Thursday, November 13, 2008

නිදහස සොයා - 2 | නිදහස්-විවෘත මෘදුකාංග හා සංවෘත මෘදුකාංග

පෙර ලිපිය හා සබැඳේ.

අද GNU/GPL ගැන ලියන්න බලාපොරොත්තු වෙලා හිටියත් ඒ ගැන තව වැඩිදුර අධ්‍යනයක් කරලා පසුව ලියන්න හිතුණා. මෘදුකාංග බලපත්‍ර ක්‍රම රාශියක් පවතිනවා. සමහර මෘදුකාංග වල මේ බලපත්‍ර දෙකක් සංයෝජනය කර සාදාගන්නා බලපත්‍ර ලබා දෙන ක්‍රමයකුත් තිබෙනවා. තොරතුරු තාක්ෂණයත් නීතියත් එකට සන්ධි වෙන එක් සන්ධිස්ථානයක් තමයි මෙය. ඉතින් මෘදුකාංග බලපත්‍ර ක්‍රම ගැන ලියන්න කලින් තව අධ්‍යනය කරන එක මගේ ඉගෙනීමටත් වැදගත්.

---

අද මම ලියන්නෙ නිදහස් හා විවෘත මෘදුකාංග (කෙටියෙන් FOSS - Free and Open Source Software කියමු) සහ සංවෘත (closed source) මෘදුකාංග අතර පොඩි සංසන්දනයක්.

FOSS වල ඇති විවෘත විනිවිද භාවය නිසා පරිශීලකයාට රිසි පරිදි එහි අභ්‍යන්තරය‍ට එබී බලන්නත් මෘදුකාංගය සංස්කරණය කරන්නත් පුළුවන්. එහි තේරුම තමාගේ මෘදුකාංග පිටපත තමා විසින් අවශ්‍ය පරිදි වෙනස් කරගැනීම පමණක් නොවෙයි, ඉන් ඔබ්බට ගොස් අළුත් යමක් සොයා ගත් විට අනෙක් අය සමග එය බෙදා හදා ගැනීම මගින් ලොවට යමක් දායාද කරන්නත් පුළුවන්. මේ බෙදා හදා ගැනීම් සඳහාම කැප වූ සංසද හා forums සෑහෙන ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා සොයාගන්න පුළුවන්. මේවා බොහොමයකට නොමිලයේම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පූර්ව තාක්ෂණික දැනුමක් තිබීමත් අත්‍යාවශ්‍යම නැහැ.

GNU ව්‍යාපෘතිය ආරම්භ කළ රිචඩ් මැතිව් ස්ටෝල්මන් නැමැත්තා වරෙක මෙසේ කියා තිබෙනවා,

"To serve humanity with software, software should be free, because software belongs to human knowledge. Proprietary software does not belong to human knowledge."

අද වන විට ලබා ගත හැකි FOSS ඇත්ත වශයෙන්ම තනි පුද්ගලයෙකුගේ, සමාගමක හෝ ආයතනයක දැනුමෙන් ගොඩනැගුණු ඒවා නොවෙයි. එය මුළු මහත් මිනිස් වර්ගයාගේම දැනුම නියෝජනය කරනවා.

උදාහරණයක් ලෙස අපි GNU/Linux කර්නලය (මෙහෙයුම් පද්ධතිය) ගනිමු. 1991දී මෙය නිර්මාණය කළේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු විසින් (Linus Torvalds, undergraduate at University of Helsinky). කාලයත් සමඟ විවිධ රටවල විවිධ පුද්ගලයන්ගේ දැනුමින් පෝෂණය වෙමින් දියුණු වූ මෙය අද පරිගණක භාවිතය ඉගෙනගන්නා අයගේ සිට මහාචාර්යවරුන් දක්වා විවිධ දැනුම්/ බුද්ධි මට්ටම් ඇති බොහෝ පිරිසකගේ එදිනෙදා අවශ්‍යතාවන් සපුරන්නක්. වෙනත් මෙහෙයුම් පද්ධතිද ප්‍රචලිතව තිබූ මේ කාලයේ Linux දියුණුවට ලොකු හේතුවක් වුණේ මූල කේත දෙස ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් වීම හා නිදහස් බවයි.

සමහරවිට කෙනෙකුට හිතෙන්න පුළුවන් මූලය විවෘත නිසා වයිරස නිර්මාණය කරන අයට මේ මෘදුකාංග වල කේතය අධ්‍යයනය කරල ඒ මෘදුකාගංයට හානි කරන වයිරස නිර්මාණය කරන්න පුළුවන් නේද කියල. ඇත්ත තත්වය එය නොවෙයි. යමක් සංවෘතව ඇති තාක් මිනිස්සු උත්සාහ කරන්නෙ ඒ දේ අභ්‍යන්තරය කොහොම හරි බලාගන්න. ඒ විතරක් නෙවෙයි කොහොම හරි අභ්‍යන්තරයට එබිල අනිත් අයට කරන්න බැරි දෙයක් කරල පෙන්නල 'පොර' වෙන්න. එතැනින් තමයි hackers/ crackers හා වයිරස ලියන්නන්ට මග විවර වෙන්නෙ. නමුත් දෙයක් විවෘත වුණාම, එහි ඇති අරුමයක් නැති බව පෙණුනම මිනිස්සු ඒක තව දියුණු කරල 'පොර' වෙන්න හදනව මිසක් එය විනාශ කරන්න දඟලන්නෙ නෑ. කාගෙත් හොඳ වෙලාවට තවමත් ලෝකයේ තාක්ෂණය දන්න අයගෙන් වැඩි හරියක් යහපත් අය. ඒ නිසා තමයි ලිනක්ස් කර්නලය මෙතරම් දියුණු තත්වයෙන් අද පවතින්නෙ. එයට වයිරස වලින් හානියක් කළත් මූලය විවෘත නිසා ඕනෑම කෙනෙකුට එය ඉක්මනින් යථා තත්වයට ගෙන එන්නත් පිළියම ලොවට ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ විතරක් නොවෙයි. තාක්ෂණික දැනුම නැතිනම් හානිය ගැන අනෙක් අයව දැනුවත් කළාම කාට හරි ඉක්මන් පිළියමක් සොයා ගන්න පුළුවන්.

ලිනක්ස් වල ඇති නිදහස් හා විවෘත බව නිසා දැනට ලෝකයේ පාවිච්චි වෙන ලිනක්ස් කර්නල අතර විවිධත්වයක් තිබෙනවා. ඒ බොහෝ අය තමන් ලද දෙය රිසි පරිදි සකස් කරගෙන පාවිච්චි කරන නිසා. මේ විවිධත්වය නිසා එක් ලිනක්ස් කර්නලයකට හානි කිරීමට සමත් වයිරසයක් තවත් ලිනක්ස් කර්නලයක් හමුවේ අසරණ වෙනවා. නමුත් Windows හෝ වෙනත් සංවෘත මෙහෙයුම් පද්ධතියකට හානි කරන්න සමත් වයිරසයක්, ලොව පුරා ඇති එම මෙහෙයුම් පද්ධති කර්නල පිටපත් වල ඇති එකිනෙකට සමාන බව නිසා පහසුවෙන් ජය ගන්නවා. අවශ්‍ය නම් ඕනෑතරම් උදාහරණ දෙන්න පුළුවන්.

---

අපි හිතමු යම් කෙනෙක් FOSS එකක දෝෂයක් (bug) සොයා ගත්ත කියල. අවශ්‍ය තාක්ෂණික දැනුම තියෙනවනම් ඔහුට පුළුවන් ඒ සඳහා 'patch' එකක් තමන් විසින්ම හදල නිකුත් කරන්න. විවෘත නිසා අනෙක් අයට පුළුවන් එහි නිවැරදි බව පරීක්ෂා කරන්න. තාක්ෂණික දැනුම නැතිනම් පුළුවන් bug එක ගැන forum එකක කතා කරන්න. එවිට කාට හරි පුළුවන් patch එක හදන්න. FOSS අභ්‍යන්තරය දෙස මුළු ලොකයේම නෙත් යොමු වී ඇති නිසා ඇති වන දෝෂ ඉක්මනින්ම සොයා ගැනෙනවා.

නමුත් සංවෘත මෘදුකාංග වල දෝෂයක් හොයා ගත්තම එය තමන්ටම නිවැරදි කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් දියුණු තාක්ෂණික ක්‍රම තිබුණත් ඒවා පාවිච්චිය නීති විරෝධීයි. ඒවා පාවිච්චියේදී bugs ගැන අදාළ සමාගමට පැමිණිලි කළ යුතු වෙනවා. ඔවුන් එයට අවශ්‍ය විසඳුම දෙන්නෙ ඔවුන්ට අවශ්‍ය පරිදි අවශ්‍ය නම් පමණයි. විසඳුම් ලැබෙනකොට අශ්වයා පැන ගිහින් ඉවරයි. හොඳම උදාහරණය Windows XP Service Packs නිකුත් වෙන්න කොයි තරම් කාලයක් ගියාද?

---

මේ අතරෙ Microsoft ගැනත් යමක් කියන්න ඕන. බිල් ගේට්ස් පෝල් ඇලන් හා එක්ව හැදූ MS-DOS පද්ධතිය දියුණු වෙලා Windows දක්වා දියුණු වුණේ Microsoft ආයතනයට සේවය කරන අය අතින් පමණයි. ලෝකයේ සෙසු අය කළේ ගුණ දොස් විචාරන එකයි. එහෙනම් කොහොමද Microsoft තවමත් ලෝකයේ අංක එක වෙලා තියෙන්නෙ?

ඒකට හේතුව Microsft සමාගමේ දක්ෂ අලෙවි ප්‍රවර්ධන උපාය ක්‍රම (marketing strategies) හා උසස් මට්ටමක ඇති කළමනාකරණය කියලයි මට හිතෙන්නෙ. ව්‍යාපාරික මට්ටමින් බැලූ විට එය පැසසිය යුතු දෙයක්. (හැබැයි ඔවුන් ව්‍යාපාර කරන්නෙත් නීති විරෝධීව - Antitrust Law)

මෘදුකාංග නිදහස් විය යුතුයි. Software should be free.

---

සටහන අපැහැදිලියි වගේ නම් සමාවෙන්න. ප්‍රශ්න තියෙනවනම් comemnt එකක් දාන්න.


3 comments:

  1. මහේෂ්-ඩී-ජයNovember 13, 2008 at 9:04 AM

    එල එල FOSS ගැන දැනගෙන හිටියෙ නැති ගොඩක් දේවල් ඉගෙනගත්තා.

    ReplyDelete
  2. මෙච්චර කල් ලංකාවෙ FOSS ප්‍රචලිත නොවුනෙ රුපියල් 100ක් දීලා ඕනම මෘදුකාංගයක් ගන්න පුළුවන් කම තිබ්බ නිසා. දැන් තමයි මෘදුකාංග සම්බන්ධ නීති හරියට ලංකාවෙත් ක්‍රියාත්මක වෙන්න පටන් ගෙන තියෙන්නෙ. එහෙම කාලෙක මේ වගේ FOSS ගැන දැනුවත් කරන්න සිංහලෙන්ම ලිය‍වුන මේ වගේ blog එකක් ඉතාමත්ම ව‍ටිනවා. Good work Shaakunthala. Keep it Up!!!

    ReplyDelete

Facebook ප්‍රතිචාර