Saturday, February 14, 2009

ප්‍රවේශම් වන්න! ස්පෑම්!!

මට ලැබුණු විද්‍යුත් තැපැල් පණිවුඩයක් හේතුවෙන් ඇති වෙච්ච කලකිරීම නිසා ලියන සටහනක් මේක. මේ දවස් වල නිවාඩු වුණාට බ්ලොග් ලියන්න වෙලාව නෑ. ඒත් මේක නම් ලිවිය යුතුමයි මේවට අහු වෙන පිරිස බේරාගන්න.

මුලින්ම මේ තිරපිටපත දිහා බලන්න. [පැහැදිලිව බලන්න තිරපිටපත මත ක්ලික් කරන්න]



ඒකෙ කියනවා Please Pass this email copying betogetherforall@gmail.com කියල. ඒ මොකටද කියල නිකමටවත් හිතුවද? ඊමේල් වලින් එන හැම දහජරාවම forward කරන්න පුරුදු වෙලා ඉන්න අය මේක දැක්කම මොකද කරන්නෙ? To field එකේ තමන්ගෙ යාළුවන්ගෙ විද්‍යුත් තැපැල් ලිපින ටික ඔක්කොම ඇතුළු කරල අන්තිමේ betogetherforall@gmail.com එකත් ඒකටම එක් කරනවා.

දැන් මොකද වෙන්නෙ? මෙතැන් සිට කතන්දරේ සත්‍යතාව ඔප්පු කරල පෙන්නන්න ක්‍රමයක් මට නැති වුණත් ඊළඟට වෙන්න පුළුවන් දේ ඒක බව අන්තර්ජාලයේ කළු කඩ මුදලාලිලාගේ වැඩ ගැන දන්න ඕන කෙනෙක් සනාථ කරාවි. betogether@gmail.com ට යනවා ඒ විද්‍යුත් තැපැල් ලිපින ඔක්කොම. එයා ඒ ටික පිටපත් කරගෙන සුරක්ෂිතව තියා ගන්නවා. ඔය අතරෙ කළුකඩ මුදලාලියෙකුට ඕන වෙනවා තමන්ගෙ වෙබ් අඩවිය ප්‍රචාරය කරන්න. එයා තෝරගන්නෙ ස්පෑම් යැවීමේ ක්‍රමය. ඒ සඳහා එයා betogetherforall@gmail.com ට මුදලක් ගෙවල betogetherforall@gmail.com විසින් එකතු කරගත් විද්‍යුත් තැපැල් ලිපින ටික මිලයට ගන්නවා. ඊට පස්සෙ සිද්ධ වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. සමහර විට betogetherforall@gmail.com ම මුදලාලියා වෙන්න පුළුවන්.

ටිකක් හිතල බලන්න විද්‍යුත් තැපැල් පණිවුඩ 5,000,000 ක් හමුදාවට කන්නද? මොකක්ද මේ වැඩේ තේරුම? අඩු ගානෙ අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතිය ගැන වචනයක්වත් මෙතන තියෙනවද? අනික, මේක නිළ වශයෙන් කරන වැඩක් නෙවෙයි කියල ඔප්පු කරන්න හොඳම සාධකය, ඇයි මේක someone@defence.lk වගේ ලිපිනයකින් යවන්නෙ නැතුව Gmail ලිපිනයකින් යවන්නෙ? (Gmail එකෙන් නොමිලේ 7 GB+ දෙන නිසා කියල නං කියන්න එපා :D )

මට කලකිරීමක් ඇති වෙන්න හේතුව වුණේ අපේ වීරෝදාර හමුදාවන් විසින් බොහෝ කැපවීම් කරල ලබාගන්න ජයග්‍රහණ වෙනත් පාර්ශව විසින් අයුතු ලෙස යොදා ගන්නා ආකාරය දකින්නට සිදු වීම. මානුෂිකව හිතන කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්ද?

මේ වගේ පණිවුඩයක් ලැබුණාම එය තව කෙනෙකුට යවන්න කලින් දෙපාරක් හිතන්න. ඔබේ මෙන්ම ඔබේ මිතුරාගේත් පෞද්ගලිකත්වය ඔබේ අතේ! යවන්න අවශ්‍යම නම් යාළුවන්ගෙ විද්‍යුත් තැපැල් ලිපින ටික To වලට නොදමා Bcc වලට දමන්න.

අනිත් කාරණාව ඔබට ස්පෑම්, එනම් අනවශ්‍ය කරදරකාරී විද්‍යුත් ලිපියක් ලැබුණොත් Report Spam button එක ක්ලික් කරන්න පැකිළෙන්න එපා. එවිට ඊමේල් සේවා සපයන්නන් විසින් ඒ පණිවුඩයේ ස්වභාවය පිළිබඳව වාර්තා තබාගෙන ඒ පණිවුඩයේ පැතිරීම නැත්තටම නැති කරන්න ඔවුන්ගේ ප්‍රයත්නය දරාවි. මට පහුගිය දවස් වල වැඩියෙන්ම කරදර කළ ස්පෑම් එක වුණේ Java Sri Lanka ප්‍රදර්ශනය ගැන ආපු ස්පෑම් එක. මම ඒක report කළාම ඒ අය වෙනත් විද්‍යුත් තැපැල් ලිපිනයකින් එවන්න පටන් ගත්තා... කොහොමහරි දැන් නම් ඒ කරදරේ ඉවරයි... :)

මම ස්පෑම් ගැන කතා කරන්න ගිහින් ටිකක් විතර මාතෘකාවෙන් පිට පැන්නා. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේකයි. තමන්ට එන හැම විද්‍යුත් තැපැල් පණිවුඩයක්ම forward කරන්න එපා. පිළිතුරු යවන්නත් එපා. අවශ්‍ය වැදගත් පණිවුඩ ටිකට පමණක් ප්‍රතිචාර දැක්වුවාම හොඳටම ඇති. මොකද විද්‍යුත් තැපෑලත් සමග තමන්ගෙ විතරක් නෙවෙයි වටේ ඉන්න යාළුවන්ගෙත් පෞද්ගලිකත්වය බැඳිලා තියෙනවා. ඉතින්, මේ වගේ පණිවුඩයක් ආයෙත් එනකං මම ආසාවෙන් බලාගෙන ඉන්නෙ Report Spam ක්ලික් කරන්න. මොකද ඒක වැඩිය පාවිච්චි වෙන button එකක් නෙවෙයිනේ... ආසයි ඔබන්න. :D

13 comments:

  1. ඉතා වැදගත් ලිපියක්. මමත් මෙවැනි විද්‍යුත් ලිපි වලින් හෙම්බත් වෙලා ඉන්නේ. මෙව්ව එවන සමහර අයගේ ලිපිනයන් බ්ලොක් කරන්න බැරිවෛ ඉන්නේ. මොකද ඉඳල හිටල වැදගත් දේවලුත් එවන නිසා.

    ReplyDelete
  2. මාත් හරිම ආසයි Report Spam ඔබන්න :D

    ReplyDelete
  3. මම නම් ඔය Forward වැඩ නවත්තල තියෙන්නෙ.
    ඒකෙන් Spam සෑහෙන්න අඩු‍වෙලා තියෙන්නෙ දැන් නම් :D

    ReplyDelete
  4. මටත් ඔයවගේ දේවල් ඇවිත් තියනව, ඒත් මම එක එක කාර්යයන්වලට ගන්නෙ එකිනෙකට වෙනස් ඊමේල් ලිපින හින්ද මගේ පුද්ගලික ඊමේල් ලිපිනයට Spam එන්නෙනෙ නැති තරම්, ඒත් Forum වලට,වෙබ් අඩවි වල ලියාපදිංචියට, වගේම අලුතින් අඳුන ගන්න විස්වාසයක් නැති යාලුවන්ට දෙන ඊමේල් ලිපින 8 ටම ඔලුව උස්සන්න බැරි තරම් Spam එනව.

    මම නම් කියන්නෙ ෆිල්ටරින් උපරිමෙන් පාවිච්චි කරන්න, පුද්ගලිකව එක ගිණුමක් තියාගන්න හංගල වගේ, අනිත් දේවල් වලට වෙන වෙනම ගිනුම් හදාගෙන පාවිච්චි කරන්න. එක පාරක් මට හොඳ වැඩක් උනා, මම අලුතින් අඳුන ගත්ත යාලුවෙක්ට මගෙ එක ඊමේල් ලිපිනයක් දුන්න, ඒවෙනකොට ඒක පාවිච්චි කරල තිබ්බෙ නෑ, ඒත් දවස් දෙකක් යද්දි, මෙන්න indox එක ලිපි වලින් පිරිල, හික් හික් ඉතින් හිතාගන්න පුලුවන් නේද මොකද්ද ඒවයෙ මූලය කියල ?

    ReplyDelete
  5. තව දෙයක් තියෙනව ඔය spam මාතෘකාව ගැන කතා කරද්දි කතා කල යුතු. අපේ‍ ගොඩක් දෙනා mail forward කරද්දි BCC දාල නෙවෙයි forward කරන්නේ. කිහිප දෙනෙක් අතට ගියපු mail එකක් බැලුවම mail addresses 1000 ක් විතර ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.

    ReplyDelete
  6. මටත් ඔය කර‍දරේ තියෙනවා. යාහු මේල් එකේ ෆිල්ටර් එකට එක ලිපිනයකට වඩා දාන්න ක්‍රමයක් තියෙනවද? මම උත්සාහ කරාට පුළුවන් වෙලා තියෙන්නේ එක ලිපිනයක් ෆිල්ටර් කරගන්න විතරයි. ජීමේල් වල නම් ඕන තරමක් දාලා ෆිල්ටර් කරන්න පුළුවන්.

    ReplyDelete
  7. මම නම් ඔය වගේ එවා ෆොර්වර්ඩ් කරන එක නවත්තලා ගොඩාක් කල්.ශාකුන්තලට මතකනම් චමත් සර් ඔය වගේ කතාවක් කිව්වා,networking උගන්නන දවස් වල(1st year).
    සමහර වෙලවට SPAM කාරයො autogenerate e-mail ලිපින වලට mail කරනවා

    "To be removed from all future mailings, please choose from the easy removal options below:"
    Click the following link to be removed from our sponsors database as well: http://www.Something.comething

    කියලා.අපි යවපු ගමන් reply mail එක remove me from database කියලා උන් දැන ගන්නවා හරි e-mail ලිපිනයක් කියලා අපේ එක.එතකන් උන් දන්නේ නැ හරි එකක් කියලා.ඔන්න ඔකයි කතාව.
    හොදම දේ තමයි SPAM එකක් අවාම ගනන් නොගෙන ඉන්න එක එකේ තියන links click නොකර.

    ReplyDelete
  8. පහන් කියනවා,
    "තව දෙයක් තියෙනව ඔය spam මාතෘකාව ගැන කතා කරද්දි කතා කල යුතු. අපේ‍ ගොඩක් දෙනා mail forward කරද්දි BCC දාල නෙවෙයි forward කරන්නේ. "


    මේල් චෙක් කරන්නයි, ෆේස්බුක් යන්නයි විතරක් ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න පුරුදු වෙච්ච මිනිස්සුන්ට ඔච්චර හරියක් කොරගන්න තේරෙයිද මචං?

    ReplyDelete
  9. ශාකුන්තල මහත්මයෝ, ලියන දේවල් දකින්න නැතුව හරි පාලුයි. මේ සටහනට බොහොම ස්තුතියි. ආයෙත් ලඟදීම ඔබේ සටහන් දකින්න පුලුවන් වේවා කියල පතනව.

    ReplyDelete
  10. ඈත්ත නේන්නම් හමුදා ජයග්‍රහන විකුනන් කන තව ක්‍රමයක් මේක.

    ReplyDelete
  11. අපෝ මටත් තියෙන ලොකුම වදයක් ඕක..... ජී මේල් වලට නම් එනවා අඩුයි..... නමුත් යාහූ වලට නම් දවසකට 75 ක් වත් එනවාමයි............!!

    ReplyDelete
  12. මටත් එනවා...බොහෝමයක් මම එවුව කෙනාගේ නම දැක්ක ගමන් එක ගොඩට සිලෙක්ට් කරලා ඩිලීඩ් කරලා දානවා.. මොකද එයාලා එවන්නේම ඔය වගේ දේවල් කියලා මම ටීක්කෙටම දන්නවා..!

    ReplyDelete
  13. අදහස් දක්වපු හැමදෙනාටම ස්තුතියි :)

    @ගයන්ත,
    Forward වැඩේ නිකං කාලය නාස්ති කිරීමක්. නමුත් ඒ ඔස්සේ වැදගත් දේවලුත් එනවා කලාතුරකින්. දැක්කම හිනා නොවී බැරි එකක්, දුර්ලභ දෙයක් හෝ සත්‍ය සිද්ධියක් වැනි දෙයක් නම් සුළු පිරිසකට forward කරනවා. මල්, බබාලා, බල්ලෝ, පූසෝ, ඔය එක එක ජාතියෙ අනං මනං යවන්නෙ නෑ. ම‍ට එන පණිවුඩ කියවා බලා මිතුරන් සමඟ බෙදා ගත යුතුමයි කියා සිතුනොත් කීප දෙනෙකුට යවනවා. ඉන් පසු මකා දමනවා. වැඩ අධික කාලෙට forward ලිපි සියල්ල නොකියවා එක ගොඩට මකා දමනවා. පසුවට කියවන්න තියාගන්නෙ නෑ.

    @පහන්,
    ඔව්. මේ මෑතකදි සිංහල බ්ලොග්කරුවන්ගේ ගුග්ල් සමූහයටත් ඔවැනි ලිපි ආවා.

    @චරිත,
    Yahoo mail වලට filter දෙන්නේ 15යි. නොපමාව Gmail වෙත මාරුවන්න. සිම්පල් ප්ලෑන් එකක්... :D

    @Udara1968,
    ඔව්... ඌණපූරණයට ස්තුතියි මචෝ... :)

    @ප්‍රවීන්,
    තේරුම් ගන්න ඕන කෙනෙකුට පුළුවන්. නමුත් උනන්දුවක් නෑ. ඒකයි හේතුව.

    @සරත් ගුණතුංග,
    ස්තුතියි... අපූරු comment එකක් :) වෙලාව ලැබුණම අනිවාර්යයෙන් ලියනවා :)

    @Uraj Deemantha,
    Report කරන්න. මටත් කලකට පෙර Yahoo Mail එකට spam බර ගණන් වලින් ආවා. මම report කළා. දැන් එනව අඩුයි. එන හැම spam එකක් ගැනම එයාලා වාර්තා තියාගන්නවා. Spam එකේ අඩංගු අන්තර්ගතය, සබැඳුම් (hyperlinks), html/ javascript කේත, පින්තූර පවා එයාලා සැලකිල්ලට ගන්නවා.

    @malee_msg,
    මොකක්ද අක්කෙ ටික්කෙ කියන්නෙ? මං තාම දන්නැති නිසා අහන්නෙ.. :-|

    ReplyDelete

Facebook ප්‍රතිචාර