Monday, October 26, 2009

ලිනක්ස් මත MP3 ප්‍රති-කේතාංකනය


අද මගේ බ්ලොග් එක කියවන අයට පොඩි script එකක් ලැබෙනවා... MP3 වල bitrate අඩු කරගන්න පුළුවන්.  ඒක පිටපත් කරගෙන තියාගන්න. ප්‍රයෝජනවත් වෙයි. සටහන කියවන්න කම්මැලී වගේ නම් මෙන්න බාගන්න ඒක. :)

මාතෘකාවෙම තියෙනව ටිකක් නේද මහ අමුතු බර වචනයක් -- ප්‍රති-කේතාංකනය. බය වෙන්න එපා.. මේ යෙදුම මෙතනට ගැළපෙනවද කියල මමවත් දන්නෙ නෑ :D . Re-encoding කියන ඉංග්‍රීසි යෙදුමට සුදුසු සිංහල වචනයක් ගැන කල්පනා කරද්දි සිහියට ආවෙ ප්‍රති-කේතාංකනය. මේ වචනෙ පාවිච්චි කරන එකේ හරි වැරැද්ද මම දන්නෙ නැහැ :-/ . මොකක් වුණත්, මගේ අවශ්‍යතාව මුලින්ම කියන්නම්.

මම බොහෝම දැඩි ලෙස සංගීත ලෝලියෙක් B-) . ඒ නිසා මගේ පරිගණකයෙ තියෙන සම්පූර්ණ MP3 එකතුවම ජංගම දුරකථනයට ඔබාගත්තත් මට මදි වගේ. ජංගම දුරකථනයෙ තියෙන M2 චිප් එක 1 GB. පිංතූර ගන්නත් චිප් එකේ ඉඩ තියෙන්න ඕන නිසාත්, ගීත වැඩි ගණනක් ජංගම දුරකථනයට දමාගන්න ඕන නිසාත් මම කල්පනා කළා මගේ ළඟ තියෙන MP3 ගොනු වල bitrate අඩු කරන්න. එහෙම කළාම ගොනු ප්‍රමාණය සෑහෙන අඩු වෙනවා.

උදාහරණයක් විධියට ගත්තොත්,
320 kbps, 44100 Hz, මින්ත්තු 6 තත්පර 5 වෙන sterio MP3 ගොනුවක ප්‍රමාණය 14 MB නම්, ඒක 128 kbps දක්වා bitrate අඩු කළාම 5.6 MB පමණ ප්‍රමාණයක් වෙන්නේ. ඉතින්, ලොකු ඉතුරුවක්!

ඉතින්, අන්තර්ජාලයෙන් විසඳුමක් හොයද්දි හම්බවුණා එකක්. ඒ lame මෘදුකාංගය. Audacity පාවිච්චි කරල තියෙන අය මේ මෘදුකාංගය ගැන දන්නවා. Audacity වල MP3 encoding library එක වෙන්නෙ lame. ඉතින්, lame නැත්තම් මුලින්ම පරිගණකයෙ lame ස්ථාපනය කරගන්න.

# apt-get install lame

මෙන්න මට ලැබුණු විසඳුම:
http://www.linuxquestions.org/questions/linux-software-2/reduce-mp3-bitrate-336791/

#!/bin/bash

for file in `ls`
do
file=`echo $file | sed s/\ /_/g`
echo $file
lame --decode $file
lame -b 128 $file.wav
rm $file
rm $file.wav
mv $file.wav.mp3 $file
done

වැඩේ හොඳයි. මොකද MP3 ගොනු 100ක් විතර encode කරන්න ඕන වුණ වෙලාවට lame මෘදුකාංගයෙන් batch processing විධියට කරන්න බැහැ. ඒ නිසා loop එකක් ධාවනය වෙන පොඩි script එකක් අවශ්‍ය වෙනවා. හැබැයි මේක ප්‍රායෝගික නෑ. හේතුව, එයාල දීල තියෙන script කේතය වැඩ කරන්නෙ නැහැ MP3 ගොනු වල නමේ හිස්තැන් (whitespaces, ASCII character 32) තිබුණොත්. For loop එකෙන් ගොනු නමේ සීමාව ලෙස හඳුනගන්නෙ හිස්තැන. නමුත් ප්‍රායෝගිකව අපට ලැබෙන MP3 ගොනු බොහොමයක නමේ මැද හිස්තැන් තියෙනවා. ඉතින් මේවා එකින් එක rename කර කර ඉන්නවට වැඩිය හොඳයි පැය ගාණක් වැය කරලා එකින් එක වෙන වෙනම encode කරන එක.

ඉතින් මම කල්පනා කළා විසඳුමක්. මුලින් කල්පනා කළේ, ls වෙනුවට ls -Q පාවිච්චි කළොත් ප්‍රතිපලයෙ හැම ගොනු නමක්ම වෙන වෙනම උධෘත සලකුණු දෙකක් අතරට එනවා. දැන් ඒකෙන් ගොනු නම් ටික වෙන් කරගන්න ලූප් එකක් ඇතුලෙ වැඩ කරන පොඩි ඇල්ගොරිතම් එකක් ලියන්න පුළුවන්...........

........... හාපෝයි බෑ.... අවශ්‍යතාව අනුව බරපතල වැඩියි... මම යන්නෙ වැරදි පාරේ............!!!! :-O

විසඳුමක් කල්පනා කරද්දි මතක් වුණා කැම්පස් එකේදි ළඟදි ඉගෙනගන්න ලැබුණු find shell විධානය. ඉතින් කෑලි බෑලි ටිකක් එක්ක අටවලා මම script එකක් ලිව්වා. මම ඉතින් free ඇන්ඩ් open නොවැ... බෙදා හදාගෙන කාලා බොහෝම පුරුදුයි. ඒකයි මේ ලියමන ලියන්නේ.... මෙන්න code එක. වැඩ දන්නා ඇත්තෝ මේක දියුණු කරත්වා!

if [ $# -eq 2 ]
then
mkdir $1/output
cd $1
find . -maxdepth 1 -exec lame -h -b $2 {} ./output/{}  \;
else
echo "Invalid arguements, please refer http://blog.shaakunthala.com/2009/10/mp3.html"
fi

මේක අළුත් text file එකකට copy-paste කරගන්න. ඒක කැමති නමකින් (උදා: mp3enc.sh) සුරකින්න.

දැන්,
$ chmod +x mp3enc.sh

පාවිච්චි කරණ පිළිවෙළ:
ප්‍රති-කේතාංකනය කරන්න අවශ්‍ය MP3 ගොනු සියල්ලම එක ඩිරෙක්ටරියකට (ෆෝල්ඩරයකට) පිටපත් කරන්න. දැන්,

$ ./mp3enc.sh <mp3_files_directory> <target_bitrate_kbps>

උදාහරණයක් විධියට අපට අවශ්‍ය ප්‍රතිදාන bitrate එක 128 kbps ලෙසත්, අපේ MP3 ගොනු ටික තියෙන්නෙ /home/shaakunthala/Desktop/music ඩිරෙක්ටරියෙ බවත් සලකමු. එහෙම නම් කරන්න තියෙන්නේ,

$ ./mp3enc.sh /home/shaakunthala/Desktop/music 128

හරිම පහසුයි නේද? දැන් අපේ MP3 ගොනු තියෙන ඩිරෙක්ටරිය ඇතුළෙ output ලෙස තව ඩිරෙක්ටරියක් නිර්මාණය වෙනවා. Bitrate අඩු කළ (ප්‍රතිදාන) ගොනු ටික එහි ඇති. :)

එතකොට code එකේ තේරුම? ඒක තනියම තේරුම් ගන්න පහසුයි. නමුත්,

find . -maxdepth 1 -exec lame -h -b $2 {} ./output/{}  \;

මේක මත තමයි අපේ වැඩේ රඳා පවතින්නේ.
find වලින් කරන්නේ දෙන ලද ඩිරෙක්ටරියක සහ සබ්ඩිරෙක්ටරි වල තියෙන ගොනු සෙවීම.
-maxdepth 1 මේකෙන් කරන්නේ අපි ලබා දුන් ඩිරෙක්ටරියෙ සිට පහළට එක මට්ටමකට පමණක්, එනම් අපි ලබා දුන් ඩිරෙක්ටරියෙ පමණක් ගොනු සෙයන්න කියන එක. තවත් පහළට ගියොත් හමු වෙන්නේ output ඩිරෙක්ටරිය ඇතුළෙ තියෙන ප්‍රති-කේතාංකනය කළ ගොනු. ඒවත් එක්ක පටලැවිල්ලක් ඇති වීම වැළැක්වීමයි අරමුණ.
-exec find විධානයෙන් දෙන ප්‍රතිදානය මත වෙනත් විධානයක් ක්‍රියාත්මක (execute) කරන්නෙ මේකෙන්.
$1, $2 මෙයින් නිරූපණය වෙන්නේ විධාන පෙළට ලබා දුන් පරාමිතීන්. ඒ කියන්නේ අපේ MP3 ගොනු තියෙන ඩිරෙක්ටරිය සහ ප්‍රතිදාන bitrate එක.
{} find විධානයේ ප්‍රතිදානය.

මේක මාගලක් වගේ මහා ලියමනක් ලියන්න තරම් ලොකු දෙයක් නෙමෙයි. මට නම් සුළු දෙයක්. නමුත් වැඩි පිරිසකට තේරුම් ගන්න පුළුවන් විධියට ලියන්න මට ඕන වුණ නිසයි ටිකක් දීර්ඝව විස්තර කළේ. Shell Script ලිවීම ගැන සිංහලෙන් උපකාරක අත්වැලක් diGIT සඟරාවේ පළ වෙන බවත් නැවත මතක් කරන්න කැමතියි. මමයි ලියන්නේ. :) ඉතින්, අදට ආයුබෝ....!

Thursday, October 22, 2009

පරිගණකය මුර කරන්න - චූටි crypto කුප්පියකුත් එක්ක!


ඉඳලා ඉඳලා ආපහු අහම්බෙන් පොඩි චාන්ස් එකක් ආවා බ්ලොග් සටහනක් ලියන්න. අද කියන්න යන්නෙ අනවශ්‍ය ඇඟිලි ගැසීම් වලින් තමන්ගෙ පරිගණකයෙ මෙහෙයුම් පද්ධතියත්, GRUB එකත් ආරක්ෂා කරගන්නෙ කොහොමද කියන එක.

ගොඩක් අය දන්නවනේ පරිගණකයෙ CD/ DVD/ USB වලින් බූට් කරන්න පුළුවන් විධියට BIOS සැකසුම් සකසලා තිබුණොත් වැඩේ විනාසයි කියලා... ලිනක්ස් Live CD එකකින් බූට් කරලා gksu nautilus ධාවනය කළාම මුළු හාඩ් ඩිස්ක් එකම නිරුවත්!! :-O

ඉතින් පළවෙනිම කාරණාව BIOS එකට මුරපදයක් දාල තියාගන්න. CD/ DVD/ USB වලින් බූට් කරන්න පුළුවන් පහසුකම අක්‍රීය කරන්න.

ඊළඟට අපි අත තියන්නෙ GRUB එකට. අපේ අසමසම බූට්ලෝඩරය (අසමසම බූට්ලෝඩරය කිව්වම දන්න කියන කෙල්ලෙකුත් මතක් වුණා :P ). මෙහෙයුම් පද්ධතියක් hijack කරන්න බොහොම පහසුවෙන් පුළුවන් GRUB එකේ පරාමිතීන් (boot parameters) විවිධ ආකාරයට සකස් කරලා. ඒ වගේ නරක වැඩ කරන හැටි ගැන ලියවුණු හොඳ සිංහල බ්ලොග් ලිපි කීපයකුත් පහුගිය කාලෙ කියවන්න ලැබුණා. ;) ඇත්තෙන්ම මෙහෙයුම් පද්ධතියක් නැතුවත් GRUB එකෙන් හරි හරි 'වැඩ දාන්න' පුළුවන්. ඒ නිසා GRUB එකටත් මුරපදයක් යොදලා තියාගන්න එක බොහොම වැදගත්.

වින්ඩෝස් ඔන්ලි අයට නම් GRUB නෑ තමා. මේ ලියවිල්ල ලියන්නෙ අඩුම ගානෙ ඇඩ් එකට හරි ලිනක්ස් දමාගෙන ඉන්න අයට. ලිනක්ස් වල පහත දැක්වෙන විධානයෙන් GRUB එකට අදාළ සැකසුම් තියෙන ගොනුව, menu.lst සංස්කරණය කරලා මුරපදයක් දමාගන්න පුළුවන්.

# vim /boot/grub/menu.lst

මේ ගොනුවෙ ඉහළින්ම, ඒ කිව්වෙ මෙහෙයුම් පද්ධති ලැයිස්තුවට උඩින් තමයි මුරපදය ස්ථානගත කරන්න ඕන. සාමාන්‍යයෙන් Ubuntu ස්ථාපනයෙදි නම් menu.lst ගොනුවෙ අදාළ ස්ථානයෙ උදාහරණ මුර පදයක් දාල එවනවා, topsecret කියලා. ඒක තියෙන පේළියෙ මුලට # ලකුණක් දාලා අක්‍රිය කරලයි තියෙන්නේ. අපි මේ දාන්න යන මුරපදය අපට ක්‍රම දෙකකට අනුව දාන්න පුළුවන්. එකක් plaintext විධියට, අනෙක encrypted hash string එකක් විධියට.

කිව්ව දේ තේරුණේ නැති අයත් ඇතිනේ... මෙන්න crypto කුප්පිය... Plaintext කිව්වේ ගෙඩිය පිටින් password එක එහෙමම දාන එක. උදාහරණයක් විධියට password එක sbu@lk1453 නම්, ඒක එහෙමම ලියන එක යි. මුරපදයක් ගෙඩිය පිටින් කොතන වුණත් ලියල තියෙන එක හරිම අනාරක්ෂිතයි. ඕන කෙනෙකුට දකින්න පුළුවන් මුර පදයක් plaintext විධියට තමන්ගෙ මතකයෙ විතරක් තිබුණාම හොඳටම ඇති. එතකොට encrypted hash string??? අපි ඔය රහස් වචනය අපටවත් අඳුනගන්න බැරි රහස් භාෂාවකට පෙරළුවොත් කෝමද? ඒක තමයි encrypt කරනවා කියන එක සරලව ම කිව්වොත්. ඔය මුර වචනය පරිගණකයෙ තියෙන එක එක ගණිතමය ක්‍රමවිධි පාවිච්චි කරලා (නියම තාක්ෂණික වහරෙන් කිව්වොත් encryption ඇල්ගොරිතම පාවිච්චි කරලා) රහස් සංකේත ක්‍රමයකට හරවනවා. ඒ ගැන මෙතන වැඩිය විස්තර කරන්න ගියොත් මම ලෝක අමාරුවක වැටෙන්නේ.. ඒ නිසා වැඩි දුර දේවල් කියන්නෙ නෑ. :P

Encrypt කරන්න විවිධ ක්‍රම විධි පාවිච්චියේ තියෙනවා. GRUB එකේ පාවිච්චි වෙන්නේ MD5 (Message Digest 5) කියන ක්‍රමය. MD5 ක්‍රමයෙ එක ලක්ෂණයක් තමයි, අපි හදා ගන්න hash එක කවදාවත් ආපහු plaintext බවට පරිවර්තනය කරන්න බැරි වීම. කරන්න පුළුවන් එකම දේ තමයි hash දෙකක් සංසන්දනය. ඉතින් ඔය මම ලිව්ව සාම්පල් මුර වචනය MD5 පාවිච්චි කරලා රහස් භාෂාවට පෙරළුවොත් කොහොමද? කරල බලන්න ඕනේ නම් මෙන්න මේ විධානය දීල බලන්න.

$ echo -n "sbu@lk1453" | md5sum

මෙන්න මෙහෙම උත්තරයක් එයි, මේ තමයි MD5 hash එක. ඒක අපේ password එකට (sbu@lk1453) අනන්‍ය එකක්. වෙන password එකක් දුන්නොත් එන්නෙ වෙනින් hash එකක්.

bf5685008c857862c15602cc73eef25c

Hash එකක් කවදාවත් ආපහු මුල් තත්වයට පත් කරන්න බැහැ. කරන්න පුළුවන් එකම දේ තවත් hash එකක් එක්ක සංසන්දනය විතරයි. ඉතින් ඕක මොන මළ යකාටද කියවන්න පුළුවන්? ඒ නිසා මේක ආරක්ෂිතයි.

නමුත් වැඩේ මෙතනින් ඉවර නැහැ. මුල් කාලයෙ මට මතක හැටියට GRUB එකේ මේ විධියට භාවිත වුණාද මන්දා... :-/

කවුරු හරි මගෝඩියෙක් ඔය hash එක පිටපත් කරගෙන යනවා. ගිහින් තව පොඩි program කෑල්ලක් අටවගන්නවා දැනට පාවිච්චි වෙන ඉංග්‍රීසි අකුරු - ඉලක්කම් - සංකේත ඔක්කොම එකතු කරලා හදන්න පුළුවන් සංකලන ඔක්කොම එකින් එක hash බවට පරිවර්තනය කරලා අපෙන් හොරකම් කළ hash එකත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් එකක්. බැරි වෙලාවත් ඒ සංකලන අතර අපේ මුර වචනයත් (sbu@lk1453) තිබුණොත්...! ඊළඟට මූ hash එක හොයා ගන්නවා ලේසියෙන්ම (bf5685008c857862c15602cc73eef25c), අපෙන් හොරකම් කළ එකත් එක්ක තිතටම ෆිට් කියලා දැක්ක ගමන් මූ අපේ password එක sbu@lk1453 කියල දැන ගන්නවා. තාක්ෂණිකව මේ ක්‍රමය හඳුන්වන්නේ bruteforce attack කියන නමින්. තව තව attack වර්ග තියෙනවා password හොයන්න පුළුවන්. Bruteforce attack මගින් මුරපද හෙවීම ලෙහෙසි නැහැ. නමුත් මෙතන ක්‍රියාත්මක වෙන මූලධර්මය, hash සංසන්දනය කිරීම මගින් වෙන attack එකක් පාවිච්චි කරල හරි මුරපදය හොයා ගන්න පුළුවන් වීමේ අවදානමක් තියෙනවා.

මම මේ තරම් වචන ගොඩක් වැය කරල හැකිතාක් දුරට කාටත් තේරුම් ගන්න පුළුවන් වෙන්න ලිව්වට මේ කිව්ව මගෝඩි වැඩේ අටවලා ක්‍රියාවේ යෙදවීම මහා ලොකු අමාරු දෙයක් නෙමෙයි. Just a script kiddies' job. ;)

ඒ වගේම මෑතකදි කළ පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා මේ සමහර MD5 hash වලින් නැවත මුල් password එක ගණනය කරන්න පුළුවන් බව! ඒ කියන්නෙ MD5 යම් පමණකට අනාරක්ෂිතයි!! [Rainbow tables]

මේ අවදානම අඩු කරන්න කරන්න තමයි Salt කියන තාක්ෂණය එන්නේ. මේකෙදි වෙන්නේ අපේ hash එක ගණනය කරන්න එවෙලෙ අහඹු ලෙස පරිගණක මතකයේ නිර්මාණය කරගන්න බිටු (bits) කීපයකුත් සහභාගි කරවා ගැනීම. තාක්ෂණිකව කිව්වොත් random bits නොහොත් salt. Hash එක ගණනය කරන ශ්‍රිතයට plaintext එකත් සමඟ මේ අහඹු බිටු කීපයත් ලබා දුන්නාම මම මුලින් කිව්ව ක්‍රම පාවිච්චි කරල හෙවිල්ල තවත් අමාරු hash එකක් එන්නේ.

ඉතින් GRUB එකේ salt පාවිච්චි වෙන්නෙ මෙන්න මෙහෙම:
grub_password (PASSWORD) = SALT + md5 (SALT + PASSWORD)
ඒ කිව්වෙ මුලින්ම අහඹු ලෙස හදා ගන්නා salt එක මුරපදයත් එක්ක එකතු කරනවා. ඊළඟට MD5 ක්‍රමයට encrypt කරලා ආපහු ඒකත් salt එක එක්ක එකතු කරනවා. මේ අන්තිම ප්‍රතිපලය තමයි hash එක විධියට පාවිච්චි වෙන්නේ. ඉතින්, කරල බලන්න ආසද?

මෙන්න මේ විධානය දීල බලන්න (මුර වචනය ඇහුවාම sbu@lk1453 කියන අපේ උදාහරණය දෙන්න):

$ grub-md5-crypt

බැලු බැල්මට මේ වගේ පෙනුමක් තියෙන එකක් එයි:

$1$IKofG/$XBHQwpG6b.ZJRQuNpTbBr.

ආයෙත් වතාවක් කරල බලන්න. Hash එක වෙනස් නේද? ඒකට හේතුව තමයි hash එක ගණනය කිරීමේදී අහඹු බිටු යොදා ගැනීම. මේ ක්‍රමය දැනට ඉතාම ආරක්ෂිත ක්‍රමයක් ලෙසයි සැලකෙන්නේ.

Salt ගැන මම හදාරන්න පටන් ගත්තේ බොහොම මෑතකදී. මේ GRUB එකේ තියෙන අහවල් එව්වා හාරා අවුස්සන්න ගිහින් තමයි. :D ඉතින් අවංකවම මම salt ගැන මෙතනින් එහාට වැඩි යමක් දන්නෙ නැහැ. මම ලියල තියෙන දේ යම් කිසි වැරැද්දක් අඩුපාඩුවක් එහෙම තියෙනවනම් මේක කියවන crypto දන්න කෙනෙකුට බාරයි අඩුපාඩු පෙන්වා දීම. :)

ඉතින්, encryption ගැන විස්තර කරන්න ගිහින් මාතෘකාවෙන් ගොඩක්ම එළියට විසි වෙලා මම. මම විස්තර කරමින් හිටියෙ GRUB එකට මුරපද දැමීම ගැන. ඒක කරන්න මම කිව්ව ඔය encryption වග විස්තරේ දැනගන්න අවශ්‍ය නැහැ. Encryption ගැන ලිව්වෙ ලිපිය ටිකක් සාරවත් කරන්න.

දැන් (ගෙඩිය පිටින් password ක්‍රමයට අමතරව) GRUB එකේ පාවිච්චි වෙන්නෙ salted md5 hash ක්‍රමය. GRUB එකට මුරපදයක් දාන්න මුලින්ම /boot/grub/menu.lst ගොනුව විවෘත කරගන්න ඕනේ. ඒ ගොනුවෙ මෙහෙයුම් පද්ධති ලැයිස්තුවට උඩින් මෙන්න මේ ක්‍රම දෙකෙන් කැමති එකක් යටතේ දීල තියෙන පේළිය ඇතුළත් කරලා ගොනුව save කරන්න.

1. Plaintext ලෙස (මේක අනාරක්ෂිතයි කියලා කලිනුත් කිව්වා!!!)
password sbu@1453

2. Hash එකක් ලෙස (මෙච්චර වෙලා විස්තර කළේ මේකෙ තාක්ෂණික පසුබිම)
password --md5 <ඔබේ මුරපදයට අදාළ salted hash එක>
උදා: password --md5 $1$38yfG/$Y26Y38QN67XZ9ipsWfUnE0
(මේ hash එක ගණනය කරන්න grub-md5-crypt විධානය පාවිච්චි කරන්න පුළුවන් බව ඉහත කියා තිබෙනවා)

අපට ඕනෙ නම් තවත් මරු වැඩක් කරන්න පුළුවන්. කැමතිද වින්ඩෝස් වලට password එකක් GRUB එකෙන්ම දාන්න. ආයෙ සක්කරය තියා වයිම කිව්වත් වින්ඩෝස් බූට් වෙන්නෙ නෑ password එක දුන්නෙ නැත්තං.

එහෙම නැත්තම් Ubuntu වල recovery mode එකට කාටවත් යන්න බැරි වෙන්න password එකක් දාමුද? මොකද ඒකට ගියොත් (login වෙන්නෙ නැතුවම) පද්ධතියෙ යම් යම් වෙනස්කම් කරන්න අවස්ථාව සැලසෙනවනෙ. ඉතිං හැම එකාම recovery mode යන එක නවත්තන්නත් පුළුවන්.

ඉතින් ඒක කරන්නෙ කොහොමද? හරි සරලයි. menu.lst ගොනුවේ මුරපදය දාන්න ඕන මෙහෙයුම් පද්ධතියට අදාළ යොමුව හොයා ගන්න. දැන් ඒකෙ statements ටිකට යටින් කලින් විධියටම මුරපදය ඇතුළත් කරන්න.
උදාහරණ:
title Microsoft Windows XP Professional
root (hd0,0)
savedefault
makeactive
chainloader +1
password --md5 $1$WQ0gG/$eMjWNO.3XSAwMtd4bk0vi1


දැන් පරිගණකය restart කරල බලන්න වෙනස. :) සාමාන්‍ය පරිදි බූට් කරන්න පුළුවන්. හැබැයි මුරපද දමාපු මෙහෙයුම් පද්ධති බූට් කරන්න ගියොත් මුරපද ඉල්ලනවා. ඒ වගේම parameters අතින් සකස් කරන්නත් මුරපදයක් ඕනේ (ඒ අපි මෙහෙයුම් පද්ධති ලැයිස්තුවට උඩින්ම දමාපු එක).

මේක ලියල මගේ හොඳ පණ ගිහින්. ඒත් තව එක දෙයක් කියන්න තියෙනවා. හොඳ මුරපදයක් තෝරාගනිද්දි ඉංග්‍රීසි කැපිටල් අකුරු, සිම්පල් අකුරු, විරාම ලක්ෂණ සහ අංක -- මේ ඔක්කොම නියෝජනය වෙන මුරපදයක් හදා ගන්න. ඒ වගේම මුරපදය සංකේත 8කට වඩා දිග එකක් වෙන්න හදා ගන්න. හේතු විස්තර කරන්න කම්මැලියි වගේ මේ වෙලාවේ.

අහල තියෙනවද leet ගැන? Leet ගැන දැනගන්න විකිපීඩියා පිටුව කියෙව්වම හොඳටෝම ඇති. තමන් විතරක් දන්න, තමන්ගෙ පරණ secret crush එකක් වෙලා හිටපු, ඒත් වැඩේ හරි නොගියපු කෙල්ලෙකුගෙ/ කොල්ලෙකුගෙ නමක් leet වලින් mod කරල ගත්තාම password එකකට නියමයි. ;) මොකද ඒක තමන් විතරයි නෙව දන්නේ... :P

උදාහරණයක් හැටියට, හිතේ කැරකෙන, ඒත් කාටවත් ලේසියෙන් අනුමාන කරන්න බැරි බව ෂුවර් වචනය marzena godecki නම් :P , පොඩි ලීට් පාරක් දාලා ඒක M4rz3n4 g0d3ck! කරගන්න පුළුවන්. දැන් කාටවත් guess කරන්න අමාරුයි නේද? තමන්ගෙ හිත ඇතුලෙ තියෙන ටියුන් එකට තමන් කැමති තැන් වලට තමන් කැමති විධියට ලීට් අකුරු දාගන්න. කෝමද වැඩේ? :)

එහෙනං.... අදට ආවඩා... ආයුබෝ වේවා...! Crypto දන්නා අය ඌණපූරණ කරත්වා! ලිනක්ස් නොදන්නා අය ප්‍රශ්න අසත්වා!

Ciao...... Ci vediamo dopo........!!!!!!!!!!!!!

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴

Wednesday, October 14, 2009

ආකල්ප, වීඩියෝ ක්‍රීඩා සහ ලිනක්ස්

ම්ම්... බ්ලොග් උපන්දින සාදයෙන් පස්සේ ලියන පළවෙනි ලියමන... මගේ බ්ලොග් උපන්දිනේ සමරන්න ආපු හැමදෙනාටම ස්තූති... ඉස්සරහටත් මං ලියන අනංමනං කියවන්න.. :)

මාතෘකාව...........! මීට කලකට කලින් දුටු දෙයක් මතක් වෙලා මේක ලියන්න හිතුණේ... දැන් තියෙනවනේ ඔය හන්දි හන්දි ගානේ පොඩි පොඩි video game centre. ඉන්ටර්නෙට් කැෆේ වගේ මේවයෙත් පාවිච්චි කරන කාලය අනුව ගෙවීමක් කරලා මොකක් හරි වීඩියෝ ක්‍රීඩාවක යෙදෙන්න පුළුවන්. පරිගණක ක්‍රීඩා වලට වැඩිපුරම ඇබ්බැහි වෙලා ඉන්නෙ පොඩි ළමයි... ඉස්කෝලෙ හයේ හතේ විතර පොඩි බට්ටෝ... හැබැයි ඉතිං මේවයෙ තියෛන කරන මිනී මරාගන්න ගේම් නම් ළමයින්ට සුදුසුයි කියන්න බැහැ... මේ video game centre වල තියෙන ක්‍රීඩා වලින් සමහර ඒව වර්ග කරල තියෙන්නෙ 18+ විධියට, නමුත් අපේ සිරි ලංකාවෙ බොහොම නිදැල්ලෙ සංසරණය වෙනවා -- මහරජාණන්ගෙ අවධානයට ලක් විය යුතු තවත් මාතෘකාවක්... අර (අහ)වල් සයිට් තහනම් කළා වගේ මොකක් හරි කරන්න වෙයි. නැත්තං අර ජෝන් සීනා විතරක් නෙමෙයි තව තව ආතක් පාතක් නැති fictional චරිතත් ඔළුවටම ගහයි.

මම අද කියන්න යන්නෙ ඒ පොලිටිකල් කතා නෙමෙයි... Video game center එකකට වෙලා පොඩ්ඩක් බලාගෙන ඉඳිද්දි හිතුණ දෙයක්... සමහර අය ලිනක්ස් බෑ බෑ කියන්න එක හේතුවක්නේ මේ මූලික ලිනක්ස් විධාන මතක නැති කම... මතක තියාගන්න බැරිලු... ටයිප් කරනකොට ටැපලෙනවලු... ක්ලික් කරන්න තියෙනකොට ලේසියිලු.

මොන බොරුද? :P

දැන් ආපහු යමු වීඩියෝ ගේම් එක සෙල්ලම් කරන පොඩි එකා ළඟට... පොඩි එකා මොකක්දෝ එකක් ටයිප් කරනවා... මෙන්න අපේ වීඩියෝ ක්‍රීඩාවෙ ඉන්න 'පොර' ගෙ අතට අවි ආයුධ (ammunition) මාර තොගයක් එකපාරටම මැවෙනවා... පොඩි එකාට ටයිප් වෙන දේ පේන්නෙත් නෑ.. හැබැයි ඌ ඒක කොහොම හරි කරගන්නවා. තව ටිකකිං... අපේ පොර දැන් මැරෙන්න ඔන්න මෙන්න... හැබැයි පොඩි එකා තවත් මොකක්දෝ එකක් ටයිප් කරන පරක්කුවෙන් පොර full health. තවත් මොකක්දෝ එකක් ටයිප් කළ ගමන් මේන්න අහසින් පාත් වුණා වගේ සද්දන්ත වාහනයක්!

ඔය කිව්වෙ වෙන මොනවත් නෙමෙයි පරිගණක ක්‍රීඩා වල තියෙන easter eggs, නැත්තම් game cheats ගැන. තවත් සමහර අය passwords කියලත් කියනව මේවට... මොක වුණත් කමක් නෑ... පොඩි එකාට එක එක ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට අකුරක් නෑර මේව ඔක්කොම මතකයි. ටයිප් කරන අකුරු ටික පේන්නෙත් නෑ... එක හුස්මට ටයිප් කරගෙන යන්නත් ඕනේ. එක අකුරක් හරි මිසිං වුණොත් ඊළඟ තත්පරෙන් අපේ 'පොර' ඩවුන් නේ. සමහර වෙලාවට cheat code එක ටයිප් කරන එකත් නිකං ප්‍රතීක ක්‍රියාවක් වගේ -- එක සැණින්! :-O


ඉතින්... ඒකත් එහෙම නං... අපි වගේ අයට,
ලිනක්ස්/ යුනික්ස් ෂෙල් එකක මූලික වැඩ ටික වත් කරගන්න එකත් මහ ලොකු දෙයක් ද?
ඒකත් බැරි නම් වරද තියෙන්නෙ කොතනද??

Tuesday, October 6, 2009

෴ ශාකුන්තලගේ සිය plus වස් සමරුව ෴



ආයුබෝවන්
මෙය මගේ පළමු බ්ලොග් සටහන නොවෙයි. මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ මීට අවුරුදු දෙකහමාරකට ඉහතදී. බ්ලොග් ලිවුවේ කඩ්ඩෙන්. බ්ලොග් ලිවීම මට ඒ දවස් වලම එපා වුණේ කඩ්ඩෙන් ලි‍යන බ්ලොග් අපේ කවුරුවත් කියවන බවට විශ්වාසයක් නොතිබුණු නිසා.
දැන් මම UCSC එකේ දෙවන වසර ශිෂ්‍යයෙක් (BICT). අප දියත් කළ UCSC LODGE වෙබ් අඩවිය (http://www.ucsclodge.lk) නිසා බ්ලොග් ලියන්නන් අතරට මම නැවත පිවිසුණා. නමුත් බ්ලොග් ලිවුවේ කඩ්ඩෙන්. එයට හේතුව ‍දමිළ අය අතරටත් මගේ බ්ලොග් එක ගෙනියන්න. නමුත් Ubuntu වල සිංහල භාවිත කරන ආකාරය ගැන මම සිංහලෙන් ලියපු බ්ලොග් සටහනෙන් පස්සෙ මට හිතුණා සිංහලෙන් බ්ලොග් ලිවීම දිගටම කරගෙන යන්න.
ඒ නිසා shaakunthala.blogspot.com හි තිබුණු සියළු ඉංග්‍රීසි බ්ලොග් සටහන් මකා දමලා මේ අඩවිය සර්ව සම්පූර්ණ ශුද්ධ සිංහල බ්ලොග් අඩවියක් බවට පත් කළා. මගේ UCSC LODGE බ්ලොග් එක http://www.ucsclodge.lk/blogs/shaakunthala වෙත පිවිස කියවන්න පුළුවන්.

ඉතින් සිංහල බ්ලොග් මිතුරනි, සිංහල බ්ලොග්කරුවන් වෙත පිවිසීමට මට අවසර...

~ ශාකුන්තල ~

ඔය තියෙන්නේ මම හරියටම මීට අවුරුද්දකට කලින් මේ බ්ලොග් අඩවිය ආරම්භ කරද්දි, 2008 අවුරුද්දෙ ඔක්තෝබර් 6 වෙනිදා හවස 5.02 ට අන්තර්ජාලයට නිදහස් කළ පළවෙනි බ්ලොග් සටහනේ සම්පූර්ණ අන්තර්ගතය. හරියටම හවස 5.02ට කිව්වෙ නැකැත් බලල එහෙම නෙමෙයි. ;) මට හිතුණු වෙලාවට ලිව්වා - පළ කළා! ඒක හරිම සුන්දර අත්දැකීමක්. සිංහල බ්ලොග් කියවනයටත් එකතු කරලා දවස ගානෙ පෝස්ට් දැම්මා... ටික කලකට පස්සෙ කොත්තුවටත් එකතු කළා. හැබැයි ලිව්වේ නිකං වල් පල්.. වැඩකට ඇති දෙයක් නෙමෙයි.

මුල්ම පෝස්ට් එක ලියලා දවස් තුනකට පස්සෙ comment එකක් එනවා සු෴ අක්කගෙන්;

සිංහල බ්ලොග් අවකාශයට සාදරෙන් පිළිගන්නවා.. ශාකුන්තල..කවුද නම තිබ්බේ..?

කොහොම වුණත් නමේ හැටියට ලිවීමත් ඇති නේද ? ;-)

දිගටම ලියන්න ! ජය !

දවස් තුනක් තිස්සෙ දිගටම ලියනවද නැද්ද කියලා හිත හිතා දෙගිඩියාවෙන් කරපු බ්ලොග් ලිවිල්ලට ජවයක් ආවා ඒ පොඩි comment එකෙන්. මම ලියන දේවල් වලට comment නැතත් අනිත් අය කියවනව කියල දැනගන්න ලැබීම ලොකු තල්ලුවක්. ඇත්තම කිව්වොත් මුලින් මම comment බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් එදා එහෙම පොඩියට පටන් ගත්ත බ්ලොග් එකට අද වෙනකොට බලාපොරොත්තු වුණාටත් වඩා පිරිසක් ඇවිත් එක් රොක් වෙලා. :)

ඉතින් අද මේ ලියමන ලියැවෙන්නෙ මගේ බ්ලොග් එකේ වැදගත් සංධිස්ථාන දෙකක් සමරන්න... එකක් පළවෙනි උපන්දිනය... දෙවැන්න ශතකය.
අවුරුද්දයි -- සිංහල බ්ලොග් ලිපි 100 යි. 
ඒකට තමයි ශාකුන්තලගේ සිය + වස් සමරුව කියන්නේ...
කෝමද වැඩේ...? දෙකම එක දවසේ!! :)

එදාට වඩා අද වෙනකොට ජීවිතේට ගොඩක් දේ එකතු වෙලා... කාර්ය බහුල වෙලා. බ්ලොග් ලියන එකෙන් එක එක විධියෙ අය අඳුනගන්න ලැබුණා. සමහර අයගෙන් උදව් ගත්තා... සමහර අයට උදව් කළා. සමහර අය මාත් එක්ක දිගටම හිටියා... සමහරු අමනාප වුණා. ඒ අතරෙ සමහර දේවල් ගැන කතා කරන්න ගිහින් නැති කරදර වලත් පැටළුණේ නැත්තේ...ම නොවේ! ;)

එදා බ්ලොග් ලිවීම පටන් ගත්තෙ මගේ වටේ සිද්ධ වෙන එක එක විකාර ලියන්න. ඒත් ලැබෙන ප්‍රතිචාර වලින් ටික ටික සීරුමාරු වෙලා අද වෙද්දි කෙනෙකුට කියවා යම් දෙයක් ලබා ගන්න පුළුවන් බ්ලොග් අඩවියක් බවට ශාකුන්තලගේ සටහන් පොත පත් වෙලා.

ඉතින් තව වැදගත් දෙයක් තියෙනවා... I DNT HATE MOZILLA BUT USE IE OR ELSE... - මේකට ආපු ප්‍රතිචාර වලින් තමයි මට මගේ ටියුන් එක මුලින්ම අහු වුණේ. ඒක ගැන නම් කියන්නෙ නැතුවම බැහැ. පරණ ලිපි දිහා බලනකොට හිනාත් එනවා... මොනවද මං මේ ලියල තියෙන දේවල්? :D :-O :D

බ්ලොග් ලිවීම හරහා මට ඇති වුණු වැදගත්ම පුරුද්ද කියවීම. බ්ලොග් එකක් කිව්වාම ඕනම දෙයක් නිදහසේ ලියන්න පුළුවන් තමයි. ඒත් වගකීමකින් තොර ප්‍රකාශ කරන්න ගියොත් දවස් දෙකෙන් වැඩේ දෙල් වෙනවා. අන්තිමේ මැස්සෙක්වත් එන්නෙ නෑ බ්ලොග් එක පැත්ත පළාතෙ ;) . ඒ නිසා ඕනම දෙයක් බ්ලොග් එකේ ලියන්න කලින් කියවන්න / අත්හදා බලන්න මම පුරුදු වුණා.

මේ වෙනකොට මගේ බ්ලොග් එක කියවන්නත් මම බලාපොරොත්තු වුණාට වඩා වැඩි පිරිසක් එකතු වෙලා. සිංහල බ්ලොග් කියවනය නිතර ඇසුරු කරන අය, කැම්පස් එකේ යාළුවො, විද්‍යුත් තැපෑල හරහා කියවන අය සහ අහම්බෙන් සෙට් වෙච්ච අය. ඉතින් එක එක විධියෙ ප්‍රතිචාර එනවා... ප්‍රතිචාර කියන්නෙ බ්ලොග් එකේ comment යටතෙ පළ වෙන ඒව විතරක්ම නෙමෙයි... ඒ හැම එකක්ම දකිද්දි හරිම සතුටුයි. සමහර දවස් වල මම දකිනවා කැම්පස් එකේ සමහර බැචාලා ගමේ යනකොට flash drive වලට මගේ ලිපි save කරගෙන යනවා... සමහරු feedburner ඊමේල් එකට reply එවනවා... සමහරු උදේට ගුඩ් මෝනිං එකත් එක්ක මතක් කරන්නෙ මගේ බ්ලොග් පෝස්ට් එක. ඒ වගේ දේවල් දැක්කාම හිතේ ඇති වෙන්නෙ බොහොම අවංක සතුටක්. මොකද මම ලියන දේවලින් කවුරුවත් ලේ කෝප කරගන්නෙ නැතුව යමක් විඳිනවා කියල මට හිතෙන නිසා.

ප්‍රතිචාර නිසා ලියන්න අළුත් මාතෘකා ලැබුණා... නොදන්න දේ දැනගන්න ලැබුණා... ලිවීම දිගටම කරගෙන යන්න හොඳ තල්ලුවකුත් ලැබුණා. ඒ විතරක් නෙමෙයි... අට-ලෝ දහමට අනුව ජීවිතය හදා ගන්න බ්ලොග් අවකාශය හොඳ පාඩම් කියා දෙන තැනක් බවත් මම තේරුම් ගත්තා.. පැසසුම් විතරක්ම නෙමෙයි... නින්දා.. අපහාසත් එනවා... ඒවට මුහුණදෙන්න ඉගෙනගත්තෙ මේ බ්ලොග් ලිවිල්ලෙන්ම තමයි. සමහර අය මම යන ගමන් මග වෙනස් කරන්න වලි කෑවා (මගේ ස්වභාවයෙන්ම තියෙන මුරණ්ඩු ගතිය නිසා ඒ අයට මගේ ලිවීම් රටාවෙ කිසි වෙනසක් ඇති කරන්න බැරි වුණා :) ). බ්ලොග් ලිවිල්ලත් නිසා මට හොඳ අවස්ථාවනුත් ලැබුණා... ඒව ගැන මෙතන කියන්න ගියොත් සමරන්න වෙලාවක් නැති වෙයි.... ඒ නිසා මෙන්න මේ රොක් සිංදුවත් අහගෙනම මගේ බ්ලොග් එකේ උපන්දිනේට සෙට් වෙමු... රොක් සංගීතය මගේ ප්‍රියතමය නේ... \m/ \m/


ඉතින් කාර්ය බහුලත්වය නිසා අදින් පස්සෙ පොඩි විවේකයක් ගන්න කල්පනා කළා. බොහෝ විට මගේ බ්ලොග් ලිවිල්ල මාස එකහමාරකට එක පෝස්ට් එකක් විතර වෙනකම් අඩු වෙයි... හැබැයි... සක්කරයා තියා වයිමා කිව්වත්.... බ්ලොග් ලිවීම නවත්තන්නේ නම් නැත. :) (මේක අර කොණ්ඩෙ කපපු සිද්ධිය වගෙ නෙමෙයි :P ) ටයිප් කරන්න ඇඟිලි තුඩු පණ තියෙනකම් බ්ලොග් එක දිගටම කරගෙන යනවා... :)

ඉතින්, මම මේ වෙලාවෙ විශේෂයෙන්ම ස්තුති කරනවා නන් අයුරින් සහය දීපු හැම දෙනාටමත් (ඒකත් දිග ලිස්ට් එකක් ;) ), ශාකුන්තලගේ සටහන් පොත එක්ක රැඳී ඉන්න හැම දෙනාටමත්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටත්෴

ආයුබෝ වේවා....෴

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴

Sunday, October 4, 2009

GRUB මගින් ක්‍රියාරම්භිත flash drive එකක් සහ හාඩ් ඩිස්ක් ආතල්


ලිනක්ස් වැඩ කිඩ ලිවිල්ල නං එපා වෙන්නෙම නෑ. මේකත් එහෙම එකක්. මේ සති අන්තෙ ගෙදර එද්දි අපේ බාල මලයා මට වැඩ වැඩි කරලා. :P ඒ ගැන පස්සෙ කියන්නම්. කෝකටත් කලින් වැදගත්ම දේ මාතෘකාව.

අද කියන්න යන්නේ මම කරපු පොඩි අත්හදා බැලීමක් ගැන. ඒ මගේ 4 GB flash drive එකට කියාරම්භක (bootable) හැකියාව ලබා දුන්න එක. දැන් කස්ටිය කියයි 'ආපෝයි.. ඕකත් වැඩක්ද ඔය රයිට් ක්ලික් කරලා ෆෝමැට් ගිහිං..........' හෝව්..... එහෙම එකක් ගැන නෙමේ මං මේ කියන්නෙ. කවුද DOS bootable එකක් හදන්නෙ? :P මං මේ කියන්න යන්නෙ GRUB එක දාගන්න හැටි. මං අටවගත්ත එකේ GRUB විතරක් නෙමෙයි කර්නල් එකත් තියෙනවා. DOS bootable එකකින් කරන්න පුළුවන් අටමගලයක් නෑ. :D

මුළින්ම කියන්නම් GRUB කියන්නෙ මොකක්ද කියලා. විකිපීඩියාවෙ නම් පිළිවෙලට ලියවිලා තියෙනවා... ඒත් මමත් පොඩ්ඩක් විස්තර කරන්නම්. සරලව කිව්වොත් බූට්ලෝඩරයක්... ඒකත් සරලව විස්තර කළොත්, පරිගණකය බූට් වීමේ ක්‍රියාවලියෙදි මෙහෙයුම් පද්ධතිය RAM එකට load කරන්නෙ මේ බූට්ලෝඩරයෙන්. වින්ඩෝස් තියෙන හාඩ් ඩිස්ක් එකකට වැඩ දාන්න ගිහින් ඇණගත්තාම බූට් වෙද්දි NTLDR is missing කියල මොකක්දෝ එකක් පෙන්නනව නේද? අන්න ඒ NTLDR කියන්නෙ Windows NT බූට්ලෝඩර් එක. ලිනක්ස් වලදි බූට්ලෝඩර් එක විධියට පාවිච්චි වෙන්නෙ LILO (LInux LOader) හෝ GRUB (GRand Unified Bootloader). විවිධ හේතු මත දැන් ඒ දෙකෙන් ජනප්‍රිය එක GRUB. ඒ හේතු මෙතන විස්තර නොකරන්නෙ බ්ලොග් සටහන අනවශ්‍ය විධියට දීර්ඝ වෙන නිසා.... GRUB ගැන පොත් ලියන්න තරම් දේවල් තියෙන බව අන්තර්ජාලය පිරික්සලා හොයාගන්න පුළුවන්.

GRUB එකට මොනවද පුළුවන් වැඩ? ඇත්තටම ඒ ඔක්කොම නම් මමත් තවම හරියට දන්නෙ නැහැ. මෙන්න මේවා තමයි දැනට දන්නේ:
  • ගතිකව වින්‍යාසගත කරන්න පුළුවන්.. (මොකක්දෑ ඒ හරුපෙ? :-? ) ඒ කිව්වෙ බූට් වෙන වෙලාවෙදි GRUB එකේ සරල විධාන අතුරුමුහුණතින් අපට අවශ්‍ය කර්නල් එක අවශ්‍ය විධියට තෝරගන්න පුළුවන්. කර්නල් එකට දෙන පරාමිතීන් (parameters) සකස් කරන්නත් පුළුවන්.
  • Chainloading - මේක තමයි GRUB එකේ පරාර්ථකාමී ගතිය :) - ලිනක්ස් තියෙන පරිගණකයකට වින්ඩෝස් ස්ථාපනය කළොත් වින්ඩෝස් බූට්ලෝඩරය GRUB එක overwrite කරනවා. ඒත් වින්ඩෝස් තියෙන පරිගණකයට ලිනක්ස් ස්ථාපනය කළොත් ලස්සන දෙයක් සිද්ධ වෙනවා. GRUB එකෙන් මුලින්ම වින්ඩෝස් බූට්ලෝඩරය වෙන සෙක්ටර් එකකට පිටපත් කරනවා. දැන් GRUB ස්ථාපනය වෙනවා. බූට් වීමේ ක්‍රියාවලියෙදි අපට වින්ඩෝස් බූට්ලෝඩරය ඕන නම් chainloading කියන ක්‍රියාවලිය මගින් වින්ඩෝස් බූට්ලෝඩරයට පාලනය භාර දෙනවා.
  • GRUB එකට හානි වුණු පද්ධතියක් ගොඩගන්න පුළුවන්.
  • Partition හංගන්න එහෙමත් පුළුවන්. ;)

දැනට මං එච්චරයි දන්නේ... දැන් ආපහු එමු මාතෘකාවට... අපේ තුන් වෙනි වසර පාඨමාලා වලින් එකක් System And Network Administration. මේ පාඨමාලාව පටන් ගත්තා විතරයි එහෙට මෙහෙට වැනි වැනී තිබුණු ලිනක්ස් ගැන මගේ දැනුමත් වේගවත් ව ප්‍රසාරණය වෙන්න පටන් ගත්තා. ඉතින් ඒකට අදාළ social forum එකේ post එකකට අපේ Off the Planets කණිෂ්ක දාපු reply  එකකින් තමයි අයිඩියාව ආවෙ. කෝමද flash drive එකකට GRUB එක දාගත්තොත්?

It's simple. You have to restore the grub.
boot from the live cd.
open terminal
type sudo grub
find /boot/grub/stage1
grub> root(hdx,y)
setup(hdx)
you will get the values for x and y in find /boot/grub/stage1
I am not sure about the stage1 thing. It just works for me. I am not sure how the grub finds where the / is at the first place. To find the /boot/grub and the old files. Any way it works

මේකෙන් වාසි කීපයක්ම තියෙනවා...
  • Live CD එකෙන් බූට් කරන්න ගොඩක් කාලය ගත වෙනවා. නමුත් මෙතන බූට්ලෝඩරය විතරක් නිසා ඉක්මන්.
  • අළුත් දේ ඉගෙනගන්න ලැබෙනවා.
  • අහිංසක විධියට ගිහින් hijack/ hack කරන්න පුළුවන්. CD එකක් දානකොට සද්දෙ එනවා... කවුරුත් බලනවා... ඒත් flash drive එකක් කවුද ගණන් ගන්නෙ? ;) (මේ hijacking/ hacking කරන්න පුළුවන් එක එක ක්‍රම වරින් වර සිංහල බ්ලොග් කීපයකම පළ වුණා)
  • memtest86+.bin කර්නලය පාවිච්චි කරලා RAM එක පරීක්ෂා කරගන්නත් පුළුවන්.


ඉතිං මෙන්න මෙහෙමයි මම කළේ...
1. මුලින්ම මගේ 4 GB flash drive එකේ තියෙන කුණු කන්දල් ඔක්කොම මගේ හාඩ් ඩිස්ක් එකට පිටපත් කර ගත්තා...

2. දැන් ඒක partition දෙකකට වෙන් කළා. එකක් අපේ පුද්ගලික ගොනු වලට. ඒක වින්ඩෝස්/ ලිනක්ස් දෙකේදිම වැඩ කරන්න ඕන නිසා FAT32. අනෙක කර්නල් එකයි GRUB එකට අදාළ ගොනුයි තියාගන්න ext-2 එකක්.

# fdisk /dev/sdb
මේකත් එක්ක ටිකක් ඔට්ටු වෙලා කීප වතාවක්ම විවිධ අගයයන් දීලා හරියටම මට ඕන ප්‍රමාණයට partition කරගත්තා.

parted වලින් පෙන්නන විධියට පළවෙනි එක 3997 MB primary එකක්. ගොනු පද්ධති ආකෘතිය FAT32. දෙවැන්න 49.4 MB primary එකක්.

root@shaakunthala-laptop:~# parted /dev/sdb
GNU Parted 1.8.9
Using /dev/sdb
Welcome to GNU Parted! Type 'help' to view a list of commands.
(parted) print                                                           
Model: Kingston DataTraveler 2.0 (scsi)
Disk /dev/sdb: 4047MB
Sector size (logical/physical): 512B/512B
Partition Table: msdos

Number  Start   End     Size    Type     File system  Flags
 1      32.3kB  3997MB  3997MB  primary  fat32            
 2      3997MB  4047MB  49.4MB  primary  ext2         boot

(parted) q                                                               
root@shaakunthala-laptop:~#


මේ partition කෙරුවාව කරන්න ඕන පිළිවෙලක් තියෙනවා. නැත්තම් flash drive එක වින්ඩෝස් වලදි පිස්සු කෙළිනවා. Flash drive එකේ පළමු වෙනි physical partition එක හැර ඉතිරිය හඳුනාගැනීමේ හැකියාවක් වින්ඩෝස් වලට නෑ. ඒ නිසා අපේ පෞද්ගලික ගොනු පිටපත් කරන කොටස මුලටත්, GRUB එකට අදාළ ගොනු සහ කර්නල් එකට අවශ්‍ය කොටස අගටත් එන්න partition කළේ.
Format කළේ මෙහෙමයි:
# mkdosfs /dev/sdb1 -v -F 32 -n LEONIDAS_4G
# mke2fs /dev/sdb2 -L boot


දැන් flash drive එක පරිගණකයට සම්බන්ධ කළාම /media/LEONIDAS_4G , /media/boot විධියට partition දෙකම mount වෙනවා.

3. මේක කරන්න ක්‍රමවත් පිළිවෙලක් ඇති. ඒත් මොනව හරි වැඩක් කරද්දි මට අන්තර්ජාලය ඕන වෙන්නෙ අන්තිමට. මම කැමති මුලින් අත්හදා බලලා අන්තිමේ ඇණගත්තාම අන්තර්ජාලයෙන් විසඳුම් හොයන ක්‍රමයට. :P ඉතිං මෙතන ඉඳලා වැඩ ටික ජෝක් වගේ නම් වැඩ දන්න අය මට හිනා වෙන්න එහෙම එපා.. :D
# cd /
# cp -rfv boot /media/boot

දැන් අපේ කණිෂ්කගෙ ටිප් එක.
# grub
grub> find /media/boot/boot/grub/stage1

දැන් මෙහෙම එකක් පෙන්නනවා:
(hd1,1)

ඒ කියන්නෙ නියමිත නිරූපණ ක්‍රමය (notation) අනුව flash drive එකේ දෙවෙනි partition එක දක්වන්නෙ (hd1,1) විධියට. ඊළඟ පියවර:
grub> root (hd1,1)
grub> setup (hd1)
grub> quit

දැන් GRUB එක ස්ථාපනය වෙලා අවසානයි. මේ වැඩේදි පරිගණකයෙ දෘඩ තැටියට කිසිම බලපෑමක් වෙන්නෙ නෑ.

4. දැන් ටිකක් සුද්ධ පවිත්‍ර කළා. අපේ boot partition එක. ඒකෙ කර්නල් දෙකකට අදාළ ගොනු තිබුණා. එකක් අයින් කළා.. දෙකක් මක්කටැයි? ;)
දැන් තියෙන්නෙ මෙන්න මේ ගොනු ටික:
root@shaakunthala-laptop:/media/boot# ls -aR -w 1
.:
.
..
boot

./boot:
.
..
abi-2.6.27-14-generic
config-2.6.27-14-generic
grub
initrd.img-2.6.27-14-generic
lost+found
memtest86+.bin
System.map-2.6.27-14-generic
vmcoreinfo-2.6.27-14-generic
vmlinuz-2.6.27-14-generic

./boot/grub:
.
..
default
device.map
e2fs_stage1_5
fat_stage1_5
installed-version
jfs_stage1_5
menu.lst
minix_stage1_5
reiserfs_stage1_5
stage1
stage2
xfs_stage1_5

./boot/lost+found:
.
..
root@shaakunthala-laptop:/media/boot#


5. menu.lst එකත් කපලා කොටලා ගත්තා.

title           Linux kernel 2.6.27-14-generic
root            (hd0,1)
kernel          /boot/vmlinuz-2.6.27-14-generic root=UUID=d1670f8e-eb3f-4dba-bba5-e00f0437e2a2 ro single
initrd          /boot/initrd.img-2.6.27-14-generic

title           memtest86+
root            (hd0,1)
kernel          /boot/memtest86+.bin


මෙතන තවත් වැදගත් කාරණා කීපයක් තියෙනවා කියන්න. GRUB ස්ථාපනයෙදි flash drive එක ගත්තෙ (hd1) විධියට වුණාට ඒකෙන් boot වෙද්දි ඒක ගන්නෙ (hd0) විධියට. menu.lst ගොනුව සංස්කරණයෙදි ඒ ගැන සැළකිලිමත් වෙන්න ඕනා. ඒකට හේතුව කියන්න තරම් දෙයක් නෙමෙයිනේ... BIOS එකේ boot priority උඩින් තියෙන කෙනාට අඩු අංකය.

අනෙක UUID එක. ඒක කර්නල් එකට පරාමිතියක් විධියට යවල තියෙනවා. UUID එක බලාගන්න මෙන්න මේ විධානයෙන් පුළුවන්:
# vol_id --uuid /dev/sdb2

6. දැන් බූට් කරන එක තමයි කරන්න තියෙන්නෙ. මම මෙහෙම පියවර විධියට විස්තර කළාට ටැපලිලා වැරදිලා පැය ගාණක් මේකත් එක්ක දඟලලා තමයි ඉගෙනගත්තෙ මේ දේවල්. ඉතින් flash drive එකෙන් මගේ ලැප්ටොප් එක බූට් කළා. එළට වැඩ! GRUB එක ක්‍රියාත්මක වෙනවා.  කැමති නම් flash drive එකේ තියෙන කර්නල් එකෙන්ම බූට් කරන්නත් පුළුවන්.

ඉතින් මේක වැඩ කරන්න පටන් ගත් වෙලාවෙ ඉඳලා මමත් අළුත් සෙල්ලම් බඩුවක් ලැබුණු පොඩි එකෙක් වගේ. ;) කන්න බොන්න ඕනෙත් නෑ. හාඩ් ඩිස්ක් එකට එක එක වැඩ කෑලි දානවා. අළුතෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි.

Flash drive එකේ init නැති නිසා No init found කියලා දෝෂ පණිවුඩයක් පෙන්නලා එතනින් නතර වෙනවා. නතර වෙනවා කිව්වට එහෙම නතර වෙන්නෙම නෑ. ;) එතනින් එහාට load වෙන්නේ BusyBox shell එක. BusyBox ක්‍රියාත්මක වෙන්නෙ RAM එක මත. සරල භාෂාවෙන් කිව්වොත් shell එකක් තියෙනවා කියන්නෙ සුළුවෙන් හරි 'වැඩක්' කරගන්න පුළුවන් කියන එක. :)

7. Flash drive එකේ ඉතිරි partition එකට තමන්ගෙ පුද්ගලික ගොනු ටික ආපහු පිටපත් කරගන්න. වින්ඩෝස් වලදි flash drive එක පෙන්නන්නෙ මෙහෙමයි:



දැන් ඔය partition දෙකෙන් එකක් වත් Windows Management Console එකෙන් ගිහින් delete කරන්න එපා... My Computer වල පෙන්නන partition එක අවශ්‍ය නම් format කරන්න පුළුවන්. අනිකට අත තියන්න එපා. Flash drive එකේ සම්පූර්ණ filesystem එකටම කෙළවෙයි!!!



මේ සටහනේ මුලින්මත් මම කිව්වනේ අපේ බාල මලයා මට වැඩ වැඩි කරල කියලා. මම දන්න ශිල්ප දාලා අටවලා දීපු හාඩ් ඩිස්ක් එක ගලවලා යාළුවෙකුගෙ මැසිමට හයි කරලා. :-O ඒ මදිවට ඇවිත් කියනවා දැන් අපේ මැසිම වැඩ කරන්නෙ නැතිලු - වයිරස් ඇවිත්ලු! වින්ඩෝස් repair කළාට හරි ගියෙත් නැතිලු!! ඒ මදිවටද මන්දා IDE කනෙක්ටර් එක හරිම තදයිලු!!! :-O :-O :-O

හොඳ වෙලාවට තාම මගේ වයස අවුරුදු 23යි. නැත්තම් එතනම අධිරුධිර පීඩනය ඇති වෙලා මළ ජංජාලයක් වෙන්නේ. මමත් ඉතිං හාඩ් ඩිස්ක් එක ගලවලා ආපහු අර සැත්කම ම කළා. Pins තුනක් යට ගිහින්. කලින් වතාවෙ යට ගිහිපු pin එකත් ඒ අතර! ඒක යට ගිහින් මදිවට කැඩිලා! :-O

මමත් අතෑරියෙ නෑ ගේම් එක... ඒක පෑස්සුවා. අපේ ලොකු මලයා නිකං ඉන්න බැරිකමටද මන්දා පිටකොටුවෙ පේමන්ට් එකෙන් soldering iron එකක් ගෙනත්. ඉතින් දිලිසි දිලිසි අළුත් පිට තියෙන බිට් එක නිසා මම ඒක ගත්තා පාස්සන්න. අළුත් බිට් එක තියෙනකොට පාස්සන්න හරි ලේසියි.

ඉතිං හාඩ් ඩිස්ක් එකේ පරිපථ පුවරුවත් අතට අරං පාස්සද්දි මෙන්න වැදුන නේද කරන්ට්!!! :-O කොරේ පිටට මරේ කියාපි. මේකෙන් ලීක් වෙනවනේ.. :-/ මම හිතුවෙ හාඩ් ඩිස්ක් එක ඉවරයි කියල. පිටකොටුවෙ පීචං තොරොම්බල් කාරයින්ගෙන් එක එක අටමගල් ගන්නවට මම අපේ මලයත් එක්ක වාග් සංග්‍රාමයක යෙදෙන ගමන් පත්තර කොළ කෑල්ලකින් පරිපථ පුවරුවත් අල්ලගෙන කොහොම හරි පෑස්සුම කරල ඉවර කළා. හැබැයි ආපහු පරිගණකයට සම්බන්ධ කරනකම් වැඩේ ෂුවර් නෑ. :(


සමූහ ඡායාරූපය :P


පෑස්සුම කරපු තැන -- මගේ පෑස්සුම් නම් සුමට නෑ... :-/

ඉතින් මේකත් අටවලා හයි කරලා බලද්දි.... දැනෙන සතුට කියා නිම කරන්න බෑ... හාඩ් ඩිස්ක් එක වැඩ කරනවා!! වින්ඩෝස් බූට් වෙනවා.. ඒත් කෝ මේකෙ තිබුණු GRUB එක? එතකොට තමයි මතක් වුණේ මලයා මේකෙ වින්ඩෝස් repair කළා කියලා. හැබැයි ලිනක්ස් partition දෙක තියෙනවා. Bootloader එක නැත!

ඉතින් මේ වෙලාවෙ ඒ හාඩ් ඩිස්ක් එකේ තිබුණු ලිනක්ස් ස්ථාපිතය ගොඩ ගත්තෙ මම මෙච්චර වෙලා විස්තර කරපු USB flash drive එකෙන් තමයි. වැඩි වෙලාවක් ගියෙත් නෑ. Off the Planets ලියන එකාට තැංකූ වේවා!



ඉතින් මට මේකෙන් කියන්න ඕන දේවල් කීපයකුත් තියෙනවා.
  1. IDE හාඩ් ඩිස්ක් වල කේබල් නිතර ගලවන්න/ මාරු කරන්න එපා.
  2. GRUB එකෙන් බූට් වෙන flash drive එකක් ළඟ තියා ගන්න. ඒක ගොඩක් ප්‍රයෝජනවත්. දැනට මම ඒ ගැන ස්වයං හැදෑරීමක් කරනවා. අහල තියෙන විධියට GRUB කියන්නෙ මතුපිටින් පේනවට වඩා වැඩකාරයෙක්!
  3. ලිනක්ස් හරිම සුන්දර OS එකක්... වින්ඩෝස් OS එකෙන් කෑල්ලක් ගලවලා මේ විධියට වෙනම අටවගන්න එක නීති විරෝධීයි. ඒ වගේම ඒ ගැන අධ්‍යයනය කිරීමත් නීති විරෝධීද මන්දා... :-?
  4. පිටකොටුවෙ පේමන්ට් එකේ පීචං තොරොම්බල්කාරයින්ගෙ බඩු ගන්න එපා. මේ ළඟදි මම අඳුනන එකෙක් රුපියල් තිහට Troy ගෙනත්... දාලා බලද්දි මොකක්දෝ පරණ දෙමළ film එකක්ලු. :D :D :D (අර තහනම් කරපුවයින් එකක්වත් වුණා නම් වටිනව නෙව! :P)

තව දෙයක්... මම මල්ලිලා දෙන්න ගැන මෙහෙම කිව්වට... ලිනක්ස් සම්බන්ධ වැඩ වලදි උන් අදක්ෂ වුණාට... අනිත් වැඩ වලදි සූරයෝ. එකෙක් Freelance Graphic Designer කෙනෙක්. පොඩි එකා Martial Arts පොරක්.

අදට ආයුබෝ.....!

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴

Thursday, October 1, 2009

අළුත් නැවට ලිනක්ස්!

2009 සැප්තැම්බර් 26 තවත් අපූරු දවසක්. එදා අපේ ජූනියර්ලා CompSoc (කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක සංගමය) උදව්වෙන් නවකයින්ට පොඩි වැඩමුළුවක් සූදානම් කරලා. ඒ තමයි නිදහස් හා විවෘත මෘදුකාංග සහ ලිනක්ස් පාරිසරිකය හඳුන්වා දීම. ඉතින් තුන වසරෙ අපි කීප දෙනෙකුත් ඒකට උදව් කළා. මේක පැවැත්වුණේ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයෙ මහාචාර්ය වී.කේ. සමරනායක ශ්‍රවණාගාරයේ.

හොඳ අදහසක්. ගොඩක් අය වින්ඩෝස් වලින් ඔබ්බට ලෝකයක් තියෙන බව දන්නෙ නැහැ. ඒ වගේම ගොඩක් දුර බැහැරින් අාපු සමහර අය පාසල් අධ්‍යාපනය හමාර කරලා එද්දි ලබලා තිබුණු පරිගණක දැනුම ගොඩක් අඩුයි (හැම පාසලකම අංග සම්පූර්ණ පරිගණක පහසුකම් නැහැනේ). ඉතින් ඒ අයට FOSS සංකල්පය, ලිනක්ස් ස්ථාපනය සහ පාවිච්චිය ගැන පොඩි හඳුන්වා දීමක් කරන්න තමයි වැඩි කාලයක් වෙන් වුණේ. ඊට අමතරව බ්ලොග්කරණයත් හඳුන්වා දෙනු ලැබුණා. මෙතන සහභාගීත්වයෙ විශේෂත්වයකුත් තියෙනවා. මේ මෙගා කුප්පිය දමාපු අපෙන් දෙතුන් දෙනෙක් හැර ඉතිරි සියල්ලෝ ම සිංහල බ්ලොග්කරුවෝ. (කාටද ආඩම්බර? :P ) ඉතින්, වැඩමුළුවෙදි මම භාරගත් වැඩේ දැනට වින්ඩෝස් ස්ථාපනය කර ඇති පරිගණකයක දෙවන මෙහෙයුම් පද්ධතිය ලෙස Ubuntu ස්ථාපනය කරන ආකාරය කියා දීම. ඒ ගැන මගේ පෞද්ගලික අත්දැකීම් තමයි මේ බ්ලොග් සටහනේ ලියැවෙන්නෙ.




Ubuntu ස්ථාපනය කර පෙන්වන්න ශ්‍රවණාගාරයෙ තියෙන ප්‍රක්ෂේපණ යන්ත්‍රය භාවිතා කළා. මෙතනදි VGA සම්බන්ධව ඇති වෙන්න පුළුවන් ගැටළු නිසාත් Ubuntu අළුතෙන්ම ස්ථාපනය කරන්න ලැප්ටොප් පරිගණකයක් ඉක්මනින් සපයා ගැනීමේ ගැටළු නිසාත් ආදර්ශණය කරන්න පාවිච්චි කළේ VirtualBox මෘදුකාංගය. මේක මම කලින් අත්හදා බලා නැහැ. නමුත් මේ වැඩමුළුවෙන් පස්සේ පැහැදිලි වුණා මෙහෙයුම් පද්ධති ස්ථාපනය වගේ 'බරපතල' වැඩක් ආදර්ශණය කරල පෙන්නන්න VirtualBox අපූරුවට යොදාගන්න පුළුවන් බව. (Ubuntu තියෙන පරිගණකයක VirtualBox දාලා ඒක උඩ ආයෙම Ubuntu දැමිල්ල එක අතකට විකාරයක් වගේ නේද? ;) )

ඉතින් කලින් දවසෙ (සැප්තැම්බර් 25) හවස ශ්‍රවණාගාරයට ගිහින් කෝකටත් කියලා ප්‍රක්ෂේපණ යන්ත්‍රය මගේ ලැප්ටොප් එකත් එක්ක වැඩද කියල පරීක්ෂා කරල බැලුවා. පූර්ව සූදානම ඉතාම වැදගත් (නෝන්ඩි වෙනවට වඩා :P ). මගේ Acer ලැප්ටොප් පරිගණකයෙ Fn + F5 යතුරු සංයෝජනය ක්‍රියාත්මක කළාම ද්විත්ව දර්ශක (dual display) ප්‍රකාරයට මාරු වෙනවා. නැවතත් ඒ යතුරු සංයෝජනයම ක්‍රියාත්මක කළාම පෙර තත්වයට පත් වෙනවා. හැබැයි අවුලක්... මගේ මොනිටරේ පෙන්නන දේ නෙමෙයි ප්‍රක්ෂේපණ යන්ත්‍රයෙන් පෙන්නන්නේ. වින්ඩෝ එකක් ඇදල ප්‍රක්ෂේපණ යන්ත්‍රයට -- ඒ කිව්වෙ දෙවෙනි මොනිටරයට දාන්න පුළුවන්. ආපහු ඒක ඇදල අරගෙන ලැප්ටොප් මොනිටරෙන්ම තියාගන්නත් පුළුවන්. ඒක අවුලක් නෑ කියමු. ප්‍රක්ෂේපණ යන්ත්‍රයෙන් පෙනෙන පිළිබිඹුව අපැහැදිලියි. ඒ මදිවට Compiz Fusion පිස්සු නටනවා. :-O මේකට විසඳුම Mirror Screens කියන විකල්පය භාවිත කරන එක. System --> Preferences --> Screen Resolution ගිහින්, නැත්තම් gnome-display-properties කියන විධානය දීලා Mirror Screens විකල්පය තෝරලා Apply කළාම හරි. ඔව්... ඒක නියමෙට වැඩ!! 1024 x 768 ප්‍රමාණයට තිරය සකසා ගත්තාම වැඩේ ගොඩ! :)

ඊළඟට පූර්ව සූදානමේ දෙවෙනි අදියර... virtual machine එකක් ධාවනය කරල බැලුවා. VirtualBox පූර්ණ තිර ප්‍රකාරයෙදිවත් තිරයෙ සම්පූර්ණ ඉඩ පාවිච්චි වෙන්නෙ නෑ. 800 x 600 ඉඩක් තමයි virtual machine එකෙන් පාවිච්චියට ගන්නෙ. Virtual machine එකට දෙන වීඩියෝ මතක ප්‍රමාණය වැඩි කරල බැලුවත් හරි ගියේ නැහැ. ඒකට නම් මම දන්න තරමින් විසඳුමක් නෑ. හැබැයි අවුලකුත් නෑ. පැහැදිලිව සිද්ධ වෙන දේ පේනවනම් එච්චරයි අපට ඕනේ. ඊළඟට කළේ virtual machine එකේ දෘඩ තැටිය partition තුනකට වෙන් කරලා පළවෙනි එකේ Windows XP ස්ථාපනය කළ එක.

ඉතින් ඔන්න  26 වෙනිදා උදේ ඔක්කොම සැලසුම් කරගත් පරිදි අටවගත්තා. තවත් දේවල් ආදර්ශණය කරල පෙන්නන්න මගේ ලැප්ටොප් පරිගණකයට අමතරව ලැප්ටොප් පරිගණක දෙකකුත් පාවිච්චි කළා. Ubuntu ස්ථාපනය කළේ මගේ පරිගණකයේ. මුලින්ම වින්ඩෝස් වලින් virtal machine එක ක්‍රියාත්මක කරලා C:, D:, E: partition තුන තියෙන ආකාරයත්, ඊළඟට Computer Management Console එකේ Disk Management එකට ගිහින් දෘඩ තැටි partition වල සත්‍ය ස්වභාවයත් පැහැදිලි කර දුන්නා. ලිනක්ස් ස්ථාපනයේදී මෙය දැන සිටීම අත්‍යාවශ්‍යයි [මේ ගැන මම කලින් ලියූ ලිපියක් මෙතනින් කියවන්න]. ඊළඟට Ubuntu Live CD එකෙන් boot කරල GUI මගින් Ubuntu ස්ථාපනය කරන හැටි මම මුල සිට සරලව විස්තර කළා. හැබැයි කී දෙනෙකුට තේරුණාද දන්නෙ නැහැ. :) මහා ලොකු දෙයක් නොවන බව ඇත්ත. ඒත් දුර බැහැර ගම්මාන වල අඩු පහසුකම් යටතෙ උසස් පෙළ කරලා ආපු කී දෙනෙක් ඒකෙන් ඉගෙනගන්න ඇත්ද? අනෙක, හැම දෙනාම හැම දේම දන්නෙ නෑ නොවැ. දැන් ඔය එක එක ටෝක්ස් දුන්නට මමත් පරිගණක ජාලකරණය ඉගෙන ගත්තෙ කැම්පස් ආවට පස්සෙ. ;)

VirtualBox පූර්ණ තිර ප්‍රකාරයට මාරු වුණාම ඇත්ත OS එකද බොරු එකද කියල පිටතින් බලන කෙනෙකුට වෙන් කරල අඳුනගන්න අමාරුයි. ඉතින් ශ්‍රවණාගාරයක විශාල ප්‍රක්ෂේපිත තිරයෙ ඒක පෙනෙනකොට අමුතුම කික් එකක් තියෙන්නෙ. :D

Ubuntu ස්ථාපනයෙදි දෘඩ තැටි ඉඩ භාවිතා කරන ආකාරය තෝරගන්න පියවරේදි වඩාත්ම සුදුසු තමන් විසින්ම (manually) partition table එක සංස්කරණය කරගන්නා විකල්පය. ඒ බව මම විශේෂිතව සඳහන් කළා. ඒ දේවල් කීප දෙනෙකුට හරියට තේරුම් ගිහින් තිබුණෙ නැහැ. ඉතින් කීප සැරයක්ම විස්තර කළා. සිය වතාවක් විස්තර කරන්න කිව්වොත් ඒකත් කරන්න ලෑස්ති වෙලයි මම ගියෙ. :)

ඉතින් Ubuntu ස්ථාපනය කරලා අවසානයෙ GRUB මෙනුව ගැන මූලික දේවල් ටිකක්, මෘදුකාංග ස්ථාපනය, විධාන අතුරුමුහුණත ගැනත් කියා දුන්නෙ මේ virtual machine එකේම තමයි. විධාන අතුරුමුහුණතට (terminal) ගොඩක් දෙනාගෙ තියෙන ලාක්ෂණික බය නැති කරන එක තමයි මට තිබුණු ලොකුම වුවමනාව. නමුත් කාල වේලාව මදි වුණු නිසා ඒක හරියට කරගන්න බැරි වුණා. :( නමුත් අතිශය ජනාදරයට පත් මගේ පරණ බ්ලොග් ලිපියක් පෙන්නල වැඩේ ෂේප් කළා. ;)

මේ ඉන්නෙ මම

රවින්ද, මෘදුකාංග ස්ථාපනය විස්තර කරමින්...

එක වසරෙ අය
(ඡායාරූප ශිල්පියා අපේ බැච් එකේ ඔමිල)

UCSC එකේ එක වසරෙ කස්ටිය මේක කියවනවා නම්... තව මොනව හරි දැනගන්න ඕනේ නම්... මට ලෙක්චර් නැති වෙලාවට මගෙන් අහන්න. එක්කෝ මං 3rd year lab එකේ වැඩක්... නැත්තං බවනේ ලැප්ටොප් එක දිග ඇරගෙන ඇති... එහෙමත් නැත්තං W002 ශාලාවෙ නිදි. :D



ඉතිං සියල්ල අවසාන වෙලා මම ගෙදර ගිහින් ලැප්ටොප් එක ක්‍රියාත්මක කළාම මෙන්න තිරයෙ ඉහළිනුයි පහළිනුයි පෙන්නන පැනල් දෙක නෑ. :-O අහා..! මේ dual display සිද්ධියනේ!! Fn + F5 ක්‍රියාත්මක කළාම වැඩේ හරි. ඒත් පරිගණකය ක්‍රියාත්මක කරන හැම වතාවකම ඒක කරන්න කරදරයි... ඉතින් ඒක හදාගන්න සරල විසඳුමක් තියෙනවා. මං ට්‍රයි කොළා... වැඩ කොළා... :)

ඒ තමයි GRUB මෙනුවේ recovery mode විකල්පය පාවිච්චි කරලා පරිගණකය ක්‍රියාරම්භ කරලා ලැබෙන මෙනුවෙන් xfix (fix graphics problems) විකල්පය ක්‍රියාත්මක කිරීම. දැන් ලෙඩේ නිට්ටාවටම සනීපයි. :)

මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය හා නඩත්තුව ප්‍රක්ෂේපණ තිරයක පෙන්වන ගමන් කාට හරි ඉදිරිපත් කර පෙන්නන්න අවශ්‍යතාවත් ඇති වුණොත් ඒකට VirtualBox හරිම අපූරු මෘදුකාංගයක්.

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴