෙ නැහැ. වැඩේ බ්ලොග් ලියනවට වඩා පහසුයි!

අදාළ මාතෘකාව යටතේ ලියැවුණු ලිපියක් දැනටමත් තියෙනවද කියල සොයා බලන්න. උදාහරණයක් විධියට ගනිමු අපි ලංකාවේ තියෙන හුම්මානය. ඒ ගැන ලියැවුණු ලිපියක් විකිපීඩියාවෙ දැනට නැහැ (සෙවුම් ප්‍රතිපල බලන්න). අපට ඊට අදාළව ලිපියක් ලියන්න පුළුවන් නම් "You may create the page Hummanaya," කියලා තියෙන රතු සැබැඳිය ක්ලික් කරලා, එවෙලෙම ලිපිය ලියලා, ලියූ වහාම අන්තර්ජාලයට නිදහස් කරන්නත් පුළුවන්.

නමුත්, පළමු වරට විකිපීඩියාවට ලිපියක් ලියන කෙනෙක් මේ විධියට 'එකවරම' ලිවීම සුදුසු නැහැ. විකිපීඩියාවේ 'ලිපි ඉඩ' (Article Spaces) වර්ග කිහිපයක් තියෙනවා. ඔය මුලින් කිව්ව විධියේ ලිවව් ගමන් අන්තර්ජාලයට නිදහස් වෙන තැන හැඳින්වෙන්නෙ Public Article Space කියලා. එතැන සකස් කළ ලිපියක් අන්තර්ජාලයට නිදහස් කළාම ඩෝං ගාලා අතෑරියා වගේ... හැම දෙනාටම පේනවා. ලියන ලිපිය විකිපීඩියාවේ තියෙන ප්‍රමිතීන් වලට අනුකූල නොවුණොත් ලිපිය මකා දැමෙන්නට තිබෙන සම්භාවිතාව වැඩි නිසා, විකිපීඩියාවට නවක අය මේ පොදු ඉඩ එකවරම පාවිච්චි නොකිරීම වඩාත් සුදුසුයි.

බිත්තර කටුවක් ඇතුලේ විකසනය වෙන කුකුළු කළලයක් වගේ, විකිපීඩියාව ඉගෙනගන්නා ගමන් ලිපියක් ක්‍රම ක්‍රමයෙන් ගොඩනගන්න 'පරිශීලක ඉඩ' (User Space) භාවිත කිරීමෙන් පුළුවන්. මෙහි ලියන ලිපි සෙවුම් යන්ත්‍ර වලින් සූචිගත කෙරෙන්නේ නැහැ. ඒ වගේම වැඩිය කාටවත් දකින්න ලැබෙන්නෙත් නැහැ. මම ආසියා-පැසිෆික් ටෙලිසෙන්ටර් ජාලය ගැන ලිපිය ටිකෙන් ටික ගොඩනැඟුවේ ඒ ආකාරයෙන්. පරිශීලක ඉඩ කොටසේ ලිපියක් ආරම්භ කරන්න, http://en.wikipedia.org/wiki/User:ඔබේ පරිශීලක නම/ලිපියේ මාතෘකාව ආකාරයේ වෙබ් ලිපිනයක් වෙත යාමෙන් පුළුවන්. උදාහරණයක් ලෙස, http://en.wikipedia.org/wiki/User:Shaakunthala/Asia-Pacific_Telecentre_Network යන තැන තමා මගේ මුල්ම ලිපිය මම සකස් කළේ.

මේ විධියට ලිපිය ටිකෙන් ටික සකස් කරද්දි අත්දැකීම් ඔස්සේ විකිපීඩියාවේ තියෙන 'එක එක දේවල්' ටිකෙන් ටික ඉගෙනගන්න පුළුවන් වෙයි. අපට පිටින් පෙනෙනවට වඩා මහා දැවැන්ත යාන්ත්‍රණයක් විකිපීඩියාව ඇතුලේ ක්‍රියාත්මකයි. මේකෙදි අපට වැඩ කරන්න වෙන්නෙ ගෝලීය ප්‍රජාවත් එක්ක. අනිත් අයගේ අදහස් එක්ක ඔට්ටු වෙවී තමයි වැඩ කරන්න වෙන්නේ. හැබැයි අපේ අය ලංකාවේ එක එක ෆෝරම් වල දාන දෙකයි පනහේ චණ්ඩි පාට් මේකේ දැම්මොත් සති දෙකෙන් නොකවුට්!

ලිපිය සකස් කරලා අවසානයේ ඒක පොදු ලිපි තියෙන කොටසට පහසුවෙන් මාරු කරන්න පුළුවන්. ලිපි ලියද්දී මහා බර වචන ඕනෙ නැති වුණත්, සාමාන්‍ය ලිඛිත භාෂාව යොදා ගැනීමයි සම්මතය. ඒ වගේම ඉදිරිපත් කරන සියළුම කරුණු සාක්ෂි සහ යොමු සටහන් (citation) සහිතව ඉදිරිපත් කිරීමත් විකිපීඩියාව අපේක්ෂා කරනවා. ඒ වගේම අපක්ෂපාතී ලෙස කරුණු ඉදිරිපත් කිරීම කළ යුතුයි. මේ ගුණාත්මක බව නිසාවෙන් තමයි ලොව අන්තර්ජාලය භාවිත කරන අති බහුතරය විකිපීඩියාව ඉතා ඉහළින් සලකන්නේ.

ඉතින්, විකිපීඩියාවට දායක වෙද්දි මම ඉගෙනගත් දේවල් වලින් බිඳක් බලාගන්න පුළුවන් User_talk:Shaakunthala කියෙව්වොත්. මේ talk pages, නැතිනම් සාකච්ඡා පිටු වල තමා ලිපි වල තිබෙන කරුණු, අන්තර්ගතයේ බලපත්‍ර සම්බන්ධ ගැටළු ආදිය ගැන සංවාද ඇති වෙන්නේ. මේක ඉතින් වචනයෙන් කියනවට වඩා හොඳයි තමා ම කරල බලන එක. ප්‍රජා දායකත්වය සහ සන්නිවේදනය හරිම අපූරුයි! :-)

මම මේ ලිපිය ලිව්වේ සිංහල විකිපීඩියාවට දායක වීම ගැන යමක් ලියන්න ප්‍රවේශයක් විධියට. මම පෞද්ගලිකව විශ්වාස කරන හැටියට, කෙනෙකුට මුලින්ම විකිපීඩියාව ඉගෙනගන්න සදුසු ඉංග්‍රීසි විකිපීඩියාව. ඒ සිංහල සිප්යුරු වදන් වල නුහුරු බව නිසා ඇති විය හැකි ගැටළු මඟහරවා ගන්නත්, විකිපීඩියා උදව් පිටු තවම සම්පූර්ණයෙන් සිංහලයට හරවා නැති නිසාත්.

සිංහල විකිපීඩියාව පැත්තෙත් මම මේ දවස් වල සක්මනේ යෙදෙනවා... මේ මගේ සිංහල පිටුව.
ඉදිරි ලිපියකින් සිංහල විකිපීඩියාවේ දැන් තත්වය, සිංහල බ්ලොග්කරුවන් සහ බ්ලොග් කියවන්නන් ලෙස අපට ඒ වෙනුවෙන් දැක්විය හැකි දායකත්වය පිළිබඳ ලිපියක් ඉදිරි දිනයකදී ලියන්න මම බලාපොරොත්තු වෙනවා.

ප්‍රයෝජනවත් විය හැකි සබැඳි (මේවා ඉතා හෙමින්, ඉතා හොඳින් කියවන්න):
විකිපීඩියාවට අන්තර්ජාලය තුළ හිමි වී ඇති තත්වය කියා පාන එක සාධකයක් එහි Alexa Rank එක.

මගේ අත්දැකීමෙන් දුටු අනෙක් කාරණය... මම ලියූ Asia-Pacific Telecentre Network ලිපිය නිදහස් කරලා මිනිත්තු 15ක් ඇතුළත Google හි සූචිගත වෙලා සෙවුම් ප්‍රතිපල වල දෙවන පිටුවටත් පැමිණීම...! O_o

31 comments:

  1. වැදගත් ලිපියක්..!

    ReplyDelete
  2. මේවා හොද වැඩ...!! එළ එළ මචන්..වැඩි වැඩියෙන් සිංහල පිටු පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!

    ReplyDelete
  3. ලංකාවෙන් විකියක් පටන් ගත්තොත් කොහොමද ?

    ReplyDelete
  4. @Ganidu,
    http://si.wikipedia.org
    අළුතින් එකක් හදනවට වඩා හොඳයි තියෙන එකට දායක වෙන එක. :-)

    ReplyDelete
  5. ම් ම් මේක මෙහෙම කියවල හරියන්නෙ නැහ්. හිමීට නිදහස් වේලාවට කියවන්න ඕනි..

    ReplyDelete
  6. ප්‍රයෝජනවත් ලිපියක්

    ReplyDelete
  7. මීට පෙර ඔය විකිපීඩියාව ගැන අසා තිබුණත් එය කුමක්ද කියා අද තමයි වැටහුණේ...
    ඔබට ස්තූතියි.

    ReplyDelete
  8. සුභ පැතුම්! දිගටම වැඩේ කරගෙන යන්න. පුළුවන් වෙලාවක මමත් දායක වෙන්නම්!

    ReplyDelete
  9. මාත් ඉතින් අර අසයින්මන්ට් එකට ඔන නිසා ලිව්වා.
    http://si.wikipedia.org/wiki/PHP
    පීඑච්පී ගැන. ඒක පරිවර්තනයක් :)

    ReplyDelete
  10. මට ඔය විකිපීඩියා එකෙන් අරන් තමන් හොයාගත්තා වාගේ දෙසා බාන එවුන් දැකලා ඕකත් එපා වෙලා තිබුනේ....

    නමුත් ඔබ ඒක වෙනස් කලා... ස්තූතියි මල්ලී... හැමදාම වාගේ අපිව හිටියට වඩා ටිකක් උඩින් තියන්න උදව් කරනවට...

    ReplyDelete
  11. වැඩේ නම් ගොඩක් වටිනවා , නිකන් ඉන්න වේලාවක ටිකක් Wikipedia එකේ ලිවිල්ල ගැනත් බලන්න ඕනේ !!!!!

    ReplyDelete
  12. @kanishka,
    ඒ ලිපිය නියමයි. සෑහෙන මහන්සි වෙලා තියෙන හැඩයි.
    මම ඒක යන්තම් ටිකක් වෙනස් කළා.
    (වියරණ දොස් සහ සුළු කරුණු කීපයක්, සන් වෙනුවට ඔරකල් වගේ... :P)

    ReplyDelete
  13. මාත් හරියටම දැනට අවුරුද්දකට කලින් ඕක ගැන ලීව.
    http://kpgtharaka.blogspot.com/2009/03/blog-post_13.html

    මේ ඊට පස්සෙ මං සංස්කරණය කරපු එක ගැන ලියපු ලිපියක්
    http://kpgtharaka.blogspot.com/2009/03/blog-post_4607.html

    ඒ දවස් වල කාටවත් උනන්දුවක් තිබුණෙ නැති නිසා මාත් වැඩේ අතඇරල දැම්ම

    ReplyDelete
  14. @ ගයාන් තාරක,
    මචෝ උඹේ ලිපිය දැකලා තමා මාත් එකක් දාන්න හිතුවෙ. උනන්දුවක් නෑ කිව්වට එහෙමමත් නෑ

    මෙන්න මම දාපු එක,

    http://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB_%E0%B7%83%E0%B6%BD%E0%B6%BB%E0%B7%96

    හැබැයි ඉතින් එදායින් පස්සෙ ආපහු නම් තාම දැම්මෙ නෑ. :)

    ReplyDelete
  15. එළනේ... ගයාන් ඉලෙක්ට්‍රොනික් දන්නවා... රොයිලි චිත්‍රපට ගැන දන්නවා... ඔය දැනුමෙන් ගනිමුකො වැඩ..! :)

    ඒ අතරේ... මං තවත් ලිපියක් ලිව්වා... සිංහල විකිපීඩියාව ගැන.

    ReplyDelete
  16. මුලින්ම විකීපිඩියා ගැන දැනුවත් කරල ලියපු මේ ලිපිය අගේ කරනවා. විකීපීඩියාව හැබෑවටම ප්‍රයෝජනවත් තැනක්. ඒත් ඒකෙ තියන කරුණු වල ගුණාත්මක බව ගැන පුංචි පහේ ගැටලුවක් ඇතිවෙනවා නේද? තමන් අවංකවම මහන්සි වෙලා හරවත් ලිපියක් ලියනව වෙන්න පුලුවන්, නමුත් තමන්ට හිතෙන හිතෙන දේ 'කරුණු' විදියට ඒත්තුයන්න ලියන ඈයොත් අම්බානයි නේද?

    මගේ අදහස නම් ඔයා හොයන දේට ආරම්භයක් විදියට විකීපිඩියා පාවිච්චි කරලා එතන ඉදලා තමන්ගෙ මාතෘකාවට අදාල කරුණ සෙවීමයි සිදුකලයුත්තෙ.

    ReplyDelete
  17. ඔව්, ඒක ඇත්ත. නමුත් හැමදෛනාටම සංස්කරණය කරන්න පුළුවන් නිසා බොහෝ දුරට එවැනි දේ මඟහැරෙනවා. වෙළඳ දැන්වීම් ආකාරයෙන් ලියා ඇති ලිපි වල ඉහළින්ම දාල තියෙන "this article may require cleanup" වගේ බැනර් දැකල තියෙනව නේද?

    මම උදාහරණ ආටිකල් දෙකක් පෙන්නන්නම්,
    1. http://en.wikipedia.org/wiki/Ning_(website)
    2. http://en.wikipedia.org/wiki/Micro_%28car%29 මේකේ දෙවැනි වාක්‍යයේ තියෙන citation needed කියන එක එකතු කළේ මම

    ReplyDelete
  18. වැදගත් ලිපියක්..!

    ReplyDelete
  19. ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් ලිපියක්.අපිත් උත්සාහ කරලා බලන්න ඕන වැදගත් දෙයක් විකිපීඩියා වලට එකතු කරන්න.

    ReplyDelete
  20. මචන් ලිපිය මිසින් වගේ
    පොඩ්ඩක් බලහන්

    ReplyDelete
  21. ප්‍රතිචාර පළ කළ හැම දෙනාටම ස්තුතියි... :)

    @තීර්ථ යාත්‍රිකයා,
    හැම එකක්ම වැඩ නේ හොඳට... වෙනින් වෙලාවක ට්‍රයි කරල බලන්න... වැඩ කරයි. :-)

    ReplyDelete
  22. ගොඩාක් වැදගත් ලිපියක් අයියේ...බොහොම ස්තුතියි... :)

    ReplyDelete
  23. වැදගත් ලිපියක්. අද තමා හරියට කියවන්න ලැබුණේ.
    අපව දැණුවත්කලාට ස්තූතියි..
    ජයවේවා!!!

    ReplyDelete
  24. අයියේ මම ඔයාට සුබ පතනවා.මේවගේ දේවල් තව තවත් සාර්ථක වේවා කියලා.!

    ReplyDelete
  25. @Gangster, Sampathjt, Dil,

    ස්තුතියි ඔයාලටත්! ඉදිරි කටයුතු සාර්ථක කරගන්න සුභ පතනවා... :)

    ReplyDelete
  26. ජය වේවා !!! මාත් කාලෙකට කලින් ඕක ගැන ලියුවා බ්ලොග් එකේ.කැමතිනම් බලන්ටකෝ

    ReplyDelete

Facebook ප්‍රතිචාර