Sunday, November 22, 2009

අළුත් අළුත් ලිනක්ස්

මම දැනට මගේ ලැප්ටොප් පරිගණකයේ මෙහෙයම් පද්ධති තුනක් පාවිච්චි කරනවා. ඒ Ubuntu, Fedora සහ Debian. සාමාන්‍ය පාවිච්චියට Ubuntu ත්, පරිගණක ජාලකරණය/ Virtualization පිළිබඳ යම් යම් දෑ අත්හදා බලන්න Fedora සහ Debian පද්ධතිත් පාවිච්චි කරනවා. GUI නැතුව කට්ට කළුවරේ ඇඩ්වෙන්චර් සෙල්ලම් වලට Debian.. :P ඉතින් මෑතකදි නිකුත් වුණු අළුත් ලිනක්ස් සංස්කරණ ගැන යමක් ලියන්නයි මේ සටහන.




Karmic Koala නම් බැලු බැල්මටම 'මොඩ්' ගතියක් තියෙනවා. කිහිප දවසකට පෙර, මම ඉංග්‍රීසි බසින් ලියන බ්ලොග් අඩවියේ මේ ගැන යම් සඳහනක් කළා. Karmic Koala නිකුතුවත් එක්ක පැහැදිලිව පෙනෙන දෙයක් Ubuntu තව තවත් වින්ඩෝස් වගේ වෙලා. ඒක එක අතකින් හොඳයි කියන්නත් තවත් පැත්තකින් නරකයි කියන්නත් පුළුවන්. මේකෙ තියෙන සමහර වෙනස්කම් වලට නම් මම පෞද්ගලිකව කැමති නැහැ. හැබැයි පෙරට වඩා සෑහෙන හොඳ user friendly ගතියක් තියෙන බවත් පිළිගන්න වෙනවා.

Karmic Koala එන්නේ අළුත් දේවල්, ගති ලක්ෂණ කිහිපයකුත් එක්ක. ඉන් පැහැදිලිවම දකින්න පුළුවන් එකක් තමයි පැරණි GRUB එක (GRUB Legacy) ඉවත් කරලා තවමත් බීටා අවධියේ තියෙන GRUB2 බූට්ලෝඩරය විධියට පාවිච්චි කිරීම. පොත්තට රැවටෙන්න එපා කියල කියන්න තියෙන්නෙ මෙතනදි තමයි. GRUB2, පැරණි GRUB එකට වඩා දියුණු ගති ලක්ෂණ කීපයක්ම තිබුණත්, ආරක්ෂිත බව අතින් නම් අවමයි. GRUB2 වෙත ප්‍රවේශ වෙන්න දියුණු බහු පරිශීලක ප්‍රවේශන ක්‍රමයක් සකසා තිබුණත් තවමත් ඒක 'කොට උඩ' බව තමයි දැනගන්න ලැබෙන්නේ. සරලව කිව්වොත් GRUB2 වෙත බූට්ලෝඩර් මුර පදයක් යෙදීම තවමත් කරන්න බැහැ. කොහොම වුණත් මේ අඩුපාඩු නිවැරදි වෙලා ඉක්මනින් හොඳ බූට්ලෝඩරයක් විධියට GRUB2 එළිදැක්වෙයි කියලා බලාපොරොත්තු වෙමු. :)

Ubuntu අළුත් සංස්කරණයත් එක්ක GRUB2 බෙදාහැරීම කර ඇති ආකාරය ගැන නම් මගේ එතරම් පැහැදීමක් නැහැ. එය එක්තරා විධියක ඒකාධිකාරයක් කියන්නත් පුළුවන්. මීට දෙමසකට පෙර නිකුත් වූ Debian Lenny පද්ධතියත් GRUB2 නිකුතුව ලබා දුන්නා. නමුත් Debian ස්ථාපනයේදී තමන් කැමති බූට්ලෝඩරය තෝරාගැනීමේ විකල්පය පරිශීලකට ලබා දී තිබුණා. පුරුදු පරිදිම, Ubuntu Karmic Koala ස්ථාපනයේදීත් බූට්ලෝඩරය පිළිබඳව වූ එකම සඳහන වුණේ GRUB2 ස්ථාපනය කරන device එක තෝරා ගැනීමේ විකල්පය පමණයි. පැරණි GRUB එකෙන් මගේ පරිගණකයට සැලසුණු ආරක්ෂාව අළුත් GRUB2 වෙතින් නොලැබෙන නිසා නැවත GRUB Legacy වෙත මාරුවීම තමයි මම Ubuntu ස්ථාපනය කළ වහාම කළ පළමුවෙනි කාරිය.

මීළඟට මම දැක්ක තව දෙයක්, Ubuntu ස්ථාපනයේදී තියෙනවා Home ඩිරෙක්ටරිය encrypt කිරීමේ විකල්පයක්. මේ වගේ (අවදානම්) විකල්ප තෝරාගන්න කලින් කළ යුතු දේ පොඩි Google සෙවුමක් කරල බලන එක. Google සෙවුමෙන් දැනගන්න ලැබුණෙ බොහොම නරක ආරංචියක් නිසා මම Home ඩිරෙක්ටරිය encrypt කරන අදහස අතහැර දැම්මා. පරිශීලක මුරපදය වෙනස් කළොත් ලොගින් වෙන්න බැරිලු.

ඊළඟ කාරණාව ලැප්ටොප් පාවිච්චි කරන සංගීත ලෝලීන්ට හොඳ ආරංචියක් වෙයි. සාපේක්ෂව බොහොමයක් ලැප්ටොප් වල හඬ අඩුයි. මේ නිසා ටිකක් කලබල පරිසරයකදි ලැප්ටොප් එකේ ස්පීකර් වලින් නිකුත් වෙන හඬ ඇහෙන්නෙ නැතිව යනවා. මේ ගැටළුවට විසඳුම් හොයන්න මම ෆෝරම් ගණනාවක රස්තියාදු වුණු බව මගේ පැරණි බ්ලොග් සටහන් වලත් ලියා ඇති. නමුත් Karmic Koala සමඟ මෙයටත් විසඳුමක් ලබා දීලා. දැන් gnome-volume-control මගින් හඬ 150% දක්වා වැඩි කරන්න පුළුවන්. :)

තවත් වැදගත් දෙයක් iBus framework එක. මෙතෙක් අපි සිංහල යතුරුලියන වැඩේට පාවිච්චි කළ SCIM ඉවත් කරලා ඒ වෙනුවට iBus ආදේශ කරලා. iBus ගැන වැඩි යමක් මම දන්නෙ නැහැ. නමුත් iBus වින්‍යාසගත කරන එක SCIMට වඩා සෑහෙන පහසු බව නම් පැහැදිලියි.

Ubuntu අළුත් නිකුතුව Cloud Computing පැත්තටත් අත ගහලා. ඒ UbuntuOne. මේ සේවාවෙන් නොමිලයේ 2 GB ඉඩක් ලැබෙනවා. මාසෙකට ඩොලර් දහය ගණනේ ගෙවන්න පුළුවන් නම් මේ ඉඩ 50 GB දක්වා වැඩි කරගන්න පුළුවන්. කොහොම වුණත් Dialog Broadband පාවිච්චි කරන මට නම් UbuntuOne පාවිච්චි කරන අදහස අතහැර දමන්න සිද්ධ වෙනවා.

තව සුළු සුළු කාරණා කීපයක්ම තියෙනවා... නමුත් ඒ දේවල් මෙතන ලියන්න තරම් වැදගත්කමක් නැහැ කියලයි හිතෙන්නේ. Ubuntu 9.10 තවමත් මට සැලකිය යුතු තරමේ ගැටළුවක් මතු කළේ නැහැ. හැබැයි Huawei e220 මොඩම් එකේ තියෙන virtual CD-ROM device එක ස්වයංක්‍රීයව mount වීම නවත්තන්න පුළුවන් විසඳුමක් නම් ලැබුණෙ නැහැ. පෙරදී මේ සඳහා විසඳුම වෙලා තිබුණු usb-modeswitch මෘදුකාංගයත් Ubuntu 9.10 සමඟ අපේක්ෂිත ක්‍රියාකාරීත්වය දක්වන බවක් පෙනෙන්න නැහැ.

සමස්තයක් වශයෙන් කියන්න පුළුවන්,
Ubuntu --> Windows
:(




Ubuntu ගැන කතා ටික ඔහොම අවසාන කරලා ඊළඟට මම කතා කරන්නෙ පසුගිය සතියෙ නිකුත් වුණු Fedora 12 Constantine නිකුතුව ගැන. හැබෑවටම මොකද දන්නෙ නෑ මේ අළුත් ට්‍රෙන්ඩ් එක... දැන් පිට පිටම Fedora සංස්කරණ දෙකකට දාලා තියෙන්නෙ රජවරුන්ගෙ නම්. ඒකෙත් පොඩි 'ගතියක්' නැත්තෙම නෑ.... :P

Fedora නම් Ubuntu වගේ පොත්තේ වැඩි වෙනසක් කරලා නෑ. මම Fedora එක්කත් පාවිච්චි කරන්නෙ Gnome ම නිසා කලින් Ubuntu ගැන ලියල තියෙන දේවල් කීපයකුත් Fedora අළුත් සංස්කරණයට අදාළ වෙනවා. ඒ Sound Preferences වලින් ශබ්දය 150% දක්වා වැඩි කරන්න පුළුවන් වීමත්, Huawei මොඩමයත් එක්ක ඇති වෙන ගැටළුවත්, SCIM වෙනුවට iBus යොදා තිබීමත් සහ තවත් සුළු කාරණා කීපයක්.

SELinux Troubleshooter අතුරුමුහුණතේ ලොකු වෙනසක් කරලා. කලින් තිබුණු එකට වඩා පැහැදිලි සහ මිත්‍රශීලී අතුරුමුහුණතක්. :)



පරිගණකය ක්‍රියාරම්භ වීමේදීත් පෙරට වඩා පැහැදිලි වේගවත් බවක් තියෙනවා. ආ.......... කියන්න අමතක වුණා.... GRUB2 ඒකාධිකාරය මේකෙ නෑ... :) පෙරනිමියෙන් තියෙන එකම විකල්පය පෙර පරිදිම GRUB Legacy. හැබැයි ස්ථාපනය කළාට පසුව ඕනෙම නම් GRUB2 ස්ථාපනය කරගන්න පුළුවන්. (yum yum :P )

Fedora පාවිච්චි කරන කීපදෙනෙක්ම නගපු පොඩි මැසිවිල්ලක් තමයි Ubuntu වලදි වගේ අන්තර්ජාලය හරහා Fedora නිකුතුව අළුත් කරගන්න (distribution upgrade) පහසුකමක් දීලා නෑ කියන එක. නෑ නෙවෙයි තියෙනවා... ;) ඒකෙ නම preupgrade. හැබැයි නියමින මෙනු යොමුවක් දකින්න නැහැ. ඉතින් Alt+F2 යතුරුලියනය කරලා gksu preupgrade නිවේශනය කරලා අළුත්ම Fedora 12 Constantine නිකුතුවට මාරු වෙන එක අමාරු වැඩක් නොවෙයි කියා මම හිතනවා. :)

(පැරණි Fedora සංස්කරණය වල සමහර විට පෙරනිමියෙන් preupgrade ස්ථාපනය කර නොතිබෙන්න පුළුවන්. එහෙම වෙලාවක,
# yum install preupgrade
විධානය දෙන්න)




ඔය අතරේ අපේම රටේ ලිනක්ස් භාවිතකරුවන් පිරිසක් අපේ රටේ පාවිච්චියට ගැලපෙන අළුත්ම Fedora remix එකක් එළිදක්වලා. ඒ හන්තාන ලිනක්ස්. මේක අපටම ගැළපෙන්නෙ ශ්‍රී ලාංකික පරිගණක භාවිතකරුවන්ගෙ අවශ්‍යතා මැනවින් හඳුනාගෙන ඒ ඔස්සේ එහි නිමැවුම් කටයුතු කර ඇති නිසා. සුපුරුදු Gnome අතුරුමුහුණත පාවිච්චි නොකර ඒ වෙනුවට XFCE හඳුන්වා දී තිබෙන නිසා අවම පද්ධති ශක්‍යතාවක් සහිත පරිගණකයක දී වුණක් හොඳ ක්‍රියාකාරීත්වක් දකින්න පුළුවන් බවයි දැනට හන්තාන ලිනක්ස් පාවිච්චි කරන අය කියන්නේ. හැබැයි දැනට හන්තාන ලබාගන්න පුළුවන් i686 තාක්ෂණයට අනුව නිමැවුණු පරිගණක පද්ධති සඳහා පමණයි.

සරලව කිව්වොත්,
හන්තාන ලිනක්ස් = Fedora + බහුමාධ්‍ය සහය (AVI, MP3, DVD, etc...) + ලාංකිකයෙකුගේ පරිගණක අවශ්‍යතා සපුරාලන අත්‍යාවශ්‍ය මෘදුකාංග

ඉතින් සැරින් සැරේ අත්‍යාවශ්‍ය මෘදුකාංගයි multimedia codecs ටිකයි ඩවුන්ලෝඩ් කරගන්න වේගවත් අන්තර්ජාල සබඳතාවක් නැති නම් තෝරාගන්න Ubuntuත් නෙමෙයි, Fedoraත් නෙමෙයි, හන්තාන ලිනක්ස්. මෙන්න මෙතනින් පොඩියක් සැරිසරලා බලන්න පුළුවන් හන්තාන බැලු බැල්මට කොහොමද කියලා.

හන්තාන ඕනේ නම් මෙතනින් බාගන්න, නැතිනම් blank CD එකකුත් අරගෙන මෙන්න මේ පිටුවෙ නම සඳහන් කරලා තියෙන කෙනෙක් මුණගැහෙන්න. මමත් කැම්පස් එකේ අන්තර්ජාල පහසුකම පාවිච්චි කරලා හෙට දවස ඇතුළත හන්තාන ලිනක්ස් ඩවුන්ලෝඩ් කරන්න අදහස් කරගෙනයි ඉන්නේ... ඒ නිසා කොළඹ සරසවිය ළඟපාත ඉන්නවනම් blank CD එකක් අරගෙන එන්න.... මමත් දෙන්නම් හන්තාන. :)

ඉතින් මේ වැඩේට මූලිකත්වය දක්වපු ඩනිෂ්ක නවින් ඇතුළු පිරිසත් මේ වෙලාවේ මතක් කළ යුතුයි. හන්තාන ගැන ගැටළුවක් තියෙනවනම් මෙන්න තැන... සුද්ධ සිංහලෙන්ම දැනගන්න පුළුවන්. :)

ඉතින්, හන්තානට ජය!



මුළුමනින්ම Fedora වෙත මාරු වෙන්න මම මීට පෙර අසාර්ථක උත්සාහයක නිරත වුණු ආකාරය, මගේ බ්ලොග් අඩවියට නිතර ආ ගිය අය දන්නව ඇති. ඒ දිනවල ලිනක්ස් පිළිබඳ තිබුණු අවම දැනුමත්, Fedora uncomfortable කියා යටිහිතෙන් එක එක නිවේදන නිකුත් වීමත්, මගේ wireless adapter එක Fedora සමඟ වැඩ නොකිරීමත් නිසා මට නැවතත් Ubuntu වෙත ම යොමු වෙන්න සිදු වුණා.

නමුත් අද තත්වය වෙනස්. Gentoo ස්ථාපනය කිරීමේ අසාර්ථක උත්සාහයන් දෙකකිනුත්, පද්ධති හා ජාල පරිපාලනය පිළිබඳ සරසවි දේශන මගිනුත් මට ලිනක්ස් මෙහෙයුම් පද්ධති පිළිබඳ සැලකිය යුතු අවබෝධයක් ලැබුණා. එයින් තේරුම් ගත් විධියට නම් මොන ලිනක්ස් පද්ධතියක වුණත් 'මදේ' එකයි. :D භාවිතයේ පහසුව වෙනම කතන්දරයක්.

Fedora වල නව්‍යකරණ සියල්ල සිදු කර තිබෙන්නේ එහි තිබෙන 'ගීක්' ගතියත් රැකගෙනයි. හැබැයි geek වුණාට greek නෙවෙයි. :D ඒ නිසා අළුත්ම හන්තාන සංස්කරණය දුටු වහාම නැවතත් Fedora වෙත මාරු වෙන්න නැවත වතාවක් නොහිතුණාම නෙවෙයි. Easylife තියෙද්දි ඕවත් වැඩද? :P



එහෙනම්,..... ලිනක්ස් කතා ටික අදට මෙතනින් ඉවරයි.... අපි ගියා.... ciao!

15 comments:

  1. Google ChromeOS ගැන මොනවත් ආරංචි හම්බවනේ නැද්ද?

    ReplyDelete
  2. අලුත් ආරංචි ගනනාවක්ම මේ යස අගේට කෙටියෙන් කිල තියෙන්නේ. :) අගෙයි.

    පොඩි එකතු කිරීමක් කරන්න ඕන. ඒ තමයි, Fedora වල gksu සාමාන්‍යයෙන් install වෙන්නෙ නැහැ. මේ වගේ පහසුකමක් ලබාගන්න ඕනනම් beesu පැකේජය පිහිටුවාගන්න පුලුවන්. beesu එක්ක වැඩ කරන තව අමතර වැඩ කෑලි කීපයකුත් repo වල තියනවා.

    ReplyDelete
  3. උබුන්ටුවල අල්ලලම ගියපු නවීකරණ දෙක ibusනුයි අද සවුන්ඩ් වැඩිකරන්න පුළුවන් එකයි. Empathy නම් pidgin වගේ අල්ලල ගියෙන නැහැ.
    හැබැයි කිව්වත් වගේ උබුන්ටු යන්නෙ මොන පැත්තටද කියල කියන්න අමාරුයි. ඊළඟ සංස්කරණෙදි GIMPනුත් අයින් කරන්න යනවලුනෙ. :(

    ReplyDelete
  4. තමීර කියන කතාව ඇත්ත තමා, ඇත්තටම මට දුක හිතෙනවා මොකද්ද දෙයියනේ මෙච්චර හොඳට හිටි උබූන්ටුවට වෙන්නේ කියලා. එක්කෝ මම ආවට අපලක් වැදිලද කියලාත් හිතෙනවා. GRUB2beta දැම්ම ඒකට මගේ එහෙම අවුලක්ම නැති වුණාට Pidgin වෙනුවට Empathy ආදේශ කෙරිල්ල නම් එච්චර ඇල්ලුවේ නෑ. ඒ මදිවට දැන් GIMP අයින් කරන යන කතාව ඇහුණ ගමං මට කියවුණේ WT*! කියලා, මම එතරම්ම GIMP භාවිතා නොකරාට ඒ මාදුකෘශයට අමතරව තවත් ඒවා එකතු විය යුතු වුවත් තිබෙන ඒකත් පෙරනිම්නයෙන් එන්නේ නැති කරාම අපරාදේ නෙව! (මං නම් උබුන්ටු උඩ ඕන වුණොත් Wine උඩ Photoshop CS2 දුවනවා, GIMPshop එකත් වැඩ නෑනේ මගේ එකේ)

    ReplyDelete
  5. ස්තූතියි යාළුවා මේ වගේ ලිපි පල කරනවට.... :) ලිනක්ස් ගැන අළුත් අයට නියම පාඩම් ටිකක්.... :D

    ReplyDelete
  6. මරේ මරු.

    කාර්මික් කොආලා සංස්කරණයේ වඩාත් වේගවත් KDE ද? GNOME ද?

    ReplyDelete
  7. Glad to know about "HanthanaLinux". Wow it's great news.

    ReplyDelete
  8. @Budhajeewa,
    නැහැනෙ මචෝ... මම ඒ ගැන හෙව්වෙ නෑ. හැබැයි ආංරංචි විධියට නම් ඒක දෙන්නෙ virtual machine image එකක් විධියට.

    @Gaveen,
    හත්වලාමයි! ඒක දැක්කෙ දැන් නෙව. නිවැරදි කළාට ස්තුතියි. :)

    @තමීර, බින්කු,
    ඇත්ත. උබුන්ටු යන අත හිතාගන්න අමාරුයි. ඒකත් ව්‍යාපාරික උපායක් වෙන්න පුළුවන්. මොකද මට හිතෙන විධියට එයාලගෙ ඒකායන පරමාර්ථය Windows market share එක අල්ලන එක.

    @Uraj Deemantha,
    ස්තුතියි දිරිගැන්වීමට. :)

    @Anomymous,
    මම KDE අතුරුමුහුණත පරීක්ෂා නොකළ නිසා උත්තරයක් දෙන්න බැහැ. හැබැයි මම විශ්වාස කරනවා Gnome වල සරුවා පිත්තල වැඩ කෑලි අඩු නිසා Gnome වේගවත් කියලා. කලින් සංස්කරණයෙ නම් Ubuntu වලට වඩා Kubuntu වල වේගයෙ පැහැදිලි අඩුවක් තිබුණා. ඒ වෙනස වඩාත්ම කැපී පෙනුණේ 256 MB තරම් අඩු RAM මතකයක් තිබෙන පරිගණකයක ධාවනය කර බැලුවාමයි.

    @Ruki,
    Yes, and as Sri Lankan geeks it's our duty to use/ test Hanthana and support the developers.

    ReplyDelete
  9. මාත් Grub2 එක Grub වලට මාරු කර ගත්තා ඒකට හේතුව නං security ප්‍රශ්ණයක් නෙවියි, මට ඒකෙ වැඩක් කරගන්න අමාරු කම. (තාම ඒ ගැන හරියට දන්නැති කම නිසා වෙන්න ඇති). boot වෙන ටිකට ඔච්චර සංකීර්ණ තාවයක් ඔනද කියල මට නං හිතනේනෙ. පරණ විදියට අතින් menu.lst ලියන්න තිබුන නං මට නං ලේසියි.

    ReplyDelete
  10. My blessings to you for the award you got from "සිංහල සාහිත්‍ය‍ය තරගාවලිය"

    ReplyDelete
  11. එල එල,
    ස්තූතියි ..!

    ReplyDelete
  12. සිරා මචන්, මන් දවසක්ම අරන් මුළු බ්ලොග් එක කියෙව්වා.වැදගත් අදහස් ගොඩක් තියෙනවා.ලියන විලාසය ගොඩක් සරලයි,ඒ වගේම ලස්සනයි.කියවන්න ආස හිතෙනවා.ගොඩක් හොද බ්ලොග් එකක්. ලිනක්ස් ගැන මිට වඩා දිග විස්තරයක් ලියන්න පුලුවන්නම් තවත් හොදයි(ලිනක්ස් වලට එන නවකයන් ගැන හිතල අ 2 ෆ වෙනකන්).
    තව තවත් ලියන්න. සුබ අනාගතයක්
    මිට උබේ බැචෙක්.

    ReplyDelete
  13. මචන් උඹේ menu එක දැක්කම මටත් හිතුන එකක් දාන්න. එලට වැඩ කලා.පට්ට idea එක.

    ReplyDelete
  14. ඒළ ඒළ ඡය වෙවා ලිනක්ස්

    ReplyDelete
  15. ශාකුන්තල මල්ලියේ මම මේ සයිට් එක ගොඩක් කල් ඉදලා කියවනවා.උබ හොද වැඩක් කරන්නේ.මට ඔන්න පොඩි ප්‍රශ්ණයක් ආවා.පුලුවන්නම් එකට හේතුව කියන්න. මම එකේන් ලොකු අමාරුවක වැටුනා. මේකයි මට උනේ.
    මම උබුන්ටු 9.10 දැම්මා.වින්ඩෝස් එක්ක මයි. නමුත් මම වෙනම අන් පාට්ෂන් කරපු එකක වෙනමමයි දැම්මේ. ඊට පස්සේ මගේ වින්ඩෝස්වල දී ‍නෙට්වර්ක් එක අන්ප්ලග් කියලා වැවෙනවා. ඩ්‍රයිවර්ස් නැවත ඉන්ස්ටෝල් කලත් හරිගියේ නෑ. වින්ඩෝස් නැවත දැම්මා ඒත් හරි ගියේ නෑ.උබුන්ටු ගලවලාම දැම්මා. එත් හරි ගියේ නෑ. අන්තිමට මදර්බෝඩ් බැටරිය ගලවලා දැම්මා. ඔන්න හරි ගියා. දැන් මම නැවත උබුන්ටු දාන්න යන්නේ. මම දැන් බයේ ඉන්නේ. මම කොහොමද දැන් ඒක කරන්න ඕන. කරුණාකරලා කියපන් මල්ලියේ. මම හිතනවා මේ දවස්වල කැම්පස් එකෙත් වැඩ ඇති. ඒ අස්සේ මම කරදර කරනවද දන්නෑ.

    ReplyDelete

Facebook ප්‍රතිචාර