Saturday, June 20, 2009

ආයුබෝවන් Leonidas! සහ තවත් කතා෴

ඕං මමත් කැම්පස් එකෙන් බාගනිපු Fedora 11 image එක අළුත් DVD තැටියකට පිටපත් කරලා හොඳ නැකතක් හෙම බලලා ලැප්ටොප් එකේ (hd0,5) කියන තැනට ගානට මිම්මට පරිස්සමෙන් ගෙනත් දාගත්තා. වැඩේට උදව් කරපු පිංතූරමල්ලත් අමතක කරන්න හොඳ නෑ. තව ReloadEvery කියන ඇඩෝනයත්. පිංතූරමල්ලෙ දැඩි ප්‍රතිපත්ති ලිහිල් කරල දුන්නෙ ReloadEvery තමා :D .

ඉතිං Leonidas කියන නමේ තේරුමත් කියන්න එපායැ... Leonidas කියන නමේ තේරුම "සිංහයාගේ පුත්‍රයා" හෝ "සිංහයකු වැනි" කියන එක බවයි විකිපීඩියාවෙ ලියැවිලා තියෙන්නෙ. ඔය නම ඇහුවම මතක් වෙන චිත්‍රපටයක් තියෙනවා. නම 300.

Fedora Upgrade කරන්නයි මම මුලින් උත්සාහ කළේ. ඒක හරි ගියේ නැත්තෙ ඒ partition එකේ ඉඩ මදි වෙච්ච නිසා. මගේ /home එක තියෙන්නෙ වෙනම partition එකක. මගේ ළඟ තියෙන චිත්‍රපටි කන්දරාව දාගන්නත් එක්ක ලොකු ඉඩක් ඒකට දීලා OS එක දාන partition එකට පොඩි ඉඩක් දීමෙ විපාක තමයි ඉතිං මේ :( . ඉතිං වැඩේ පටන් ගත්තෙ නැතෑ මුල ඉඳලම දාන්න! Fedora දාලා පොඩි පොඩි අවුල් කීපයකුත් ඇති වුණා. ඒවා Fedora වල වැරදි නෙමෙයි, මගේ පරිගණකය Fedora Ubuntu dual boot කරන්න ගිහින් වුණ අවුලක් ඒක. සුපුරුදු පරිදි ක්‍රම සහ විධි පාවිච්චි කරලා ඒවත් විසඳගත්තා.

ඉතිං මරු මරු වැඩ තියෙනවා.. තව Windows 7 ගැන පොඩි කතාවකුත් තියෙනවා. මේක දිගටම කියවන්න... මගදි අහු වෙයි. ;) දැං සිද්ධ වෙච්ච දේ ගැන කතාව කියවමු.

ඔන්න ඉතිං Fedora DVD එක දාලා පටං ගත්තා වැඩේ. Fedora 10 නිකුතුවේ ඇනකොන්ඩාට සිංහල බෑ. ඒ කිව්වෙ Fedora ස්ථාපනය කරද්දි ස්ථාපන ක්‍රමලේඛයෙ අතුරුමුහුණතේ සිංහල භාෂාව තොරාගන්න පුළුවන් වුණත් සිංහල අකුරු හරියට පෙන්වන්නෙ නැහැ. නමුත් Fedora 11 සංස්කරණයේ මේ අවුල හදලා තියෙනවා. දැං ඇනකොන්ඩා සිංහලෙන්. ඒකත් අපූරුයි. තියෙන සමහර සිංහල වචන නම් ටිකක් නුහුරුයි. ඒත් කල් ගතවෙද්දි ඒ තත්වය සමනය වෙයි.

මගේ /dev/sda1 partition එකේ තියෙන්නෙ Ubuntu. /dev/sda5 කියන්නෙ /home. /dev/sda6 තමා Fedora. ඉතිං මම /dev/sda6 format කරලා සාමාන්‍ය විධියට Fedora ස්ථාපනය කළා. හැබැයි බූට් මෙනුව මානකරණය කරන පියවරේදි Ubuntu තියෙන බවක් ඇනකොන්ඩාට පෙනිල නෑ. කමක් නෑ, ඕන එකක් වෙද්දෙන් කියල ස්ථාපනය කළා.

---

ඔන්න දැං අතුරු කතාව..... අපේ මලයා දැනට දවස් කීපයකට කලින් ගෙදර ඩෙස්ක්ටොප් මැෂිමට Windows 7 දාගෙන. ඒ වුණාට Windows 7 සංස්කරණයෙ drivers ස්ථාපනය කරන් බැරිලු. ඉතිං Fedora වල 1500කට වඩා ටිකක් වැඩි ගණනකින් යුත් පැකේජ කන්දරාවෙන් එකින් එක මගේ ලැප්ටොප් එකේ ස්ථාපනය වෙද්දි මම ගිහින් ඒක කරල දෙන්න විධියක් කල්පනා කළා. ඇත්ත තමා... motherboard එකත් එක්ක එන CD එකේ තියෙන මෙලෝ මගුලක් වැඩ කරන්නෙ නෑ.

ඉතිං මෙන්න සරල විසඳුම... කොටන්න Start,... right click කරන්න Computer,... යන්න Manage. දැන් Device Manager එකට ගිහින් අදාළ hardware එක තෝරලා driver එක යවත්කල් (update) කරන්න. Drivers ගන්න ප්‍රභවය විධියට CD-ROM එක ලබා දුන්නාම වැඩේ ගොඩ. කෝමද ටිකිරි මොළේ? :)

ඉතිං ඕක කරන හැටිත් මලයට කියල දීලා ඒ මැෂිමෙන්ම සිංදුවකුත් අහගෙන ඉන්න වෙලාවේ අදහසක් ආවා අළුතෙන් බ්ලොග් සටහනක් ලියන්න. ඒකට ඕන වෙයි කියලා හිතෙන තිරපිටපතක් අරගෙන Microsoft Paint මෘදුකාංගය පාවිච්චි කරලා save කරද්දි තමා මරු සීන් එකක් දැක්කෙ. Save කරන්න තිබුණ ඩයලොග් එකේ ගොනු වර්ගය (file type) ලෙස පෙරනිමියෙන් තිබුණෙ PNG. ඒ කියන්නෙ දැන් Microsoft එකත් FOSS වලට ටිකක් බැහැලා ඉන්නෙ. :D මේ බලන්න screenshot එක:



දැං වින්ඩෝස් කතා ඇති... එමුකො මාතෘකාවට...

---

ඔන්න Fedora ස්ථාපනය කරලා ඇනකොන්ඩා මගේ ලැප්ටොප් එක reboot කළා. කලින් හිතපු එක හරි... බූට් මෙනු එකක් නෑ. ගෙඩිය පිටින් Fedora බූට් වෙනවා. ඉතින් මම Fedora බූට් වෙනකම් ඉඳලා /boot/grub/menu.lst බැලුවා. හරිනේ... මේකෙ තියෙන්නෙ Fedora වලට අවශ්‍ය යොමුව විතරයි. ඉතිං කෝමද මෙනු එකක් වෙන්නේ? ;)

මම මෙහෙමයි කළේ... Ubuntu තියෙන partition එක (/dev/sda1) mount කළා. ඒකෙ boot/grub/menu.lst වලින් Ubuntu වලට අදාළ යොමු ටික පිටපත් කරගෙන, Fedora ස්ථාපනය කළ partition එකේ එම ගොනුවට ඇතුළත් කළා. දැං ඇත්තටම වැඩේ සම්පූර්ණද?

තව පොඩි වැඩක් තියෙනවා. දැන් GRUB එක තියෙන්නේ Ubuntu තියෙන partition එකේ නෙමෙයි. ඒ නිසා Ubuntu වල කර්නල් එක /boot/vmlinuz-2.6.28-12-generic කියලා එකපාරටම දුන්නාම ඒක වැඩ කරන්නෙ නෑ. ඒකට පොඩි උප්පරවැට්ටියක් දාන්න ඕනේ root (/) partition එක හඳුන්වා දීලා. root partition එක විධියට දෙන්න ඕනේ Ubuntu තියෙන partition එකම තමා. මේ උදාහරණ බැලුවාම පැහැදිලි වෙයි.

පෙර:
title    Ubuntu 9.04, kernel 2.6.28-12-generic
uuid    3a70c937-6728-47ff-a488-19e1d8942c85
kernel    /boot/vmlinuz-2.6.28-12-generic root=UUID=3a70c937-6728-47ff-a488-19e1d8942c85 ro quiet splash
initrd    /boot/initrd.img-2.6.28-12-generic
quiet

පසු:
title    Ubuntu 9.04, kernel 2.6.28-12-generic
root    (hd0,0)
uuid    3a70c937-6728-47ff-a488-19e1d8942c85
kernel    /boot/vmlinuz-2.6.28-12-generic root=UUID=3a70c937-6728-47ff-a488-19e1d8942c85 ro quiet splash
initrd    /boot/initrd.img-2.6.28-12-generic
quiet

Fedora එක්ක KDE දැම්මා. බබා වගේ වැඩ. KDE පරණ සංස්කරණයෙ වගේ හිර වීම් මේකෙ නැහැ. බූට් වීමත් ඉක්මන්. හැබැයි අවුලකට තියෙන්නෙ මගේ ලැප්ටොප් එකේ touchpad එක හරියට අඳුනගන්නෙ නැති එක තමා. :(

තව ඉතිං... Firefox 3.5 beta තියෙනවා... ලස්සන ඩෙස්ක්ටොප් රංග සැරසිලි ටිකකුත් තියෙනවා (මේවා පරණ ඒවා + අළුත් ඒවා; Fedora දාලම බලන්ටකෝ...).

කොහොම වුණත් මේ වතාවේ Fedora ට හොඳ දසාවක් ලබල වගේ :P . තිරපිටපත් ටිකක් බලන්න ඕන නම් මගේ අමුතු තාලේ photoblog එක පැත්තෙ ඇවිත් යන්න එන්න෴

---

මේ සටහනේ තියෙන දේවල් වෙලා දැන් සතියකටත් වැඩියි. වැඩ වැඩි වුණ නිසා ලියන්න කාලයක් ලැබුණෙ නැහැ.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

30 අදහස්:

Supun Budhajeewa said...

[said : ශාකුන්තල]

Save කරන්න තිබුණ ඩයලොග් එකේ ගොනු වර්ගය (file type) ලෙස පෙරනිමියෙන් තිබුණෙ PNG.

[/said]

එතකොට BMP පවු නෙ ? :-P

änthräX said...

වටිනවා.

Thilina said...

එළ එළ... මම නම් තාම හොර කොපි තමා...

අනූ said...

වින්ඩෝස් විස්ටි වල ඉදන් .ico ඒව වෙනුවට .png පාවච්චි කරලා නේද?. ඒවයේ bit depth ඒක වැඩි නිසා වෙන්නැති.

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

සිංහයාගෙ පුත්‍රයාගෙ පිටපතක් මටත් ඕනා. ජනේලෙ සන් පෙට්ටියට දාල ෆෙඩෝරා ඒ partition එකට දාන්න කල්පනාවක් තියනව.

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

@බුධාජීව

BMP වල පතරංග ෆයිල් සයිස් එක නූතනයේ වැඩි වශයෙන් කෙරෙන කාර්යයන්ට නොගැලපීමත් (වෙබ් පිටු වලට වගේ ඒවට) ඩිජිටල් මුද්‍රණ යන්ත්‍ර JPG, PNG වලට වැඩි සහය දැක්වීමත් නිසා වෙන්නට ඇත.

කේෂාන් said...

මම නං තාම Ubuntu තමා ඒත් සිංහයගෙ පුතාව මැසිමට රිංගවනවද කියල මං මේ කල්පනා කොලේ..

ප්‍රසාන් හෙට්ටිආරච්චි -Prasan Hettiarachchi said...

@ශාකුන්තල
අළුත් iBus ඉන්පුට් මෙතඩ් එක ගැන අදහස් කොහොමද? මට නම් ඇල්ලුවේ නැහැ. (transliterated keyboard එක්ක අවුලක් තිබෙනවා වගේ නේද?)

niraarts said...

මමත් දැම්මා fedora 11.Gnome & KDE දෙකම install කලා.Now testing.පට්ට සිරා!වැඩේට උදව් කලාට Shaakuntala ට ස්තුතියි.I'll publish a post according to this subject in my blog near future.I spend 3 nights for this job!Now I suffering from illnesses.

chathuraw said...

මම නම් ඉතිං කවදත් වගේ උබුන්ටුම තමා... ඔය png වැඩේ අළුත් නෑ... විස්ටා වල ඉදං default එක png තමයි මට මතක හැටියට. අනික තව එකක්... Start menu එකේ Snipping tool කියල පොඩි app එකක් තියෙනවා 7 වල screenshots ගන්න...:D

ශාකුන්තල said...

ප්‍රතිචාර පළ කළාට ස්තුතියි.

@සුසිත රවින්ද සෙනරත්,
Empty DVD එකකුත් අරගෙන බවනට එන්න. ISO එක තාම මගේ ළඟ තියෙනවා.

@ප්‍රසාන් හෙට්ටිආරච්චි,
iBus නම් අන්තිමයි. මට නම් හොඳ SCIM ම තමා. iBus වල විජේසේකර ක්‍රමය පාවිච්චි කරනකොට යතුරුලියනය කරන අකුරක් තිරයේ පෙන්වන්න නම් තවත් අකුරක් යතුරුලියනය කරන්න ඕනා. මේක නුහුරු නිසා වැරදිලා එකම අකුර repeat වෙන වෙලාවන් තියෙනවා සෑහෙන.

@niraarts,
එළ එළ... UCSC බවනෙදි දාපු පොලිටික්ස් කුප්පියටත් තැංකූ වේවා! :)

ගයාන් තාරක said...

මටත් විජේසේකර එකේ ඒ ලෙඩේ නම් ආව. දැන් වචනයක්ම ගහල ස්පේස් එක ගහන්න පුරුදුවෙලා.
ඔය PNG දැන් ජනේලෙ පාචිච්චි කරාට IE වලදි වටේ කොටුවක් එනව දැක්කෙ නැද්ද?

මගේ ෆෙඩෝරා 11 එක නම් තත්පර 18කින් ලොගින් එකටත් එනවා. පුදුම වේගයක්නේ තියෙන්නේ. ආ මේ සවුන්ඩ් වැඩ හොදේ. මික්සර් එක හොයාගන්න බැරුව හිටියේ. කොහොමද ඉන්පුට් ලෙවල් පවා පෙන්නන හැටි.
ප්‍රසාන්,ශාකුන්තල කවුරුවත් සයුර එක දැක්කද?

මම නම් ඩීවීඩී තොගයක් රයිට් කරා හෙට තමයි වැඩ තියෙන්නේ. විස්තර ටික දාන්නම්කෝ පෝස්ට් එකකින්.

ශාකුන්තල said...

@ගයාන් තාරක,
ඒකනෙ මම කිව්වෙ Fedoraගෙ කල දසාව හොඳයි කියල. මම සයුර පාවිච්චි කරන්නෙ නැහැ. විජේසේකර පාවිච්චි කරල පුරුදු වෙලා මගේ සිංහල යතුරුලියන වේගය ඉංග්‍රීසි එම වේගයට වඩා වැඩියි. :-O

PNG වැඩේ නම් දැක්කෙ නෑ...

Anonymous said...

පාහරයා තෝ හිතාගෙන ඉන්නෙ වැඩ දන්නෙ උඹ විතරයි කියලද ? තමුසේ මහ ඉරිසියා කාරයෙක්. අනුන් ඉදිරිපත් කරන සිංහල බ්ලොග් වල ලිපි වලටම නිතර විරුද්ධව Comments දාන්නෙ ඉරිසියාවටයි ,කුහක කමටයිනෙ . මම තමුසේගෙ වැඩ සිංහල බ්ලොග් ගණනාවකම දැක්කා . පරිස්සම් වෙලා ඉදහන්. නැත්නම තමුසේගෙ බ්ලොග් සියල්ල හැක් කර මකා දමනවා . මගෙවැඩ බලාගන්න පුළුවන් වෙවී

ශාකුන්තල said...

Then try it.

chathuraw said...

හික් හික්... කවුද මේ අඬන බබා?

ශාකුන්තල said...

@yasitha,
මම දන්න තරමින් Fedora 11 එක්ක proprietary ලැබෙන්නෙ නෑ. ඒත් ඒවා වෙනම install කරගන්න බාධාවක් නෑ.

ranndeera said...

අයියා ඔයගේ දැනුම අපි එක්ක බෙදාගන්නවාට ස්තූතියි

FACEBOOK එකේම හිටිය මටත් දැන් ඒක අතහැරලා ඔයාලා වගේ LINUX ,FEDORA, UBANTU, NETWORKING,TECHNOLOGY ,වගේ දේවල් ගැන හොයන්න පටන් ගත්තා දැන් වැඩේ ඔයාලගේ BLOG කාලින්ග අයියලාගේ එහෙම බ්ලොග් කියවන එක, ටෙක් කතා අහන එක වගේ දේවල් තමයි

මමත්VIRTUALBOX දාගේන LINUX ,FEDORA.UBANTU MAC වගේ දේවල් දාන්න පටන් ගත්තා. අලුත් හින්දා ප්‍රශ්න ගොඩයි

අයියා අපි වගේ අයට ගොඩාක් උදවු කරනවා කියලා අහලා තියනවා ඉතින් ප්‍රශ්නයක් ආවහම අයියාව CONTACT කරගන්න ක්‍රමයක් කියනවද?

ශාකුන්තල said...

@ranndeera,
ස්තුතියි මලේ... මගේ ඊ මේල් ලිපිනය shaakunthala[at]gmail.com
Chat invitation එකක් එවන්න. :)

ranndeera said...

අයියේ skype ,yahoo එහෙම id තියනවද chat ක‍රන්න මගේ email එක ranndeera@gmail.com . ඔයාගේ skype,yahoo id මෙතනම කියන්න නැත්නම් email එකට එවන්න.

බුදුස‍රණයි................

ranndeera said...

virtualbox software eka ගැන අහගන්න ඕන chat id දාන්න
please..........

ශාකුන්තල said...

ඔන්න add කළා... හැබයි දැන් exam ළඟ නිසා ම වැඩිය online එන එකක් නැහැ. තව සති තුනකින් පසු මම නිදහස්.

ranndeera said...

මොකටද ඇඩ් කලේ yahoo ,skype id එහෙම නැද්ද අයියාට

ශාකුන්තල said...

මම Yahoo, Skype ID තිබුණට වැඩිය පාවිච්චි කරන්නෙ නෑ. ඒවත් shaakunthala තමා ;)

ranndeera said...

එහෙනම් කොහොමද සෙට් වෙන්නේ අයියා මොකද fedora දාන්න virtualbox දාගන්න හදන්නේ මොනවද සැලකිල්ලට ගන්න ඕන

ටිකක් දැනගන්න ආසයි අපි chat එකකට සෙට්වෙමුද?

ranndeera said...

ඔන්න add කළා... කිවුවේ මොකටද add කලේ

ශාකුන්තල said...

@ranndeera,
දැන් මෙතන ලිපියට අදාළ නැති අපේ පෞද්ගලික කතාවක්නේ යන්නේ... මෙතන comment දාපු අය email subscribe කරලා නම් මේක ඒ අයට හිරිහැරයක් වෙන්න පුළුවන්.

ඒ නිසා ඊළග එක මෙතන ලියන්නෙ නැතිව මගේ ඊමේල් එකට (shaakunthala[at]gmail.com) එවන්න. මම Gtalk එකට add කළා.

ranndeera said...

සොරි වෙන්න ඕනේ අයියා.

Spiderman said...
This post has been removed by the author.
සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

මමත් Fedora දැම්මා. හොඳයි . අර touch pad එකේ අවුල මටත් ආවා. ඒක කොහොමද හදා ගන්නේ. KDE දාන හැටිත් කියන්න බැරිද?

Post a Comment

මොකද හිතන්නෙ සටහන ගැන? දන්න සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි ප්‍රතිචාරයක් සටහන් කරලම යන්න. (හැබැයි කුණුහරුප මතක් වෙනව නම් ඒව ලියන්න එපා -- කුණුහරුප මකනවා)
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න පුළුවන්.

ප්‍රතිචාරයක් තැබූ සැනින් ප්‍රතිචාර කොටුවට පහළින් ඇති 'Subscribe by email' සබැඳිය ක්ලික් කරන්නත් අමතක කරන්න එපා!